(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.12, පෙ.ව.6.40) ලෝකයේ කිසිදු රටක ජාතියක් ආරක්ෂා කිරීම සඳහා මුරදේවතාවුන් යැයි විශේෂ බල ඇණියක් නැත. රටේ ආරක්ෂාව සඳහා ඒ ඒ ආණ්ඩු විසින් පත් කරගත් හමුදා සහ පොලිස් බල ඇණි සිටිති . මේ තත්ත්වය ඉක්මවා ගොස් ජාතික ආරක්ෂාව සඳහා ස්වේච්ඡාවෙන්ම පිහිටුවා ගත් මුරදේවතා බල ඝණයක් අද අපට ඇත. මීට අමතරව භූමාටු, ගම්භාර, සතර වරම් ආදී වශයෙන් හැඳින්වෙන තිස්තුන් කෝටියක දෙවි දේවතා හමුදාවක් ද අපේ ජාතික රැකවරණයට කැප වී සිටිති. මෙතරම් ආරක්ෂක විධිවිධාන තරකර ඇති රටකට ගංවතුර, නියඟය, නාය යෑම්, සුළි සුළං, සුනාමි, ආදි ස්වභාවික විපත් මෙන්ම ඩෙංගු ආදී වසංගත රෝග ද දිය වැඩියාව ආදී බෝ නොවන රෝග ද බරපතල තර්ජනයන් වී ඇත්තේ ඇයි?
චෝර වාදීන් පවසන ආකාරයට මෙවැනි ව්‍යසනයන්ගෙන් මිනිසුන් අකාලයේ මිය යන්නේ ඔවුන් විසින් පෙර ආත්ම භව වල කළ පාපකර්මයන් නිසා සහ උපතින් ගෙනා ආයුෂ අවසන් වීම නිසාය. නැතිනම් මේ දෙකම නිසාය. මේ පිළිබඳව කථා කිරීම පසුවට කල් දමා ජාතියට සහ ආගමට කොයි තරම් විනාශකාරී තර්ජනයක් එල්ල කළත් මේ මුර දෙවිවරුන් විසින් විරුද්ධ නොවන පැතිකඩයන් කීපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරනු කැමත්තෙමි.
රටේ වනාන්තර සහ පුරාවස්තු විනාශය බරපතළ අපරාධයක් බව අවිවාදිතය. ජාතිවාදී ගැටුමක ආරම්භය දක්වා විකාශය වූයේ ඒවා රැකිය යුත්තන්ගේ වැරැදි නිසා බව පුරාවිද්‍යා ඇමති අකිළ විරාජ් කාරියවසම් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවසීය. වරද අනුන් මත පටවා ඔහුට ද ඇඟ බේරා නොහැකිය. දියුණු රටවල නම් මෙවැනි තත්වයක් තුල සිදුවන්නේ ඇමැති වරයා තනතුරෙන් ඉල්ලා අස්වීමය. එහෙත් අපේ රටේ මැති ඇමතිවරු බෙල්ලෛන් අල්ලා එළියට ඇද දැමුවත් ආපසු පනින්නේ ඇතුලටම ය.
පුරාවස්තු සහ වන සංහාරකයන්ට රජ කාලේ දඬුවම් දියයුතු බවට අපි ද යෝජනා කරන්නෙමු. නමුත් නිළ නොලත් අතුරු හමුදා විසින් දැඩිසේ නිග්‍රයට ලක් කරන මුස්ලිම් ගෑණුන්ගේ මොට්ටක්කිළිය ,පර්දාව, වැඩි වැඩියෙන් දරුවන් වැදීම, ආදී සංසිද්ධීන් ඉහත කාරණාව හා ගලප්පන්නේ කෙසේද? මුසල්මානුවන් විසින් සුවිසල් පල්ලි ඉදිකිරීම, පස් වතාවක් පල්ලියට යෑම, ඔවුන් බහුලව පදිංචිව සිටින කාත්තන්කුඩිය වැනි ප්‍රදේශවල, රට ඉඳි වගා කිරීම, ජාතික ආරක්ෂක මුර බල ඝණය දකින්නේ දරුණු වැරදි හැටියටය. මෙයට ප්‍රතිවිරෝධයක් හැටියට සිංහල බෞද්ධ විවාහක මවක් අඩුම කරමින් දරුවන් පස්දෙනෙකු වත් බිහි කළ යුතු බවත්, සිංහල බෞද්ධයන් විසින් වැඩි වැඩියෙන් වෙහෙර විහාර පන්සල් ඉදි කළයුතු බවත්, බෝ රුක් රෝපනය කළ යුතු බවත්, එකී බල ඇණි වල උප දේශණයන්ය. ඔවුන් මේ අණ කරන්නේ දුප්පත් සිංහල බෞද්ධ පවුල් වලටය. (ධනපති පවුල් දරුවන් තැනීම සීමා කර තිබේ. වැඩිම වුනොත් දෙදෙනෙකි.) එසේ නම් දුප්පත් පවුල් වල වැඩි වෙන දරුවන් නඩත්තු කරන්නේ කවුද? ඔවුන්ගේ ආහාර පාන, බේත් හේත්, අධ්‍යාපන, පහසුකම්, ආවාහ විවාහ කටයුතු, රැකියා, නිවාස ඉඩ කඩම් ආදී කුදු මහත් ගැටළුවලට විසඳුම් දෙන්නේ කවුද? වැඩිවෙන පන්සල් නඩත්තු කරන්නේ කවු ද?
දෙස බස රැස රැක්මට සහ පෝෂණයට අවංකව කැපවීම ඉතා අගය කළ යුතුය. කුමාරතුංග මුණිදාස පඬිවරයාණන් ප්‍රධානත්වයන් 1941 ජනවාරි 11 දා ආරම්භ කළ හෙළ හවුල, 1912 ජූලි 25 දා , මීරිගම බෝතලේ වළව්වේ දොන් ස්ටේපර් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගනු ලැබූ ශ්‍රී ලංකා අමද්‍යප ව්‍යාපාරය, 1891 මැයි 31 දා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ නායකත්වයෙත් ගොඩ නැගුන මහා බෝධිසංගමය, 1884 ජනවාරි 28 දා මොහන්දිරම් ඒ, පී, ධර්මගුණවර්ධන මැතිතුමාගේ සභාපතිත්වයෙන් ඇරැඹි බෞද්ධ ආරක්ෂක සභාව ආදී සංවිධාන වල බල පෑම් මත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් පවා ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් අණපනත් වෙනස් කළහ. මෙම සංවිධාන සමග පෑහී කටයුතු කළ සියළු දෙනාම වචනයේ පරිසමප්තාර්ථයෙන් ම මහා උගතුන් ය; බුද්ධිමතුන්ය; ප්‍රඥාවන්තයින්ය; ව්‍යක්ත කථිකයින්ය; දේශ දේශාන්තර භාෂා ඥාණයෙන් පිරිපුන්ය. එහෙත් පසුකාලීන මේ රටේ බිහි වු විශ්ව විද්‍යාල ගුරුකුලයන් විසින් පෙර සඳහන් ප්‍රාඥයන් දියත් කළ සමාජ මෙහෙවෙර උඩුයටිකුරු කරන ලද්දෝය. සමහර මහැදුරෝ හෙළ වියකන අමු අමුවේ මරා දැමූහ. ඇතැම් චෝර වාදියෝ හින්දු සහ මහායාන පූජා විධි ජන ගත කරමින් මහත් වූ ශාසන විළෝපනයක් ඇති කළහ. සාහිත්‍යධරයින් හැටියට පෙනීසිටියෝ එකිනෙකාගේ පිටකසා ගනිමිනි නව කථාව, කෙටි කථාව, කවිය, ගීතය, නාට්‍යය, ආදී කලාවන් ඔවුන්ට පමණක් ගැලපෙන ප්‍රහෙලිකා බව ට පත් කළහ. අපි අද වන විට මේ අභබ්බ මතවාද තුල හිරවී කිසිවක් කරකියා ගත නොහැකිව වල්මත් වී සිටිමු.
තර්ජනාංගුලිය ඔසවා නොසරුප් වදන් දෙඩීමෙන් කෙනෙකුට අනගාරික ධර්මපාල තුමා විය නොහැකිය. අන්‍යාගමිකයන්ගේ සිදධස්ථාන විනාශ කළ පමණින් සිංහලේ සඟ රජු විය නොහැකිය. ඔහුට විය හැකි වෙන්නේ ත්‍රස්තවාදියෙකු පමණි. එවැනි පුද්ගලයින් වටා එක්ව සිටින්නේ ද වයින් කළ බෝනික්කන් වැනි කිසිදු සංයමක් නැති අමුතුම ජාතියේ මොන්ගල් පිරිසකි.
සිංහල බෞද්ධ ගැමියන් මහා බණ පොත හැටියට සැළකුවේ පන්සිය පණස් ජාතක පොතයි. එහි ඇති බෝසත් චරිතය ඔවුහු මහත් ආදරයෙන් වැළඳ ගත්හ. ඒ අනුව තම ජීවිතය ද සකසා ගැනීමට උත්සුක වූහ. චිංචි මානවිකාව, දේවදත්ත වැනි චරිත ඔවුන්ගේ අප්‍රශාදයට ලක් විය. නමුත් පසුකලෙක මෙම චරිත වලට සාධාරණයක් ඉටු කරන බව කියමින් නිෂ්පාදිත නාට්‍ය වලට ඉහළ පිළිගැනීමක් ලැබිණ. බහු ජන විඥාණයට අපහාස කෙරෙන සහ විකෘති කෙරෙන විවිධ කලා නිර්මාණ අපට උරුම කර දී තිබේ
“නවදැලි හේනක පෑව වැඳිරි රුව සේ උවමින් දෙනුවන් රවටා
මට පෙම් කළ ජනපද කළ්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා“
මෙය නව අරුතක් දෙන ඉතා කන්කළු ගීතයක් බව සැබවි. එහෙත් බුදු හිමියන් රැවටිලි කාරයෙකු ලෙස හැඳින්වීම සාධාරණද?
පන්සල්වල හන්දි ගානේ ඉදිකර ඇති බුදු පිළිම සියල්ලකම පෙනුම එකකට එකක් වෙනස්ය. බුදුරදුන් අප්පටි පන්න වුවත් ප්‍රතිමාවක් දැකීමෙන් සිතට නිකැළල් සතුටක් දැනෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහත් නා නා වේශ බුදු රූ තිබිය හැකි ද?
චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය නිෂ්පාදකයෝ මෑතක සිට භික්ෂු චරිත සිය නිර්මාණ වලට ඈඳා ගැනීමට මහත් අභිරුචියක් දක්වති. හෙළුවැල්ලෙන් දුවන පනින සාමනේර චරිත ද ඒ අතර වෙති. මේවා නරඹන බෞද්ධ ගිහි සමාජය විශේෂයෙන්ම කුඩා දරුවන් පන්සලේ හාමුදුරුවන් සහ නළු හාමුදුරුන් කෙසේ වෙන් වෙන්ව හඳුනා ගනිත් ද?
“මෙය ගෞතම බුදුන් ගේ දේශයයි“. යන්න මුර දේවතාවන්ගේ අළුත්ම සටන් පාඨයයි. එසේ නම් හින්දු, නිඝංඨ ,මහායාන, ඉගැන්වීම් වලින් කියවෙන යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විධි, ඒ දේශයේ පැවතිය හැකිද ? අපල උපද්‍රව වලින් මිදීමට ධන සම්පත් ලැබීමට විභාග ජය ගැනීමට ආදී දහසකුත් එකක් උවමනාවන් ඉටුකර ගැනීමට යැයි කියමින් ගස් ගල් ඇදහීම, සහ ඒවාට පුද පූජා දීමට යොමු කිරීම ගොයුම්ගොත් හිමි ගේ ක්‍රියා පිළිවෙතද,? ඉන්දියාවේ වඩක්ක කට්ටඩියන් විසින් මෙරටට ගෙනා බලි බිලි, යාග හෝම, තොවිල් පවිල්, පිදේනි, අණ විණ, වැනි යාතු කර්ම වලදී “ඕං බුද්ධාය නමඃ, ඕං ධම්මාය නමඃ , ඕං සංඝාය නමඃ“ යනුවෙන් තෙරුවන් නැමද වැඩ පටන් ගැනීම බුදුන්ගේ නියමය අනුව සිදුවන්නක්ද? බුදු රදුන් විසින් භික්ෂුන්ට තහනම් කළ චෝර කථා රාජ කථා වශයෙන් සඳහන් දෙතිස් කථා ද, මහා බ්‍රහ්මජාල සූත්‍රයේ අඩංගු දෙසැටක් මිත්‍යා දෘෂ්ඨික ධර්ම ද බුදුන්ගේ දේශය තුල පැළ පැදියම් වූයේ කෙසේද.?
කරුණු එසේ තිබියදී තම්බි ගෑණුන්ගේ මොට්ටැක්කිළිය සහ ගර්භාෂය වෙනස් කිරීමෙන් හෝ පල්ලි ගිණි තැබීමෙන් බුදු දහම නගා සිටුවිය හැකියැයි කවුරුන් හෝ සිතන්නේනම් උන් හඳුන්වා දීමට සුදුසු විශේෂණ පදයක් හෙළ බසේ නැති තරම්ය. මම කිසි විටකත් බල්ලන්, බූරුවන්, මී හරකුන් අහිංසක සතුන්ට අවමන් කිරීමට නොකැමැත්තෙමි.
“බසක් නම් රැසෙහි දිවියයි. රැස පහළ වූයේ ඒ හා මැය. රැස වැඩෙනුයේ ඒ හා මැය. යළි නැසෙනුයේ ද ඒ හා මය.“
මහා පඬි කුමරතුඟු මුනිදසුන් ඉහත පෙන්වා දී ඇත්තේ දෙස රැස රැක්මෙහි හෝ නැස්මෙහි මූල සාධකයන් ය. ඉතින් ජාතියේ මුර දේවතාවෝ කොහි සිටිත් ද?
සබැඳි ලිපි
නිඝංඨ ඉගැන්වීම් සහ භික්ෂු ඉගැන්වීම් සමාන වුවත් පැවැත්ම අසමාන වුනේ ඇයි ? ථෙර වාදය සහ චෝර වාදය.! (අංක 2)
ථෙර වාදය සහ චෝර වාදය..! අනේ හිමියනි කොහිද දැන්, දෙසා වදහළ අනගි බුදු බණ..?
---------------------------
by (2017-07-31 01:40:34)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි