(ලංකා ඊ නිව්ස් -2017.මැයි.31, පෙ.ව.9.45) සිදුහත් තවුසාණෝ බුද්ධත්වයට පත් වූ සැණින් තුන්ලොව බලා ඉතා වැදගත් තීරණයකට එළඹුනාහ. එනම් තමන් වහන්සේ අවබෝධ කරගත් ගැඹුරු ධර්මය නිවරැදිව වටහා ගැනීමට තරම් බුද්ධිමතුන් ලෝකයේ නොමැති නිසා ධර්ම දේශණා කිරීමෙන් වැළකී සිටීමය. බුදු සිත දුටු මහා බ්‍රහ්මයා උන්වහන්සේ වෙත පැමිණ බුදු බණ අවබෝධ කරගැනීමට සමත් බුද්ධිමතුන් ලොව සිටින බව පෙන්වා දී ධර්මය දේශණා කරන ලෙසට ඇයද සිටියේය. මහා කාරුණිකයාණෝ බ්‍රහ්මාරාධනය පිළිගෙන සෙස්සන්ට නිවන්මග පෙන්වා දීමට පුරා පන්සාලිස් වසක් වෙහෙසුනාහ. එහි ප්‍රථිපලයක් හැටියට බොහෝ දෙනෙකුට සසර කතරින් එතර වීමට හැකි විය. එහෙත් බුදු සසුනෙහි පැවිදි වූ සියල්ලෝම නිවන් මග නොදුටුවා පමණක් නොව සමහරුන්ට පණ පිටින් අපාගත වීමට ද සිදුවිය. ඒ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට එරෙහි වීම නිසාය. මේ සියලු කරුණු කාරණා ශාසන ඉතිහාසය තුල ඉතා මැනවින් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් බුදුන් ජීවමානව සිටිය දීම සංඝ සමාජයේ ඇතැම් භික්ෂූහූ උන්වහන්සේගේ ධර්මය අභියෝගයට ලක් කළහ. ඡබ්බගිගිය, සන්තරස වග්ගිය, වැනි කණ්ඩායම් බුදුන්ට එරෙහිව විරොධතා පැවත්වූහ. දේවදත්ත, සුණක්ඛත්ත, අරිට්ඨ සාති, වැනි භික්ෂූන් බුදු රදුන් සමග ගොබ්බ වාද සඳහා අභියෝග කිරීමට තරම් නිර්ලජ්ජී වූහ. බුදුහිමියන්ට පාරිලෙයිය වනයට වැඩම කොට එහි වස්වීමට තරම් වැඩ සිද්ධ කළේ ද මේ පවු කාර භික්ෂූන්මය. උන්වහන්සේ පිරිනිවන් පෑ පසුව සුභද්‍ර නම් වූ බුඩ්ඩ පබ්බජිතයා, “අලං ආවුසෝ මා සෝවිත්ත මා පරිදේවිත්ත“ ආදී වශයෙන් නන් දොඩවමින් “බොලං ඇවතුනි ශෝක නොකරව්, විළාප නොදෙව්, අපට නීතී පැනවූ මහ ශ්‍රමණයා දැන් නැත. මින් පසුවට අපට ඇවසි ඇවසි දේ කළ හැකිය“ යනුවෙන් කළ ප්‍රකාශය මහ රහතුන් පවා ධර්ම සංවේගයට පත් කරන්නක් විය.
බුද්ධ පරිනිර්වානයෙන් වසර දෙසීය දහ අටක් තුල මහ රහතුන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් සංඝායානා තුනක්ම සිදු කළේ මේ පාපී භික්ෂු ප්‍රතිරූපකයනගෙන් බුදු දහම බේරා ගැනීමටය. තුන්වැනි ධර්ම සංඝයානාවෙන් පසුව මිහිදු මහ රහතුන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ එසේ පිරිසිදු කරගත් ථේර වාදී බුදු දහම ය. පසුව මහා විහාරය සහ අභය ගිරිය අතර හටගත් ගැටුම් හේතුවෙන් ලක් වැසි බෞද්ධ භික්ෂු සමාජය ද භේද බින්න වී ගියේය. ථේර වාදය අහෝසි වී චෝර වාදය හිස ඔසවන්නේ එයින් පසුවය. ලංකාවේ අද පවතින්නේ එකී චෝරවාදී බුද්ධාගමය.
ථේර වාදීන්ගේ පිළි ගැනීමට අනුව බුදු පසේ බුදු මහ රහත් යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ නිවන් සාක්ශාත් කළ හැකිය . පෙර සඳහන් කළ ගැටුම් වලින් පසුව බිහි වූ මහා යානිකයන් අවධාරණය කරන්නේ බුද්ධත්වය ලැබීමෙන් ම නිවන් මග අවබෝධ කරගත යුතු බවයි. එබැවින් සෑම පුද්ගලයෙකුම බෝධිසත්වයෙකු බවද ඔව්හු වදාරති. චෝර වාදියෝ මේ මත දෙකම ප්‍රතික්ෂේප කරති. ඔවුන් ගේ දර්ශණය වන්නේ මෙලොව සහ පරලොව ඇති තාක් කම් සැප විඳ ඒ සැප එපා වූ දවසක කැමතිනම් නිවන් අවබෝධ කරගැනීම සුදුසු බවයි.
තමන් අවබෝධ කරගත් මේ චෞර ධර්ම මාර්ගය ඔවුන් සිය ශිෂ්‍ය පරම්පරාට ද කියා දී ඇත. මහායානිකයන් හෝ ථේර වාදීන්මෙන් වහ වහා නිවන් දකිනවාට වඩා, දෙව්, මිනිස්, මාර, බ්‍රහ්ම ආදී ලෝක වල ඉපදි ඉපදී ජොලියේ ජීවත් වීම නිවනින් චුත වෙනවාට වඩා කොතරම් සැපක් දැයි චෝර වාදී ගිහියන්ගේ ද පිළිගැනීම වී ඇත. අත් වැරදීමකින් හෝ ප්‍රේත තිරිසන් අසුර ආදී නරක තැනක උත්පත්තිය ලබන්නේ නම් එය ද තැති ගැනීමට කරුණක් නොවන්නේ ජීවත් වන්නන් විසින් එක පින් අනුමෝදනාවකින් සැප ඇති ස්ථානයක් පිළියල කර දෙන නිසාය. බුදුන් වදාළ පටිච්ච සමුප්ප වාදය හෝ චතුරාර්ය සත්‍ය හෝ චෝර වාදයට අදාලම නැත. චෝර වාදයේ මූලික හරය වන්නේ ද තමන් කරන කුසල් අකුසල් වලට වඩා අනුන් කරන කුසල් අකුසල් බලවත් බවය. ඒ අනුව පිං ට්‍රාන්සර් කළ හැකිය.
ථේර වාදී භික්ෂූන්ට බුදු රදුන් දෙසූ විනය නීති තුන්සිය අටම චෝරවාදීන්ට කැපය. සතර පාරාජිකාවටම පත් වුවත් මහණ කමට අවැඩක් නොවේ. බෝසතුන් විසින් අළුයම ලූ කෙළ පිඩක් සේ සිය රජ සැප ඉවත ලෑම මොවුන්ට සමච්ලයට කාරණයකි. ධර්මාසනයේ සිට කළ නොහැකි දෑ මන්ත්‍රී ආසනයේ සිට කළ හැකි බවට විශ්වාස කරති. දේශපාලකයන්ට කඩේ යාම, ත්‍රිපිටකය වෙනුවට ගිහියන්ට නියමිත අධ්‍යාපනය හැදෑරීම, තන්හාව ප්‍රහීන කරනවා වෙනුවට තව තවත් විහාරාම වතු පිටි, යාන වාහන, මිළ මුදල් රැස්කිරීම; සුරා මේරය ඇති පදං දෂ්ඨ කිරීම, තන්හා රතී රඟා සමග වුව රමනයේ යෙදීම; ආචාර්ය මහාචාර්ය දුරා චාර්ය ආදී තනතුරු වලින් සෝභමාන වීම; ආදිය මහත් ඵල මහානිශංස කුසලයන් සේ ඔවුහූ දකිති.
“ ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා බය තජ්ජිතා “ආදී වශයෙන් බියෙන් තැතිගත් මෝඩ මිනිසුන් ගස් ගල් පිළිම යනාදියේ පිහිට පතන බවට බුදු හිමියන් කළ පෙන්වා දීම් චෝර වාදියෝ බැහැර කරති. ජප නූල් බැඳීම, ගස් ගල් වලට පූජා පැවත්වීම, කේන්දර බැලීම, සෙත් වස් කවි කීම, හදි හූනියම් කිරීම, හැරගිය අය ගෙන්වා දීම, එපා වූ අය ඈත් කිරීම, චෝර වාදයේ මූල ධර්මයන්ය. “තාරකා කිං කරිස්සති“ යන බුදු වදන චෝර වාදීන්ගේ නිග්‍රයට ලක්වේ.
ගීතස්වරයෙන් දහම් දෙසීම, ගිහියන් විසින් දෙනු ලබන ආහාර පානාදිය රසයි ප්‍රනීතයි යනුවෙන් වර්ණනා කිරීම, “මෛහ මේව දේ තබ්බන් මෛහ මේව දේ තබ්බන් “ මටම දීපන් මටම දීපන් කියමින් තව තවත් ඉල්ලා සිටීම, ගිහියන් සමග ගැටුම් ඇති කර ගැනීම, ආදිය භික්ෂුවක විසින් නොකළ යුතු බව බුදුන් අනු දැන වදාලාහ. නමුත් චෝර වාදය තුල මේවා හිස්මුදුනින් පිළිගනී.
සත්වයකුගේ ප්‍රතිසංධිය සිදු වන්නේ ඔහු කරන කුසලා කුසල කර්මයන් මත බව ථේර වාදය කියයි. බොහෝ කාලයක් තිස්සේ චෝරවාදී බුදු දහම ම අසන දකින අපට ද මේ කාරණය වටහා ගැනීම තරමක් අපහසුය. තේරුම් බේරුම් කරගැනීමට කෙනෙක් ද නැත. එහෙත් චෝර වාදයට අනුව කොපමණ කුසලා කුසල කර්ම කළත් ප්‍රේතයෙකුව ඉපදීම නොළැක්විය හැකිය. ජීවිතය පුරාවටම දාන ශීල භාවනා ආදී දසපින් ක්‍රියාවන්හී යෙදුනත් මියගිය පසු කෙළින්ම යන්නේ ප්‍රේත ලෝකයටය. චෝර වාදය ලංකාවේ පහළවූ දා සිටම තත්වය එසේය. එහෙයින් පුද්ගලයෙකු මරණයට පත් වූ පසු හරියටම දින හතකින් ප්‍රේත ගොටුවක් සහිතව මහා සාංඝික දානයක් දී ශබ්ද පුජා පවත්වා පිං අනුමෝදන් කළ යුතුමය. ඒ වහාම මිය ගිය ප්‍රාණකාරයා මහා සැප ඇති ස්ථායක උපත ලබයි. මේ පිංකම මාස තුනෙන්, මාස හතෙන්, අවුරුද්දෙන්, අවුරුදු තුනෙන්, අවුරුදු දහයෙන්, අප් ඩේට් කළ යුතුය. එක් අතෙකින් මෙය ථේර වාදයේ කියන අප්‍රබංශ තේරුම් ගැනීමට මහන්සි වනවාට වඩා ලේසි බැවින් ජනතාවද චෝර වාදයට කැමැතිය.
ථේර වාදය හා චෝර වාදය අතර තවත් බොහෝ වෙනස් කම් තිබේ. ඒවා අපි ඉදිරියේදී කතා කරමු..!
---------------------------
by (2017-07-31 01:34:29)
Leave a Reply
The best article ever.
-- by Athula Haputantri on 2017-05-31
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි