~

කාන්තාවක් හිසේ සඟවා ගෙනා දළදා වහන්සේගේ වතාවත් වලින් කාන්තාවන් බැහැර කරන්නේ ඇයි? මාලිගාවේ පාලන මෙහෙවරට කාන්තාවන්ටත් අයිතිය දෙන්න..!

බෞද්ධ කාන්තාවෝ රජයෙන් හා මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලති..!

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.09,  ප.ව‍‍‍.7.30)  මහනුවර අයිතිහාසික  මහා මාලිගයේ වැඩසිටින ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ හා අදාළ මෙහෙවර කටයුතු සඳහා කාන්තාවන්ටද සම සේ අවස්ථාව ලබාදෙන ලෙස ‘විමෙන් ෆෝ ජස්ට් සොසයිටි’ (Women for Just Society) නම් බෞද්ධ කාන්තා සංවිධානයක් නව බුද්ධශාසන අමාත්‍ය ගරු ජයවික්‍රම පෙරේරා මැතිතුමන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කොට තිබේ. විශේෂයෙන්ම දළදා වහන්සේගේ ප්‍රධාන භාරකරුවා වන දියවඩන නිලමේ පදවිය පත්කර ගැනීමේදී චන්දය භාවිතා කිරීමේ අයිතිය කාන්තාවන්ටද ලබාදිය යුතු බව එම සංවිධානය කියයි. 

මාස ගණනාවක් තිස්සේ තරුණ කාන්තාවකගේ හිස මතින් මෙරටට වැඩමකළ දළදා වහන්සේ පිලිබඳ සියළුම වතාවත් කටයුතු වලින් කාන්තාවන් බැහැර කරනු ලැබ තිබීම බුදුරදුන් විසින් අගයනු ලැබූ අතඤඥතා ගුණය මෙන්ම මානව හිමිකම් පිලිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ටද ඉඳුරාම පටහැනි වන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

අගනුවර කේන්ද්‍ර කොටගෙන පවත්වාගෙන යන ‘විමෙන් ෆෝ ජස්ට් සොසයිටි’ වෙනුවෙන් එම සංවිධානයේ ගරු සභාපතිනි මෙන්ම ‘ධර්ම වොයිසස් ෆෝ ඇනිමල්ස්’ (Dharma Voices for Animals) නමැති ජාත්‍යන්තර සංවිධානයේ කොළඹ ශාඛාවේ සම්බන්ධීකාරකද වන රේණුකා ඩී. නාගොඩවිතාන මහත්මියගේ අත්සනින් යුතුව, මල්වතු අස්ගිරි දෙපාර්ශවය ඇතුලු අතිපූජ්‍ය මහනායක හිමිපාණන් වහන්සේලාටද පිටපත් සහිතව එම ලිපිය ඉදිරිපත් කරනු ලැබ ඇත. එම සම්පුර්ණ ලිපිය මෙසේය.  

ආගමික කටයුතුවලදී කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම

මහනුවර දළදා මාලිගාවේ දළදා වහන්සේ වැඩම කරමින් අලංකාර ලෙස පෙරහැර ගමන් කරන ආකාරය අප කවුරුත් දැක ඇත්තෙමු. දිවයිනේ අනෙක් විහාරස්ථානවල ඒවා මෙන් නොව මෙය ජාතික මංගල්‍යයක් සේ සලකමින් පෙරහැර අවසන් වන්නේ රාජ්‍ය නායකයාගේද සහභාගිත්වයෙන්ය. එම පෙරහැරේ ඉතා ගරු ගාම්භීර ලෙස අලංකාර ඇඳුම් ආයිත්තම් වලින් සැරසී දිලිසෙන විශාල කුඩයක් යටින් සහ පාවඩ මතින් දියවඩන නිලමේවරයා විවිධ සේනා පිරිවරාගෙන ගමන් කරන ආකාරය පෙනේ. 

වසර දහයකට වරක් පවත්වන නිලවරණයකින් තෝරා ගන්නා මෙම දියවඩන නිලමේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේගේ භාරකරුවා ලෙස සැලකේ. මෙම තනතුර සඳහා නිලවරණය පවත්වන්නේ Buddhist Temporalities Act No. K19 of 1931 යන පනතට අනුව ‍බෞද්ධ කටයුතු කොමසාරිස්ය. ඒ අනුව චන්දය දීමට වර්තමානයේ 400 දෙනෙකු පමණ සුදුසුකම් ලබයි. මෙසේ අයිතිවාසිකම් ලබන්නේ මල්වතු සහ අස්ගිරි පාර්ශවවලට අයත් විහාරස්ථානවල නායක හිමිවරුන්, එම විහාරස්ථානවල භාරකරුවන් (වාර්ෂික ආදායම රුපියල් එක්දහසට වැඩි), දේවාලවල බස්නායක නිලමේවරුන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ දිසාපතිවරුන් වේ. මෙම දිසාපතිවරුන් අතර අන්‍ය ආගමිකයින් හෝ කාන්තාවන් වෙත්නම් ඒ අයට චන්දය දීමේ අයිතියක් නැත. මෙය බෞද්ධ සිද්ධස්ථානයකට සම්බන්ධ කටයුත්තක් බැවින් අන්‍ය ආගමිකයින්ට චන්දය නොලැබීම සාධාරණය. නමුත් කාන්තාවන්ට චන්දය දීමට අයිතිය නොදීම ඉතා අසාධාරණ ලෙස කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් පමණක් නොව රටේ ව්යවස්ථාවේ ලිංගික සමානාත්මතාවය පිලිබඳ පරිච්ඡේදයටද පටහැනිය. 

මෙම ක්‍රියාදාමයේ වරදක් ඇතිබව වැටහුණු නිසාදෝ හෝ එසේත් නැතිනම් වර්තමාන සමාජයේ මානසිකතත්වයට සහ අධ්‍යාපන මට්ටමට මෙම රීති නොගැලපෙන නිසාදෝ, පසුගිය කාලයේ බුද්ධ ශාසන අමාත්‍යවරයා ඇතුලු කණ්ඩායමක් එම පනත පාර්ලිමේන්තුවේ සංශෝධනය කිරීමට යෝජනා කෙටුම්පත් කළ බව අප මාධ්‍ය තුලින් ප්‍රචාරය වනු දුටුවෙමු. සම්ප්‍රදායක් ලෙස ඔවුන් එම කෙටුම්පත රැගෙන  මහනායක හිමියන් හමුවීමට ගොස් ඒ බව දන්වා සිටියහ. එවිට උන්වහන්සේ ඉතා සාන්ත ස්වරයෙන් ‘ඒක ඔය කලින් පවත්වාගන ආ විදියටම තිබුනාවේ’ යනුවෙන් පවසා සිටි ආකාරය අප දුටුවෙමු. එම පනත සංශෝධන ක්‍රියාදාමය එතනින්ම හමාර විය. මේ පිළිබඳව අපගේ සිතෙහි නැගුනු ප්‍රශ්නය මෙසේය. 

‘දන්ත ධාතුන් වහන්සේ කොණ්ඩයේ සඟවාගෙන සතුරු බලවේග වලින් බේරෙමින් නිර්භීත ලෙස මහා මුහුද තරණය කර මෙරටට ගෙන ආවේ කාන්තාවක් නොවේද? ඇය එසේ නොගෙනාවනම් ගාම්භීර ලෙස මෙම දියවඩන නිලමේ තනතුර දැරීමට පිරිමියෙකුට අවස්ථාවක් ලැබේද? කාන්තාවක් විසින් එසේ ගෙන ආ දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂකයා හෙවත් භාරකරුවා පත්කිරීමේ නිලවරණය සඳහා චන්දය දීමට කාන්තාවන්ට අයිතිය නොදීම පුරුෂාධිපත්‍යය මනාව පෙන්නුම් කරන්නක් නොවේද?' යන්නයි. 

මේ ආකාරයට පත්වන දියවඩන නිලමේවරයාද සිතට එකඟව මෙම තනතුර දැරීමට ලැජ්ජා විය යුතුය. මෙවැනි ක්‍රියාදාමයන් විදේශීය මාධ්‍යවල විවිධ ගෝත්‍රික මතවාද හා නූගත් ආකල්ප ලෙස හුවා දක්වමින් වාර්තා කරනු අප කොතෙකුත් දැක ඇත. ඒ හා සමාන මෙම කරුණද ශ්‍රී ලංකාවේ සියලුම බෞද්ධයන්ට අගෞරවයකි. ඉහත කී පනත වර්තමානයට නොගැලපීම කොතෙක්ද යන්න චන්ද අයිතිය ඇති විහාරස්ථානවල භාරකරුවන්ගේ අවම ආදායම් මට්ටම වාර්ෂිකව රුපියල් එක්දහසක් ලෙස සඳහන් වීමෙන්ම පෙන්නුම් වේ. 

සත්‍ය සහ සාධාරණ වශයෙන් කිවහොත් මෙම දියවඩන නිලමේ තනතුරට එනම් දන්ත ධාතුන් වහන්සේගේ භාරකරුවා ලෙස පත්විය යුත්තේ කාන්තාවකි. එය පිරිසිදුභාවය පිලිබඳ ගැටලුවක්නම් හේමමාලා දන්ත ධාතුන් වහන්සේ සමග, මුහුදේ සුළඟ හමන අතට පාවෙන එන්ජිමක් නැති රුවල් ඔරුවක නැගී මාස ගණනක් එනවිට එය කොතරම් කිල්ලට අසුවී අපිරිසිදු වන්නට ඇත්ද..? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතැනකවත් මෙවැනි ආකල්පයන් සඳහන් නොවේ. එයට හේතුව විය හැක්කේ, වෙනත් ආගමික දාර්ශනිකයන් උපත ලබුවායයි පැවසෙන ආකාරයට නොව, උන් වහන්සේ මෙලොවට පහල වුයේ අප මෙන්ම සියලුම සත්වයන් උපදින සාමාන්‍ය ක්‍රමවේදයටය. එනම් පුරුෂ ප්‍රාණයක් හා සම්බන්ධවීම නිසා ස්ත්‍රී ප්‍රාණයක ගර්භාෂයක් තුල හටගත් කලලයකින්ය, මව පියා ඇති සාමාන්‍ය මිනිස් දරුවකු ලෙසය. තවද උන් වහන්සේද ගිහි කල කාන්තාවක් සමග විවාහ වී දරුවන් ලද තැනැත්තෙකි. එවැනි ආකල්ප හින්දු ආගමෙන් ආරෝපණය කරගත් මනඃකල්පතියන් හා මතවාදයන් මිස බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ සඳහන් නොවේ. 

තවත් කරුණක් කිව යුතුය. පසුගිය දියවඩන නිලවරණ සමයේ එම චන්දය ලබා ගැනීමට විශාල දූෂණ සිදුවුවා යයි එයට සහභාගී වූ පිරිස් විසින් කළ චෝදනා විවිධ මාධ්‍ය තුලින් දැවැන්ත ප්‍රචාරයක් ගෙන දුන්නේය. අන්තර්ජාලය ඔස්සේද එම පුවත් ප්‍රචලිත විය. සමහර පුවත්පත් වාර්තා අදටත් අන්තර්ජාලයෙන් දැකගත හැකිය. යන්තම් හෝ ශ්‍රී ලංකාවට පැමිණි අයකු වුවද දළදා මාලිගාවේ ඇසල පෙරහැර ගැන දන්නා බැවින්  විදේශිකයන්ටද එය වැදගත් පුවතක් විය. මෙම පුවත ශ්‍රී ලංකාවාසී සියලුම බෞද්ධයන්ට අවමානයකි. එකී සිදුවුවා යයි කියන දුෂණවල සත්‍යයක් ඇත්නම්, එම නිලවරණය සඳහා චන්දය ලබාදීමේ අයිතියෙන් අඩක් කාන්තාවන්ට තිබුනේනම් කිසිසේත්ම එවැනි අක්‍රමිකතාවක් සිදුනොවන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි. 

මෙම ලිපිය ලියූ මා යථාර්තවාදී  සැබෑ බෞද්ධයකු වන අතර අන්‍යාගමික බලවේග යනුවෙන් ලේබල්  නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

රේණුකා ඩී. නාගොඩවිතාන

සභාපති
වීමෙන් ෆෝ ජස්ට් සොසයිටි

---------------------------
by     (2017-10-09 14:12:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  10 discussion on this news

බුදු හාමුදුරැවන්ව වැදුවෙත් අම්ම කෙනෙක්. ඒ අම්ම කාන්තාවක්. ඒ අම්මට බුදු හාමුදුරැවන් බවට පත් වුන සිදුහත් කුමාරයගෙ ස්පර්ශ කල නොහැකි තැනක් තිබුනෙ නෑ. දැන් ඒ අම්මත් නෑ, කුමාරයත් නෑ, බුදුනුත් නෑ, බුද්ධ ධර්මයත් නෑ. දං අපේ රටේ වැද්දො ටික බුදුන්ව උන්ගෙ කරගෙන වැද්දියන්ට ඒ අයිතිය අහිමි කරල. මේ සේරම ගෝත්‍රික වැදි සටන්. හැබැයි ඉතින් වැද්දන්ටයි වැද්දියන්ටයි සම අයිතිය ලැබෙන එක ඉතාමත් හොඳ දෙයක්. මොකද මිත්‍යා දෘෂ්ඨිය උනත් වරප්‍රසාදිත බවින් අෑත් කල තරමට හොඳයි.
-- by silva on 2017-10-09

දළදා මාලිගාවෙ ඉඩං ටික විකුනං කාපු එකා, පිං කැට සල්ලි කෝටි ගණනක් හොරකං කරපු එකා දියවඩන නිලමෙ හැටියට වැජඹෙනව, ඒක හරි ගෞරවනීයයි නෙ
-- by සිංහ on 2017-10-09

දන්ත ධාතූන් වහන්සෙ බාරව ඉන්නෙත් ලෝක හොරෙක්, දලදා වහන්සෙගෙ තවත් කිලිටි වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ!
-- by රෝනි on 2017-10-09

එක කාලකන්නියෙක් ඇවිල්ල ඌ අවුරුදු විස්සක්ම දියවඩන නිලමෙ තනතුරේ ඉන්නව,හැම අවුරුද්දකම දකින්නෙ උගේ මුස්පේන්තු මූණ. තවත් මොකක්ද අපිරිසිදු වෙන්න තියෙන්නෙ?
-- by කමලා on 2017-10-09

A kaalaye gahanui dan kaalaya gahanungei athara vishaala paratharayaki.
-- by ravi on 2017-10-10

කරුණාකර දියවඩන නිලමෙ තනතුර අවුරුදු දෙකකට සීමා කරන්න, අවශ්‍ය නම් තවත් එක් වාරයක් පමනක් ලබාදෙන්න.අළුත් අයටත් මේ තනතුර දැරීමට අවස්ථාව දෙන්න. දීර්ඝ කාලයක් මේ තනතුර දරන පුද්ගලයා අනිවාර්යෙන්ම දූෂිතයෙක් බවට පත්වෙනව, මේ නිසා දලදා වහන්සේගෙ ගෞරවය බරපතල විදියට කෙලෙසෙනව. දැන් ඉන්න දියවඩන නිලමෙ ඉවත්කර වසර දෙකෙන් දෙකට අලුතින් අයෙක් පත් කිරීම ඉතා ඉක්මනින් ආරම්භ කල යුතුයි.
-- by Nanda Himi on 2017-10-10

නියමයි
-- by podu on 2017-10-11

කාන්තාවන්ගේ අයිතිය තීරණය වන්නේ සංස්කෘතිය අනුව. මේ අයට විලි වහගන්න ඕනේ වුනාම විතරක් දේශීය සංස්කෘතිය අල්ල ගන්නයි අනික වෙලාවට සුද්දාගෙ බටහිර සංස්කෘතිය අනුව අයිතිවාසිකම් අයිතිය ඉල්ලන්න බෑ
-- by lgh on 2017-10-17

පිරිමින්ගේ උදව්වෙන් කාන්තාවන් විසින් ඔවුන්ගේ අයිතිය තීරණය කරන්න බෑ
-- by ertgre on 2017-10-17

රටේම ගෑණුත් එක්ක පාදඩ සල්ලාල වැඩ කරල ඊට පස්සෙ සංස්කෘතිය කියන රෙද්ද හොඳට ඇඳ ගෙන අන්තිමට ගෑණුන්ගෙ හෙළුව ගැන විතරක් ප්‍රශ්න කරනව!
-- by krishan on 2017-10-19

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links