~

ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට..! -චන්ද්‍රරත්න බණ්ඩාරගෙන් විවෘත ලිපියක්..!

(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.02, පෙ.ව.3.55) ගඟකට දෙවරක් බැසිය නොහැකියයි සුප්‍රකට සෙන් කියමනක් තිබේ. ඉතිහාසය එයාකාරයෙන්ම නැවත හමු නොවන බව සැබෑව. මහවැලි ගඟ උපදින ඔබේ ගම් පළාතේ ඇති හෝර්ටන් තැන්නේ කුඩා දිය පහරේ පිරිසිදුකම ගෝනගංතොටින් එම ගඟම මුහුදට වැටෙන තැනදී බලාපොරොත්තු විය නොහැක. හරියට ඔබේ එදා සහ අද, මහවැලි ගඟේ ආරම්භයට හා අවසානයට සමාන කළ හැකිය. 

අපේ මව්බිමේ පුංචි අහස මත ඔබ බොහෝ රුවැති දේ, සිතුවම් කර ඇත. ඒවා රස විඳින මගේ රටේ අසරණ මිනිස්සු ඒවායේ අරුතට හා රසයට වසඟ වී සිටියහ. එ්  අසරණ මිනිස්සු ඔබට සිවිල් බලයක් නිර්මාණය කර දුන්හ. එ් සිවිල් බලය නැවත ආපසු ගැනීමට ඔවුනට කවදාවත් නොහැකිය. එහෙත් එය ඔබට විනාශකර ගත හැකිය. කලාකරුවෙකු ලෙස ඔබගේ සංගීත පිංතාරු දුක් විඳින අසරණ මිනිසාගේ ජීවිත ප්‍රනිධානියට කුඩා මී විතක් විය. එ් කුඩා දෙයට, එ් ලැබූ දෙයට, මනා ලෙසින් ඒ රසික ජනයා කළ ගුණ සලකති. ඒත් අද ඔබ මිහිරි නලා වාදකයා හා මී රැලේ සහ සිඟත්තන්ගේ රැළේ කතාව සිහිපත් කරවයි. හැබැයි එ් කතාවේ රජාට ළමුන් රැක ගන්නට ඕනෑ විය. එහෙත්  මේ කතාවේ රජුට ළමුන් බේරා ගන්නට උවමනා නැත. ඔබ මේ යන ගමන කෙළවර ළමුන් රජා වෙනුවෙන් මුහුදටම බිලි කරනු ඇත.
 
ඔබට වයස අවුරුදු හතළිහක් පිරුණු මීට වසර විස්සකට පමණ පෙර අතීතයට යන්නෙමි. ඔබේ කුලූපග හිනාවට, පෙත්තෙන් දෙපෙත්තෙන් පෙන්නුම් කළ අනාගත ලංකාවේ කලාවට යම් වටිනා ප්‍රදානයන් කරනු ඇතැයි සිතා ඔබේ ජීවිතයට දීර්ඝායු පැතීමට බොහෝ රසිකයෝ පැමිණියහ. එදා උත්සවයේ නම ‘ආදරණීය රෝහණ‘ විය. එ් නම එදා මීට වසර විස්සකට පෙර ඔබට උචිත නොවේයැයි කිසිවකු කීවේ නැත. එදා පදනම් ආයතනයේ බිත්ති පුපුරන්නට තරම් අතුරු සිදුරු නැතිව රසිකයන්ගෙන් පිරී තිබිණ. එදා ඔබට ආදරය පුද කළ මිනිසුන් අබියස ඔබගේ දෑසින් කඳුළක් ගලා ගියේය. එ් කඳුළ ඔබගේ හදවත තෙමා වැටුණු, සහෘදයන් වෙත පිරිනැමූ ආදරයේ කඳුළක් බව බොහෝ කල් යනතෙක් මමද, මම වැනි බොහෝ  අයද මතක තියා ගත්හ. රසිකයෝ ඔබව ආඩ්‍යත්වයට පත් කළහ. ඔබ සංගීත ලෝකයේ තීරණාත්මක මිනිසෙකු බවට පත් කළේය. 

1994 එතෙක් වූ දාහත් අවුරුදු දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා පිහිටුවා ගත් නිදහස් කලා සංධානයේම කලාකරුවන් බොහෝ සේ එකතු වූයේ ඔබේ ආදරණීය නායකත්වය වටාය.  අරමුණ ජයගන්නා තෙක් නිවැරදිව ඔබ එ් යාත්‍රාව පැදවූයේය. එ් ගැන මේ අඳුරු මොහොතේද ඔබට ස්තුති කරමි. ඉනික්බිති පාලකයෝ ද,  කලාකරුවෝද සමාන ලෙස විගඩන් නටද්දී ඔබ නිහඬව ඉවත් විය. ඒ ඉවත්වීම කලා සංධානයේද අවසානය විය.

එදා මෙදා තුර ගෙවී ඇත්තේ වසර විස්සකි. එ් වසර විස්ස තුළ තෝරාගත් මඟෙහි ඉදිරියට යන සංගීතඥයෙකු නොව භූමිකා වෙනස් කරන නළුවෙකු බවට ඔබ පත්ව ඇත. 

අද ඔබ සමග සිටින අනෙකුත් කලාකරුවන් ගැන කිසිම ගැටලුවක් මට ඇත්තේ නැත. ඇතැමුන් එදා වේල හම්බ කරගන්නා අසරණයන්ගෙන් වෙනස් නොවේ. ඔවුන්ට හොඳ නම රැක ගන්නවාට වඩා බඩ වියත රැක ගැනීම පිළිබඳ සාධාරණ ගැටලු තිබේ. පවත්නා තතු විසින් ඔවුනට  තම හෘද සාක්ෂිය සමග සිට ගැනීමට විදිහක් නැත. එහෙයින් ඔවුන් ඒ මත සිටගෙන සිටී. මහා නළුවන් වේෂයෙන්, මහා නිළියන් වේෂයෙන්, ඔබ සමග පෙනී සිටින අනෙක් සමහරු කලාව හෝ මනුෂ්‍යත්වය හරහා දිගහැරුණු මාවත් ගැන තැකීමක් නොකරති. ඔවුන්ගේ අතීත භාවිතයන්ද එයාකාරය. ඔවුන්ගේ ප්‍රතිභාවන් වනාහි හෘද සාක්ෂියේ ප්‍රතිබිම්බන නොවේ. ඔවුන් හුදු ශිල්පියෝ පමණි. ඔවුන් සේවය කරන්නට සැදී පැහැදී සිටින පාලකයාගේ මහ පොළොව නුහුලන දුර්දාන්ත බලාපොරොත්තු, අඩු වැඩි වශයෙන් ඔවුනටද ඇත. ඔවුන් අද සමාජ දේහයට කරන අපරාධ ඔවුන්ගේ පුද්ගල ජීවිතයේදී බොහෝ කොට ඇත. ඔවුන් දැමිය හැක්කේ අලි බබා අත් නොහැර යන හොරු හතළිහේ සාමාජිකත්වයටය. ඇට නැති දිවෙන් වත්මන් පාලකයා බුදුන්ගේ නෑයෙකැයි කී එකාට මධ්‍යතන යුගයේ නම් කතෝලික පල්ලිය සම්මාන පිරිනමනු ඇත. මක්නිසාද යත් තමන්ට විරුද්ධ ආගමක ශාස්තෘවරයාට කළ පරිහාසය නිසාය. අද කතෝලික පල්ලිය එතරම් දුර්දාන්ත නොවන නිසා සම්මාන ලැඛෙනුයේ ‘බුදුන්ගේ නෑයාගෙන්‘ පමණි. 

ආදරණීය  රෝහණ , ඔබගේ වයස හැට පහක් වූ ජීවිතයේ  විවිධ සංවේදී ඉසව් පසුකර ඇති බව මම දනිමි. මහඟු ජීවිත හැදෑරීමෙන් ලද පෝෂණයක් ඔබට ඇත. මහඟු ජීවිත ඇසුරු කිරීමෙන් ලද පෝෂණයක් ඔබට ඇත. මිනිසුන් කෙරේ නිර්ව්‍යාජව ඉපදුනු ළෙන්ගතු සුවඳක් ඔබේ අතීත නිර්මාණ තුළින් වහනය වූ අයුරු අප අත්විඳ ඇත.

එහෙත්, ඔබගේ අතීත මානව උපයා ගැනීම් කැපකරන, මේ පාලනය ගැන ඔබට දුඟදක් නොදැනේද?  මේ පල්වලෙහි මගේ මාතෘභූමියේ සියලු වටිනාකම් ගිලී යන වග ඔබට නොදැනේද?  මේ පල්වල තවත් පුලුල් කරන්නට ඔබ කරන කැපකිරීම් තුළ ඔබවන් සොඳුරු මිනිසකුගේ මරණ මංචකයට අනවශ්‍ය බිහිසුනු බවක් එකතුවන බව ඔබට නොදැනේද? මේ පාපයන්ගේ සෙවනැලි පැමිණ ඔබට අපායගාමි සිතුවිලි පහළ කරවන බව නොදැනේද?

මේ පාලකයා තෙවනවර ජනාධිපති කිරීමේ කාර්යයේදී ඔබ අමතන්නේ සංවේදී මිනිසුන්ටය. එයට ඔබ අපූර්ව මාතෘකාවක් දී ඇත. ‘පොදු අපේක්ෂාව‘ ආණ්ඩුවේ දේශපාලනඥයන් නම් වූ බඩජාරි රෑන ඇඳුම් ගලවාගෙන බොහෝ කල්ය. ඔවුන්ගේ නිරුවත් රංගනය ගැන ඔවුනට ලජ්ජාවක් නැත. ජනතාවද ඔවුන් නිරුවත් බවත්, ඔවුන්ගේ මුවින් දුඟද හමනා බවත් අවබෝධයෙන් දනී. ඔවුන් දරුණු අපරාධකරුවන් බවත්, කරන්නට යන්නේ තවත් බිහිසුණු අපරාධයක් බවත්, ජනතාව දනිති. එහෙත් ඔබ අමතන්නට උත්සාහ කරන්නේ  ඔබ යම් ශාන්තිදායක දෙයක් කරනු ඇතැයි සිතන අසරණ ඇට්ටර නොවූ රසිකයන්ය. මේ පල්වල සුවඳ යයි කියන බොරුව මී පැණි තවරා ගිල්ලවන්නට උත්සාහ කරන්නේ ඔබේ අතීත මහරු නිර්මාණ හරහා ඔබ කෙරේ විශ්වාසය තැබූ සුවහසක් මිනිසුන්ටය. සැබෑ අපරාධකරුවන් වන්නේ ඔබලාය. අර නිරුවත් තක්කඩියන්ව ඔබ විසින් මේ මොහොතේ පසුකරමින් සිටී.

මේ ගෝත්‍රවාදී පාලනයේ වරප්‍රසාද ලත් වහලෙකු වන  මහින්ද අමරවීර ඇමතිවරයා පවසා ඇති දෙයක් ඔබ ඇස ගැසෙන්නට ඇත.

“මේ ආණ්ඩුවේ හැමෝම තමන්ට අවශ්‍ය තරම් හොරකම් කොට හරි හම්බ කර ගෙන ඇත. ඔවුන් නැවතත් එසේ නොකරන්නට තරම් හරි හම්බ කරගෙන ඇත. යූ.එන්.පිය ආවොත් ඔවුන් හොරකම් කිරීම මුල සිට පටන් ගනු ඇත. එහෙයින් හොරකම් කිරීම අවසන් කල පාලකායට බලය දෙන්න.“
 
මහින්ද අමරවීර එ් කියන්නේ ඔබේ ‘පොදු අපේක්ෂාවේ‘ අභ්‍යන්තර ප්‍රකාශනයයි. ඔබගේ ‘පොදු අපේක්ෂාවේ‘ අතීත කෙරුවාවෙන් නොබේරී කිලිටි නොවී තිඛෙන එක් වැදගත් දෙයක් මට පෙන්වා දෙන්න. 

ඔබ ඉතා හොඳ ක්‍රිකට් ලෝලියෙක් බව මම දනිමි. එය ශිෂ්ටාචාරයේ අපූර්ව ගුණ ධර්ම කාන්දු කර ගත් ක්‍රීඩාවකි.  එහෙයින් එකී ක්‍රීඩාව නිවැරැදිව හඳුන්වන්නේ ‘මහත්වරුන්ගේ ක්‍රීඩාව‘ යනුවෙනි. ඔබ අද නියැළී සිටින්නේද දේශපාලන ක්‍රීඩාවකය. එහෙත් ඔබ අද සේවය කරන්නේ යුක්තියේ පමණක් නොව, චිරාත් කාලයක් රැකුණු නීතියේ පාදමද බිඳ දැමූ විනාශකාර පාලකයකු රජ කිරීමටය.
 
ජාතික ආදායම සියයක් වන විට ජාතික ණය බර 102ක් එනම් සියයට එකසිය දෙකක ප්‍රතිශතයක් කළේ ඔබේ අනුහස් සහිත නායකයාය. ඔබ ඉපදුනු නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෑම මවකගෙන්ම සියයට 15ක් ලේ රක්ත හීනතාවයෙන් පෙළේ.  2005  වසරේදී 12%ක් වූ ප්‍රතිශත රේට්ටුව 2013 දී 15% කළේ ඔබේ අනුහස් සහිත නායකයාය. ඔබ ඉපදුනු නුවරඑළිය දිස්ත්‍රික්කයේ උපදින ළමුන්ගෙන් 15%ක් රක්ත හීනතාවයෙන් පෙළේ. එයද 2005  වසරේදී 12%කි. ඔබ ඉපදුනු යටත් විජිත යුගයේ මේ ප්‍රතිශත මෙයාකාර වූවා නම් අහස විස්මිත සංගීතයෙන් පිංතාරු කළ හැකි රෝහණ වීරසිංහ කෙනෙක් අද නැත. යටත් විජිත පාලකයා ඔබේ අනුහස් සහිත නායකයාට වඩා අනුහස් සහගත යයි මට සිතේ. 

ඔබ දේශප්‍රේමියකු ලෙස කැපකිරීම් නොකළත් ඔබ දේශප්‍රේමයට ඇලුම් කළ යුගයක් තිබුණි. යුද්ධය පරාද කළ නායකයා අබියස ඔබ දණින් වැටුණේ ඔහු යුද්ධය පරාද කරන්නට පෙරය. ඔහු යුද්ධය පරාජය කළෙහිය. ඔබ ඔබගේ හෘද සාක්ෂියෙන් අසා බලන්න. තවමත් ඔබ දණින් වැටී සිටින්නේ ඔබේ හදවත ඔජ දමන දේශප්‍රේමය නිසාද? එතකොට නන්විධ වරප්‍රසාද ලබන කේ.පී., නඩුවලට උරුම නැති කරුණා අම්මාන්...?

මේ තරම් තරුණ දරුවන් දමනය කරන මත් ද්‍රව්‍ය වසංගතයක් ඔබ මීට පෙර දැක ඇද්ද? මේ තරම් වකුගඩු රෝගීන් බිහිකරන එ්වා පාලනය නොකරන පාලන කාලයක් ඔබ දැක ඇද්ද?  බඩගින්නට කන්න නැතිව, දරුවන් බඩ බැඳගෙන ගඟට පනින අම්මලා ඔබ දැක ඇද්ද?  එදා නිදහස් කලා සංධාන රැස්වීම්වල ළමා දරුවන් දූෂණය වන ආකාරය ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවා ඇඟ හිරි ගඩු පිපෙන සේ විස්තර කරන විට, සංවේදී  ඔබේ දෙනෙත් අග කඳුලක් දිදුලනු මට මතකය. විසි වසරකට පසුව ඒ කඳුළු උල්පත වැසී ගොසින්ද? ඔබේ අනුහස් සහිත නායකයාගේ අනුගාමික ප්‍රාදේශීය සභා සභාපතිවරු ළමා කැකුළු දූෂණය කොට නීතියට වහන්වී සිටිය හැකි පරිසරයක එ් කඳුළු උල්පත කෝ.?

ආදරණීය රෝහණ, ඔබට ඉහළින් ඇති අහස දෙස බලන්න.  එය ඝන අන්ධකාරයෙන් පිරී ඇත. ඉස්සරත් එහි අඳුරක් තිබුණි. එහෙත් වළාකුලූ පීරා අලෝකය මතුකරගත හැකි විභවයක් එදා තිබිණි. 1994 ඔබ කැපවූයේ ඒ අරගලයටය. එය ජයග්‍රාහී විය. අද ඔබට ඉහළින් ඇති අහස පිරී ඇති වළාකුලූ පීරා දැමීමට දේව හස්තයන් දහසක් ඕනෑ කර තිබේ.  ඔබේ  දේව හස්තය යක්ෂයාගේ භවන පිංතාරු කිරීමට ගොස් එය යක්ෂ හස්තයක්ද වී ඇත. එ් තුල අහිංසක ආදරණීය අනුහස් නිමාවී ඇත.

අදාරණීය රෝහණ, අවසන් වශයෙන් ඔබට බලකර යමක් කියමි. ඔබට ඔබේ හදවත යළි පාදා ගත නොහැකි නම් ඔබේ පිරිවර සමග එ් දුර්දාන්ත මඟෙහිම යන්න. එ්ත් එක මහරු සම්පත් අප වෙත තබා යන්න. ඔහු ඔබේ ගුරුවරයා මෙන්ම අපේ අධ්‍යාත්මය සනහා ලූ ආධ්‍යාත්මික ගුරුවරයාය. ඔහුගේ මධුර භාෂණය මුසු වූ ඔහුගේ දෘඩතර ආධ්‍යාත්මයේ ගුණ සුවඳ  අපේ දරු මුණුපුරන්ට හිමිකර දිය යුතුය. වෘද්ධ වියේදී අහිංසක ළමා ගති ඇති ඔහු ඔබට පහසුවෙන් දමනය කරගත හැකිය. එ් අමරදේවයන්ය.

මේ කන්නලව්ව අසාත් ඔබ අනුහස් සහිත යක්ෂයන්ට සේවය කිරීමට යන්නේ නම් ඔබ යන්න. එ්ත් එ් අමරදේව නම් වූ මහඟු ගණ මිණි පර්වතය මෙහි තබා යන්න. එ් විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයාට පක්ෂව අත්සනක් ගැනීමට නොවේ.  අනාගතයේ උපනූපන් මිනිසුන්ට වටිනා එක දෙයක් හෝ අවශ්‍ය නිසාවෙනි. 

මම,

චන්ද්‍රරත්න බණ්ඩාර

---------------------------
by     (2014-12-01 23:44:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Appreciate this letter. Rohana was one of our senior colleague in welimada central college. The respect I had form those days has got dissolved recently because of his " sattambi weda.
-- by sarath premakumara on 2014-12-02

nice...
-- by Valusumana on 2014-12-02

Thank you Bandara, for this invaluanle article. I appreciate you for two things: One, exposing this henchman of the heinous crime of taking our beloved Amaradeva on his "sattembi" agenda; the other, writing in such impeccable Sinhala language that is like "Kalunika" these days. Thank you very much.
-- by malcom on 2014-12-02

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links