චාමර ලක්ෂාන්ගේ සටහන
(ලංකා ඊ නිව්ස් -2017.මැයි.07, පෙ.ව.3.35) මැයි දිනය පසුවුවද ඒ පිළිබඳ කෙරෙන කතාබහ නම්, තවම අවසන් වී නැත. පළමුවැනිදා රාත්‍රිය එළඹෙත්දී මැයි දිනයට අදාළ ක්‍රියාකාරකම් නිල වශයෙන් අවසන් වුවද ඉන් අනතුරුව පයිතගරස්ලා කරළියට පැමිණියේ ය. ඒ තමතමන්ගේ මැයි රැලිවලට පැමිණි ජනගංඟාවන් පිළිබඳ ඉලක්කම් විග්‍රහ ඉදිරිපත් කිරීමට ය. එකී විග්‍රහයට පින් සිදු වන්නට කැම්බල්, ගැටඹේ, ගෝල්ෆේස් බී.ආර්.සී. ක්‍රීඩාංගණවල දිග, පළල වැනි භූමියට අදාළ විස්තර පිළිබඳ පමණක් නොව එම ස්ථාන හා සම්බන්ධ තවත් බොහෝ දෑ දැන ගැනීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට හිමි විණි. මෙතෙක් නොදැන සිටි විස්තර රැසක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලාංකිකයනගේ ඥාන කලාපය ප්‍රසාරණය කළ එම පයිතගරස්ලාට අපගේ ස්තුතිය. කෙසේවෙතත් එම “ගණන් පාඩම්” පිළිබඳ තවදුරටත් කථා කරමින් කාලය නාස්ති කිරීම අපගේ අරමුණ නොවේ. 2017 මැයි දින සැමරුම් ආශ්‍රිතව දැකගත හැකිවූ, ඇඟවීම් ‘දේශපාලනිකව’ කියවීම අපගේ උත්සාහයයි.
වදන් විශ්වය තුළ කම්කරුවන්ගේ දිනයක් ලෙස හැඳින්වුවද මැයි දිනය යනු තවදුරටත් කම්කරුවන්ට අයිති දෙයක් නොවේ. ශ්‍රී ලංකාව තුළ එහි අයිතිය, කම්කරුවන්ගෙන්, දේශපාලනඥයන් සොරාගෙන දැන් බොහෝ කල් ය. සැබවින් ම මැයි දිනයේ දී කම්කරුවා යනු හුදු අලංකාරිකයක් පමණක් ම වන අතර එය මේ වනවිට දේශපාලන පක්ෂවල ශක්තිය පෙන්වන සන්දර්ශනයක් පමණක් වී ඇත. පොදුවේ ගත්විට ප්‍රධාන මැයි රැලි හතර තුළ ම විශාල ජන සහභාගීත්වයක් දැකගත හැකි වුවත්, සෙනඟ දැක වඩාත් ම ‘චූන්’ වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂ යැයි කියාගන්නා කණ්ඩායමේ නායකකාරකාදීන් හා එහි හිතවතුන් ය. ඔවුන් පත්ව ඇති ප්‍රමෝදයේ තරම කෙතරම් ද කියතොත්, මාස දෙක තුනක් ඇතුලත තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවන බව පැවසීමට තරම් සමහරු දැන් හදිසි වී තිබේ. මැයි දිනය හා ආණ්ඩු පිහිටුවීම අතර කිසිදු සම්බන්ධයක් නැති වුවද ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායමේ ප්‍රකාශ තුළ ඇතමුන්ට සුළු දිය පහවීමට පටන්ගෙන ඇති බවක් ද පෙනෙන්නට ඇත. ඒ ඇතැම් දේශපාලනඥයන් මේ සම්බන්ධව දක්වන අනවශ්‍ය ප්‍රතික්‍රියා දෙස බැලීමේදීය. ඇතැම්හු තමන්ගේ මැයි දින සැමරුමේ සාර්ථකත්වය පිළිබඳ කථා කරනවා වෙනුවට වඩා වැඩි උනන්දුවක් දක්වමින් සිටිනුයේ ගෝල්ෆේස් මැයි රැලිය පිළිබඳ කථාකෙරුමට ය. අවසාන විග්‍රහයේ දී එම නොහික්මුණු ප්‍රතිචාර ද සේවය කරනුයේ රාජපක්ෂ කඳවුරට ම ය.
ආණ්ඩු බලය ලබාගැන්ම වෙනුවෙන්, රාජපක්ෂවරුන්ට හා ඔවුන‍්ගේ අන්තේවාසිකයන්ට ඇති නොනිමි ආශාව සුපැහැදිලිව ම එම පාලනයේ ත්‍රාඩ ස්වභාවය පෙන්වන කැඩපතක් බඳුය. 2015 ජනවාරි අටවැනිදා සිදුවූ මහින්ද රාජපක්ෂගේ පරාජය, දරාගැන්ම, එය භාරගැන්ම ඈත ගම්වල සිටින රාජපක්ෂ හිතවාදී ප්‍රාදේශීය දේශපාලනඥයන්ට සෑහෙන අසීරු කාරණයකි. දේශපාලනඥයන් ලෙස පෙනීසිටීම් කළ ද මොවුන් සැබවින් ම ජාවාරම්කරුවන්ය. ගම නැඟුම, මග නැඟුම වැනි ව්‍යාපෘති ඔවුන්ව ජාවාරම්කරුවන් හා ධනවතුන් බවට පත්කළේය. ජනාධිපතිවරණ පරාජයත් සමඟ ඔවුන්ගේ එම සිහින ලෝකය එක් රැයකින් බිඳවැටුණු අතර තමන්ගෙන් ගිලිහුනු එම ලෝකය දිනාගැන්ම වෙනුවෙන් ඔවුන් එතැන් සිට වැඩ කළේය. අට අනූවක් වැරදි කළ මිනිසකු වටා තවමත් ඇතමුන් ඒකරාශි වීම පිටුපස වැඩ කරනුයේ එවැනි පාදඩ අවශ්‍යතා මිස වෙනෙකක් නොවේ. නුගේගොඩට, හයිඩ් පිටියට, කිරුළපනට රැස්වූයේ නුවර සිට කොළඹට පාගමන් ආවේ මේ අය ය. සඳුදා ගාලු මුවදොරට පැමිණියේ ද මේ කණ්ඩායම ය.
ගාලු මුවදොරට ඒකරාශි වූ ජනකාය රටේ සමස්ථ මැතිවරණ කොට්ඨාසයකට සමාන කිරීමට රාජපක්ෂ හිතවාදී විචාරකයන් දරන උත්සාහය විහිළුවකට වඩා වැඩි දෙයක් නොවේ. මේ වන විට මිලියන 15කට වඩා ඡන්දදායකයන් පිරිසක් රටේ සිටින අතර, පසුගිය ජනාධිපතිවරණයේ දී මිලියන 12ක් පමණ ඉන් ඡන්ද පොළට පැමිණියහ. එයින් රට පුරා තිබූ මැයි රැලිවලට සම්බන්ධ වී සිටියේ ලක්ෂ පහකට අධික පිරිසක් පමණි. එබැවින් රැස්වීම්වලට පැමිණි සෙනඟ දෙස බලමින් යමකු දේශපාලන විනිශ්චයන් කරන්නේ නම් එය ප්‍රඥාගෝචර ක්‍රියාවක් නොවේ. රැස්වීම්වලට සෙනඟ එකතු කරගැන්මේ කිසිඳු වැදගත්කමක් නැතැයි අපි නොකියන්නෙමු. ඒ හරහා ජනමතයක් ගොඩනැඟිය හැකි ය. මතුපිට තලයේ දී යම් මානසික වාසියක් අත්පත් කරගත හැකිය. නමුත්, 1977 න් පසු දේශපාලනය ගත්විට රැස්වීම්වලට ජනතාව එකතු වීම යනු අවසන් දේශපාලන තීන්දු තීරණවලට බලපෑ එකම කාරණය නොවූ බව පැහැදිලිව ම පෙනී යයි. 1977 න් පසු පැවති මැතිවරණ කිහිපයකීම එය මනාව පෙනී ගියේ ය. වෙනෙකක් තියා 1977 මහා මැතිවරණ අවස්ථාවේදිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීම්වල කට කපලා සෙනඟ සිටියේ ය. නමුත් අවසාන ප්‍රතිඵලය සටහන් වූයේ 5/6 ක වාර්තාගත දිනුමක් එජාපයට හිමිකර දෙමිනි. රැස්වීම්වලට පැමිණෙන සෙනඟ මත මැතිවරණ ප්‍රතිඵල තීරණය වූයේ නම්, ජනතා විමුක්ති පෙරමුණ රටේ ආණ්ඩු බලය ලබාගෙන බොහෝ කල් ය. වැඩි ඈතක යාම අවශ්‍ය නොමැත. 2015 ජනාධිපතිවරණ අවස්ථාවේදීත් මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීම්වල පොදු අපේක්ෂකයාගේ රැස්වීම්වල මෙන් දෙතුන්ගුණයක සෙනඟක් සිටියහ. එහෙත් ඡන්ද ගණන් කළ පසු රාජපක්ෂ මහතා ලක්ෂ 05කට ආසන්න ඡන්ද ගණනකින් පරාජයට පත්ව තිබිණි. එබැවින් ගෝල්ෆේස් පිටියට පැමිණි සෙනඟ දෙස බලමින් කලබල වීම හෝ එය උත්කර්ෂයට නැංවීම අර්ථ විරහිත ක්‍රියාවකි.
සන්දර්ශනයක් වී ඇති නිසා ම මේ වන විට මැයි දිනය දේශපාලන පක්ෂ සතු ආර්ථික ශක්තිය උරගා බැලෙන අවස්ථාවක් වී ඇත. මෙවර මැයි දිනයේ දී ද මෙරට දේශපාලන පක්ෂ කෙතරම් ආර්ථිකව බලවන්ත ද යන්න දැකගත හැකි විය. නිවාඩු දිනයක, විශේෂයෙන් ම දීර්ඝ සති අන්තයක් සහිත නිවාඩු දිනයක, ආණ්ඩු බලයක් නැති කණ්ඩායමකට මැයි පෙළපාළියකට රැළියකට සෙනඟ එකතු කිරීම යනු පහසු කටයුත්තක් නොවේ. එහෙත් ඒ අභියෝගය සාර්ථකව ජය ගැනුමට රාජපක්ෂ කඳවුර සමත් විය. සැතපුම් සිය ගණන් ගෙවමින් සම්පූර්ණ දිනය ම කැප කරමින් මැයි රැලියක් හා මිනිසුන් සම්බන්ධ වනුයේ හුදු පාක්ෂිකත්වය තුළ මතුවන කැක්කුම හෝ ‘ඇම්ම’ නිසා ම නොවේ. ඒ සඳහා ඔවුනට අවශ්‍ය කරන අනෙකුත් දෑ ද සැපයිය යුතුය. ප්‍රවාහනය, අරක්කු ඇතුළුව බත් පැකට්ටුවේ සිට බුලත්විට දක්වා අවශ්‍ය සියලු දේ සැපයීමට එහිදී සංවිධායකයන්ට සිදු වෙයි. ආණ්ඩු බලය තිබියදී එකී අවශ්‍යතා සම්පූර්ණ කිරීම අභියෝගයක් නොවේ. ඒ වෙනුවෙන් “අයෝජනය” කිරීමට ඕනෑ තරම් දෙනා සැදී පැහැදී සිටිති. නමුත් මෙය අභියෝගයක් වනුයේ බලය ගිලිහී විපක්ෂයට ගිය පසු ය. ගෝල්ෆේස් පිටියට සැලකිය යුතු ජනතාවක් ඒකරාශි වීම තුළ හිටපු ජනාධිපතිවරයාව ප්‍රවර්ධනය කරමින් සිටින කණ්ඩායම සතු ප්‍රාග්ධන ශක්තියේ තරම පිළිඹිඹු වෙයි. 2015 ජනවාරි 05 වැනිදා පාලන වෙනසක් සිදු වුවද එම ප්‍රාග්ධන ශක්තිය තවමත් නොසිඳී ඇති වගට මෙය හොඳ සාක්ෂියකි. එහෙත් අවම තරමින් මැයි දිනයේ දී හෝ තමන් සතු “කළුසල්ලි” මේ ආකාරයට මිනිසුන් වෙනුවෙන් සෙලවීම යහපත් තත්ත්වයක්ය.
පොදුවේ ගත් විට එක්සත් ජාතික පක්ෂය ද කැම්බල් පිටියේ පැවති මැයි දින සැමරුම තුළ තම ශක්තිය උපරිමයට පෙන්වන ලදී. යම් යම් සංවිධානමය දුර්වලතා මධ්‍යයේ වුවද විශාල ජනකායක් ඒ සඳහා ඒකරාශි වී සිටියහ. යුඇන්පී මැයි පෙළපාළිය කිලෝමීටර් හය හතක් දීර්ඝ වූ අතර ඒ නිසා ම ඒ තුළ දැකගත වූයේ විසිරුණු බවකි. රැස්වීම අවසන් වූ පසුත් කැම්බල් පිටියට පෙළපාළිකරුවන් පැමිණීමෙන් එය වඩාත් හොඳින් පැහැදිලි වෙයි. රැස්වීමේ කථික ලැයිස්තුව සැකසීමේදී පවා එජාප නොවන කථිකයන්ට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී තිබූ අතර, කෙටිකාලීන වශයෙන් එහි ගැටලුවක් නොමැති මුත් දීර්ඝකාලීනව එය අවාසිදායක තත්ත්වයකි. හරීන් ප්‍රනාන්දු වැනි, ශූර ප්‍රකාශකයකුට අවස්ථාව නොලැබීම හා සජිත් ප්‍රේමදාසට අන්තිමට කථාවක් හිමිවීම වෙනුවට කල්තියා අවස්ථාවක් ඔවුනට ලැබුණේ නම් එය එජාප පාක්ෂිකයන්ගේ උද්‍යෝගය එදින තවත් ඉහළ නංවනවා නිසැකය. කැම්බල් පිටියේ වේදිකාව තුළ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් රැසක් සිටිය ද ප්‍රධාන වශයෙන් ම ක්‍රීඩාංගණයට එක්ව සිටියේ එක්සත් ජාතික පාක්ෂිකයන් ය. කෙසේ වෙතත් දේශපාලනික අර්ථයෙන් මෙවර මැයි දින සැමරුම් නිමාවට පත් වූ ආකාරය ගැන එක්සත් ජාතික පක්ෂයට කණගාටුදායක වීමට තරම් කිසිඳු හේතුවක් නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම තවදුරටත් තහවුරුවීමක් මැයි පළමුවැනිදා සිදු වූ අතර අවසාන විග්‍රහයේදී එහි වාසිය හිමි වනුයේ ද එජාප ය ට ය.
අනෙක් අතට මහින්ද රාජපක්ෂ දේශපාලනිකව මුළුමනින් ම පැරදවීමේ ඇති වැදගත්කම ද මැයි දින සැමරුම් තුළින් පෙනී ගියේය. ජනාධිපතිවරණ සමයේ හා ඉන්පසු කාලයේ පවා හිටපු ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුන්ට එරෙහිව බරපතළ චෝදනා එල්ල වුවද ඒ සම්බන්ධ නෛතික ක්‍රියාමාර්ග මන්දගාමී වීම තුළ එකී චෝදනාවන්හි සුජාතභාවය පිළිබඳ යම් කුකුසක් ජනතාව අතර නිර්මාණය කර තිබේ. එය එතරම් සුබදායී තත්ත්වයක් නොවේ.
ඒ වෙනුවට සියල්ලට ම එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව පිටතට පෙනුණහොත් රාජපක්ෂවරු කෙරෙහි ඇති විශ්වාසය බිඳීයෑමට එයම හේතුවක් වනු ඇත. කුමන පෙරමුණු, කණ්ඩායම් බිහිකර ගත්තද, ආවරණ සංවිධාන තිබුණ ද ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායමේ කේන්ද්‍රීය සාධකය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ය. ඒ ව්‍යාපෘතියේ දිග, පළල තීරණය වනුයේ ඔහුගේ ක්‍රියාකාරීත්වය මත ය. තනි පුද්ගල දේශපාලනඥයක් මත රැඳෙන එම කණ්ඩායමට එසේ නොමැතිව නිශ්චිත මතවාදයක් නොමැත. රාජපක්ෂව දේශපාලනිකව පැරදවීමේදී, ඔහුගේ ආරක්ෂාව අඩු කිරීම වැනි ෆුල්ටොස් පන්දු යැවීම එහිදී සිදුකළ නොහැකි ය. එය මීට වඩා තාර්කික ප්‍රවේශයක් තුළ නෛතික සීමාවේ රැඳෙමින් පහසුවෙන් ම සිදු කළ හැකි ය.
යහපාලන රජය නීතියේ නිසි ක්‍රියාමාර්ග අකුරට ම පිළිපදිමින් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුවද පළමුවැනිදා ගෝල්ෆේස් වේදිකාවේ සිටි කථිකයන් තුළින් නම් දැකගත හැකි වූයේ ඔවුන්ට හුරු පුරුදු වෛරි භාෂාව ම ය. කම්කරුවන් ගැන කථාකරනවා වෙනුවට කම්කරු ප්‍රශ්න පිළිබඳ සංවේදිවීම වෙනුවට එහි බොහෝ කථිකයන් තම කාලයෙන් වැඩි වෙලාවක් වෙන් කළේ ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට මඩ ගැසීමට ය. ඒ ශිෂ්ටත්වයේ අවම සදාචාර ප්‍රමිති පවා නොතකමිනි. ඒ අතරින් ඉදිරියෙන් ම සිටියේ ජනාධිපතිවරණයෙන් අනතුරුව මෛත්‍රි සරණ යමින් නියෝජ්‍ය ඇමති ධුරයක් ලබාගත් දේශපාලනඥවරියකි. ඇය පසුව මහින්ද කඳවුර හා එක්වූ අතර “පව් සෝදා ගැනීම” වෙනුවෙන්, ඇය දිගින් දිගට ම අශ්ලීල ආකාරයෙන් යහපාලනය විවේචනය කරන බවක් පෙනෙන්නට තිබුණි.
මැයි දින සැමරුම් පිළිබඳ කථා කිරීමේදී සාධනීය තත්ත්වයන් කිහිපයක් ද මෙවර දැක ගත හැකිවිණි. රැස්වීම් භූමි සැරසීම සඳහා පොලිතින් අඩුවෙන් භාවිත කර තිබූ අතර, රැස්වීම් නිම වූ පසු ඒ අදාළ භූමි සුද්ධ පවිත්‍ර කිරීම වෙනුවෙන් “ශ්‍රමදාන” කිහිපයක් ම පැවැත්වුන ආකාරය දැකගත හැකි විය. ජනතා විමුක්ති පෙරමුණ රෝපණය කළ එම ආදර්ශය බී.ආර්.සී. පිටියේ දී පමණක් නොව කැම්බල් උද්‍යානයේ හා ගැටඹේ හි දීත් ක්‍රියාත්මක වීම යහපත්ය. ප්‍රචාරාත්මක වාසියක් ලබා ගැනීමේ අරමුණින් හෝ පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ප්‍රශංසනීය ය. මේ අතර මැයි දිනය දා ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 69ක ආදායමක් උපයා තිබූ අතර, දේශපාලන බේදයකින් තොරව රටේ සියළු දේශපාලන පක්ෂවලට මුදල් ගෙවා ලංගම බස්රථ ලබා ගැනීමේ හැකියාව මෙවර පැවතිණි. තම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ලංගම බස් රථ ලබාගෙන මිලියන දහස් ගණනින් පොලු තැබූ රාජපක්ෂ යුගය සමඟ බලද්දි එය ද ඉදිරිගාමී තත්ත්වයක් ම ය.
---------------------------
by (2017-05-06 22:41:31)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි