~

“මට අයිති මාලිගා 27 ක් තිබේ. ඒවායේ භාණ්ඩාගාරවල හැම වර්ගවලම මැණික්වලින් පිරී තිබේ. සුල්තාන් තුමා කියනවා නම් නැව් 20 ක් හරි එවන්නම්“ -මෝඩ නානසාර කියැවිය යුතුම 1වෙනි බුවනෙකබාහු රජු ආරාබි රජෙකුට යැවූ ලියුමක්

චාමර ලක්ෂාන්ගේ සටහන

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.27, පෙ.ව.10.00) පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව රාජ්‍ය අනුග්‍රහය නොලැබී යෑම තුළ පසුපසට තල්ලු වී, 2015 අගෝස්තුවේ පැවැති මහ මැතිවරණයට තරග කර ‘හොට බිම ඇනගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රධාන බොදුබල සේනා නඩය සති කිහිපයක සිට තම සුපුරුදු සෙල්ලම කරා යළි අවතීර්ණ වී ඇති බවක් පෙනෙන්නට ඇත. සිංහල බෞද්ධ රාජ්‍යයක් ගැන උස් හඬින් කථා කරමින් සුළු ආගමික කණ්ඩායම්, ප්‍රධාන ප්‍රවාහයට යටත් විය යුතු බව කියමින් “සිංහ නාද” පැවැත්වීමට බොදුබල සේනාවට ඇති අයිතිය පිළිබඳව ප්‍රජාතන්ත්‍රිය පරිසරයක් තුළ ඒ හැටි ගැටලුවක් නොමැති වුත් ගැටලුව වනුයේ එම “වීර කථා” රට ගෙනියමින් ඇති තැන පිළිබඳවය. සැබැවින්ම ඥානසාර හිමි ප්‍රමුඛ කණ්ඩායමේ මේ මොහොතේ ක්‍රියාකාරිත්වය තුළ යළි රට 2014 ජුනි තුන්වැනි සතියේදී අලුත්ගම දර්ගා නගරයේ සිදුවූ අන්දමේ ඛේදජනක අවසානයක් කරා ය යන්න ප්‍රශ්න විරහිතය. එබැවින් මේ කාරණය පිළිබඳව සැහැල්ලුවෙන් හුස්ම ගැනීමේ හැකියාවක් වගකිවයුතු කිසිවෙකුට හෝ නොමැත. දීර්ඝ පැහැදිලි කිරීම් අවශ්‍ය නැත. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මෑතකදී නිකුත් කළ වාර්තාවකට අනුව පසුගිය අප්‍රේල් 16 වැනිදා සිට මැයි 24 දක්වා වූ කාලය තුළ මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් දේපළ අලාභ කිරීම්, ගිනි තැබීම්, තර්ජනය කිරීම්, වෛරය පැතිරවීම් පිළිබඳ සිදුවීම් පහළොවකට වඩා වැඩි ගණනක් සිදුව තිබේ. 

රටේ විවිධ ප්‍රදේශවල තැන තැන ඇතිව ඇති මෙබඳු සිදුවීම් කිසිසේත්ම හුදෙකලා සිද්ධි නොවන අතර, ඒ සියල්ල තුළ මනා සංවිධානාත්මක බවක් පෙනෙන්නට ඇත. මෙහිදී අප අමතක නොකළ යුතු වඩාත් වැදගත්ම කාරණය වනුයේ එදා අලුත්ගම දර්ගා නගරය තෙක් ව්‍යාප්ත වූයේ රටේ තැන තැන ඇතිවූ මෙවැනි තනි තනි “මතුවීම්” බවය. ඉතිහාසයට විශාල කළු පැල්ලමක් එක්කළ රටක් ලෙස ජාත්‍යන්තරය තුළ අප අවමානයට පත්කළ දර්ගා නගරය කේන්ද්‍ර කරගනිමින් ඇතිවූ එම “ජාතිවාදි වියරුව” නිසාවෙන්, අවම තරමින් සිවු දෙනකු මියගිය අතර 80කට වඩා වැඩි පිරිසක් තුවාලකරුවන් බවට පත්විය. සිදුවූ දේපළ විනාශය අතිමහත් වූ අතර මුස්ලිම් වැසියන් අටදහසක් සහ 2000කට වඩා වැඩි සිංහලයන් පිරිසක් දින ගණනක් අවතැන් භාවයට පත්කිරීමට එම සිදුවීම ප්‍රමාණවත් විණි. එබැවින් එබඳු විනාශයක් යළි සිහිනෙකින් හෝ අප අපේක්ෂා නොකළ යුතු තරම්ය. 

සිංහල බෞද්ධ ජාතිවාදීන්, මුස්ලිම් සමාජය දෙස මෙතරම් සැකයෙන් බලන්නේ ඇයි? මෙය විවේක බුද්ධියෙන් යුතුව විමසා බැලිය යුතු තත්ත්වයකි. එවැනි සොයා බැලුමකදී කරුණු කාරණා ගණනාවක්ම අපට හමුවන මුත් මූලිකවම මෙම “වෛරය” නොඑසේනම් සැකය නිර්මාණය වී ඇත්තේ කාරණා දෙකක් නිසා බව පෙනෙන්නට ඇත. ඉන් පළමුවැන්න මුස්ලිම්වරුන්ගේ ජනගහන වර්ධනයයි. දෙවැන්න ඔවුන් සතු ආර්ථික ශක්තියයි. මේ කාරණා දෙකම පහසුවෙන් කුළුගැන්විය හැකි භාවෝත්වාදී සටන් පාඨ දෙකකි. ඒ නිසාම මේ කාරණා අවධාරණය කරමින් සිංහල ජාතිය අබිබවමින් මුස්ලිම්වරුන් රටේ මහ ජාතිය වන දිනය වැඩි ඈතක නොවන බව කියමින් ජාතිවාදීහු දශක ගණනාවක් තිස්සේ මත පතුරුවමින් සිටිති. සිංහල ජනගහනයේ වර්ධනයට සාපේක්ෂව මෙරට මුස්ලිම් ජනගහනයේ යම් වර්ධනයක් පැවැතීම යනු පැහැදිලිවම සංස්කෘතික ගැටලුවකි. අනෙක් අතට මේ ගැන ඇතැමුන් මතු කරන කාරණා ද කිසිදු තාර්කික පදනමක් නොමැති ආචීර්ණ කල්පිත කාරණාය. එය වෙනම කථා කළ යුතු මාතෘකාවකි. වෙළෙඳාම ගත් විට එය මුස්ලිම්වරුන්ට අමුතු දෙයක් නොවේ. සුපැහැදිලිව ඔවුන් වෙළෙඳ ප්‍රජාවකි. එබැවින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය නොඑසේනම් වෙළෙඳාමට ඇති හැකියාව දෙස බලමින් ඇස් රතු කරගැන්ම තවදුරටත් අප නොකළ යුතු තරම් දෙයකි. තවත් අටුවාටීකා ටිප්පනි පැවැසීම අවශ්‍ය නොවේ. අදටත් මේ රටේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන ව්‍යාපාරිකයන්ගෙන් සාතිශය බහුතරය සිංහල බෞද්ධ නොවන ජනකොටස්වලින් පැමිණි අයය. එසේ වූවා ය කියා ඒ කිසිවෙකුගෙන් මෙරටට අවැඩක් වූවා ය කියා අප නම් අසා නොමැත. රටේ දැනඋගත් සමාජයට මේ පිළිබඳ මනා අවබෝධයක් ඇතත් ක්ෂුද්‍ර තලයේ දී පහසුවෙන් මෙවැනි කාරණා “අලෙවි” කළ හැකි ය. නැති රාක්ෂයකු මවමින් බොදුබල සේනාව ප්‍රයෝජනයට ගනිමින් සිටිනුයේ එයය. 

කෙසේ වෙතත් මෑතක සිට සිංහල සමාජය හා මුස්ලිම් සමාජය අතර ගොඩනැ‍ඟෙමින් ඇති නොසන්සුන්තාව බොදුබල සේනාවේම නිර්මාණයක් යැයි කියන පටු තැනක අප නොමැත. සිංහල ජාතිවාදීන් මෙන්ම මුස්ලිම් ජාතිවාදිහු ද එය තරගයට මෙන් පෝෂණය කළෝය. විශේෂයෙන්ම 80 දශකයේ සිට බිහි වූ මුස්ලිම් ජාතිවාදී දේශපාලන පක්ෂ ද සිංහල ජාතිවාදයට තරගයට මෙන් ප්‍රතිචාර දැක්වීමට යෑම තත්ත්වය වඩාත් සංකීර්ණ තත්ත්වයට පත් කළේය. මෙම ජනවර්ග දෙක අතර, එකිනෙකා නුරුස්සන ගතියක් නිර්මාණය වීම විෂයයෙහි නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ගොඩනැඟුණු ජාතිවාදී මුහුණුවරින් ක්‍රියාත්මක මුස්ලිම් දේශපාලන පක්ෂ ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. 

කකුලේ තුවාලය පෙන්නමින් හිඟා කන පුද්ගලයා තුවාලය සුව වෙනවාට කැමැති නැත. ඒ එසේ වුවහොත් එදා සිට තම රැකියාව අහිමි වී යන බැවිනි. ඒ නිසාම දේශපාලන බලය ලබාගැන්මේ පටු මාවතක් ලෙස ඇතැම්හු මෙම කුණු ගොඩම අවුස්සන්නට විය. ඔවුනට එය රසවත් ආහාරයක්ම විය. 

ජාතිවාදයේ එම නැඟීම රටක් ලෙස අප බිහි කර ගත යුතුව තිබූ ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබඳ පරමාදර්ශය වසර ගණනාවක් පසුපසට රැගෙන යන ලදී. සිංහල හා මුස්ලිම් ජනකොටස් අතර විශාල බෙදුම් රේඛාවක් නිර්මාණය කිරීමට මෑතක සිට ජාතිවාදී උමතුවෙන් පෙළෙන්නන් කටයුතු කළ ද චිරාත් කාලයක සිට මෙම දෙපාර්ශ්වය අතර සෑහෙන සුහද සම්බන්ධතා පැවැති බවට ඉතිහාසගත තොරතුරු සාක්ෂි සපයති. 

ඉස්ලාමය පහළ වීමට පෙර සිටම අරාබි ලේඛනවල ලංකාව ගැන සඳහන්ව තිබීම ගැන “ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය” මැයෙන් වූ ග්‍රන්ථයේ බොහෝ කරුණු දැක්වේ. මෙම ග්‍රන්ථයේ සංස්කරණ මණ්ඩලයේ සභාපතිත්වය දරා ඇත්තේ උපකුලපති සර් නිකලස් ආටිගල මහතා වන අතර එහි සංස්කරණ මණ්ඩලයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන, එස්. නඩේසන්, ඩබ්ලිව්. ජේ. එෆ්. ලබ්රෝයි, සහ සී. ඩබ්ලිව්. නිකලස් යන මහතුන් කටයුතු කර ඇත. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය පළ කළ එහි සිංහල පරිවර්තනයේ හැට දෙවන පිටුව ඒ පිළිබඳව මේ අයුරින් කරුණු දක්වා තිබේ: 

“(ආ) අරාබි මූලාශ්‍රයයෝ,
ඉස්ලාම් ආගම පහළ වීමට බොහෝ කලකට පෙර පටන් අරාබි සංචාරකයෝ ලංකාව ගැන දැන සිටියහ. ග්‍රීකයන්ට සහ රෝමන්වරුන්ට ද මේ රටේ තොරතුරු දැනගන්නට ලැබුණේ මේ අභීත අරාබි නාවිකයන්ගෙනි. එහෙත් අරාබිවරුන් විසින් ද, පසුව ඔවුන් ඇතුළු පොදු මුස්ලිම්වරුන් විසින් ද ලියන ලද පොත්වලට මෙරට තොරතුරු ඇතුළත් කරන ලද්දේ ඉස්ලාම් ආගම ඇතිවූ පසුය. පළමුවෙන්ම මෙබඳු දේශාටනවර්ණනයක් ලියන ලද්දේ සුලයීමාන් නමැත්තෙකු විසිනි. සියවසකට පමණ පසු (ක්‍රි. ව. 950) අබු සයියද් නමැත්තා ලියු සිල්සිලන්- අල් - තවාරිබ් නම් පොතට මේ විස්තරය ඇතුළත් කරන ලදී. ඉබ්න් බුර්දාද්බේ නමැත්තා තවත් පැරැණි ලේඛකයෙකි. 10 වැනි සියවසේ මැද හරියේදී මේ ප්‍රදේශවල සංචාරය කළ මසුදි නම් ලේඛකයා කලින් සිටි ලේඛකයන් ලියූ විස්තර ද, තම අත්දැකීම් ද ඇතුළත් කර පොතක් ලිවීය. ඊට නොබෝ කලකට පසු ඉග්තබ්රි, ඉබ්න් හව්කල්, මක්දිසී යන අය ද ලංකාව ගැන ලුහුඬින් සඳහන් කර ඇත. අල් බිරූති විසින් ඉන්දියාව ගැන ලියන ලද පොතේ ඇතැම් තැන්වල ලංකාව ගැන ද සඳහන් වෙයි. දොළොස් වන සියවසේ මැද හරියේදී ඉද්රීසී නම් සුප්‍රකට අරාබි ජාතික භූගෝල විද්‍යාඥයා පෙරදිග රටවල් පිළිබඳව එතෙක් හෙළි වී තිබුණු සියලුම කරුණු එකතු කළේය. ඔහු ලියූ පොතෙහි ලංකාව ගැන ද සඳහන් වෙයි. පසු කලෙක විසූ යාකූත්, කස්විනී, අබුල් පීඩා ආදි භූගෝල විද්‍යාඥයෝ ද ලංකාව ගැන සඳහන් කළහ. එහෙත් ලංකාව ගැන ලියූ සියලුම මුස්ලිම් ලේඛකයන් අතර ඉතා වැදගත් වනුයේ 14 වන සියවසේ මැද හරියේදී මේ දිවයිනට පැමිණි ඉබන් බතූතාය.” 

මේ හැරෙන්නට ශ්‍රී ලංකාවට අරාබි ලෝකය සමඟ පැවැති ඉපැරණි සබඳතා ගැන මෙම ග්‍රන්ථය කරුණු රැසක් හෙළි කර සිටී. මේ ග්‍රන්ථයේ 668 සහ 669 පිටුවල එන එක් සඳහනක් තුළින් පෙනී යන්නේ අප රටේ ආර්ථිකය ජාත්‍යන්තර සබඳතා තුළින් ශක්තිමත් කර ගැනීමට එදා යුගයේත් අප රටේ පාලකයන් වෑයම් කර ඇති ආකාරයයි. යාපහුවේ පළමු බුවනෙකබාහු රජතුමා වෙනුවෙන් අල්හාජ් අබු උඒමන් නමැති දූතයා ක්‍රි. ව. 1283 වැන්නේදී ඊජිප්තුවේ රජ වාසලට යවන ලද්දේය. සිංහල රජතුමා ඔහු අත යැවූ සන්දේශයේ මෙසේ සඳහන් වෙයි. “ලංකාව ඊජිප්තුවයි. ඊජිප්තුව ලංකාවයි. මගේ දූතයා ආපසු එන විට ඊජිප්තුවේ දූතයෙකු ඔහු සමඟ එනු ඇතැයි කියාත් මම බලාපොරොත්තු වෙමි. හැම වර්ගයකම මැණික් සහ මුතු අතිවිශාල ප්‍රමාණයක් මා සතුව තිබේ. නැව්, ඇතුන්, මුස්ලින් ආදී රෙදි අගිල් (බකම්) සහ කුරුඳු වැනි සියලු වාණිජ වස්තු හින්දු වෙළෙඳුන් විසින් ඔබ වෙත ගෙනෙනු ලැබේ. තෝමර තැනීමට සුදුසු ලී ඇති ගස් මගේ රාජ්‍යයේ වැවෙයි. අවුරුදු පතා නැව් විස්සක් එවන්නැයි සුල්තාන් තුමා මට කියතොත් ඒවා සැපයීමට මට පුළුවන. තවද එතුමාගේ විජිතවල වෙළෙන්දන්ට මගේ රාජ්‍යයේ වෙළෙඳාම් කිරීමට පැමිණීමට සම්පූර්ණ නිදහස තිබේ. යේමනයේ කුමාරයාගේ දූතයෙක් මා බැහැදැකීමට පැමිණියේය. ඔහු පැමිණියේ තම ස්වාමියා වෙනුවෙන් සුහද සබඳකම් යෝජනා කිරීමටය. එහෙත් සුල්තාන් තුමා කෙරෙහි මා තුළ පවත්නා ආදරය නිසා මම ඔහු පිටත් කර යැවිමී. මට අයිති මාලිගා විසිහතක් තිබේ. ඒවායේ භාණ්ඩාගාර හැම වර්ගවලම මැණික්වලින් පිරී තිබේ. මුතුපර මගේ විජිතවලට අයත්ය. එයින් ගනු ලබන සියලු මුතු මා සතුය.” 

බටහිර ජාතීන් මෙරට පැමිණි පසු ද එම තත්ත්වයේ වෙනසක් නොවීය. 1626 වසරේදී කොන්ස්ටන්ටයින් ඩී සා නමැති පෘතුගීසි ආණ්ඩුකාරවරයා මුහුදුබඩ පළාත්වල සිටි මුස්ලිම්වරු එළවද්දී පලවා හැරීමට කටයුතු කළ අවස්ථාවේ ඔවුනට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් වූයේ කන්ද උඩරට සිටි සෙනරත් රජතුමාය. ඒ අවස්ථාව මේ ජාතින් දෙක අතර තිබු ශක්තිමත් සහයෝගය පෙන්වන කැඩපතක් බඳුය. එපමණක් නොවේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහිව නිදහස් අරගලය ක්‍රියාත්මක වූ අවස්ථාවේදීත් ප්‍රජාවක් ලෙස මුස්ලිම්වරු එවකට සිටි ප්‍රධාන සිංහල නායකයන් සමඟ අත්වැල් බැඳ ගනිමින්, තමන්ගෙන් ඉටුවිය යුතු සේවාව නොපිරිහෙළා දශමයකින් හෝ අඩු නොකර සිදුකරන ලදී. ටි. බී. ජයා, ශ්‍රීමත් රසීක් ෆරිඩ් වැනි අනාගතය විහිදුවා ගිය පැහැදිලි ගැඹුරු දැක්මක් තිබු මුස්ලිම් නායකයන්ගේ ක්‍රියාකාරිත්වය ඊට සාක්ෂි සපයයි. එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය මෙරටට ඩොමිනීයන් තත්ත්වය ප්‍රදානය කිරීමට කටයුතු කළ අවස්ථාවේ ජී. ජී. පොන්නම්බලම්, වැනි ද්‍රවිඩ නායකයින් 50 : 50 ඉල්ලීම ඉදිරිපත් කරමින් එය දියාරු කිරීමට උත්සාහ කළ අතර තවදුරටත් ජාතින් අතර බෙදීම් සිදු කරමින් මෙරටට නිදහස ලබාදීම ප්‍රමාද කිරීම වෙනුවෙන් වූ යටත්විජිත පාලකයන්ගේ අවශ්‍යතාව සමඟ ද එය කදිමට පෑහුණි. සැබැවින්ම එය තීරණාත්මක මොහොතක් ම විය. පොන්නම්බලම්ගේ යෝජනාවට මුස්ලිම්වරුන් දක්වන ප්‍රතිචාරය දෙස අධිරාජ්‍යවාදීන් පමණක් නොව නිදහස් අරගලයේ සිටි සිංහල නායකයෝ ද දෑස් දල්වාගෙන බලා සිටියෝය. එක් පසෙකින් සුළු ජන කොටසක් ලෙස තම අනාගත ආරක්ෂාව පිළිබඳ ගැටලුවටත් අනෙක් පසින් තම මවුබිමේ නිදහස පිළිබඳ ගැටලුවටත් මැදිව සිටින මොහොතක සමස්ත ලංකා මුස්ලිම් ලීගයේ නායකයා ලෙස ටී. බී. ජායා මහතා ඩොමිනියන් තත්ත්වය පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූ මොහොතේ 1945 නොවැම්බර් 09 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාව අමතමින් ඓතිහාසික දේශනයේ උපුටා ගැනුමකි මේ. 

“මුස්ලිම්වරු හැටියට අපේ අනාගත ආරක්ෂාව පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් නිදහස පිළිබඳ ප්‍රශ්නයේදී කොන්දේසි පනවා නිදහස ලබාගැනීම ප්‍රමාද කරන්නට මේ රටේ මුස්ලිම් ජනතාව සූදානම් නැහැ. කොන්දේසි විරහිතව අප්‍රමාදව ශ්‍රී ලංකාවට නිදහස දිය යුතුයි කියන ස්ථාවරයේ මේ රටේ මුස්ලිම් ජනතාව ඉන්නවා.” 

නිදහස දිනා ගැනීමෙන් අනතුරුව ද යම් යම් හුදෙකලා සිදුවීම් මධ්‍යයේ වුවද සිංහල, මුස්ලිම් දෙපාර්ශ්වය සහජීවනයෙන් යුතුව කටයුතු කළේය. ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය පැවැති අවස්ථාවේදී ද මුස්ලිම්වරු “දකුණේ” පාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කළෝය. ශ්‍රී ලංකා යුද හමුදාව සතු ආරක්ෂක සංකීර්ණ බිඳ දමමින් ත්‍රස්තවාදය, 2000 වසරේදී පිම්මේ හිස ඔසවද්දී “මල්ටිබැරල්” අවි ලබා දෙමින් අපේ පිහිටට පැමිණියේ මුස්ලිම් රටක් වන පාකිස්තානයයි. ශ්‍රී ලංකාවේ හිතවතුන් ලෙස පෙනී සිටීම් කරන බොහෝ රටවල් පසුබසිද්දී පාකිස්තානය ඍජුව එම අඳුරු පැයේදී අප සමඟ සිටගත්තේය. යුද්ධය නිම වීමෙන් පසුවද ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ කාරණා සාකච්ඡා වෙද්දී ඉස්ලාමීය සහයෝගීතාවට අයත් බොහෝ රටවල් අප සමඟ එක පෙළට සිටගත්තේය. අප ඒ සියලු විස්තර සඳහන් කළේ මුස්ලිම්වරු යනු අපගේ සතුරෙකුට වඩා මිතුරෙකු බව පෙන්වීමටය. 

අපේම රටේ ජීවත්වන සහෝදර ජනකොටසක් තමන්ගේ අනෙකා බවට පත්කරගනිමින් සිදුවන්නා වූ බොදුබල සේනාවේ මෙම ඊනියා මැදිහත් වීම අනුමත කරනුයේ රටේ මුළු ජනගහනයෙන් අතිශය සුළුතරයක් පමණි. සිංහල බෞද්ධ ස්වොත්තමවාදය ප්‍රවර්ධනය කරන බොදුබල සේනාවට ඇති පිළිගැන්ම පසුගිය මහා මැතිවරණ අවස්ථාවේදී රටට දැකගත හැකි විණි. එම මැතිවරණයේදී කළුතරින් තරග කළ බොදුබල සේනාවේ හිස හා හදවත බඳු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මුළු දිස්ත්‍රික්කයෙන්ම ලබාගත හැකි වූයේ ඡන්ද පන්දහස් ගණනක් පමණි. රට තුළ ඒ හැටි පිළිගැනුමක් නොමැති මුත්, මෙරටින් පිට සිටින ඇතැම් සිංහල බෞද්ධයන්ට නම් බොදුබල සේනාවට වඩා ඉටු දෙවියකු තවත් නොමැත. තමන් දැන් ජීවත්වන රටවලදී සුළු ජාතීන් බවට පත්ව ඇති මේ ශ්‍රී ලාංකිකයන්ට ඊළඟ පරම්පරාව සඳහා තම අක්මුල් පෙන්වීම වෙනුවෙන් අතීත කාමය සංරක්ෂණය කර තැබීමේ තදබල අවශ්‍යතාවක් වුවමනාවක් පවතී. යානවාහන, වාසය කිරීමට අසපු ඇතුව සෙසු ආමීස පූජා පිරිනමමින් තම අරමුණු වෙනුවෙන් පෙනී සිටින භික්ෂුන් නඩත්තු කිරීම භාරගෙන ඇත්තේ ඔවුන්ය. ඒ අර්ථයෙන් බලන විට බොදුබල සේනා භික්ෂුන්ගේ හැසිරීම කිසිසේත්ම අහිංසක නොමැත. ඔවුන් සිදු කරනුයේ ඉල්ලුමට අනුව සැපයුම සිදු කෙරුම පමණකි. 

යුද්ධය නිම වීමෙන් අනතුරුව රටේ සියලු ජන කොටස් අතර සංහිඳියාව නිර්මාණය කරලීම වෙනුවෙන් ස්වර්ණමය අවස්ථාවක් උදා විණි. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර එකඟතාවක් ඇතිවීම තත්ත්වය තවත් සුබවාදී බවට පත් කළේය. එවන් පසුබිමක් මැද බොදුබල සේනාවේ මෙම හැසිරීම කිසිසේත්ම රටේ අවශ්‍යතාව හා නොගැළපෙයි. තව දින කිහිපයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනුමට යුරෝපා කොමිසම බ්‍රසල්ස්හිදී රැස්වීමට නියමිතය. බොදුබල සේනාවේ මෙම හැසිරීම තවදුරටත් උත්සන්න වුවහොත් එය බ්‍රසල්ස්හිදී ශ්‍රී ලංකාවට ගෙන එනුයේ වාසියකට වඩා අවාසියකි. එබැවින් මේ ප්‍රචණ්ඩත්වය පළමු අවස්ථාවේදීම පරාද කෙරුම වැදගත්ය. අනෙක් අතට බොදුබල සේනාවේ භික්ෂුන්ගේ මේ ප්‍රචණ්ඩ හැසිරීම, ඉමහත් අවිහිංසාවාදී දර්ශනයක් වන බුදුදහමේ ප්‍රතිරූපයට ගෙනෙන හානිය ද සුළුපටු නොවේ. බොදුබල සේනාවේ භික්ෂුන් මෙලෙස හැසිරෙනුයේ යුරෝපය ඇතුළු ලෝකය පුරා ආගමික දර්ශනයක් ලෙස බුදුදහම ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් ඇති සන්දර්භයකය. එය ද අමතක නොකළ යුතුය.

-චාමර ලක්ෂාන් කුමාර විසිනි-

ලංකා ඊ නිව්ස් පසු සටහන
නානසාරගේ නවතම කුලප්පුවෙන් පසු 2017 අප්‍රේල් 16 සිට මැයි 24 දක්වා මුස්ලිම් ආගමික මධ්‍යස්ථාන හා ව්‍යාපාරික ස්ථාන වලට පහරදීම් පහත දැක්වේ 

2017.04 16 අකුරැස්ස, ගොඩපිටිය පෝරුව හි මුස්ලිම් ජාතිකයින්ට අයත් කඩ 4 කට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කොට ඇත.  ජනමාධ්‍ය මගින් මෙම සිදුවීම වාර්තා කර නැත.  පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කර නැත.

2017.04.16      ගාලු කොටුවේ අධි ආරක්ෂිත කලාපයේ පිහිටි Sheik Salih Waliyulla Shrine හි තාප්පය/වැට ට අලාභ හානි කොට ඇත. හමුදා කඳවුර ඉදිරිපිට මෙය පිහිටා ඇත.  

2017.04. 20 අම්පාර ඉරගම හි අක්කර 2  1/2 ක ඉඩමක් භික්ෂුවක් විසින් මෙහෙයවූ කණ්ඩායමක් විසින් අත්පත් කොට ගෙන ගොඩනැගිල්ලක් සෑදීමට උත්සහ දරා ඇත. ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇති වී තිබේ.

2017.04.25 බොදුබල සේනා කණ්ඩායමේ නායක ගලබොඩඅත්තේ ඥානසාර අම්පාර ඉරගම  සංචාරය කළ අතර ප්‍රාදේශීය ලේකම්වරයා ඉදිරිපිට දී මුස්ලිම් ජනතාවට අසභ්‍ය වචනයෙන් බැන වැදුණි.  ජනමාධ්‍ය වාර්තා කළේ බොදුබල සේනාව ලංකාවේ අලුතෙන් බෞද්ධ විහාර 10,000 ක් සෑදීමට සැලසුම් කරන බවයි.

2017.05.08 ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ සියළු Rohingya Muslims  වරුන් ලංකාවෙන් පිටමන් කරන ලද ගලබොඩඅත්තේ ඥානසාර රජයෙන් ඉල්ලා සිටි අතර ඔහු පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ මුස්ලිම්වරුන් ලංකාව අල්ලා ගැනීමට කටයුතු කරන බවයි.

2017.05.10 අම්පාර ඉරගම මුස්ලිම් ජනාවාසයක් වන මයක්කාලි හි දී පොලිස් ආරක්ෂාව සහිතව වෙසක් දින සැමරුමක් සිදු කරනු ලැබීය.

2017.05.14  පොලොන්නරුව, ඔනේගම  සංචාරය කළ ගලබොඩඅත්තේ ඥානසාර මුස්ලිම් ජාතිකයින්ගේ හරක් මඩු කිහිපයට අලාභ කොට 'අල්ලා' ට එරෙහිම අසභ්‍ය සහ අපහාසාත්මක වචන භාවිත කරමින් පරිභව කිරීම. මෙම පරිභව කිරීම හිරු ටීවී නාලිකාව විසින් ප්‍රචාරය කළේය.

2017.05.15  පානදුර පරණ බසාර් විදීයේ මුස්ලිම් පල්ලියට අලුයම 3 ට පමණ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.

2017.05.16 දින වැල්ලම්පිටිය, කොහිලවත්ත, Al Ibraheemiya ජුම්මා මුස්ලිම් පල්ලිය ට අලුයම 1.45 ට පමණ ප්‍රහාරයක් එල්ල කර ඇත.  

2017.05.16 දින ත්‍රිකුණාමය තෝපූර්, නීනක්කානි හි 200 ක පමණ පිරිසක් ආයුධ සහ පොලු යොදා ගනිමින් නිවාස 16 කට පහර දී ඇත.  ප්‍රහාරය හේතුවෙන් බිය වූ පිරිස් ප්‍රදේශයෙන් ඉවත්වී ඇත. 

2017.05.16 බොදු බල සේනා කාර්‍යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මුස්ලිම් ජනතාවට සහ ඉස්ලාම් ආගමට එරෙහිව වෛරී සහගතව අදහස් ප්‍රකාශ කළ අතර, මුස්ලිම්වරුන්ගේ දෙවියන්ට අපහාස කර යළි අදහස් ප්‍රකාශ කර තිබුණි. 

2017.05.17 දින පානදුර, ඔළුවිල මුස්ලිම් ජාතිකයෙකුට අයත් බේකරියක් හා සන්නිවේදන මධ්‍යස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත. 

2017.05.18 හලාවත, දී අලුයම 2 ට පමණ 'ලාස්ට් චාන්ස්' විදුලි භාණ්ඩ අලෙවි සැලකට ගිණි තබා ඇත.

2017.05.21  මල්ලවපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ 6කින් ප්‍රහාර එල්ල කර තිබේ. 

2017.05.21 ගාල්ල, ඇල්පිටිය නගරයේ තිබූ 'ලවර්ස් බග්' වෙළෙදසැලක් ගිණි තබා ඇත.

2017.05.23 රත්නපුර දිස්ත්‍රක්කයේ කහවත්ත නගරයේ පිහිටි මුස්ලිම් සහ දෙමළ ජාතිකයින්ට අයත් වෙළඳ සැල් දෙකකට ගිණිතබා ඇත. 

2017.05.22 මහරගම, විජේරාම හි දී මුස්ලිම් ජාතිකයෙකු සතු කාපට් අලෙවිසැලකට ගිණි තබා ඇත.

2017.05.24 නාවින්න හාකොර්ට්ස් ෆාමසියට ප්‍රහාරයක් එල්ල කර ඇත.

---------------------------
by     (2017-05-27 04:53:04)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Gaha Manesan gaha okage pattaya telennata,
-- by k.sunil perera on 2017-05-28

meyata me pala demin yanne ditta damma wedaniya karmayayi. giya aanduwa welawedi budu dahama desana karana swaamin wahanselaa kihipa denekuge siwuru galawala sudu redhi anddanna meya ara dan hire inna police lokkage anuggrahaya athuwa lahasthi una . ewagema 1970we indala meyata wadaa seelayakin yutuwa darmaya kiyala dunna waduraba siriwardana mahaththayata gahanna balu senawa aran giya. dan meyaawa ath adnguwata ganna ena kota baye dangalanwa. mama nam kiyanne meyaage cheevaraya galavala meyaata amudayak gassanna ona . ada budun wahanse hitiyanam mee matta buduntath gahanna yayi. meka hondata adi gahana ekek. anggaana saara
-- by bandula on 2017-05-28

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links