~

මල්ටි බැරල් කැටපෝල සමග සමන්ලා සහ සිමංලාගේ ජෙනරල් ස්ට්‍රයිකය -විමල්ගේ විග්‍රහය

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.14, පෙ.ව.10.20) මා කුඩා කාලයේ අපේ ගමේ සිමං නමින් වියපත් ගැමියෙක් විසීය. හේ සහජයෙන්ම උපහාසයක් සහිත පුද්ගලයෙක් වූවා සේම මල පොතේ අකුරක් නොදනී. යමින් ගමන අපගේ නිවසට ද ගොඩ වැදී වචනයක් දෙකක් දොඩා කතාවක් කියා යෑම ඔහුගේ සිරිත විය. එදින මම වසූරිය එන්නත විද උණ ගැනී සිටියෙමි. එකල වසූරිය එන්නත විද්දේ පාසැලට පැමිණි වෛද්‍ය කණ්ඩායමක් විසිනි. උණ ගැනී සිටි මා අසලට ආ සිමං..

‘මොකෝ පුංචි මහත්තයා පොරෝගෙන‘ යි විමසීය..

‘අත් විදලා..‘ අම්මා පිළිතුරු දුන්නාය. 

‘මං පොඩි කාලෙත් සුද්දා ආවා ඔය හං වඩුව ගහන්න.. මං දුන්නේ නෑ.. පැන්නා කැලේ.. කැලෙන් එළියට ආවේ දවස් දෙකකට පස්සේ.. මේන් ඔය හං වඩුව මගේ ගහලා නෑ..“ සිමං තම බාහුව පෙන්වීය.

‘දැන් සුද්ද ගිහිල්ලත් අවුරුදු ගානක් වෙලා අපේ අයත් තාම හංවඩු ගහන්නේ ඇයි කියලා මටනම් තේරෙන්නේ නෑ.. ලමයින් ලෙඩත් කරවගෙන‘ සිමං කියවාගෙන ගියේය. අම්මා හෝ වැඩිහිටි කිසිවෙක් කිසිවක් නොදොඩා සිනා වී යන්නට ගියේ ය.

මං දන්නා පරිදි සිමං මිය ගියේ වාසනාවකට වසූරිය හැදීනම් නොවේ. නමුත් ඔහු මියෙන තුරා මළපහ කිරීමට වැසිකිලියක් භාවිතා නොකළ බවද දනිමි. ඔහු කැලයේ මළපහ කර වක්කඩෙන් සෝදා අහවර කෙළේය. මන්ද යත් එයද සුද්දා වැසිකිලි හදන්න බල කළ නිසා සුද්දාට එරෙහි වීමට ය. ඔහු කීවේ කැලයේ රෙන්න තියෙන නිදහස පවා සුද්දා නැති කළ බවය. ඔහු සුද්දාට එරෙහි වුවද අහල ගං හතකවත් සුද්දෙකු නොසිටි ඔහුගේ නිවස අසල කැලයෙන් එකල බට තුවක්කුවට ඕනෑ කිරිල්ල ගෙඩියක් හෝ කඩා ගැනීමට අපට හැකියාවක් නොතිබුනේ ගංදස්කාරය ඉවසා ගත නොහැකි නිසාය.

බ්‍රිතාන්‍ය සුද්දා ලන්දේසි සුද්දාගෙන් ලංකාවේ පාලනය බාර ගත්තේ 1795 දීය. ඒ වන විටද ඔවුන් තේම්ස් ගඟ හරහා ගඟ යටින් මිනිසුන්ට ගමන් කළ හැකි උමං මාර්ගයක් තනා තිබිණ. එවැන්නක් ලෝකයේ කිසිවෙකු ඊට පෙර තනා නොතිබිනි. එකලද එය ඉංජිනේරු තාක්ෂනයේ ප්‍රාතිහාර්යයකි. අද එවැනි ගංගා හරහා උමං මාර්ග තැනීම සුද්දාට සිම්පල් වන අතර මා පෙර කී පළමු උමං මාර්ගය ද වසර 225 කට පසුවත් තවම කිසිදු ප්‍රධාන ඝනයේ ප්‍රතිසංස්කරණයක් නොමැතිව භාවිතා කරති.
 
එදා බ්‍රිතාන්‍ය සුද්දා ලංකාවට පැමිණ තමන් දැන සිටි ශිල්ප ශාස්ත්‍ර ක්‍රම අඩුවක් නැතිව ලංකාවේද උත්පාද කිරීමට මහන්සි විය. ඒවා සිමං වැනි ලාංකීය අර්ධ ගණ ගෝත්‍ර සමාජය දුටුවේ මහා භයානක ව්‍යයසන ලෙසය. නමුත් අද වන විට අන්තවාදී සිමං ලා නොවන දැනුම් තේරුම් ජනතාවට, වූයේ කුමක්ද? ඉදිරියට විය යුත්තේ කුමක්ද ? යන්න ගැන අවබෝධයක් තිබේ. 

ජෙනරල් ස්ට්‍රයික්..

අප ඉහත පූර්විකාව කීවේ හෙට(15) පැවැත්වීමට යන ජෙනරල් ස්ට්‍රයික් එක ගැන අදහසක් දැක්වීමට ය. 

නිදහසින් පසු ලංකාවට ලඟා කර යුතු ජයග්‍රහණ ලඟා කර ගත නොහැකි වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ වාර්ගික අසමගිය ය. 1948 නිදහස ලද අපි වාර්ගික කලකෝලහාල ද අන්තවාදී වාමාංශික කැරලිද රාශියකට පසුව 1975 දී එනම් වසර 27 කින්ම වාර්ගික යුද්දයක් ආරම්භ කර ගත්තෙමු. එය වසර 34 ක් පුරා අප විනාශයෙන් විනාශය කරා ගෙන ගියේය. රටක් ලෙස ලඟා කර ගත හැකියාව තිබූ මෙන්ම  ලඟා කර ගත යුතුම වූ කිසිදු දියුණු ක්‍රමවේදයක් අපට ලඟා කර ගත නොහැකි විය. 

උදාහරණයක් ලෙස ලෝකයා අද පිළිගත් දියුණු විවෘත ආර්ථික ක්‍රමවේදය අප 1978 දී තරමේ ආසියාවේ පළමුවරට ආරම්භ කළද ඒ හා සමග බිහිකර ගත යුතුම වූ ස්වාධීන කොමිෂන් සභා ක්‍රම ආරම්භ කර ගත හැකි වූයේ ඊයේ පෙරේදා ය. ඒ ද බාගයට ය. ස්වාධීන නිදහස් වෙළඳ කොමිසමක් ගැන අප සිතලාවත් නැත. ඇත්තේ ප්‍රතිපත්තිමය පරස්පරයන් ඇති කරන මිල පාලන කොමිසම් වැනි කොමිසම් ය.. මේවායින් සිදුව ඇත්තේ 1978 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් බිහිකර ගත්තද එය මේ වන විට ලඟා විය යුතු ජයග්‍රහණ කරා ලඟා වී නොතිබීම ය. 

2009 දී යුද්දය හොඳින් හෝ නරකින් දිනා ගැනීමෙන් පසු පසුගිය වසර 5 පුරාම ජයග්‍රහණ ලඟා කරගන්නවා වෙනුවට රාජපක්ෂ රෙජීමය කෙළේ තම මඩිය පුරවා ගැනීමය. 

2014 ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයෙන් පත් වූ ආණ්ඩුවට ඇති සැබෑ අභියෝගය නම් පෙර කී නිදහසින් පසුව අපට ලඟා කර ගත නොහැකි වූ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා විශාල පිම්මක් අරගනිමින් දියුණු ක්‍රමවේද මේ රට තුල පැල කර ගැනීමය. මන්ද ලෝකයා අප පසු කර බොහෝ දුර ගමන් කර තිබේ. 

ඒ ගැනද කුඩා උදාහරණක් කියන්නම්.. අප ආසියාවේ පළමු රැල්ලේ ඩිජිටල් තාක්ෂනයේ සන්නිවේදන ක්‍රම ආරම්භ කළද ඒ හා බැඳුනු සුලු වියදමකින් කර ගත හැකි වෙනත් ආයතන සඳහා යොදා ගත හැකි දියුණු පද්ධති ක්‍රම බිහිකරගෙන නැත. තව දුරටත් විස්තර කරන්නේ නම් දූෂණය වළකා ගත හැකි එක ප්‍රධාන ක්‍රමවේදයක් වන්නේ නීති රීති දඬුවම් වලට වඩා එක් ආයතනයක් අවම වශයෙන් ඒ හා බැඳුනු තවත් ආයතන 3 ක් සමග පද්ධති ගත කිරීමයි. එවිට එක් ආයතනයක එක් අයෙකුට කිසිදු දූෂණයක යෙදිය නොහැකිය. මන්දයත් එය ඒ හා සමග තවත් ආයතන 3 ක පද්ධති ගත වී ජාල ගත වී පරීක්ෂාවකට භාජනය වන බැවිනි. මීට වසර 7-8 කට පෙර ඕස්ට්‍රේලියාවේ එක් ප්‍රාන්තයක පොලිසියත් අධිකරණයත් සමාජ ආරක්ෂණ ආයතනයත් එක් ජාලයකට පද්ධති ගත කළේ මේ අපේ ලංකාවෙන් ගිය ගැහැණු දරුවෙකි. ලංකාවේ ඩිජිටල් සන්නිවේදනය ද තිබේ. පරිගණක ද තිබේ. මොළ ද තිබේ. මුදල් නැතිවා ද නොවේ. නමුත් පෙර කී ඕස්ට්‍රේලියාවේ සිදුකළා වැනි ජාල ගත කිරීමක් අපේ සිදුකර නැත්තේ ඇයි? එවැනි ජාල ගත කිරීමකට පෙර ආයතන 3 ක මූලික ප්‍රතිපත්තිමය සාකච්ඡා සංහිඳියාව අප අතර නැති වීමය.  

උද්ධච්ඡ වෘත්තීය සමිති නායකයෝ

අප දකින්නේ පසුගිය අය වැය යනු අප අතැර දැමූ නමුත් ලෝකයා ඉදිරියට ගෙන ගිය දියුණු ක්‍රමවේද පිම්මක් ගෙන රට තුල පැල කිරීමට ගත් උත්සාහයකි. ඒ සඳහා ආණ්ඩුවේ නායකත්වයට දියුණු දර්ශනයක් තිබෙන බවට සැකයක් නැත. විශ්‍රාම වැටුප් ක්‍රමවේදය දියුණු කිරීමට ගෙන ආ ආණ්ඩුවේ යෝජනාව එවැන්නකි. මේ ලෝකයේ ගොවියාට එක් විශ්‍රාම වැටුපක්ද, කම්කරුවාට ඊපීඑෆ් ඊටීඑෆ් යනුවෙන් තවත් ක්‍රම දෙකක්ද, සාමාන්‍ය මිනිසුන්ට සමාජ සංරක්ෂන අරමුදල නමින් තවත් ක්‍රමවේදයක්ද, තවත් අයෙකුට කිසිවක් නැතිවද ආදී සංකීර්ණ නොදියුනු ක්‍රමවේද පවත්වාගෙන යන්නේ නැත. අනෙක් අතට විශ්‍රාම වැටුප උගසට තබා නිවාස තනා ගන්න දෙන්නේ ද නැත. එය දරුවන් කසාද බන්දා දීමට ගත හැකි ණයක් ද නොවිය යුතුය.  විශ්‍රාම වැටුප යනු සමාජයක වියපත් සාමාජිකයා මියෙන තුරා රැක බලා ගන්නා සමාජ ආරක්ෂණ ක්‍රමයක් විය යුතුය. ඒ සඳහා ආණ්ඩුව ගනු ලැබූ සාධනීය පියවර නූගත් සහ උද්දච්ඡ වෘත්තීය සමිති නායකයන් දැක්කේ වපරැසිනි. කෙතරම් පැහැදිලි කර දුන්නද උද්දච්ඡ කම විසින් පිලිනොගන්නා තැනකට ඇද දමා තිබේ. වවුචරයක් පවා නිවැරදිව දැකිය නොහැකි වෘත්තීය සමිති නායකයන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් කෙසේ තේරුම් ගන්නද?

අප ඔවුන් උද්දච්ඡ යැයි කියන්නේ ද හේතු කාරණා සහිතව ය. එකක් නම් ඔවුන් සිතාගෙන සිටින්නේ ‘මේ ආණ්ඩුව පත් කෙළේ අප ය. ඒ නිසා ආණ්ඩුව කොන්දේසි විරහිතව අප කියන දෑ ඇසිය යුතුය‘ යන උද්දච්ඡ මනෝ භාවයකිනි. එක් වෘත්තීය සමිති නායකයෙකු පසුගියදා සමාගමක රැකියා අහිමි වූ 5000 ක් පාරට බැසීම ගැන කීවේ “එයා 5000 ක් ගේනවා නම් අපි 25000 ක් ගේනවා. හැප්පිලා බලමු“ යනුවෙනි. මේ කතා ඇත්තටම වෘත්තීය සමිති නායකයෙකුට ගැලපෙන කතා නොව පාතාල නායකයන්ට ගැලපෙන කතාය. ඒ රැකියා අහිමිව ඇත්තේ ද තමා වැනිම කම්කරුවන්ගේ බව නොතේරීම කෙතරම් ඛේදනීය ද .? තවත් වෛද්‍ය සංගම් නායකයෙකු කීවේ ‘අපි මේ සටන එකා පිට එකා මැරුනත් ඉදිරියට ගෙන යනවා‘ කියාය. මිනිසුන් ජීවත් කරවන්නට සිටින වෛද්‍ය වරයෙක් මරාගෙන මැරෙන බෝම්බ කාරයෙකු සේ කතා කරයි නම් ඔවුන්ගේ වැඩ වර්ජන නිසා මරණයට පත් වන රෝගීන් ගැන කවර කතා ද? 

මරාගෙන මැරෙන වෛද්‍යවරු

වෛද්‍යවරුන්ගේ ටැක්ස් ෆ්‍රී කාර් පර්මිට් සටන ගැනද වචනයක් කිව යුතුය. මේ දිනවල එංගලන්තයේ වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් තිබේ. ඊට හේතුව ආණ්ඩුව ඔවුන්ගේ සහන අඩු කරමින් වගකීම් වැඩි කිරීමය. මීට එරෙහිව එංගලන්ත වෛද්‍යවරු ලන්ඩනයට දැන් දෙවතාවක් පැමිණ උද්ඝෝෂන රැලි දෙකක් පැවැත්වීය. නමුත් මේ සඳහා ඔවුන් පැමිණියේ රාත්‍රී වැඩ මුරය නිමා කර රාත්‍රී 9 ට ය. රෝගීන් බිල්ලට දී නොවේ. වරක් හෙදියන්ගේ ඉල්ලීම් සඳහා හෙදියන් වර්ජනය නොකර පතල් කම්කරුවන් වර්ජනයක් කෙළේද එංගලන්තයේ ය. මරාගෙන මැරෙන බෝම්බ කාරයන්ගේ චින්තනයෙන් වෘත්තීය සමිති නායකන් වෙනස් වන්නේ එලෙස ය. 

සමන්ලා වර්ජනය කරන්නේ බැංකු හිමි ධම්මික පෙරේරලා වෙනුවෙන් ද?

දැන් ලංකාවේ හෙට(15) ‘ජෙනරල් ස්ට්‍රයික්‘ එකක් කැඳවා තිබේ. ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ අප පෙර කී විශ්‍රාම වැටුප් ක්‍රමවේද දියුණු කිරීම යනු ‘අහෝසි කිරීම යැයි තුමූ විසින්ම පවසා සිටීම ය. තවත් ඉල්ලීම් කිහිපයකි. රු.10,000/- ක දීමනාව මූලික වැටුපට එකතු නොකිරීම, පෞද්ගලික අංශයට රු.2500/- ක වැටුප් වැඩිවීමක් ලබා නොදීම, බැංකුවල ආදායම කප්පාදු කරන යෝජනා අවලංගු නොකිරීම, අග‍්‍රහාර රක්ෂණය විශ‍්‍රාමිකයන්ට ලබා නොදීම, මෑන් පවර් සේවකයන් ස්ථිර නොකිරීම, අනියම් හා ආදේශක සේවකයන් ස්ථිර කිරීමේ කාලය දින 180 සිට දින 365 දක්වා දීර්ඝ කිරීම අවලංගු නොකිරීම ආදිය වේ. 

මේ කාරණා එකක් හෝ රට පුරා ජෙනරල් ස්ට්‍රයික් එකක් කිරීමට තරම් හේතු කාරණා නොවන බව ඕනෑම සිහි බුද්ධියක් තිබෙන මිනිහෙකුට තේරුම් යනු ඇත. 

මෙහි ඇති අපූරු ඉල්ලීමක් නම් බැංකු වල ආදායම අඩු වනවා කියා වර්ජනය කිරීමයි. එසේ වනවා නම් එම වර්ජනය කළ යුත්තේ බැංකු හිමියන් මිස කම්කරුවන්ද යන්න ප්‍රශ්නයකි. මන්ද බැංකු සේවකයන්ට වැටුප් ගෙවන්නේ බැංකු ලබන ආදායම අනුව නොවේ. එසේ නම් අද බැංකු හිමි ධම්මික පෙරේරලා වෙනුවෙන්ද සමන් රත්නප්‍රියලා වර්ජනය කරති. පුදුමයකි..!

මල්ටි බැරලයෙන් පහර දී පසුව කැටපෝලයෙන් පහර දීම

අනෙක් අතට ‘ජෙනරල් ස්ට්‍රයික්‘ එකක් යනු දුෂ්ඨ ජනතා ද්‍රෝහී ආණ්ඩුවක ගමන නිමා කිරීම සඳහා කම්කරු පන්තිය විසින් කරන අවසන් සටනයි. මේ ආණ්ඩුව හරියකට පාලනය බාර ගෙන හරියට තවම මාස 3 ක් ගත වී ද නැත.  පුදපු ගමන්ම ‘ජෙනරල් ස්ට්‍රයික්‘ නමැති කම්කරුවාගේ අවසාන අවියෙන් පහර දෙන්නේ නම් මින් ඉදිරියට සටන් කරන්නේ කුමන අවියෙන්ද යන්න මේ විකාර කාර වෘත්තීය සමිති නායකයන් කල්පනා කළ යුතුය. මොවුන්ට සිදුවන්නේ මල්ටි බැරලයෙන් පහර දී ඉන් සතුරා දුර්වල නොවූ තැන කැට පෝලයක් අතට ගැනීමට ය.

මෙම ජෙනරල් ස්ට්‍රයිකය සමග ආණ්ඩුව හදන්න එක් වූ සමිති නායකයන්ද, රාජපක්ෂලාගේ බළල් අත් ද, ඊලඟ ආණ්ඩුව තමන්ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි එළු ඇට දිහා බලාගෙන ගමන් කරන ජවිපෙ වෘත්තීය සමිති ද වෙති. මොවුන් එකිනෙකාට පරදින්නට බැරි නිසා ‘ජෙනරල් ස්ට්‍රයික්‘ එකක් කරනවා ද විය හැකිය. 

නමුත් මෙයින් වෘත්තීය සමිති නායකයන් ගැන ජනතාව තුල ගරුත්වයක් තිබුනා නම් එය බරපතල ලෙස පළුදු වන බවත් ලංකාවේ මෙම වෘත්තීය සමිති නායකයන් අප මුලින් සඳහන් කළ කැලේ රීමේ නිදහස සොයා වැසිකිලියකට නොගිය සිමංලාගේ ගානට වැටෙන බවත් මෙහි අවසාන වාසිය ලබන්නේ පරාජිත මෘග චෞරයන් බවත් සටහන් කර තැබිය යුතුමය. 

-විමල් ධීරසේකර විසිනි-

---------------------------
by     (2015-12-14 05:02:55)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links