චුදිතයන්ගේ වැඩ තහනම් නොකර පරීක්ෂණ කරන, කසිප්පුකාරයන් ලවා පෙත්සම් අත්සන් කරවන මේක පොලිස් රාජ්‍යයක්ද?
(ලංකා ඊ නිව්ස් -2015.ඔක්.18, ප.ව.6.50) කොටදෙනියාව බඩල්ගම අකරන්ගහ සේයා සඳෙව්මි බක්මීදෙනිය දැරිය ඝාතනය කළ බවට චෝදනා කරමින් කොටදෙනියාව පොලිසියෙන් පාසල් සිසුවකු සහ එක්දරු පියකු නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගෙන වධ දී බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කර මාසයක් ගත වුවද ඔවුන්ට තවමත් සාධාරණයක් ඉටු වී නැත.
2015 සැප්තැම්බර් 16 දින පාන්දර 2ට පමණ කැලුම් අත්තනායක නම් එක්දරු පියකු අත්අඩංගුවට ගත් අතර එදිනම උදේ 9 ට පමණ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරමින් සිටි සිසුවාද අත්අඩංගුවට ගත්තේය.
එක්දරු පියා අත්අඩංගුවට ගැනීමට කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති සුජිත් උදයකුමාර පැමිණි බවත්, ඔහු ගෙන ගියේ වෙඩිබෙහෙත්වත්ත නම් ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට බවත්, එහි දී ඇස් බැඳ සහ නිරුවත් කර , එල්ලා පහර දුන් බවත්, ලිංග ප්‍රදේශයේ රෝම කිහිපයක් ගලවාගෙන “උඹේ ඩීඑන්ඒ ගලපන හැටි බලාගනිං“ කියමින් බැණ වැදුනු බවත් එම එක්දරු පියා ප්‍රකාශ කළ බව මේ සතියේ ඉරිදා පුවත්පතක් වාර්තා කළේය.
පාසල් සිසුවාට ද කොටදෙනියාව පොලිසිය සලකා ඇත්තේ ඊට නොදෙවෙනි ලෙසය.
මේ දෙදෙනාම සැප්තැම්බර් 19 දහවල් උසාවියට ඉදිරිපත් කරන තුරු රඳවාගෙන පහර දුන් අතර අත්අඩංගුවට ගත් බවට ලේඛණගත කර ඇත්තේ 18 රාත්‍රියේය.
ඒ අතරතුර කාලයේ දෙදෙනා බැලීමට සෑහෙන පිරිසක් පොලිසියට පැමිණ තිබේ.
සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරල නම් පුද්ගලයකු ද සිසුවාගේ ඇඳුම් ගලවා බලා ඇති අතර ඔහු එම දවස් කිහිපයේම පොලිසියේ සිට ඇත. පාසල් සිසුවා සහ එක්දරු පියා රඳවා තබාගෙන ඇත්තේ ඔහුගේ අනුදැනුම මතය.
පාසල් සිසුවා සහ එක්දරු පියා අත්අඩංගුවට ගත්තේ සැප්තැම්බර 18 රාත්‍රී බවට පොලිසිය බොරු සටහන් යෙදුව ද 17 වැනි දා සහ 18 වැනි දා පුවත් පත් කිහිපයකම ගම්පහ ප්‍රසිද්ධ පාසලක සිසුවකු සහ 33 හැවිරිදි එක්දරු පියකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව වාර්තා කළේය. 18 සිකුරාදා ලංකාදීපයේ එය මුල් පුවත ලෙස පළ වී තිබුණේය.
මේ විමර්ශනයේ දී ඉහත කී දෙදෙනාට අමතරව පොලිසිය ගමේ සෑහෙන පිරිසකට පහර දී සහ නිරුවත් කර ලිංග ප්‍රදේශය බලා ඇතැයි මාධ්‍ය පුන පුනා වාර්තා කළ ද ඒ ගැන මෙතෙක් විමර්ශනයක් හෝ ආරම්භ වී නැතිවීම යහපාලනයට ද බලවත් පහරකි.
පාසල් සිසුවා සහ එක්දරු පියා අත්අඩංගුවට ගෙන දින කිහිපයක් රඳවා ගනිමින් පහර දුන් බවට ලැබුණු පැමිණිලි අනුව පොලිසිය විමර්ශනයක් පැවැත්වුවද එම විමර්ශනය සාධාරණව සිදුවෙයිද කියා කිසිවකුට විශ්වාසයක් නැත. ඊට ප්‍රධාන හේතුව වන්නේ රජයේ ඕනෑම නිලධාරියෙකුට එරෙහිව පරීක්ෂණයක් සිදුකරනවා නම් ඔහුගේ රාජකාරි තහනම් කර පරීක්ෂණ කිරීම පිලිවෙත විය යුතු විය යුතු නමුත් කොටදෙනියාව පොලිස් ස්ථානාධිපතිවරයා සහකාර පොලිස් අධිකාරී වරයා හෝ කිසිදු නිලධාරියෙකුගේ වැඩ තහනම් නොකර සහ ඒ කිසිවෙකුට ස්ථාන මාරුවක් හෝ නොදී සිදුකරන පරීක්ෂණ ගැන විශ්වාසයක් තැබිය නොහැකි නිසාය.
මේ දිනවල ඉහළ උපදෙස් පරිදි පොලිසිය අත්අඩංගුවට ගැනීම ගැන යොදා ඇති සටහන් සහිත පොත් වෙනස් කරමින් සිටී. එපමණක් නොව මේ සිසුවා සහ එක්දරු පියා මේ ඝාතනයට වගකිව යුතු යැයි සඳහන් පෙත්සමක් මේ දිනවල පොලිසියට හිතැති ප්‍රදේශයේ කසිප්පු කාරයන් ලවා අත්සන් කරවමින් සිටිති. ඒ පිලිබඳ මානව හිමිකම් කොමිසමට පවා පැමිණිලි කර ඇත. මේ අපරාධකාරී නිලධාරීන් සැලසුම් කරන්නේ මෙවැනි පෙත්සමක් නිසා මේ දෙදෙනා අත් අඩංගුවට ගත් බව කියා ඇඟ ගලවා ගැනීමට පසු සාක්කි නිපදවීම ය.
නීතියට පිටින් යමින් අහිංසකයන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන පහර දී බොරුවට උසාවියට දමා රිමාන්ඩ් කර ඒ මදිවාට මාධ්‍ය මගින් ඔවුන්ගේ ප්‍රතිරූපය විනාශ කරමින් බරපතල අපරාධ රාශියක් සිදුකර ඇතත් යහපාලන ආණ්ඩු බලධාරීන් ඒ වෙනුවෙන් වචනයක් හෝ කතා කර නැත.
(මේ ගැන පැවැත්වෙන පොලිස් පරීක්ෂණය පක්ෂපාත වුවහොත් කොටදෙනියාව පොලිසියේ හා ඔවුන් බේරීමට වෙර දරන පිරිසගේ කෙරුවාව හඬ පටි සහිතව ඉදිරිපත් කිරීමට ඊ නිවුස් සූදානම්ය)
ජනපතිතුමනි, අගමැතිතුමනි, පොලිසිය බාර තිලක් මාරපන ඇමතිතුමනි, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඇමතිතුමනි, අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ඇමති තුමනි, පොලිස්පතිතුමනි, නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්තුමනි, ළමයින් වෙනුවෙන් පැමිණිලි කළ ලංකා ගුරු සංගමයේ නිලධාරී වරුනි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න.
සේයා දුව ඝාතනය කළාය කියා පාසල් සිසුවකු සහ එක්දරු පියකු අත්අඩංගුවට ගත්තාද?
ඔවුන් අත්අඩංගුවට ගත් බව සැප්තැම්බර් 17 සහ 18 පත්තරවල පළවුනා දැක්කාද?
පත්තරවල එසේ පළවෙද්දී සැප්තැම්බර 18 මධ්‍යම රාත්‍රී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියන්නේ කෙසේද?
සේයා ඝාතකයන් අල්ලන බව කියා ගමේ කීදෙනකුගේ ඇඳුම් ගලවා ලිංගය බැලුවාද?
පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීමට ඇති සාධාරණ සැකය කුමක්ද?
එක්දරු පියා අත්අඩංගුවට ගැනීමට ඇති සාධාරණ සැකය කුමක්ද?
ලැප්ටොප් එකක අසභ්‍ය දර්ශන තිබීම මිනිමැරුමක සැකකරුවකු වීමට හේතුවක්ද?
මීනීමැරුම් නඩුවක සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසු නිවස පරීක්ෂා කර ලැප්ටොප් පරිගණකය, ඩොංගලය, සීටි තැටි, බෙහෙත් කාඩ්, පෙන්ඩන්ට්, සුර, ජංගම දුරකතන ආදිය අත්අඩංගුවට ගත හැකිද? ඒ කුමන නීතියක් යටතේද?
බරපතල අපරාධයකට අහිංසකයන් අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ වී නැතිද?
චුදිතයන්ගේ වැඩ තහනම් නොකර පරීක්ෂන පවතවන්නේ කුමන රටක නීතියක් අනුවද?
මේවා වෙනුවෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
කොටදෙනියාව පොලිසියේ අංකය - 033 22 72 222
පරීක්ෂණ පවත්වන බස්නාහිර සීනියර් ඩීඅයිජී - 011 244 11 47 / 071 859 1007 / 011 28 67 810
පරීක්ෂණ පවත්වන ගම්පහ ඩීඅයිජී - 011 29 111 97 / 071 859 10 23
පරීක්ෂණ පවත්වන ගම්පහ එස්එස්පී සහ ඒ එස්පී - 033 2222228 / 033 2222 181 / 071 859 16 08
-විශේෂ ලියුම්කරුවෙකු විසිනි-
---------------------------
by (2015-10-18 17:27:21)
Leave a Reply
LEN, give phone nos of Ranil & Tilak Marapone, they are responsible for this
-- by anna on 2015-10-18
Where are those Human Rights attorneys? Why can't they help these two guys and file a compliant to HC or SC asking for damage and punishment?
-- by Asoka on 2015-10-19
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි