~

ඇමැති අර්ජුනට සහ සභාපති ධම්මිකට විරුද්ධව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ගෙන ආ දෝෂාභියෝග චෝදනා මෙන්න

වරායේ නිවාඩු නිකේතන ගණිකා මඩම් කරලා: ඇමැතිගේ සුපිරි කාමරයේ සුව පහසු ඇඳන්: ගැබිණියක් සිහි නැතිවන තුරු කුණු හරුපෙන් බැනලා

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.24, ප.ව.11.30) අර්ජුන රණතුංග මහතා වරාය හා නාවුක ඇමතිවරයා ලෙසත් ධමිමික රණතුංග මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙසත් කළ සහ කරගෙන යනු ලබන විවිධ වූ අසාධාරනකම්, සේවක මර්දනයන් ප්‍රධාන වශයෙන් පරිපාලන, දුෂණ වංචා සහ නොමනා හැසිරීමි සහ බැන වැදීම්ද, පැහැදිලිව හඳුනා ගත හැකි අංශයන්හි සිදුකරන ලද විෂමාචාරයන් සහ වෘත්තිය සමිති වලත් සමස්ථ වරාය සේවකයාගේ විශ්වාසය පලුදුවන ආකාරයට කටයුතු සිදුකිරිම ද, එමගින් සිදුවන මහා මුදල් විනාශය ද, ආයතනයට සිදුවන අපකිර්තිය සහ රටේ ජන ජීවිතයට බලපාන්නා වු විවිධ දුෂ්කරතා පෙරදැරි කරගෙන ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ලෙස මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කිරිමට අදහස් කෙළෙමු. පහත සදහන් ලෙස අඩු දැනුම අනවබෝධය නිසා ඇති කළ පරිපාලන දුර්වලතා, සභාපතිගේ සහ ඇමතිගේ නොමනා හැසිරිම සහ අමාත්‍යංශය සහ වරාය අධිකාරිය ආශ්‍රීත සිදුවන වංචා සහ දුෂණ යන තෙවැදෑරුමි ව්‍යවසනයන්ට අදාලව මෙම දෝෂාභියෝගය ගොනු කරනු ලැබේ.

අඩු දැනුම සහ අනවබෝධය නිසා ඇති කළ පරිපාලන දුර්වලතා

අදුරදර්ශි ලෙස අධ්‍යක‍්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරිම සහ ඉවත් කිරිම 

1. සභාපතිවරයා ලෙස ආචාර්ය ලක්දාස් පනාගොඩ මහතා පත් කොට මාස 08 ක් ඇතුලත ඉවත් කිරිම.

2. උප සභාපති ලෙස කපිතාන් අසිත විජේසේකර මහතා පත්කොට ඉවත් කිරීම.

3. අසෝක ගුණසේකර මහතා පත්කිරීම සහ ඉවත් කිරීම.
 
4. ආචාර්ය උපාධියක් සහිත සුදුසුකම් ලත් සභාපතිවරයෙකු වූ ලක්දාස් පනාගොඩ මහතා ඉවත් කර අ.පො.ස.උසස් පෙළවත් සමත් නැති තම සහෝදරයෙකු වූ ධමිමික රණතුංග මහතා වරාය අධිකාරියේ සභාපති ලෙස නිත්‍යානුකූල නොවන අයුරින් දේශපාලන බලය පමණක් යොදා ගනිමින් පත් කෙළේය. ශ්‍රී ලංකා වරායවල් පිළිබද අධිකාරිය 1979 අංක 51 දරන පනතේ 5 (1)(අ) යටතේ වරායවල් පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා පත්කිරිම පිළිබඳව පැහැදිලිව සදහන් කර ඇත. එ් මෙසේය.
  
“(අ) වරාය සංවර්ධනය හෝ වරාය මෙහෙයවීම හෝ නෛතික හෝ මුල්‍ය කරුනු හෝ නැව්ගත කිරීමේ වාණිජ හෝ ඉංජිනේරු කටයුතු හෝ පරිපාලනය හෝ කම්කරු සබඳතා හෝ පිළිබඳ පුලුල් පළපුරුද්දක් ඇතැයි සහ නිපුනත්වයන් දක්වා ඇතැයි අමාත්‍යවරයාට පෙනී යන තැනැත්තන් අතුරෙන් අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබිය යුතු සභාපතිවරයා සහ එසේම පත්කරනු ලැබිය යුතු වෙනත් සමාජිකයින් පස් දෙනෙක්.....“ ඉහත සඳහන අනුව ඇමතිවරයා විසින් වරායවල් පිළිබද අධිකාරිය පනත උල්ලංගණය කරඇති බව පෙනීයයි.

5. උප සභාපති කපිතාන් අසිත විජේසේකර මහතා ඉවත් කර  ඇමතිවරයාගේ තවත් ඥාතිවරයෙකු එම තනතුරට පත්කර තිබිම

6. විධායක අධ්‍යක්ෂක ලෙස තනතුරක් පනතේ සදහන්ව නොතිබියදි සංජය විජේරත්න නම් වූ තම හිතවතෙකුට විධායක අධ්‍යක‍්ෂ ලෙස පත්වීමක් ලබා දීමෙන් සහ ඔහුට කාර්යාලයක් වාහන ඉන්ධන සහ වැටුප් ලබා දීමෙන් අනෙකුත් අධ්‍යක‍්ෂක වරුන්ට අගතියක් සිදුකරනවා මෙන්ම රජයේ මුදල් අවභාවිතයක්ද සිදුකරනු ලබයි. තවද වරායවල් පිළිබඳ පනත ද උල්ලංඝණය කර ඇත.

7. එමෙන්ම පනතේ 5(1) සහ 13(1) 1984 අංක 07 සංශෝධිත පනත මගින් කළමනාකාර අධ්‍යක‍්ෂක වරයෙකු අධ්‍යක‍්ෂක මණ්ඩලය නියෝජනය වන පරිදි ඇමතිවරයා විසින් පත්කළ  යුතු යැයි සඳහන් කර ඇත. වරාය අධිකාරිය බිහිවූ දා සිට මෙි දක්වා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකුට එම තනතුර ලබා දුන් අතර වැටුප අධිකාරියේ අනුමත වැටුප් ව්‍යුහයේ සඳහන් කර ඇත. එහෙත් මෙතෙක් කළමනාකාර අධ්‍යක‍්ෂ වරයෙකුට නොගෙවන ලද වැටුපක් වන රුපියල් 3,37,000/- ක වැටුපක්  ගෙවා ඇමතිවරයාගේ හිතවතෙකු වන සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර නම් වූ විශ්‍රාමික නිළධාරියෙකුට කළමනාකාර අධ්‍යක‍්ෂ ධුරය ලබාදීම මගින් සහ වරාය අධිකාරියේ අනුමත වැටුප්  ව්‍යුහයට පිටතින් වැටුප් ගෙවිම මගින් බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කර ඇත.  මෙි ආකාරයට උසස් නිළධාරින් බඳවා ගැනීම නිසා වරාය අධිකාරියට මේ දක්වා සේවය කළ බොහෝ අවංක නිළධාරීන් කලකිරීමෙන් ආයතනයට තම සේවාව අවංකව සහ උනන්දුවෙන් කටයුතු නොකරන වට පිටාවක් නිර්මාණය වී ඇත. තවද උසස් නිළධාරී තනතුරු වලට බඳවා ගැනීමේදි අධිකාරියට වසර ගණනාවක් තිස්සේ ශ්‍රම දායකත්වය සැපයු නිළධාරීන් අවමානයට ලක්කර තිබේ. මෙයට අමතරව මෙතෙක් වරාය අධිකාරියේ නිළධාරියෙකුට සම්ප්‍රදායික වශයෙන් කළමනාකාර අධ්‍යක‍්ෂ ධූරය දක්වා උසස් වීම් ලබා ගැනීමට තිබූ අවස්ථාව මින් අහිමි කළ අතර කළමනාකාර අධ්‍යක‍්ෂ ධූරයට පත්කරන ලද නිළධාරියාට රුපියල් 3,37,000/-  මුදලක් ලබා දීමට සාපේක‍්ෂව අනෙකුත් සේවක වැටුප් ද වැඩි කළ යුතු යැයි සේවක නොසන්සුන්තවක් ඇති කර ඇත. 

8. සුරේෂ් එදිරිසිංහ නම් වූ ඇමතිවරයාගේ ලඟ සිටින තවත් ගෝලයෙකු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක‍්ෂ මණ්ඩලයට පත්කිරීම තුලින්ද වරායවල් පිලිබඳ පනත උල්ලංඝණය කිරීම.

අමාත්‍යාංශයට සහ වරාය අධිකාරියට අනුබද්ධ ආයතන වලට  නිළධාරින් පත්කිරීමේ අක්‍රමිකතා

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනුබද්ධව ශ්‍රී ලංකා වරාය කළමනාකරන උපදේශක සේවා පෞද්ගලික සමාගම, කොළඹ තෙල් බැංකුව සහ මාගම්පුර වරාය කළමනාකරන පෞද්ගලික සමාගම යන ආයතන වලටද අධ්‍යක‍්ෂ මණ්ඩල පත්කිරිමේදී පහත සඳහන් ලෙස හිතවත්කම සහ ලඟ ඇසුර පමණක් පදනම් කරගෙන නුසුදුස්සන්ට තනතුරු පිරිනමා ඇත. 

1. මනිෂා කන්නන්ගර මහත්මිය ශ්‍රී ලංකා වරාය කළමනාකරන උපදේශක සේවා පෞද්ගලික සමාගම ප්‍රධාන විධායක නිළධාරිනිය ලෙස පත්කර තිබීම සහ වරාය අධිකාරියට අයත් කොළඹ 07 හි පිහිටා ඇති නිළ නිවසක් නීත්‍යානුකූල නොවන අයුරින් ඇයගේ පරිහරනයට ලබා දීම.
 
2. ඇමතිවරයාගේ ඥාති සහෝදරයෙකු වූ  අජිත් ගුණසේකර ශ්‍රී ලංකා වරාය කළමනාකරන උපදේශක සේවා පෞද්ගලික සමාගමට සමීක‍්ෂණ නිළධාරියෙකු ලෙස පත්කර ඒ හරහා වරාය අධිකාරියට අනුයුක්ත කිරිම. ඔහු නීති විරෝධි ලෙස වරාය අධිකාරියෙන් වැටුප් ලබනවා පමණක් නොව මත්පැන් පානය කර පැමිණ වරායේ විවිධ කොට්ඨාශ ප්‍රධානීන්ට බැන වැදී තර්ජනය කිරිම. තවද වරාය සේවා සැපයුම් කොට්ඨාශය මගින් කරනු ලබන ටෙන්ඩර් වලට බලපැම් සිදුකරමින් පරන යකඩ විකුණමින් දේශපාලන බලය අයුතු ලෙස යොදවමින් වරායේ නිළධාරීන්ට චන්ඩිකමි පෙන්වමින් අසෝභන ලෙස හැසිරීම.

3. ඇමතිවරයාගේ තවත් ඥාති සහෝදරයෙකු වු නාථ ගුණසේකර ශ්‍රී ලංකා වරාය කළමනාකරන උපදේශක සේවා පෞද්ගලික සමාගමට සමීක‍්ෂණ නිළධාරියෙකු ලෙස පත්කොට ඒ මගින් වරාය අධිකාරියට අනුයුක්ත කොට නීති විරෝධී ලෙස වැටුප් ලබාගෙන වරාය මුලුතැන් ගෙවල් වලට බලහත් කාරයෙන් ඇතුලු වී ඇමතිවරයාගේ බලය අයුතු ලෙස යොදා ගනිමින් වරායේ මුලුතැන් ගෙවල් වලට භාණ්ඩ සැපයුම් කරුවන්ගෙන් අල්ලස් ලෙස මුදල් ගසා කෑම සිදුකරනු ලැබීම.

4. ඇමතිවරාගේ හිතවතෙක්වු වයස අවු. 65 ක් වූ ක්‍රිකටි ආයතනයේ සිටි මැල්කමි පෙරේරාට ශ්‍රී ලංකා වරාය කළමනාකරන උපදේශක සේවා පෞද්ගලික සමාගමේ පත්වීමක් ලබා දී නීති විරෝධි ලෙස වරාය අධිකාරියේ මාධ්‍ය හා ජනසංනිවේදන කොට්ඨාශයේ ප්‍රධානියා ලෙස පත් කිරිම. මෙයට අමතරව බඳවා ගැනීමේ වයස ඉක්ම වූ ප්‍රසන්න ලොකුගේ මහතා අධ්‍යක‍්ෂ, තොරතුරු පද්ධති ලෙසත් වයස අවු. 62 ක් වු මෙිජර් ජෙනරාල් නිස්සංක විජේසිංහ මහතා අධ්‍යක‍්ෂ, ආරක‍්ෂක ලෙසත් පත්කිරීම
   
5. ඇමතිවරයාගේ හිතවතියක් වූ රුවනි ඩයස් බණ්ඩාරනායක මහත්මිය කළමනාකාර අධ්‍යක‍්ෂක ලෙස කොළඹ තෙල් බැංකුවට පත්කිරීම.

6. මරියකඩේ විමලේ කොළඹ තෙල් බැංකුවට අධ්‍යක‍්ෂ වරයෙකු ලෙස පත්කිරිම.

7. ඇමතිවරයාගේ හිතවතෙකු වූ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරන සිසිර පෙරේරා කොළඹ තෙල් බැංකුවට අධ්‍යක‍්ෂ වරයෙකු ලෙස පත්කිරිම.

8. ඇමති වරයාගේ හිතවතෙකු වූ විශ්‍රාමික පොලිස් නිළධාරී සරත් පෙරේරා මහතා සාමාන්‍ය අධිකාරිවරයා ලෙස මාගම්පුර වරාය කළමනාකරන පෞද්ගලික සමාගමට (හම්බන්තොට වරාය) පත්කිරීම. මෙම නිළධාරියාට වරාය මෙහෙයවීම සම්බන්ධයෙන් මේ ලෝකේ පළපුරුද්දක් නොමැත.

9. ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන තමීර මංජු නැමැත්තාද මාගම්පුර වරාය කළමනාකරන පෞද්ගලික සමාගමට (හම්බන්තොට වරාය) අධ්‍යක‍්ෂ වරයෙකු ලෙස  පත්කිරීම. මොහු නාවුක ක්ෂේත්‍රය  ගැන කිසිදු නිපුනත්වයක් ඇත්තෙකු නොවේ.

10. ඇමතිවරයාගේ තවත් ඥාතිවරයෙකු වූ මංගල ගුණසේකර මහතා අමාත්‍යංශයේ සම්බන්ධිකරණ නිළධාරියෙකු ලෙස කටයුතු කරනු ලබන අතර වරාය අධිකාරියේ නිළධාරින්ට ඇමති බලය පෙන්වමින් විවිධ තර්ජන කරමින් බලය අවභාවිතයේ යෙදවීම. 

11. ඉහත සියළු දෙනාටම අමතරව අති විශාල කාන්තාවන් පිරිසක් බඳවාගෙන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති අර ඔවුන් සියළු දෙනාම නිවෙස් වල සිටිමින් රජයෙන් වැටුප් ලබා ගැනීම.

ශ්‍රි ලංකා වරාය අධිකාරියට ඉහල නිළධාරින් පත්කිරීම සහ ඉවත්කිරීමේ අක්‍රමිකතාවය

1. ප්‍රධාන මානව සම්පත් කළමනාකරු එල්.එච්.ආර්. සේපාල මහතා ඉවත් කොට ප්‍රධාන අභ්‍යාස කළමනාකරු වශයෙන්  පත්කිරීම

2. ආර්. එම්.එස්. රත්නායක මහතා ප්‍රධාන මානව සම්පත් කළමනාකරු ලෙස පත් කොට මාස 08 ක්    වැනි කෙටි කලකින් කලින් සිටි තනතුරටම යලි පත්කිරීම.

3. නිමල් ජයතිස්ස මහතා ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු බහලු මෙහෙයුම් තනතුරෙන් ඉවත් කොට  දින කිපයක් ඇතුලත යලි එම තනතුරට පත්කිරිම.

4. පී. රණතුංග මහතා ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු තනතුරට පත්කොට දින කිහිපයක් ඇතුලත යලිත් කලින් සිටි තනතුරට ස්ථාන මාරු කිරීම.

5. චන්ද්‍රිකා නලිර් මහත්මිය ප්‍රධාන කළමනාකරු පරිපාලන තනතුරට පත්කොට යලි ඉවත්  කිරිම.

6. නිමල් ජයතිස්ස මහතා යලිත් ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු බහලු මෙහෙයුම් තනතුරට පත්කොට මාස දෙකක් ඇතුලත යලිත් ස්ථාන මාරුකිරීම.

7. අධ්‍යක‍්ෂ මෙහෙයුම් තනතුරේ සිටි උපාලි සොයිසා මහතා කිසිදු වරදක් නොමැතිව එම තනතුරින් ඉවත් කොට වැඩ බලන අධ්‍යක‍්ෂක වරයෙක් පත්කිරීම.

8. නියෝජ්‍ය ප්‍රධාන ක්‍රියාකරුවන කළමනාකරු ලාල් වීරසිංහ මහතා පරිපාලන තනතුරට ස්ථාන මාරු කර ඉතිහාසයේ ප්‍රථම වතාවට එම තනතුරේ වැඩ බැලීමට කාන්තාවක් පත්කිරීම. 

9. පි. රනතුංග මහතා යලිත් ප්‍රධාන මෙහෙයුමි කළමනාකරු තනතුරට පත්කොට මාස 07ක් ඇතුලත කිසිදු රාජකාරියක් නොමැති මහපොල අභ්‍යාස ආයතනයට ස්ථාන මාරු කිරීම.

10. නිමල් ජයතිස්ස මහතා යලිත් වතාවක් මාස 08 ක් ඇතුලත කිසිදු රාජකාරියක් නොපවරවා මානව සම්පත් කොට්ඨාශයට ස්ථාන මාරු කිරීම.

11. නියෝජ්‍ය ප්‍රධාන කළමනාකරු මාධ්‍ය හා සංනිවේදන නලින් අපොන්සු මහතාට සභාපතිවරයා විසින් බැන වැදී තර්ජනය කොට කාර්යාලයට සීල් තබා පසුව ඔහුගේ කාර්යාලයට පිවිසෙන දොරටුව වසා තාප්පයක් ඉදිකොට අසාධාරන ලෙස කිසිදු රාජකාරියක් නොපවරමින් ලේකම් කාර්යාලයට ස්ථාන මාරු කිරීම. මෙයට හේතුවුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරනයේ දී රණතුංග පවුලට පක‍්ෂව ඡන්දය පාවිචිචි නොකිරිමයි.

12. මේ වනවිට වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් තිදෙනෙක් ඇතුලු විධායක නිළධාරීන් 08 දෙනෙකුට කිසිදු රාජකාරියක් නොපවරමින් විවිධ වූ ස්ථානයන්ට ස්ථාන මාරු කර පලිගැනීමට ලක් කර ඇතත් ලද්දුවහෙටිටි වාර්තාවෙන් වැරදි කර ඇති බවට අනාවරණය වූ නිළධාරින්ට විරුද්ධව කිසිදු විනය ක්‍රියා මාර්ගයක් නොගැනීම.

13. ශ්‍රි ලංකා වරාය අධිකාරියේ ආරක‍්ෂක කොට්ඨාශයේ පහළ නිළධාරීන්ට ලැබිය යුතු උසස්වීම් අහිමිකර රණතුංග පවුලේ හිතවතෙකු වන කොමදෝරු චන්න ප්‍රේමරත්න මහතා ප්‍රධාන ආරක‍්ෂක තනතුරට පත් කිරීම.

14. වරාය අධිකාරියේ ඉහළ තනතුරු පුරප්පාඩු පිරවීමේදි අදාල ක්ෂේත්‍රයේ නිපුණතාවය ප්‍රගුණ කල නිළධාරින්ට උසස්විම් සඳහා හිමිව තිබු අවස්ථා අහිමි කරමින් හිතුමතේට පෞද්ගලික හිතවත් කම් මත පිහිටා බඳවා ගැනීමට අවශ්‍ය පුද්ගලයින් පමණක් සම්මුඛ පරීක‍්ෂණ වලට කැඳවා බඳවා ගැනීමේ පටිපාටියෙන් බාහිරව නිළධාරීන් බඳවා ගැනීමෙන් අනෙකුත් නිළධාරීන්ට උසස්වීම් ලබා ගැනීමට තිබූ අයිතිය අහිමි කිරීම. අධිකාරියේ බඳවා ගැනීමේ පටිපාටියට අනුව වයස අවු. 45 ඉක්මවූ අය බඳවා ගැනීමට නොහැකිව තිබියදී පුවත්පත් දැන්වීමට අනුව ඉල්ලුම් කළ අනෙකුත් නිසි වයසේ සිටින අයැදුම් කරුවන් සම්මුඛ පරික‍්ෂණ සඳහා නොකැඳවා ඇමතිගේ සහ සභාපතිගේ හිතවතුන් පමණක් සම්මුඛ පරීක‍්ෂණය වලට කැඳවා බඳවා ගැනීම තුලින් අධිකාරියේ සුදුසුකම් ඇති නිළධාරින්ට සහ බාහිරින් අයැදුම් කළ අයැදුම් කරුවන්ටද විශාල අසාධාරණයක් සිදුකිරිම. 

සභාපතිගේ සහ ඇමතිගේ නොමනා හැසිරීම

1. වරාය අධිකාරියේ වෘත්තිය සමිති නොසලකා සේවක කමිටු වල සුලු පිරිසක් කැඳවා සේවකයින්ට ප්‍රශ්ණ අසන ලෙසත් ප්‍රශ්ණ ඇසූ සේවකයින්ට බැන තර්ජනය කිරීමත් නිසා සේවකයින් දැඩි නොසන්සුන්තාවට පත්වීම සහ බියෙන් යුතුව සේවය අතහැරයෑමට සිදුව ඇති බවට වෘත්තිය සමිති වලට පැමිණිලි කිරීම.

2. අභ්‍යාසලාභීන් සාමකාමීව කරන ලද උද්ඝෝෂණයකදී අභ්‍යාසලාභි ගැබිණි දැරියකට ඇමැතිවරයා විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදීම නිසා ඇය සිහිසුන්ව ඇද වැටිම.

3. බොහෝ අවස්ථාවලදි වරායේ කටයුතු වලට ඍජුවම මැදිහත්වන ඇමතිවරයා විවිධ කාරනා වලදි නිළධාරින් කැඳවා ඉතා පහත් ලෙස  විධායක නිළධාරීන් බහුතරයකට අසභ්‍ය වචනයෙන් බැන වැදීම.

4. සභාපතිවරයා ඔහු විසින්ම කැඳවන ලද මාණඩලික රැස්වීම් වලදී උසස් නිළධාරීන්ට පහත් ලෙස බැන වැදීම සහ ගෙදර යවන බවට තර්ජනය කිරීම මගින් බිය ගන්වා නිළධාරීන් නිහඬ කර නිවැරදි නොවන දේවල් ඔවුන් ලවා කරවා ගැනීම. 

5. සභාපතිවරයා මෙතෙක් කිසිදු සභාපති වරයෙකු නොකළ ආකාරයට තනතුරට සුදුසු නැති ඇඳුම් වලින් ආයතනය තුල සැරසී සිටීම මගින් එම තනතුරෙහි ගෞරවයට හානි සිදු කිරීම.

6. වරාය අධිකාරියේ විනය නීති මාලාවට අනුව යම් සේවකයෙකු අතින් වරාය භුමියෙන් පිටතදී වුවද වරදක් සිදුවුයේ නමි හෝ කළ බවට පොලිසියෙන් හෝ උසාවියෙන් දැනගැනීමට ලැබුනේ නම් ඒ පිළිබඳව වරාය අධිකාරිය මගින් හෝ අමාත්‍යාංශය මගින් විනය පරික‍්ෂණයක් සිදුකර විනය ක්‍රියා මාර්ග ගනු ලබයි. ඒ අනුව සභාපති වරයාද වරායේ සේවකයෙකු වේ. වරායෙන් වැටුප් හෝ දීමනා ලබයි. එබැවින් ඔහු සමිබන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක විය යුතුය. පසුගිය දිනවලදි ජනමාධ්‍යවේදියෙකුට අධිකරණ භූමියේදී බැන වැදීම පිළිබඳ වු සිද්ධියේදි එවැනි විනය පරීක්ෂණයක් සිදු නොකළ බැවින් සාමාන්‍ය සේවකයා සම්බණ්ධයෙන් තීරන ගැනීමේදී ගැටලු ඇතිවන බැවින් තවදුරටත් සභාපති තනතුරෙහි කටයුතු කිරීමට ධම්මික රණතුංගට හැකියාවක් නොමැත. 
   
7. ප්‍රධාන විධායකයා වන සභාපති වෘත්තිය අරගලයේ යෙදුනු අය සමග සාකච්ඡා නොකිරීම මගින් ඒකාධිපති ස්වරුපයෙන් කටයුතු කර තිබීම නිසා වරාය අධිකාරියට අති විශාල මුදලක පාඩුවක් සිදුකර තිබීම. (දිනකට මිලියන 100 බැගින් දින 8 කදී මිලියන 800 ක් හෙවත් කෝටි 80 ක පාඩුවකි)

8. අමාත්‍යවරයා සහ සභාපතිවරයාගේ නොමනා හැසිරීම නිසා සමස්ථ සේවකයා අපකිර්තිියට ලක්කිරීම සහ ජාත්‍යන්තර වශයෙන් කොළඹ වරාය අපකිර්තියට ලක්වීමට ඉඩ හැරීම.

අමාත්‍යංශය සහ වරාය අධිකාරිය ආශ්‍රීතව සිදුවන වංචා සහ දුෂණ

1. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නිළ නිවාස ඇමතිවරයාගේ සහ සභාපතිවරයාගේ හිතවත්කම් මත වරායේ සේවයේ නියුතු නොවන පිටස්තර පුද්ගලයින්ට ලබාදීම මගින් රාජ්‍ය සම්පත් අවභාවිතයේ යෙදීම.

2. ශ්‍රි ලංකා වරාය අධිකාරියේ රියදුරන් අමාත්‍යංශයට සහ පිටස්තර පුද්ගලයින්ගේ සේවයට යෙදවීම මගින් රාජ්‍ය සම්පත් අයථා ලෙස යෙදවීම තුලින් මුදල් වංචා කිරීම.

3. වරාය අමාත්‍යංශයට කාන්තාවන් අසිමිත ලෙස බඳවා ගැනීම තුලින් රාජ්‍ය මුදල් අවභාවිතයේ යෙදවීම. එම බඳවාගත් පිරිසෙන් බොහෝ දෙනෙකු පෞද්ගලික අවශ්‍යතා මත සේවයෙහි යෙදවීම.

4. ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තයේ නිම කල මිටර් 400 යේ නැව්තොටෙහි මෙහෙයුම් පටන් ගැනීම 2015 ජුනි මාසයේදි ආරම්භ කිරීම සඳහා ඩොලර් මිලියන 69 ක වියදමින් ඇනවුම් කරන ලද උපකරන (ගැන්ට්‍රි 04 සහ බහලු හුවමාරු දොඹකර 12) අඩංගු ටෙන්ඩරය අවලංගු කිරිමෙන් නැගෙනහිර පර්යන්තයෙන් උපයාගත හැකි දිනක ආදායම වන රුපියල් මිලියන 14 කට නොවැඩි මුදල ජාතියට අහිමි කිරීම. මෙම ටෙන්ඩරය අවලංගු කිරිමෙන් පසුව තවමත් ඒ සඳහා උපකරන ඇනවුමි කිරීමට නොහැකි වී ඇති අතර එම පර්යන්තය පෞද්ගලික අංශයට විකිණීමට හොර රහසේ සැලසුම් කර තිබීම.

5. විවෘත භාවයකින් තොරව එම්. බී. එස්. එල්. රක‍්ෂණ සමාගමට වරායේ සේවක රක‍්ෂණය පවරා ඇමතිවරයා විසින් එම ආයතනයෙන් රුපියල් මිලියන 50 ක් ලබා ගැනීමෙන් දුෂණයක් සිදුකිරිම.

6. ඇමතිවරයා සහ සභාපතිවරයා සම්බන්ධ වී වරාය අධිකාරියේ පිළිගත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව මුලු තැන් ගෙවල් වලට භාණ්ඩ සහ සේවා සැපයීමට පවුලේ හිතවතුන් සහ ඥාතීන්  ලියා පදිංචි කිරිම.

7. වරායේ ප්‍රවාහණ කටයුතු වලට එන ලොරි රථ ලියාපදිංචි කිරිම අමාත්‍ය කාර්ය මණ්ඩලයට පවරා ගැනීමෙන් එක් ලොරි රථයකින් අසාධාරන අල්ලසක් ලෙස රුපියල් ලක‍්ෂයක මුදලක් ලබා ගැනීම.

8. වරාය අධිකාරියේ සේවා සැපයුම් කොට්ඨාශයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ මුවාවෙන් තමන්ගේ හිතවතුන්ගේ මාර්ගයෙන් මිලියන ගණන් මුදල් ඉපයීම ඇමතිවරයාගේ ඥාති සහෝදරයා වූ අජිත් ගුණසේකර මාර්ගයෙන් විශාල ලෙස සිදුකිරිම.

9. ඇමතිවරයාගේ සහ සභාපතිවරයාගේ ඥාති සහෝදරයා වූ නාථ ගුණසේකර මුලුතැන් ගෙවල් අංශයේ ආහාර වට්ටෝරු සිඳීම මගින් මුලුතැන් ගෙවල් වල නිළධාරීන් බියගන්වා අයථා ලෙස මුදල් ඉපයීම.

10. ඇමතිවරයාගේ සහ සභාපතිවරයාගේ බලපෑම මත වරායේ වඩු කාර්මික අංශයෙන් මිලියන ගණන් වටිනා ඇඳ පුටු මේස අල්මාරි සාදවා එම ගෘහ භාණ්ඩ තම පෞද්ගලික නිවාස වලට රැගෙන යෑම.

11. අමාත්‍යවරයා, සභාපති, කළමනාකාර අධ්‍යක‍්ෂ, අධ්‍යක‍්ෂක ආරක‍්ෂක, සහ අධ්‍යක‍්ෂ මෙහෙයුම් යන අයගේ නිවාස හා කාර්යාල අලුත් වැඩියාවට රුපියල් මිලියන 150 ක් වියදම් කිරීම තුලින් නාස්ති කිරිම.

12. නීත්‍යානුකූල නොවන අයුරින් පිටස්තර අයට වරායේ නිල නිවාස ලබා දීමෙන් අයථා අයුරින් මුදල් ඉපයීම. නිවාස වෙන් කිරීම සඳහා සකස් කර තිබූ ක්‍රමවේදයන් පසෙක දා හිතුමතේට නිවාස වෙන්කිරීම සහ සේවකයින් බියවද්දා  සේවකයින්ට හිරිහැර කර නිවාස යලි ලබා ගැනීම.

13. ඇමතිවරයාගේ හදිසි පරිහරනය සඳහා අමාත්‍යාංශයට සුපිරි කාමරයක් ඉදි කිරීම. එම සුපිරි කාමරය සඳහා ඇඳන් හා සමාන සෝපා සෙටි මිලදී ගැනීම. නුවරඑළිය හම්බන්තොට සහ ත්‍රි‘මලය නිවාඩු නිකේතන ගණිකා මඩම් බවට පරිවර්තනය කර ගැනීම.

14. වෘත්තිය සමිති වල සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කම් නොදීම නිසා රුපියල් මිලියන 800 ක් වරායට පාඩු සිදු කිරීම.

15. නව සභාපති කළමනාකාර අධ්‍යක‍්ෂක, අධ්‍යක‍්ෂ මෙහෙයුම්, පත්කිරිම් තුලින් පෞද්ගලික පර්යන්ත වල මෙහෙයුම් වර්ධනය කිරීමට කටයුතු කිරීම. මේ වනවිට ජය බහලු පර්යන්තය 6% කින් බහලු මෙහෙයුම් අඩුවී ඇති නමුත් පුද්ගලික පර්යන්ත වන එස්.ඒ.ජී.ටී. පර්යන්තයේ 11%, කින්ද සී.අයි.සී.ටි. පර්යන්තය 41%, කින් ද 2015 වට සාපේක‍්ෂව බහලු මෙහෙයවීම වර්ධනය වී ඇත. එය හොර රහසේ ලබා ගත් කොන්ත්‍රාත්තුවකි.

16. වරායේ සේවකයින් අකුරට වැඩ කරන අවස්ථාවේදී ජය බහලු පර්යන්තයේ නෞකා සැලසුම් වැඩසටහනට අනෙකුත් පර්යන්ත වලට යවන නෞකා ලැයිස්තු ගත කිරීම, වරාය සභාපති වරයා,  කළමනාකාර අධ්‍යක‍්ෂ වරයා, අධ්‍යක‍්ෂ මෙහෙයුම් විසින් වෘත්තිය සමිති රැවටීම සහ වෘත්තිය සමිති වලට සාකච්ඡා ලබා නොදීමට යැයි පවසා අත යටින් මුදලට නෞකා විකුණා මුදල් අල්ලස් ලබා ගැනීම.

17. ඇමතිවරයා සහ සභාපති වරයා සේවක ගැටලු වලදී නම්‍යශීලි නොවී උද්දච්ඡ, උඩඟු ස්වභාවය නිසා වෘත්තිය සමිති විසින් දියත් කරන ලද අරගලය හෑල්ලුවට ලක්කිරීම තුලින් ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් ඇතිකිරීම.

18. වෘත්තිය සමිති සහ ගරු අග්‍රාමාත්‍යතුමා කම්කරු ඇමතිතුමා සමග සාකච්ජාකොට ගනු ලැබු තීරණ වලට පටහැනිව කටයුතු කිරීම තුලින් වරාය අධිකාරියේ කාර්මික සාමයට බරපතල ලෙස හානි සිදුකරමින් සිටීම. 

19. ඇමතිවරයාගේම මැදිහත්වීමෙන් ස්ථාපනය කල ලද්දුවහෙට්ටි කොමිෂන් සභා වාර්තාව තවමත් සඟවා ගෙන ඒවාට සම්බන්ධ නිළධාරීන්ට ඒවායේ තිබෙන කරුණු මතක් කරමින් බැන වැද බිය ගන්වා තමාට අවශ්‍ය පරිදි ඔවුන් ලවා නිවැරදි නොවන ක්‍රියාවන් සිදුකරවා ගැනීම.

20. පසුගිය පාලන සමයේ ගොඩනගමින් තිබු දකුණු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලික අංශයට ලබා දීමට තීරණය කර තිබීම. පසුගිය වසරේ ජුනි මාසය වන විට ආරම්භ කිරීමට තිබූ නැගෙනහිර පර්යන්තයට ඇනවුමි කළ යන්ත්‍ර උපකරන අවලංගු කිරීමෙන් පර්යන්තය පටන් ගැනීමට තිබු අවස්ථාව මග හැරීම තුලින් ජාතික අපරාධයක් කිරීම.

 

-වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසිනි-    

---------------------------
by     (2016-04-24 19:30:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Yahapaalanaye cabinet manthri ha amathivarunge naastiya ha duushana soyaa danduvam kireemata thavath vishesha FCID akak pihituviya yuthu bava mage adahasai.
-- by nareen on 2016-04-25

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links