නිඝංඨ ඉගැන්වීම් සහ භික්ෂු ඉගැන්වීම් සමාන වුවත් පැවැත්ම අසමාන වුනේ ඇයි ? ථෙර වාදය සහ චෝර වාදය.! (අංක 2)
(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.06, ප.ව.5.20) “බ්‍රාහ්මනෂ්‍ය මුඛ මාසීත් / බාහු රාජන්‍යක් කෘතක් - ඌරූ තදෂ්‍ය යත් වෛශ්‍යක් / පදභ්‍යාම් සුද්‍රො වජායතක්“
ලෝකයේ මැවුම් කරුවානන් වන මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණයාත් බාහුවෙන් ක්ෂත්‍රියාත් තට්මෙන් වෛෂ්‍යයාත් යටි පතුලෙන් ෂ්ද්‍රයාත් උපන් බවයි ඉහත කී බමුණු මතයෙන් කියවෙන්නේ. ක්‍රිස්තු පූර්ව හය වන සියවස වන විට ඉන්දියාවේ මහා බලසම්පන්නම පිරිස වූයේ බමුණන්ය. යටි පල්ලෙන් උපන් පහත්ම කුල හීනයා එනම් ෂ්ද්‍රයා හැර බාහුවෙන් සහ තට්ටමෙන් උපන්නෝ මහා බ්‍රහ්මයා වෙත කැන්දාගෙන යාමේ කොන්ත්‍රාත්තුව පැවරී ඇත්තේ තමන්ට පමණක් බව කී බමුණෝ ඒ සඳහා පාළකයන්ගෙන් (ක්ෂ්ත්‍රීය) සහ ව්‍යාපාරිකයන් ගෙන් (වෛෂ්‍යය) ඇති පදම් වරප්‍රශාද, පඬුරු පාක්කුඩම්, ගම් බිම් ආදිය ලබා ගත්හ. මේ සියළු දෙනාගේම කසළ සෝදකයා වූ කුල හීනයාට බ්‍රහ්මන් දැකීම මුළුමනින්ම තහනම්ය.
එදා බමුණන් සිය අභිලාශයන් සපුරා ගත්තේ, බිලි පුජා සඳහා සතුන් මැරීම හා කුලහීනයන් ඝාතනය කිරීම (පානාති පාතය) වංචනිකව සහ බලහත් කාරයෙන් අන්සතු දේ ගැනීම (අදත්තා දානය) ආත්ම ලාභය තකා ජනතාව බොරුවෙන් මුලාකිරීම (මුසාවාදාය) බ්‍රහ්මන්ගේ උවමනාවන් මත යැයි කියමින් ස්ත්‍රීන් දාස භාවයට පත් කොට ඔවුන් දූෂනය කිරීම, පීඩාවට පත් කිරීම හා ආගම ඇදහීම සීමා කිරීම ( කාම මිත්‍යා චාරය) යන සිවු වැදෑරුම් පර පීඩාවන් පදනම් කරගෙනය.
මේ හිංසාකාරි බමුණු ආධිපත්‍යයට එරෙහිව මුලින්ම නැගී සිටියේ පාර්ශව නාථ නම් ජෛන මුනිවරයාය. සත්‍යය, අවිහිංසා, අපරිග්‍රහ (දේපොළ තණහාවෙන් ඉවත් වීම) ආස්තේය (සොරකම් කිරීමෙන් වැළකීම ) එතුමා ගේ දර්ශණය තුල වූ මූලික ප්‍රතිපත්ති හතර ය. මෝක්ෂය ලැබීමට නම් මෙම සතර ශීලය අනිවාර්යයෙන්ම රැකිය යුතු බව එතුමා සිය ශ්‍රාවකයින්ට දේශණා කළහ.
ජෛනාගම භාරතයේ වඩාත් ප්‍රබල දර්ශණයක් බවට පත් කළේ පාර්ශව නාථ මුනිවරයාගේ අභාවයෙන් වසර දෙසීය පණහකට (250) පසුව ඉන්දියාවෙන් බිහි වූ වර්ධමාන මහාවීර නොහොත් නිගණ්ඨ නාථපුත්‍ර මුනි තුමාය. වේදේහ රටේ අගනුවර වූ වෛශාලියේ කුණ්ඩ ග්‍රාම නැමති ප්‍රදේශය පාලනය කළ ක්ෂ්ත්‍රීය වංශික සිද්ධාර්ථ රජ තුමා එතුමාගේ පියාය. මව ත්‍රිශූලා ය. සොලොස් වියේ දී යශෝධා නැමති රූමත් කුමරියක හා විවාහ වූවා ය. එතුමාට අනෝජා නොහොත් ප්‍රියදර්ශණ නමින් දියණියක් ද වූවා ය. මව් පියන්ගේ ඇවෑමෙන් වයස අවුරුදු තිස් දෙකේ දී දේවියත් දියණියත් මැදුරෙහි දමා මහ රෑ අභිනික්මන් කළ වර්ධමාන මහාවීර තුමා වනගතව වසර දොළහ හමාරක් අතිශය කර්කශ වූ දුෂ්කර ක්‍රියාවන් හී යෙදී අවසානයේ දී සදාකාලික විමුක්තිය වන කේවල භාවයට පත් වූහ. සතර දිසාව ඔහුගේ ඇඳුම (දිගාම්මබර) විය. එනම් නිරුවත්ය. අත්තකිලමතානු යෝගය ප්‍රගුණ කළ මහා වීර තුමාට අධික ශීතල මෙන්ම උණුසුම ද ගැටළුවක් නොවීය. ජෛනාගමේ අවසාන ශාස්තෘ වරයා මහාවීර වන අතර එතුමාට පෙර සාශ්තෘ වරුන් විසි තුන්දෙනෙකු සිට ඇත. අංග, මගධ, මිථිලා, කෝශල, යන ජනපද වල සිය ධර්ම ප්‍රචාරය කළ මහාවීර තුමා වයස අවුරුදු හැත්තෑ දෙකේ දී උපවාසයෙහි යෙදී සිටියදී පරලොව සැපත් විය. බමුණන් විසින් පහත් කොට සැළකූ කන්තාවන් ජෛනාගමේ ශ්‍රාවිකාවන් කර ගැනීමට මහාවීර තුමා පසුබට නොවීය. ජෛන මෙහෙණියෝ සුදු වස්ත්‍රයක් පෙරවූහ. පසු කාලීනව නිරුවත අතහැර සුදු රෙදි කඩක් පොරවන නිකායක් ද ජෛනාගම තුල බිහි විය. ඔවුහු ‘සේතාම්බර‘ නම් වූහ.
බුදුන් වහන්සේ සහ මහා වීරතුමා සම කාලීන වුවත් දෙදෙනා කිසි විටකත් මුණගැසී ඇති බවට ශාසන ඉතිහාසය තුල තොරතුරු නැත. එතුමාගේ ශ්‍රාවකයෝ නිඝංඨයෝ ය. කෙලෙස් ගැට නැති බැවින් නිර් ග්‍රන්ථී හෙවත් නිඝංඨ යැයි කියති. මහාවීර තුමානෝ පාර්ශව නාථ මුනිවරයාගේ සතර ශීලයට බ්‍රහ්මචාරී යන සිල් පදය එකතු කොට පංච ශීලයක් හඳුන්වා දුන්හ.
මිනිසා ඇතුළු සියළු සත්වයන්ට පමණක් නොව ගස් ගල් ආදියටද ප්‍රාණයක් ඇති බව ජෛනාගම කියයි. ඒවා ඒකේන්ද්‍රීය ප්‍රාණීන් (එක ඉන්ද්‍රියක් සහිත ප්‍රාණින්) ලෙස හැඳින්වේ. ගසකින් කොළයක් කැඩීමත් පාපයක් බව කියති. නිඝංඨ ශ්‍රාවකයෝ වර්ශා කාලයේ දී පිඬු සිඟා නොයති. ඒ වැසි කල උදාවෙත්ම දළු ලා වැඩෙන ඒකේන්ද්‍රීය ප්‍රාණීන් පයට පෑගී මැරෙන නිසාය. වර්ශාව නිමා වෙන තුරු ඔවුහු සිය අසපු වල වස් වසති.
ජෛනයෝ පව් පිං ඉතා ඉහළින්ම විශ්වාස කළහ. සත්වයා නැවත නැවත මැරී මැරී උපදින්නේ ඔහු කරන කර්මය නිසාය. කර්මය ප්‍රහීන කළ විට නැවත උප්පත්තියක් ද නැත. සත්වයා භූත සහ ආත්ම වශයෙන් කොටස් දෙකකට බෙදේ. භූත හෙවත් භෞතිකය විනාශ වෙයි. කර්මය නිරුද්ධ කරන තුරුම ආත්මය මැරි මැරී උපදී. ජෛන දහම කෙරෙහි සිත්හී ඇති කරගත් නිවැරදි විශ්වාසය, නිවැරදි දැනුම, නිවරැදි පැවැත්ම, යන තුන් වැදෑරුම් රත්නයන්ට (ත්‍රිවිධ රත්නය) අනුව සත්‍යය, අවිහිංසා, අපරිග්‍රහ, ආස්තේය, බ්‍රහ්මචාරි, යන පංච ශීලය රකිමින්, පව් පිං විශ්වාස කරමින්, කර්ම රැස් කිරීමෙන් වැළකී, අත්තකිලමතානු යෝගීව බවුන් වැඩීමෙන් ශීල සිද්ධ නම් වන අති පාරිශුද්ධ සදාකාලික විමුක්තියට පැමිණෙන බවයි ජෛන දහමෙන් උගන්වන්නේ. පූර්ව සහ අංග නමින් හැඳින්වෙන ග්‍රන්ථ විසි හයක (26ක) ජෛන ධර්මය අන්තර් ගත කර තිබේ.
බුදු රදුන් පිරි නිවී වසර පන් සීයයකටත් වඩා අඩු කාලකදී බුදු දහම ඉන්දියාවෙන් මැකී ගියේය. බුද්ධ කාලයටත් පෙර බිහි වූ ජෛනාගම අදටත් ඉන්දියාවේ නිරුපද්‍රිතව පවතී. ජෛනාගමෙහි සඳහන් කර්මය, පව් පිං, පුනරුප්පත්තිය, පංචශීලය භාවනා ක්‍රම, සරළ පැවත්ම. උපවාස, ආදී ඉගැන්වීම් එහි චිර පැත්මට හේතු වී ඇති බවයි ආගම් සහ සමාජ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ජීවිතය මරණයෙන් අවසන් වෙනවාට වඩා කොතන කොතන හෝ නැවත නැවත උපදින්නට අප කවුරුත් කැමතිය. පුනරුත්පත්තියක් නැතැයි දේශනා කළා නම් ජෛනාගමට ද පැවත්මක් නැති වෙන්නට ඉඩ තිබුනි.
නිඝංඨයන් සහ ශ්‍රී ලංකාව අතර මහින්දාගමනයටත් පෙර සිට දැඩි සම්බන්ධතායක් පැවති බවට ඉතිහාසය ශාක්ෂි දරයි. පණ්ඩුකාභය රජතුමා විසින් ජෝතිය, ගිරි, කුම්භාණ්ඩ, යන නිඝංඨයන් තිදෙනාට ආරාම තුනක් සාදා දුන් බව මහා වංශය කියයි. පසු කාලයක වළගම්බා රජතුමා වසින් අභයගිරි විහාරය ඉදි කළේ ‘ගිරි‘ නම් නිඝංඨයාගේ ආරාමය කඩා දමා බව ද කියවේ.
ජෛන ආගම තුල නාගයාට විශේෂ පූජනීයත්වයක් ලැබී තිබේ පාර්ශවනාථ මුනි තුමා , දරණ නම් නාගයකු ගැන සඳහන් කර ඇත. අපේ රටේ ද හින්දු සහ සිංහල බෞද්ධ ජනතාව නාගයින් කෙරහි දක්වන්නේ ගෞරව සම්ප්‍රයුක්ත බියකි. නාගයින් වෙනුවෙන් කෝවිල් ද ඉදි කර තිබේ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැලිමුව පොතානතාන නැමති ගමේ ඇති තවමත් දකින්ට ලබෙන ‘නාග තම්බි රාණි කෝවිල‘ ජෛන ආභාෂයක් ද යන්න විමසා බැලිය යුතුය. පුරා විද්‍ය කැණීම් වල දී හමුවන නයි පෙන සහිත ප්‍රථිමා ජෛන මහා වීර තුමාගේ බවට ඉතිහාසඥයෝ සැක කරති. මෙම පිළිම බුද්ධ ප්‍රතිමා වලට හැම අතින් ම සමානය. වෙනසකට ඇත්තේ ජෛන ප්‍රථිමා වල සිවුර නැති කම පමණි. එනම් නිරුවත්ය. සේරුවිල මහා සෑය ආරක්ෂා කරනු ලබන්නේ දරණ නම් නාග රාජයා බවට විහාර වාසී භික්ෂූන් වහන්සේලා ප්‍රසිද්ධියේම කියති. එම භූමියෙන් ද නයිපෙන සහිත පිළිම හමු වී තිබේ. දැනට අවුරුදු කීපයකට කලින් මහනුවර නගරයේ වෙළෙන්දෙකු නිරුවත් බුද්ධ පිංතූර අලෙවි කළ බවට චෝදනා කරමින් පොලීසියෙන් අත් අඩංගුවට ගත්තේය. ඒ සම්බන්ධයෙන් කළ විමර්ශණ වලදී හෙලි වී ඇත්තේ එම පිංතූර ඉන්දියාවෙන් ගෙන්වා ගත් මහාවීර තුමාගේ පිංතූර බවයි.
බුදුන් වහන්සේ ද උපසපන් භික්ෂුන්ට වස් වසන ලෙසට අනුදැන වදාලේ මහා වීර තුමා අනුව යමින් බව බෞද්ධ පොත පතෙහි ඉතා පැහැදිලිව සඳහන් වේ. ඇතම් විනය නීතිද නිඝංඨ ඇවැතුම් පැවැතුම් වලට සපුරා සමානය. නැවත නැවත ඉපදීම, පවු පිං හා කර්මය, ආදිය ගැන කරන දේශනා වන්හී ද ලොකු වෙනසක් නැත. මේ අතර බුදුරදුන් කාමසුඛල්ලිකානු යෝගය මෙන්ම අත්ථකිළමතානු යෝගය ද ප්‍රතික්ෂේප කළ බව කියැවේ. ඉන්දියාවේ අදටත් වාසය කරන නිඝංඨයෝ සිය අනුගාමිකයන්ගේ නූල් පොටක්වත් බලාපොරොත්තු නොවෙති. ඔවුන්ගේ එකම අභිලාශය සිරුරට දැඩි සේ දුක් දී අවසානයේ උපවාසයෙන් මිය යාමය. විමුක්තිය ලැබීමට ඇති එකම මග එයම බව ඔවුන්ගේ පිළි ගැනීමයි. ඉන්දියාවේ නිඝංඨයන්ගේ සහ ලංකාවේ භික්ෂුවගේ ඉගැන් වීම බොහෝ දුරට එක හා සමාන නමුත් පැවැත්ම අසමානය.
බෞද්ධ දර්ශණය තුල අඩංගු ත්‍රිලක්ශණය, හේතු ඵල වාදය, චතුරාර්‍ය සත්‍ය ආදී ගැඹුරු ධර්ම කාරණා පිළිබඳව සිහි නුවණින් විමර්ශණය කරන්නෙකුට නිඝංඨ දහම සහ බුදු දහම අතර ඇත්තේ අහසට පොළව බදු වෙනසක් බව හැඟී යන්නේය. එසේ නම් මේ නිර්මල වූ බෞද්ධ දර්ශනය සමග නිඝංඨ ඉගැන්වීම් අනා ගත්තේ ඇයි ද ප්‍රශ්ණයකි. සරලම පිළිතුර වන්නේ ථේර වාදයෙන් බිඳී ගිය බඩ ගෝස්තරවාදී චෝරවාදීන්ට තම කාම සුඛල්ලිකානුයෝගය තවදුරටත් පවත්වාගෙන යාමට ඇති හොඳම සහ එකම මාර්ගය එය නිසාය. මෙයින් පැහැදිලි වන්නේ මහාවීරයන්ගේ ශාසනය දිගාම්බර, සේතාම්බර සහ ‘කාසාම්බර‘ වශයෙන් කොටස් තුනකට බෙදී ඇති බව නොවේද?
ආර් ජී ධර්මදාස විසිනි
---------------------------
by (2017-07-31 01:39:07)
ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.
Read 66438 Times
Leave a Reply