‘බයනැති අගමැති‘ හෙවත් ‘අද කොමිසම සහ එදා සමයම‘

චාමර ලක්ෂාන්ගේ සටහන

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.25, ප.ව‍‍‍‍.1.45) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසම හමුවට ගොස් සාක්ෂි දීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් තර්ක දෙකක් ගොඩ නැගී තිබේ. අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් විසින් ඔහුගේ ක්‍රියාව උත්කර්ෂයට නංවමින් පෝස්ටරයක් ඇලවීමට කටයුතු කළේ 'බය නැති අගමැති' ලෙස එම සිදුවීම විස්තර කරමිනි. අපේක්ෂා කළ ආකාරයටම රනිල් විරෝධීන් අතර මේ කාරණය විවේචනයට ලක්ව තිබිණ. කෙසේවෙතත් ඔවුනගේ විවේචනයට ලක් වී තිබුණේ රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසම හමුවට යාම නොවේ. ඔවුන්ගේ විවේච්නය යොමුව තිබුනේ ඒ සම්බන්ධයෙන් ඇලවූ පෝස්ටරය සමබන්ධයෙනි. නමුත් එම වාදයට පැටලීමට අප සූදානම් නැත. පෝස්ටරය ගැන මේ අවස්ථාවේ තර්ක කිරීමට අප සූදානම් නොවෙමු. අප සලකා බැලිය යුත්තේ ප්‍රධාන වශයෙන්ම මෙම සිදුවීම පිළිබඳවය.

මේ සිදුවීමෙන් එක් දෙයක් නම් තහවුරු විණි. එනම් සෑහෙන කලකට පසු මේ රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු වී නීතිය, දේශපාලන බල අධිකාරියේ සෙල්ලම් බඩුවක් බවට පත් වීම නැවතී ඇති බවය. මීට අවුරුදු තුනකට පෙර මේ රටේ පැවති තත්වය හා සසඳන විට මෙය කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිව තිබූ තත්වයකි. පැහැදිලිවම මෙය රටේ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ධනාත්මක තත්වයකි.

අග්‍රාමාත්‍යයවරයා යනු රටේ රාජ්‍ය ධූරාවලිය අනුව දෙවැන්නාය. එවැනි නාමධාරියෙකු වෙතින් මෙවැනි සිදුවීමක් අප වැනි රටකදී අපේක්ෂා කළ නොහැකි තරම්ය. එවැන්නක් සිදුවන්නේ නම් ඒ ඉතාම කළාතුරකිනි. එවැනි පසුබිමක අග්‍රාමාත්‍යවරයා සෙසු මැති ඇමතිවරුවන්ට දී ඇත්තේ කදිම ආදර්ශයකි. මේ කාරණය සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් පමණක් ලබා දී නීතිමය කටයුත්තට සහය දැක්වීමේ අවකාශ ඇති බව දන්නා අගමැතිවරයා එසේ නොකර තමාම සෘජුව ඊට මුහුණ දෙමින් නීතිමය ක්‍රියාවලියට සහය පළ කිරීම සුවිශේෂීය. 

තම අණසකට අවනත නොවූ අගවිනිසුරුවරුන් ඊනියා කොමිසම් පනවා එක රැයින් ධුරයෙන් පහ කළ රටක අගමැතිවරයා කොමිසමේ සමාජිකයන්ට කිසිදු බලපෑමක් නොකරන තත්වයක් නිර්මාණය වී තිබීම ප්‍රශංසනීය ය. අග්‍රාමාත්‍යවරයා සෘජුව එම ප්‍රශ්ණ කිරීම් වලට මුහුණ දුන්නේය.
 
අගමැතිවරයාගේ හැසිරීම අපේ රටේ දේශපාලන සංස්කෘතියට වැදගත් වන්නේ කෙසේද? පහුගිය ආසන්නතම ඉතිහාසය දෙස බලනවිට අපට පෙනෙන්නේ පාලකයන් යනු නීතිය ඉදිරියේ විශේෂ මුක්තියක් සහිත කොට්ඨාෂයක් ලෙස සැලකූ ආකාරයයි, නීතියේ සමානාත්මතාවය හුදෙක් කඩදාසි වලට සීමා වූ ආකාරයයි.

බලය හෙබවූ සමයේ මහින්ද රාජපක්ෂ හැසිරුනේ කෙසේදැයි අපට අමතක නැත. 2004දී සුනාමි ව්‍යසනය මුළු රටම ශෝක වූ මොහොතකි. ඒ අවස්ථාවේදී සුනාමි සහන අරමුදලට ආධාර ලෙස ලැබුණු රුපියල් ලක්ෂ 830ක මුදලක් පුද්ගලික අරමුදලක් වන 'හෙල්පින් හම්බන්තොට' ගිණුමට බැර කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂට ප්‍රබල චෝදනාවක් එල්ල විය. එම අවස්ථාවේ මෙම කාරණය අධිකරණය හමුවට පවා ඉදිරිපත් විය. නමුත් එම අවස්ථාවේ පැවති දේශපාලන වාතාවරණය උපරිමයට ප්‍රයෝජනයට ගනිමින්, අගමැතිවරයා ලෙස තමා සතු බලතල උපයෝගී කරගනිමින් මෙය හුදෙක් දේශාපාලන මඩගැසීමක් බවට ලේබල් කරමින් එය අධිකරණයෙන් නිශ්ප්‍රභා කිරීමට උපරිමයට බලපෑම් කරන ලදී. එවකට අගවිනිසුරු වූයේ සරත් එන්. සිල්වාය. පසුකලෙක අධිකරණ සේවයෙන් විශ්‍රාම ගිය සරත් එන්. සිල්වා මෙම නඩුව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ නිවැරදිකරු ලෙස නිදහස් කිරීම තමන් වෙතින් සිදු වූ වැරැද්දක් බවත්, ඒ පිළිබඳව සමාව ඉල්ලන බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. 

ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට පෙර සුළු රැකියාවක් පමණක් කළ පයාගල රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයකු වූ පසු කෝටි ගණනක වත්කම් ඉතා කෙටි කලෙකින් උපයා ගත්තේ කෙසේද යන්න ප්‍රශ්ණ කිරීමට අල්ලස් සහ දූෂණ කොමිසමට කැඳවු අවස්ථාවේදී, සාක්ෂි සඳහා කැඳවූ දිනයේම ඔහු කොමිසම මගහැරියේ තමන්ව නයෙක් දෂ්ඨ කළ බව පවසමිනි. නයෙක් දෂ්ඨ කළ ඔහු බොහොම සුවසේ නිදැල්ලේ පසුවන අයුරු දින දෙකකින් දක්නට ලැබුණ බව අපට අමතක නැත. එවැනි ඉතිහාසයක් ඇති අය අද රනිල් වික්‍රමසිංහ බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණීම ප්‍රශ්ණ කිරීමේ හාස්‍යයට කාරණයකි. 

එමෙන්ම 2015 ජුනි 1 වෙනිදා සිරිලිය සවිය බැංකු ගිණුම්වල තිබුණු සැක කටයුතු කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිම සදහා ශිරන්ති රාජපක්ෂට මූල්‍ය අපරාධ විමර්ෂණ අංශයට කැදවීමක් ලැබිණ. ඒ වනවිට ශිරන්ති ජනාධිපති ආර්‍යාව නොවේ. ඇය හිටපු ජනාධිපතිගේ ආර්‍යාවයි. ජනාධිපති ආර්‍යාව ලෙසවත් නීතියෙන් විශේෂ මුක්තියක් හිමි වී නොතිබෙද්දී පවා ඇයව ප්‍රශ්ණ කිරීමට ඇය ඉල්ලා සිටින ස්ථානයට යාමට මූල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරීන්ට එදා සිදු විය. එම ප්‍රශ්ණ කිරීම් සිදු වූයේ එවකට  කතානායකව සිටි චමල් රාජපක්ෂ මහතාගේ කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිල නිවසේදීය. සැකකාරියෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට, ප්‍රශ්ණ අසන්නන් සැකකාරිය සිටින ස්ථානයට යාමේ සම්ප්‍රදායක් බලාපොරොත්තු වූ පිරිස් අද රනිල් වික්‍රමසිංහ බැදුම්කර කොමිසම හමුවට ගොස් සාක්ෂි ලබාදීම ප්‍රශ්ණ කිරීම විහිළුවකි.

තමන්ට අභිමත ලෙස සහාභාගී වූ ප්‍රශ්ණ කිරීම්, කොමිසම් වලදී පවා ඔවුන් ලබාදුන් පොදු පිළිතුරු වුයේ 'මම දන්නේ නෑ, මට මතක නෑ' වැනි ලිස්සා යන සුළු ප්‍රකාශය. එසේත් නැතිනම් ඩේසි ආච්චිලාගේ මැණික්මළු වැනි සුරංගනා කතා සිහිගන්වන ප්‍රභන්ධය.

2008 දෙසැම්බර් 17 වන දින මෙරට අධිකරණය අපූරු තීන්දුවක් ලබා දුන්නේය. එම තීන්දුව අනුව එවක රජයට නියම කළේ පෙට්‍රල් මිල රුපියල් 122 සිට රුපියල් 100 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි එදින මධ්‍යම රාත්‍රියේ සිට පහත හෙළන ලෙසයි. අනවශ්‍ය ලෙස අධික බදු ගසමින්  රජය මහජනතාව පීඩාවට පත් කිරීම අධිකරණය තේරුම් ගත් එම ඓතිහාසික අවස්ථාවේදීත් මහින්ද රාජපක්ෂ පාලනය සිදු කළේ අධිකරණ තීන්දුව සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමය. එලෙස නීතිය තඹේකට මායිම් නොකළ පිරිසක් රටේ අගමැතිවරයා නීතිය ඉදිරියට ස්වේච්ඡාවෙන් ගොස් සාක්ෂි ලබාදීම විවේචනය කිරීම නින්දා සහගතය.

යහපාලන අර්ථයෙන් බැලනවිට බැඳුම්කර කොමිසම පත්කිරීම යහපත් ක්‍රියාමාර්ගයකි. රටතුළ මුල්‍ය වංචාවක් සිදු වී ඇත්නම් ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයකි. මේ ආකාරයේ කොමිසමක් මීට පෙරද 'බරපතල වංචා හා දූෂණ පරීක්ෂණ කොමිසම' ලෙස ක්‍රියාත්මක විය. එහිදී ස්වාධීන රූපවාහිනියේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එම කොමිසම වාර්තාවක් පව ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එම වර්තාවේදී ස්වාධීන රූපවාහිනිය සතු මිලියන 160ක පමණ මුදලක් සම්බන්ධව සිදු වූ අක්‍රමිකතාවක් ගැන කරුණු ඉදිරිපත් කර තිබුණේ ප්‍රබල පුද්ගල නාම කීපයක්ද නම් කරමිනි. නමුත් මේ වනතුරුම එම පුද්ගලයන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වූ බවක් මතක නැත. හුදෙක් කොමිසමක් පත් කිරීමෙන් පමණක් යහපත් යමක් සිදු නොවේ. ඒවායෙන් හෙළිවන කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි පරිදි ගත යුතුය. එම පරීක්ෂණ විනිවිද භාවයකින් සිදුකළ යුතුය. 

පසුගිය වකවානුවේ එවකට විපක්ෂය විසින් පුන පුනා මතක් කළ මිග් යනා ගණුදෙනුව වැනි බරපතල මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනා ගැන දැන් කතා බහක් නැත. ඒ වෙනුවට ප්‍රමුඛතාවය අඩු, සොහොන් සෑදීමට වියදම් කළ මිලියන 91ක් ගැන කතාබහක් පෙරට ඇවිත් ඇත. එලෙස බරපතල වංචා සහ දූෂණ සම්බන්ධයෙන් දැඩි චෝදනා, පැමිණිලි ඉදිරිපත්ව තිබියදි සාපේක්ෂව අඩු ප්‍රමුඛතාවයක් ඇති පැමිණිලි ඉස්මතු වෙමින් ඇත. මේවා අහම්බයෙන් සිදු වෙනවා යැයි විශ්වාස කළ හැකි සිදුවීම් නොවේ.

අපට දැනගන්නට ලැබුණු ආකාරයට මෑතකදී 'මූල්‍ය අපරාධ විමර්ෂණ අංශය' ලිපිගොනු 92 ක පරික්ෂණ අවසන් කර එම වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත. එයින් නීතිපති දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනු කර ඇත්තේ ලිපිගොනු 13කට පමණකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේපළ සම්බන්ධව ලිපිගොනු 24ක් සහ පුද්ගලයන් සම්බන්ධව ලිපිගොනු 14ක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇත. එම ලිපිගොනු 14න් මේ වනවිට අධි චෝදනා ගොනුකර ඇත්තේ පුද්ගලයන් 6කට එරෙහිව පමණි.

2015 ජනවාරි 8 මේ රටේ ජනතාව යහපාලනය බලයට පත්කිරීමේදී බලාපොරොත්තු වූ ප්‍රධාන අරමුණක් වූයේ මේ රටේ ජාතික ධනය, සාරය කොල්ල කෑ පුද්ගලයන් නීතිය හමුවට ගෙනැවිත් දඬුවම් ලබාදීමය. නමුත් ඒ කිසිවක් ඒ අපේක්ෂා ආකාරයෙන් සිදුවන බවක් නොපෙනේ. ඒ වෙනුවට බිලියන ගණන් හොරකම් කළ හොරුන්ට ඉතා කුඩා කාරණා මූලික කරගෙන නඩු පවරා ජනතාව ගොනාට ඇන්දවීමේ උත්සහයක් ඇති බව නම් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. ඔවුන් සිදු කළ හොරකම්වල පරිමාවට සාපේක්ෂව ඔවුන්ට නැගෙන චෝදන අසන දකින විට අපට මතක් වන්නේ කැළණි පාලම යටින් පාවී යන පොල් ලෙල්ල පිළිබඳ කතාවය.

බැඳුම්කර කොමිසම ක්‍රියාත්මක වීම, ඒකාබද්ධ විපක්ෂය මංගල්‍යයක් උදා වූ ආකාරයට උත්කර්ෂවත් ලෙස සමරමින් සිටිති. ලොක්කා හිටගෙන කළ දේ ගෝලයෝ දුවමින් කරපු අයුරු මැනවින් මතක මේ රටේ ජනතාව බැඳුම්කර කොමිසම ක්‍රියාත්මක කරවීම මෙන්ම රටේ දෙවැනි පුරවැසියා නීතියට හිස නමා බැඳුම්කර කොමිසමට දැක්වූ සහාය ගැන නිවැරදි තක්සේරුවක් ඇති කරගන්නා බව නම් නිසැකය. එම තක්සේරුව නිවැරදිව අරුත් ගන්වන්නට නම්, දැනටමත් ප්‍රමාද වෙමින් ඇති බරපතල මූල්‍ය වංචා සම්බන්ධ පරීක්ෂණ කටයුතු කඩිනම් කරවීමට වර්තමාන රජය කටයුතු කළ යුතුය.

-චාමර ලක්ෂාන් විසිනි-

---------------------------
by     (2017-11-25 08:38:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more