~

රාඩා හොරා ටිරාන් අලස් සිංගප්පූරුවෙන් පිටුවහල් කරයි: තහනම් ත්‍රස්ත සංවිධාන සමග කළ හොර ගණු දෙනු, කළු සල්ලි සුදු කිරීම් ගැන පැය 12 ක් ප්‍රශ්න කරලා

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.26, ප.ව‍‍‍‍‍‍.7.30) කුප්‍රකට රාඩා හොරා ටිරාන් අලස් මහජන මුදල් කෝටි 65 ක් මහ දවාලේ අමු අමුවේ සොරකම් කර ලංකාවේ තවමත් නිරුපද්‍රිතව සිටියද සිංගප්පූරුව විසින් එරටට ඇතුලු වීමට ඉඩ නොදී  පිටුවහල් කර තිබේ. පිටුවහල් කිරීමට පෙර එරට ආරක්ෂක බලධාරීන් විසින් ටිරාන් අලස් අත් අඩංගුවේ තබා ගනිමින් බරපතල අපරාධ පිලිබඳ ප්‍රශ්න කිරීමටද ලක් කර තිබේ. 

සුනාමියෙන් විනාශ වූ නිවාස හැදීමට කියා රාඩා ආයතනයට ලබා දුන් මුදලින් එකදු නිවසක් හෝ නොහදා කෝටි 65 ක් ම සොරකම් කරන ලද එවක රාඩා සභාපති ලෙස කටයුතු කළ ටිරාන් අලස් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවක් බලයට පත් වීමෙන් පසු නඩුවක් විභාග වුවද ඔහු අත් අඩංගුවට ගැනීමක් හෝ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමක් හෝ සිදුකෙළේ නැත. පොදු දේපොල පනත ටිරාන්ට බලපෑවේ ‘අයිස් ක්‍රීම්‘ එකක් ලෙසය. යහපාලන ආණ්ඩුවේ පාලකයන් සමග ඩීල් දමා ගත් ඔහු යහතින් වැජඹුනු අතර ඔහුට එරෙහිව ක්‍රියාත්මක වූයේ රටින් පිටවීම වාරණය කිරීමක් පමණි. 

පසුගිය ජුනි 14 වෙනිදා අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට යයි කියා එම වාරණයද ඉවත් කරමින් අධිකරණ සහනයක් ලබා ගත් ටිරාන් අලස් සිංගප්පූරුව බලා පිටත් වූයේ ජුනි මස 20 වෙනි දා ය. 

20 වෙනිදා සිංගප්පූරු ගුවන් තොටුපොලින් එරටට ඇතුළුවීමට තැත් කළ ටිරාන් අලස් එරට ආගමන විගමන බලධාරීන් විසින් රඳවා ගනු ලැබූ අතර එරට ආරක්ෂක නිලධාරීන් පැමිණ ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ. 

ජාත්‍යන්තරව තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධාන සමග කරන ලද අවි ආයුධ ඇතුළු හොර ගණු දෙනු සම්බන්ධයෙන්ද, කළු සල්ලි සුදු කිරීමට සිංගප්පූරු භූමිය භාවිතා කිරීම සම්බන්ධයෙන්ද, ටිරාන් අලස් ගෙන් පැය 12 කට අධික කාලයක්, රැයක් එළිවන තුරා, දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලද සිංගප්පූරු බලධාරීන් පසුදා ටිරාන් අලස්ට සිංගප්පූරුවට ඇතුළු වීමට ඉඩ නොදී පිටුවහල් කර තිබේ. 

දකුණු සහ අග්නිදිග  ආසියාතික කලාපයේ තහනම් කරන ලද ත්‍රස්ත සංවිධාන 50 කට ආසන්න ප්‍රමාණයක් තිබේ. රාජපක්ෂලා විසින් 2005 දී තහනම් සංවිධානයක් වූ එල්ටීටීඊයට ඡන්ද වර්ජනය කිරීම සඳහා රුපියල් මිලියන 1500 ක් ලබා දුන්නේද ටිරාන් අලස් හරහා බව ඔහු විසින්ම පාපෝච්චාරණය කර තිබිණ. එල්ටීටීඊය විනාශ වීමෙන් පසුව පවා ඔහුට ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධතා තිබී ඇති බව සිංගප්පූරු ප්‍රශ්න කිරීමෙන් හෙලි වී ඇත. රාඩා ආයතනයෙන් සොරකම් කළ කෝටි 65 ක මුදල් ඇතුළු තවත් නීති විරෝධී ජාත්‍යන්තර ජාවාරම් උපයන ලද කළු සල්ලි සුදු කිරීම සඳහා සිංගප්පූරු භූමිය මෙන්ම තම පවුලට අයත් ලංකාවේ ජාත්‍යන්තර පාසැලක්ද තමාට අයත් මාධ්‍ය ආයතනයද ටිරාන් අලස් විසින් භාවිතා කර ඇතැයි ප්‍රශ්න කිරීම් වලදී හෙලි වී තිබේ.  

සීඑස්එන් මාධ්‍ය ආයතනය හරහා කළු සල්ලි සුදු කළා යැයි ලංකාවේ අධිකරණය ඉදිරියේ නඩු පවරා ඇති, මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක, රොහාන් වැලිවිට නමැත්තාද සිංගප්පූරුවට ඇතුළු වීමට ගොස් පිටුවහල් කර තිබුනේ මීට මසකට පමණ පෙරදී ය. 

නිදහස් වෙළඳ මධ්‍යස්ථානයක් වුවද තම රට ජාත්‍යන්තර ජාවාරම් කාරයන්ගේ තිප්පොලක් බවට පත් වීම වැලැක්වීමට සිංගප්පූරුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා රටකි. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රටකි. එනිසාම ලෝකයේ සුපිරි ව්‍යාපාරිකයන් සිංගප්පූරුවේ තම කාර්යාලයක් හෝ විවෘත කිරීමට උත්සාහ කරන්නේ ඉන් තම ව්‍යාපාරයට ගරුත්වයක් කීර්තියක් මෙන්ම චරිත සහතිකයක් ලැබෙන බැවිනි. 

සිංගප්පූරුවේ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක් උදාහරණයක් මෙසේය. වරක් සිංගප්පූරුවේ බරපතල දූෂනයකට හසුවූයේ එවක එරට ජනාධිපති ලී ක්වාන් යූ ගේ සමීපතම මිතුරෙකි. ජනාධිපතිවරයා ලවා සහනයක් ලබා ගැනීමට දූෂිත මිතුරා උත්සාහ කළ අවස්ථාවේදී ලී ක්වාන් යූ පවසා තිබුනේ ඔහුට උදව් කිරීමට තමාට නොහැකි බවත් ඔහුට ගත හැකි ක්‍රියාමාර්ග 2 ක් තිබෙන බවත්ය. එකක් නම් හිරේට යෑමත් දෙවැන්න නම් සිය දිවි නසා ගැනීමයි. පසුදා දූෂිත මිතුරා හිසට වෙඩි තබාගෙන මිය ගොස් සිටියේ ය. 

ලංකාව ආසියාවේ ‘බිස්නස් හබ්‘ එක කිරීම ගැන කතා කරන රනිල් සහ මෛත්‍රී නමැති නායකයන් දෙදෙනා සිංගප්පූරුවෙන් ඉගෙන ගත යුතුය. ලංකාවේ හිර ගෙදරක සිටිය යුතු ටිරාන් අලස් වැනි නීල කාස හොරෙකුට තමන්ගේ යහපාලන ආණ්ඩුව සැලකූ ‘අයිස් ක්‍රීම්‘ ආකාරයත් සිංගප්පූරුව සැලකූ නීතිගරුක ආකාරයත් ඉගෙන ගන්නවා නම් හොඳ පාඩමකි. 

---------------------------
by     (2016-06-26 14:01:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

balan inna hariyata neethiya karanakam
-- by ATHULA on 2016-06-26

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links