විමල් ධීරසේකරගේ සටහනක්
(ලංකා ඊ නිව්ස් -2017.ජන.12, පෙ.ව.10.20) විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ඡන්දය භාවිතා කළ 81.52%ක් වූ ජනතාවකගෙන් පැහැදිලි බහුතරය වන 51.28% ක් ඡන්දය දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවා තිබියදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජනමතයක් ලැබී නැතැයිද ඒ නිසා 2020 ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා යැයිද මේ දිනවල අමු පට්ට පල් බොරු කෙළින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවස්ථාවාදී කුහක තක්කඩියන්ගේ මුඛ පූට්ටු වන පිළිතුරක් ඊයේ කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් ලබා දුන්නේ ය.
ඔහු ඉතාමත් පැහැදිලිව මෙසේ කීය.
‘‘2020 කොහේ තියෙන ජනාධිපතිවරණයක්ද? ඉතින් කොහේද අපේක්ෂකත්වයක්..? විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න තමයි මේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්නේ. ඒකෙදි ජනාධිපති ක්‍රමය අහෝසි වෙනවා. අහෝසි කළ යුතුයි. ඒක තමයි ජනවාරි 8 වෙනිදා පොරොන්දුව. ජනාධිපතිතුමා සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරියේ ලබා දීපු පොරොන්දුව. දිගින් දිගටම ඔහු දරණ ස්ථාවරය. මං ඔහුගේ ස්ථාවරය හොඳින්ම දන්නවා. ජනමතයක් ලැබී නැතැයි කියන කට්ටිය අපි ජනමතය ගන්න වෙලාවේ හිටියේ නෑනේ“ රාජිත ඇමැතිවරයා කීවේය.
විධායක ජනාධිපති ධූරය තබා ගන්නා බවටත් 2020 දී ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවටත් ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ කණ්ඩායම තීන්දුවක් ගත්තේ යයි පළමුවෙන් සටහන් තැබුනේ ජනාධිපතිවරයාගේ දෙවන සංවත්සරය දාට පෙර දා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන තීරුවේ කුඩා සටහනක් ලෙසය. එයට විශාල ප්‍රසිද්ධියක් දී ඊට පසුදා එනම් හරියටම සිරිසේන මහතාගේ සංවත්සරය දා එය ප්‍රධාන සිරස්තලය ලෙස ගෙන පළ කෙළේ එම පුවත් පත් ආයතනයේම දිනපතා සිංහල පුවත් පත වන දිනපතා ලංකාදීපය යි. මේ කිසිදු වාර්තාවක් ලියූ නිශ්චිත වාර්තා කරුවෙකු නොවීය.
ඉන්පසුව ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ සහ එජනිසයේ ප්‍රධාන නායක ඇමැතිවරයෙකුගෙන් විමසන ලදුව ඔහු කී කතාව අප “‘ලංකාදීප ප්‍රධාන සිරස්තලය අමූලික බොරු..! විධායක ජනාධිපති ධූරය දිගටම පවත්වාගෙන යෑමට ශ්‍රීලනිප ඇමැතිවරු තීරණය කෙළේ නෑ‘ -ශ්‍රීලනිප එජනිස ප්‍රධාන නායක ඇමැතිවරයෙක් ඇත්ත කතාව කියයි“ යනුවෙන් එදිනම පළ කෙළේය. එහිදී අප සමග එකී ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ එහිදී සාකච්ඡා වූ සුළු කරුණක් වූයේ පක්ෂය තුල ‘අනාගත නායකයා තමා‘ යයි කියා ගෙන කල්ලි කණ්ඩායම් හදන එක නතර කළ යුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරණයක් තියන්නේ නම් ජනාධිපතිතුමා යලිත් ඉල්ලන බවට ප්‍රචාරයක් ගෙන ගියා නම් හරි යැයි එක් ඇමැතිවරයෙක් පමණක් කී බවය.
නමුත් ඉන් පසුව ඇමැති ආචාර්ය සරත් අමුණුගම සහ ශ්‍රීලනිප ලේකම් ඇමැති දුමින්ද දිසානායක දෙදෙනාද පෙර කතාව සනාථ කරමින් ප්‍රකාශ නිකුත් කෙරිණ. එහිදී ආචාර්ය සරත් අමුණුගම කියා තිබුනේ මෙය ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව විසින් ගන්නා ලද තීන්දුවක් බවයි. එය අසත්‍යයකි. මන්ද යත් ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව මෑතකදී රැස්වූයේ නැති නිසාය. ඒ බව තහවුරු කරමින් ඊයේ රාජිත ඇමැතිවරයාද කියා සිටියේ මධ්‍යම කාරක සභාවක එවැනි තීන්දුවක් ගත් බව තමන් නොදන්නා බවයි.
මේ අතර පෙරේදා 10 දා මාධ්‍ය හමුවක් කැඳවමින් සිරිසේන මහතාගේ අස්ථියක් වන් එස්.බී. දිසානායක වැඩි දුර කතාවක් කීය. කට නිසාම වරක් හිරේ විලංගුවේ පවා වැටුනු එස්බී ඇමැතිවරයා කියා සිටියේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජනමතයක් ලැබී නැති බවයි. ශ්රීලනිපය එවැනි කතාවක් කියා ඡන්දය නොඉල්ලූ බවත් එබැවින් විධායක ජනාධිපති ධූරය අහෝසි නොකර එහි ඇති බලතල පමණක් අඩු කර ජනමත විචාරණයකට නොගොස් ව්‍යවස්ථාවට සංශෝධනයක් පමණක් ගෙනැවිත් 2020 දී ජනාධිපතිවරණයක් තබන බවත් එහි අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම යලි ඉදිරිපත් විය යුතු යැයි ශ්රීලනිපය තීන්දු කර ඇති අතර පක්ෂය කියන දෙයට පිටුපා පක්ෂ නායකයා වූ සිරිසේන මහතාට ක්‍රියා කළ නොහැකි බවත් එස් බී කීවේ ය.
එස් බී ගේ එකී ප්‍රකාශය ඉතා දරුණුය.
ඉන් ප්‍රධාන වන්නේ ජනමතය ගැන කතා කිරීමට ඔහුට කිසිදු අයිතියක් නැති නිසාය. ජනමතය අනුව නම් ඔහුට පාර්ලිමේන්තුව පැත්ත පළාතක පස් පෑගිය නොහැකිය. ඔහු සහයෝගය දුන් මහින්ද රාජපක්ෂ ජනවාරි 8 වෙනිදා පරාජය වූවා මදිවාට අගොස්තු 17 වෙනිදා එස්බීවද ජනතාව විසින් පරාජය කර ගෙදර යැවුයේ ජනමතය විසිනි. පරාජිත එස්.බී.ව යලි ගෙන්වා ගෙන ඇමැතිකමක්ද දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවශ්‍යතාවයට බැවින් අද එස්.බී. කතා කරන්නේ සිරිසේන මහතාගේ අවශ්‍යතාවයක් නිසාද යන්න ගැන ජනතාවට සැකයක් පවතී.
එස්බීගේ තර්ක දෙකේ පන්තියේ ලමයෙකුවත් නොනගන තර්කයන්ය. විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියා ශ්රීලනිපය ඡන්දය නොඉල්ලූ නිසා ජනමතයක් නැතැයි කීමට ඔහුට නොහැකිය මන්ද ජනතාව ජන. 8 වෙනිදා ඔහු කියන ජනමතය පැහැදිලි ලෙසම පරාජය කර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට 51.28% ක බහුතරයකින් ඡන්දය දුන් නිසාය. අනෙක් අතට ශ්රීලනිපය කියන නිසා මෛත්‍රීපාල සිරිසේනට මග හැර යා නොහැකි යයි එස්බී කියන කතාවද වලංගු නොවන්නේ එදා බහුතරයකින් විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු යැයි ඡන්දය දුන් අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නොසිටි බැවිනි. ශ්රීලනිපය විසින් ඔහුව පක්ෂයෙන්ද ඉවත් කර තිබිණ. එනිසා මෛත්‍රීපාල සිරිසේන මහතා බැඳී සිටින්නේ ශ්‍රීලනිපයේ මතයට නොව එදා ඔහු නියෝජනය කළ පාර්ශවයේ ජනමතයට ය. අද ඔහු ජනාධිපති පුටුවේ ඉන්නේ එම ජනමතය අනුව ය. ඔහු ශ්‍රීලනිපයේ මතය පිළිගත යුතු නම් පළමුවෙන්ම කළ යුතුව ඇත්තේ ජනාධිපති පුටුවෙන් බැස යෑම ය. මන්ද එදා ශ්‍රීලනිපයට ලැබුණු ජනවරම එය බැවිනි.
මෙවැනි අමු පට්ට පල් බොරු කෙළින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවස්ථාවාදී කුහක තක්කඩියන් පළමුවෙන්ම සම්මුති ආණ්ඩුවේ ප්‍රධාන මතවාදය කුමක්දැයි තේරුම් ගෙන එයට සහාය දිය යුතුය. මන්ද යත් අගෝස්තු 17 ඡන්දයෙන්ද ජනතාව විසින් පැහැදිලිවම ඔවුන් පරාජිතයන් කර ඇති බැවිනි. සම්මුතියකට ආ යුත්තේ ජනතාව විසින් පරාජය කළ තමන්ගේ පරාජිත මත වංගු ගස්සවා පස්සා දොරින් ජයග්‍රහණය කරවීමට නොව ජනවාරි 8 වෙනිදාත් අගෝස්තු 17 වෙනිදාත් ජය ගත් ජනමතයට එකඟතාවය පළ කරමින් එහි වැරදි ඇත්නම් ඒවාද නිවැරදි කර ඉදිරියට යෑමට විය යුතුය.
තම පක්ෂයේ නායකත්ව අර්බුදයක් තිබේ නම් කළ යුතුවැත්තේ ‘ලබන ජනාධිපතිවරණයටත් මෛත්‍රී ඉල්ලනවා‘ කියා ජනමතයට පයින් ගසා විකාර දෙඩවීම නොව නව ව්‍යවස්ථාවක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නිසා ලබන පාර ජනාධිපතිවරණයක් නෑ, ‘2020 දී අගමැතිධූරයට මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයා ලෙස ඉදිරිපත් වනවා‘ යයි සත්‍ය කීමය. එවිට සිරිසේන මහතා අමාරුවේ වැටෙන්නේත් නැත. ශ්‍රීලනිපයේ නායකත්ව අර්බුදයත් විසඳෙන්නේය. දැන් කරන ගොං කතා වලින් සිදුවන්නේ තමන් විසින්ම තම නායකයා ඔහුව බලයට ගෙනා ජනතාව අතර ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැස්සවීම ය.
එසේ නැතිනම් විධායක ජනාධිපති ධූරය දින සීයෙන් අහෝසි කරනවාය යන ප්‍රධාන පොරොන්දුව දස අතේ දී ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා එම පොරොන්දුව ඉටු නොකර තවත් ජනාධිපතිවරණයකට දක්කවා ජනතාව ඉදිරියේ ඒ මනුස්සයා ජෝකරයෙකු කරවා විනාශ කිරීමට මේ තක්කඩියන් කුමන්ත්‍රණයක් කරනවා විය යුතුය.
මෙවැනි ගොං වඳුරන් රජවරුන් වට කර ගත් විට කඩු පාර කා මිය යන්නේ රජාගේ ඇඟේ වැසූ මැස්සා නොව රජා බව මෛත්‍රීපාල සිරිසේන මහතාද අවබෝධ කර ගත යුතුය.
ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය සඳහා පෙරමුණු ගැහෙද්දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ නිවසේදී පැවැති සාකච්ඡාවක් ගැන මේ අවස්ථාවේදී මතක් කර දිය යුතුය. එම සාකච්ඡාවට මෛත්‍රීපාල සිරිසේන මහතාද, ඇතුළු එදා පෙරමුණු ගැහුණු පක්ෂ නායකයෝ එක්ව සිටියහ. ඒ සමග ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් මහතා ද විය. දෙමළ ජනතාවගේ සහාය ලබා ගැනීමේ අවසාන සාකච්ඡාව වූ එදින විධායක ජනාධිපති ධූරය අහෝසි කොට බලය බෙදෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ලිඛිතව ගිවිසුමක් අවශ්‍ය දැයි සම්බන්ධන් මහතාගෙන් විමසූ විට ඔහු අපූරු පිළිතුරක් දුන්නේය. ගිවිසුමක් ඇතත් නැතත් එවැනි ගිවිසුමක් තිබෙනවා යයි කියා රාජපක්ෂලා සිංහල ජනතාව කුලප්පු කරන බව කී සම්බන්ධන් මහතා විධායක ජනාධිපති ධූරය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කරනවා යැයි සියළු දෙනාම දැන් කටින් දෙන පොරොන්දුව විශ්වාස කරන්නම් යැයි කීවේ ය. එහිදී ඒ වියපත් දෙමළ දේශපාලනඥයා කෙතරම් ගරු කටයුතුද ඔහුව අල්ලා ඉඹ ගන්නට තරම් හිතුනා යැයි කීවේ කව්දැයි අද කවුරු කවුරුත් මතක් කර ගන්නවා නම් හොඳය. අප එය මතක් කර දුන්නේ අද ගොං වඳුරන්ගෙන් කඩු පාර කෑමට පෙරය.
ජනාධිපති දෙවන සංවත්සරය දා එළියට ආ විධායක ජනාධිපති ධූරය අහෝසි නොකිරීමත්, 2020 ජනාධිපතිවරණයට සිරිසේන මහතාම තරඟ වදිනවාය යන කතාවත්, ගැන මේ වන විට කොළඹ තිබෙන විදෙස් තානාපති කාර්යාලයන්ද දැඩි අවධානය යොමු කර තිබේ. මෙය ප්‍රධාන පුවත ලෙස පළ කරන ලද්දේ ජනාධිපතිවරයාට හිතැති මාධ්‍යවේදියෙක් නිසාත්, දින සියයකින් ජනාධිපති ධූරය අහෝසි කිරීමට ආ ජනාධිපතිවරයා තමන්ගේ වසර දෙකේ සංවත්සරය දා ඒ ගැන හෝ ජනාධිපති ධූරය අහෝසි කෙරෙන නව ව්‍යවස්ථාව ගැන හෝ බීඑම්අයිසීඑච්හි තම සංවත්සර කතාවේදී කෙළ බිඳක් නොහෙලීම නිසාත්, තානාපති අංශ වල බලවත් සැකයක් හට ගෙන තිබේ. ඒ මෙකී කතාව පිටුපස ජනාධිපතිවරයා සිටීද කියා ය. එසේ වන්නේනම් එය සංහිඳියා වැඩ පිළිවෙල කඩා කප්පල් කෙරෙන, සම්මුති ආණ්ඩුවේ අවසානය සනිටුහන් වන, එනිසාම සංවර්ධන වැඩ පිළිවෙලවල් සිහිනයක් වන එක වැළැක්විය නොහැකිය යන්න තානාපති අංශ වල මතයයි. තානාපති අංශ වල මෙකී සැක කටයුතු තත්ත්වයන් ශුද්ධ කිරීම ජනාධිපතිවරයාගේ වගකීමකි.
එසේ නොමැතිව කවුරුන් හෝ කිසියම් ‘ආප්ප අදහසක්‘ යටි සිතේ තබාගෙන කටයුතු කරන්නේ නම් එකක් අවධාරණය කළ යුතුය. ජනවාරි 8 වෙනිදා යහපාලනය සඳහා එකතු වූ බලවේග අරලිය හාල් කනවා විය හැකිය. නමුත් හාල්පාරුවන් නම් නොවේ.
---------------------------
by (2017-01-13 05:09:33)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි