~

නූතන මෝඩ රිලවාට රජා දී ඇත්තේ කඩුවක් නොව කැබිනට් ප්‍රකාශක අවියයි..! රාජිතගේ වැඩ 2ක් නිසා යහපාලන ආණ්ඩුව ජාතික සහ ජාත්‍යන්තර අර්බුදයකට

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.10, පෙ.ව‍.10.05) ශ්‍රී ලංකා රජයේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ අවිනීත අසත්‍ය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික භාවයක් ගෑවිලාවත් නැති  අමනොඥ ප්‍රකාශ නිසා යහපාලන රජය මෙම සතියේ ජාත්‍යන්තරවද ජාතිකවද දැඩි පීඩනයකට ලක්ව ඇති සිදුවීම් දෙකක් පිලිබඳ ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

රාජිත නිසා නයිජීරියානු තානාපති සබඳතා වලට කණකොකා හඬලයි

මින් පළමු වැන්න නම් පසුගිය ආණ්ඩු කාලයේ වුව ශ්‍රී ලංකාව සහ නයිජීරියාව අතර අත්සන් කරනු ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමක් සම්බන්ධයෙන් එය බොකෝහරාම් ත්‍රස්තවාදීන්ට අවි දීමක් යැයි රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් ය. 

කැබිනට් ප්‍රකාශකයාගේ එම ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ නායකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කළේද නැති බැවින් නයිජීරියාව විසින් ශ්‍රී ලංකාවට දැඩි කනස්සල්ල පළ කරමින් පිටු 6 ක තද ලිපියක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එවා ඇති අතර එරට නිල නියෝජිතයෙකුද ආණ්ඩුවේ ඉහලම පුද්ගලයෙකු හමුවී තම රටේ දැඩි කනස්සල්ල වාචිකව ද පළ කර තිබේ. 

තම රට බොකෝහරාම් ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරද්දී ශ්‍රී ලංකාවේ සුළු ඇමැතිවරයෙක් නොව කැබිනට් ප්‍රකාශකයාම කරන ලද අසත්‍ය ප්‍රකාශය නිසා ඔවුන්ගේ රජය එම රට තුලත් ජාත්‍යන්තරවත් මහත් අබග්ගයකට මුහුණ දුන්නා යැයි නයිජීරියාව පවසා තිබේ. (රටක කැබිනට් ප්‍රකාශක කරන ප්‍රකාශ එම රටේ නිල ප්‍රකාශ ලෙස සැලකේ)

ඇමැති රාජිත සේනාරත්න හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ නයිජීරියාව යනු ශ්‍රී ලංකාව සමග රාජපක්ෂ යුගයේදී තානාපති සබඳකම් ඇති කරගත් රටක් යැයි සිතනා නමුත් නයිජීරියාව සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳකම් ආරම්භ වී ඇත්තේ ඩඩ්ලි යුගයේ අවසානයේ එනම් 1970 ජනවාරි මාසයේදී ය. අනෙක් අතට නයිජීරියාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටකි. රාජිත එකී කට කැඩුනු ප්‍රකාශය කරද්දී මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිය. එවන් රටක් සමග රාජපක්ෂ යුගයේදී හෝ වේවා වෙන යම් යුගයකදී හෝ වේවා රටක් ලෙස අත්සන් තැබූ ගිවිසුමක් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කළ යුත්තේ ගස් ගෙම්බෙක් බක බක ගානවා සේ නොවන බව ‘මඤ්ඤං‘ කැබිනට් ප්‍රකාශක නොදැන සිටීනම් කැබිනට් මණ්ඩල ප්‍රධානියා ලෙස සිරිසේන මහතා හෝ ඒ ගැන දැන ගත යුතුය. නමුත් එසේ වී නැත. අප ‘මඤ්ඤං‘ යන වචනය භාවිතා කරන්නේ වගකීමෙනි. මන්ද යත් මේ වන විට රාජිත සේනාරත්න ඇමැතිවරයා කැබිනට් ප්‍රකාශක ලෙස 14 වතාවක් අසත්‍ය ප්‍රකාශ කට කමසෙයියාවක් නැතිව කියා තිබේ. නමුත් සිරිසේන මහතා ඔහු කැබිනට් ප්‍රකාශක ධූරයෙන් ඉවත් කර ඊට සරිලන පුද්ගලයෙක් පත් කිරීමට අසමත් වී ඇත. ( මෛත්‍රීපාල සිරිසේන නුසුදුස්සන් තනතුරු වලට පත් කිරීමේදී කප් ගැසූ රාජ්‍ය පාලකයා ලෙස පසුගිය මාස 10 ට වාර්තා තබා ඇත) 

මාධ්‍ය නිදහස බල්ලාට දැමූ රාජිත මාධ්‍යවේදීන් හතරවෙනි තට්ටුවට නග්ගයි

රාජිත සේනාරත්න මහතාගේ හැකර කට නිසා ජාත්‍යන්තරව යහපාලන ආණ්ඩුව අර්බුදයකට යද්දී ජාතික වශයෙන් අර්බුදයකට ගොස් ඇත්තේ ඔහු විසින් මාධ්‍යයට එරෙහිව සීඅයිඩියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙනි. 

පසුගිය සතියේ සිංහල සති අන්ත පුවත් පතක පලවූ වෙනත් අයෙකුගේ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා එය ලියූ වාර්තාකරුට සහ පුවත් පතේ කර්තෘවරයාට එරෙහිව කොළඹ රහස් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇති අතර රහස් පොලිසිය විසින් එකී මාධ්‍යවේදීන් දෙදෙනාට රහස් පොලිසියට එන්නැයි නියෝග කර තිබේ. 

මෙය පැහැදිලි ලෙසම පසුගිය කාලයේ රාජපක්ෂ රෙජීමය යුගයේ තිබූ මාධ්‍ය මර්දනය යලි ප්‍රතිනිර්මාණය කිරීමේ ආරම්භයකි. පුවත් පතේ සම්මුඛ සාකච්ඡාවෙන් රාජිත සේනාරත්නට අවැඩක් වී නම් පළමුවෙන්ම එය නිවැරදි කරන ලෙස එකී පුවත්පතට රාජිත විසින් දැන්විය යුතුය. එය සිදුනොකරන්නේ නම් පුවත් පත් මණ්ඩලයට පැමිණිලි කළ යුතුය. එයත් ඉටු නොවන්නේ නම් ඔහුට පුවත් පතට එරෙහිව අලාභ ඉල්ලා නඩු පැවරිය හැකිය. එසේ නොමැතිව මාධ්‍යවේදීන් අපරාධයක් සිදුකළාක් සේ සලකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩියට ජනමාධ්‍යවේදීන් කැඳවීම යහපාලනයක් තිබෙන රටක සිදුනොවන්නකි. 
 
රාජිත සේනාරත්නගේ හයිරං ක්‍රියාව නිසා සමස්ථ ආණ්ඩුවටම මකා දැමිය නොහැකි මඩ පැල්ලමක් ජාතික මට්ටමෙන්ද ජාත්‍යන්තර මට්ටමෙන්ද එල්ල වනවා නොඅනුමානය. මේ දිනවල 2015 මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් ලෝකයේ රටවල් ශ්‍රේණිගත කරමින් සිටින කාල වකවානුවයි. රාජිතගේ ක්‍රියාවෙන් ලංකාව අඩුම ගණනේ එක ලකුණකින් හෝ පහත වැටෙනවා නොඅනුමානය. මේ සම්බන්ධයෙන් අනෙකුත් ආණ්ඩු ප්‍රබලයෝ දැඩි කනස්සල්ලෙන් සිටින බවද දැන ගන්නට තිබේ.

මංගල සමරවීර, ශ්‍රීපති සූරියආරච්චි, විජේදාස රාජපක්ෂ ආදීහු රාජපක්ෂ රෙජීමයේ දුෂ්ඨත්වය තේරුම් ගත් වහාම 2006 දී පමණ ඉන් ඉවත් වී විපක්ෂයට පැමිණ විපාක්ෂික ජනතාව සමග අත්වැල් බැඳ වසර 9 ක් වෙහෙසකර සටනක යෙදෙද්දී රාජිත සේනාරත්න සිටියේ ඒ වසර 9 යේම රාජපක්ෂලා සමග එක මල්ලේ ලුණු කමින් රාජපක්ෂලාගේ සියළු දහදුරා වැඩ වලට සහාය දෙමිනි. රාජපක්ෂලා අගවිනිසුරුවරියට බැල්ලකට සේ පා පහර දී එළවද්දී නඩු ඇසුවේ රාජිත ය. අවසාන මාසයේදී විපක්ෂයට පැමිණි රාජිතට විපාක්ෂික ජනයා කළ යහපාලන සටන කුමක්දැයි තේරෙන්නේ නැත. දැන් ඔහු හැසිරෙන්නේ තමන් ජනාධිපතිටත් ඉහලින් සිටින පුද්ගලයෙක් ලෙසය. ජනාධිපති මෛත්‍රීපාලද හැසිරෙන්නේ තමන් රාජිත සේනාරත්නට බය පක්ෂපාත අයෙක් ලෙසය.

ඊට හොඳම උදාහරණයක් නම් පසුගියදා ප්‍රබල ඇමැතිවරයෙකුගේ පුතෙකුට මහ රෑදුරකථනයෙන් ඇමතූ මෛත්‍රීපාල සිරිසේන මහතා එම පුත්‍රයාගේ ෆේස් බුක් පිටුවෙන් රාජිත විවේචනය නොකරන්නැයි දැනුම් දීමය.  තරුණයෙකුගේ ෆේස් බුක් පිටුවකින් රාජිත විවේචනය කිරීමක් පවා ජනාධිපති මෛත්‍රීපාලට රිදෙන්නේ ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෛත්‍රීපාල ජනාධිපතිගේ කන් දෙකේ ඇඟිලි ගහ ගන්නා පිළිතුරක් ඇමැතිවරයා දී තිබේ. මෑත අතීතයේ සිදුවීම් දෙකක් මතක් කර දී ඇති ඇමැතිවරයා, මෙයින්ම රටේ ජනාධිපති තමුන්නාන්සේ නොවන බව පෙනී යන බවද ජනාධිපතිගේ මුහුණටම පවසා ඇත. (සිදුවීම් දෙක දැනට ජනතාව දැන ගත යුතු නැතැයි සිතමු)   

කෙසේ වෙතත් අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව ප්‍රතිවිප්ලවයක් ක්‍රියාත්මක වන බවයි. රටේ කැබිනට් ප්‍රකාශකයාම එකී ප්‍රතිවිප්ලවයට ජාතිකව සහ ජාත්‍යන්තරව අවි සපයන්නේ නම් රට අනතුරක වැටෙන බව නොකිවමනාය.

කෙතරම් හොඳ යහපාලක රජෙකුට හෝ එක මෝඩ රිලවෙක් සිටිය විට සිදුවන නස්පැත්තිය ජන කතාවකින් අප අසා ඇත්තෙමු. නූතන මෝඩ රිලවාට රජා දී ඇත්තේ කඩුවක් නොව කැබිනට් ප්‍රකාශක අවිය ය. 

-විමල් ධීරසේකර විසිනි-

---------------------------
by     (2015-12-10 05:18:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links