~

දූෂණ විරෝධී කාර්යාංශය වසා දැමීමේ කුමන්ත්‍රණය: වරද පෙන්වූ පසු එය හදා ගන්නවා වෙනුවට අගමැති ලේකම් අගමැතිවත් ඇදගෙන නරකයෙන් අවීචියටම පනී..! අගමැති ගෝලයා පැල කළ අභූත පුවතේ ඇත්ත කතාව

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.08, පෙ.ව‍.6.05) දේදුනු විප්ලවය විසින් බිහිකළ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ක්‍රියාවලියක් වූ ‘දූෂණ විරෝධය‘ සහමුලින්ම වනසා දැමෙන “දූෂණ විරෝධී කාර්යාංශය“ අක්‍රීය කිරීමේ අගමැති ලේකම් සමන් ඒකනායක ප්‍රමුඛ කුමන්ත්‍රණ කරුවන්ගේ ව්‍යායාමය ලංකා ඊ නිව්ස් විසින් පසුගිය අප්‍රේල් 26 දා ‘රනිල්ගේ දූෂණ විරෝධී කටේ නරිවාදම, ලේකම් රෙද්ද පල්ලේ බේරයි...! FCID යත් ඉවරයි..! යහපාලනයත් ඉවරයි..!!‘ නම් පුවත මගින් ප්‍රථම වරට අනාවරණය කළේය. ඉන්පසු තවත් මාධ්‍ය විසින්ද එම පුවත හෙළි කෙළේය. 

මාධ්‍ය හෙළිදරව්වෙන් පසු වරද නිවැරදි කර ගන්නවා වෙනුවට නරකයෙන් අවීචියට යමින් ඊයේ (07) සති අන්ත පුවත් පත් මගින් දූෂණ විරෝධී කාර්යාංශයටත් එහි බහුශ්‍රැත විමර්ශන ඒකකයටත් අවලාද නගමින් මූලාශ්‍රයක් නැති පුවතක් ප්‍රචාරය කර තිබේ. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය මේ ගැන සොයා බලද්දී දැන ගන්නට ලැබුණේ මෙකී මූලාශ්‍රයක් නැති පුවත අගමැති රනිල් වික්‍රමසිංහගේ නම විකුණමින් මාධ්‍ය වෙත ලබා දී ඇත්තේ සමන් ඒකනායක ගැන්සියේම සිටින දිනිත් කරුණාරත්න නමැති ජඩමාධ්‍ය කරුවා විසින් බවයි. 

මෙහි ඇති වැදගත්ම කාරණය නම් මෙකී දිනිත් කරුණාරත්නට එරෙහිවද දූෂණ විරෝධී කාර්යාංශයට පැමිණිලි ලැබී ඒ ගැන විමර්ශන කරමින් සිටින අවස්ථාවක මෙම පුවත පැල කිරීමය. 

නිවාස අධිකාරියට අයත් බම්බලපිටිය ඕෂන් ටවර් තට්ටු නිවාස ගොඩනැගිල්ලෙන් තට්ටු නිවාසයක් පසුගිය වනචර දශකයේ දී  දිනිත් කරුණාරත්නට නීති විරෝධීව ලැබී තිබිණ. ඔහු එම නිවාසය දේශපාලකයන්ට අනියම් නාරි මාංශ සැප ගැනීම සඳහා ලබා දෙමින් ඒ වෙනුවට වරප්‍රසාද ලබා ගනිමින් දූෂණයේ යෙදිණ. මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී කාර්යාංශයට පැමිණිලි ලැබී තිබියදී මේ දූෂිත ජඩමාධ්‍ය කරුවා මූලාශ්‍රයකින් තොර පුවතක් පැල කරමින් කාර්යාංශයටත් එහි බහුශ්‍රැත විමර්ශන ඒකකයටත් අවලාද නගා තිබේ. 

එම පුවතින් ප්‍රධාන වශයෙන් පදනම් විරහිත අසත්‍ය චෝදනා ගණනාවක් නගා ඇත. ඒවා එකින් එක ගනිමු.

1) දූෂණ විරෝධී කාර්යාංශයේ විමර්ශන සහ අනෙකුත් කටයුතු සඳහා අග්‍රමාත්‍ය කාර්යාලයේ වාහන අවභාවිත කර ඇතැයි චෝදනා කෙරේ. 

මෙය සම්පූර්ණයෙන්ම මහජනතාව නොමග යැවීමකි. මන්ද යත් දූෂණ විරෝධී කාර්යාංශයට ප්‍රතිපාදන සැපයෙන්නේම අග්‍රාමාත්‍ය කාර්යාලය හරහාය. එසේනම් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහනයක් භාවිතා කෙළේ වුව එය අවභාවිතාවක් නොවේ. අනෙක් අතට දැන් ප්‍රශ්නය වී ඇත්තේ කාර්යාංශයේ වාහන සඳහා අගමැති ලේකම්වරයා විසින් මාර්තු මාසයේ සිටම ප්‍රතිපාදන නොදීමය. එහිදී කිසියම් රාජකාරියකට අගමැති කාර්යාලයේ වාහනයක් භාවිතා කෙළේ නම් පළමු වරද කරුවා වන්නේ කාර්යාංශයේ වාහන සඳහා මුදල් ප්‍රතිපාදන ලබා නොදුන් අගමැති ලේකම් සමන් ඒකනායක ය.  

2) විමර්ශනයක් සඳහා අගමැති කාර්යාලයේ වාහනයකින් මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකුගේ නිවසක් පිළිබඳව සෙවිල්ලකට ගිය බවත් එමගින් සුදු වෑන් භීතියක් ඇති වී එය ආණ්ඩුවට චෝදනාවක් ලෙස එල්ල වනු ඇතැයි චෝදනා කෙරේ. 

මේ කතාව සම්පූර්ණ තක්කඩි කතාවකි. දූෂණ විමර්ශන කාර්යාංශයෙන් කවුරුන් හෝ නීති විරෝධීව ලබා ගත් දේපොලක් පිලිබඳ පරීක්ෂා කරන්නේ නම් එම දේපොල තිබෙන ස්ථානයට නොගොසින් ඒ ගැන සොයන්නේ අංජනම් එළියක් යවලාද ? නැතිනම් බස් එකෙන්ම ගොසින්ද ? අනෙක වෑන් රථයකින් ගියා කියා සුදු වෑන් භීතියක් ඇති වන්නේ කෙසේද? එසේ නම් දැනටත් පාරේ යන සුදු වෑන් කොතරම් සංඛ්‍යාවක් තිබේද? සුදු වෑන් භීතියක් ඇති වනවා කියා රටේම තිබෙන සුදු වෑන් ඉවත් කරනවාද ? මේවා ගොං කතා පමණක් නොව මේවා කාර්යාංශය වසා දමා දූෂණ විරෝධී ක්‍රියාවලියට නැවතීමේ ලකුණ තැබීමට කරන කුමන්ත්‍රණ කතාය.

3) “දූෂණ විරෝධී කාර්යාංශයේ බහුශ්‍රැත ඒකකයේ“ ජනතා විමුක්ති පෙරමුණේ අය සිටිනවා කියාද අවලාදයක් නගා තිබේ. 

හිටියත් මොකද? දින සියයේ ආණ්ඩුව කාලයේ “දූෂණ විරෝධී කාර්යාංශයේ බහුශ්‍රැත විමර්ශන ඒකකයට“ පුද්ගලයන් පත් කරද්දී ජවිපෙ ද ඊට සම්බන්ධ වූ බව රහසක් නොවේ. ඔවුන් කාගේ හෝ නමක් යෝජනා කර එවැන්නෙකු ඊට පත් කළ ද එය වරදකුත් නොවේ. ජවිපෙ දේශපාලනය ගැන කුමන ගැටළු විවේචන තිබුනද ජවිපෙ නායකයන් කෙසේ වෙතත් ජවිපෙ පහළ සාමාජිකයන් සහ හිතවතුන් සියයට 80 ක්ම දූෂිතයන් නොවනවා පමණක් නොව දූෂණයට එරෙහි මිනිසුන් බව පිළිගත යුතු කාරණයකි. කෙසේ වෙතත් ඒ සියළු දෙනාම අවසානයේ පත් කරන ලද්දේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව ය. එකී කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ අගමැතිවරයා විසින් බවද කිව යුතුය. තමන්ට එරෙහිව නගන අවලාද වලට මාධ්‍ය ඉදිරියට පැමිණ පිළිතුරු දී ගත නොහැකි බහුශ්‍රැත විමර්ශන ඒකකයේ වැදගත් නෝනාවරුන්ට මහත්වරුන්ට මෙවැනි දෙකයි පනහේ අවලාද නැගීමෙන් සමන් ඒකනායකලා, දිනිත් කරුණාරත්නලා කෙතරම් නීච පහත් පෙළේ මිනිසුන්දැයි හෙළිවනු ඇත. මොවුන් මේවා කර ඇත්තේ අගමැතිවරයාගේ නම විකුණමින් බැවින් තත්ත්වය දරුණුය. 

4) දූෂණ නතර කිරීම සඳහා FCID ය, ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ අල්ලස් හෝ දූෂණ කොමිසම තිබෙන බැවින් දූෂණ විරෝධී කාර්යාංශය නමින් තවත් එකක් අනවශ්‍ය යැයි වසා දැමීම සාධාරණය කරමින් සමන්ලා, දිනිත්ලා පැල කළ පුවතේ දැක්වේ. 

මෙය ද සම්පූර්ණයෙන්ම මහජනතාව නොමග යවන තක්කඩි කතාවකි. අල්ලස් හෝ දූෂණ කොමිසම යහපාලන ආණ්ඩුව බලයට ඒමට පෙරද තිබිණ. දූෂණ විරෝධී කාර්යාංශයත් FCID යත් බිහි කෙළේ යහපාලන ආණ්ඩුව විසිනි. ඒ කුමකටද? පසුගිය වනචර දශකයේ සිදු කරන ලද මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ සෙවීමට ය. මෙහි ක්‍රියාවලිය වූයේ ප්‍රථමයෙන්ම පැමිණිලි දූෂණ විරෝධී කාර්යාංශයට ලබා ගෙන, එහි තිබෙන බහුශ්‍රැත විමර්ශන ඒකකය මගින් මූලික විමර්ශනයක් සිදුකර, එය යැවිය යුත්තේ කුමන අපරාධ විමර්ශන මාවතේ දැයි සලකා බලා ඒ වෙත යොමු කිරීමට පොලිස්පති වරයාට බාර දීමයි. ඒ අනුව පොලිස්පතිවරයා ඒවා FCIDය, CIDය සහ අල්ලස් හෝ දූෂණ කොමිසම යන ආයතන ත්‍රිත්වය වෙත යොමු කෙරිණ. එනම් FCID තිබුනා කියා මූල්‍ය දූෂණ නතර වන්නේ නැත. දූෂණ විරෝධී කාර්යාංශය සහ බහුශ්‍රැත විමර්ශන ඒකකය විසින් විද්වත් විමර්ශනයකින් පසුව FCIDය වෙත යොමු කළ යුතුය. FCID පරීක්ෂණ සිදුකරද්දී පවා බහුශ්‍රැත විමර්ශන ඒකකයේ උපදෙස් මග පෙන්වීම නිතර ලබා ගනී. අල්ලස් හෝ දූෂණ කොමිසම සමග ක්‍රියාවලියද එවැනිම ය. ( දැන්නම් ඒ කොමිසම තිබෙනවාද කියා සොයා ගැනීමටවත් නැත) 

ඉහත සඳහන් අනෙක් ආයතනය නම් ජාතික ප්‍රසම්පාදන කොමිසම යි. එය තිබෙන නිසා දූෂණ විරෝධී කාර්යාංශය අනවශ්‍ය යැයි යමෙක් කියන්නේ නම් ඉන් ඔහුගේ නූගත්කම සහ තක්කඩිකම හෙළි වේ. මන්ද යත් ජාතික ප්‍රසම්පාදන කොමිසම තිබෙන්නේ රජයේ මිලදී ගැනීම් වලදී ඊට මාර්ගෝපදේශ ලබා දීමට මිස මිලදී ගැනීමක සිදුව ඇති දූෂණ අපරාධය ගැන සෙවීමට නොවේ. එම කොමිසමෙන් කිසිදු අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියක් සිදුකරන්නේ නැත. කොටින්ම කිවහොත් ගෝඨාභය රාජපක්ෂ විසින් මිලදී ගත් මිග් යානා දූෂණය ගැන සෙවීමට ජාතික ප්‍රසම්පාදන කොමිසමට හැකියාවක් නැත.  

ඒ අනුව FCID ය, ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ අල්ලස් හෝ දූෂණ කොමිසම තිබෙන බැවින් දූෂණ විරෝධී කාර්යාංශය නමින් තවත් එකක් අනවශ්‍ය යැයි කීම සහමුලින්ම ජනතාව නොමග යැවීමකි.

ගොනා හැරෙන්නේ පොල්පැලේ කන්නයි

අග්‍රාමාත්‍යවරයාගේ නම විකුණමින් ඉහත පැල කරන ලද පුවතේ මූලික අරමුණ අන් කිසිවක් නොව මේ වන විට බෙල්ල මුලට හිරවීගෙන එන දූෂිතයන් රැසකගේ ඉදිරි විමර්ශන කටයුතු නවතා දැමීම ය. මේ වන විටත් කාර්යාංශය විසින් දූෂන 400 ක් FCID ය වෙතද දූෂණ 120 ක් අල්ලස් හෝ දූෂණ කොමිසම වෙතද වැඩ අහවර කර යවා තිබේ. තවත් සිය ගණනක විමර්ශන සිදුකිරීමට තිබේ. මාර්තු මස සිට වාහන සඳහා මූල්‍ය ප්‍රතිපාදන නොසැපයීම නිසා විමර්ශන සහමුලින්ම අඩාල විය. මෙවැනි පුවත් හරහා දැන් සැලසුම් කරන්නේ මෙම කාර්යාංශයේ කාලය නිමා වන ජුනි 30 වෙනිදායින් පසුව කාලය දිගු නොකර වැහෙන්ට හැරීමටදැයි සැක සහිතය.

දූෂණ විරෝධී කාර්යාංශය පිහිටැවූයේම රාජපක්ෂ යුගයේ දූෂණ සෙවීමටය. කාගේ හෝ කුමන්ත්‍රණයක් අනුව අද එම කාර්යාංශය වැහෙන්න හරින්නේ එකදු රාජපක්ෂයෙකුට හෝ දඬුවම් ලබා දී නම් නොවේ. මෙය දූෂිතයන් සමග දැමූ ඩීල් එකක ප්‍රතිඵලයක් බව ඕනෑම ගොනෙකුට තේරුම් යන අතර ගොනා හැරෙන්නේ පොල්පැලේ කන්න බවද ඕනෑම ළදරුවෙකුට තේරුම් යනු ඇත.  

දේදුනු විප්ලවයට දායක වූ යහපාලනප්‍රේමී ජනතාවගේ ප්‍රධාන බලාපොරොත්තුවක් වූ දූෂිතයන්ට දඬුවම් දීම ඉෂ්ඨ කර ගැනීමට විශාල කාර්ය භාරයක් කළ “දූෂණ විරෝධී කාර්යාංශය“ වසා දැමුවහොත් බැඳුම්කරයක් නිසා දැනටමත් කරවටක් මඩ නාගෙන සිටින අගමැති රනිල් වික්‍රමසිංහ නම් ‘මිස්ටර් ක්ලීන්‘ නැවත කිසි කලෙකවත් ගොඩ ගත නොහැකි ලෙස මීතොටමුල්ලට වඩා විශාල අසූචි කන්දකට යට වනු නිසැකය. ඔහුගේ අඳබාල ගෝලබාලයන් සහ අපාය සහාය ලේකම් ඔහුව දක්කාගෙන යන්නේ එතැනට බව අපට නම් පෙනේ.

-විමල් ධීරසේකර -  

සබැඳි පුවත්
රනිල්ගේ දූෂණ විරෝධී කටේ නරිවාදම, ලේකම් රෙද්ද පල්ලේ බේරයි...! FCID යත් ඉවරයි..! යහපාලනයත් ඉවරයි..!!

Anti-corruption body faces closure 

---------------------------
by     (2017-05-08 00:34:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Well said...LeN. Let Ranil Wickramasinghe suicide himself and end up the game with a disaster for the 2nd time.
-- by Shane on 2017-05-08

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links