විසල් කරුණාරත්න විසිනි
(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.03, ප.ව.2.45) සිදු වී ඇති ව්‍යසනය සුනාමියට පමණක් දෙවැනි වන දැවැන්ත විනාශයකි. ජීවිත පමණක් 300 ඉක්මවා විනාශ වී ගොස් ඇත. ගම්මාන පිටින් නිවාස සහ දේපොල විනාශ වී ඇත. මීට පෙර 2003 දී මෙම ප්‍රදේශම ගංවතුරට යට වී අද්දැකීම් ඇති නමුත් මෙවර ගංවතුර ජලය අධික සැඩ පහරින් යුක්ත විය.
විනාශය වලක්වා ගත හැකි ව තිබුණි දැයි කතිකාවක් මේ වන විට ඇති වෙමින් තිබේ. ඇද හැළුනු අධික වර්ෂාපතනය ඒ මොහොතේදීම දැනුවත් කළේ නම් ජීවිත හානි වලක්වා ගත හැකිව තිබුණි යැයි අදහසක් ද පවතී. නමුත් මා නම් ඒ ගැන එලෙසම හිතන්නේ නැත. වැඩි ජීවිත ප්‍රමාණයක් විනාශ වී ඇත්තේ නාය යෑම් නිසාය. අනතුරුදායක ස්ථාන වල පදිංචි වීම, ඉවත් වෙන්න යැයි කරන ලද පෙර දැනුම් දීම නොසලකා හැරීම වැනි හේතු ලැයිස්තුවක් අපට පෙල ගැස්විය හැකි නමුත් නායයෑම් සිදු වූ ක්ෂණික මෙන්ම රාත්‍රී කාලය නිසා අනතුරු වළක්වා ගැනීමට ඉතා අසීරුය. තවත් ප්‍රදේශ වලට නායයෑම් අනතුරු ඇඟවීම් පවා කර තිබුනේ නැත. වතුර මට්ටම ඉහලට එන්නේ මධ්‍යම රාත්‍රියද පසු වීය. දැඩි ගංවතුර තත්වයක් ඇති වූ නිල්වලා නිම්නයේ පිටබැද්දර, දෙහිගස්පෙ වැනි ප්‍රදේශ වල නිවාස ඇතුලට වතුර එන්නේ පාන්දර දෙකට පමණය. වතුර මට්ටම ගැන අවධියෙන් සිටි අය වෙනත් ස්ථාන කරා ගියද බොහෝ අය තමන්ට වතුර දමා ඇති බව දැන ගත්තේ අවසන් මොහොතේදී ය. නාය යෑම්ද බොහොමයක් සිදු වූයේ රාත්‍රියේ බැවින් පෙර නාය යෑම් ලක්ෂණ නිරීක්ෂණය වීමට අවස්ථාවක් තිබී නැත. වතුර මට්ටම ඉහළ ගිය සෑම ප්‍රදේශයකම විදුලිය විසන්ධි කිරීම හෝ වීම නිසා ප්‍රධාන දහරාවේ නිවේදන මේ ජනතාවට සංනිවේදනය වූයේ ද නැත. මේ තත්වය මත අනපේක්ෂිත ලෙස ජිවිත හානි වැඩි වීම ස්වභාවික තත්වයක් බවට පත් විය හැකිය. දුරකථන රැහැන් කැඩී යෑම සහ ජංගම දුරකථන වල බලය වියැකී යෑම මත බොහෝ ප්‍රදේශ සංනිවේදනය නැති හුදකලා ප්‍රදේශ බවට පත් විය. ඉහල වතුර මට්ටම හේතුවෙන් පිටබැද්දර, මාරඹ, මොරවක වැනි ප්‍රදේශ වලට ආරක්ෂක හමුදා පවා ලඟා වූයේ දිනකට පමණ පසුවය.
කෙසේ වෙතත් මේ සටහන මූලිකව ඉලක්ක කරන්නේ පසුගංවතුර තත්වය කළමණාකරණය කිරීම සම්බන්ධව රජයේ මැදිහත් වීම ගැන මාගේ නිරීක්ෂනයන් කිහිපයක් ඉදිරිපත් කිරීමයි. හිනිදුම-තවලම-පිටබැද්දර මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක සේවය කරන්නෙක් ලෙසද, එනිසාම වසර දෙකක පමන කාලයක් මොරවක, අකුරැස්ස ආදී ප්‍රදේශ වල නිතර සැරිසරන්නෙක් ලෙසද මාගේ නිරීක්ෂනයන් පදනම් වන්නේ උක්ත කලාපයන් ආශ්‍රිතව බව සැලකිය යුතුය.
විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් නඩත්තු කිරීම සහ එහි කාර්යක්ෂමතාවය ගැන අපට නිතර විවේචනයක් තිබුනත් ඇති වූ ව්‍යසනයේදී රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රශස්ත මට්ටමෙන් ක්‍රියාත්මක වූ බව කීමට මා කිසිවිටකත් පැකිලෙන්නේ නැත. ඔවුන්ගෙන් ‘ස්පයිඩර් මෑන්‘ ගේ වික්‍රම බලාපොරොත්තු වීම ප්‍රායෝගික නැති බව සියළු දෙනා පිළිගත යුතුය. නමුත් ආපදාවට පත් වූ සෑම කෙනෙක් වෙතම පාහේ ඉක්මන් සහනයන් රැගෙන යෑමට තරම් රාජ්‍ය යන්ත්‍රය කාර්යක්ෂම විය. ජීවිත විශාල ගණනාවක් බේරා ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් විය. ඇත්ත වශයෙන්ම හානියට පත් වූ ප්‍රදේශ ගැන අවබෝධයක් ඇත්තේ අදාල ප්‍රදේශයේ ජීවත් වන අයටය. එම කාර්යයන්හිදී අදාල ප්‍රදේශය වල පොලිසි සහ අනෙකුත් රාජ්‍ය ආයතන මැදිහත් වී හැකිතාක් හානියට පත් වූවන් සහ ක්ෂණික ආධාර අවශ්‍ය වූවන් ආවරණය කර ගැනීමට සමත් වී ඇත.
ගංවතුර තත්වයක් ඇති වූ විට විදුලිය මගින් සිදුවිය හැකි අනතුරු වලක්වා ගැනීමට සාමාන්‍යයෙන් විදුලිය විසන්ධි කරන බව අප දනිමු. මෙම ව්‍යසනයේදී අකුරැස්ස-පිටබැද්දර අතර විශාල ප්‍රදේශයක ගස් සහ කඳු කඩා වැටීම හේතුවෙන් විදුලි කණු කඩා වැටී තිබුණි. තවලම-මල්පුදනැල්ල B 156 මාර්ගයේද විදුලි කණු විශාල ගණනක් හානි වී තිබුණි. මොරවක ප්‍රදේශයට යන විට හානිය ඊට වැඩිය. තත්වය එසේ බරපතලව තිබිය දීත් 28 වෙනිදා වන විට පිටබැද්දර බොහෝ ප්‍රදේශ වලට විදුලිය යථාතත්වයට පත්විය. 29 වෙනිදා සවස 4 වන විට තවලම ට විදුලිය ලැබුණේය. 2003 ගංවතුරේදී විදුලිය යථාතත්වයට පත් වීමට ගත් සතියකට වැඩි කාලය සැසඳීමේදී වැඩි ඊට වැඩි තීව්රතාවයකින් යුතු මෙවර ගංවතුරේදී දින දෙකකින් විදුලිය යථාතත්වයට පත් වීම සැලකිය යුතු කාර්යක්ෂමතාවයකි. විදුලිය යථාතත්වයට පත්වන අනුපාතිකව ජංගම දුරකථන සක්‍රීය වූ අතර එමගින් සංනිවේදන දුෂ්කරතා නැති වී ගියේය.
තවලම-හිනිදුම මාර්ගයේ 5 සිට 7 දක්වා කිලෝමිටර් අතර ස්ථාන දෙකකින් පාර හෑරී විනාශ වී ගමනාගමනය අවහිර වී තිබුණ අතර මාර්ග සංවර්ධන අධිකාරිය වහා ක්‍රියාත්මක වී විනාශ වී ඇති තැන් තාවකාලිකව පිලිසකර කර ගොඩ බිම් මාර්ගය විවෘත කරන ලදී. ස්ථාන කිහියකදී පස් කඳු කඩා වැටී අවහිර වූ ස්ථානද පස් ඉවත් කර ධාවනයේ බාධා ඉවත් කර තිබුණි. 28 වන දින වන විට හිනිදුම-පිටබැද්දර මාර්ගයේ ගොඩබිම් ධාවනය යථාතත්වයට පත් විය. විශාල වශයෙන් පස් කඳු කඩා වැටී අවහිරව තිබූ අකුරැස්ස දෙනියාය මාර්ගයද 28 වෙනිදා වන විටම වගේ යථාතත්වයට පත් කර ගැනීමට හැකි විය. මෙය අතිශයින් වැදගත් වන්නේ පමාවකින් තොරව අධාර ගලා යෑමට ගොඩ බිම් මාර්ගයන් විවෘත වීම නිසා ය.
ගංවතුර බැස ගිය පසුව තම නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වලට පැමිණි ජනයා පළමුව අත්දුටුවේ තමන්ගේ බඩු බාහිරාදියට සිදුවී ඇති විනාශයයි. බොහෝ දේවල් නැවත පරිහරණය කිරීමට නොහැකි ලෙස අපවිත්‍ර වී ඇති බවයි. පුටු කුෂන්, මෙට්ට, ඇඳුම්, පොත්පත්, විදුලි උපකරණ, ආහාර ද්‍රව්‍ය ආදිය මේවා අතර විය. සෑම නිවසක් සහ ව්‍යාපාරික ස්ථානයක් අසල විශාල කුණු ගොඩවල් ගොඩ ගැසීමට වැඩි කාලයක් ගත නොවීය. බොහෝ ව්‍යාපාරික ස්ථාන වලින් සහල් පරිප්පු, ලූණු වැනි දේවල් මිටි පිටින් පාර දෙපස ගොඩ ගැසුනේය. සාමාන්‍ය තත්වයක් යටතේදී ද කසල බැහැර කිරීමට අසමත් ප්‍රාදේශීය සභාවලට මෙම තත්වය මහත් අභියෝගයක් බව කිව යුතු නැත. නමුත් රාත්‍රියේ පවා ක්‍රියාත්මක වී එම කුණු කඳු ඉවත් කර නගර යථා තත්වයට පත් කර ගැනීමට තවලම, අකුරැස්ස සහ පිටබැද්දර ප්‍රාදේශීය සභා සමත්ව තිබුණි. මේ වන විට එම නගර මුළුමණින්ම වාගේ සාමාන්‍ය තත්වයට පත් වී ඇත.
වඩාත්ම සංකීර්ණ සහ විවේචනයන්ට ලක් වන්නේ සහනාධාර බෙදා හැරීමේ වැඩ සටහනයි. ඇත්ත වශයෙන්ම සහනාධාර අවශ්‍ය අයට සහන ලැබුනාද, රාජ්‍ය යන්ත්‍රය සැබෑ ලෙසම සහන ලැබිය යුත්තන් කරා යෑමට සමත් වූවාද යන්න ගැන නිශ්චිත ලෙස පැවසීමට තරම් මාගේ නිරීක්ෂණ වපසරිය ප්‍රමාණවත් නැත. මට හමු වූ සියල්ලම පාහේ තමන්ට ප්‍රමාණවත් ලෙස ආධාර නොලැබුන බව පැවසූවත් කිසිම දෙයක් නොලැබුණා යැයි කිවේ නැත. රජයේ මැදිහත් වීමෙන් මේ වන විට සහනාධාර මළු වට තුනක් බෙදා හැරිය බව කීවේ තවලම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකි. අවිධිමත් ලෙස වියලි ආහාර නිරන්තරයෙන් බෙදා හැරෙන බවත් සමහර පවුල් වලට ඉදිරි මාස තුන හතරකට ප්‍රමානවත් වියලි ආහාර ලැබී ඇති බවත් ඔහු වැඩි දුරටත් කිවේය. ජූනි තුන් වෙනිදා එනම් අද වනවිටත් තවලම ආශ්‍රීතව පිසූ ආහාර ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මකය. පානීය ජලය අවශ්‍ය ඕනෑම කෙනෙකුට පැමිණ ලබා ගැනීමට හැකි ආකාරයට වතුර බෝතල් පිටබැද්දර පොලිසියේ තබා ඇත. මේ වන තෙක් කිසිදු විවේකයකින් තොරව සහන කටයුතු වල නිරත වූ බව පිටබැද්දර පොළිස් නිළධාරීහු කියා සිටියහ. ගංවතුරින් දැඩි ලෙස නිවාස හානි වූ පිටබැද්දර පහල කොටස් වල ජනයාට නොකඩවා ආහාර සහ පානීය ජලය ලබා දීමට එම යාන්ත්‍රණයට හැකි වී තිබුණි. ගංවතුරින් පීඩාවට පත් වූ කිසිදු අයෙක් ආහාර නැතිව මැසිවිලි නඟනවා එම ප්‍රදේශයෙන් මා හට හමු වූයේ නැත. සුළු දේටත් පාරවල් හරස් කරගෙන උද්ඝෝෂණය කිරීම විනෝදාංශයක් කර ගත් මේ ප්‍රදේශයේ ජනතාව මේ වන තෙක් සහනාධාර ලැබුනේ නැතැයි කියා කිසිදු විරෝධයක යෙදී නැත. එය යම් ආකාරයක සහනාධාර විධිමත් ලෙස බෙදා හැරෙන බවට ඇති සහතිකයකි.
මීට අමතරව නාවුක හමුදාව මගින් හිනිදුම රෝහල පිරිසිදු කිරීමේ කාර්යයන් වල නිරත වූ ආකාරයත් ජංගම රථයක් මගින් ලිං පිරිසිදු කර දෙන ආකාරයත් නිරීක්ෂණය විය. විශ්ව විද්‍යාල සිසුන් සහ තවත් ස්වේඡා සංවිධාන ද පිරිසිදු කිරීමේ කටයුතු වල යෙදෙන ආකාරයත් සෞඛ්‍ය සේවා පවත්වන ආකාරයත් මේ ප්‍රදේශයේ දැක ගත හැකිය. මේ අතරේ ජවිපෙ රතු තරුව බලකාය නමින් පිරිසක් ප්‍රචාරාත්මකව යම් යම් කාර්යයන් වල යෙදී සිටී.
මීට පෙර ව්‍යසනයන්වලදී රජයේ මැදිහත් වීම ලෙස අප දැක්කේ දේශපාලඥයින්ගේ මැදිහත් වීමය. නමුත් මෙවර වැදගත්ම දේ වන්නේ ආදාල කාර්යයන් වල නිරත වන්නේ ඒ කාර්යයන්ට අදාල අය පමණක් වීමය. කිසිදු දේශපාලඥයෙක් ප්‍රචාරකවාදී ලෙස රඟපානවා නම් දැක ගැනීමට නැත.
මේ වන විට බොහෝ දුරට සාමාන්‍ය ජන ජීවිතය යථාතත්වයට පත් වෙමින් තිබේ. සිදු වී ඇති දේපල හානිය නැවත යථා තත්වයට ගෙන ඒමට මේ ජනතාවට තවත් කාලයක් වෙහෙස වීමට සිදු වනු ඇත.
(බී 156 තවලම ඕපාත පාරේ කි.මී. 5-7 අතර මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යලි විවෘත කිරීමෙන් පසු සේයාරූ මෙහි දැක්වේ. මෙම මාර්ගයට පමණක් සිදුව ඇති හානිය රු.මිලියන 25 කට අධිකය)
---------------------------
by (2017-06-03 09:19:10)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි