~

එදා ප්‍රා.සභා මන්ත්‍රීවරුන්ගෙන් පවා ගුටිකමින් වලිගය දෙපරහැන්දේ ගසා සිටි පොලිසිය අද ලයිෂන් චන්ඩි වී අහිංසක රටවැසියන් මරද්දී පොලිස්පති අපරාධකරුවන් බේරනවා: ක්ෂනිකව මැදිහත් වන්න

-විශ්‍රාමික පොලිස් නිලධාරීහු ජනපතිට සහ අගමැතිට ලියති

(ලංකා ඊ නිව්ස් -2016.ජන.23, ප.ව.10.45) රාජපක්ෂ රෙජීම සමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් පවා ගුටිකමින් සිටි පොලිසිය සහ වලිගය දෙපරහැන්ද අස්සේ ගසා ගෙන සිටි පොලිස්පතිවරයා ජනවාරි 8 දේදුනු විප්ලවයෙන් පසු ලයිෂන් චන්ඩින් වී ඇතැයිද, වහාම වත්මන් පොලිස්පති වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයිද නීතිගරුක විශ්‍රාමික පොලිස් නිලධාරීන් පිරිසක් රටේ ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති. 

ඔවුන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් යැවූ විවෘත ලිපියක පිටපතක් ‘ලංකා ඊ නිව්ස්‘ වෙතද එවා තිබේ. එය සම්පූර්ණයෙන් මෙසේය.

2016 ජනවාරි 22
අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙතයි

වහා ක්‍රියාත්මක නොවුනහොත් මේ කුණු බැර වන්නේ ඔබලාගේ ගිණුමටයි

ගරුතර මහත්වරුනි,

ජනවාරි 8 වෙනිදා ලංකවේ දේදුනු විප්ලවයක් සිදුකරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමෙන් පසු එතෙක් සිදුවෙමින් පැවැති දේශපාලකයන්ගේ පාදඩ ක්‍රියාවන් මුළුමනින්ම නැතත් බරපතල ලෙස නැවතුණු බව අපක්ෂපාතීව අප සමාජය දෙස බලන ඕනෑම අයෙකු පිලිගනු ඇත. එහෙත් කණගාටුවට කාරණය වන්නේ එතෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් පවා ගුටි කමින් වලිගය දෙපරහැන්දේ සඟවාගෙන සිටි පොලිසිය අද ලයිෂන් චන්ඩින් බවට පත්ව අහිංසක රටවැසියන් තලා පෙලා දැමීම පිලිබඳව රජයේ වගකිව යුත්තන් මුනිවත රකිමින් සිටීම ය.

ඇඹිලිපිටිය පොලිසිය විසින් සාහසික ලෙස අසරණ රටවැසියෙකු මරා දමා අදට දෙසතියකට වැඩිය. මෙම අපරාධකරුවන් අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයෙකු හමුවට පැමිණවීම වෙනුවට පොලිස්පතිවරයා ඔවුන්ව බේරා ගැනීමේ සටනක යෙදෙන බව පෙර පාසැල් දරුවෙකුට වුවද තේරුම් යනු ඇත. 

කොටදෙණියාව පොලිසිය අසරණයන් දෙදෙනෙකු නිකරුනේ අත් අඩංගුවට ගෙන වද දුන් බව ප්‍රසිද්ධ කරුණකි. එහෙත් ඒ පිලිබඳව ද පොලිස්පති කටයුතු කෙළේ මේ ආකාරයටම ය. අද වනතුරු වැරදිකරුවන්ට පොලිසියෙන් දුන් දඬුවමක් නැත. 

යාපනයේ පාසැල් දැරියක් දූෂණය කර මරා දැමූ නරුමයන්ට පොලිස් ඇප දී රටින් පලා යෑමට උදව් කළා යැයි චෝදනා ලද නියෝජ්‍ය පොලිස්පතිද තවමත් නිදැල්ලේ ය. තලවා කැලේ සිද්ධියද එලෙසම ය. 

පොලිසිය තුල ඉහත අවනීතිය ක්‍රියාත්මක කිරීම් ගැන පොලිස්පතිවරයාට දඬුවමක් නැතිද ?

පොලිසියේ ඉතාමත් අවංක නීති ගරුක නිලධාරීන් අතලොස්සක් සිටිති. එහෙත් බහුතරය අඩුම තරමින් පුද්ගලයෙකුට ගරු සරු ඇතිව කතා කිරීමටවත් නොදන්නා උද්ධච්ඡ නූගත් පිරිසකි. රටේ පළමු පුරවැසියා සහ දෙවන පුරවැසියා වන ඔබතුමන්ලා මේ තත්ත්වය අනුමත කරනවාද? 

ජනපතිතුමනි අගමැතිතුමනි,

පොලිසියේ මේ පාදඩ ක්‍රියාවන් වැළැක්වීමට කල් නොහැර ක්ෂණිකව මැදිහත් වන්න. ඊට අවශ්‍ය බලය ඕනෑවටත් වඩා ඔබ තුමන්ලාට ජනතාව විසින් දෙවතාවකදීම ලබා දී ඇත.  පොලිස් කොමිසම හරහා පොලිසිය ස්වාධීන කිරීම මගින් සිදුව ඇත්තේ පොලිසිය විසින් සිදුකරන නීති විරෝධී ක්‍රියා සංඛ්‍යාව ඉහළ යෑම බව පසුගිය වසර දෙස බලන විට පෙනී යන බව විශ්‍රාමික නීති ගරුක පොලිස් නිලධාරීන් වන අපගේ මතයයි. වැරදි කරන නිලධාරීන් බේරා ගැනීමට බොහොමයක් පොලිස් ලොක්කන් දැඟලීමත් ඔවුන් ඉන් ප්‍රතිඵල ලැබීමත් දක්නට තිබේ. පොලිසිය බාර ඇමැතිවරයෙකු ඉල්ලා අස්වීමත් මේ පොලිස් ලොක්කන්ගේ බලය ඉහළ යෑමට බලපා  තිබෙන බව පෙනේ.  නමුත් මෙයින් අප්‍රසාදයට පත්වන්නේ ඔබ දෙපොලය. 

රාජපක්ෂ පාලනයෙන් සිදුකළ අනේක විධ වද හිංසාවන්ට මුහුණ දෙමින් ඔබ තුමන්ලාට බලය ගෙන දීමට කැප වූ සියළු රට වැසියන්ගේ නාමයෙන් අප ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ පොලිසියේ මේ පාදඩ ක්‍රියාවන්ට ක්ෂණිකව මැදිහත් වී වැරදි කරුවන්ට දඬුවම් දිය හැකි බලතල සහිත විශේෂ ඒකකයක් පිහිටුවන ලෙසයි. ඊට අමතරව අපේ පොලිස් සේවය මුළුමනින්ම ප්‍රතිසංවිධානයකට ලක් කෙරෙන ක්ෂණික වැඩ පිලිවෙලක් ද අරඹන ලෙසයි. 

ඒ සඳහා පහත සඳහන් යෝජනා කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

1. පොලිස්පති තනතුර අහෝසි කර පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පොලිස් කොමසාරිස්වරයෙකු ලෙස පත් කිරීම
2. නියෝජ්‍ය පොලිස්පති, නීති, මූල්‍ය, පරිපාලන, සැලසුම් යන තනතුරු ඇතිකර ඒ සඳහා ඒ ඒ ක්ෂේත්‍ර පිලිබඳ දැනුම ඇත් සේවාවන්ගෙන් නිලධාරීන් පත් කිරීම
3. බඳවා ගැනීමේ අවම සුදුසුකම් සංශෝධනය කරමින් වැඩි සුදුසුකම් වලින් බඳවා ගැනීම ( අද සිටින ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් පවා හරිහැටි අපොස උසස් පෙල සමත් නැත) 
4. වාහන භාවිතය නිසි පරිදි සැලසුම් කොට අධීක්ෂණය කිරීම. මේ හරහා දිනකට පොලිසියේ ඉන්ධන වියදම මිලියන කිහිපයකින් පහත දැමිය හැකිය. අනෙක් අතට අත්‍යාවශ්‍ය අංශ වලට වාහන පහසුකම් නොමැත. (රටේම මත්ද්‍රව්‍ය නාශනයට ඇත්තේ වාහන 4 ක් හා යතුරු පැදි කිහිපයක් පමණක් යැයි කිවහොත් පිලිගන්නවාද) 
5. පොලිසියට වැඩිපුර අවශ්‍ය වන්නේ කොස්තාපල් ශ්‍රේණියේ පිරිස් ය. අද පඳුරකට පයින් ගසන විටද අධිකාරී හා නියෝජ්‍ය පොලිස්පති නිලයේ අය විසිවන තරමට ඉහල තලය විකෘති වී ඇත. 
6. පොලිස් ස්ථාන සංඛ්‍යාව ඉහළ නැංවීම හා පොලිස් පරිපාලන කොට්ඨාශ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අනුව තීරණය කිරීම
7. උසස්වීම් ක්‍රමවේදය සංශෝධනය කිරීම. නියමිත අධ්‍යාපන සුදුසුකම් නොමැති හෝ විනය විරෝධී ක්‍රියා වල නිරත වූවන්ට කිසි ලෙසකින් හෝ උසස්වීම් නොදීම. එමෙන්ම වැරදිකරන නිලධාරීන්ට ක්ෂණික දඬුවම් පැනවීම හා නිලයෙන් පහත හෙලීම
8. පොලිස් ස්ථාන හා පොලිස් වාහන හදිසි පරීක්ෂාවන්ට ලක් කළ හැකි බලගතු ඒකකයක් පිහිටුවීම
9. පහළ ශ්‍රේණිවල නිලධාරීන්ට හා නිලධාරිනියන්ට ඉහල නිලධාරීන්ගෙන් කෙරෙන හිරිහැර හා පලිගැනීම් වලකන ක්‍රමවේදයක් ඇති කිරීම. මේ සඳහා දුක් ගන්නා රාල කෙනෙකු පත් කිරීම
10. පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස නිලධාරීන් තෝරා ගැනීමේදී විනිවිද පෙනෙන හා ස්වාධීන ක්‍රමවේදයක් අනුගමනය කිරීම
11. රැකියා තෘප්තිය උපරිම කෙරෙන වැටුප් හා වරප්‍රසාද සියළු නිලයන්ට ලබා දීම

මීට‍,

නීතිගරුක විශ්‍රාමික පොලිස් නිලධාරීන් පිරිසක්  

---------------------------
by     (2016-01-23 20:08:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links