~

යුද්ධයෙන් ඉතිරි වූ ජේ.ආර්ගේ එකම ‘ස්පෙයාර් වීල්‘ එක මමයි: සැමට සමාන ඉර අව්වක් පායලා, ඉවසීම නැතිව එය ලබාගන්න යනවා -අගමැති තෛපොංගල් උත්සවය සමරමින් යාපනයේදී කියයි

(ලංකා ඊ නිව්ස් -2016.ජන.15, ප.ව.7.00) දකුණේ අය තරහා වුනත් කිරිබත් වලට වඩා පොංගල් බත් රස බවත් ලංකාව වසා තිබූ අඳුර දුරලා ලංකාවේ සැමට දැන් සමානව ඉර පායන බවත් ඉවසීමක් නැතිව එය ලබා ගැනීමට යන් බවත් අද ජාතික තෛපොංගල් උත්සවය සමරමින් යාපනය, වීරසිංහම් ශාලාවේ පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම උත්සවයට ජනාධිපතිවරයාද සහභාගී වීමට නියමිතව සිටියද ඔහු පැමිණ සිටියේ නැති නමුත් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහභාගී වූවාය. මෙහිදී මඳක් හැඟීම්බරව කතා කළ අගමැතිවරයා මෙසේද කීය..

“තෛපොංගල් යනු ජාතික උත්සවයක්. එය හින්දු – ද්‍රවිඩ උත්සවයක් පමණක් නොව, ජාතික වැදගත්කමක් සහිත උත්සවයක් බව කිව යුතුයි. සූර්ය මාස ක්‍රමය අනුව අපේ රටේත් ලිත් හදනවා. අපේ ආගම කුමක් වුවත් අප සියලූ දෙනාම හිරු දෙවියන්ට ගරු කරනවා.

අස්වැන්න ලැබූ පසු ඒ සඳහා උදව් උපකාර කළ දෙවිවරුන්ට ස්තූතිය පළ කිරීමේ උත්සවය ලෙසයි තෛපොන්ගල් පවත්වන්නේ. සිංහලයන් අලූත් සහල් මංගල්‍යය ලෙස පවත්වන්නේත් ඊට සමාන උත්සවයක්. කුණ්ඩසාලේ රජ මාළිගාවේ සිට දළදා මාළිගාවට අලූත් සහල් ගෙන ගොස් පූජා කරන චාරිත්‍රයක් අතීතයේ පැවතුණා.

කිරිබත් වලට වඩා පොංගල් බත් රසයි

අලූත් සහල් මංගල්ලයේදී මෙන් නොව තෛපොන්ගල් උත්සවයේදී ගවයන්ට කෘත ගුණ දැක්වීමද සිදු කෙරෙනවා. දකුණේ අය අමනාප වුණත් අපේ කිරිබත්වලට වඩා පොංගල් බත් රස යැයි මම කියනවා.

නව වසර අරැඹීම ලෙස සිංහල අප සලකන අප්‍රේල් මාසයේදීත් හිරු දෙවියන් පුදනු ලබනවා. උතුරේ ජනතාව ඇතුලූ හින්දු ආගමිකයන් වැඩි තැනක් දෙන්නේ තෛපොංගල් උත්සවයටයි. නැතිනම් අලූත් සහල් උත්සවයටයි.

බෞද්ධ ක්‍රමය අනුව අප වැඩි තැනක් දෙන්නේ අලූත් අවුරුද්දට. එම අවුරුද්ද ලංකාවට පමණක් සීමා වූ එකක් නොවෙයි. වියට්නාමය, ලාඕසය, කාම්බෝජය, මියන්මාරය ආදී රටවලත් මේ අවුරුද්ද සමරනවා. අලූත් අවුරුද්ද සඳහා පිරිසිදු කිරීමේ අරමුණින් මියන්මාරය වැනි රටවල ජනතාවට වතුර ගැසීමේ චාරිත්‍ර ද ඉටු කරනවා. මටත්, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියටත් එක්තරා අවස්ථාවක මේ වතුර ගැසීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

හිරු දෙවියන් පුදන මේ තෛපොංගල් උත්සවය ජාතික උත්සවයක් ලෙස යාපනයේ පවත්වන්න අප තීරණය කළා. අලූත් අවුරුදු උත්සවයත් ජාතික උත්සවයක් ලෙස කොළඹින් පිට ප්‍රදේශයක පැවැත්වීමට අප කටයුතු කරනවා. මේ අපේ සංස්කෘතික උත්සව.

වෙසක්, පොසොන්, නත්තල් අපේ ආගමික උත්සව. ගෝලීය පරිසරය වෙනස් වනවා වගේම ගෝලීය දේශපාලනයත් වෙනසකට ලක් වෙනවා. එවැනි දේශපාලන වෙනසක් නිසා පසුගිය වසරේ දී හිරු දෙවියන්ගේ ආලෝකය මුළු ලංකාවටම ලැබුණා. දැන් ලංකාවේ සැමට සමාන අයුරින් ඉර පායනවා.

ඉවසීම නැති ඉර අව්වක්..

ලංකාව වසා සිටි අඳුර දුරලා හිරු එළිය ගෙන එන්නට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අපට හැකියාව ලැබුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් මෙම උත්සවයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියත් පැමිණීමට නොහැකි වීම පිළිබඳව එතුමාගේ කණගාටුව පළ කළා. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඔබ වෙනුවෙන් මෙහි පැමිණ සිටිනවා.

ඉර අව්ව නොමැතිව අඳුරේ සිටි ජනතාව ඉවසීමක් නැතිව දැන් ඉර අව්ව ලබා ගැනීමට උත්සාහ කරනවා. දේශපාලන, රැකියා සෑම අංශයකම එම ඉවසීම නැති වී තිබෙනවා.

උතුරු - නැගෙනහිර ජනතාව දිගු කලක් තිස්සේ විශාල වශයෙන් දුක් වින්දා. අපේ මහ ඇමැතිතුමත් ඒ පිළිබඳව කතා කළ නිසා මා වැඩිපුර ඔවුන් ගැන කතා කරන්නම්. බ්‍රිතාන්‍ය රජයේ විශේෂ නියෝජිතයකු ද අද මෙම උත්සවයට සහභාගි වී සිටිනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ලංකාවට ආවේ අඳුර පැවැති සමයේදීයි. දැන් නැවතත් අඳුර දුරු වී හිරු එළිය පැතිර ඇති හෙයින් ලංකාවට එන්නැයි ඩේවිඩ් කැමරන් මහතාගෙන් ඉල්ලා සිටිනවා.

උතුරේ ඉඩම් අක්කර 4600 ක් හමුදාව යටතේ තිබෙනවා. ඊට අමතරව තවත් ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා. සංවර්ධනයට අවශ්‍ය ඉඩම් මොනවා දැයි අප හඳුනා ගනිමු. ජනතාවට අවශ්‍ය ඉඩම් මොනවාදැයි හඳුනා ගනිමු. අප සාකච්ඡා කර ප්‍රතිපත්ති තීරණයක් ගෙන මේ ගැටලූ විසඳා ගනිමු.

මේ ඉඩම් පිළිබඳව වාර්තාවක් මා ඉල්ලා තිබෙනවා. මාස දෙකක් ගත වීමට පෙර එම වාර්තාව ලබා දුන්පසුව, ජනාධිපතිතුමා, මහ ඇමැතිතුමා ප්‍රමුඛ උතුරු - නැගෙනහිර මන්ත්‍රීවරුන්, චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය සමග සාකච්ඡා කරනවා.

මෙරට විශාල ආර්ථික සංවර්ධනයක් ඇති වී අප ලොව වැඩි ආදායම් ලබන රටක් බවට පත් වන විට ඊට විශාල සහාය දුන් උතුරට සහ නැගෙනහිරට සම්පූර්ණ වාසි අත්විය යුතු බව මා පවසනවා.

තවමත් උතුරට සිංහලෙන් ලියුම් එන බව මහ ඇමැතිතුමා පැවසුවා. එවැනි දේ වැරදියි. ද්‍රවිඩ භාෂාවෙන් වැඩ කටයුතු කළ හැකි යැයි ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙනවා.

දැනට ද්‍රවිඩ භාෂා පරිවර්ථකයන්ගේ හිඟයක් තිබෙනවා. එම පරිවර්ථකයන් බඳවා ගෙන පුහුණු කළ යුතුයි. එම භාෂා පරිවර්ථකයන් තවත් 500 කින් වැඩි කරන්න මම ලෑස්තියි. පසුව අවශ්‍ය නම් තවත් බඳවා ගැනීම් කළ හැකියි. සුමන්තිරන්, ස්වාමිනාදන්, සාගල රත්නායක, විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරුන් සමග මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඉන් අනතුරුව ජනාධිපතිතුමා සමග ද සාකච්ඡා කර තීරණය මහ ඇමැතිතුමාට දැනුම් දෙන්නම්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ඉවත් කර ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතක්

ත්‍රස්තවාදය යටතේ රඳවා ගැනීම පනත දැන් යල් පැනපු පනතක්. එය ඉවත් කර අනාගතයේ පැමිණිය හැකි ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතක් අවශ්‍ය නම් එක්සත් ජාතීන්ගේ නීතියට අනුකූල නීතියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වසර මැද වන විට ඒ කටයුත්ත සාර්ථක කර ගත හැකියි.

මේ වන විට අතුරුදන්වූවන්ගේ ලැයිස්තුවේ වැඩ කටයුතු කරගෙන යනවා. අතුරුදන් වී සිටිනවා නම් අපේ ලැයිස්තු අනුව ඔවුන් සොයාගත නොහැකි නම් ඒ අය ජීවතුන් අතර නැති බව ඉතා කණගාටුවෙන් කියනවා. ඔවුන්ට වූයේ කුමක්දැයි මා දන්නේ නැහැ. අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට තිබෙන වේදනාව ගැන මා දන්නවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය යටතේ ඔවුන්ට උපදෙස් දෙන්න, ඔවුන් පිළිබඳව සොයා බලන්න ක්‍රියා කරනවා. කාන්තා ප්‍රධාන පවුල්වල ප්‍රධාන මධ්‍යස්ථානය කිළිනොච්චියේ පිහිටුවීමට ද අප තීරණය කර තිබෙනවා.

ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපනය ද අප දියුණු කරනවා. එය පළාත් සභාව සමග කතා කරන්නැයි මා අකිල කාරියවසම් මැතිතුමාටත්, ද්‍රවිඩ මාධ්‍ය පාසල් සම්බන්ධයෙන් රාධා ක්‍රිෂ්ණන් මහතාටත් දැනුම් දී තිබෙනවා.

හමුදාව පිළිබඳවත් මම වචන කිහිපයක් පවසන්න කැමතියි. අද යාපනයේ ඉන්නේ ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල හමුදාව පමණයි. ඉන්දියානු සාම හමුදාව 1990 වසරේ දී ඉවත් වුණා. එල්.ටී.ටී.ඊ. අවිගත් කණ්ඩායම් ද ඉවත් වී සිටිනවා.

2002 සටන් විරාම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා හමුදාවට ලංකාව භූමියත්, මුහුදත් ආරක්‍ෂා කිරීමට අයිතියක් ඇති බව සියලූ පාර්ශවයන් පිළි ගත්තා. එල්.ටී.ටී.ඊ. සංවිධානයත් පිළිගත්තා.

නීතිය සහ සාමය රැකීමේ වගකීම පොලිසියට බාර දී තිබෙනවා. මේ පිළිබඳව මා හමුදාපතිවරයා සමග සාකච්ඡා කළා. මේ ප්‍රදේශය දියුණු වී ජන ජීවිතය යහපත් අතට හැරෙන විට හමුදා වෙනත් ප්‍රදේශවලට යෙදවිය හැකි බව ඔවුන් පැවසුවා.

හමුදාවේ බඳවා ගත් බොහෝ පිරිසක් ඉදිරියේ දී විශ්‍රාම යාමට නියමිතව සිටිනවා. ඔවුන්ටත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳව පුහුණුවක් ලබාදීමට අප කල්පනා කර තිබෙනවා.

අගමැති රහසක් හෙලිකරයි

මම තවත් රහසක් කියන්නම්. අප බලඇණි තුනක් යුද්ධයට පුහුණු කරනවා. ඒ ලංකාවේ යුද්ධයකට නොවේ. අප්‍රිකාවේ මාලි ජනපදයට යවන්නයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ හමුදාව ඉල්ලා තිබෙනවා. ඔවුන් හොඳින් යුද පුහුණුව ලැබුවහොත් ඊට යොමු කළ හැකියි. ආරක්‍ෂක අංශය සහ ජනතාව අතර සම්බන්ධය අඩු වීම නිසා මෙම ප්‍රශ්න ඇති වී තිබෙන බව කිව යුතුයි. පොලිස් සේවය සඳහා පළමු පියවර වශයෙන් දෙමළ කතා කරන උතුරේ 500 දෙනෙකු බඳවා ගන්නවා. පසුව තවත් බඳවා ගැනීම් කරනවා. කාන්තාවන් ද බඳවා ගන්නවා.

දෙමළ කතා කරන ජනතාව හමුදාවටත් බඳවා ගත යුතුයි. ඒ පිළිබඳව මා හමුදාපති සමග සාකච්ඡා කළා. ඒ පිළිබඳව සැලසුම් හදන්නැයි මා පැවසුවා. උතුරු - නැගෙනහිර පාසල්වල ශිෂ්‍යභට කණ්ඩායම් ඇති කරන්නැයි මා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට දැනුම් දුන්නා. ඒ කටයුත්ත කරන්නේ මූලික පියවරක් ලෙසයි. අතීතයේ උතුරේ ශිෂ්‍යභට කණ්ඩායම් තිබුණා. ඔවුන් හර්මන් ලූස් සම්මානය පවා අවස්ථා ගණනාවකදී ලබා ගත්තා.

ධීවරයන්ගේ ප්‍රශ්නය විසඳන තුරු නාවික හමුදා කණ්ඩායම් අඩු කරන්නට නොහැකි යැයි නාවික හමුදාව අප සමග පවසා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විය යුතුයි. සිදු වූ අඩුපාඩු හදා ගෙන එය කළ යුතු වනවා.

ජිනීවා යෝජනාව අප ඒකමතිකව සම්මත කර ගත්තා. ඒ යෝජනා අනුව අප පියවර ගත යුතුයි. වැරදි කරලා තිබෙන්නේ කවුද, නීති උල්ලංඝණය කර තිබෙන්නේ කවුදැයි අප සොයා බැලිය යුතුව තිබෙනවා. ආරක්‍ෂක අංශය අතිනුත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය අතිනුත් යුද්ධයක දී වැරදි සිදුවිය හැකියි.

අලුත් ව්‍යවස්ථාව ගැන කෙටුම්පතක් නෑ

මේ යාන්ත්‍රණය පිළිබඳව අප ජපානය සමග සාකච්ඡා කරනවා. දකුණු අප්‍රිකාව සමග සාකච්ඡා කරනවා. අප පිහිටුවීමට යන සත්‍ය කොමිසමට ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීමට නියමිතයි. එමෙන්ම ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් අනුකම්පාව පිළිබඳව වූ දයා ලූසභාව පිහිටුවනවා. ඊට අමතරව නඩු පැවරිය යුතු අවස්ථාවල ක්‍රියා කළ යුතු ආකාරය ද අප සාකච්ඡා කරනවා. වැඩි කල් යන්නට පෙර මේ සියලූ තීරණ ජනතාවට ඉදිරිපත් කරනවා.

දැන් අලූත් ව්‍යවස්ථාව හැදීමට පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කිරීමේ යෝජනාව මා විසින් ඉදිරිපත් කර තිබෙනවා. එම ව්‍යවස්ථා සංශෝධනය ඉතා විවෘතව කරන බව කිව යුතුයි. එමෙන්ම අප කටයුතු කරන ආකාරයේ විනිවිදභාවයක් තිබෙනවා. පළාත් සභා සමගත් විනිවිදභාවයක් ඇතිව සාකච්ඡා කළ හැකියි. අප ජනතාවගේ අදහස් ලබාගන්නවා. ව්‍යවස්ථාදායක කෙටුම්පතක් අප ළඟ නැහැ. අප ව්‍යවස්ථා කෙටුම් පත සකස් කරන්නේ සියළු දෙනා සමග එක් වෙලයි.

18 වැනි සංශෝධනය කළා සේ ජී.එල්. පීරිස්ගේ ජුන්ටාව සමග ව්‍යවස්ථා හදන්න මම ලෑස්ති නැහැ. පැරදුනාට පස්සේ තමයි ඔවුන්ට විනිවිදභාවයේ වැදගත්කම තේරිලා තියෙන්නේ. අප පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා සමගම එකතු වී ව්‍යවස්ථාව සම්පාදනය කරනවා. ජුන්ටා සමග එකතු වී ව්‍යවස්ථා හදන්න එපා යැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් පැවසුවා.

ජඩමාධ්‍යවලට අවවාදයක්

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරන්න ජුන්ටාවට, ජී.එල්.ලාට කඩේ ගිය මාධ්‍යවලට කියනවා ආපහු අවුලක් කරන්න එපා කියලා. උතුරේ – දකුණේ මාධ්‍යවේදීන් මරණ විට නිහඬව ඉඳලා, දැන් වීරයන් වෙන්න කෑ ගසන මාධ්‍යවේදීන්ගෙනුත් ඉල්ලා සිටිනවා අවුල් ඇතිකරන්න කුමන්ත්‍රණ කරන්න එපා කියලා. ඩේලි මිරර් පත්තරයටත් කියනවා දැන්වත් ශ්‍රී ලංකාව අඳුරින් මුදවා ගෙන අප යන මේ ගමනට අකුල් හෙලන්න එපා කියලා. ඒ නිසා වැරදි හදා ගෙන වෙනස් වෙන්න. අප සියලූ දෙනාම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන්න කැප වී සිටිනවා.

13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා ජේ.ආර්. ජයවර්ධන පෙන්වන්න බැහැ කියූ චන්ද්‍රිකා කුමාරතුංගත් අප සමග එකතු වුණා. එතුමියට ස්වාමිපුරුෂයා නැති වුණා. ඇහැක් නැතිවුනා. මට අපේ නායකයො සහ සාමාජිකයන් 5000 ක් නැති වුණා. ජේ.ආර්. ජයවර්ධන හැදූ පක්‍ෂ නායකත්වයෙන් ඉතිරි වූ එකම 'ස්පෙයාර් වීල් එක' මමයි.

ඉතින් ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේදී අප සියළු දෙනාම අවංකවම රට වෙනුවෙන් කටයුතු කිරීමට එක් විය යුතුයි. ලබන වසරේ සූර්ය මංගල්ලයේදී මීට වඩා හොඳ, යහපත් රටක් අපට තනා ගන්න පුළුවන් වෙන්නේ ඒ අයුරිනුයි. ඒ නිසා එකට එක්වී වැඩ කටයුතු කරමු යැයි මම ඔබ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.“ 

---------------------------
by     (2016-01-15 14:21:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links