~

හෘද සාක්කියේ සම්මුතිය විසිකර අල්ලාගත් නල්ලමලේ ‘සහෝදරයන්‘ නිසා ජවිපෙට ආදරයෙන් ලියමු..! -ආනුභාවනන්ද

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.09, පෙ.ව.6.45) ජනතා විමුක්ති පෙරමුණ සමග මතවාදී හෝ පෞද්ගලික අමනාපකම් මත බෙදී වෙන් වී වෙනත් දේශපාලන බලවේග සෑදීමට දැරූ සෑම උත්සාහයක්ම ඉතිහාසය තුළ අසාර්ථක වී ඇත. හැටේ දශකයේ ඩී.අයි.ජී. ධර්මසේකරලාගේ සිට,  හැත්තෑව දශකයේ ප්‍රේමපාල හේවාබටගේලාගේ, ගාමිණී යාපලාගේ සිට, 80 දශකයේ මදරසිංහලාගේ, සමන්තලාගේ සිට විසි එක් වන සියවසේ වීරවංශලා, කුමාර ගුණරත්නම්ලා දක්වාම මෙය යථාර්ථයකි. මේ වකවානුව තුල මීට අමතරව ද ජවිපෙන් බිඳී ගොස් විකල්ප දේශපාලන කණ්ඩායම් බිහි කිරීමට දැරූ කුඩා කුඩා උත්සාහයන් දුසිම් ගණනකි. එහෙත් ඒ කිසිවෙකුට ජවිපෙ පදනම තමන් වෙත ආකර්ශණය කර ගැනීමට නොහැකි විය. 

ජවිපෙ පදනම අනන්‍යව ඇත්තේ ජවිපෙ යන පක්ෂය මත මිස එයින් ඉවත් වන හෝ එහි සිටින නායක චරිත මත නොවේ. හෙට අනුර කුමාර දිසානායක ජවිපෙන් ඉවත්ව ගියද ජවිපෙ ඉදිරියට යනු ඇත. ඊට හොඳම උදාහරණය ජවිපෙ යලි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගෙන ඒම සඳහා මහත් කැපවීමක් කළ (සමහර විටෙක එම කැප වීම දෙවැනි වන්නේ විජේවීරට පමණක් විය හැක) සෝමවංශ අමරසිංහගේ ඉවත්ව යෑමයි. ජවිපෙ ආකර්ශණීය කථිකයා වූ විමල් වීරවංශ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් ද සමග හඬ හඬා ඉවත්ව යන විට එය ජවිපෙ අවසානය යැයි බොහෝ විචාරකයෝ පැවසූහ. එහෙත් විමල් වීරවංශගේ පක්ෂයට අද තනිව තරඟ කර ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීධූරයක් හෝ ලබා ගැනීමට නොහැකිය යන්න දෑස ඉදිරිපිට පවතින යථාර්තයකි. 

වීරවංශගේ නික්ම යෑමෙන් පසු වසර 2012 අප්‍රේල් මාසයේදී පෙරටුගාමීන් වශයෙන් කුමාර ගුණරත්නම්ගේ කණ්ඩායම ජවිපෙන් නික්ම ගියහ. අප්‍රේල් 9 වෙනිදා ‘අප්‍රේල් සමරුව‘ විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වූ පෙරටුගාමීන් ජවිපෙ පදනම දෙදරවනු ඇතැයි බොහෝ විචාරකයෝ කියා සිටියහ. එහෙත් එම ප්‍රදර්ශනාත්මක ශක්තිය මාස කිහිපයක් තුළ දිය වී ගිය අතර වසර 3 කට පසු 2015 අගොස්තු මහ මැතිවරණයට රට පුරා තරඟ කරන ඔවුන්ට ලබා ගත හැකි වූයේ ඡන්ද 7,349 ක් වැනි සොච්චමකි. 

වීරවංශ සමග  ගැලවුනේ ජවිපෙ අන්ත ජාතිවාදය නම් කුමාර ගුණරත්නම් සමග ගැලවුනේ ජවිපෙ අන්ත ෆැසිස්ට්වාදය යි. වීරවංශගේ ඉවත්වීමට වඩා පෙරටුගාමීන්ගේ ඉවත්වීම ජවිපෙට “ඇඟට දැනෙන“ බලපෑමක් නිර්මාණය කිරීමට සමත් විය. එයට මූලික හේතුව වූයේ ජවිපෙ “ආර්ට් ඩිපාට්මන්ට්“ එක හෙවත් ප්‍රචාරක අංශය වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය පෙරටුගාමීන් අත්පත් කර ගැනීම ය. 

ජවිපෙ පෝස්ටර්, කටවුට්, රැස්වීම් සැරසිලි, පසුබිම් දර්ශන සියල්ල නිර්මාණය කරනු ලැබුවේ රජයේ විශ්ව විද්‍යාලයන්හි කලා පීඨයන්හි ය. සෞන්දර්ය විශ්ව විද්‍යාලය සම්පූර්ණයෙන්ම ජවිපෙ ‘ආර්ට් ඩිපාට්මන්ට් එක‘ විය. පෙරටුගාමීන් අ.වි.වි.ශි. බලය ලබා ගැනීමත් සමග ජවිපෙ ප්‍රචාරක අංශය අලුත් ආරම්භයක් කිරීමට සිදුවිය.

දේශපාලන වශයෙන් ගත් විට පෙරටුගාමීන් යනු ජවිපෙ තුල සිටි වඩාත් ෆැසිස්ට්වාදී අධිකාරීවාදී කොටස ය. ජවිපෙ වසර 2004 දී සිට අත්හදා බලමින් තිබු සන්ධාන ආණ්ඩු, ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම වැනි දේශපාලන උපක්‍රම පිලිබඳ එම කොටස අප්‍රසාදයෙන් සිටියහ. එම උපාය උපක්‍රම “ද්‍රෝහී ක්‍රියාමාර්ග“ වශයෙන් අර්ථ දැක්වූ ඔවුහු එමගින් ජවිපෙ “කන්‍යාභාවය“ ට විශාල හානියක් සිදු වූ බව පෙන්වා දුන්හ. ඔවුහු ජවිපෙ තරුණ පදනම නියෝජනය කළහ. විරුද්ධ මත දරන්නන්ට අතින් පයින් පහර දී ‘සංවාද‘ කිරීමේ ෆැසිස්ට්වාදී අනන්‍යතාවය මෙම කණ්ඩායම සමග විය. විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මෙම ෆැසිස්ට්වාදී මර්දනකාරී වැඩ පිළිවෙල ඔවුහු දශක කිහිපයක් පුරා ක්‍රියාත්මක කරමින් සිටියහ. 

එහෙත් ජවිපෙන් ඉවත් වීමේ මූලික හේතුව වශයෙන් ඔවුහු ගෙන හැර දැක්වූයේ ජවිපෙ ජාතික ප්‍රශ්නය පිළිබඳ දැරූ ජාතිවාදී ස්ථාවරයයි. තමන් දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පිළිගන්නා බව ඔවුහු ආරම්භයේදී කියා සිටියහ. එහෙත් ස්වල්ප දිනකින්ම එම ස්ථාවරය වෙනස් කරමින් ‘විප්ලවය හරහා දෙමළ ජනතාවට සාධාරණය ඉටු කිරීමේ‘ ජවිපෙ පැරණි තැටියම පෙරටුගාමීහුද වාදනය කිරීමට පටන් ගත්හ. සැබැවින්ම දෙමළ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳ හැඟීමක් තිබුනේ නම් මෙම කණ්ඩායම හඬ නැගිය යුතුව තිබුනේ ජවිපෙ “රණවිරුවන්ට“ මානෙල් මල් පළඳවන අවස්ථාවේදී ය. දෙමළ සාමාන්‍ය ජනතාව දහස් ගණනින් මිය ඇදුනු යුද්ධය පිළිබඳ “මීක්“ හඬක් නොනැඟූ මෙම පිරිසට එල්ටීටීඊ සංවිධානය පරාජය කර වසර 3 කට පසුව දෙමළ ජනතාව පිළිබඳ කැක්කුමක් ඇති වීම හාස්‍ය ජනක ය. මෙය දේශපාලන කුපාඩි කමකට සහ අවස්ථාවාදයකට වඩා වැඩි දෙයක් නොවීය.

කලා පීඨ සිසුන්ගෙන් 10% ක් වත් ඡන්දය නොදුන් පෙරටුගාමීන්ගේ සැබෑ බලය

ජවිපෙ දෙවන කැරැල්ල මර්දනය කිරීමෙන් පසුව යලි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පැමිණි ජවිපෙ සැඟවුනු නායකයා වශයෙන් සළකන්නේ “කුමාර් මහත්තයා“ හෙවත් ප්‍රේමකුමාර් ගුණරත්නම්“ ය. ජවිපෙ නායකයා සෝමවංශ අමරසිංහ වුවද සියළු දේශපාලන තීරණ ගනු ලැබුවේ ඕස්ට්‍රේලියාවට පලා ගොස් සිටි ප්‍රේමකුමාර් ගුණරත්නම් ය. ඔහු පෙරටුගාමී කණ්ඩායමට නායකත්වය ලබා දීමත් සමග එම කණ්ඩායම විශාල දේශපාලන බලපෑමක් සිදුකරනු ඇතැයි බලාපොරොත්තුවක් විය. එහෙත් ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණය වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය සමග “ඩීල්“ එකක් දමා ගැනීමෙන් පසුව ප්‍රේමකුමාර ගුණරත්නම් ලංකාවට පැමිණියේ ය. ජවිපෙ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ පසුබිම තුළ පෙරටුගාමීන් ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයා වූ දුමින්ද නාගමුව ට විශාල ඡන්ද සංඛ්‍යාවක් කඩා ගත හැකි වනු ඇතැයි රාජපක්ෂ රෙජීමයේ ගණන් හැදීම විය. එහෙත් විශාල ශබ්දයක් දමමින් ගෙන ගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවසානයේ පෙරටුගාමී අපේක්ෂකයාට ලබා ගත හැකි වූයේ ඡන්ද 9,941 කි. සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් සියයට 0.08 % කි. එම ජනාධිපතිවරණයටම තරඟ කළ ඒ.එස්.පී. ලියනගේ වැනි ගෝතයෙක් පවා ඡන්ද 14,357 ක් ලබා ගත්තේ ය. එයින් මාස කිහිපයකට පසුව පැවැති මහ මැතිවරණයේදී පෙරටුගාමීන්ට ලැබුණේ ඡන්ද 7,349 කි. සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් සියයට 0.07 % කි. ඔවුන් මේ ඡන්ද ගණන ලබා ගනිද්දී ඔවුන්ගේ මහා බලය අවිවිශිබම යැයි කීවද ඒ වන විට රටේ විශ්ව විද්‍යාල වල කලා පීඨ වල පමණක් ශිෂ්‍ය සංඛ්‍යාව 75000 ඉක්මවා අධ්‍යාපනය ලබමින් සිටියහ. එනම් ඔවුන්ට සරසවි වල කලා සිසුන්ගෙන් සියයට 10% ක් වත් ඡන්දය පාවිච්චි කර නැත. සත්‍ය වශයෙන්ම පෙරටුගාමීන්ගේ දේශපාලන බලපෑමේ සැබෑ ප්‍රතිරූපණය එයයි.

එම මහ මැතිවරණය තරඟ කළ ජවිපෙ ඡන්ද 5,43,944 ක් ලබා ගත් අතර ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය සියයට 4.87% කි. පෙරටුගාමීන් හෝ විරවංශ හෝ බෙදී වෙන්ව යෑම් මගින් ජවිපෙ ඡන්ද පදනමට සැලකිය යුතු බලපෑමක් සිදුවූයේ නැත.

හාස්‍යයට වඩා කණගාටුව

එහෙත් අවාසනාවකට මෙන් ජවිපෙ අද සටන් කරමින් සිටින්නේ රටේ ප්‍රධාන දේශපාලන බලවේග වන එජාපය හෝ ශ්‍රීලනිපය සමග නොව ඡන්ද 7000 ක් ලබා ගත් පෙරටුගාමීන් සමග ය. සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 0.1% ක ඡන්ද පදනමක් නැති පෙරටුගාමීන් සමග ය. වසර 2020 දී බලය ලබා ගැනීමට ප්‍රචාරක ව්‍යාපාරයක් මෙහෙයවන ජවිපෙ තරඟ කරන්නේ පෙරටුගාමීන් සමග වීම හාස්‍යයට වඩා කණගාටුවට කරුණකි. අවිවිශිබ අරක් ගෙන සිටින පෙරටුගාමීන් සිය ෆැසිස්ට් අන්තවාදී ස්ථාවරය වන ‘සයිටම්‘ ආයතනයට මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත කිරීමට විරුද්ධ වන විට ජවිපෙ එයට වඩා අන්තවාදී ස්ථාවරයක් ගැනීමට තරඟ කරමින් සිටී. මෙය දැන් අන්තවාදයේ ෆැසිස්ට්වාදයේ ධජය අත්පත් කර ගැනීමේ සටනකි. ජවිපෙ මෙවැනිම විකාර රූපී ගමනක පසුගිය කාලයේද ගමන් කෙළේය. එනම් ජාතික හෙළ උරුමය ජාතිවාදී වෙද්දී ඊට වඩා ජාතිවාදී වෙමින් හෙළ උරුමයේ ජාතිවාදී ධජය අත්පත් කර ගැනීමට කළ උත්සාහය යි.

පෞද්ගලික සරසවි වහනවා යැයි නොකී ‘හෘද සාක්කියේ සම්මුතිය‘

වසර 2015 මහ මැතිවරණය සඳහා තරඟ කළ අවස්ථාවේදී ජවිපෙ රටට පැහැදිලි මැතිවරණ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කෙළේය. එය “හෘද සාක්ෂියේ සම්මුතිය“ නම් විය. ජවිපෙ ට අනුව මෙම ‘ජාතික වැඩ පිළිවෙල‘ නිර්මාණය කිරීමට ජවිපෙ සාමාජිකයන් නොවන විද්වතුන්, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් ඇතුළු සමාජයේ සෑම කණ්ඩායමක්ම හවුල් වූහ. 

එම ජාතික වැඩ පිළිවෙල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට බර තැබූ සමාජ කතිකාවකට භාජනය විය යුතු අදහස් අන්තර් ගත වැඩ පිළිවෙලකි. නිෂ්පාදන ආර්ථිකයක් යෝජනා කරන ජවිපෙ විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට බදු සහන ලබා දිය යුතු බව කියා සිටියි. විශේෂයෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජන කරන දේශීය ව්‍යාපාරිකයන්ට බදු සහන සහ යටිතල ව්‍යුහ පහසුකම් ලබා දීමටත් ආයෝජන සඳහා නව ක්ෂේත්‍ර හඳුනා ගැනීමේ අවශ්‍යතාවයත් පෙන්වා දෙයි. පෞද්ගලික අංශය ආකර්ශනය කර ගැනීම සඳහා වූ යෝජනා රාශියක් එහි අන්තර් ගත විය. එපමණක් නොව සිය මැතිවරණ වැඩ පිළිවෙල විශේෂ රැස්වීමක් කැඳවා ව්‍යාපාරික ප්‍රජාව හමුවේ තැබීමට ද අනුර කුමාර දිසානායක කටයුතු කළේය. 

“හෘද සාක්ෂියේ සම්මුතිය“ යලි කියවද්දී සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පෞද්ගලික ආයෝජන වලට විරුද්ධ බවට එහි කිසිදු සඳහනක් නැත. පෞද්ගලික විශ්ව විද්‍යාල හෝ සයිටම් වසා දැමීමට යෝජනා කර නැත. ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ‘අධ්‍යාපනයේ සම අයිතිවාසිකම්‘ සැමට ලබා දෙන බව එහි මූලිකවම සඳහන් වෙයි. රජයේ වියදමින් 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීමටත් පෙර පාසැල් හා ග්‍රාමීය පාසැල් දියුණු කිරීමට ගුරු පුහුණුව ඇතුළු වැදගත් යෝජනා රාශියක් මේ අතර වෙයි. විදේශ අධ්‍යාපනයේ වැදගත් කම වටහා ගෙන ඇති ජවිපෙ වසරකට පශ්චාත් උපාධි සඳහා ශිෂ්‍යයන් 500 කට විදේශ ශිෂ්‍යත්ව ලබා දෙන බවටද පොරොන්දු වෙයි. සමස්ථයක් වශයෙන් රටේ අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ දැමීමේ අවශ්‍යතාවය ජවිපෙ අවධාරණය කරයි. සත්‍ය වශයෙන්ම මෙය බලාපොරොත්තු සහගත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් බව ඔවුනගේ ගෞරවය වෙනුවෙන් සටහන් කළ යුතුය. 

නමුත් දැන් වසර 2020 දී බලය ලබා ගැනීමේ ඉලක්කයට ජවිපෙ ගමන් කරන්නේ වසර 2015 දී රටට ඉදිරිපත් කළ “හෘද සාක්ෂියේ සම්මුතිය“ ඉරා දමාද යන්න පළමුව ප්‍රශ්න කළ යුතුය. 

එසේ නොමැති නම් ජවිපෙට අද හෘද සාක්ෂියක් නොමැතිද?

ජවිපෙ වසර 30 ක් පසුපසට

සියයට 0.1% ක ඡන්ද පදනමක් නොමැති පෙරටුගාමීන් සමග තරඟ කිරීමට පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධව මාරාන්තික අරගලයකට ජවිපෙ ප්‍රවේශ වන්නේ කුමන පදනමකින්ද? සයිටම් ආයතනයේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඇති බවට සැකයක් නැත. ඔවුනගේ ප්‍රමිතිය ඉහළ දැමීමට බල කරමින් සමස්ථ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම ජාත්‍යන්තර පාසැල් නියාමනය කිරීමේ ව්‍යුහයක් සකස් කිරීමට බල නොකර ‘සයිටම්‘ ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දැමීමට හෝ රජයට පවරා ගැනීමට හෝ බල කිරීම යළිත් වසර 30 ක් පසුපසට යෑමක් මිස ඉදිරිගාමී ගමනක් නොවේ. රාගම වෛද්‍ය විද්‍යාලය විරෝධී අරගලය ‘හයිජැක්‘ කළ ජවිපෙ සිදුකළ විනාශය අමුතුවෙන් විස්තර කළ යුතුව නැත. වසර 30 කට පසුව එම විනාශය වෙත යළි ප්‍රවේශ වන්නේ මන්ද? එම සටනේ දී බිල්ලට දුන් තරුණ ජීවිත වලින් ජවිපෙ සෑහීමකට පත් නොවන්නේ ද? එදා රාගම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අරගලයේ ප්‍රධාන කථිකයෙකු වූ මහාචාර්ය නලින් ද සිල්වා පවා ‘සයිටම්‘ පිළිබඳ අභියාචනාධිකරණ තීරණය පිලිබඳ ලිපියක් සපයමින් කියා සිටියේ ‘සයිටම්‘ ආයතනයේ ගැටළු විසඳා එම ආයතනය පවත්වාගෙන යා යුතු බවයි. එදා තමන් රාගමට විරුද්ධ වූයේ එම වෛද්‍ය විද්‍යාලය ආරම්භයේ කොළඹ විශ්ව විද්‍යාලයේ එම්.බී.බී.එස්. උපාධිය පිරි නැමීමට ගත් තීරණයට එරෙහිව බවයි. එදා එහි අනෙක් කථිකයන් වූ දොස්තර රාජිත සේනාරත්න, දොස්තර සුනිල් රත්නප්‍රිය ආදීන්ගේ වර්තමාන ස්ථාවරය ද එයමයි. 

පෙරටුගාමීන් අත තිබූ ‘සයිටම්‘ විරෝධය ‘හයිජැක්‘ කිරීමට ජවිපෙ කටයුතු කිරීම ඉතිහාසයේ එකම ඛේදවාචකය නැවත නැවත සිදුවීමක් හැරෙන්නට අන් කවරක්ද?

ජවිපෙට හමු වූ නල්ලමලේ සහෝදරයෝ

‘සයිටම්‘ විරෝධී අරගලය සඳහා ජවිපෙට දැන් නල්ල මලේ සහෝදරයන් පිරිසක් ද හමුවී තිබේ. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යි. පාදෙණිය, සොයිසා, හේරත් සහෝදරයන් සමග ජවිපෙ දැන් ‘නිදහස් අධ්‍යාපනය සුරැකීමේ‘ සටන අලුත් වටයකින් ඇරඹීමට කැස කවමින් සිටී.

ලැජ්ජා බයක් හෝ හෘද සාක්ෂියක් සහිත දේශපාලන ව්‍යාපාරයකට රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය සමග ‘නිදහස් අධ්‍යාපනය සුරැකීමට‘ අත් වැල් බැඳ ගත නොහැක. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තරම් ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පැවැත්මට බාධා කළ කණ්ඩායමක් මෙරට ඉතිහාසයේ නොමැත. 

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ත්‍රස්තවාදී සංවිධානයක් වන්නේ කෙසේද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ගෝත්‍රවාදී මාන්නයෙන් යුතු සියළු වරප්‍රසාද තමන්ට පමණක් ලැබිය යුතුය යන්න අදහන, තමන් ලංකාවේ ජීවත් වන ‘සුවිශේෂී මනුෂ්‍ය කොට්ඨාශයක්‘ නියෝජනය කරනවා යයි කියා ගන්නා ෆැසිස්ට්වාදී ත්‍රස්ත සංවිධානයකි. වෘත්තීය සමිති තම සාමාජිකයන්ගේ වරප්‍රසාද පහසුකම් වෙනුවෙන් සටන් කිරීම සම්ප්‍රදායයි. එහෙත් අනෙකුත් වෘත්තීන්ගේ නිරත වන සේවකයන්ට වරප්‍රසාද වැටුප් වර්ධක ලබා නොදෙන ලෙසට බල කරමින් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් ජීවග්‍රහයට ගෙන වැඩ වර්ජනය කරන සංවිධානයක් වෘත්තීය සමිතියක් වන්නේද? නැත. එය සැබැවින්ම ෆැසිස්ට්වාදී ත්‍රස්තවාදී සංවිධානයකි. 

* පසුගිය දශක ගණනාව පුරා විවිධ රජයන් සෞඛ්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට ගත්තා වූ සෑම උත්සාහයකටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් වූ මෙම ගෝත්‍රිකයෝ විරුද්ධ වූහ. සහකාර වෛද්‍යවරු සහ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීහු  ග්‍රාමීය ප්‍රදේශයන්හි රෝහල් පවත්වාගෙන යෑමට සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සුවිශේෂ කාර්ය භාරයක් සිදුකරති. ඔවුනට වැටුප් වර්ධකයක් හෝ ඔවුනගේ අධ්‍යාපන මට්ටම වර්ධනය කිරීමට රජය ගත් සෑම උත්සාහයකදී ම මෙම ගෝත්‍රික සංවිධානය විරුද්ධ වූහ. 

* ලංකාවේ හෙද අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමට ගැනීමට නම් හෙද පාඨමාලාව වසර තුනේ සිට වසර හතර දක්වා දීර්ඝ කර වසර හතරක උපාධියක් බවට පරිවර්ථනය කිරීමට රජය පසුගිය වකවානුවේ යෝජනා කෙළේය. වසර හතරක හෙද උපාධියක් තිබේ නම් ලෝකයේ ඕනෑම රටක හෙදියක් වශයෙන් සේවය කිරීමට අපේ හෙදියන් ට අවස්ථාවක් ලැබේ. යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ හෙදියන්ට විශාල ඉල්ලුමක් පවතී. රජයේ එම යෝජනාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාරාන්තික ලෙස විරුද්ධ විය. 

* සබරගමුව විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය සිසුන්ගේ වසර 3 ක උපාධිය වසර 4 දක්වා ඉහළ දැමීමට ද මෙම කුහක ගෝත්‍රිකයෝ විරුද්ධ වූහ. සබරගමුව සිසුන්ට ඉගැන්වීම පවා මෙම ගෝත්‍රිකයෝ ප්‍රතික්ෂේප කළහ. 

* රජයේ සේවයට එක්වන සම සෞඛ්‍ය නිලධාරීන්ගේ වැටුප් මට්ටම පහළ ස්ථානයක ස්ථාන ගත කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම කටයුතු කරමින් සිටී.

* හෙදියන්ට වෙද නලාව භාවිතා කිරීමට විරුද්ධ වීම, වින්නඹුවන්ට සිය රාජකාරිය කිරීමට ඉඩ නොදීම, හෙද නිලධාරීන්ගේ නිල ඇඳුමට විරුද්ධ වීම ඇතුළු දීර්ඝ ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකිය. 

මෙවැනි ගෝත්‍රික, කුහක, නරුම, ත්‍රස්තවාදීන් සමග එක්ව අරගල කිරීමට ජවිපෙට හැකිද? තමන්ගේ වැටුප් වර්ධකයට, රථ වාහන පර්මිට් එකක් වෙනුවෙන්, දරුවන්ට සුපිරි පාසැල් වෙනුවෙන්, බදු අය කර ගැනීම විරුද්ධව ලක්ෂ සංඛ්‍යාත රෝගී ජනතාවක් ජීවග්‍රහයට ගෙන වැඩ වර්ජන කරන සංවිධානයක් සමග ජවිපෙට අත්වැල් බැඳගෙන අරගල කළ හැකිද? පොදු ජනතාවගේ පක්ෂයක් වශයෙන් හඳුන්වා ගන්නා ජවිපෙ ට පොදු ජන විරෝධී ගෝත්‍රික, කුලවාදී රජයේ වෛද්‍ය නිලධාරීන් සමග දීග කන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. මෙවැනි දීගයකට ජවිපෙට එළැඹිය හැක්කේ සිය “හෘද සාක්ෂියේ සම්මුතිය“ බේරේ වැවට විසි කිරීමෙන් පමණි.

ජවිපෙ සහ රාජපක්ෂලා යා කෙරෙන හැටි 

මෙහි විශේෂත්වය වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක් අතකින් ජවිපෙ අල්ලාගෙන සිටින විට අනෙක් අතින් ‘සයිටම්‘ ආයතනය ස්ථාපිත කළ මහින්ද රාජපක්ෂගේ අතද අල්ලාගෙන සිටීම ය. 

මෙවැනි සන්ධානයකට යන ජවිපෙ සිය හෘද සාක්ෂිය මෙන්ම ලජ්ජා බයද අහිමි කරගෙන ඇති බව කණගාටුවෙන් යුතුව කිව යුතු ය. 

‘සයිටම් ඇතුළ පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට මාරාන්තික ලෙස විරුද්ධ වීම මගින් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අත්වැල් බැඳ ගැනීම හරහා ජවිපෙ නැවත වසර 30 ක් පසුපසට ගොස් තිබේ. පෙරටුගාමීන් සමග තරඟ කිරීම නවතා දමා වසර 2015 මැතිවරණයට ඉදිරිපත් කර ජනතාව ලක්ෂ පහමාරක් පමණ අනුමත කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය තව දුරටත් ඉදිරියට ගෙන යමින් එජාප, ශ්‍රීලනිප ජන පදනම ආමන්ත්‍රණය කිරීමට කටයුතු කරන ලෙස ජවිපෙන් ආදරයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

කන්නන්ගර වෙනුවට ‘පොල් කැඩීම‘

වසර 2020 මැතිවරණයෙන් බලය ලබා ගැනීමට හැක්කේ එවැනි ප්‍රවේශයකින් මිස වසර 30 ක් පසුපසට යමින් ඉතිහාසයේ එකම වරද දෙවරක්ම සිදුකරමින් නොවේ. ඉතිහාසයේ සිදුවීම් වන්නේ සිනාසීමට හෝ හඬා වැටීමට නොව පාඩම් ඉගෙන ගැනීමට ය. නිදහස් අධ්‍යාපනය සුරැකිය හැක්කේ ‘අධ්‍යාපනයේ නිදහස‘ විනාශ කිරීමෙන් නොවේ. නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා දුප්පත් ග්‍රාමීය දරු දැරියන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීමට සටන් කළා මිස එවකට පැවැති දහස් ගණනක් වූ පෞද්ගලික පාසැල් වසා දැමීමට උත්සාහ කෙළේ නැත. ඔහු සටන් කෙළේ පෞද්ගලික පාසැල්හි ඉහල අධ්‍යාපන ප්‍රමිතිය රජයේ පාසැල් වලට ලබා ගැනීම සඳහා ය. 

රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයේ මෙන්ම වෛද්‍ය පීඨ සිසුන්ගේ ‘සයිටම්‘ විරෝධී සටන තම ‘කුලය‘ පිළිබඳ සටනකි. සත්‍ය වශයෙන්ම මෙතැන ඇත්තේ දොස්තරලාගේ ‘පොල් කැඩීමේ‘ හෙවත් චැනලින් කිරීමේ වෙළඳ පොල තරඟයයි. ‘සයිටම්‘ හෝ වෙනත් වෛද්‍ය විද්‍යාලයකින් හෝ වෛද්‍යවරුන් බිහි වී සෞඛ්‍ය වෙළෙඳ පොළ කොටස අත්පත් කර ගනීවි යන අස්ථාන බිය යි. ඔවුන්ට නිදහස් අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් තිබේ නම් සම සෞඛ්‍ය සිසු සටනට සහයෝගය දිය යුතුය. එයට විරුද්ධ විය නොහැකි ය. 

මෑතකදී රාවය පුවත් පතට අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම කියා සිටියේ කලා පීඨ වල සිසුන් වෛද්‍ය සිසුන්ට ‘ප්‍රැක්ටිකල්‘ ‘ලෙක්චර්ස්‘ කට් වෙනවා කියමින් ඔවුන් වෙනුවෙන් පංති වර්ජනය කරමින් පෙළපාලි යන නමුත් කලා සිසුන්ගේ නිදහස් අධ්‍යාපනයට තර්ජන එල්ල වන කිසිදු අවස්ථාවක වෛද්‍ය සිසුන් සහයෝගය ලබා නොදෙන බවයි. 

මෙම ගෝත්‍රවාදී ප්‍රවේශයේ තරම පසුගියදා පැවැති අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි පෙළපාලියේදී දක්නට ලැබිණ. එම පෙළපාලියට පැමිණි බහුතරය වෛද්‍ය සිසුන් නොවන කලා සහ අනෙකුත් පීඨ වල අහිංසක සිසුන් ය. ඔවුනගේ නීති විරෝධී පෙළපාලියට පොලිස් ප්‍රහාර එල්ල වූ අතර සිසුන් කිහිප දෙනෙකු අත් අඩංගුවට පත් විය. මෙම ප්‍රහාර හෙළා දැක රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ නිකුත් කෙළේ “වෛද්‍ය සිසුන්ට එරෙහි ප්‍රහාරයට“ විරුද්ධව ය. අවශේෂ සිසුන් පිළිබඳ ඔවුනට හැඟීමක් නැත. ගුටි කෑව ද වටින්නේ තමන්ගේ කුලේ එකා මිස අනෙකා නොවේ. මෙවැනි ගෝත්‍රික කුහකයන් සමග අරගල කිරීමට යන ජවිපෙට සිදුවන්නේ අලි සෙල්ලමට දායක වූ වඳුරාට සිදු වූ වින්නැහියම ය...!

-ආනුභාවනන්ද විසිනි-

[email protected]

මේ හා සබැඳි ආනුභාවනන්දගේ ලිපි
පාදෙණිය සහ සොයිසාගේ ත්‍රස්ත සංවිධානය ජනපතිට යැවූ ලිපියට ආනුභාවනන්ද ගෙන් පිළිතුරු 

අධ්‍යාපනයේ නිදහස“ පිළිබඳ සටනේ පළමු වටය ජය ගතිමු..! නමුත් දෙවන වටයේදී ෆැසිස්ට්වාදීන් ලේ හලනවා සිකුරුයි..!!
සයිටම් නඩු තීන්දුව ගැන ‘ආනුභාවනන්ද‘ ලියයි

මාරපුත්‍රයන් සහ අපතයන් සමග ඔබ වේද අප විද්‍යා..? රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා තනි ඇහැට ඇඬෙන ඇත්ත කතාව -ආනුභාවනන්දගේ විග්‍රහය-

නියැන්ඩතාල් වම්මුන්ගේ සහ කපටි දේශප්‍රේමීන්ගේ දෙමුඛ වසා ගිනස් වාර්තා තැබූ අරුම පුදුම ‘ගෝඨා පීඨය‘ හෙවත් කොතලාවල පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කතාව -ආනුභාවනන්දගේ විග්‍රහයකි-

වෛද්‍ය අධ්‍යාපනයේ ‘එදත් මාරයා අදත් මාරයා‘ මරාචාර්ය කාලෝ ෆොන්සේකාට ආනුභාවනන්දගෙන් පිළිතුරු

---------------------------
by     (2017-02-09 01:44:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

GMOA is a merciless/swollen headed group. JVP shouldnt intervein to their unreasonable greivencies.
-- by frank on 2017-02-09

I cant comment on your posts
-- by charith on 2017-02-09

පීඩිත පංතියේ “ගැළවුම් කාරයා” කියා ගන්නා ජවිපෙ ජනතා මාරයා වන ධනපති පංතියේ වෛද්‍ය සංගමය සමග එක් වෙයි
-- by B S Perera on 2017-02-09

Your article reveals us true nature of GMOA. I feel very sorry for the students of non-medical who participate in protest rallies against SAITM.
-- by A U de Silva on 2017-02-09

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links