~

අපේ යුගයේ සිනමා රාජයා, ධර්මසේන ප්‍රතිරාජයා යන්න ගියේ ය.

(ලංකා ඊ නිව්ස් - 2018.ජන.28, ප.ව‍‍‍‍‍‍‍‍‍‍.8.10) ලාංකීය සිනමාවේ  ප්‍රතිරාජයා අද උදෑසන මිය ගියේ ය. ලාංකීය සිනමාවේ රාජයා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් ප්‍රතිරාජයා ආචාර්ය ධර්මසේන පතිරාජාම මිස අන් කවරෙකු හෝ නොවේ. ලෙස්ටර් ගේ ආචාර්ය උපාධිය සම්මාන ආචාර්ය උපාධියක් වුවද පතිරාජා ගේ ආචාර්ය උපාධිය “ නිදහස් බෙංගාලි සිනමාවේ ජාතිය සහ ආගම අතර දයලෙක්තිකය“ ගැන බෙංගාලි විශිෂ්ඨ සිනමා කරුවන් වූ සත්‍යජිත් රායි, මිර්නාල් සෙන් සහ රික්වික් ඝටක් තිදෙනාගේ සිනමා කෘති අධ්‍යයනයෙන් ලියන ලද නිබන්ධනයට හිමි වූවකි. එය පිරිනැමුවේ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය මගිනි. ඒ අතින් සලකා බලන කල සිනමාව පිලිබඳ විධිමත් ආයතනික පශ්චාත් අධ්‍යාපනය මගින්ද සිනමාවට සහ රුපවාහිනියට දායාද කළ විශිෂ්ඨ නිර්මාණ මගින්ද ශ්‍රී ලංකාවට සිටි ‘එකම රාජයා‘ ධර්මසේන පතිරාජාම වන්නේ ය.

‘දේශපාලනික සමාජ කියැවීමක්‘

ඔහු ලංකාවේ ‘දේශපාලනික සමාජ කියැවීම‘ සිනමාවට මෙන්ම ටෙලි නාටකයට ද හඳුන්වාදුන් ප්‍රථමයා ලෙස අවිවාදයෙන් නම් කළ හැකිය. ඒ සිනමාවේදී ‘අහස් ගව්ව‘ සහ ටෙලි නාටකයේදී, ‘කඩුල්ල‘ යන නිර්මාණ ද්වය ශ්‍රී ලාංකිකයා වෙත ප්‍රථම වරට හඳුන්වා දීම නිසා ය. ‘සමාජ යථාර්තය‘ විවිධාකාරයෙන් නිරූපනය කළ හැකි වුවද එය දේශපාලනිකව ග්‍රහණය කර ගෙන නිරූපනය කිරීමට නම් නිර්මාණකරුවා දේශපාලනිකව නිවැරදිව සන්නද්ධ වූ පුද්ගලයෙක් විය යුතුය. ධර්මසේන පතිරාජා කලාව හා දේශපාලනය සම්බන්ධ මතයේ දී ට්‍රොට්ස්කිවාදියෙකු විය. ලංකාවේ බක්කන් ‘සමාජ යථාර්තවාදයට (Social realism) සමාජවාදී අර්ථ දැක්වීමක් හෙවත් Socialist realism එකක් ලෙස ආරම්භයේ සිටම විකෘත මුහුණුවරක් දීම නිසා ‘පතිරාජාගේ දැක්ම‘ ‘දේශපාලනික සමාජ කියැවීමක්‘ ලෙස හැඳින්වීම සුදුසු යැයි සිතමු. 

ඒ අනුව ඔහුගේ විශිෂ්ඨතම නිර්මාණය බඹරු ඇවිත් යයි කීවොත් නිවැරදිය. එය විචාරක මෙන්ම ප්‍රේක්ෂක ප්‍රසාදය මැනැවින් දිනාගත්තේ ය.

1967 දී පේරාදෙණිය සරසවියෙන් සිංහල සහ බටහිර සම්භාව්‍ය දර්ශනය සම්බන්ධයෙන් සිය මූලික උපාධිය ගෞරව සම්මාන සහිතව සමත් වූ පතිරාජා නාට්‍ය සහ රංගකලාව සම්බන්ධයෙන් සරසවි සහකාර කථිකාචාර්ය වරයෙකු ලෙස සිය රැකියාව ආරම්භ කෙළේය. විශ්‍රාම ගන්නා තුරුම ඔහු සරසවි ආචාර්ය රැකියාව අත් හළේ නැත. එබැවින් ජීවන මාර්ගය ලෙස කලාව තෝරා ගැනීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. එබැවින් ඔහුගේ නිර්මාණ ‘කන්ට මාර්ගයක්‘ නොවීමෙන්, සම්භව්‍ය කලාවේ නියතියන් නියමයන් ගෙන් වියුක්ත වන්නට අවශ්‍යතාවයක් නොවීය. 

සරසවියේ හිඳිමින්ම 1970 දී ඔහු සිය ‘සතුරෝ‘ නමැති විනාඩි 10 ක කෙටි චිත්‍රපටය නිර්මාණය කළ අතර පසුව ඔහුගේ පළමු වෘතාන්ත චිත්‍රපටය මෙන්ම ලාංකීය සිනමාව අලුත් මාවතකට යොමු කළ, ‘දේශපාලනික සමාජ කියැවීම‘ හඳුන්වා දුන් ‘අහස් ගව්ව‘ 1974 දී නිර්මාණය කෙරිණ. එය ජාතික හා ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, ආදී සම්මානයන්ට පාත්‍රවීමත් සමග ධර්මසේන පතිරාජා සිනමාකරුවෙකු ලෙස ස්ථාපිත විය. 1975 දී පතිරාජා නිමැවූ ‘එයා දැන් ලොකු ලමයෙක්‘ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපෑ මාලිනී ෆොන්සේකාට මොස්කව් සිනමා උළෙලේ දී විශිෂ්ඨ රංග කුසලතාව වෙනුවෙන් සම්මානයක් හිමිවීම නිසාම එතෙක් කලක් මල් ගස් වටේ දුවමින් සිටි මාලනී ෆොන්සේකා චරිතාංග නිලියක් ලෙස හඳුනා ගැනිණ. වෙළෙඳ නලුවෙක් වූ විජය කුමාරතුංගද විශිෂ්ට චරිතාංග නළුවෙක් බව ලොවට පෙන්වා දුන් අයෙක් වූයේ ද ධර්මසේන පතිරාජා ය.  ඊට පතිරාජා 1976 දී නිමැවූ ‘බඹරු ඇවිත්‘ සාක්කි සපයනු නිසැක ය. කේමදාසයන්ද සිනමා පසුබිම් සංගීතයේ දැවැන්තයෙක් කෙළේ ‘බඹරු ඇවිත්‘ ය  

1978 දී ජේආර් ජයවර්ධන විසින් ලංකාවේ ප්‍රථම වරට ආරම්භ කළ ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂනයට සහ හොඳම චිත්‍රපටයට සම්මාන ලද්දේ පතිරාජා සහ ඔහුගේ බඹරු ඇවිත් ය. ධනපති ක්‍රමයේ පතාක ජේ.ආර්. ධනපති ක්‍රමයට එරෙහි බඹරු ඇවිත් සහ පතිරාජා සම්මානයෙන් පිදීම සැලකිය යුත්තකි. 

පතිරාජා යාපනය විශ්ව විද්‍යාලයේ උගන්වමින් සිටියදී ‘පොන්මනී‘ නමින් දෙමළ චිත්‍රපටයක් ද නිර්මානය කෙළේය. මේ ලියුම්කරු නිවැරදි නම් ලංකාවේ නිපැයූ ප්‍රථම දෙමළ චිත්‍රපටය එය විය. 

පාරදිගේ (1980), සොල්දාදු උන්නැහේ (1981), නිර්මාණය කිරීමෙන් පසු දිගු කලක් වසර 13 ක් පමණ ඔහු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කෙළේ නැත. සොල්දාදු උන්නැහේ ලංකාවේ තුන් වන ජනාධිපති සම්මාන උළෙලේ දී යලිත් වරක් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම තිර රචනය සම්මානයන්ට පාත්‍ර විය. වසර 13 කට පසු 1994 දී සිනමා නිලියක වන අනෝජා වීරසිංහගේ මූල්‍ය වියදම් කිරීමෙන් ‘වාසුලි‘ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කෙළේය. නමුත් එය මෙතෙක් ප්‍රදර්ශනය කෙළේ නැත. ඉන්පසුව ‘මතු යම් දවස‘ (2001), සක්කාරං (2014) සහ ස්වරූප (2016) නමින් චිත්‍රපට තුනක් අධ්‍යක්ෂණය කළේය. ‘ස්වරූප‘ යනු ප්‍රාන්ස් කෆ්කාගේ අධි සත්තාවාදී රීතියේ නවකතාවක් වන Metamorphosis ඇසුරින් නිමවන ලද්දක් විය.

පතිරාජාගේ බොහෝ සිනමා නිර්මාණ වෙළඳ වාසිය තකා නිර්මාණය කරන ලද ඒවා නොවේ. එනිසාම සමහර චිත්‍රපට දවසින් දෙකෙන් සිනමා ශාලා වලින් ගැලවී ගියේය. එක් උදාහරණයක් නම් ‘පාර දිගේ‘ චිත්‍රපටය යි. එය 1980 දී දින දෙකෙන් ගැලවී ගියේ ය. සිකුරාදා දිනක එළිදැක්වූ ‘පාර දිගේ‘ පෙන්වූයේ එම සති අන්තයේ පමණි. ඉන්පසුව දශක ගණනාවකට පසු ඒවා රූපවාහිනියේ ප්‍රදර්ශනය කරද්දී ප්‍රේක්ෂක ප්‍රතිචාරය මැනැවින් දිනා ගත්තේ ය. සිනමා ශාලාවේ මෑත ප්‍රදර්ශනය කර ඉක්මනින් ගැලවී ගිය ‘ස්වරූප, සක්කාරං‘ වැනි සිනමා කෘති ද වෙනත් ප්‍රදර්ශන තලයක දී වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගනු නිසැක ය. ‘සක්කාරං‘ සහ ‘ස්වරූප‘ විශිෂ්ඨ සිනමා කෘති බවට විචාරකයන් ඉතා ඉහලින් අගය කර තිබිණ. 

වසර 13 ක් පමණ සිනමාවෙන් ඈත් වී සිටි නමුත් ධර්මසේන පතිරාජා ඒ අතර කාලයේ දී විශිෂ්ඨ ඝනයේ ටෙලි නාට්‍යය ගෙන ආවේ ය. ඒ අතර අප පෙර කී ලෙසම විචාරක ප්‍රේක්ෂක ප්‍රසාද ද්වයම එක සේ දිනා ගත් ‘කඩුල්ල‘ විශිෂ්ට ය. ‘සෝප් ඔපෙරා‘ වලිනුත් ‘දේශපාලනික සමාජ කියැවීමක්‘ නිර්මාණාත්මක ව ජනතා ප්‍රසාදයත් දිනා ගනිමින් ගෙන ආ හැකි බව ධර්මසේන පතිරාජා ලංකාවේ බක්කන්ට ප්‍රථම වරට පෙන්වා දුන්නේ කඩුල්ලෙන් යයි කීවොත් වරදක් නැත.  

ටෙලි නාට්‍ය, කෙටි සහ වාර්තා චිත්‍රපට, නාට්‍ය ගොන්න 

ගඟුලෙන් එගොඩට, මායා මන්දිර, ඇල්ල ලඟ වලව්ව, වන්නි හාමිලාගේ කතාව, සුදු බණ්ඩලාගේ කතාව, පුර සක්මන, සුබ අනාගතයක් (රාජපක්ෂලාගේ තේමාව නොව මෙය චාල්ස් ඩිකන්ස්ගේ නිර්මානයක අනුවාදයකි), නාඳුනන පුත්තු, දුර්ගාන්තය (වොදරිං හයිට්ස්හි අනුවාදය) කම්පිත විල් ධර්මසේන පතිරාජා 1985 සිට 2009 දක්වා නිර්මානය කළ ටෙලි නාට්‍ය රාශිය විය. 

පතිරාජා අතින් නිමැවූ කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට ගොන්න මෙසේ විය. සතුරෝ (1970), අඳුරින් එළියට (1972) වෙරළ (1974), ෂෙල්ටන් හා කාන්ති (1983), Putting The Last First (1984), Shelter For Million Families (1988), In Search of a Road (2006) 

පතිරාජා වේදිකාවට ද සම්බන්ධය. 1971 දී ධම්ම ජාගොඩ නිෂ්පාදනය කළ ‘කොරා සහ අන්ධයා‘ හි පිටපත පරිවර්තනය කෙළේ පතිරාජා වන අතර එව්ජින් අයනෙස්කෝගේ The Chairs නමැති නාට්‍යය ‘පුටු‘ නමින් පරිවර්තනය කරමින් තමන් විසින්ම නිෂ්පාදනය කර වේදිකා ගත කෙළේය. 

බොහෝ දෙනා අමතක කරන නමුත් පතිරාජා ගීත රචකයෙකුද වන්නේ ය. ධර්මසිරි බණ්ඩාරනායකගේ ප්‍රථම සිනමා නිර්මානය වූ හංස විලක්හි තේමා ගීතය වූ ‘හෙමින් සැරේ පියා විදා‘ හි පද රචනය පතිරාජාගේ ය. විවිධ මිතුරන් සඳහා නිමැවූ තවත් ගීත තිබෙන බව දන්නා නමුත් ඒවා කුමන කුමන ඒවා දැයි මේ ලියුම්කරුට දැන් මතකයක් නැත. 

2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී ‘පෙද්රෝ පරාමෝ‘ පරිවර්ථනය සඳහා පතිරාජා හොඳම පරිවර්තිත නවකතාවට හිමි සම්මානය හිමි කර ගත්තේ ග්‍රන්ථ කරණයේ තම සලකුණ තබමිනි. 

පතිරාජා ඔහුගේ සමීපතමයෙකු වූ විජය කුමාරතුංගයන් පිලිබඳ Docufilm එකක් නිර්මාණය කරමින් සිටියේ ය. වාසුලි මෙන්ම එයද ඔහු අතින් අවසන් වී ප්‍රේක්ෂකයාට දකින්නට නොලැබුණු නිර්මාණ ඝනයට වැටීම දුකකි.  

1943 මාර්තු 28 දා උපන් ධර්මසේන පතිරාජා නමැති එවන් විශිෂ්ඨ නිර්මාණකරුවා අද උදෑසන මිය යන විට වයස අවුරුදු 75 කට මාස දෙකක් අඩුවෙන් සිටියේ ය. පිළිකා රෝගයට ගොදුරු වී සිටි ඔහු ඉන් පීඩා විඳිමින් මරණය බලාපොරොත්තු වී සිටි නිසාම දෝ අද උදෑසන මිය ගිය ඔහුගේ අවසන් කටයුතු අද සවසම මහයියාව සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත ය.

මේ සටහන නිමා කිරීමට පෙර තවත් යමක් ලියා තැබිය යුතුය. 2015 යහපාලනය ගෙන ඒම සඳහා ‘පුරවැසි බලය‘ සංවිධානය සමග එක් වී ධර්මසේන පතිරාජා කැපවී මහත් උනන්දුවෙන් ක්‍රියා කෙළේය. සෑම වේදිකාවකම ඔහු කතා කෙළේ රට ගැන මහත් කැක්කුමකිනි. එය රටේ වෙනසක් ඇති කිරීම සඳහා මහජන ප්‍රවේශයේ තීරණාත්මක ලක්ෂයක් බව ඔහු හඳුනාගෙන සිටියේ ය. ගමින් ගම පැවැත්වූ පුරවැසි බලයේ සෑම රැස්වීමකටම ඔහු සහභාගී විය. පතිරාජලාගේ කැපවීමෙන් බලයට ආ ගුණමකු සිරිසේන ජනාධිපතිවරයා විසින් අද වන විට යහපාලනයට කර ඇති වින්නැහිය දැකීම පතිරාජාගේ මරණය ඉක්මන් කළා දැයි සැක සිතේ. ඊට එක් උදාහරණයක් මෙසේය. රෝගී වූ පතිරාජාගේ බෙහෙත් සඳහා විශාල මුදලක් පවුලේ අයට දැරීමට සිදුවන බැවින් ඊට යම් දායකත්වයක් ලබා දීම සඳහා පතිරාජාගේ සිනමා උළෙලක් පැවැත්වීමට ජාතික රූපවාහිනියේ සභාපතිවරයාට තවත් රූපවාහිනී විශිෂ්ට අධ්‍යක්ෂක වරුන් දෙදෙනෙකු වන දයාරත්න රටගෙදර සහ රංග බණ්ඩාරනායක විසින් යෝජනා කෙරිණ. රූපවාහිනී සභාපති රවි ජයවර්ධන විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කෙළේය. මාධ්‍ය ඇමැතිවරයාද කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. කෙසේ වෙතත් පතිරාජාගේ පවුලේ අය තමන්ට වියදම් දරා ගත හැකි යයි පසුව ප්‍රකාශ කර තිබුනේ පතිරාජාගේ නම්බුව ආරක්ෂා කරමිනි.

මිනිස්සු මිය යති; නමුත් ආචාර්ය ධර්මසේන පතිරාජා වැනි විශිෂ්ඨයන් අප අතරින් ගියත් ඔවුන් අප හදවත් තුල සදාකාලිකව ජීවත් වෙති. අප මිය යන තුරු අපටත් ජීවත් වීමට අවශ්‍ය පරමාදර්ශ ඉතිරි කර යති.

පතී අයියාට සුබ ගමන්..!


-සඳරුවන් - 

ධර්මසේන පතිරාජා විසින් කරන ලද අවසන් කතාව මෙහි දැක්වේ 

---------------------------
by     (2018-01-28 18:24:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links