~

ඓතිහාසික කොන්තගන්තොට කොඩිකාර ගෙන් බේරා කෝට්ටේ ඉතිහාසයට බාර දෙන්න

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.03, ප.ව.5.00) මහින්ද රාජපක‍්ෂ යුගය දේශප්‍රේමයේ සුරා පාලනය කළ හොරුන් තක්කඩින් බිහි කළ යුගයක් ලෙස ඉතිහාස ගතවනු නියතය. ඊයේ පෙරේදා මුදල් නොදී මැතිවරණ දැන්වීම් පළ කිරීමේ වරදට මහින්ද රාජපක‍්ෂ ජනාධිපති කොමිෂමට කැඳවූ අවස්ථාවේ පොලිසියට පාට් දැමූ කොඩිකාර කියන්නේද මහින්දගේ ජාතියේම චරිතයකි. මහින්ද ආණ්ඩුවේ සල්ලි කෝටි නවයක් වැය කොට තම දෙමාපියන්ගේ සොහොන් කොත් වීරකැටියේ ඉදි කළ වර්ගයේ රණවීර දේශ ප්‍රේමියෙකි. කොඩිකාර ඉතිහාසගත ඉඩමකට හොර ඔප්පු ලියාගත් ශක්තිවන්තයෙකි. 

සැළලිහිණි සංදේශය නො කියවූ කෙනෙකු ලංකාවේ සිටිය නොහැකිය. කෝට්ටේ යුගය ගැන බොහෝ  තොරතුරු එහි සඳහන් වේ. කොන්තගන්තොට යනු අදටත් රට දන්නා බිම් කඩකි. මේ කියන මහින්දගේ අනුගාමික කොඩිකාර කොන්තගන්තොට බිම් කඩට හොර ඔප්පුවක් හදාගෙන ඇති බව අපි වගකීමෙන් හෙළිකර සිටිමු.

කොන්තගන්තොට ඓතිහාසික උරුමයකි. පරංගි කොළඹ කොටුවේ රජ කරන විටද, බ්‍රිතාන්‍යයන්  ලංකාවට පැමිණි කාලයේද  කෝට්ටේ ජනතාව දිය වන්නා ඔය තරණය පිණිස පාවිච්චි කළ තොටුපොල කොන්තගන්තොට නමින් හැඳින්විණ.  පසු කලෙක ඉංග්‍රීසින් ජනතාවගේ පහසුව සඳහා ස්ථානයට උචිත කුඩා පාලමක් ඉදි කරන ලදී. ඒ පාලමේ හුරුබුහුටි හැඩය අනුව එකී පාලම පුංචි පාලම ලෙස ජනතාවගේ ආදරයට ලක් විය. සිංහල රජ කාලයේ ඔරු පාරු මගින් කොන්තගන්තොටින් ආගිය ප්‍රදේශ වාසිහූ  ඉංග්‍රීසි පාලන කාලයේත් ඉන්පසුවත් ජයවර්ධනපුර කෝට්ටේ ඉදිවන තෙක්ම  මේ පුංචි පාලම පැවතිණ. එදා බත්තරමුල්ල ප්‍රදේශයේ සිට කුඹුක්ගහ දූව ජයන්ති පුර ආදි ප්‍රදේශවල ජනතාව මේ පුංචි පාලම පාවිච්චි කළ බව ප්‍රකට කරුණකි. මේ පාලම කොතරම් ජනතාවට සමීප විද යත් ඒ අවට පැවති සමහර වෙළඳ ව්‍යාපාර සඳහාද මේ පුංචි පාලම යන භාවිතා කළහ.  

පැරණි කෝට්ටේ නව ජයවර්ධන පුරය නමින් සංවර්ධනය වීම නිසා ප්‍රදේශය මහ නගරයක් බවට පත්  විය. එතෙක් ප්‍රදේශයෙහි  පැවති ග්‍රාමීය දැක්ම ඒ සමග අවසන් විය. ඉන්පසුව ඉදිවූ  නව මාර්ග පද්ධතිය නිසා පුංචි පාලම  ජනතාවගෙන් ඈත් කරවීය. ඒ සමග එකී පුංචි පාලම සහිත  භූමිය වල්බිහි විය. එහෙත් කොන්තගන්තොට ඓතිහාසික වටිනාකම යටපත් වුනේ නැත. කලක්  අධ්‍යාපන අමාත්‍ය සහ කඩුවෙල මන්ත්‍රී වරයාව සිටි ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා මේ ඓතිහාසික මතකයට බෙහෙවින් ඇළුම් කෙළේය. ඒ උගත් පුරවැසියෙකු නිසාය. කොන්තගන්තොට  වෙත නැවත ජනතා අවධානය යොමු කරවීය. ඒ සඳහා බොහෝ දේ කළේය. කොන්තගන්තොට මේ යයි සිහිපත් කරවන පුරා  විද්‍යා නාම පුවරුව සවි කිරීම ඒ අතර, වැදගත් වේ.

දේශ විමුක්තියේ නාමයෙන් ලංකාව මං පහරන්නන් විසින් අල්ලා ගත්තේ 2005 දීය. ඒ පාලනය 2015 තෙක් පැවතිණ. ගෙවුන ඒ යුගය රටේ සියළු උරුමයන් මුදලට චන්ඩිකමට යටපත්වූ කාලයක් විය. ඓතිහාසික කොන්තගන්තොටද ඒ මං පහරන්නන් විසින් අත්පත් කර ගන්නා ලදී. පසුගිය කාලයේ ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මුල්ව පිහිට වූ කොන්තගන්තොට පුරා විද්‍යා නාම පුවරුව පළමුව ගැලවී විසි විය. ටික දිනකට පසුව ඒ භූමියෙහි නව නාම පුවරුවක් දක්නට ලැබිණ.  ඒ නාම පුවරුවේ සඳහන් වුනේ මෙය පුද්ගලික ඉඩමකි. ඇතුල්විම තහනම් යනුවෙනි. මේ නාම පුවරුව පසුපස සිටියේ වැස්සකට හෝ පාසලකට නොගිය මුග්ධයෙකි. පාසල් ගොස් සැළලිහිනි සංදේශය කියවූ කිසිවෙකු මෙවැනි නාම පුවරුවක්  මෙම භූමියෙහි ඉදි කරන්නට හිතන්නේවත් නැත. එහෙත් එය සිද්ධ විය.

කෙටි කලක් තුල ඓතිහාසික කොන්තගන්තොට භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදි විය. මෙය රජයේ ගොඩනැගිල්ලක් නොවන බව ප්‍රදේශ වාසිහූ දැන සිටියහ. හේතුව ගොඩනැගිල්ල ඉදි කළේ එහි පුද්ගලික ඉඩමක් ලෙස නාම පුවරුවක් ගැසූ එකා නිසාය. සැළලිහිනි සංදේශයේ  ලියා දැක්වුන අම්බලම තවම එසේම පවතී. දිය අගල්වල නටඹුන් සංරක‍්ෂණය කර ඇත. එහෙත් කොන්තන්ගන්තොට වර්තමානයේ සැළලිහිනියේ කවියකට පමණක් සීමාවූ කල්පිතයක් වී හමාරය. ජයවර්ධන පුරය ඉදි කරන අතර, ආණ්ඩුව විසින් කළ සමහර කඩා ඉවත් කළ සුන්බුන් පවා ගෙනත් දැමූ මේ ඓතිහාසික භුමිය දේශප්‍රේමි මං පහරන්නන් අත්පත් කරගෙන හමාරය. 

කොන්තගන්තොට ඓතිහාසික තොටුපලකි. එය කෝට්ටේ ඉතිහාසය තරම් පැරණිය. ඉන්පසුව එය සාහිත්‍ය විසින් සහතික කළ අපූරු සිහිවටනයක් විය. පසුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නාම පුවරුවකින් පුරා විද්‍යා ඉඩමක් බවට පත් කළහ. පුරා විද්‍යා ඉඩම එක් රැයකින් පුද්ගලික ඉඩමක් බවට පත් විය. පසුව එහි නව ගොඩනැගිල්ලක් ඉදි විය. එහි අළුත්ම තත්වය එකී ගොඩනැගිල්ල කොඩිකාර ඇසෝසියේට් නම් විය. මේ කොඩිකාර කවුද යන්න ජයවර්ධනපුර කෝට්ටේම දනිති. කලක් පලාත බිය ගන්වා සිටි උපාලි කොඩිකාර නම් බලපත්‍ර ලත් චණ්ඩියෙකි.  ඕනැ එපා හැමදේටම අත දමා ජනතාව බිය ගන්වා ගෙන සිටි මේ කොඩිකාර පසුගියදා මාංචු සහිතව උසවියටද ගියේය. දැන් ඒ යුගය නිමා වෙමින් පවතී යයි ජනතාව කල්පනා කරති. ඒ කල්පනාව සහතික  කරමින් කොන්තගන්තොට නැවත කෝට්ටේ ඉතිහාසයට බාර කරන ලෙස අප බලධාරින් ගෙන් ඉල්ලා සිටිමු. 1935 ලංකා මැනුමේ මෙන්ම අවසාන ගම් සිතියමේ Final Villege Plan හිද මේ බිම්කඩ පිළිබඳ සත්‍ය කරුණු වාර්තාවී ඇත. 

උපාලි කොඩිකාර මේ ඉඩම් කොල්ලය පසුපස සිටියි. මෙතෙක් කල් ජනතාව මේ ගැන කතා කළේ නැත. සත්තකින්ම ඒ බයටය.  යුද්ධය දිනු වාසියට ලංකාවම රාජපක‍්ෂ වාදීන්ගේ අත්අඩංගුවට ගෙන තිබුණ නිසාය. ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නැත. මෛත්‍රීපාලට නිකමා කී එවුන් ඇමතිකම් දරති. මේ කොඩිකාර හෙට ඒ ජාතික ආණඩුවේ මහා කුළුණක් විය හැකිය. එහෙත් අප ඉල්ලා සිටින්නේ මේ ජාතික උරුමය අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කරන ලෙසය. කොන්තගන්තොට යනු සැළලිහිණි සංදේශයේ ජීවමාන සිහිවටනයකි.

-ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ  ජනතාව-

---------------------------
by     (2015-11-03 11:33:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links