~

රෝගීන් බිල්ලට ගත්තා වගේ අද පාසැල් දරුවනුත් බිල්ලට අරන්: දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කරන වර්ජන වල ඇත්තේ බලලෝභය මිස අන්කිසිවක් නොවේ -අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.05, පෙ.ව‍.9.05)  බලලෝභී දේශපාලකයන්ගේ පටු දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීමට වෘත්තීය සමිති මෙතෙක් අහිංසක රෝගීන් බිල්ලට ගත් පරිදි අද පාසල් දරුවන්ගේ අනාගතය ද අඳුරට ඇද දැමීම සඳහා ඇතැමුන් දරන වර්ජන තරයේ හෙළා දකින බවත් රටට ආදරය කරන කිසිදු වෘත්තිකයකු මෙවැනි ඊනියා විරෝධතාවන් සඳහා සම්බන්ධ නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි කියා අද (05) සිදුකරන එක් දින වැඩ වර්ජනයට ගුරු සංගම් කිහිපයක් ද එක්ව සිටින අතර එමගින් නව පාසැල් වාරය විවෘත කරන ලද සැනින් දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වී තිබේ. 

අමාත්‍යවරයා ඉහත අදහස් පළ කළේ "ශ්‍රී ලංකාවේ පුස්තකාල සංවර්ධනය සඳහා තිරසාර ජාල පද්ධතියක් ගොඩනැගීම" (Building Sustainable Network for the Development of Libraries in Sri Lanka) තේමාව යටතේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 27වන සංවත්සර උත්සවයේ ඊයේ (04) පැවති සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.   වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“මේ මගින් අසාධාරණයට ලක්වන්නේ සමස්ත ජනතාවගේ ම දරුවන් බැවින් ජනතාව මෙම අසාධාරණයට  එරෙහිව නැගීසිටීමට පියවර ගත යුතුයි. පසුගිය සමයේ ඇති වූ අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වයත්, ඩෙංගු උවදුර ව්‍යාප්තවීම සහ වෛරස් උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානම් තත්වයන් හමුවේ වුව ද සුදුසු විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම වළක්වා ගැනීමට පියවර ගනු ලැබුවේ පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කරදීම රජය  වගකීමක් ලෙස සැලකූ නිසයි.

අද රාජ්‍ය බලය ගිලිහී ඇති  එවකට දුර්දාන්ත ලෙස රට පාලනය කළ කණ්ඩායම් මෙරට තුළ SAITM වැනි නිසි නියාමනයක් නොමැති පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පියවර ගත් බව මතක තබා ගත යුතුයි. එම විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන දරුවන් අපහසුතාවයට පත් නොකිරීමට සහ පසුගිය රජය විසින් සිදු කළ අවිධිමත් ක්‍රියාකාරකම් තුළින් ජනතාවට ඇතිවන ගැහැට වළක්වාලමින් රට විධිමත් මාවතකට අවතීර්ණ කිරීම සඳහා වත්මන් රජය කැප වී කටයුතු කරනවා. ඊට එරෙහිව බලලෝභී කණ්ඩායම් ඊනියා විරෝධතා මවාපාමින් ජනතාව නොමඟ යැවීමටත්, අහිමි වී ගිය බලය නැවත අත්පත් කරගැනීමටත් ජනතාව පීඩාවට පත්කරමින් නිරර්ථක උත්සාහයක යෙදෙනවා. මේ කණ්ඩායම් පරාජයට පත්කරමින් රට දියුණුවට ගෙන යාම සඳහා මෙරට බහුතර ජනතාව පෙරමුණ ගන්නවා.“ අධ්‍යාපන ඇමැතිවරයා වැඩි දුරටත් කීය.
 
මෙහිදී  දිවයිනේ තෝරාගත් දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවල පුස්තකාල (පාසල්/මහජන) සඳහා රු.15,000/-ක වටිනාකමින් යුත් පොත් කට්ටල 100ක් පරිත්‍යාග කිරීම සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යටතේ මුද්‍රණ අනුග්‍රහය ලද ලේඛක/ලේඛිකාවන් වෙනුවෙන් චෙක්පත් ප්‍රදානය ද අධ්‍යාපන ඇමැතිවරයා අතින් සිදු කෙරිණ.
 
මීට අමතරව 2016 ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් සංවිධානය කරන ලද රචනා තරගයේ ත්‍යාග ප්‍රදානය, දෘශ්‍යාබාධිත පාඨක ප්‍රජාව වෙත පොත පත කියවීමට උපකාර කරගත හැකි ඩේසි කථන පිටපත් යන්ත්‍ර පරිත්‍යාග කිරීම, ජාතික පුස්තකාලය පිළිබඳ අත්පොත එළිදැක්වීම, ග්‍රාමීය පුස්තකාල සංවර්ධන වැඩසටහන යටතේ හක්මන ඇල්ලෙවෙල කනිටු විදුහල් පුස්තකාලය සඳහා සංවර්ධන ආධාර ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලිව්. ඒ . අබේසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

---------------------------
by     (2017-05-05 03:44:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links