~

පුනර්භවය...! ගෞතම ඉගැන්වීම චෝරවාදීන් විකෘති කළ හැටි..! ථෙරවාදයද? චෝරවාදයද? අංක (11)

(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.18, පෙ.ව.5.45) බමුණන් විසින් කළ එකම සමාජ මෙහෙවර වන්නේ සංස්කෘත භාෂාවට අසීමිත වූ වචන සමුදායක් එකතු කිරීමය. එහෙත් එම වචන වලින් කළ ආගමික ඉගැන්වීම් අතිශයින්ම භයානකය. නිදහස් මිනිස් චින්තනය එහෙම පිටින්ම  විකෘති කොට සමස්ත භාරතීය සමාජයම තම අල්ලේ නටවන්ට බමුණන්ට හැකිවූයේ  වචන  මත ඔවුන් ගොඩ නගන ලද ‘වෛදික ධර්මය‘ නැමති සෙප්පඩ විජ්ජාව නිසාය.  මිනිසුන් යලි ප්‍රකෘර්තිමත් කිරීම සඳහා ‘පාර්ශව නාථ‘යන් සහ ‘මහාවීර‘යන් විසින් හඳුන්වා දුන්  ‘ජෛන දර්ශණය‘ ද බමුණු  මතවාදයේම තවත් දිගුවක් විනා අළුත් දෙයක් නොවීය. මේ සියල්ලෝම පෝෂනය කළේ කර්මයට අනුරූපව නැවත නැවත උපදින “සම්සාර චක්‍රය යි” (උපනිෂද්).      

සියළු ක්‍රියාකාරකම්  “පුණ්‍ය කර්ම” හා  “පාප කර්ම”  වශයෙන් කොටස් දෙකකට වෙන් කළ ඔවුහු ඒ අනුව මරණින් පසුව  “ආත්මය” වෙනත් වෙනත් ශරීර තුල උපත ලබන බව ඉගැන්වූහ. මෙය හරියටම  කිසියම්  වාහනයක ඇන්ජිමක් වෙනත්  වාහනයකට සවි කිරීමට සමානය . බොඩිය වෙනස් වුනත් ඇන්ජිම එකය. මිනිසෙකු මරණින් පසු තිරිසන් ආත්ම භවයක් ලබන්නේ ඔහු කළ පවු කම් නිසාය. දෙවියෙකු වන්නේ  පිං කම් නිසාය. මේ  දෙකම නැවතී “ශීල සුද්ධී“ භාවයට හෝ “මෝක්ෂයට“ පත්වන්නේ පිං පවු කිරීම නතර වූ පසුවය. ඒ සඳහා වෛදික හෝ ජෛන ඉගැන්වීම් පිළිපැදිය යුතුය. ඔවුන් කියාදෙන මේ ධර්මයට අනුව මුලින්ම “සම්සාර චක්‍රයට“  ඇතුල් වී ඇත්තේ මිනිසා ය.  කම් වූ පරිද්දෙන් පසුකාලීනව විවිධ සත්ව ආත්ම ලබා ඇත. මෙයින් අදහස් කෙරෙන්නේ කිසිම් කාලයක මේ චක්‍රාවාටය තුල මිනිසුන් පමණක් ජීවත් වී  ඔවුන් කරන ලද පවු පිං අනුව සෙසු ජීවීන්  පහළ වූ බවක් නොවේද? මේ පිළිබදව ප්‍රශ්ණ කිරීම තහනම්ය. පිං පවු නොපිළිගන්නා මිදිටුවෙකි. අදටත් මෙහි වෙනසක් නැත.

සිද්ධාර්ථ ගෞතමයන්ගේ ධර්මයෙන් පෙන්වා දෙන්නේ  මෙයට හාත්පසින්ම වෙනස් වූ දිසානතියකි. උන්වහන්සේ   “සාස්වත“ (පැවත්ම)    සහ “උච්චේද“  (නැවත්ම) යන කාරණා දෙකම  බැහැර කළහ.     කර්මය අනුව නැවත නැවත ඉපදීම බුදු දහමේ මාතෘකාවක් නොවේ.  බුදු වදන වනුයේ කර්මය යනු  චේතනාව බවයි. (චේතනාහං භික්ඛවේ කම්මන් වදාමී).  මරණය ‘සම්මුති‘ සහ ‘පරමාර්ථ‘ වශයෙන් ආකාර  දෙකකි. ‘සම්මුති මරණය‘ යනු  ජීවිතය අවසන් වීමයි. උපතේ සිට එසේ ජීවිතය අවසන් වෙන තුරු  සිතෙහි නැවත නැවත  මැරි මැරී උපදින , ඉපදී ඉපදී මැරෙණ චෛතසික ස්වභාවය ‘පරමාර්ථ මරණය‘ සහ ‘පුනර් භවයයි‘ . චෛතසිකයන්ගේ ඉපදීමත් මිය යෑමත් නිමා වන්නේ රහත් භාවයට පත්වීමෙන් පසුවය.       උපතේ සිට ‘සම්මුති මරණය‘ දක්වා ගෙවන ජීවිත කාලය තුල රාග ද්වේශ මෝහ පටිඝ  හෝ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී ආරම්මනයන්ට උපස්ථම්භකව හටගන්නා චෛතසිකයන්ට අනුව තිරිසන් ප්‍රේත නරක අසුර ආදී හෝ,  දෙව් මිනිස්  බ්‍රහ්ම  භාවන්ට පත්වේ. මේ සියල්ල සිදුවන්නේ මෙලොවදී මිස පරලොවකදී නොවේ.බුදු රදුන්  “නච සෝ නච අඤ්ඤෝ“යනුවෙන් ඉතා කෙටියෙන්  දේශණාකළේ ද මේ කාරණයමය.  ‘පුනර් භවය‘ ලබන්නේ ඔහුත් නොවේ, වෙනකෙනෙකුත් නොවේ.

බුදු දහමෙහි පැහැදී  රහත් බව ලද සියළුම  උත්තම  උත්තමාවියෝ  චෛතසික හා බැඳුනු  ‘පරමාර්ථ මරණය‘ තුල නැවත වෙනත් භවයක් නොලබති. සියළුම රහතන් වහන්සේලා එයට උදාහරණයන්ය. අංගුලිමාල අති භයාණක මිණීමරුවෙකි, බුදුන් දුටු ඔහු  එතෙක් මනසෙහි පැවති  පාපී චෛතසිකයන් සහමුලින්ම උපුටා දැමීය. එතුමන් නැවත කිසි දිනෙක කිරි දරුවෙකුටවත් හිංසාවක් කළේ නැත. එම නිසා  ඝාතක භවයෙන් මිදුනාහ. දේවදත්ත  යනු මනස  යම් තත්වකට දියුණු කළ භික්ෂුවකි. පසුව ඔහු බුදුන් කෙරෙහි වෛර බැඳ සිය භවය වෙනස් කර ගත්තේය. ඒ නිසා  ඔහු ‘සම්මුති මරණයට‘ පත්වෙන තුරුම මැරි මැරී ඉපදුනේය.  ඉපදි ඉපදී මැරුණේය. බමුණන් විසින් කුලහීන භවයකට ඇද දමා සිටි සුනීත සහ සෝපාක බුදු සසුනෙහි රහත් බව ලැබීය. උන් වහන්සේලා දෙව්දතුන් මෙන් සිය භවය නැවත වෙනස් කරගත්තේ නැත. බදු දහම මැනවින් අවබෝධ කරගත් කල්හී පුනරු භවයක් නොලබන්නේය

“පබස්සරමිදං  භික්ඛවේ චිත්තං. තංච ඛො ආගන්තුකේහි  උපක්ඛිලේසේහි  උපක්කිළිට්ඨං” මහණෙනි මේ සිත ප්‍රභාස්වරය. එය පිටතින් ගලා එන කෙලෙස් සිතුවිලි නිසා කිළිටි වෙයි. උපතේ දී සිත ප්‍රභාශ්වරය පිරිසිදුය පැහැදිලිය. පුනරුප්පත්තියක් සිදුවන්නේ පෙර ආත්මයේ කළ පව් පිං අනුව නම් , පුද්ගලයෙකුගේ මරණින් පසුව එම සිත වෙනත්  කයකට ඇතුල් වන්නේ නම්, එසේ ඇතුල් වූ සිතෙහි  මොනවා හෝ තිබිය යුතුය. එහෙත් බුදුහිමියන් පවසන්නේ එවැනි  කිසිදු කිලුටක් නැති බවයි. පෙර භවයේ හුරු කළ පුරුදු ද එහි නැත.  ලොවට බිහිවන්නේ අළුත්ම සිතක් සහිත අළුත්ම ශරීරයකි. අප මුලින් ප්‍රකාශ කළ පරිදි  පුද්ගලයෙක් දේව බ්‍රහ්ම මාර හෝ තිරිසන් ප්‍රේත අසුර හෝ තත්වයන්ට පත්වන්නේ  පසුව ඇතිවෙන චෛතසිකයන් මතය. සොරුන් අතර ඇති දැඩි වූ ගිරා පැටවා පරුෂ වචන කථා කළේය. තවුසන් අතර ඇති දැඩී වූ ගිරා පැටවා යහපත් වචන කථා කළේය. නමුත් උන් දෙදෙනාම එකම ගිරා මවකගේ පැටවුන්ය.

බුදු හිමියන් විසින් ඉතාමත්ම පැහැදිලිව නිවැරදිව දේශණා කළ පුනරුප්පත්තිය හා පුනර්භවය පිළිබඳ මෙම කාරණා  කිසිවෙකුටත් නොතේරෙන අණ්ඩර දෙමළයක් බවට පත් කළේ බමුණු මත ධාරී කාසාම්භර චෝරවාදීන්ය. අහිංක මිනිසුන් හමුවේ සුරංගනා ලෝක  මවා පා ඔවුන්  උපයන දෑ වංචාවෙන් ඩැහැ ගැනීම චෝර වාදීන්ගේ ඒකායන අරමුණයි. නිවන ශාක්සාත් කරගැනීම සඳහා යැයි කියා සිවුරු පටිය කරේ බැඳ පැවිදි වූ මොවුන් අබමල් රේණුවක තරම්වත් වෙහෙසක් නිවන සඳහා නොදරන්නේ ද ඒ නිසාම ය. බුදු හිමියන් විසින් අනුදැන වදාළ දෙසිය විසි හතක් වූ  විනය නීතී (ප්‍රාතිමෝක්ෂ ශීලය) එකක් වත් නොරැක කහරෙදි පෙරවා ගෙන ගිහියන් සේ මොවුන් හැසිරෙන්නේ තමන්  කිසිවෙකුටත් මරණින් පසු  නැවත ඉපදීමක් නැති බව ඉන්තේරුවෙන්ම දන්නා නිසාය. නමුත් පුනරුත්පත්තියක් ගැන සඳහන් කරමින් මිනිසුන් මුලා නොකරන්නට චෝර වාදීන්ට පැවත්මක් නම් නැත්තේම ය.     

ආර්. ජී. ධර්මදාස විසිනි

[email protected]

---------------------------
by     (2017-07-18 00:44:13)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

ඔබගේ ලිපිය කියවූ පසු මට දැනුනේ මා බුදුන්ගෙන් බන ඇසූ බවක් මෙනි. ජීවිත කාලයක් පුරා කඩතුරාවකින් වැසී තිබූ මෙම ප්‍රශ්න මාලාවට ඔබ ආලෝකය පතිත කලෙහිය. ඔබට අනේක වාරයක් තුති පුදමි.
-- by silva on 2017-07-18

      උපතේ සිට ‘සම්මුති මරණය‘ දක්වා ගෙවන ජීවිත කාලය තුල රාග ද්වේශ මෝහ පටිඝ  හෝ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී ආරම්මනයන්ට උපස්ථම්භකව හටගන්නා චෛතසිකයන්ට අනුව තිරිසන් ප්‍රේත නරක අසුර ආදී හෝ,  දෙව් මිනිස්  බ්‍රහ්ම  භාවන්ට පත්වේ. මේ සියල්ල සිදුවන්නේ මෙලොවදී මිස පරලොවකදී නොවේ.බුදු රදුන්  “නච සෝ නච අඤ්ඤෝ“යනුවෙන් ඉතා කෙටියෙන්  දේශණාකළේ ද මේ කාරණයමය.  ‘පුනර් භවය‘ ලබන්නේ ඔහුත් නොවේ, වෙනකෙනෙකුත් නොවේ." ඉහතින් "උපස්ථම්භකව හටගන්නා චෛතසිකයන්ට අනුව තිරිසන් ප්‍රේත නරක අසුර ආදී හෝ,  දෙව් මිනිස්  බ්‍රහ්ම  භාවන්ට පත්වේ" යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි මදක් පැහැදිළි කළ යුතුවේ. එනම් කල ක්‍රියා වන්ට අනුව ගරුක, ආචින්න, ආසන්න හෝ කටත්තා යනාදියෙන් එක් කර්මයක් මරණාසන්න චිත්තයට අරමුණුවීමෙන් ප්‍රතිසංධිය ගෙනදේ. ගරුක කර්ම නැති කළ ආචින්න කර්මයත්, ආචින්න කර්ම නැති කළ ආසන්න කර්මයත්, ආසන්න කර්ම නැති කළ කටත්තා කර්මයත් විපාක දීමෙන් ප්‍රතිසංධිය ඇතිවේ. මෙහිදී කටත්තා කර්මය යනු, පෙර තුන් ආකාරයෙන්ම සුඛහෝ දුක්ඛ විපාක නොලැබෙන විට ඊට පෙර ජාතිවල කළ අපරාපරිය වේදනීය කර්මවල විපාකදීමය. එහිදී පෙර භව වල කරන ලද කර්ම බැහැර කල නොහැක. "බුදු හිමියන් විසින් අනුදැන වදාළ දෙසිය විසි හතක් වූ  විනය නීතී (ප්‍රාතිමෝක්ෂ ශීලය) එකක් වත් නොරැක මොවුන් හැසිරෙන්නේ තමන්  කිසිවෙකුටත් මරණින් පසු  නැවත ඉපදීමක් නැති බව ඉන්තේරුවෙන්ම දන්නා නිසාය." යන්න ද, ලිපියේම සඳහන් “නච සෝ නච අඤ්ඤෝ“යනුවෙන් කල දේශණයට අනුව ‘පුනර් භවය‘ ලබන්නේ ඔහුත් නොවේ, වෙනකෙනෙකුත් නොවේ නිසා තමාගේ ප්‍රාණකාරයා හට නම් ඉන් ගැළවීමක් නම් නැති බව කිව යුතුවේ.
-- by Upashantha on 2017-07-18

මා බුද්ධ දේශනාව ලෙස පිළිගන්නේ ත්‍රිපිටකයයි.මම විශ්වාස කරනව මෙම ලිපිය ලියූ ලේඛකයාත් එම දහම් කරුණු විග්‍රහයට ත්‍රිපිටකය උපුටා ගත්තා කියා.මෙම ලිපියේ පුනර්භවය පිලිබඳ දක්වා ඇති කරුනු බුද්ධ දේශනාවට සම්පුර්ණයෙන්ම පටහැනියි .මා එසේ පවසන්නේ අපට ඇති එකම සහ පිළිගත හැකි මුලාශ්‍රය වන ත්‍රිපිටකයට අනුවයි.බුදුන්වහන්සේ ශාස්වත වාදය සහ උච්චේද වාදය සාකච්චාවට ගන්නේ නැත සහ ඇත යන හෙවත් ආත්ම වාදය සහ අනාත්මවාදය ප්‍රතික්ෂේප කිරීමටයි.නමුත් යමෙක් මේ කය ඇත හැරියාට පසු (සම්මත මරණය)නැවත කයකට යන බව ත්‍රිපිටකයේ දක්වා තියෙනවා.වච්ච ගොත්ත නම් පිරිවැජියෙක් උන් වහන්සේගෙන් අසනවා "මේ කය ඇත හැරියා මතු කයකට ගියෙත් නැහැ ඒ අතර කාලය කුමක් උපාදාන කරගෙන ජීවත් වෙයිද ?කියලා. උන් වහන්සේ පවසනවා "ඒ අතර කාලය තන්හාව උපාදානය කරගෙන ජීවත් වෙනවා" කියා.ඉන් අදහස් වන්නේ මේ කය ඇත හැර (සම්මුති මරණයෙන් පසු) තවත් කයකට යන බවත් සමහර අවස්ථා වල ඒ අතර කාලයක් හෙවත් ගන්ධබ්බ අවස්ථාවක් ඇති බවත්.මරණයෙන් පසු නැවත භවයක් තිබෙන බවට ත්‍රිපිටක සාක්ෂි ඕන තරම් තිබෙනවා.අනෙක බුදු දහමේ මුලික හරය පුනර්භවය යි. අනෙක දහමේ සඳහන් වන පටිච්ච සමුප්පාදය අනුව එහි කර්ම භව සහ උප්පත්ති භව ලෙස දෙකක් සඳහන් වනවා.ලේඛකයා ලිපියේ සඳහන් කරන මේ ජීවිතයේදී සිදුවන භව වෙනස්වීම් (දිව්‍ය ,ප්‍රේත,තිරිසන් ආදී) අදාළ වන්නේ කාර්ම භව යන්නටයි.උප්පත්ති භව යන්න පුනර්භවයට අදාලයි. ලේඛකයාට ඇත්තම උවමනාවක් තිබෙනවානම් සත්‍ය බුදු දහම පිළිබඳව අවබෝදයක් ලබා ගැනීමට(බුදු දහමත් තවත් ආගමක් ලෙස සමාජගත කිරීමේ අරමුණ නොවේ නම්) ඒ සඳහා මැදිහත් වීමට කැමැත්තෙමි. දීර්ග විග්‍රහයකට වෙලාවක් නැති නිසා මෙය ප්‍රමාණවත් යයි සිතමි. අනෙක ශාස්වත වාදය සස උච්චේදවාදය ප්‍රතික්ෂේප කල පමණින් නැවත භවය බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කල බවට සඳහන් කිරීම වැරදියි.මෙම වාද ප්‍රතික්ෂේප කල උන් වහන්සේ පටිච්ච සමුප්පාදය (හේතුපලවාදය) පිළිබඳව විග්‍රහ කොට තිබෙනවා.මෙයින් තමයි බුදු දහම අනෙක් ආගම් වලින් වෙනස් වන්නේ.
-- by anura on 2017-07-20

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links