~

වීරවංසගේ සසර ගමන දිගු කළ ඩෙඟ ඩෙඟ පෙරමුණ

ගානි වාසුහේවාගේ සටහනක්

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.11, පෙ.ව‍‍‍.10.00) මසුරුකම පුද්ගලයකුට නොවටිනා, නොගැලපෙන දෙයක් වේ. ඔහු තමන්ද සැපක් හෝ යමක් නොවිඳ අනෙකාට ද යමක් නොදී කටයුතු කරන්නෙකි. වසුරෙක් ලෙස නම් දරා සිටියද මසුරෙක් නොවන බව ලොවට ක්‍රියාවෙන්ම පෙන්වූ වීරවංස ජනතාවාදී වීම කෙසේ වෙතත් පිරිසිදු ඥාතිවාදියෙක් බව ඔප්පු කර තිබේ. 

කලකට පෙර සාසනය සහමුලින්ම අමතක කර දේශපාලන වේදිකා මතට නැගුණු භික්ෂූන් පිරිසක් හැඳින්වූයේ ඩෙඟ ඩෙඟ පෙරමුණ යන නමිනි. ඒ මීටියාගොඩ ගුණරතන ප්‍රධාන හිමිවරුන් පිරිසක් විසින් පිහිටුවාගත් මහ සඟ පෙරමුණ සංවිධානයයි.
 
ඉතිහාසය එකම වරද දෙවන වරටත් නොකරන්නේය යන්න පවා අභියෝගයට ලක් කරමින් නැවතත් එවන් ඩෙඟ ඩෙඟ පෙරමුණු බිහිවෙමින් ඇත. එදා මීටියගොඩලා දැවමොට්ටලා වෙනුවට අද ඊට වඩා බොහෝ අජූත ලෙසට නානසාරලා, සද්දාහිස්සලා, අභයහිස්සලා, මුරුත්තෙට්ටුවෙලා, බෙංගමුවෙලා, උඩුවෙලා තරඟයට ඩෙඟ ඩෙඟ පෙරමුණු බිහි කර තිබේ. ඉඳහිට බෙල්ලන්විලලාත් මතුවෙමින් පවතී. හරියට කියනවා නම් ත්‍රිරෝද රථයකටත් මදි තරමේ සාමාජික සංඛ්‍යාවක් සිටින වාසුලා, ගම්මන්පිලලා, දිනේෂ්ලා, ජීඇල්ලා, විමල්ලා ගේ ඩෙඟ ඩෙඟ පක්ෂ මෙනි. මේ දේශපාලනික මෙන්ම සාසනික අපතයන්ද හැඳින්විය හැක්කේ කන්දක් හඬ නගා කෙන්දක් තරම් ප්‍රමාණයෙන් සාදන කොත්තු රොටි ලෙසටය.

බිරිඳට ජැක් ගැසීමට එරෙහිව උපවාසයක්

සෑම රැකියාවක මෙන්ම දේශපාලන රැකියාවේ නියුතු අපතයන්ද තම පැවැත්ම සඳහා මොන මොනවා හෝ කළ යුතුය. විමල් වීරවංස නම් දේශපාලන අපතයාද ජනතා අවධානය සඳහාත් තම දූෂණයන්ගෙන් ගැලවීමේ අසාර්ථක ප්‍රයත්නයක් ලෙසත් රාත්‍රිය හැර උදේ දිවා ආහාර වර්ජනය කර (පෝෂ්‍යදායි දියර ආහාර පමණක් ගෙන) මාරාන්තික උපවාසයක් තෝරාගෙන තිබුණි. පළමුව ඇප ඉල්ලා උපවාසය කළ ද පසුව එහි නිරර්ථක බව කවුරු හෝ කියා දීම නිසා ඉන් ඉවත්ව ව්‍යවස්ථාව වෙනස් කිරීමට එරෙහිවත්, ගෝටා ගේ මීනීමරු කල්ලි වල සිටි හමුදා සෙබලුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිවත්, ආදී වශයෙන් තම ඉල්ලීම් වෙනස් වෙමින් තිබුණි. උපවාසය තව ඉදිරියටත් ගියා නම් ව්‍යාඝ්‍රා ගසා තම බිරිඳ හමුවීමට තරුණයන් පැමිණීමට එරෙහිවීමේ සටන් පාඨයක්ද, මාධ්‍ය හමුවලදී බිරිඳට ජැක් ගැසීමට එරෙහිවීමේ සටන් පාඨයක්ද  එක්වනු ඒකාන්තය.

 
රජයේ වියදමින් වරදාන බෙදා හදා දුන් තමන්ගේ ගැත්තන්ගේ ඔල්වරසන් මධ්‍යයේ    වීරවංස නිතර පවසනුයේ තමා හිර ගෙවල් 100 කට වුවත් යෑමට සූදානම් බවය. ඔහු එය නිකමට කටට ආවට පවසන්නක් යයි සමහරු සිතුවද එය පවසනුයේ යටි සිතට එකඟවය. ඔහු සිර ගෙවල් 100 ක් ගැන නිතර දොඩවනුයේ පසුගිය රාජපක‍්ෂ මධුසමයේ කරන ලද වැරදි ප්‍රමාණය දන්නා බැවිනි.
 
මුලදී සඳහන් කළ පරිදි තමන් මසුරෙක් නොවන බව වීරවංස ප්‍රථමයෙන්ම තමන්ගේ ඥාති පරපුරටත්,  අට්ටාල පක‍්ෂයේ නිළධාරි පිරිසටත් පෙන්වා දෙන්නට විය. හතරදෙනෙක් සිටින තමාගේ ඥාති පවුලකට වාහන 6 ක් වන පරිදි වාහනවලින් පෝෂණය කිරීමේ වාහන පාරමිතාවට  එහා ගොස් කෝටි ගණන් වටිනා නිවාසද දාන පාරමිතාවට ඇතුළත් කොට එයින්ද ඥාති පාරමිතාව සපුරා ඇත.
 
රෙජීමය බිඳ වැටීමෙන් යටගිය දවස බලවත්ව සිටි රජවරු පජවෙද්දී යුක්තිය සොයා නීතිය වීරවංස ලුහු බඳින්නට විය. සිය ගණනක් වැරදි වලින් එක වරදකට වීරවංස සිරගත විය. සිර ගෙවල් 100 ක යාමට අපේක‍්ෂාවෙන් සිටි වීරවංසට එක සිරගෙදරක සිටීම සිතට හරි මදි යයි හැඟුන නිසාදෝ ඇප අයදුම් කරන ලදී. ඇප නොලැබීම නිසා අර්ධමාරාන්තික උපවාසයක් ආරම්බකර එය මාර්කට් කිරීම මළබද්දයට පැවරුවද මේ මෙහොතේ දේශපාලන වලපයයි ගොඩපයයි සිටින ඔවුන්ට කළ හැකි දෙයක් නොවුණි. ගෙදර දොර සුලු ආරවුලකට පවා මහමග හරස්කර උද්ඝෝෂන කිරීමට අනුබල දෙන මළබද්දයන්ට වීරවංසට ඇප ඉල්ලා උද්ඝෝෂණය කිරීමට පාරට බැස්සීමට මිනිස් පුලුටක් හෝ සොයාගත නොහැකිව උපවාසය මස්තබාල්දු වුවද විඳ දරාගෙන සිටීමට සිදුවිය. වීරවංසගේ ප්‍රථම උපවාස ප්‍රේමයේදී මරණ වේදිකාවටම පැමිණ තැඹිලි පෙවූ මහින්ද මෙවර එම සංදර්ශණයට ඉදිරිපත් නොවූයේ ඔහුත් දැන් සිටිනුයේ වතුරවත් පෙවෙන්නේ නැති ගානට නිසාය.

රෝහලට අලාබයක් නොකළ වීරවංස

වීරවංසගේ පක‍්ෂයේ සිටින මුලු සාමාජිකයන් දහපහළොස් දෙනා වරින් වර තම නායකයාට අසාධ්‍ය බව පැවසුවද රටේ ජනතාව එය පයිසෙකට ගණන් ගත්තේ නැත. මන්ද දවල්ට නොකා රෑට විතරක් ගිලින උපවාසකරුවන් මිය යන්නේ නම් මෙලහකට මේ රටේ ජනතාව බාගෙට බාගයක් මිය පරළොව ගොස් සිටිය යුතු බව ජනතාව දන්නා නිසාය.

දරුවන්ගේ කඳුලින් අධිකරණය තෙත් කර ඇප ලබාගැනීමට ගැසූ තුරුම්පුවද මස්තබාල්දු වෙද්දී මොහුගේ මතකයට ආයේ සාසනයයි. මොහුගේ ප්‍රධාන අපනයන ආදායම් භාණ්ඩ ජාතිය සහ ආගම නිසා මෙය විශේෂත්වයක්ද නොවීය. තමන්ගෙන් ලාභ ප්‍රයෝජන (රජයේ වියදමින්) ලබාගත් දේවදත්ත නිකායේ කහ රෙදි පොරවන්නන් මේ සඳහා ඉදිරිපත් වූයේ එක පයින්ය. මුං වහන්සේලාත් මේ ගොං වහන්සේගෙන් ලිඛිතව ඉල්ලුවේ මේ විහිළුව වහාම නතර කරන ලෙසට විය හැක. කෙසේ නමුදු සංඝයා වහන්සේලා යයි පවසන මේ පිරිසගේ බලවත් ඉල්ලීම (ඇත්තටම) හිස් මුදුනින් පිළිගත්තා යයි දොඩවමින් වීරවංස සොඳුරු අපවාසය අවසන් කරද්දි බාල ගෝලයේ මොහුට අසාධ්‍ය බව රට්ටුන්ට පැවසුවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුයේ වීරවංස රෝහලට කිසිදු පාඩුවක් සිදු නොකළ බවය. එනම් ඔහුට කිසිදු ඖෂධයක් නොදුන් බවය. 

වීරවංස උපවාසයෙන් ජීවිතය (නොව ලැජ්ජාව) බේරා ගැනීමට ඉදිරිපත් වූ දේවදත්ත වහන්සේලා ගැනද සඳහනක් කළ යුතුය. හේතුව අනාගතයේ දිනක තනිපංගලමේ මගතොට හමුවන විටකදී හිතේ හැටියට මුං වහන්සේලාට ගෞරව දැක්වීමට ජනයාට ඉඩ සලසා දීමටය. 

ඔවුන් නම් නාපානේ ප්‍රේමසිරි, නියංගොඩ විජිතසිරි, පල්ලත්තර සුමනජෝති, කොටපිටියේ රාහුල, නාගොඩ අමරවංස, මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අබයතිස්ස, කිරම විමලජෝති, මාදුරුඔය දම්මිස්සර, ඉත්තෑදෙමළියේ ඉන්දසාර, බලන්ගොඩ සෝභිත යන කහරෙද්දට යටින් කුරහන් සාටකය භක්තියෙන් පළඳින දේවදත්තවරුන් ය. 

මෙම කහරෙදි  පිරිස හොර දූෂිතයෙක් වෙනුවෙන් මේ පෙනී සිටීම පිළිබඳව විනයධර ධර්මධර භික‍්ෂූන් වහන්සේලා වැඩ සිටිනුයේ හද කම්පා කරවන තරමේ වේදනාවකිනි.

ජාති වස්තුවේ ජාති සේවය

මුං වහන්සේලා ට අනුව වීරවංස යනු ජාති(ක) වස්තුවකි. ප්‍රභාකරන්ගේ කැළෑවට වඩා යස ඉසුරු පිරි මහින්දගේ මාළිගාව තෝරාගත් කරුණා අම්මාන්ගේ අඩිපාරේ යමින් වීරවංස ද බන්ධන සහිත ජවිපෙන් මිදී මහින්ද ළඟට පැමිණියේ ය. අගහිඟකම් නැතිබැරිකම් සියල්ල ඉවතලා ඉසුරුමත් ඇමතිකමකට පත්විය. කුඩා ව්‍යාපාර මහා ව්‍යාපාර විය. කුඩා නිවාස මහා මන්දිර විය. ජවිපෙ පාපැදියෙන් මිදී  අති සුඛෝපභෝගී වාහන කන්දරාවකට හිමිකරු විය. වීරවංස ඉසුරින් පිරි දානපතියෙක් වීම ඉහත මුං වහන්සේලාට නිවනක් වන්නට ඇත. 

මා මුලින් කී පරිදි වීරවංස සත්‍ය ලෙසටම ජාති(ක) වස්තුවකි (බඩුවකි) දේශපාලන ළදරු කාළයේම ලෝක බැංකු ප්ලග් ගලවා ලංකාව බේරාගත්තා සේම අප රටට වින කළ බැන් කි මූන් (මාරාන්තික ලෙමන් පෆ් උපවාසයකින්) එක්සත් ජාතීන්ගේ මංඩලයෙන් පලවා හැරීමත්, එමෙන්ම උද්ඝෝෂණයකදී  නි. පොළිස්පති වරයෙකුගේ හිස්වැස්ම උදුරා විසිකරමින් ගෝටා ලවා දුරකතනයෙන් සජීවීව දොස් පැවරීමද මුං වහන්සෙලා සැලකිල්ලට ගන්නට ඇත. එමෙන්ම ලෝපසිඳු මහල්ලා සහ මුහුද කෘතියේ කතුවරයා වෙනස්කර සාහිත්‍යයටද මෙහෙයක් කර ඇති බැවින්ද, නීතිය පැත්තෙන් රටේ අගවිනිසුරුවරිය එක රැයින් නඩු අසා තණතුරෙන් ඉවත් කිරිමට තරම් නීතිමය දැණුමක් තිබූ බැවින්ද, විදේශ ගමන් බලපත්‍ර 2 බැගින්ද හැඳුනුම්පත් 2 බැගින්ද භාවිත කිරීමෙන්ද, බිරිඳ සමග එක්ව තම මන්දිරයේදීම තරුණයන්ට ව්‍යාඝ්‍රා භාවිතයේ ආනිසංස ප්‍රයෝගිකව පෙන්වාදීම ගැනද තමන් ඉහළට පැමිණියද ඥාති වර්ගයා අමතක නොකර ඔවුන්ටද සුව පහසුකම් ලබාදීම ගැනද මුං වහන්සේලා සැළකිල්ලට ගන්නට ඇත. ඊට වඩා මොහු ගැන තක්සේරුවක් ගැනීමට යමක් නැති බවකවුරුත් දනී.

සද්භාවයෙන් ඉටුකරන යම් ක්‍රියාදාමයන් පවා කණපිට පෙරළෙන අවස්ථා නැතුවා නොවේ. සත්‍යවශයෙන්ම වීරවංස පාර්ශවයේ දැඩි අකමැත්ත මත තම හිතුමතයට මුං වහන්සේලා මොහු උපවාසයෙන් ගලවා ගැනීම මත විරවංසට යම් අසාධාරණයක් ද සිදුව ඇත. මේ අත්බවේදී තමාටත් බිරිඳ ඇතුලූ පවුලේ සැමටත්  අප්‍රමාණ ඥාති වර්ගයාටත් හිතමිත්‍රාදීන්ටත් සිදුකරන ලද වාහන පාරමිතාව, මන්දිර පාරමිතාව, කොන්ත්‍රාත් පාරමිතාව, කොමිස් පාරමිතාව යන පුණ්‍යකරුමයන්ගේ අනුහසින් ආණුභාවයෙන් මේ අත්බවයෙන් මිදී නිවනට හෝ අපායේ උසස්ම ස්ථානයකට සැපැත්වීමට තිබූ අනගි අවස්ථාව මග හැරීම ගැන මුං වහන්සේලාට පවු පිරෙනවා නියතය. උපවාසයෙන් මේ සසර ගමන කෙළවර කරගන්නට තිබූ දෙවන අවස්ථාවද අහිමි වී සසර ගමන දිගුවීම පිළිබඳ වීරවංස සිටිනුයේ පසුතැවිල්ලෙන් බව නම් සහතිකය.

-ගානි වාසුහේවා විසිනි-

---------------------------
by     (2017-04-11 04:51:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links