-නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්නගේ විග්‍රහය
(ලංකා ඊ නිව්ස් -2016.ජුනි.25, ප.ව.2.45) අර්ජුන් මහේන්ද්‍රන් යහ පාලන ආණ්ඩුවේ අනාගතය තීරණය කිරීමට නියමිතව තිබිණ. එය කාගේත් යහපතට හේතුවන පරිද්දෙන් අවසන් විය. ජනවාරි 8 පැතූ යහ පාලනය මේකද? සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය නැවත නැවත ප්‍රශ්න කරන්නේ මෙවැනි කරුණුය. මෙහිදී අප ආපසු මහින්ද රාජපක‍්ෂ පළවා හළ සටන් ඉතිහාසයට මඳක් යොමු වෙමු. එකී සටන සාරාංශ කළ විට වර්තමානය සහ අනාගතය සඳහා උචිත මාර්ගය විවර කරගත හැකිය.
මාදුළුවාවේ සෝභිත හිමියන් යහ පාලන සටන ආරම්භ කළේ රට සදාචාර සම්පන්න කිරීම සඳහාය. රටට අනාගතයක් නිර්මානය කිරීම සඳහාය. ඒ සඳහා ව්‍යාපාරයක් මෙහෙයවමින් මහින්දට මුහුණ දිය හැකි නායකයෙකු සිටියේ නැත. එහි තේරුම රටේ දේශපාලනය පන්නරය සහිත චරිත නො සිටියා යන්න නොවේ. මහින්ද රාජපක‍්ෂ අත පැවති ජාතිවාදි අධිපතිවාදි සූදුව බෙහෙවින් බියකරු වූ නිසාය. සියළු බලවේග සහ චරිත නිශේධව තිබිණ. විවිධ හේතු නිසා මේ වන විට එජාපය ද නායකයෙකු සොයමින් සිටීම පැවති බරපතලම තත්වයයි. රාජපක‍්ෂ යාන්ත්‍රණය හමුවේ සකල විපක‍්ෂ දේශපාලනයම සිටියේ ආබාධිත තත්වයෙනි. සෝභිත හාමුදුරුවන් වහන්සේ පොදු අපේක‍්ෂක සංකල්පය ඉස්මතු කළේ ඊට පිළියමක් හැටියටය.
සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය පිහිටුවිමේ ආරම්භක සාකච්ඡාවක් පැවතියේ පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේය. එදා කරු ජයසුරිය සරත් ෆොන්සේකා පමණක් නොව රාජපක‍්ෂ සමග සිටි වාසුදේව නානායක්කාර පවා පැමිණ සිටියේය. කරු ජයසුරිය මෙන්ම වාසුදේව නානායක්කාර ද කියා සිටියේ තමන් පැමිණියේ පුද්ගලයන් හැටියට මිස දේශපාලන පක‍්ෂ වෙනුවෙන් නොවන බවය. එදා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ද එතැනට රිංගා කතාවක් කිරීමට සමත් වූවාය. ඒ වන විට හිරුනිකා කොටු කිරීමේ රාජපක‍්ෂ මෙහෙයුම ක්‍රියාත්මකව පැවතිණ. රැස්වීම අවසානයේ කිහිප දෙනෙකු හාමුදුරුවන්ට හිරුනිකා පිළිබඳ තත්වය දන්වා සිටියහ. ඒ අවස්ථාවේ එතුමන් කීවේ කුමක්ද?
“කමක් නැහැ මහත්තයෝ මිනිස්සු එයි යයි. අපිත් යමු. මහින්ද එක්ක ඉන්න අයට මෙතැන තහනම් කළොත් අරමුණ දිනා ගැනීමට අමාරුයි. හිරුනිකා ළමයා යනවා නම් ගියාවේ. බලමු.“ කියාය. ඊළඟ සතියේ පොලොන්නරුවේ එජනිස වේදිකාවට නැගුණු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ගීත ගායනා කළාය. මේ කියන්නේ 2013 වසරෙහි කතාවකි. 2015 ජනවාරිය වනවිට හිරුනිකා හිටියේ මහින්දට එරෙහි වේදිකාවේය. අගෝස්තුවේ හෙළ උරුමයේ අනන්‍යතාවය වැනිවූ අතුරලියේ රතන හිමි සහ පාඨලී චම්පික මැතිවරණය තරඟ කළේ එජා පෙරමුණ යටතේය. මේවා දේශපාලන සිද්ධි විග්‍රහයකදී පුංචි නැත. එය පුරා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය රටේ දේශපාලනය උඩු යටිකුරු කළ හැටිය. ඒ ව්‍යාපාරයට අවශ්‍ය වුණේ මහින්ද පරදවා තවත් පරපුරකට රට භාරදීම නොවේ. රටේ යහපත පිණිස පරපුරක් නිර්මානය කිරීමය. රට සදාචාර සම්පන්න කිරීමය. ඒ කිසිවක් මේ වනවිට සිදුවී නැත. අදටත් ඒ සද් ව්‍යායාමය එසේම පවතී. හෙවත් රටේ දේශපාලනය උඩු යටිකුරු කිරීමේ ජාතික ප්‍රයත්නය කාලීන අවශ්‍යතාවක් බවය. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේකෂකයා ලෙස පිලිගත්තේ එකී කාලීන අවශ්‍යතාවයට අනුකූලවය. ඒ කිසි තැනක මෛත්‍රීපාල නැවත තමන් සිටි ගුබ්බෑමයට යාම ගැන කිසිවෙකු විමසා නොතිබිණ.
දේශපාලන පක‍්ෂ එක්වීම මෙන්ම වෙන්වීමද ජනවාරි ජයග්‍රහණය අපේකෂිත තත්වයකි. ජනවාරි ජයග්‍රහණයේ මේ චින්තන රටාව මෛත්‍රී රනිල් හෝ හදාරා නැති බව පෙනේ. රනිල් වික්‍රමසිංහ අර්ජුන් මහේන්ද්‍ර කර තබා ගත්තේ ලංකාව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය වගේය යන මනෝ විකාරයෙනි. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපය සමග කූට්ටාලි වුණේ ලංකාව ඩාර්ලි පාරේ පක‍්ෂ මූලස්ථානය ලෙස කල්පනා කරමිනි. දෙදෙනාම තැත් කළේ ජනවාරි ජයග්‍රහණයේ ආකල්ප තනිකර සිය දේශපාලන රටා තුල ගුලි වී සිවිල් ක්‍රියාකාරීන් කෝප කිරීමය.
ජනවාරි ජයග්‍රහණය සහතික කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අඩයාලම ස්ථාපනය කිරීමෙනි. මෛත්‍රීගේ පටන් සියළුම දේශපාලනඥයන් මේ තත්වය තේරුම් ගත යුතුව තිබේ. සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය යනු විශ්වාසයකි. විශ්වාස හරහා මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ ඇදහීම් නිර්මානය විය. මහින්ද රාජපක‍්ෂ පෙරළා දැමිය නොහැකි බවට ගොඩ නැගුණ විශ්වාසයක් තිබිණ. මහින්දගේ විශ්වාසය ශක්තිමත් කිරීමට ඇදහිල්ලක් නිර්මානය විය. ඒ ඇදහිල්ල කුමක්ද? යුද්ධය දිනා ගත් නිසා මහින්ද හොරකම් කළාට වරදක් නැත යන්නය. අන්ධ විශ්වාසයක් අන්ධ ඇදහීමක් සමාජයක් රටක් විනාස කරන්නේ එහෙමය. එය ජීවිතාරක‍්ෂාව පිණිස සතුන් බිලිදීම වැනි මිත්‍යාවකි. බුද්ධාගම අනුව හෝ හොරකම් කළාට කමක් නැත කීමද පාපයකි.
මහින්ද හොරකම් කළාට කමක් නැත කියවා ගත්තේ ඇයි? මහින්ද හොරකම් කළ නිසාය. සොල්දාදුවන් රණ විරුවන් කරන්නේ ඇයි? ඔවුන්ට එල්ලවන අපරාධ වැරදි වලින් බේරා ගැනීම පිණිසය. එහෙත් මහින්ද රාජපක‍්ෂට එරෙහිව සරත් ෆොන්සේකා ඡන්දය ඉල්ලීම නිසා ඔහු සිරගත කළේය. ඒ අවස්ථාවේ සරත් පොන්සේකා තම හමුදාපති බව මහින්දට අමතක විය. මහින්ද රාජපක්ෂ ඒ හැසිරීම තුල සියළු ජරාජයන් ලබා හමාරය. නැවත මහින්ද ඔසවා තබන මහින්ද වාදීහූ රට අවුල් කරන්නේ රෙද්ද අස්සේ ගෝපයියන් ලෙස හැසිරෙමිනි.
ඒ නිසාම, මෛත්‍රී පාලනය යටතේද, දුෂණ වංචා නතර කිරීමේ ප්‍රයත්නයට එරෙහිව යුද්ධය දිනා ගත් නිසා හොරකම් කළාට වරදක් නැත කියන්නෝ සිටිත්. ගෝඨාභය නායකයා කිරීම යනු ඍජුව එම ව්‍යාපෘතිය වේ. එය කුණුහරුපයකි. අද සක්‍රීය දේශපාලනයේ පවත්නා පරස්පරය එයයි. මහින්ද රාජපක‍්ෂ ජපන් ටයිම්ස් පත්‍රයට කීවේ කුමක්ද? දේශපාලන පලිගැනීම් සිදුවන්නේ තම පවුලට පමණක් බවය. එහි තේරුම දේශපාලන පලිගැනීම් යනු මහින්ද, ශිරන්ති, ගෝඨා, බැසිල්, නාමල්, යෝෂිතට එරෙහි ක්‍රියාවන් පමණකි. ලලිත් වීරතුංග අනුෂ පැල්පිට ආදිහූ වෙනුවෙන් වෘත්තිය හයියෙන් පෙනී සිටිමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවට තර්ජනය කරයි.
සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය නැවත සිය එකමුතුව රැස් කළේ ජනවාරි ජයග්‍රහණයෙන් අපේක‍්ෂිත බොහෝ දෑ සිදුවී නැති නිසාය. මහින්ද රාජපක‍්ෂ පරාද කළා කියා රටම උද්දාමයට පත්වූ බව සැබෑය. එහෙත් මහින්ද රාජපක‍්ෂ පරාද කිරීමෙන් රටේ දේශපාලන සදාචරය අලූක්කාලක් හෝ වෙනස් වී තිබේද? මේ ප්‍රශ්නය යොමු කළ යුත්තේ කාටද? අපරාධ චෝදනා නැගුණ අනුෂ පැල්පිට වැටුප් ලැබීම ගැන ප්‍රශ්න කෙරිණ. ඔහුගේ වැඩ තහනම් විය. තිලින ගමගේ විනිසුරු අසුනෙන් බස්වනු ලැබීය. ඒ සිවිල් සංවිධාන ප්‍රශ්න කළ නිසාය. එහෙත් 2015 පෙබරවාරියේ සිට දූෂණ චෝදනා නැගෙන අර්ජුන් මහෙන්ද්‍රන් ගැන මෙතරම් හා හූවක් ඇයි? මහ බැංකු අධීපතියා යනු තවත් රජයේ සේවකයෙකු පමණි. ඔහු ගැන තීරණයක් ගැනීමට මෙතරම් තැටුමුවේ ඇයි?
සිවිල් පුරවැසි බලය කල්පනා කරන්නේ යහ පාලනය පිළිබඳ නිසි බලධාරියා මෛත්‍රීපාල සිරිසේන කියාය. ඔහු විජේදාස රාජපක‍්ෂ, වජිර අබේවර්ධන මෙන් තවම සිල් බිඳගෙන නැත. පොදු අපේක‍්ෂකයා වෙමින් මහින්දට මුහුණ දුන් පුරවැසි පළිහ ලෙස අභිෂේක ලත් මෛත්‍රීපාල සිරිසේන සිය වගකීම් කරට ගෙන නැත. සිවිල් බලය සමාජය තුල හිදැසක් දකින්නේ ඒ නිසාය. සමහර විට මෛත්‍රීපාල සිරිසේනට මේ ගැන ලජ්ජා හිතෙනවා විය හැකිය. එහෙත් සැබෑ සත්‍ය යනු ඊට වඩා වෙනස් දෙයක් නොවේ.
මහින්ද පරාජය කළේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සමග වෘත්තීය සහ සිවිල් විසිනි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාධිපති වුණේ ඡන්ද ප්‍රතිපලයක් හැටියටය. ඔහු තමන් ඡන්ද ප්‍රතිපලයක් පමණක් නොවන බව සහතික කර නැත. සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය ව්‍යාපාරය අපේක‍්ෂා කළ බොහෝ දෑ සිදු වී නැත්තේ ඒ නිසාය.
සංචාරක මණ්ඩලයේ මුදල් අවභාවිතය ගැන පරීක‍්ෂණ අවසන් විය. කළ යුතුව තිබුණේ වගකිව යුතු අය අධිකරණයට ඉදිරිපත් කිරීමය. එහිදී සිද්ධ වුණේ හොරුන් බේරිය හැකිදැයි නැවත සලකා බැලීමට අදාල ලිපි ගොනුව නැවත නීතිපති වෙත යැවීමය. එය කළේ මහින්ද රාජපක‍්ෂ නොවේ. එක්කෝ අගමැතිය. නැතොත් ජනාධිපතිය. එසේ නැතහොත් දෙදෙනාමය. කවුරු කළත් එය නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් දිවුරා සිටින අගමැතිට සහ ජනාධිපතිට තරම් නොවේ.
පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට පත් ලලිත් වීරතුංග, අනුෂ පැල්පිටට නඩු පැවරූ ආකරය විකෘතියකි. කවුරු කළත් එය නැහැදිච්ච කමකි. අලි හොරකම සඳහා අත් අඩංගුවට පත් උඩුවේ ධම්මාලෝක හිමිට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප දීමද කාගේ හෝ නැහැදිච්ච මැදිහත්වීමක ප්‍රතිපලයකි. වගකිව යුත්තන් ලෙස විමර්ශණ විසින් හඳුනා ගත් සියළු දෙනා ප්‍රකාශ ලබාදීමට රහස් පොලිසිය වෙත කැඳවූහ. එහෙත් ශිරන්ති රාජපක‍්ෂට සැලකුනේ වෙනත් ආකාරයකටය. ඊට කවුරු මැදිහත් වුවත් එයද නැහැදිච්ච කමකි. අත් අඩංගුවට පත් නොවී සිටිමට විනිසුරු තිලින ගමගේ පිළිකුල් සහගත ලෙස හැසිරුණේ සමහර විට ශිරන්ති රාජපක‍්ෂට සැලකු ආකාරය ගැන හිතේ පැවති ජොලිය නිසා විය හැකිය. මෙතන ඇත්තේ ගුරා සිටගෙන කරන දේ ගෝලයා පාර පුරා දුවමින් කිරීමකි. මහින්ද වෙනුවට මෛත්‍රී පත්වුනාට රටේ පාලනය අලුක්කාලක් හෝ වෙනස්ව නැත කීවේ ඒ නිසාය.
ඉහත විස්තර කළේ ඡන්දයෙන් මහින්ද පරාද කළත් තවම මහින්ද ක්‍රමය රටේ ක්‍රියාත්මක බව තහවුරු කිරීමටය. විස්තර කළ සිද්ධි යහපාලන භාර කාරයන් රට බලා කියා ගන්නා ආකාරය ගැන සාක‍්ෂි වෙති. මේ සියල්ල නීතියේ ආධිපත්‍ය තවමත් වලපල්ලේ බවට සාධක වෙති. ඒ හරහා පරිශුද්ධ ජනවාරි ජයග්‍රහණය හෑල්ලුවෙමින් පවතී.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇණ ගසා මැරීම ඓතිහාසික වරදකි. ඉතිහාසය ඒ අපරාධය මනුෂ්‍ය සංහතිය පිට පැටවූයේ කෙසේද? මළවුන්ගෙන් නැගිටීම ලෙස අර්ථ ගන්වමිනි. ඒ නිසා මේවා සෙල්ලම්, නොතකා හැරීම් නොවන බව මෛත්‍රී විසින් සිහි කටයුතු වේ. එහෙම කියන්නේ කොළඹ රාජකීය සංස්කෘතිය ධර්ම චක්‍රය හෝ කුරුසිය වාසිය හමුවේ නොතකා හරින නිසාය. අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ අඩව්ව ඊට නිදසුනකි.
අපි මහින්දට අනුප්‍රාප්තිකයන් වූ ආණ්ඩුව දෙසට හැරෙමු.
ජනවාරි ජයග්‍රහණය මෛත්‍රීපාලගේ හෝ රනිල්ගේ සින්නක්කර එකක් නොවේ. එහෙත් තවමත් අපට පෙනෙන්නේ එවැන්නකි. මෛත්‍රී ශ්‍රීලනිපයට නායකත්වය දී ඒ පක‍්ෂයේ කොටසක් යහ පාලනයට එක් කර ගත්තේය. ඒ සම්මුතිවාදී පැවැත්මකට අනුගත වෙමිනි. අනුගත සම්මුතිය යකාට ගිය බව 19 වෙනි සංශෝධනය බකල් කළ ආකාරයෙන් ඔප්පු විය. ජනවාරි ජයග්‍රහණය අපේක‍්ෂා කළ දේ 19 වෙනි සංශෝධනයෙහි නැත. එය මේ කියන නව පාලන කෙරුවාවේ විකෘතියකි. එළදෙන පැටවා බිහි කළ බව සැබෑය. එහෙත් එළදෙනගේ හිමිකරුවන්ට හිමිව ඇත්තේ වැදෑමහ (placenta) පමණි. පැටවා කවුදෝ සොරා ගෙන ගොස්ය. වැදෑමහ හිමිවූ ජනවාරි ජයග්‍රහණය එය කිරි ගසක එල්ලා බලා සිටිති. ගෙවුන වසර එක හමාර තුල ජනවාරි සුරබිදෙනගෙන් කිරි දොවන්නේ අයිතිකාරයා නොවේ. පැටවා පැහැර ගත් තක්කඩියන් පිරිසකි. මාංචු වැටී උසාවි යන ජොන්ස්ටන්, බැසිල්, සචින් වාස්, ගම්මන්පිල “මේං යහ පාලනය“ කියා මාංචු කුට්ටම පෙන්වා සිනාසෙති. එවැනි චෝදනා ගහණ අනුර යාපා, ඩිලාන් පෙරේරා යහතින් ඇමතිකම් කරති. අගෝස්තු මහ ඡන්දයට පසුව එකඟතාවක් නැති සම්මුතියට තවත් පිරිස් එක් විය. දැන් විධායක ක්‍රමය අහෝසි කිරිමට ශ්‍රීලනිපය විරුද්ධ බව පළවේ. ජනවාරි මතවාදය අගෝස්තුවේත් ජනතාව නැවත අනුමත කළහ. එක් වසරක් තුළ දෙවරක් ජනතාව ප්‍රතික්ෂේප කළ ශ්‍රීලනිපය යහපාලන සම්මුතියට කොන්දේසි දමා එය විනාස කිරිමට පිඹුරු පත් සකසමින් සිටියි.
පවත්නා ආණ්ඩුවේ ශ්‍රීලනිප සම්මුතිය එවැන්නකි. ඒ විකෘතිය රනිල් වික්‍රමසිංහ හඳුන්වන්නේ ‘ලිච්ඡවි මොකක්දෝ එකක්“ හැටියටය. අප දන්නා පරිදි ලිච්ඡවි පාලනය යනු සතුටින් එක්ව, සමගියෙන් එකඟතාවට පත්ව විසිර යාමය. 19 වෙනි සංශෝධනයේදි මේ දෙ පිරිස එසේ හැසිරිණිද? මහ බැංකු අධීපති සිද්ධියේදි මේ දෙපිරිස දෙමලිච්චන් මෙන් කෑගසා ගත්හ. ලිච්ඡවින් මැරී අවුරුදු දහස් ගණනකි. යහ පාලනය අපේක‍්ෂා කළ මාදුළුවාවේ හාමුරුවන්ද අපවත් වූහ. එහෙත් අනුගාමික සිවිල් බලවේග සද්දෙන් හුස්ම ගැනීමට පටන් ගෙන ඇත.
මියගිය ලිච්ඡවි රජ දරුවන් කිසි විටෙක රනිල් වික්‍රමසිංහ සොයා නොඑනු ඇත. එහෙත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය මෛත්‍රී සහ රනිල් වටකොට ප්‍රශ්න කරමින් සිටිති. මෛත්‍රී පත් කළේ ජනතාව විසිනි. අගමැති සහ ඇමතින් පත් කළේ මෛත්‍රී විසිනි. එබැවින් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය ‘මස් රාත්තල ඉල්ලන්නේ‘ මෛත්‍රී ගෙනි. මේ අවස්ථාවේ ඔහුට පැවරෙන වගකීම අති මහත්ය. 2015 දෙසැම්බර් 9 වෙනිදා මෛත්‍රී සිය පළමු රැස්වීම මහනුවරදී පැවැත්විණ. එදා මෛත්‍රී තමන් ජනාධිපති වුනොත්, ශ්‍රීලනිපය සමග සම්මුති ආණ්ඩුවක් බිහි කරනවා කීවා නම් දිනන්නේ මහින්ද මිස මෛත්‍රී නොවේ. මම අගමැති වූ පසුව විදේශිකයෙකුට මහ බැංකුව භාරදී ආර්ථීකය හදනවා කීවා නම් ජනවාරි 9 වෙනිදා අගමැති වෙන්නේ රනිල් නොවේ. බැසිල් රාජපක‍්ෂය. මේ සත්‍ය වටහා දිමට සිවිල් බලවේගයට සිදුවීම කාලකණ්නි පාපයකි.
ලිපිය ආරම්භයේ සිවිල් ව්‍යාපාරයේ ඉතිහාසය සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතනටය. සින්දු කියන්නට මහින්ද වෙත ගිය හිරුනිකා ආපසු ආවාය. රතන හිමි පාඨලි චම්පික එජා පෙරමුණෙන් තරඟ කළහ. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න එජා පෙරමුණෙන් පාර්ලිමේන්තු ගියේය. එසේ නම් ඒ සියළු දෙනා පෙනී සිටිය යුත්තේ වගකිව යුත්තේ අලියාට හත් ගෙඩියට නොවේ. අදේශපාලනික යහ පාලන අරමුණු වෙනුවෙනි.
මෛත්‍රීගේ වේදිකාව ගිනි තැබූ, මුතුහෙට්ටිගමට යහ පාලනයට එක් විය හැකිය. සමනලී ඇතුළු කලා කාරයන්ට පහර දුන් පළාත් සභා මන්ත්‍රීට යහ පාලනයට එක් විය හැකිය. ජෝන් සෙනෙවිරත්න ඇමතිකම් දරති. එහෙත් ඔවුන් තවම හුස්ම ගන්නේ හොරකම් කළාට කමක් නැත කියන මහින්ද චින්තනයේ ලතාවටය. මිනී මැරුම් පැහැර ගැනීම් සිය ගණනක් පිලිබඳව පරීක‍්ෂණ නිම වෙමින් පවතී. ජෝන් සෙනෙවිරත්නට අවශ්‍ය ගෝඨාභය රාජපක‍්ෂ ශ්‍රීලනිප නායකයා කිරීමටය. මේ කියන්නේ පරාද වූ ශ්‍රීලනිපයට මෛත්‍රීපාලගේ නායකත්වය සුදුසු නැති බවය. ශිරාල් ලක්තිලකට දයාන් ජයතිලක අවශ්‍ය විදේශ ප්‍රතිපත්තිය කෙළින් කිරීමට නොවේ. මෛත්‍රී රනිල් සම්මුතිය විනාස කිරීමටය. රනිල්ට අර්ජුන් මහේන්ද්‍රන් නැතිව ආර්ථීකය ගොඩ ගැනීමට බැරිය. නැගෙන චෝදනා අනුව ගෝඨාලා මහේන්ද්‍රන්ලා හිරේ ගියොත් ලංකාව විනාසද? මේ නයි පොළොඟුන් මෛත්‍රීගේ රෙද්ද අස්සට වී උනුන් කා කොටා ගනිති. මිහිරි හෝ අමිහිරි හෝ අප විග්‍රහ කළ යුත්තේ මෙන්න මේ ටිකය.
යහ පාලනය නිරක‍්ෂය වැනි එකකි. යහ පාලනය පිහිටුවීම පිණීස පළමුව රට පාලනය ආරම්භ කළ යුතු වේ. අරූගේ මූගේ ගර්ජනයට තර්ජනයට බියවීම පාලනයකට උචිත නැත. නව පාලනයක අරමුණු දිනා ගැනීම නම් පළමුව තමන්ට ජනතාව දුන් බලය තහවුරු කරගත යුතුවේ. ජනවාරියේ මෛත්‍රීපාල සිරිසේනට ජනතාව දුන් බලය ඔහු තවම තහවුරු කරගෙන ඇති හැටියක් නොපෙනේ. රෝමයට ගිය එකා රෝම කාරයෙකු ලෙස හැසිරිය යුතුය. ජෝන් සෙනෙවිරත්නලා, ඩිලාන් පෙරේරාලා යහ පාලන ආණ්ඩුවේ ඇන මුරිච්චි වෙති. ඔවුන් තවම මහින්දගේ සාටක අමුඩය ගලවා නැත. සජිත් ලවා විනාස කළ නොහැකිවූ රනිල් මෛත්‍රී ලවා විනාස කිරිමට ශිරාල් ලක්තිලක වෑයම් කරයි. වරද ඇත්තේ මෙතැනය. තමන්ට අවශ්‍ය ලෙස ඉත්තන් තබා නොගෙන දාම් සෙල්ලම දිනා ගත නො හැකිය. යහ පාලන ආණ්ඩුවේ ගෙවුනු අවුරුදු එක හමාරක අත්දැකීම අපට කියන්නේ ලජ්ජා හිතෙන කතාවකි.
මෛත්‍රී දාම් ඇදීම තබා නයි ඉනිමං බෝඩ් එකේ සෙල්ලම් කිරීමවත් දන්නේ නැති හැටියකි. චර පුරුෂයන් සහ රූකඩ ඉත්තන් ඉවත් නොකර අපට යහ පාලනය ඇති කළ නොහැකිය. මේ බව මාදුළුවාවේ හාමුදුරුවන් වහස්සේ කී බව අප මෙයට පෙරද සිහිපත් කර ඇත.
පාලන අසිපත මුවහත පිණිස ගලේ ඇතිල්ලුවා වැඩිය. දැන් එය ගෙවෙන්න පටන් ගෙනය.
---------------------------
by (2016-06-27 12:29:02)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි