~

අසභ්‍ය ඡායාරූප හෝ වීඩියෝ තමා සන්තකයේ තබා ගැනීම වරදක් වන්නේ කෙසේද? අපරාධ පනතේ වගන්තිය පටලවා ගත්තෝ කවරහුද?

(ලංකා ඊ නිව්ස් - 2015.සැප්.25, පෙ.ව. 9.00) කොටදෙනියාවේ දැරියගේ ඝාතනය මුළු රටම අවදි කළ සිදුවීමක් වූයේ මාධ්‍ය මගින් ඒ පිළිබඳව නිතිපතා ජනතාව දැනුවත් කරමින් එහි ඇති සාහසික බව මතු කර දුන් නිසාය. එය රටේ මහජනතාව ගේ ආවේගයන් කොතෙක් වේගවත් කළා ද කිවහොත් දැරියගේ දෙමාපියනට දේහයේ අවසන් කටයුතු වලට සහභාගි වීමට ද නොහැකි විය. සැකකරුවන් සොයා යාම පොලිසියට වඩා වේගයෙන් මාධ්‍ය මගින් සිදු කිරීම නිසා සැකයේ ඇගිළි තුඩු සැම දෙසකටම යොමු විය. ඉන් සිදුවූයේ සැකකරුවනගේ පුද්ගලික ජීවිත තොරතුරු සමස්ත රටවැසියාටම හෙළි කරන්නට මාධ්‍ය පියවර ගැනීමයි. 1. දැරියගේ පියා මින් පෙර දැරියක අපයෝජනයකට යොමු වී තිබීම. 2. දැරිය පිළිසිඳගත් දින වකවානු  3. ඒ කාලයේ පියා එතෙර රැකියාවකට ගොස් තිබීම 4. අසල්වාසීන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ආදිය කිහිපයකි. මේවා පොලිස් පරීක්ෂණ මට්ටමේ පමණක් තිබිය යුතු පොදු ජනතාවට හෙළි කළ යුතු නැති පුද්ගලික කරුණු වේ. සියල්ලටම වඩා භයානක තත්වය ඇතිවූයේ මරණයට සැක පිට අසල්වාසී පාසැල් දරුවකු අත් අඩංගුවට ගැනීමයි.

තවමත් පාසැල් යන 17 හැවිරිදි තරුණයෙකු වූ ඔහු අත්අඩංගුවට ගත්තේ දරුණු අපරාධකාරයෙකු සොයා පැමිණි ආකාරයට ගෙට ඇතුළු වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් බව දෙමාපියෝ හැඞූ කදුලෙන් පවසති. පාසැල් දරුවා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, දරුවාගේ චරිත සහතික සියල්ල පොලිසිය විසින් මාධ්‍යයට හෙළි කරන ලදී. ගංජා ආදී මත්ද්‍රව්‍ය ගැනීම, එවැනි මිතුරන් කිහිප දෙනෙකු සමග ප්‍රදේශයේ ත්‍රාඩයෙකු ලෙස හැසිරීම හා දරුණුම වරදක් ලෙස ඔහුගේ පුද්ගලික පරිගනකයේ අසභ්‍ය ඡායාරූප හා විඩියෝ ඇතුලත්ව තිබීම පොලිසිය රටට හෙළි කළ පෙර අපරාධ වේ. අද එම පාසැල් සිසුවා නිවැරදි කරු ලෙස ඔප්පු වී තිබීම නිසා, ගලේ පහරාගත් බළලුන් සේ පොලිසිය හමන දුගඳ වසා ගන්නට නිරන්තර අසාර්ථක උත්සාහයන්හි යෙදේ.

1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ අසභ්‍ය ඡායාරූප ගැන වරද දැක්වෙන්නේ පහත පරිදියි.

286 (අ) අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සඳහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම ඒ සඳහා පොළඹවා ගැනීම, බලකිරීම හෝ එවැනි ඡායාරූපයක්‌ හෝ චිත්‍රපටයක්‌ බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි.
 
සිංහල භාෂාව හොදින් දන්නෙකුට මෙම අර්ථ කථනයේ කියැවෙන්නේ කුමක්දැයි එක් වරම තේරුම් ගත හැකි නමුත් රාජකාරි නීතිරීති පමණක් දන්නා පොලිසියේ මහත්තුරුනට මෙහි ඇති අර්ථය නොතේරීම පුදුමයක් නොවේ. පුදුමය නීතිය ගැන කතා කරන උගත් නීතීඥ මහතුන්ට හෝ විනිසුරුවන්ට හෝ මෙහි අර්ථ කථනය නොතේරීමයි.
 
අසභ්‍ය ඡායාරූප, විඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සදහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම - පොළොඹවා ගැනීම හෝ ඒ සඳහා බල කිරීම වරදක් බව පෙන්වා දෙයි. එය ඇත්තකි. හිස් මුදුනින් පිළිගත හැකිය. එහෙත් ඊළග වාක්‍යයේ කියැවෙන්නේ “ එවැනි ඡායාරූපයක් හෝ චිත්‍රපටයක් “  බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදක් බවය. එවැනි ඡායාරූපයක් යනුවෙන් අර්ථ දැක්වෙන්නේ ඊට ඉහත ඇති විස්තරය අනුව නිර්මාණය කළ ඡායාරූපයකි. එනම් කැමැත්තෙන් හෝ පෙළඹවීමෙන් හෝ බලකිරීමකින් ළමයෙකු යොදා නිර්මාණය කළ ඡායාරූපයක් යන්නයි. එසේ නොමැතිව ඕනෑම අසැබි දර්ශනයක් යන්න නොවේ. (අනෙක් අතට අසභ්‍ය යනු කුමක්ද යන්න ගැන මෙතෙක් නිශ්චිත අර්ථ දැක්වීමක් ද නැත.) එය එසේ වූයේ නම් පනත සකස්කිරීමේ දී “අසභ්‍ය ඡායාරූප, විඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සදහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම - පොළොඹවා ගැනීම හෝ ඒ සදහා බල කිරීම හෝ ඕනෑම ආකාරයක එවැනි ඡායාරූප හෝ විඩියෝ පට බෙදාහැරීම,විකිණීම, තමන් සන්තකයේ තබා ගැනීම “ ලෙස එම වරද අර්ථ කථනය කළ යුතුව තිබුනි. පනත ලිවුවා හරිය. අද නීතිය ක්‍රියාත්මක කරන්නෝ අර්ථය තේරුම් ගෙන ඇත්තේ වැරදි ආකාරයටය.
 
පොලිසියට නීතිය හෝ සිංහල හෝ උගන්වන්නට අපට බැරිය. අතපය , ඇට , සන්ධි ප්‍රවේශම් කර ගත යුතු බැවිනි.

 

-ශ්‍රී නිමල් පද්මකුමාර විසිනි-

---------------------------
by     (2015-09-25 04:01:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

හරියට හරි ලොක්ක. මුන් නීතිය දන්නෙත් නෑ....සිංහල දන්නෙත් නෑ....ඉංග්‍රීසි දන්නෙත් නැ.....ආ.ක්‍ර.ව්‍යවස්ථාවේ 46.5 තියෙන්නේ ජාතික ආණ්ඩුවට අනෙකුත් දේශපාලන පක්ෂ එකතු වෙන්න ඕන කියල. ඒත් විජේදාස ජනාධිපති නීතීඥවරයා කියන්නේ අනෙකුත් දේශපාලන පක්ෂ කියන්නේ බහුවචනයක් නෙමෙයි. ඒක වචනයක් කියලනේ. මේ නීතී විශාරදායො සිංහලයි, ඉංග්‍රීසියි, නීතියය 3නම විනාශ කරනවා. අන්තිමේදී බැලුවහම පොලීසියටයි, නීති විශාරදයින්ටයි 3කුත් නෑ....
-- by sena on 2015-09-25

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links