~

අගවිනිසුරු, නීතිපති, අධිකරණ අමාත්‍යංශ ලේකම් වැනි නීති විශාරදයින් නීති උපාධිධරයන්ගේ මූලික අයිතිවාසිකම් කඩති

(ලංකා ඊ නිව්ස් -2016.සැප්.23, ප.ව.11.30) රජයේ විශ්ව විද්‍යාලයක  ශ්‍රී ලාංකීය නීතිවේදී උපාධිය අවසන් කර පැමිණෙන සිසුන්ට ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුල අවසන් වසර විභාගයට පමණක් පෙනී සිටීමෙන් නීතිඥ වෘත්තියට පිවිසීමට ඇති හැකියාව කොතලාවල විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන් හට පමණක් ලබා නොදීමට නීති විද්‍යාලය පරිපාලනය වන නීති අධ්‍යාපන සභාව මේ වන තුරුද කටයුතු කරමින් සිටිති. උපාධිධරයන් වන ඔවුන්ට තවත් වසර 3 ක් නීති විද්‍යාලයේද කාලය නාස්ති කිරීමට සිදු කර තිබේ. මේ හේතුවෙන් රටේ උගත් නැණවත් තරුණ දරුවන්ගේ ජීවිතයෙන් වසර ගණනාවක් කාබාසිනියා කර දැමීමට අදූරදර්ශී පරිපාලනය ක්‍රියා කරයි.
  
ලංකා ඊ නිව්ස් මීට පෙර ද මේ සම්බන්ධයෙන් තොරතුරු හෙලිදරව් කර තිබෙන නමුත් අලුත් තත්ත්වය හෙලිදරව් කිරීමට මෙම ලිපිය සම්පාදනය කෙළෙමු.

ඉහත කී  ශ්‍රී ලාංකීය නීතිවේදී උපාධිය අවසන් කර පැමිණෙන සිසුන්ට ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුල අවසන් වසර විභාගයට පමණක් පෙනී සිටීමේ අයිතිය දැනට ලැබෙන රාජ්‍ය විශ්ව විද්‍යාල (කොළඹ, පේරාදෙණිය, යාපනය,  විවෘත විශ්ව විද්‍යාලය ) හා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය අතර ඇති අත්‍යාවශ්‍ය සමානකම් මෙසේය

අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාල මෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයද රාජ්‍ය විශ්ව විද්‍යාලයක් වීම.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පැවැත්වූ තත්ත්ව පරීක්ෂණ වාර්තාව මගින් එම නීතිවේදී උපාධියට ‘අතිවිශිෂ්ට’ සාමාර්ථයක් හිමි වීම.

උපාධිය වසර 4 ක අධ්‍යයන කාලයකින් යුක්ත වීම.

ශ්‍රී ලාංකීය විෂය නිර්දේශය ආවරණය වන ශ්‍රී ලාංකීය නීතිවේදී උපාධියක් වීම.

තවද මෙම සිසුන් බඳවා ගැනීමේදී එම විශ්ව විද්‍යාලයේ එවක උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා  හා නීති පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා  මහතා විසින් පැහැදිලිවම එම නීතිවේදී උපාධියේ ගුණාත්මක භාවය කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධියට සමාන බවත් එනිසා උපාධිය සාර්ථකව නිම කිරීමෙන් පසුව නීතිඥ වෘත්තියට පිවිසීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන්ට මෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට පමණක් පෙනීසිටීමට අවශ්‍ය බවට පොරොන්දුවක් ලබා දී තිබේ. එවකට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය කොස්තා මහතා ද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට පැමිණ එම පිළිගැනීම ඔවුන් හට ලැබෙන බවට සහතික වී ඇත.
 
නමුත් 2015 ජනාධිපතිවරණයෙන් පැවති රජය වෙනස් වීමෙන් පසු අධිකරණ අමාත්‍යවරයා වෙනස් විය. නව ඇමැති විජේදාස රාජපක්ෂ මහතා විසින් නව නීති අධ්‍යාපන සභාවක් පත් කළ අතර එම වෙනස් වීමෙන් පසු මේ වන තුරුත් මෙම පිලි ගැනීම නිල වශයෙන් ලබා දීමට නීති අධ්‍යාපන සභාව කටයුතු කර නොමැත. මේ හේතුවෙන් වසරක් මුළුල්ලේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීහු අතිමහත් අපහසුතාවයන්ට මුහුණ දෙමින් සිටිති.

මෙයට හේතුව වශයෙන් දක්වන්නේ දැනට එම පිළිගැනීම ලබා දී ඇත්තේ ‘විශ්ව විද්‍යාල පනත’ යටතේ ඇති විශ්ව විද්‍යාල වලට පමණක් බවයි.

සාමාන්‍යයෙන් පනතක් යනු ව්‍යවස්ථාදායකයේ අරමුණකි. විශ්ව විද්‍යාල පනත  මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයද පිහිටුවා ඇත්තේ පාර්ලිමේන්තු පනතක් මගිනි. (2007 අංක 27 න් සංශෝධිත 1981 අංක 68 දරන ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලිය පනත) එයද ව්‍යවස්ථාදායකයේ අරමුණක් වේ. 

තවද අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පැවැත්වෙන අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතී. මෙලෙස අමාත්‍යංශ යටතට බෙදා වෙන් කිරීමේ එකම අරමුණ පරිපාලනය හා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී පහසු වීමයි.  එනිසා රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය හරහා ප්‍රතිපාදන වෙන්වන අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ප්‍රතිපාදන වෙන්වේ.

ඒ හැර අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාල මෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පුර්ණ මැදිහත්වීම යටතේ සිදුකෙරෙන අතර එයට උදාහරණ ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය සඳහා කොමිෂන් සභාව පැවැත්වූ තත්ත්ව පරීක්ෂණ වාර්තාව මගින් ‘අති විශිෂ්ට’ සාමාර්ථයක් ලබා දීම පෙන්වා දිය හැක. විශ්ව විද්‍යාලිය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වරයා නිල බලයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන මණ්ඩලයේ සාමාජිකයෙකුද වේ. එසේ හෙයින් ස්වාධීන පනතක් මගින් පැවතීම වැනි වචන වලට සීමාවන හේතු දක්වමින් උපාධියේ ගුණාත්මකභාවය හා සමානාත්මතාවය නොසලකා හරිමින් කටයුතු කිරීම කිසිසේත් සාධාරණ නොවේ.

තත්වය මෙසේ තිබියදී ගුණාත්මකභාවයෙන් ශ්‍රී ලාංකීය නීතිවේදී උපාධියක් වන රාජ්‍ය විශ්ව විද්‍යාලයක් මගින් පිරිනමන නීතිවේදී උපාධියක් සඳහා වෙනස් ආකාරයකින් සැලකීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති සමානාත්මතාවයේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමකි. හාස්‍යයට කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ අගවිනිසුරු තුමන් , නීතිපති තුමන්, අධිකරණ අමාත්‍යංශ ලේකම්තුමන්, වැනි නීති ක්ෂේත්‍රයේ විශාරදයින්ගෙන් සමන්විත නීති අධ්‍යාපන සභාව මගින් මෙම උපාධිධාරීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමයි.

නීති අධ්‍යාපන සභාවේ රීති වලට අනුව මෙම තත්වය දක්වා ඇත්තේ ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයක නීතිවේදී උපාධිධාරීන් සඳහා ප්‍රථම හා දෙවන වසරවල විෂයයන් නිදහස් කර ඇති බවය. එම රීතියේ “ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලය” යන්න මෙසේ අර්ථ නිරුපනය කොට ඇත.

In this rule “university of Sri Lanka” means; 
A university of Ceylon established by the Ceylon university ordinance
A university established or deemed to have been established by the higher education act no 20 of 1966
The university of Ceylon established by the university of Ceylon act no 01 of 1972 ; or 
A university established or deemed to be established by the university act no 16 of 1978.

මෙම රීති නීති අධ්‍යාපන සභාව මගින් සකස් කල රීති වන අතර එවකට පැවති වටපිටාව ආවරණය වන ලෙස සකස් කොට ඇත. මෙම රීති යාවත්කාලින කිරීම ද කළ හැක්කේ  නීති අධ්‍යාපන සභාවටම පමණකි. තවද මෙම අර්ථ නිරූපනය  දෙස බැලූ බැල්මටම පෙනී යන්නේ එය කලානුරුපිව යාවත්කාලින වී ඇති බවයි.

මෙම රීති වලින් පිළිගැනෙනා උපාධිවල ගුණාත්මකභාවයට සමාන සුදුසුකම් සහිත උපාධිධාරීන් නීති විද්‍යාලයට පැමිණි විට ඔවුන්ට ලැබිය යුතු නිසි පිළිගැනීම ලබාදීම (විෂයන් නිදහස් කර දීම) නීති විද්‍යාලීය පරිපාලනයේ වගකීමකි. අවශ්‍ය නම් එම රීතින් යාවත්කාලීන කිරීමට නීති අධ්‍යාපන සභාවට බලය ඇති අතර ඒ සඳහා කල්මැරීමට අවශ්‍ය නොවේ. මිනිසා විසින් සකස් කළ සියලුම නීති රීතින් මිනිසා විසින්ම කාලානුරුපීව යාවත්කාලීන කළ යුතු අතර එකම රීති තුලම එල්බගෙන සිටීමට නම් නීති අධ්‍යාපන සභාවට විද්වතුන් පත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. 
 
පරිපාලනයේ තර්ක වලට අනුව මෙම පනත් ගණයට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය නොවැටෙන බැවින් එම විශ්ව විද්‍යාලයේ පනත සංශෝධනය කොට විශ්ව විද්‍යාල පනත හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගත  හොත් මෙම පිළිගැනීම ලබා දිය හැකි බවය.

නමුත් එම විසඳුම කළ නොහැක්කකි. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල පනත යටතට ගත හැකි නම් යුධ හමුදාව, නාවික හමුදාව, හා ගුවන් හමුදාවද උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගත හැකි විය යුතුය. එනිසා එය කළ නොහැක්කකි. නමුත් අධ්‍යාපනයේ අවශ්‍යතාවයන් හා ගුණාත්මකභාවය සම්පුර්ණ වන ආකාරයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා සියලු අධ්‍යයන කටයුතු පවත්වා ගත යුතු ආකාරයට මෙම විශ්ව විද්‍යාලයීය පනත  නිර්මාණය කර ඇත.

මෙවැනි කළ නොහැකි විසඳුම් ඉදිරිපත් කරමින් කල් දමමින් සිසුන්ගේ අනාගතය විනාශ වන කුහක යාතාර්ථයක් තුල කිනම් අනාගතයක් සිසු දරුවන්ට උරුම වේවිද? අවසානයේ එය අප රටේ අනාගතයට වල කැපීමක් නොවේද? මෙවැනි කටයුතු වලින් අගමැතිවරයා කියන පරිදි විශේෂඥයන් රට තුල රඳවා ගත හැකි වේවිද?

උපාධියේ ගුණාත්මක භාවය සහතික කොට ඇත්නම් නීති අධ්‍යාපන සභාවේ රීති යාවත්කාලීන කොට එම විෂය පථය යටතට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ඇතුලත් කිරීම වැනි නීති අධ්‍යාපන සභාවටම කළ හැකි පහසු මාර්ගයක් තිබියදී ඒ වෙනුවට පාර්ලිමේන්තුව මගින් පනත් සංශෝධනය කිරීම වැනි දීර්ඝ අපහසු ක්‍රියාවලියකට  උපදෙස් දීම මගින් මෙම උගත් බුද්ධිමත් නීති අධ්‍යාපන සභාවේ නිලධාරීන් පළිගන්නේ මේ රටේ දරුවන්ගෙන් නොවන්නේද? 

එහෙත් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා අයැදුම් කළ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන් කිහිප දෙනෙකුට එහි විෂය නිර්දේශයට අයත් විෂයන් 14 න් විෂයන් 9 ක් නිදහස් කර ඇත්තේ එම විෂයන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් ලබාගත් නීතිවේදී උපාධිය තුල ආවරණය වීමත් එම උපාධිය ලෝකය පිළිගත් ඉහල ඝනයේ ගුණාත්මක භාවයකින් යුතු උපාධියක් වීමත් නිසා බව මෙහි සටහන් කළ යුතුය. මෙම තත්වය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින්ද සහතික කොට ශ්‍රී ලංකා නීති විද්‍යාලයට යවා ඇත. නමුත් එකදු විෂයක් හෝ නිදහස් කර දීමට ශ්‍රී ලංකා නීති විද්‍යාලය කටයුතු නොකිරීම නින්දා සහගත ය.

තවද නීති අධ්‍යාපන සභාවට ඔවුන්ගේ ගුණාත්මකභාවය ඇස්පනාපිටම ප්‍රයෝගිකව  මැනිය හැකි අවස්ථාවක් ලෙස 2016 අප්‍රේල් පළමු වසර විභාගයට පෙනී සිටි කොතලාවල උපාධිධාරීන්ගේ ප්‍රතිපල විශ්ලේෂණය කිරීම දැක්විය හැකිය. ඔවුන්ගෙන් 95% ක පමණ ප්‍රතිශතයක් එම විභාගය සමත් වී ඇත. 

කෙසේ වෙතත් ඉක්මනින් මෙම ගැටලුව විසඳා සිසු දරුවන්ගේ අනාගතය තහවුරු කර දෙන මෙන් අප නීති අධ්‍යාපන සභාවෙන් ඉල්ලා සිටින අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය 2016  නොවැම්බර් 02 දින එම විශ්ව විද්‍යාලය අයත් අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. එහිදී මේ හේතුවෙන් අතිගරු ජනාධිපතිතුමන්ට උපාධිධාරීන්ගේ හා දෙමවුපියන්ගේ දැඩි විරෝධතාවයක් එල්ල විය හැකි අතර එසේ වුව  හොත්  අත්තනෝමතික ලෙස මෙම පිළිගැනීම ලබා නොදීම හේතුවෙන් එහි වගකීම සම්පුර්ණයෙන්ම නීති අධ්‍යාපන සභාව භාර ගත යුතුය.

අවසාන වශයෙන් මෙම නිලධාරීන්ට අමතක වී ඇති සත්‍යයක් මතක් කර දිය යුතුය. ඒ ජනවාරි 08 වර්තමාන ජනාධිපතිතුමන්ගේ පත්වීම හේතුකොට ගෙන අප රටේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වී මෙම අනිකුත් පත්වීම් සියල්ල ඔවුනට ලැබුණු බවත් එම පත්වීම් ලබාදීමේ බලාපොරොත්තුව අසරණ සිසු දරුවන්ගේ අනාගතය විනාශ කිරීම නොවන බවත් වගකිවයුත්තන්ට තරයේ මතක් කර දීමටද  කැමැත්තෙමු. තවද ඔවුන්ගේම ගෞරවනීය වෘත්තිය වන නීතිඥ වෘත්තියට ඇතුළුවීමට නියමිත මෙරට සාමාන්‍ය දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමට සිත් පහල වේවා යැයි ද ප්‍රාර්ථනය කරමු.

-අසාධාරණයට ලක්වූ කොතලාවල නීති පීඨ සිසුන්-

---------------------------
by     (2016-09-23 20:06:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

තලන්නට තලන්නට පන්නරය හොඳ වේයැයි කීවද, වැඩිය තැලීමට ගොස් යකඩය කැඩුනොත් විසිවන කැබලි තලන්නාටද තුවාල සිදුකල හැක...
-- by Law Student @ KDU on 2016-09-24

Sri Lankawata mechchara Law Schools mokatada?
-- by GLP on 2016-09-24

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links