(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.24, ප.ව.10.45) ප්‍රංශ ජනරජයේ 25 වෙනි ජනාධිපතිවරයා තෝරා -ගැනීමේ 11 වෙනි ජනාධිපතිවරණයේ පළමු වටය ඊයේ එනම් අප්‍රේල් 23 වෙනි ඉරු දින පැවැත්වීය. එහිදී ප්‍රංශයේ ප්‍රධාන පක්ෂ දෙක වන පාලක සමාජවාදී පක්ෂය හා ප්‍රධාන විපක්ෂය වූ රිපබ්ලිකන් පක්ෂය විසි වී යෑම ලෝක දේශපාලන ඉතිහාසයේ අතිශය විරල සිදුවීමක් මෙන්ම නව ලෝකයේ නව ප්රවනතාවයක් ද පෙන්නුම් කෙළේය. සමාජවාදීන් 6% ක් තරම් අවම අගයකට වැටී අතු ගෑවී ගියේ ය.
ප්‍රංශයේ ජනගහනය මිලියන 67 කි. එයින් මිලියන 47 ක් ඡන්දය හිමි ඡන්ද දායකයන් ය. එයින් මිලියන 14 ක් පමණ ඡන්දය පාවිච්චි නොකරන බව අතීත මැතිවරණ දත්ත අනුසාරයෙන් විශ්ලේෂකයෝ කරුණු දක්වයි. මෙවැනි පරිසරයක පැවැති මෙවර මැතිරණයට ඡන්ද මධ්‍යස්ථාන 69000 කි. ආරක්ෂාවට පොලිස් භටයන් 50000 කි. හමුදා භටයන් 7000 කි. පසුගිය දිනවල ප්‍රංශය තුල සිදුවූ ත්‍රස්ත ක්‍රියා හේතු කොට එවැනි භටයන් පිරිසක් යෙදවීමට සිදුවිය . ප්‍රංශ මැතිවරණ ඉතිහාසයේ මෙවැනි ආරක්ෂාවක් සහිතව පවත්වන ලද ප්‍රථම මැතිවරණය ලෙසද මෙය ඉතිහාස ගතවේ.
මෙවර ජනාධිපතිවරණයට 20 දෙනෙකු අයැදුම් කළද 9 දෙනෙකුගේ අයැදුම්පත් ප්‍රතික්ෂේප විය. සෑම අයදුම්කරුවෙකුම සුදුසුකම් ලැබීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී, සෙනට් සභිකයෝ, නගර සභිකයෝ, ප්‍රාදේශීය හා පලාත් පාලන සභිකයෝ අතරින් අත්සන් 500 ක් සම්පූර්ණ කළ යුතුය. එසේ නොලැබුණු 9 දෙනෙකු නුසුදුස්සෝ වූහ. සුදුසුකම් ලැබූවන් අතරින් පියොන් මහතා අත්සන් 3635 ක් ලබා ගත්තේය. සමාජවාදී පක්ෂයේ හාර්මෝ මහතා 2039 ක්ද, මැක්රොන් මහතා 1829 ක්ද, මෙලොන්ච්නෝ මහතා 805 ක්ද ලෙ පෙන් මහත්මිය 627 ක්ද ලෙස අත්සන් ලබා ගැනීමට සමත් වූහ. ඒ අනුව සුදුසුකම් ලැබූ අපේක්ෂකයෝ 11 දෙනෙක් මෙවර ඉදිරිපත්වූ අතර ඉන් දෙදෙනෙක් කාන්තාවෝ ය.
අන්ත දක්ෂිණාංශික නව පෙරමුණක් වූ ‘ජාතික පෙරමුණෙන්‘ 48 හැවිරිදි මරී ලෙ පෙන් මහත්මිය හා ‘රැඩිකල් වාමාංශික කම්කරු හඬ‘ පක්ෂයෙන් 47 හැවිරිදි නතලී ආර්තෝඩ් මහත්මිය කාන්තා අපේක්ෂිකාවෝ දෙදෙනා වූහ.
රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු අගමැති වරයෙකු වන 63 හැවිරිදි ප්රංශුවා පියොන් ද, පාලක සමාජවාදී පක්ෂයෙන් හිටපු අධ්‍යාපන ඇමැති වරයෙකුවූ බෙනුවා හාර්මෝ ද කැපී පෙණුනු අපේක්ෂකයෝ වූ අතර අන්ත වාමාංශික පක්ෂයෙන් 65 හැවිරිදි ජෝන් ලූක් මෙලොන්ච්නෝ, නව ධනපති විරෝධී පෙරමුණෙන් 50 හැවිරිදි පිලිප් පුතෝ, ‘ප්‍රංශය පෙරට‘ (එන් මාර්චෙ) පෙරමුණෙන් හිටපු ජනාධිපති ලේකම් වරයෙකු ද හිටපු අයවැය ඇමති ද වූ 39 හැවිරිදි එම්මාණුවෙල් මැක්රොන් ද, ජෝන් ලාසෙල්, ජැක් චෙමිනාර්ඩ්, ප්රංශුවා ඇසිලිනී, හා නිකොලා ඩුපොන් යන අපේක්ෂකයෝ ද වූහ.
මොවුන් අතරින් ඊයේ පැවැති ප්‍රථම වටයේ තරඟයෙන් ‘ප්‍රංශය පෙරට‘ පෙරමුණේ එම්මානුවෙල් මැක්රොන් 23.86% හා අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ මරී ලෙ පෙන් මහත්මිය 21.43% ක් ලෙස ප්‍රතිශතයන් ලබා ගනිමින් දෙවන වටයට සුදුසුකම් ලැබුවේ සමස්ථ ලෝකයේම ආන්දෝලනාත්මක සිදුවීමක් වශයෙනි.
අනෙක් තරඟ කරුවන් අතරින් රිපබ්ලිකන් පක්ෂයේ ප්රංශුවා පියොන් 19.94 %, මෙලොන්ච්නෝ 19.62% ක්ද, පාලක සමාජවාදී පක්ෂයේ බෙනුවා හාර්මෝ 6.35% ක්ද, ඩුපොන් 4.73% ක්ද, ලාසේල් 1.21%ක්ද, පිලිප් පුතෝ 1.1%, ඇසිලිනිවූ 1%, නතලී ආර්තෝඩ් 0.8%, ජැක් චෙමිනාර්ඩ් 0.2% ලෙස පිළිවෙලින් ඡන්ද ප්‍රතිශත ලබා ගත් නමුත් දෙවන වටයට නුසුදුස්සන් වූහ.
සමස්තයෙන් 77% ක් ඡන්දය භාවිතා කොට ඇත. එම ප්‍රතිශතය 2012 ජනාධිපති වරනයේදී 79%ක් වූයේය. මෙවර ඡන්ද පොළට නොපැමිණි ඡන්ද ප්‍රතිශතය 22.70%කි. වසර 2012දී එය 20.52% කි.
වැඩිම රැස්වීම් ගණනක් එනම් රැස්වීම් 31 ක් ඇමතීමෙන් ධනපති විරෝධි පෙරමුණේ පිලිප් පුතෝ ප්‍රථම ස්ථානය හිමිකර ගත් නමුත් ඔහු ලබා ගත්තේ සියයට එකකි. (ලංකාවේ ජවිපෙ මෙනි) පියොන් රැස්වීම් 29 යි, ආර්තෝඩ් මිය රැස්වීම් 29 යි, ලෙ පෙන් මිය රැස්වීම් 21 යි, මැක්රොන් රැස්වීම් 13 ක් ලෙස වාර්තා විය. ගුවන් විදුලිය හා රූපවාහිනි කාලය භාවිතා කර ඇති දන්තයන්ට අනුකූලව පියොන් මහතා පැය 310 ක් ද, බෙනුවා හාර්මෝ පැය 267 ක් ද, මැක්රොන් මහතා පැය 248 ක් ද, ලෙ පෙන් මහත්මිය පැය 240 ක් ද, ජෝන් ලූක් පැය 172 ක් ද ලෙස වාර්තා විය.
මේ අනුව පැහැදිලි වන්නේ ජනතාව ඇමැතූ රැස්වීම් ගණන හෝ සම්ප්‍රදායික විද්‍යුත් මාධ්‍ය භාවිතය ජනමතයට තීරණාත්මක ලෙස බලපා නැති බවයි.
පළමු වටයේ ප්රථීපල වලට අනුව ලබන මැයි 07 වෙනි ඉරු දින දෙවන වටය පවත්වා ප්‍රංශයේ ඊලඟ 25 වෙනි ජනාධිපතිවරයා තෝරා ගනු ලැබේ. කෙසේ නමුදු ප්‍රංශයේ ප්‍රධාන පක්ෂ දෙක වන පාලක සමාජවාදී පක්ෂය හා ඉන් පෙර පාලක පක්ෂයවූ රිපබ්ලිකන් පක්ෂයත් ජනාධිපතිවරනයකදී දෙවන වටයට සුදුසුකම් නොලැබූ ප්‍රථම අවස්ථාව ලෙසත් සම්ප්‍රදායික පක්ෂයක් නොවූ එක් වසරක් තුල ගොඩ නැගූ ‘ප්‍රංශය ඉදිරියට‘ පෙරමුණේ ස්වාධීන අපේක්ෂකයෙක් දෙවන වටයට සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය ලෙසත් ප්‍රංශයේ ඉතිහාසයට එක්වේ.
අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ මරී ලෙ පෙන් මහත්මිය දෙවන වටයට පැමිණීම ප්‍රංශ දේශපාලනයේ විශාල කැළඹීමක් ඇති වූවාට කිසි සැකයක් නැත. එබැවින් ඇයව පරාජය කොට ලෝකයා ඉදිරියේ ප්‍රංශයේ ප්‍රතිරූපය, ප්‍රංශයේ නිදහස් ලිබරල් සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීමේ වගකීම අනෙක් පරාජිත දේශපාලඥයන්ගේ වගකීමක් ද බවට පත්වී තිබේ.
එබැවින් ඉදිරි දෙවන වටයේදී මැක්රොන් මහතාට ඡන්දය පාවිච්චි කරන ලෙස පරාජයට පත් ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයෝ ද තම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කළහ. විදේශ සංක්‍රමණිකයන් විරෝධී, යුරෝපා හවුලට විරෝධී අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ මරී ලෙපෙන් මහත්මිය ප්‍රංශයේ බලයට පැමිණීම වැලැක්වීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මේ හේතු කොට ප්‍රංශ ඉතිහාසයේ ලාබාලම ජනාධිපතිවරයා වීමේ ඉතිහාස ගත වාසනාව එම්මැනුවෙල් මැක්රොන් මහතාට ලැබීමේ ඉඩකඩක් ඇත. එම අවස්ථාව ලබන මැයි මස 07 වෙනි ඉරු දින ප්‍රංශ වේලාවෙන් රාත්‍රී 08 ට ලෝකයාට දැන ගත හැකිය.
සුප්‍රකට ප්‍රංශ විප්ලයේ සිට ලෝකයට නව දේශපාලන සම්ප්‍රදායන් බිහි කිරීමේ පුරෝගාමීන් වූ ප්‍රංශයේ අද ලංකාවේ හෙට විය හැකිද යන්න 2020 දී බලාගත හැකි වනු ඇත.
---------------------------
by (2017-04-24 17:24:43)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි