(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.19, ප.ව. 11.45 -ගානි වාසුහේවාගේ සටහන-) කථාව අනන්තයි අප්‍රමාණයි. ව්‍යාකරණ විච්චූරන විශිෂ්ඨයි. ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය බිංදුවයි. රට පාලනය කරන (එසේ යැයි පෙනෙන) මෛත්‍රීගේ කටත් වාචාලකමේ අගතැන්පත් වීරවංස ගේ කටත් එක මල්ලේය.
නායකත්වය යනු හෝ රටක් පාලනය කරනවා යනු රැස්වීම් හොය හොයා ගොස් (ප්‍රේමදාස මෙන් පස්ස උඩදාමින්) වචන දහස් ගණන් දෙසා බෑම නොවේ. අග මුල මැද ජනයාට අර්ථයක් නොවන මහ දිග කථා සාප්පු අතීසාරය දිගහැරීම ම පාලකයෙක් වීමේ සුදුසුකමක් නම් වීරවංසයා ලංකාවේ නොව ලෝකයේම නායකයා විය යුතුය.
මහනුවර සංවර්ධන රැස්වීමේදී මෛත්‍රී ප්‍රකාශ කලේ ‘දළදා මාළිගාව ඉදිරියේ පාර විවෘත කිරීමට තීරණය කළද අස්ගිරි නාහිමි ගේ විරුද්ධවීම නිසා නතර කළා මගෙන් ඊට එහා අහන්න එපා‘ යන්නයි. ඔය අස්ගිරිය සම්බන්ධ කාර් රේස් පැද්දේ ද ඔය කියන පාරවලමය.
කට ඇරියොත් බෙරිහන් දෙන්නේ පරිසරය සුරකින බවය. ඒත් පරිසර විනාසාධිපති රිෂාඩ් බදුර්දීන් එක කැබිනට් සිරියහනේ රමණයේ ය. මොණරාගල සොයිසලා ද, මහා පරිමාණ සමාගම් වන කොකාකෝලා ජිෆී ද පරිසරය අමු අමුවේ දූෂණය කරද්දී අස්ගිරි ඉදිරියේ මෙන් උපාසක පාට් එකේම ය.
ජැක්සන් යනු දේශපාලනමය මෙන්ම සමාජමය අධමයෙක් බව හැබෑය. තම මඩිය පතා බුදුන්ගේ නෑකමක් වුව පිරිනමා එය මුදල් කරගැනීමට දක්ෂයෙකි. ඒත් ඔහුගේ චිත්තරපට දැන්වීම සමාජයට කාවැදුන සත්‍යයක් වී ඇත. ඔහුටද දැන් ඵල ප්‍රයෝජන නැති නිසා මරා විවේචනය කිරීමට බාධාවක් නැති බවද සඳහන් කළ යුතුය. ඒ ‘හිට්ලර් ගියා චැප්ලින් ආවා‘ යන්නය. ‘කපටි රෞද්රයෙක් ගියා ය, ළපටි මෝඩයෙක් ආවා ය‘ කියා නොසිතිය යුතු නැත.
අපේ මිනිහා චැප්ලින් පරදන විහිළු කාරයෙකි. පක්ෂයේ මහින්ද වාදීන් යම් ඉල්ලීමක් කළ විට එය භාරගනී. ඔවුන් එය ප්‍රචාරය කළාට ද පසු එය මගහරී. හරියට මහින්ද වගේමය. අඩුවකට ඇත්තේ උඩු රැවුල පමණය. හමුදා නායකයින් FCID යට කැඳවීම ‘මට නොකීම ගැන‘ කණගාටුව ප්‍රකාශ කරයි. ඊට පෙර දිනක ‘පොළිස් පරීක්ෂණවලට මං අත නොතබමි‘ යනුවෙන් පවසයි. මගේ රජය පෙරලූනත් දූෂිතයන්ට දඬුවම් කරන බවට දිවුරයි. කට පියවීමට පෙර රටම දන්නා හඳුනන ඓතිහාසික දූෂිතයින්ට ඉහළම තනතුරු පූජා කරයි. ඉතිං වෙන ‘චැප්ලින් ලා‘ කුමට ද? පසුගිය රජය පෙරලා මෛත්‍රි පත්කලේ මෙරට සිගරට් මත්පැන් බොන ගංජා ගහන මිනිස්සු බව අද ‘මෛත්‍රී චින්තනය‘ යි. ඔවුන්ට එරෙහිව කටක් නාරිනුයේ මේ රජයත් පෙරලාවි දෝ සැකය නිසාම ය.
ජනමාධ්‍ය නිදහස බොක්කෙන් උතුරා යන්න දෙන බව පවසයි. මාධ්‍යවේදීන්ට දුරකථනයනේ අමතා ‘දාන්න කලින් මගෙන් අහන්න තිබුනානේ‘ කියයි. තමන්ට කියා හරි දැක්මක් නැතිකල සිරස වැනි සක්-කිලී මාධ්‍ය ආශීර්වාදය ලබාගැනීමට වරදාන පුදයි. එකක් දෙකක් නොව චැනල් 7 ක්ම දෙයි. වරෙක ‘තමන් අතුරුදහන් කරන්නට එපා‘ යැයි තොඳොල් වෙමින් තවත් වරෙක පෞද්ගලික අපහාස භීතිකාව පෙන්වා සමාජ මාධ්‍යයට අතපොවන්නට පිඹුරුපත් සකසයි. ඇත්තටම සමාජ වෙබ් නොවන්නට මෛත්‍රීට ඔය පුටුව නොමිලේ නොව ප්‍රකෝටි ගණනකට වුව ලබාගැනීම ගව් ගණනක් දුරය. කණකැස්බෑවා පවා ඊට පෙර විය සිදුරෙන් අහස දකිනු ඇත. ප්ලේන්ටියකට හෝ සත පහක් වැය කිරීමකින් තොරව බලයට පත් ලොව ප්‍රථම නායකයා වීමේ වාර්තාව ද අහිමිවනු ඇත.
පිනට ලැබෙන දෙයෙහි වටිනාකම මඳය. අගයක් නැත. වගවීමක් ද නැතුවා සේය. එය දේපළකට තණතුරකට මෙන්ම ජනාධිපතිකමට ද පොදුය.
මැදමුලන පවුල් පාලනය තුරන් කිරීමට වෙර දැරූ ජනතාවට දැන් දිස්වනුයේ සෙමෙන් නොව වේගයෙන් දළු ලා වැඩෙන පොළොන්නරු නව පවුල් පාලනයයි. බලමු යන ගමන. පාලකයන් බලයෙන් උදම් වී උද්දච්ඡ මෝඩයන් වූවාට ජනයාට කම් නැත. ඔවුන් සිතනායුරු ජනයාගේ මානසිකත්වය බිඳ නොවැටෙනු ඇත. අතීතයේ ඇනස්ලි බර්ටි සැමුවෙල් විහිළුවලින් ද මෑත ප්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ ලාගේ විහිළුවලින් ද තෙම්පරාදුවී ඇති ජනතාව පොලොන්නරු චැප්ලින්ලාගේ අලුත් විහිළුවලින් නොමග යවනු බොරු නමුත් ඒ අල්ල පනල්ලේ හැඩි දැඩි වන පවුල් ගස් ගැන ජනතාව ඉවසන්නේ නම් නැත.
සැබෑ යුක්තිය සාධාරණත්වය පතන මෙන්ම ඉටුකරන සැබෑ ජනහිතකාමී දේශප්‍රේමී මාධ්‍යකරුවන් සමග සිටගෙන යහපත් ගමනක් යාමට ඇති අකමැත්ත වනුයේ දූෂණ වංචා වලට ඇති ලැදිකමය. ඒවා අත යට මිල කිරීමට ඇති සැඟවුන කැමැත්තය. නැතිනම් අන් කුමක්ද? (ජඩ) මාධ්‍යකරුවන් සහ (බෝතල්) පත්තර හිමියන් කරනුයේ තමන්ගේ බඩ වඩා ගැනීමට පාලකයන් අන්දවා ගැනීමය. සීතාම්බරපට ඇන්දවීමය. හරි දැක්මක් නැති නූගත් පාලකයන් මෙම සීතාම්බරපට ඇඳගැනීම තරම් ජයග්‍රහණයක් ජඩ මාධ්‍යකාරයින්ට නැත. ඒ පිළිබඳ මනා හැකියාවක් සහ පළපුරුද්දක් ඇති සිරස දැනටමත් මෛත්‍රී සහ පිරිවරටම සීතාම්බරපට අන්ඳවා ඇත. සෝභිත හිමියන්ගේ ලේ කඳුළු ඩාදිය අතරින් නොව අවසානයේ ජීවිතයෙන්ද ගොඩ නැගූ යහපාලනය යයි අපි (නිකමට මෙන්) සිතන නව රජය සෝභිත හිමියන්ට එපා වාහේ සේ සලකා හොදි බෙදුවා නම්, පල නොකියා පලා බෙදුවා නම් එහි ආනිසංස විඳීමට සිදුවනු ඇත්තේ මෙරට ජනතාවට ය. බලයට ඒමට පෙර ඕනම වෙලාවක මෛත්‍රී රනිල් හමුවීමට ඉඩ ලද සෝභිත හිමියන් ට බලයට පත් මෛත්‍රී හමුවීමට දින නොමැතිවීම (නොලැබීම) ගුණමකු කමකැයි කීමට අපි තවත් කොපමණ කාලයක් ඉවසමුද. යහපාලනය ඉදිකිරීමට ඇවැසි මූලික අත්තිවාරම් වන යහපත් අවංක නිලධාරින් තණතුරුවලට පත්කරවීමට සෝභිත හිමියන් ගත් ප්‍රබල උත්සාහය මෛත්‍රී විසින් බැහැර කලා නොවේද..? හිමියන් දුන් එකදු නාම යෝජනාවක් හෝ නොතකා හැරියා නොවේද?
අධම දූෂිත වනාන්තරයක් දක්වා පැතිර ගිය රාජපක්ෂ පවුල් වනය ආරම්භ වන්නේ එතෙරින් ආනයනය කර තනතුරු පිරිනැමූ බැසිල් ගෝඨා ගෙනි. එය අවසානයේ මුළුමහත් රටම පවුල් වනාන්තරයට ගොදුරු කෙළේය. මෛත්‍රී ද පවුල් වනය ආරම්භ කරනුයේ තම සොයුරු ටෙලිකොම් සභාපති කරමිනි. එදා රාජපක්ෂ මස්සිනා එයාර් ලංකාවට කළ හදිය මෙදා මෙයා ටෙලිකොම් එකට සිදුකරමින් සිටින බව දැනටම පෙනෙන්නට ඇත. සොයුරු වැලි රාජු නොසලකා හරිමින් හදිසි කම්පා සහගත මළගමටවත් නොගොස් යහපත් සමාජයක් ගැන රටට පෙන් වූ ආදර්ශය අද පම්පෝරියක් වී ඇත්තේ ටෙලිකොම් සොයුරු ඊට එහා ගිය අනර්ථයක් රටටම සිදු කරමින් සිටින බැවිනි. තවද දූෂිත පාපතරයන් හිරිකිතයකින් තොරව රෙද්ද අස්සේ රුවා ගෙන සිටින බැවිනි. මේවා දකින ජනතාව දැන් ඉල්ලන්නේ යහපාලනය නොව හෙණ ය.
නිර්පාක්ෂික වී අත්හැරීම සඳහාම බලය ගත් ජනාධිපති මෛත්‍රී ‘අත්හැරීම‘ පමණක් අතහැර අන් සියල්ල බදාගෙන ඇත. තවත් දේ බදාගෙන බෙදා ගැනීමට ද සිහින මවන බවක් පෙනේ. තමන් පරාජය කර අඩි 6 ක් පොළොව යට තැන්පත් කිරීමට කාලය ශ්‍රමය ධනය වැයකල පක්ෂයක නායකකම දෙකොනෙන් බේරෙන කෙළ සහිත මුව අයා ලබාගැනීමම මෛත්‍රී ගේ ප්‍රථම කඩවුන පොරොන්දුව යි. රට ගොඩ නැගීම සඳහා ‘අතහැරීමට‘ බලය ලබාගත් මෛත්‍රී දැන් දැන් බලය බදාගන්නේ රට අමතක කර පවුල ගොඩ නැගීමට ද යන්න සැක සහිතය. එමන්ම දෙස් විදෙස් සම්මන්ත්රණ සඳහා ගෙනයමින් මෛත්‍රී දැන් ගොඩනගනුයේ තවත් නාමලක් ද යන්නත් ජනයා බලා සිටී. රජයේ හෙලිකොප්ටරයෙන් ගොස් රජයේ මුදලින් ජනයාට භාණ්ඩ බෙදා සහන සැලසීම චතුරිකලාට කැප නම් නාමල්ලාට අකැප වූයේ මන්දැයි විපිළිසර ය.
අද උදාවී ඇත්තේ දූෂිතයන් ඉහළ මාලයේ සිට අප වෙත සුළු දිය මුදාහරින තත්ත්වයකි. කැසිනෝ ධම්මිකලා, අනුෂ පැල්පිටලා, කබ්රාල්ලා, පීබී ජයසුන්දරලා, වෑගපිටියලා ඇතුළු වංචාකාරයන් යැයි හංවඩු ගැසුණු බොහෝ පිං ඇත්තෝ සුපිරිසිදු හංසයන් වී අපිට සුහද කොකා පෙන්වති. ඇවන්ගාඩ් ගාඩ් කිරීමටත් එහි සේනාධිපතියන්ට හොර පාරෙන් මෛත්‍රිය ලබන්නටත් අපේම යහපාලකයෝ අමුඩ කෙටි තදකරගනිමින් ඇත. හෙළුව ඔවුන්ගේ වුව ද ලැජ්ජාව අපේය. නීතිඥ වෘත්තිය නම් කෙසේ හෝ මුදල් උපයන තණතුරු දරන්නෝ විත්තියටත් පැමිනිල්ලටත් එකවර පෙනී සිටිති. යහපාලන ඇමතිවරු මිල මුදලක් දකින කලට මළමිනීවලටත් කට ඇරෙන බව අපට පසක් කරති. යහපාලනය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටි සම-හරක් අද කොහිදැයි සෙවීමට නොහැක. පූරුවේ පිනට ඇමති වූ මාරපනලා අද රෙදි ගලවාගෙන කකුලත් කටේ දාගෙන යහපාලනයට පස්ස හරවා ඇත්දෝයි සැකයක් ඇත. මංගල, සජිත්, රන්ජන්, අජිත් පී, හැරිසන්, හර්ෂා, එරාන්, සුජීව ලා අකලට වැටෙන පොල් ගානට පත්ව ඇත.
මෛත්‍රී සිතනුයේ ද රාජපක්ෂ නතර කළ මජර තැන සිටය. හිට්ලර්ලාම දෙදෙනෙක් බැරි කමට චැප්ලින් කෙනෙකු වී හෝ නැවතුන මජර ක්‍රමය ඉදිරියට ගෙනයාමට සිහින දැකීම ජනහදවත් කම්පා කරවයි. තම සොයුරාගෙන් පටන් ගෙන පාසැල් මිතුරා ආරක්ෂක ලේකම් කිරීමත් තව බොහෝ මිතුරන්ට දූෂිතයන්ට තනතුරු ප්රදානය මහින්ද චින්තනයම ය. අප්පාගේ බූදලය පිනට බෙදනවා සේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්කම සංගාට පැවරීමට කතාකිරීම යහපාලනයේ වාටියට වත් ගැලපෙනවාදැයි ජනයා කල්පනා කරනු ඇත. ගෝඨාබය ඇතුළු රාජපක්ෂලා ළඟ දනින් වැටී සියළු නොපනත්කම් කරමින් සිටි බොහෝ පිනැත්තෝ මෛත්‍රී රනිල් යහපාලනයේ ඵල භුක්ති විඳිමින් සිටිනුයේ යහපාලනය වෙනුවෙන් දිවි දෙවනි කොට කැපවූ ජනයාට පශ්චාත් භාගය පෙන්වමිනි.
හතලිස් වසරක දේශපාලන අත්දැකීම් ඇතැයි පැවසුව ද ඒ මුළු වකවානුවේදීම කිසිම ජනතා සටනකට මහමගට බැස සටන් නොකල තව කල්පයක් දේශපාලනය කළ ද එසේ ජනතා සටන් කරාවිදෝයි ඡායාවක්වත් නොමැති මෛත්රිගේ මුළු දේශපාලන දිවියේ එකම සටන වූයේ සිගරට් පැකට්ටුවේ රූප දා ගැනීම ය. ගමේ ගොඩේ මුද්‍රණාල හිමියෙකුට පවා එක පැයෙන් කරගත හැකි මෙම ක්‍රියාව හෝ කරගත නොහැකිව සිටි මෛත්‍රී පූජාසන ගතකලේ ජනතා උනන්දුව යි. ජනතා දහඩිය යි. ජනතා රුධිරය යි. මෛත්‍රී නොදැන සිටියාට පූජාසනයේ හිඳුවා පිදුම් දෙනවා සේම එයින් ඇද දමන්නේද ජනතාවම ය.
රනිල් වංචා කාරයෙක් නොවේ. දේශපාලන මෝඩයෙක්වත් අඳබාලයෙක්වත් නොවේ. බලය පිනට රෙද්ද පල්ලෙන් කඩා ගත්තෙකු ද නොවේ. සංයමයකින් බුද්ධිමත්ව දේශපාලන පරිත්‍යාගයෙන්ද අගමැති තනතුරට පැමිණියෙකි. නමුත් අත්නොහැරිය හැකි ගජමිතුරු සංගමය ගැන ජනතාව බලාසිටිති. මග සලකුණු අනුව රාජපක්ෂලාගේ දූෂණ පරයන අති දූෂිත නිශාන්ත රණතුංගලා යහපාලන පැදුරට ගොඩවනු ඇත. ඒ අපට ඇති ලැජ්ජාව ඔවුන්ට නොමැති නිසා ය. යහපාලන පැදුරේ සැනසිල්ලේ සිටීමට සිහින මැවූ ජනතාව වැටෙනුයේ බිමටය. රටකට ඕනෑ කොපමණ අගයක්ද කියා ජනතාව හූල්ලනු ඇත. ඉතිං මේ යන ආකාරයට ගියහොත් පොළවෙන් අඩි 6 ක් යටට පැන සැඟවීමට සිදුවනුයේ මහින්ද ගේ අඩිපාරට බට මෛත්‍රීට නොව ඔහු ගැන අනන්ත අප්‍රමාණ විශ්වාසය තැබූ ජනතාවට ය.
-ගානි වාසුහේවා විසිනි-
---------------------------
by (2015-11-20 00:23:11)
Leave a Reply
great, you have summarized what the people have to say about the president and the government. If they understand the people's voice, Sri Lanka could be a blessed country......
-- by Chandra on 2015-11-20
මට මසුරන් තිබුණා නම් ඔබව සොයා ගෙන විත් කට ට දමමි. ඒසේම කෙසේ වෙතත් මෙෙත්රීගේ සහෝදරයන් යන්තම් හෝ ඉගෙන ගෙන කල ඵලියට සිටියා නම් රවේ තියන උසස් තනකතුරු සියල්ල ඔවුන්ගෙන් පුරවනු අැත.
Like · Reply ·
-- by p.b. undugoda on 2015-11-21
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි