~

GMOA වර්ජන ‘සමාජයට එරෙහි අපරාධ‘ ලෙස නම් කරමි: දොස්තරවරුන්ට තිබූ මහජන ගරුත්වය නැති වුනා: අලුතින් හිතන්න බැරි ඔබ දැන් සභාපති ධූරයෙන් ඉවත් විය යුතුයි..!

-GMOA හිටපු උප සභාපති වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වාගෙන් ජොස්තර පාදෙණියට අවවාදාත්මක ලියුමක් -

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.11, පෙ.ව‍.4.05) දොස්තර පාදෙණිය GMOA සභාපති ලෙස දැන් මෙහෙයවන වැඩ වර්ජන ‘සමාජයට එරෙහි අපරාධ‘ ලෙස නම් කිරීමට තමා පසුබට නොවන බවද, පීඩාකාරී වැඩ වර්ජන නිසා  මහජනතාව වෛද්‍යවරුන් කෙරෙහි තිබූ ගරුත්වය සහමුලින්ම නැති වී ගොස් ඇතැයිද, අලුතින් සිතීමෙහිලා දුර්වල බැවින් දොස්තර පාදෙණියට දැන් GMOA සභාපති ධූරයෙන් ඉවත් වීමට කාලය පැමිණ ඇතැයි, GMOA උප සභාපතිවරයෙකුද, එහි කමිටු සාමාජිකයෙකුද, වෛද්‍ය සභාවේ සාමාජිකයෙකුද, වෛද්‍ය අධ්‍යාපන ගුරුවරයෙකුවද සිටි කීර්තිමත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා මහතා විසින් ජොස්තර පාදෙණිය වෙත අවවාදාත්මක ලිපියක් යවමින් පවසයි. 

වෛද්‍ය ගාමිණී ද සිල්වා මහතා ජොස්තර අනුරුද්ධ පාදෙණියට යැවූ ලියුමෙහි පිටපතක් ලංකා ඊ නිව්ස් වෙතද එවා ඇති අතර එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනයක් පහත දැක්වේ. (මුල් ඉංග්‍රීසි ලිපිය ලංකා ඊ නිව්ස් ඉංග්‍රීසි සංස්කරණයේ දැක්වේ) 

2017.මැයි.10
වෛද්‍ය ඒ. පාදෙණිය මහතා
සභාපති
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
කොළඹ

ප්‍රිය වෛද්‍ය පාදෙණිය මහතාණෙනි..,

සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහිත් පසුගිය වසර කිහිපය තුළ ඇතිවූ විවිධ වර්ධනයන් නිරීක්ෂණය කිරීමෙන් පසුව වර්තමාන තත්ත්වය පිලිබඳව මගේ අගැයීම ඔබ වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම ලිපිය ලියන්නට මම අදහස් කෙළෙමි. මෙසේ ලිවීමට තවමත් බොහෝ ප්‍රමාද නැතැයි ද මම විශ්වාස කරමි. 

මා මේ ලියන්නේ ‍ජ්‍යෙෂ්ඨ කායික වෛද්‍යවරයෙකු, වෛද්‍ය විද්‍යා ගුරුවරයෙකු, වසර 10 ක් පුරා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සාමාජිකයෙකු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු උප සභාපති වරයෙකු මෙන්ම දීර්ඝ කාලයක් කමිටු සාමාජිකයෙකු ලෙසද සේවය කර ඇත්තෙකු ලෙසය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වලදී, වරින් වර පැවැති වර්ජන වලදී, මෙන්ම සංගමය වෙනුවෙන් රූපවාහිනී සාකච්ඡාවන්ට සහ මාධ්‍ය සාකච්ඡා වලට සහභාගී වීමේ දී මා ද ඉදිරිපෙල නියෝජනය කරමින් ප්‍රසිද්ධියේ පෙනී සිටි අයෙකි. 

එවැනි අවස්ථා වලදී මා තර්ක කෙළේ වෘත්තීය සංගමය සමග සිදු වූ සාකච්ඡාවන් අසාර්ථක වූ කල අපගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා වර්ජනයන් වෙත යොමු වූයේ ශක්තිය වශයෙන් සංගමයේ දුර්වල භාවය නිසා මිස සත්‍ය නිසා නොවන බවයි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියල්ලන් විසින් ඔබ, සංගමයට සම්පතක් ලෙස සලකන්නේ ඕනෑම සාකච්ඡාවකට ඔබ පැමිණෙන විට අදාල ප්‍රස්තූතයන් පිළිබඳව ගැඹුරින් කරුණු හදාරා පැමිණෙන පුද්ගලයෙකු ලෙසය. වැටුප් පිලිබඳව කෙරුණු සාකච්ඡාවන් හි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියළුම අංශ වල සාපේක්ෂ වැටුප් පරිමාණයන් පිලිබඳ සියළු තොරතුරු ඔබගේ ඇඟිලි තුඩු අග තිබූ බව මට තවමත් මතකය. ඔබ සංගමයේ සභාපති තනතුරට පත් වූ මුල් දෙවතාවෙහිම ඔබට සුබ පැතූ බව මට මතක තිබෙන නමුත් එම තනතුරෙහි දිගමට ඔබ රැඳී සිටීම මා අනුමත කෙළේ නැත. 

සයිටම් සම්බන්ධයෙන් මගේ ස්ථාවරය මුල පටන් පැහැදිලි කිරීමට දැන් මට ඉඩ දෙන්න.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු ලෙස සයිටම් ආයතනය පිහිටුවීම පිලිබඳව සහ එයට අදාල වෙනත් සාකච්ඡාවන් හි දී ද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සමග 2012 දක්වා පැවැති සාකච්ඡාවන්ට මෙන්ම වෛද්‍ය විද්‍යාලය පරීක්ෂා කිරීම සඳහා වූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ද මම සහභාගී වූයෙමි. 

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අවස්ථා ගණනාවකදී දෙනු ලැබූ උපදෙස් සහ මාර්ගෝපදේශ සයිටම් බලධාරීන් විසින් නොසලකා හරිනු ලැබූ බවට මට සැකයක් නැත. ඒ වෙනුවට ඔවුන් බලාපොරොත්තු තබා සිටියේ කූඨ ලෙස අනුමැතිය ලබා ගත හැකි දේශපාලන අනුග්‍රාහකත්වයක් වෙතය. කැබිනට් ඇමැතිවරු තිදෙනෙකු හට මෙම පුද්ගලික ව්‍යවසාය සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න නගමින් කැළඹීම් ඇති කිරීමට ඇති බැඳීම කවරක්ද? 

මෙම ආයතනය තම පිළිගැනීමට ලක්ව නැති බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වසර ගණනක් මුළුල්ලේ නිරන්තරව ප්‍රමාණවත් ලෙස අනතුරු අඟවනු ලැබූ ශිෂ්‍යයන් සහ මාපියන් කෙරෙහි මා තුල එතරම් අනුකම්පාවක් නැත. වෛද්‍ය වෘත්තියෙහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සමහර දෙනෙකු පවා තම දරුවන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය නොලැබූ මෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් කරන ලද්දේ මන්දැයි තේරුම් ගැනීම මට අපහසු ය.

වත්මන් අර්බුදයට දෙනු ලබන ඕනෑම විසඳුමක දී එම ශිෂ්‍යයන් හට තම වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය නොකඩවා කරගෙන යෑමට ඉඩ කඩ සැලසීමේ අවශ්‍යතාවය මම පිළිගනිමි. එය අවසන් වූ කල මෙම වංචාකාරී වෛද්‍ය විද්‍යාලය වසා දැමිය යුතුය. අර්බුදයන්ට මුහුණ දෙන සියළුම පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල වගකීම බාර ගැනීම රජයකට කළ නොහැකි ප්‍රායෝගික නොවන දෙයකි. දිවයින පුරා රජයේ වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ සැලසුම් තිබියදී මාලබේ වෛද්‍ය විද්‍යාලය රජයේ වියදමින් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් නැත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පිළිගැනීම සහ මාර්ගෝපදේශකත්වය යටතේ නියමාකාර ලෙස ස්ථාපිත කරනු ලැබූ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඉඩ ප්‍රස්ථාවක් ශ්‍රී ලංකාවේ තිබිය යුතු බවද මම පිළිගනිමි.

දැන් සයිටම් සිදුවීම අරභයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භූමිකාව විමසීමට මම අපේක්ෂා කරමි. අවිනිශ්චිත තත්ත්වයන් යටතේ සයිටම් පවත්වාගෙන යෑමට තමන් තුල ඇති විරෝධය සංගමය ප්‍රකාශ කර තිබේ. එසේ වුවත් එකී අරමුණු ඉටු කර ගැනීම සඳහා පුන පුනා වර්ජන ක්‍රියාමාර්ග ගැනීම සාධාරණ යැයි මට නොදැනේ. ඒ හේතුවෙන් පොදු මහ ජනතාවට විඳින්නට සිදුවන දුෂ්කරතාවය සැබැවින්ම කණගාටුදායක ය. මෙවැනි වර්ජන සමාජයට එරෙහි අපරාධ ලෙස නම් කිරීමට මම පසුබට නොවෙමි. 

අතීතයේ බරපතල වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළැඹීමේ දී අප වෙත නිශ්චිත මාර්ගෝපදේශ තිබූ බව ඔබට මතක ඇතැයි මම සිතමි. වැටුප් සම්බන්ධ කරුණු සහ වඩාත් පුද්ගලික ස්වභාවයේ කරුණු වෙනුවෙන් වර්ජන ක්‍රියාමාර්ග නොගත යුතු බවට පොදු පිළිගැනීමක් අප සතුව තිබිණි. අපගේ දරුවන් හට හොඳ පාසැල් ඉල්ලමින් වර්ජනය කිරීම ඒ අනුව ඇදහිය නොහැක්කකි. 

සෞඛ්‍ය සේවය දේශපාලන මැදිහත් වීම් වලින් මුදවා ගැනීමේ පරමාර්ථයෙන් අවිධිමත් ස්ථාන මාරු සහ පත් කිරීම් වලට එරෙහි විරෝධයක් ලෙස වර්ජනය කරන ලද්දේ ඒ සඳහා වූ අවසන් පියවර ලෙස සලකා ගෙන ය. එම ඉලක්ක ඉතා සාර්ථක ලෙස අපි ඉහලින්ම ජයග්‍රහණය කෙළෙමු. අපගේ සාමාජිකයෙකුගේ රාජකාරි කටයුතු වලට කිසිවෙකු විසින් බාධා කළ විටෙක එම බාධා කළ තැනැත්තන් අත් අඩංගුවට ගැනීමෙන් පොලිසිය වැලකී සිටි අවස්ථා වලදී අප ප්‍රාදේශීය මට්ටමින් වර්ජන ක්‍රියාමාර්ග ගෙන තිබේ. එවැනි නොවැලැක්විය හැකි කෙටි කාලීන ක්‍රියාමාර්ග සාධාරණීකරණය කළ හැකි බව මගේ වැටහීමයි.

කිසිදු හේතුවක් මත වෙනත් වෘත්තීය සංගම් වල සහාය අප ලබා ගත යුතු නැති බව පොදු එකඟතාවයක් අප අතර තිබිණි. ඒ එවැනි තත්ත්වයක දී ඔවුන්ගේ අරගල වලට එක්වීමේ බැඳීමක් අපට ඇති විය හැකි බැවිනි. මෙවැනි අවබෝධයක් ඇතිකර ගැනීමට හේතුව අපගේ සේවාව වන රෝගීන් සුවපත් කිරීම සෙසු අයගේ ක්‍රියාකාරී ක්ෂේත්‍ර සමග පටලවා ගැනීම හෝ කේවල් කිරීම කළ නොහැක්කක් වන නිසා ය. 

දැන් සිදු වන දේ මුළුමනින්ම පිළිගත නොහැකිය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහා වැඩ වර්ජනයක් ප්‍රසිද්ධියේ කැඳවීම වැරදි ප්‍රවණතාවකි. ‘ඉක්ටා‘ වැනි සාමාන්‍ය දේශපාලන කරුණු සම්බන්ධයෙන් වෛද්‍යවරු වර්ජනය කිරීම ද පිළිගත නොහැක්කකි. ඉතිහාසයේ පළමු වතාවට ඔබ දේශපාලන පක්ෂ නායකයෙකු හට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ඇමැතීමට ඉඩ ලබා දුන්නේය. මා ඔබට මේ වන විටත් පුද්ගලිකව පෙන්වා දුන් පරිදි එවැන්නක් කිසි දිනෙක නොවිය යුතුව තිබූ දෙයකි. 

මේ සියල්ලේ පොදු ප්‍රතිඵලය වී ඇත්තේ පොදු ජනතාවගේ දෑස් ඉදිරියේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජ්‍ය අංශයේ වෙනත් පීඩාකාරී වෘත්තීය සංගමයකට සමාන වීම ය. පොදුවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෛද්‍ය වෘත්තීය කෙරෙහි වූ ජනතාවගේ ගෞරවය නැතිව ගොස් තිබේ. ඔබේ ක්‍රියාකාරකම් දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමේ වඩා පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක කොටසක් ලෙස බොහෝ දෙනා සැක කිරීම වැළැක්විය හැක්කක් නොවේ. 

මා දන්නා පරිදි සෞඛ්‍ය සේවය තුල ඔබ ඉතා සැලකිලිමත් ළමා ස්නායුවේද වෛද්‍යවරයෙකු මෙන්ම වෛද්‍ය විද්‍යා ගුරුවරයෙකු ලෙස ද කටයුතු කරන්නෙකි. සෙසු සේවාවන්ට සාපේක්ෂව වෛද්‍ය සේවයේ සාමාජිකයන් හට වැටුප් සහ වෙනත් ප්‍රතිලාභ අත්කර දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් අතර ඔබට ගෞරවයක් තිබේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ඔබ වෛද්‍යවරුන් අතර වඩාත් උසස් වෘත්තීය ප්‍රමිතීන් ඇතිකරනු පිණිස පොත පත ප්‍රකාශයට පත් කිරීම සහ වැඩමුළු පැවැත්වීම වැනි කටයුතු කිරීම සමාජයේ බොහෝ දෙනා නොදන්නා කරුණු ය. 

එසේ නමුත් මා විශ්වාස කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ඔබ සේවය කර ඇති කාලය බොහෝ වැඩි බවය. අලුතින් සිතීමෙහි ලා ඔබ දැන් දුර්වල ය. ‘බලය‘ හේතුවෙන් සාමාජිකත්වයේ පොදු හැඟීම් නොසලකන තත්ත්වයට ඔබ පෙළැඹී සිටී. මා සිතන පරිදි දේශපාලන ක්ෂේත්‍රයේ දී පවා කිසිවෙකු කොතරම් යහපත් අයෙකු වුවත් වාර දෙකකට වඩා වැඩි වාර ගණනක් බලයේ සිටීමට ඉඩ දිය යුතු නැත. 

ඔබ දරණ තනතුරේ මෙම වාරය අවසන් වෙද්දී ඉන් ඉවත්ව යාමට ඔබ දැන් සැලසුම් කළ යුතු ය. ඔබේ මුළු කාලයම සායනික කටයුතු වෙනුවෙන් කැප කරන්නේ නම් ඔබට මෙම සමාජය වෙත වඩාත් වැඩි මෙහෙවරක් ඉටු කළ හැකිය. ඒ සියල්ලටමත් වඩා ළමා ස්නායු වේදය යනු සාපේක්ෂ වශයෙන් වඩා නවීන ක්ෂේත්‍රයකි. එහි දියුණුවට ඔබ වැනි ශක්ති සම්පන්න නිර්මාණාත්මක සහ නායකත්ව ගුණාංග වලින් යුත් පුද්ගලයන් අවශ්‍යය. 

මා අවංකව අපේක්ෂා කරන්නේ මගේ මෙම අවවාද යහපත් සිතින් ඔබ පිළිගනු ඇති බවයි.

ස්තූතියි

ඔබේ අවංක,

වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා.

(වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා මහතාගේ ඉංග්‍රීසි බසින් ලියූ මුල් ලිපිය ලංකා ඊ නිව්ස් ඉංග්‍රීසි සංස්කරණයේ ප්‍රසිද්ධ කර ඇති අතර ඉහත දැක්වෙන සිංහල පරිවර්තනය ලංකා ඊ නිව්ස් වෙනුවෙන් කැලිෆෝනියාවේ රවි චන්ද්‍රලාල් මාධ්‍යවේදියා විසින් සිංහලට පරිවර්තනය කරන ලද්දකි)

---------------------------
by     (2017-05-11 20:15:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  7 discussion on this news

Traiter writes to traiter..
-- by Neela on 2017-05-11

දොස්තරලාගේ ගෞරවය නැති වන්නේ ස්ට්‍රයික් නිසායි සිතීම ඉතාමත් මුලාවක්. පවිතින ක්‍රමයෙහි පවතින අවදියෙහි අනිවාර්ය ලක්ෂණයක් තමයි ඔය.
-- by Gayan on 2017-05-11

No point in telling Padeniya to go. Somebody should have the courage to tell the whole GMOA to go and form another Union which can act as a Union of intellectuals not boot-lickers of a defeated political dictator.
-- by B Perera on 2017-05-11

පකදෙනියෙ කියන එකා මහ ගොබ්බය, අනුන් හොයල දෙන තොරතුරු වලින් තමයි මූ වැඩ කාරයා වෙන්නෙ...!
-- by Somawansa on 2017-05-11

රිලවෙකුගෙ මූණක් තියෙන පාදෙනියට තදබල ස්නායු අමාරුවක් වැළදිල තියෙනව....
-- by සොයිසා on 2017-05-11

ධම්මික ඇටෙන්ඩන්ට් මතක් වෙනකොට පාදෙනියෙ මහත්තයට සියලුම ස්නායු රෝග උග්‍ර වෙනව ඇති.
-- by Anil on 2017-05-11

දොස්තරලගෙ කොහොම වෙතත් ජෝක්+තරලගෙ අම්මලාගෙ ගෞරවේ නං(තියේනං ) ස්ට්‍රයික් වලින් කෙලෙසන එක ආයි කියන්න දෙයක් නෙවේ!
-- by Daham on 2017-05-11

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links