~

ලංකා ඊ නිව්ස් ගිනි තැබීම ගැන වචනයක් හෝ කතා නොකර එහි භාවිතාව ගැන කතා කිරීම විහිළුවක්: විජයදාසගේ තර්ජනය මෑතකදී ජනමාධ්‍යයකට කළ බරපතලම තර්ජනයයි...!

-ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිට ලියයි-

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.22, පෙ.ව‍‍‍‍‍‍.4.15)  මෑතකදී ජනමාධ්‍යයට කළ බරපතලම තර්ජනය නම් අධිකරණ ඇමැතිවරයා විසින් ලංකා ඊ නිව්ස් සහ එහි කතුවරයා වෙත එල්ල කළ තර්ජනය බවත් පසුගිය රජය සමයේ ලංකා ඊ නිව්ස් ගිනි තැබීම ගැන වචනයක් හෝ කතා නොකරන වත්මන් ආණ්ඩුව ඊ නිව්ස් හි භාවිතාව ගැන කතා කිරීම විහිළුවක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය පවසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා 2014 දී ශ්‍රීලනිපය හැරපියා පොදු අපේක්ෂකයා ලෙස වගකීම බාරගත්තේ හරියට ම ඊයේ (නොවැ 21) වැනි දිනක වන අතර එම දිනය අනුස්මරණය කරමින් වත්මන් ආණ්ඩුව යටතේ ජනමාධ්‍යයට එල්ල වී ඇති තර්ජන පිලිබඳ සටහන් කරමින් එම ලිපිය යවා තිබේ.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංමය ජනාධිපතිට යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.  


2016 නොවැම්බර් මස 21 වැනිදා 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
ජනාධිපති ලේකම් කාර්යාලයය,
කොළඹ.
ජනාධිපතිතුමනි,

ජනමාධ්‍යයට දිගින් දිගටම බලපෑම් කිරීමට විරෝධය දැක්වීම

“මේ රටේ මාධ්‍ය නිදහසක් තිබෙනවාද? සහෝදර මාධ්‍යවේදියනි, මේ රටේ මාධ්‍ය නිදහස ගැන ඔබේ හෘද සාක්කිය ඔබට කතා කරනවා ඇති. මොන තරම් බලපෑම් තිබෙනවාද? මොන තරම් වරදාන තුටු පඬුරු ප්‍රදානය කරන්න උත්සාහ කරනවාද? ජන මතය පෙන්වන්නේ නැතිව වෙනස් කරන්න මොන තරම් බලපෑම් කරනවාද? රටේ සත්‍ය මොන තරම් වසන් කරනවාද? නිදහස් මාධ්‍ය මොන තරම් වළලලා තිබෙනවාද? ජනතා ඡන්දයෙන් බලයට පත් වෙන අපේ ආණ්ඩුවක් තුළ ඉතා පැහැදිළිවම  මේ රටේ සැබෑ වූ මාධ්‍ය නිදහසක් මම ඇති කරනවා. ඕනෑම මාධ්‍යවේදියකුට තමන් කැමති ලෙස ලියන්න කතා කරන්න, ඕනෑම මාධ්‍ය ආයතනයකට නිදහසේ කටයුතු කරන්න සැබෑ ලෙසම ඒ අයිතිය මම තහවුරු කරනවා. “

අදට හරියටම වසර දෙකකට පෙර ඔබ මහින්ද රාජපක්ෂ රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය අත්හැර පොදු අපේක්ෂකයා ලෙස පැමිණ කොළඹ නව නගර ශාලාවේ පැවැත්වූ පළමු මාධ්‍ය හමුවේ කළ කතාවෙන් කොටසකින් මෙම ලිපිය ආරම්භ කිරීමට ලැබීම ගැන කණගාටු වෙමු.

පසුගිය ආණ්ඩු සමයේ පැවැති සුදු වෑන් සංස්කෘතිය සහ මාධ්‍යවේදීන් ඝාතනය වීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම මේ වන විට නතර වී ඇතත් තවමත් ජනමාධ්‍යවේදීට සෘජුව හා වක්‍රව කරන බලපෑම් නතර වී ඇත. සුදු වෑන් සංස්කෘතිය නතර වූ පමණින්, මාධ්‍ය ආයතන ගිනි තැබීම නතර වූ පමණින් මාධ්‍ය නිදහස තහවුරු කළ නොහැකි බව අපේ අදහසයි. 
 
අතුරුදන්වූ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියාගේ බිරියට අධිකරණ භූමියේදීම බොදු බල සේනාවේ පිරිසක් බැණ තර්ජනය කර තිබුණේ ඔබේ පාලන කාලයේදීම ය. එම නඩුවට අවශ්‍ය සහාය යුද හමුදාවෙන් නොලැබෙන බව රහස් පොලිසිය අවස්ථා ගණනාවකදී අධිකරණයට දැනුම් දුන්නේය. යුද හමුදාව භාර ඇමැති වරයා වන්නේ ද ඔබම ය. එලෙස තිබිය දී මාධ්‍යවේදියා පැහැර ගැනීම ගැන පරීක්ෂණවලට යුද හමුදාවෙන් අවශ්‍ය සහාය නොලැබීම බරපතල තත්ත්වයකි.

අපක්ෂපාතී වාර්තාකරණයක් සඳහා ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් මාධ්‍යවේදියකු කරුණු විමසද්දී ඔහු නොහොබිනා වචනයෙන් එම මාධ්‍යවේදියාට බැණ තිබිණි. ජනාධිපතිවරයා ලෙස ඔබ එම ඇමැතිවරයා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් අපි නොදනිමු.

පසුගිය කාලයේ මාධ්‍යවේදීහු කිහිප දෙනෙක්ම පහරකෑමට ලක්වූහ.

ඔබ රජයේ මුදල් ඇමැතිවරයා වන රවී කරුණානායක මහතා ද පසුගියදා ජනමාධ්‍යට චෝදනා එල්ල කළේය. අය වැය යෝජනා වලියේ ඇති යෝජනාවක් ජනමාධ්‍ය වාර්තා කිරීමේ ඇති වැරැද්ද කුමක්දැයි අපි නොදනිමු. ඔබ මීට වසර දෙකකට පෙර ප්‍රකාශ කළේ ජනමාධ්‍ය රටේ සත්‍ය වසන් කරන බව සහ එලෙස කිරීම ආණ්ඩුව බලපෑම් කරන බවයි.  ඕනෑම මාධ්‍යවේදියකුට තමන්ට කැමති ලෙස ලියන්නට කතා කරන්නට අවස්ථාව උදා කරණ බව ඔබ එදා කීවේය. 

මෙවර අය වැයේ  486 වැනි යෝජනාව  මෙසේය. “මාර්ග නීති උල්ලංඝනය සඳහා අයකරන දඩ මුදල් වැඩි කිරීම. මාර්ග අනතුරු හේතුවෙන් දිනපතා ජීවිත ගණනාවක් අහිමි වේ. බොහොමයක් අනතුරු වලට හේතුව මාර්ග නීති උල්ලංඝනය කිරීමයි. මාර්ග නීති උල්ලංඝනය සඳහා වන අවම දඩ මුදල රු. 2,500 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා“ මේ වන විට ඇති අවම රථවාහන දඩය රුපියල් 20 කි. ජනමාධ්‍ය මෙය වාර්තා කිරීමත් සමඟ මුදල් ඇමැතිවරයා චෝදනා කළේ ජනමාධ්‍ය තමා කී දෙය විකෘති කර ඇති බවයි. ඒ ගැන ඔහු දිගින් දිගටම ජනමාධ්‍යයට චෝදනා කළත් ජනමාධ්‍යයන් කර ඇත්තේ සිද්ධිය වාර්තා කිරීමක් පමණි.

අධිකරණ භූමියේ දී ම ඔබ රජයෙන් පත් කළ වරාය සභාපතිවරයා මාධ්‍යවේදියකුට තර්ජනය කිරීමේ සිදුවීමක් ද වාර්තා විය.

ජනමාධ්‍ය නිර්දය ලෙස රටේ ජනාධිපතිවරයා විවේචනය කරන බව අවස්ථා කිහිපකයදී ඔබ චෝදනා මුඛයෙන් කථා කළත් එලෙස නිර්දය ලෙස විවේචනය කළේ කුමන අවස්ථාවලදී දැයි කීවේ නැත. ඔබ මීට වසර දෙකකට පෙර ප්‍රකාශ කළේ ජනමාධ්‍යයට රජයේ කටයුතු විවේචනය කිරීමට නිදහස ලබා දෙන බවයි.

මෑතකදී ජනමාධ්‍යයට කළ බරපතලම තර්ජනය එල්ල කරනු ලැබුවේ ඔබ රජයේ අධිකරණ ඇමැතිවරයා විසිනි. ඔහු ලංකා ඊනිවුස් මාධ්‍ය ආයතනය ගැනත් එහි කර්තෘ ගැනත් අදහස් දැක්වූ අකාරය අපි හෙළා දකිමු.  ලංකා ඊ නිවුස් මාධ්‍ය ආයතනය පසුගිය රජය සමයේ ගිනි තැබීම ගැන වචනයක් හෝ කතා නොකරන වත්මන් ආණ්ඩුව එම මාධ්‍ය ආයතනයේ භාවිතාව ගැන කතා කිරීම විහිළුවකි.
 
පසුගිය දශකයේ මාධ්‍යවේදීන් ඝාතනය වීම, පහර දීම, අත්අඩංගුවට ගැනීම සහ පැහැර ගැනීම් ගැන වාර්තාවක් සාගල රත්නායක ඇමැතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම ලැයිස්තු ඉදිරිපත් කරමින් මාධ්‍ය සංවිධාන දිගින් දිගටම ඔබ රජයෙන් ඉල්ලීම් කළේ ඒ සියලු සිදුවීම් ගැන විමර්ශන කර අපරාධ කරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසයි. නමුත් මේ වන තුරුත් විමර්ශන ආරම්භ වී ඇත්තේ කිහිපයක පමණි. ඔබ බලයට පත්වී වසර දෙකකට ආසන්න වී ඇතත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට නොහැකිවීම ගැන අපි කණගාටු වෙමු.

ඉහත සියලු සිදුවීම් ගැන සොයා බලා ජනමාධ්‍ය නිදහස තහවුරු කරන මෙන් අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට විශ්වාසී

තරිඳු උඩුවරගෙදර
සභාපති

තරිඳු ජයවර්ධන                 
ලේකම්                     
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

---------------------------
by     (2016-11-21 22:49:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links