අහලාවත් නොතිබූ අලගර්පෙරුමාල්ගේ සහ කුකුල් කොටුවෙන් මතුවූ විභූතිගේ කතාව
(ලංකා ඊ නිව්ස් -2016.සැප්.02, ප.ව.11.50) ‘ප්‍රේමදාසට මාස තුනයි‘ යැයි කියූ ජවිපෙ කැරැල්ල ප්‍රේමදාස ජනාධිපතිවරයා මර්දනය කෙළේ ශ්‍රීලනිපය ප්‍රමුඛ විපක්ෂයද කුඩු පට්ටම් කරමිනි. ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පරාජය වූ ශ්‍රීලනිපය ප්‍රමුඛ විපක්ෂ බලවේග කුජ්ජිතව සිටියේ ය. විජය ගේ ඝාතනයෙන් බිහි වූ එක්සත් සමාජවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් බෙදා ගැනීමට නොහැකිව විසිරී ගියේය. ඔසී අබේගුණසේකර, ශ්‍රී ලංකා මහජන පක්ෂය ප්‍රේමදාස අතේ නැටවෙන රූකඩයක් බවට පත් කර තිබිණ. එදා ප්‍රේමදාස පාලනයට එරෙහි විපක්ෂයක් වූයේ විකල්ප පුවත් පත් කිහිපයකි.
එම විකල්ප පුවත් පත් අතරේ පළමුවැන්න නම් වසර 1990 ආරම්භ කළ ‘ලක්මිණ‘ පුවත්පතයි. ඒ සඳහා මුදල් යෙදැවූයේ එවකට කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප මන්ත්‍රී තිලක් කරුණාරත්න ය. ‘ලක්මිණ‘ කාර්යාලය ස්ථාපිත කරනු ලැබුවේ බොරලැස්ගමුවේ අත්හැර දමනු ලැබූ කුකුළු කොටුවක ය. පුවත් පත පෞද්ගලික මුද්‍රණාලයක මුද්‍රණය කළ අතර ටයිප් සෙටින් පවා සිදුකරනු ලැබුවේ ‘ලක්මිණ‘ කාර්යාලයට පරිබාහිර ස්ථානයක ය.
තිලක් කරුණාරත්න යනු සිංහල බෞද්ධ ජාතිකවාදියෙකි. අද දක්වා එය නොවෙනස්ව පවතී. එදා ‘ලක්මිණ‘ කර්තෘ මණ්ඩලය සඳහා ඔහු තෝරාගනු ලැබුවේ ඔහුගේ දේශපාලන දර්ශනයේ පෙර ගමන් කරුවන් වූ මහාචාර්ය නලින් ද සිල්වාය. මහාචාර්ය සිල්වාගේ ගෝලයෙකු වූ චම්පික රණවක සහ ‘චින්තන පර්ෂදයේ‘ කිහිප දෙනෙකු ‘ලක්මිණ‘ කර්තෘ මණ්ඩලය සමග එක් වූ ලේඛකයන් අතර විය. ‘ලක්මිණ‘ කර්තෘ වූයේ සුනිල් මාධව ප්‍රේමතිලක ය. ඒ වන විට ජනප්‍රිය නොවූ නවක පුවත් පත් කලාවේදීන් කිහිප දෙනෙක් ද ‘ලක්මිණ‘ කර්තෘ මණ්ඩලයේ සිටියහ. ඒ අතර බණ්ඩාර වැවගෙදර, එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි තිඹිරියාගම බණ්ඩාර, ඩලස් අලහප්පෙරුම, මහින්ද විතානාරච්චි සහ නීති විද්‍යාල ශිෂ්‍යයෙකු වූ කේ.ඩබ්ලිව්. ජනරංජන වූහ.
‘ලක්මිණ‘ පුවත් පත ආරම්භ කර මාස කිහිපයකින්ම ‘රාවය‘ ද විකල්ප පුවත් පතක් වශයෙන් වෙළෙඳ පොළට එක්විය. මුල් වකවානුවේ මෙම විකල්ප පුවත්පත් දෙකම එක සේ ජනප්‍රිය වූ අතර ප්‍රේමදාස විරෝධී බලවේග වලට නව බලාපොරොත්තුවක් රැගෙන ආවේය. එහෙත් ‘ලක්මිණ‘ ආරම්භ කර මාස ගණනාවක් ගත වන විට කර්තෘ මණ්ඩලය අතර දැඩි මතවාදී අරගලයක් ඉස්මතු විය. මහාචාර්ය නලින් ද සිල්වා, චම්පික රණවක ප්‍රමුඛ කණ්ඩායමට පුවත් පත ‘ජාතික චින්තන‘ දේශපාලන ධාරාවේ ගෙන යෑමට අවශ්‍ය වූ අතර සුනිල් මාධව ප්‍රේමතිලක, බණ්ඩාර වැවගෙදර, තිඹිරියාගම බණ්ඩාර, ඩලස් අලහප්පෙරුම, මහින්ද විතානාරච්චි ඇතුළු කණ්ඩායම එයට දැඩි ලෙස විරුද්ධ වූහ. දෙවැන්නෝ ජවිපෙ ට පක්ෂපාත ස්ථාවරයක සිටියහ. මේ වන විට ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණ සිටියේ නැති වුවද ජීවිත බේරාගෙන සිටි පහළ ස්ථරයේ ජවිපෙ ක්‍රියාකාරීන් තම සීමාවන් තුළ ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබිණ.
කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය මූලික කර ගනිමින් මහාචාර්ය නලින් ද සිල්වා ගේ ජාතික චින්තන දේශපාලනය විශ්ව විද්‍යාල පද්ධතිය පුරා පැතිර යමින් තිබිණ. ඔවුන්ගේ ප්‍රධාන සතුරන් වූයේ යළි හිස එසවීමට උත්සාහ කළ ජවිපෙ පක්ෂපාතී සිසු කණ්ඩායම් ය. මහාචාර්ය නලින් ද සිල්වාගේ ආශිර්වාදයෙන් ඔහුගේ ගෝල බාලයෝ ජාතික චින්තන මතවාදයට විරුද්ධ ඕනෑම බලවේගයක් බාහු බලයෙන් යටපත් කරමින් සිටියහ. ‘ලක්මිණ කර්තෘ මණ්ඩල අර්බුදය ද එම ‘චන්ඩි දේශපාලනයේ‘ කැටපතක් විය. පුවත් පත සම්පූර්ණයෙන්ම ජාතික චින්තන ‘ලයින්‘ එකේ ගෙන යෑමට නොහැකි වූ අවස්ථාවේ තවදුරටත් පුවත් පත මුද්‍රණය කිරීමට ඉඩ නොදෙන බවට තර්ජනය කරමින් මහාචාර්ය සිල්වා, චම්පික රණවක ඇතුළු ජාතික චින්තන කණ්ඩායම ‘ලක්මිණ‘ කාර්යාලයෙන් එළියට පැමිණියහ. මෙම සිද්ධිය වූයේ පුවත් පතේ අවසාන පිටු මුද්‍රණයට යවන බ්‍රහස්පතින්දාවක ය. එහෙත් සුනිල් මාධව ඇතුළු ජවිපෙ හිතවාදී කණඩායම කෙසේ හෝ පුවත් පත මුද්‍රණය කර වෙළඳපොලට එක් කිරීමේ අධිෂ්ඨානයෙන් සිටියහ. එදින මධ්‍යම රාත්‍රිය වන තෙක් ඔව්හු පිටු සකස් කළ අතර අවසානයේ කාර්යාල සහායකයන් දෙදෙනෙකු යතුරු පැදියකින් සකස් කළ පිටු මුද්‍රණාලය දක්වා ගෙන ගියහ. එහෙත් පිටු රැගෙන ගිය යතුරු පැදියට ‘ලක්මිණ‘ කාර්යාලයේ සිට මීටර් කිහිපයක් යෑමට පෙර දෙහිවල පාරේ රැක ගෙන සිටි චම්පික රණවක ඇතුළු පිරිසක් මුද්‍රණයට ගෙන යමින් තිබූ පිටු පහැරගෙන ඉරා දැමූ අතර යතුරු පැදියේ සිටි දෙදෙනා මැර ප්‍රහාරයට ලක් විය. මෙම ප්‍රහාරයෙන් පසුබට නොවූ සුනිල් මාධව ඇතුළු කන්ඩායම නැවත පිටු සකස් කර පුවත් පත වෙළඳපොළට එක් කළහ.
නලීන් ද සිල්වා, චම්පික රණවකලා සමග ‘ලක්මිණ‘ පුවත් පතෙන් ඉවත් නොවූ කේ.ඩබ්.ජනරංජන පසුදිනයේ කුඩා සටහනක් තබා නික්ම ගියේ ය. එහි සඳහන් වූයේ තමා ‘ලක්මිණ‘ට සම්බන්ධ වූයේ මහාචාර්ය නලින් ද සිල්වාගේ ආරාධනයෙන් බැවින් තව දුරටත් සේවය කළ නොහැකි බවයි. බොරලැස්ගමුවේ ‘ලක්මිණ‘ කාර්යාලයෙන් නික්ම ගිය ජනරංජන නැවතුනේ රත්මලානේ ‘රාවය‘ කාර්යාලයේ ය. ජනරංජනගේ නික්ම යෑමත් සමග සුනිල් මාධව ඇතුළු කණ්ඩායමට සිටි එකම චිත්‍ර ශිල්පියා අහිමි විය. ‘ලක්මිණ‘ කවි පිටුවට චිත්‍රයක් ඇඳ ගැනීමට කිසිවෙකු නොමැත. ‘ලක්මිණ‘ පුවත් පතේ අභ්‍යන්තර අරගලය හොඳින් දැන සිටි ජවිපෙ ක්‍රියාකාරීහු සුනිල් මාධව ඇතුළු කණ්ඩායමට සහාය දීමට හෙවත් ‘කොක්ක ගැසීමට‘ තරුණයෙකු බොරලැස්ගමුවට යොමු කළහ. කෙසඟ හීන් දෑරි තරුණයෙකු වූ ඔහුගේ නම ‘විභූති‘ ය. තරමකට චිත්‍රයක් ඇඳ ගැනීමට හැකි වූ නිසා ඔහුගේ සේවය ලබා ගන්නා ලෙස නවකයන්ට කවදත් අත හිත දෙන හිත හොඳ මිනිසෙකු වන සුනිල් මාධව සිය කර්තෘ මණ්ඩල සගයන්ට උපදෙස් දුන්නේය.
මීට පෙර මෙකී ‘විභූති‘ ප්‍රසිද්ධියේ අවසන් වරට දැක ගත හැකි වූයේ 1989 කළුතරදී ය. කළුතර විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ ඔහු ඒ වන විට පාසැලේ ජවිපෙ ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිටියේ ය. දිනක් ඔහු ජවිපෙ අත් පත්‍රිකා සමග ලංගම බසයක ගමන් කරමින් සිටින අවස්ථාවක කළුතර නගරයට ආසන්නයේ දී හමුදා කණ්ඩායමක් හදිසියේ එම බස්රථය පරීක්ෂා කිරීමට ලක් කෙළේය. තමා අත වූ තිබූ කුඩා පාර්සලය බස් රථයේ තබා මාරු වන ‘විභූති‘ වසර ගණනාවක් සැඟවී සිට නැවත මතු වන්නේ ‘ලක්මිණ‘ කුකුල් කොටුවෙනි.
‘ලක්මිණ‘ට පැමිණෙන විභූති ඒ දිනවල සිටියේ ආර්ථික දුෂ්කරතාවයේ අගාධයකය. ඒ ‘ලක්මිණ‘ කාර්යාලය අසල පෙට්ටි කඩෙන් ණයට ප්ලේන්ටි බී, පාන් කාල කන කාලයයි. එහෙත් ඔහුට ‘ලක්මිණ‘ පුවත් පතේ වැඩි කාලයක් රැඳී සිටීමට නොහැකි වූයේ පුවත් පත ස්වභාවික මරණයක් දක්වා ගමන් කිරීමට ඉඩ ලබා දීමට එහි හිමිකරු තිලක් කරුණාරත්න තීරණය කළ බැවිනි.
වසර දෙකකට පසුව ‘විභූති‘ නැවත මතුවන්නේ බොරැල්ල සුපර් මාකැට්ටුවේ ආරම්භ වූ ‘ලක්දිව‘ පුවත් පතෙනි. ‘ලක්මිණ‘ පුවත් පතේ සුනිල් මාධව, තිඹිරියාගම බණ්ඩාර, ඩලස් අලහප්පෙරුම, ඇතුළු පිරිසක් සහ ‘දිවයින‘ හි විනී හෙට්ටිගොඩ එක්ව ‘ලක්දිව‘ පුවත් පත ආරම්භ කළහ. අර්ථපතියා වූයේ තිලක් ඈපාරච්චි ය. සුනිල් මාධව සහ විනී සම කර්තෘවරු වූ අතර ඩලස් අලහප්පෙරුම ප්‍රවෘත්ති කර්තෘ විය. ‘ලක්මිණ‘ පුවත් පතේ ජාතික චින්තන කණ්ඩායම නික්ම ගිය පසුව පුවත් පතේ ‘ප්‍රවෘත්ති පිටු‘ හි වගකීම පැවරී තිබුනේ ඩලස් අලහප්පෙරුමට ය. ‘ලක්මිණ‘ පුවත් පතේ මරණ මංචකයේ ‘සහායට ඩැනී‘ ගේ චරිතය රඟ පෑ ‘විභූති‘, විමලසිරි ගම්ලත් වශයෙන් රූපාන්තරණය වූයේ ‘මාධ්‍යවේදී‘ ලේබලය යටතේ ය.
ජවිපෙ නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එකතු කිරීමේ පෙර ගමන් කරු වූ ‘ලක්දිව‘ පුවත් පතේ ශිෂ්‍ය පිටුව හෙවත් ‘අකුර‘ සංස්කරණය කිරීම මෙම විමලසිරි ගම්ලත් ට පැවරිණ. වැටුප රු. දෙදහස් පන්සියයකි. ආර්ථික අහේනියේ පතුලටම වැටී සිටි විමලසිරි ගම්ලත් ගේ ප්‍රථම නිල වැටුප් ලබන රැකියාවේ ආදායම බොරැල්ල සුපර් මාකැට්ටුවේ ‘කාන්තිගේ හෝටලයේ‘ පොතට කෑ බිල් ගෙවූ පසු කොළඹ නවාතැන් ගැනීමට පවා ප්‍රමාණවත් නොවීය. මිතුරන්ගේ බෝඩිං වල ‘ගජේ ගසමින්‘ ‘දෙන්නම් කාසි‘ වලට පොතට ආහාර ගනිමින්, මිතුරන්ගේ ඇඳුම් ණයට අඳිමින් ජීවත් වීමට ඔහුට සිදුවිය.
‘ලක්දිව‘ හරහා ප්‍රේමදාස රජයේ අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සහ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ ශිෂ්‍ය අරගල, මානව හිමිකම්, දකුණේ අතුරුදහන් වීම් වලට විශාල ප්‍රචාරයක් ලබා දුන් අතර විමලසිරි ගම්ලත් විශ්ව විද්‍යාල සහ තරුණ සමාජ කව සංවිධානය කරන සංවාද සම්මන්ත්‍රණයන්හි කැපී පෙනෙන ආරාධිත දේශකයෙකු විය. දැන් ‘විමලසිරි ගම්ලත්‘ සිවිල් චරිතයකි.
වසර 1994 අගෝස්තු මැතිවරණයේදී ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලනයට ඒමට තීරණය කළ අතර ඒ සඳහා ආරිය බුලේගොඩගේ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පක්ෂය සමග ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ නම් දේශපාලන වේදිකාවක් ගොඩ නගන ලදී. ‘ලක්දිව‘ මාධ්‍යවේදී විමලසිරි ගම්ලත් ජවිපෙ ප්‍රචාරක ලේකම් ‘විමල් වීරවංශ‘ වශයෙන් රූපාන්තරනය වී පූර්ණකාලීන දේශපාලනඥයෙකු බවට පත්විය.
මෙම පරිවර්ථනය ආර්ථික වශයෙන් ඔහුට යහපත් වූ අතර ජවිපෙට උදව් කළ පහළ මධ්‍යම පංතික ව්‍යාපාරිකයන් සමග සම්බන්ධතා ගොඩනගා ගනිමින් නව ව්‍යාපාරික ලෝකයට විමල් වීරවංශට දොරටු විවෘත විය. තැපැල් සහ විදුලි සංදේශ ඇමැති මංගල සමරවීර ගේ ආධාරයෙන් පෞද්ගලික ‘ටෙලි කොමියුනිකේෂන්‘ ආයතනයක් මාවරමංඩියේ ආරම්භ කිරීමට බලපත්‍රයක් ලබා ගන්නා විමල් වීරවංශ අනූව දශකයේ මැද භාගයේදීම තම දේශපාලන ගමන් මග ගැන ප්‍රසිද්ධ සංඥාවක් නිකුත් කෙළේය.
විදුලි සංදේශ ව්‍යාපාර ආයතනය ගැන චෝදනා එල්ල වන විට ඔහු කිසිදු හිරිකිතයක් නැතිව කියා සිටියේ එයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවත් එය සිය බිරිඳගේ ව්‍යාපාරයක් බවත් ය. ජවිපෙ ප්‍රචාරක ලේකම් වශයෙන් ‘ජපන් සමන්‘ ඇතුළු ව්‍යාපාරිකයන් සමග ගණුදෙනු කිරීම ආරම්භ කිරීමෙන් සුළු කලෙකින්ම විමල් වීරවංශගේ මෙන්ම ඔහුගේ බිරිඳ ශෂී වීරවංශගේ කරල පැසෙමින් තිබෙන බව ඔහු සමග ලඟින් ඇසුරු කළ බොහෝ දෙනෙකුට අවබෝධ විය. මිතුරන්ගේ කලිනම් කමිස ‘ගජේට‘ අඳිමින් සිටි විමලසිරි ගම්ලත්, ජෙල් ගා හිස පීරා නව විලාසිතාවේ ඇඳුම් ආයිත්තම් අඳිමින් සැරිසරනු දැකිය හැකි විය. ශෂී වීරවංශ සිටියේ විමල් වීරවංශ දේශපාලනඥයාටද ළං විය තරම් නොහැකි තැනෙක ය.
ඒ දිනවල වඩාත් ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් වූයේ කඩුවෙල ජීවත් වූ විමල් වීරවංශගේ පුත්‍රයා ආනන්ද විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුලත් කර ගැනීම ය. ඒ පිලිබඳ පැහැදිලි පිළිතුරක් ලබා දීමට විමල් වීරවංශ හෝ ජවිපෙ ඒ දිනවල සමත් නොවී ය. බිම් මට්ටමේ ජවිපෙ ක්‍රියාකාරීන් බොහෝ කැප කිරීම් කරමින් පක්ෂය වෙනුවෙන් කැප වන විට විමල් වීරවංශ වැනි ඉහල පෙළේ නායකයන්ගේ හැසිරීම ඔවුන් පෙනී සිටින සමාජ සාධාරණත්වයේ ප්‍රතිපත්තීන්ට විශාල අභියෝගයක් විය. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට දස අතේ දිවුරන ජවිපෙ විමල් වීරවංශ සම්බන්ධයෙන් එදා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඔවුනගේ සැබෑ නිරුවත ප්‍රදර්ශනය වීමකි.
ජවිපෙ මහින්ද රාජපක්ෂගේ පළමු ජනාධිපතිවරණයට සහාය පළ කිරීමත් සමග විමල් වීරවංශ මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා යන සියළු රැස්වීම් වල ප්‍රධාන කථිකයා විය. එතෙක් ඒ තරම් විශාල ජනතාවකට ආමන්ත්‍රණය කර නොතිබූ විමල් වීරවංශට එය ආස්වාද ජනක වූවාක් මෙන්ම මහින්ද ‘මල්ලී‘ කියා ආමන්ත්‍රණය කිරීමත්, කවදාවත් නොගිය හෙලිකොප්ටර් වල ගමන් බිමන් යෑමට හැකි වීමත් හේතුවෙන් ඔහු ජවිපෙ අනෙක් නායකයන්ටත් එහා ගිය කූල්ටූර් පොරක්ම ලෙස ඇඳ ගත්තේය. අවසානයේ ජවිපෙ සිට ජාතික නිදහස් පෙරමුණට රූපාන්තරණය වී පක්ෂ නායකයෙකුද වූ විමල් වීරවංශ මහ රජාගේ ඇමැතිධූරයක්ද බාරගෙන මහරාජාගේ අංක එකේ සට්ටැඹි රාල කෙනෙකු බවට පත්විය.
ඔහු ඇමැති ධූරය ගෙන සිදුකළ වංචා දූෂන දෙවැනි වන්නේ රාජපක්ෂ පවුලට පමණි. ජාතික නිදහස් පෙරමුණ නමැති දේශපාලන පක්ෂයේ මධ්‍යම කාරක සභාව නඩත්තු කෙළේ විමල් වීරවංශට අයත් අමාත්‍යාංශ මගිනි. රුපියල් මිලියන ගණනාවක රාජ්‍ය දේපොල සහ මුදල් ඔහුගේ උපදෙස් නියෝග මත අවභාවිතා කර ඇත. විමල් වීරවංශගේ දේශපාලන පක්ෂයට අනුබද්ධ සංවිධාන නඩත්තු වූයේ ද පොදු ජන මුදලිනි. ඉත්තෑපානේ කහකඩයාගේ සිංහල බෞද්ධ මැර සංවිධානයට අමාත්‍යාංශ වාහන නිකුත් කිරීම එක් උදාහරණයකි. ලැයිස්තුව දිගය. ශෂී වීරවංශගේ හොර උප්පැන්න සහතික නිර්මාණය කිරීම, විමල් වීරවංශගේ හොර පාස්පෝට් මගඩිය, කෝටි ගණන් වටිනා නිවාස නෑදෑයින්ට තුට්ටු දෙකට ලබා දීම, අයියා ගේ මගඩි, ඇතුළු දූෂන පිලිබඳව දැනට පරීක්ෂණ පැවැත්වේ. නමුත් සියළු දෑ සිදුවන්නේ ඉබි ගමනිනි.
ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට මෙන්ම අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධව එදා සිට අද දක්වා කෑ ගසන විමල් වීරවංශ අනෙක් සෑම ක්ෂේත්‍රයකදී මෙන්ම මෙරට අධ්‍යාපනය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ද කුහක අවස්ථාවාදී දෙබිඩි මජර ප්‍රතිපත්තියකි. පළමු වසරට ආනන්ද විද්‍යාලයට සිය පුත්‍රයා නීති විරෝධීව ඇතුළු කරන විමල් වීරවංශ ඔහුගේ පුත්‍රයා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු කරන්නේ ස්කොට්ලන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ය. (මොන කරුමයකට හෝ පුතණ්ඩියාට දමා ඇත්තේ ද පෙර කී ‘විභූති‘ නාමයයි) ආර්ථික අහේනියේ පතුලේ සිටි විමලසිරි ගම්ලත්ට කිසිදු රැකියාවක් නොකර කිසිදු ව්‍යාපාරයක්ද නොකර පසු කලෙක සිය පුත්‍රයා ස්කොට්ලන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට මුදල් ගෙවා අධ්‍යාපනය ලබා දීමට හැකිවීම ‘ආසියාවේ ආශ්චර්යයක්‘ හැරෙන්නට වෙන කිසිවක් නොවේ.
මෙම ආසියාවේ ආශ්චර්යය එකවර පහල වූවක් නොවේ. ඒ සඳහා ඔහුට මූලික සමාජ ප්‍රාග්ධනය හිමි වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකගේ පහනෙනි. සමාජ දේශපාලන දැක්මෙහි සීමාවන් තිබුනද සුනිල් මාධව යනු හිත හොඳ සුන්දර මිනිසෙකි. පාසැල් කාලයේ සිටම චේගුවේරා මැදිලියේ විප්ලවයට වසඟ වූවෙකි. හැටේ දශකයේ ආනන්දයේ ඔහු සමග ඉගෙනුම ලැබූ කීර්ති බාලසූරිය (විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නැසී ගිය නායක) සුනිල් මාධව සමග දේශපාලන සංවාද අවසන් කරන්නේ “උඹලා ඉතින් ජේවීපී කාරයෝනේ“ යැයි සිනහා සෙමිනි. ආනන්දයේ සිට ලේක් හවුස් ආයතනයට එක් වන සුනිල් මාධව එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් තරුණ රැඩිකල් නියෝජනයේ සංඛේතය බවට පත්විය. මෙරට ප්‍රථම විකල්ප පුවත් පත ‘ලක්මිණ‘ ආරම්භ කරන විට ඔහු රැගෙන එන්නේ එම සමාජ ප්‍රාග් ධනය යි. පසුව එය ‘ලක්දිව‘ ට හුවමාරු වෙයි. කිසිවෙකු නොදන්නා පාසැල් මට්ටමේ ජවිපෙ ක්‍රියාධරයෙකු වන විභූති, විමලසිරි ගම්ලත් නමින් සිවිල් චරිතයක් වන්නේ සුනිල් මාධව ‘ලක්දිව‘ ට ගෙන එන තරුණ රැඩිකල් ආකර්ශනයේ ප්‍රතිලාභ භුක්ති විඳිමිනි. පසුකලෙක විමල් වීරවංශ නමින් ජවිපෙ ප්‍රචාරක ලේකම් වන්නේද මහරජාගේ සට්ටැඹි ඇමැත්තෙකු වශයෙන් ‘ආසියාවේ ආශ්චර්ය‘ වන්නේ ද සුනිල් මාධව ගෙන් ගසා ගත් ‘පැට්‍රෝල්‘ වලට පින් සිදුවන්නට ය.
විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශගේ දර්ශන ප්‍රතිබිම්බය ඩලස් අලහප්පෙරුම ය. ඩලස් ‘ලක්මිණ‘ පුවත් පතට සම්බන්ධ වනවිට කිසිවෙකු ඔහුගේ නම පවා අසා තිබුනේ නැත. ඔහු ‘ලක්මිණ‘ කර්තෘ මණ්ඩලයේ සිටින අවධියේ වෘත්තීය පුවත් පත් කලාවේදීන්ගේ සංගමයේ නිලවරණයක් පැවැත්විණ. ‘ලක්මිණ‘ පුවත් පත වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම කාරක සභාවට තරඟ වැදුනේ ය. පත්තර ලෝකයේ කිසිවෙකු ඩලස් ගැන දැන සිටියේ නැති බැවින් නිලවරණයෙන් ඩලස් පරාජය වීම ඉර හඳ සේ පැහැදිලි ය. මේ අවස්ථාවේදී සුනිල් මාධව සියළුම පුවත් පත් ආයතන වල සහෝදර පුවත් පත් කලාවේදීන්ට ලිපියක් යොමු කරමින් තමා වෙනුවෙන් ඩලස්ට ඡන්දයක් දෙන ලෙසට ඉල්ලා සිටියේ ය. සුනිල් මාධවගේ ඉල්ලීමට විශාල ප්‍රතිචාරයක් හිමි වූ අතර ඩලස් පහසුවෙන් කාරක සභාවට තේරී පත් විය. එහෙත් ඩලස්ට මනාපයක් දුන් පුවත් පත් කලාවේදීන් ඔහුගේ මුහුණට ම කියා සිටියේ තමන් ඡන්දයක් දුන්නේ සුනිල්ගේ ඉල්ලීම නිසා බවයි. ‘ලක්මිණ‘ පුවත් පතේ සිටියදී කිසිවෙකු දැන නොසිටි ඩලස් අලහප්පෙරුම සිවිල් චරිතයක් බවට පත් වන්නේ ‘ලක්දිව‘ හරහා ය. ඒ මූලිකවම සුනිල් මාධව ගේ සමාජ ප්‍රාග් ධනය හරහා ය. දෙවනුව ජවිපෙ ආකර්ශනය, අනුකම්පාව මතය.
‘ලක්දිව‘ ආරම්භ කරන විට එහි ඉලක්ක ගත පාඨක කන්ඩායම වන්නේ ඒ වන විට සම්පූර්ණයෙන් මර්දනය කර තිබූ ජවිපෙ යි. මර්දනයෙන් දිවි බේරා ගත් ජවිපෙ අනුගාමිකයෝ ඔවුනට මතවාදී සහාය සහ අනුකම්පාව දැක්වූ කොටස්, අතුරුදහන් වූ තරුණ තරුණියන්ගේ මව්වරු සහ ඥාතීන්ට හඬක් ලබා දීම ‘ලක්දිව‘ අරමුණ වූ බව රහසක් නොවේ. ‘ලක්දිව‘ මංගල කලාපයේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ ද ජවිපෙ යලි නැගිටින බව වන අතර ඒ සඳහා සාක්කි ඉදිරිපත් කර තිබුනේ යුරෝපය මුල් කර ගනිමින් ජවිපෙ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ සිදුවීමකි. ජවිපෙ දේශපාලන වශයෙන් යලි ස්ථාපිත කිරීමේ පෙර ගමන් කරු වීමට අමතරව එවකට පැවැති ප්‍රේමදාස රජයේ මර්දනකාරී ක්‍රියා මාර්ගයන්ට අභියෝග කිරීම හරහා පොදු ආණ්ඩු විරෝධීන්ගේ ආකර්ශනය දිනා ගැනීම ‘ලක්දිව‘ හි අනෙක් අරමුණ විය.
දරුවන් අතුරුදහන් වූ මව්වරුන්ගේ කඳුළු, ස්වාමීන් අහිමි වූ බිරින්දෑ වරුන්ගේ සුසුම්, නව රැඩිකල් තරුණ තරුණියන්ගේ විරෝධාකල්ප, සරසවි සිසුන්ගේ අපේක්ෂා භංගත්වය, ප්‍රේමදාස විරෝධී බලවේග වැනි සමාජය වසා පැවැති සියළු දෝමනස්සයන්ට ආමන්ත්‍රණය කිරීමට ‘ලක්දිව‘ කටයුතු කෙළේය. ඒ සියල්ලටම ඉහලින් සුනිල් මාධව නමැති රොමැන්ටික් රැඩිකල් මාධ්‍යවේදියා ඒ වනතෙක් රැස්කර ගෙන තිබූ සමාජ ප්‍රාග්ධනය විය. මෙම සමාජ ප්‍රාග්ධනයේ සහ සමාජ බලවේග වල මිශ්‍රණයේ වාසිය හිමිවූයේ විමල් වීරවංශට සහ ඩලස් අලහප්පෙරුමට ය.
මේ බානට දේශපාලනයට ප්‍රවේශ වීමට ‘ලක්දිව‘ දැවැන්ත ආයෝජනයක් විය. නමුත් ඒ බානට උත්ප්‍රේරකය වූ ජවිපෙ කණ්ඩායම ‘ලක්දිව‘ සහ සුනිල් මාධව අතහැර ගියේ තිරිසන් ආකාරයට ය. ‘ලක්දිව‘ පුවත් පතේ එවක ආධුනික ලේඛකයෙකු වූ රෝහිත භාෂන අබේවර්ධන සහ විනී හෙට්ටිගොඩ වෙනම කණ්ඩායමක් ලෙස කඩාගෙන ගොස් ‘හිරු‘ නමින් පූර්ණ ජවිපෙ මතවාදයේ පුවත්පතක් ආරම්භ කෙළේ ‘ලක්දිව‘ පුවත් පතට සහ එහි අයිතිකරු තිලක් ඈපාරච්චිට එරෙහිව වෛර සහගත ලෙස පහර දීමෙනි. එය කෙතරම්දැයි නීච දැයි කිවහොත් මොවුන් නික්ම ගියේ ‘ලක්දිව‘ පිටු සැකසීමට යොදා ගත් ඇපල් වර්ගයේ පරිඝනක තුලට සිරිංජර මගින් වතුර විද ඒවා විනාශ කර දමමිනි. ‘ලක්දිව‘ දේපොල එසේ විනාශ කරමින් ‘හිරු‘ ආරම්භ කිරීමට දේපොල මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සම්පාදනයට විනීලා භාෂණලා කාටූන් ප්‍රදර්ශන පැවැත්වීම තරම් විහිළුවක් තවත් නැත. ඒ වන විට අප කතානායක වරුන් වන වීරවංශ සහ ඩලස් දේශපාලනය සඳහා ‘ලක්දිව‘ සහ සුනිල් මාධවගේ සමාජ ප්‍රාග්ධනය රැගෙන නික්ම ගොස් සිටියහ.
ඩලස් අලහප්පෙරුමට 1993 දකුණු පළාත් සභා මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය සඳහා පොදු ජන එක්සත් පෙරමුණෙන් නාම යෝජනා ලැබෙන්නේ මේ පසුබිම යටතේය. ‘දකුණින් පටන් ගනිමු‘ යැයි කියූ ඩලස් අලහප්පෙරුම මාතර දිස්ත්‍රික්කයේ දූ දරුවන් අතුරුදහන් වූ මව් වරුන්, ස්වාමි පුරුෂයන් අතුරුදහන් වූ බිරින්දෑ වරුන්ගේ කඳුළු වලට ආමන්ත්‍රණය කෙළේය. නොම්මර එකේ කපටි කෛරාටිකයෙකු වන ඩලස් ඕනෑම මනුෂ්‍ය පරාණයකට ආමන්ත්‍රණය කරන්නේ හදවත ගලවා අතට දෙමිනි. ඔහුගේ කටින් පිටවන වචන වලින් මානවවාදය ගලා හැලෙන්නේ දිය ඇල්ලක ජලය කඩා හැලෙන ආකාරයට ය. ඔහුට අභියෝග කළ හැකි මානවවාදියෙක්, සත්‍යවාදියෙක්, මෙලොව බිහි නොවූ තරම් ය. ඩලස්ගේ මෙම ‘ගරු රඟපෑම්‘ වලට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වසඟ විය.
1987-89 ජවිපෙ කැරැල්ලේදී වැඩිම තරුණ පිරිසක් අතුරුදහන් වූ මාතර දිස්ත්‍රික්කය ඩලස් වැනි ‘ගරු රඟපෑම්‘ හි නිරත බොරු කාරයන්ට අපූරු ඡන්ද ඉල්ලමක් විය. මානව හිමිකම් උල්ලංඝනය වීම්, නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම, විරැකියාව, අල්ලස හා දූෂනය, පවුල්වාදය, වෘත්තීය සමිති මර්දනය ඇතුළු ප්‍රේමදාස රජයේ සකල මර්දනයන්ට එරෙහිව සටන් කරන ‘වීරෝධාර, මානව හිතවාදී, සත්‍යවාදී‘ ජනතා සටන්කරුවෙකු වශයෙන් ඩලස් ජනතාව ඉදිරියේ ප්‍රක්ෂේපනය විය. එදා ඩලස්ගේ ඡන්ද සංවිධානය කර බිම් මට්ටමේ මෙහෙයැවූයේ ජවිපෙ හිතවාදී සරසවි සිසුන්, රැඩිකල් තරුණයන් සහ ප්‍රේමදාස විරෝධී ස්වේච්ඡා කණ්ඩායම් ය. මේ සියළු බලවේගයන්ගේ සහ සුනිල් මාධව ගේ සමාජ ප්‍රාග්ධනයේ පිහිටෙන් ඩලස් අලහප්පෙරුම ඉහලම මනාප ලබා ගනිමින් පළාත් සභාවට තේරීපත්විය.
මානව හිතවාදයේ සහ සත්‍යවාදී බවේ සළු පැළැඳ සිටි ඩලස්ට දෙවන දකුණු පළාත් සභා මැතිවරණයෙන් පසුව පිහිටැවූ අමරසිරි දොඩංගොඩ ගේ දකුණු පළාත් සභා ආණ්ඩුවේ ඇමැති ධූරයක් දක්වා ‘ක්ෂණික‘ උසස් වීමක් ලැබිණ. 1994 අගෝස්තු මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වන ඩලස් අවම වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් බලාපොරොත්තු වූ නමුත් එම සිහිනය ඉටු නොවීය. එදා දශක කිහිපයක ක්‍රියාකාරී දේශපාලන අත්දැකීම් වලට හිමිකම් කියූ මෛත්‍රීපාල සිරිසේන, මහින්ද විජේසේකර, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ, ඇතුළු බොහෝ දෙනෙකුට හිමිවූයේ නියෝජ්‍ය ඇමැතිධූර බව උද්දච්ඡ චරිතයක් වූ ඩලස්ට පෙණුනේ නැත. දරුණු ‘ඇමැති රෝගයකින්‘ පෙළුණු හේ ඉන් පසුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සමග පමණක් නොව ඒ ආණ්ඩුවේ මාතරින් ප්‍රබල ඇමැතිවරයෙක් වූ මංගල සමරවීර සමග පවා බද්ධ වෛරයක් බැඳ ගත්තේ ය. තමාට ඇමැති ධූරයක් නොලැබීමේ දුක ඩලස් ඒ දිනවල පිටකෙළේ “මම අමරසිරි දොඩංගොඩගේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක්“ යැයි ආඩාපාලි කියමිනි.
සැබෑ ජනතා හිතවාදී අවංක දේශපාලනඥයෙකු වූ අමරසිරි දොඩංගොඩ ගේ මයිල් ගහක් තරම්වත් ඩලස් අලහප්පෙරුම (මෙන්ම දොඩංගොඩගේ ගේ ඥාති පුත්‍රයෙකු යැයි කියා ගන්නා චන්දිම වීරක්කොඩි) වටින්නේ නැති බව දකුණේ දේශපාලන වෙනසට නායකත්වය ලබා දුන් දොඩංගොඩ නමැති ප්‍රගතිශීලී මිනිසාගේ ගෞරවය වෙනුවෙන් සටහන් කළ යුතුය.
ඩලස් එදා දේශපාලනයේදී පෙනී සිටි සහ මැතිවරණ වේදිකාවන්හි හදවත අතට දී කියා සිටි සත්‍යවාදී බව, මානුෂිකත්වය, සමාජ සාධාරණත්වය සහ ඔහුගේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයේ පරස්පර විරෝධයන් පෙන්වා දීමට එක් උදාහරණයක් පමණක් අපි ඉදිරිපත් කරමු. ඒ ඩලස් ගේ සහෝදරයා වූ ඕෂධී අලහප්පෙරුම සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ ක්‍රියාමාර්ගයයි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ගණිත අංශයේ සිසුවෙකු වූ ඕෂධී එවකට උසස් පෙළ වැඩ 4 සමත් කර ගැනීමට නොහැකිව සෑහෙන්න දැඟලුවේ ය. තුන්වන වර උසස් පෙළට ඉදිරිපත් වන ඕෂධී යාන්තම් වැඩ හතර සමත් වන නමුත් ඔහුට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට අවශ්‍ය කඩඉම් ලකුණු ප්‍රමාණයට ලඟා වීමට නොහැකි විය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් මාරාන්තිකව පෙනී සිටි ඩලස් සිය සහෝදරයා රුසියාවේ St. Petersburg State Electro Technical University නම් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යොමු කෙළේය. ඕෂධී වසර 1996 සිට වසර 2002 දක්වා වසර 6 ක් කාල්ගාමින් රිපීට් වෙමින් රුසියාවේ මූලික උපාධිය හැදෑරුවේය. වසර 2002 දී ලංකාවට පැමිණෙන ඕෂධී සිය මූලික උපාධිය සමග සිය ප්‍රථම රැකියාව වශයෙන් රජයට කොටස් අයත් මොබිටෙල් සමාගමට එක්වන්නේය. ඔහුගේ “අති විශිෂ්ඨ“ දක්ෂතා හේතුවෙන් කෙටි කලෙකින් ඔහු සමාගමේ සාමාන්‍යාධිකාරී ධූරයට පත්වෙන්නේය. මොබිටෙල් සමාගමේ සාමාන්‍යාධිකාරී ධූරය දරණ අතරේ එවකට තරුණ කටයුතු ඇමැති ධූරය දරණ සිය සොහොයුරා ඩලස්ගේ “පෞද්ගලික ලේකම්“ වශයෙන්ද කටයුතු කරන්නේය. වසර 2011 දී ඔහු ස්වීඩන තානාපති වශයෙන් පත්වීම් ලබන්නේය. මහරජා ඕෂධී අලහප්පෙරුමව යුරෝපයේ ඉතා වැදගත් ස්වීඩනයේ තානාපති වශයෙන් පත් කරන්නේ ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, අයිස්ලන්තය, ලිතුවේනියාව හා ලැට්වියාව යන රටවල ද ශ්‍රී ලංකා තානාපති වශයෙන්ද කටයුතු කිරීමට අවශ්‍ය බලතල පවරමිනි. ඕෂධී අදටත් ඉතා ආඩම්බරයෙන් කියන්නේ මෙරට ඉතිහාසයේ සිටි ලාබාලතම තානාපති තමා බවයි. රාජ තාන්ත්‍රික කරුණු ගැන අබ මල් රේණුවක දැනුමක් නැති ඕෂධී අලහප්පෙරුම තානාපති කාර්යාලයක ලිපිකරු ධූරයක් දැරීමට තරම් හෝ ප්‍රායෝගික සුදුසුකමක් නැති පුද්ගලයෙකි. මෙරට ලාබාලතම තානාපති වශයෙන් ඕෂධී අලහප්පෙරුමට කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේ සිය සොහොයුරා ඩලස්ගේ දේශපාලන බලය හේතුවෙනි. දූෂනය, පවුල්වාදය, බලය අයථා ලෙස යොදා ගැනීම, ඥාති සංග්‍රහය ඇතුළු සකලවිධ දූෂණයන් මෙම ‘ඕෂධී උදාහරණය‘ ට අන්තර්ගතය. එහෙත් ඩලස් අලහප්පෙරුම අදටත් කතා කරන්නේ ‘මහත්මා දේශපාලනය‘ , ‘මානව හිතවාදය‘, ‘හෘද සාක්ෂිය‘ , ‘සාධාරණ සමාජය‘ වැනි ආටෝප වචනය. ඒ සියල්ල වචන මිස එහි කිසිදු වටිනාකමක් ඩලස් අලහප්පෙරුමට නැත.
ඩලස් අලහප්පෙරුම යනු ව්‍යාජ මායා කාරයෙකු බව වටහාගෙන සිටි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඔහුව ලඟට වැද්දා ගත්තේ නැත. එහෙත් එවකට ශ්‍රීලනිප මහ ලේකම් එස්.බී. දිසානායක පසුපස යන ඩලස් අලහප්පෙරුම ඔහු ලවා බලපෑම් කර යාන්තම් වසර 2001 මහ මැතිවරණයෙන් පසුව නියෝජ්‍ය ඇමැතිකමක් ලබා ගනීමට සමත් විය. ඔහු එස්.බී. දිසානායක ගේ නියෝජ්‍ය ඇමැතිවරයා(සමෘද්ධි) විය. මාස කිහිපයක් නියෝජ්‍ය ඇමැතිධූරය දැරූ ඩලස්ගේ කැපී පෙනෙන රාජකාරිය වූයේ පොදු පෙරමුණු රජය බිඳ දැමීමට එස්.බී. දිසානායක සමග කුමන්ත්‍රණය කිරීම ය.
ශ්‍රීලනිප කණ්ඩායමක් පොදු පෙරමුණු රජයෙන් ඉවත් කර ගනිමින් එජාපය සමග නව රජයක් ස්ථාපිත කිරීම මෙම කුමන්ත්‍රණයේ අරමුණ වූ අතර ඒ සඳහා එස්.බී. දිසානායක සමග ආරම්භයේදීම එක් වූ කිහිප දෙනා අතර ඩලස් ප්‍රමුඛයෙකු විය. එජාපය සමග පැවැති රහස්‍ය සාකච්ඡාවන්ට සහභාගී වූ ඩලස් ඒ දිනවල අදාල කුමන්ත්‍රණය වෙනුවෙන් එස්.බී. දිසානායකට ‘දේශපාලන උපදෙස්‘ ලබා දෙන මට්ටමේ පසුවිය. මෙම කුමන්ත්‍රණය කූඨ ප්‍රාප්තිය ලෙස එස්.බී. දිසානායක, මහින්ද විජේසේකර, ජී.එල්. පීරිස්, බන්ධුල ගුණවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, ඇතුළු ශ්‍රීලනිප ප්‍රබලයින් පිරිසක් පොදු පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත් අතර පුදුමයකට මෙන් ඒ පිරිස අතර ඩලස් අලහප්පෙරුම නොවීය.
ඔහුගේ දේශපාලන නායක වූ මහින්ද රාජපක්ෂ මෙන්ම ඩලස් ද එස්.බී. ඇතුළු පිරිස එජාපයට තල්ලු කර දැමීම සඳහා උත්ප්‍රේරක සපයා අවසානයේ ඇඟ බේරා ගත්තේ ය. (එදා එස්.බී. ශ්‍රීලනිපයේ සිටියා නම් මහින්දට කිසිදා විපක්ෂ නායක කමක් හෝ අගමැති කමක් හෝ ජනාධිපති අපේක්ෂක කම නොලැබෙන්නේ ය. එබැවින් එස්.බී. බොරු වළකට තල්ලු කර දැමීමට මහින්ද කළ කුමන්ත්‍රණය සාර්ථක විය) නමුත් ඩලස් අලහප්පෙරුම ‘එස්.බී.එජාප‘ කණ්ඩායම සමග එකඟතාවයක් ඇතිකර ගෙන තිබිණ. එම එකඟතාවය අනුව වසර 2002 මහ මැතිවරණය ඩලස් පොදු පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ නොකර විදේශ ගත වීමට නියමිත විය. එමගින් පොදු පෙරමුණට ප්‍රබල පදනමක් පැවැති මාතර දිස්ත්‍රික්කය දුර්වල කිරීම ‘එස්.බී.එජාප‘ සන්ධානයේ අරමුණ විය. ඩලස් විදේශ ගත වන්නේ සමාජවාදී කියුබාවට, උතුරු කොරියාවට, වියට්නාමයට හෝ චීනයට නොව ඔහු වසර ගණනාවක් පුරා ‘අධිරාජ්‍යවාදී ලෝක පොලිස්කාරයා‘ යැයි පට්ට ගැසූ ඇමරිකා එක්සත් ජනපදයට ය.
ඇමරිකානු ජනතාවගේ බදු මුදලින් ඩලස් සහ පවුලට යැපිය හැකි පරිසරයක් සකසා දෙන්නේ ඇමරිකාව සමග සමීප සම්බන්ධතාවයක් පැවැති මිලින්ද මොරගොඩ ය. ඒ වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම මාදිවෙල මන්ත්‍රී නිවසින් ඉවත් වීමට සිය අඩුම කුඩුම ඒකරාශී කරන ඡායාරූප මිලින්ද මොරගොඩ ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ලබා දෙයි. “ මහත්මා දේශපාලනයට ඉඩක් නැතිද?“ යන ප්‍රචාරක පාඨය සමග මිලින්ද මොරගොඩ මෙම ඡායාරූපය සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගන්නේ ඔහුද ‘මහත්මා දේශපාලනඥයෙකු‘ වශයෙන් ප්‍රක්ෂේපනය වෙමිනි.
ශ්‍රීලනිප ප්‍රමුඛ පොදු පෙරමුණට පරාජය අත්පත් කර දීමේ එකම අරමුණින් කටයුතු කරන ඩලස් අලහප්පෙරුම කියා සිටින්නේ “චන්ද්‍රිකා සමග දේශපාලනය කිරීමට හෘද සාක්කිය ඉඩ නොදෙන බවයි“. එහෙත් ජීවිත කාලය පුරාම ඇමරිකානු අධිරාජ්‍යවාදීන් වශයෙන් චෝදනා කරමින් පස් පඩංගුවේ බැන වැදී ඇමරිකාවේ පදිංචියට ගොස් එහි ස්ථිර පදිංචිකාරයෙකු වශයෙන් දිව්රුම් දෙන විට “හෘද සාක්කිය“ තිබුනේ කොතැනකදැයි පැහැදිලි නැත.
ශ්‍රීලනිප මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ සිය පාක්ෂිකයන් දේශපාලන තර්ජනයකට මුහුණ දෙන විට සිය දේශපාලන සතුරා සමග සන්ධානගත වෙමින් කටයුතු කරන්නේ සැබෑම ද්‍රෝහීන් ය. සතුරාට වාසිය ලබා දෙමින් සටන් භූමියෙන් පලා යන්නේ බිය ගුල්ලන් ය.
කඹුරුපිටියේ සිට ඇමරිකාවට පලා යන ඩලස් අලහප්පෙරුම වසර 2004 මහ මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වන්නේ නැත. ඒ වකවානුවේ ශ්‍රී ලංකාවට පැමිණ එජාප මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට විවිධ අන්දමින් සහාය දීමට කටයුතු කරන බව ප්‍රසිද්ධ රහසකි. ශ්‍රීලනිප සහ තම පාක්ෂිකයන්ට ද්‍රෝහියෙකු වන ඩලස් අලහප්පෙරුම නැවත ශ්‍රීලනිප දේශපාලනයට සම්බන්ධ වන්නේ විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය සමගිනි. එම අවාසනාවන්ත මරණයත් සමග ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් පුරප්පාඩු වන අතර ඒ වන විට අගමැති මහින්ද රාජපක්ෂගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඩලස් අලහප්පෙරුම එය ඩැහැ ගැනීමට කැස කවයි. ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ පූර්ණ අනුමැතිය සහ අනුග්‍රහය ඩලස්ට ලැබෙන අතර තම සට්ටැඹියෙක් වන ඩලස්ව පාර්ලිමේන්තුවට තල්ලු කර ගැනීම ඔහුට දේශපාලන අතින් එදා වාසිදායක තත්ත්වයක් ඇති කරයි. ජාතික ලැයිස්තු පුරප්පාඩුවට ඩලස් අලහප්පෙරුම පත් කරන ලෙස ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී අගමැති මහින්ද රාජපක්ෂ යෝජනා කරන අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය එයට දැඩිව විරෝධය පළ කළාය. ‘‘මේ මිනිහා පක්ෂයටවත් කියන්නේ නැතිව රට ගියා“ යි ඇය පවසන විට “ ඩලස් ගියේ මට කියලා“ යි කියමින් මහින්ද රාජපක්ෂ ඔහුව ආරක්ෂා කෙළේය. මෙම සංවාදයට මැදිහත් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ එම මන්ත්‍රීධූරය තමාට ලබා දෙන ලෙසය. ශ්‍රීලනිප වෙනුවෙන් සෑම දුෂ්කර අවස්ථාවකදීම කැපවීම් කළ, පාක්ෂිකයන් රැක ගත් තමා මෙයට සුදුසු බවට ඔහු දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළේය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඇතුළු මධ්‍යම කාරක සභාවේ බහුතරයක් භාරත ලක්ෂ්මන් ගේ ඉල්ලීම සාධාරණ බව පිළිගත් නමුත් මහින්ද රාජපක්ෂ දැඩි ලෙස කියා සිටියේ සිට සට්ටැඹියාට අවස්ථාව ලබා දිය යුතු බවයි. මහින්ද රාජපක්ෂ ගේ දැඩි බලපෑම හේතුවෙන් අවසානයේ දී ඩලස් අලහප්පෙරුමට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරට ලබා දීමට මධ්‍යම කාරක සභාව එකඟ විය.
ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම විද්වතෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ජාතික ලැයිස්තු පුරප්පාඩුවට ඇමරිකානු එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිකරුවෙකු වන ඩලස් අලහප්පෙරුම පැරිෂුට් කරුවෙකු ලෙස එසේ කඩා පාත්වූයේ ය. ලක්ෂ්මන් කදිරගාමර් සමග ඩලස් අලහප්පෙරුම මූලික සංසන්දනය කිරීම හෝ අප උත්සාහ නොකරන්නේ එය කදිරගාමර් මහතාට සිදුකරන විශාල අපහාසයක් වන බැවිනි.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වීමත් සමග සිය සට්ටැඹියා වන ඩලස්ට ප්‍රබල ප්‍රවාහන ඇමැති ධූරට ලබාදෙයි. එහෙත් ඉන්දීය දුම්රිය මාර්ග ව්‍යාපෘතිය හරහා ඩොලර් මිලියන ගණනින් ගලා එන විට කොමිස් මුදල් ඩැහැ ගැනීම වෙනුවෙන් රාජපක්ෂ පවුල් සමාගම ඩලස්ව කපා දමා ප්‍රවාහන ඇමැති ධූරය ලබා ගනී. ඩලස්ට ලැබෙන්නේ තරුණ කටයුතු අමාත්‍යාංශයයි. එහෙත් තරුණ කටයුතු අමාත්‍යාංශය නාමල් රාජපක්ෂ පාලනය කරන බැවින් ඩලස්ට සිදුවන්නේ නහයෙන් අඬ අඬා සිටීමට ය. නමුත් තමන්ට පල නොකියා පලා බෙදුවද එයට එරෙහිව කටක් ඇරීමට ශක්තියක් ධෛර්යයක් ඩලස්ට නොවීය.
නාලන්ද එල්ලාවල ඝාතනයට සම්බන්ධ සුසන්ත පුංචි නිලමේ ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට මහින්ද රාජපක්ෂ තීරණය කිරීමත් සමග ශ්‍රීලනිපය තුල විශාල ආන්දෝලනයක් නිර්මාණය විය. සැබෑ ශ්‍රීලනිප ප්‍රබලයෝ මෙම තීරණයට දැඩි විරෝධයක් සහ අප්‍රසාදයක් පළ කළහ. නාලන්ද එල්ලාවල ඝාතනය කරන අවස්ථාවේ ඔහු සමග සිටි ඩිලාන් පෙරේරා සුසන්ත පුංචි නිලමේ රජයට සම්බන්ධ කර ගැනීමේ තීරණයට දැඩි විරෝධයක් පෑ අතර ඔහු එම තීරණයට විරෝධය පළ කරමින් සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කෙළේය. 1994 අගෝස්තුවේ නිර්මාණය වන පොදු ජන එක්සත් පෙරමුණු රජයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම හෙවත් “මල්බෙරි කණ්ඩායමේ“ ප්‍රධානීන් වන්නේ ඩලස්, ඩිලාන් හා නාලන්ද ය. එවැනි තත්ත්වයක් යටතේ තමන්ට සුසන්ත පුංචිනිලමේ සමග එකට ඇමැති ධූර දැරිය නොහැකි බව ඩිලාන් පෙරේරා කියා සිටියේ ය. ඩිලාන්ගේ විරෝධයෙන් වඩාත් කලබලයට පත් වූයේ අනෙකෙකු නොව ඩලස් අලහප්පෙරුම ය. ඩිලාන් ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් තමන්ට තව දුරටත් ඇමැතිධූරයේ සිටීමට නොහැකි බව අවබෝධ කර ගන්නා ඩලස් කෙසේ හෝ ඩිලාන්ගේ ඉල්ලා අස්වීමේ තීරණය වෙනස් කිරීමට දැඩි උත්සාහයක නිරත වූයේ ය.
“මැරිච්ච එකා මළා. අපි දේශපාලනය කරන්න ඕනෑ.“ යන්න ඩලස්ගේ එකම තර්කය විය. මෙය දේශපාලන සදාචාරය හා හෘද සාක්කිය පිලිබඳ ප්‍රශ්නයක් බව කියා සිටි ඩිලාන් එම තර්කය දැඩිව ප්‍රතික්ෂේප කෙළේය. එහෙත් පැය ගණනාවක් ඩිලාන් සමග තර්ක කළ ඩලස් ඔහුගේ ඉල්ලා අස්වීම වළක්වා ගැනීමට සමත් වූ අතර ඩලස්ට නැවත “හෘද සාක්කියේ දේශපාලනයේ“ නිතර වීමේ අවස්ථාව හිමිවිය.
රාජපක්ෂලා විසිකරන ‘තානාපති‘ කම් වැනි මස් කට්ටක රස බලමින් නාමල් ‘බේබි‘ ගේ නියෝග ක්‍රියාත්මක කරමින් සිටීම හැරෙන්නට වෙනත් ‘සැපක්‘ කොහේද යන්න ඩලස් ඩිලාන් පෙරේරා වැනි ලාමක දේශපාලකයන්ට ප්‍රායෝගිකව පෙන්වා දුන්නේ ය.
ශ්‍රීලනිපයේ සැලකිය යුතු පිරිසක් මහරජා සහ ඔහුගේ පවුලේ ආධිපත්‍යයට විරුද්ධ වූහ. එහෙත් මහරජා රජකම් කරන වකවානුවේ ඔවුන් ප්‍රසිද්ධියේ විරෝධය පළ කිරීමට ඉදිරිපත් නොවූයේ ජීවිතයට ඇති ආදරය හේතුවෙනි. එහෙත් අප්‍රසිද්ධියේ ඔව්හු මහරජා ඇතුළු රාජපක්ෂ පවුල් සමාගම පතුරු ගැසූහ. ඒ බොහෝ දෙනෙක් රාජපක්ෂ පවුල් සමාගමේ දේශපාලනය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී නොසිටියහ. එහෙත් ඩලස් අලහප්පෙරුම යනු රාජපක්ෂ රෙජීමයේ ගොබෙල්ස් විය. රාජපක්ෂ රෙජීමයේ පැවැත්ම වෙනුවෙන් ඔහු ඕනෑම දේශපාලන විරුද්ධවාදියෙකු එල්ටීටීඊ හිතවාදියෙකු, එන්ජීඕ කාරයෙකු, බටහිර කුමන්ත්‍රණකාරයෙකු වැනි මහා බේගල් මවා පාමින් ඔවුනගේ චරිත ඝාතනය කෙළේ එවැනි පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයෙකුට පාරේ බැස යෑමට නොහැකි ලෙසය.
ඔහුගේ එවැනි චෝදනා එල්ල වූ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ දරුවන්ට පාසැල් යෑමට පවා නොහැකි වූ අවස්ථා එමට ය. මේ මහා මානව හිතවාදියාගේ දරුවන් ඇමරිකාවේ අධ්‍යාපනය ලැබූ බැවින් ඔහුට ලංකාවේ ඉගෙන ගන්නා දරුවන් පත්වන අසරණ තත්ත්වය ගැන හැඟීමක් නොවීය. රාජපක්ෂ රෙජීමට අහිංසක උද්ඝෝෂකයන්ට වෙඩි තැබූ අවස්ථාවේදී ගොබෙල්ස් එය සාධාරණීකරණයට තර්ක කෙළේය. මාධ්‍යවේදීන්ට පහර දෙන විට ඔවුන් ඝාතනය කරන විට සාධාරණීකරණය කෙළේය. සුදු වෑන් වලින් සිවිල් පුරවැසියන් පැහැර ගැනීම්, රාජපක්ෂ සමාගමේ අල්ලස් දූෂන ඇතුළු සමස්ථ වැරදි සාධාරණීකරණය කිරීමට බටහිර කුමන්ත්‍රණ, එල්ටීටීඊ හිතවාදී, ඩයස්පෝරා, ඇතුළු විවිධ බිල්ලන් මැවීමට මූලිකයා මෙම ගොබෙල්ස් ය. ඔහු තොල් පෙරලමින් බොරු විදින ආකාරය බලා සිටීමට අප්‍රිය ජනක දසුනක් විය. තමාට කිසිදු ලැජ්ජාවක්, සදාචාරයක්, හෘද සාක්කියක් නොමැති බව ඒ වකවානුවේ ඩලස් රටටම ප්‍රදර්ශනය කෙළේය.
ජනවාරි 8 වෙනිදායින් පසුව වුවද ඩලස් සිය ගොබෙල්ස් භූමිකාවෙන් සමුගත්තේ නැත. ඔහු බැතිමත්ව ගොබෙල්ස් චරිතයට පණ පොවමින් මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නමැති දූෂිත කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටී. රාජපක්ෂ පවුලට මෙන්ම ඒකාබද්ධ විපක්ෂ නඩයට එල්ල වන අල්ලස් දූෂන චෝදනා දේශපාලන පළිගැනීම් බවත්, යහපාලන රජයේ ජාතික සංහිඳියාව යටතේ ‘වීරෝධාර දේශප්‍රේමී‘ ත්‍රිවිධ හමුදාව පාවාදී ඇති බවත්, හමුදාවට එරෙහි චෝදනා විභාග කිරීමට ජාත්‍යන්තර විනිසුරුවරුන් පැමිණෙන බවත් ඇතුළු විශාල මිථ්‍යාවන් රැසක් මේ ගොබෙල්ස් සමාජ ගත කරමින් සිටී.
මහින්ද රාජපක්ෂගේ නුවර කොළඹ පාද යාත්‍රාවට පෙර පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් ඩලස් කියා සිටියේ මේ පාද යාත්‍රාවට මිලියනයක් ජනතාව සහභාගී වන බවයි. පාද යාත්‍රාව කොළඹට පැමිණෙන අවසාන දිනයේ කොළඹ වටලන බවයි. එදිනට ‘බීබීසී, සීඑන්එන්‘ ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යයන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තිය වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ වටලෑම බවයි. ඩලස් අලහප්පෙරුම තවමත් සිතා සිටින්නේ වනචර දශකයේ මාධ්‍ය පාලනය කරද්දී ජනාධිපති කාර්යාලයේ සිට පුවත් පත් වල හා රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන්හි සිරස්තල නිර්මාණය කළ ආකාරයට ‘බීබීසී, සීඑන්එන්‘ ප්‍රවෘත්ති නිර්මාණය කළ හැකිය කියා විය යුතුය. එසේ නොමැති නම් ඔහු ‘ලක්බිම‘ පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘ වරයාව සිටියදී ‘අතේ රෝල්‘ පුවත් පළ කළ ආකාරයට ‘බීබීසී, සීඑන්එන්‘ හි පුවත් පැළ කළ හැකිය කියා විය යුතුය. නමුත් අවසානයේ පාද යාත්‍රාවටත් කොළඹ වැටලීමටත් සිදුවූ වින්නැහිය ඔබත් අපත් කවුරුත් දැන් දනිමු.
ඩලස් අලහප්පෙරුමගේ දර්පණ ප්‍රතිබිම්බය වන විමල් වීරවංශ ද වනචර දශකයේ සිට අද දක්වා රඟපාන්නේ ඩලස්ට සමාන චරිතයකි. මහ රජා ඇතුළු පවුල් සමාගමේ සියලු ඝාතන, මර්දන, දූෂන, එදා මෙන්ම අදත් ඔහු සාධාරණීකරණය කරමින් ‘සහායක ගොබෙල්ස්‘ ගේ චරිතය රඟපායි. තමා හිටපු මාධ්‍යවේදියෙක් යැයි කියා ගන්නා විමල් වීරවංශ ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් කකුල් කඩා රැවුල කොණ්ඩය කපා අත්හැර දැමූ අවස්ථාවේ කියා සිටියේ “රැවුල කොණ්ඩය කපා දැමීම හොඳ දෙයක්“ බවයි. විමල් වීරවංශ යනු එවැනි නරුමයෙකි. සිය පැවැත්ම වෙනුවෙන් එදා මෙන් අදත් සිංහල බෞද්ධ ජාතිවාදය අවුලමින් රට ගිනි තැබීමට උත්සාහ කරයි.
ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ යුවලේ ‘මානව හිතවාදය, ‘හෘද සාක්කියේ දේශපාලනය‘, ‘සත්‍යවාදී බව‘ පරීක්ෂණයට ලක් කරන සිදුවීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී දක්නට ලැබිණ. ඒ අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලයක් පිහිටුවීමේ පනත විවාදයට ගත් අවස්ථාවයි. 1987-89 සමයේ මාතර දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූ තරුණයන්ගේ මව්වරුන්ගේ හා බිරින්දෑ වරුන්ගේ ලේ කඳුළු වලින් දේශපාලන ජයග්‍රහණ ලබා ගත් ඩලස් අලහප්පෙරුම එසේ අතුරුදහස් වූ තරුණයන්ට යම් හෝ සාධාරණයක් කිරීමට පිහිටැවූ අතුරුදහන් වූවන් පිලිබඳ සොයා බලන ව්‍යුහයකට මාරාන්තිකව විරුද්ධ විය. “විරු සමරු“ පවත්වමින් 1987-89 වකවානුවේ අතුරුදහන් වූ, මිය ගිය තරුණයන් විකුණා කමින් මැතිවරණ සඳහා ඡන්ද එකතු කළ විමල් වීරවංශ මෙම පනතට එරෙහිව කළු පටි බෙල්ලේ බැඳ ගනිමින් විරුද්ධ විය. අතුරුදහන් වූ තරුණයන්ගේ ලේ කඳුළු මැදින් දේශපාලනයට පැමිණි මොවුන්ට එසේ අතුරුදහන් වූවන්ට සාධාරණයක් කරන විට විරුද්ධ විය හැකිද? මොවුන්ගේ ‘මානව හිතවාදය‘, ‘හෘද සාක්කිය‘, ‘සත්‍යවාදී බව‘, ‘මහත්මා දේශපාලනය‘ යනු කුමක්දැයි එදා අතුරුදහන් වූවන්ට සාධාරණය ඉටු කිරීමට විරුද්ධ වීමෙන්ම තේරුම් ගත හැකිය.
ඩලස් අලහප්පෙරුමගේ බිරිඳ ප්‍රදීපා ධර්මදාස අනූව දශකයේ මැද භාගයේදී “මනුස්සකම කොළොම් තොටින් පලා ගිය“ බව අපට කියා සිටියේ අප සැම දෙනාටම වඩා ඇය ඩලස් ගැන දන්නා නිසා විය යුතුය. අවාසනාවකට ඒ වකවානුවේ ප්‍රදීපාගේ ඉඟිය අපට අවබෝධ වූයේ නැත..! ප්‍රමාදය දුකට හේතුවයි..!!
---------------------------
by (2016-09-03 02:25:25)
Leave a Reply
Very Nice !!!
-- by NIMAL on 2016-09-05
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි