~

ක්‍රිෂාන්ත ද සිල්වා හමුදාපති වී හමුදා සම්ප්‍රදාය ද ජනමාධ්‍ය ද නොතකා යන ‘අලුත් මාර්ච් එක..!‘

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.23, ප.ව.11.50) බොරු සාක්කි කාරයෙක් ලෙසත් යටත් වූ පුද්ගලයන් දහස් ගණනක් අතුරුදහන් කිරීමට හවුල් වූ අයෙක් ලෙසත් චෝදනා ලත් මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා යුද හමුදාපති වරයා ලෙස පත් කිරීම යුද්දය ගැන නොදන්නා ඉංජිනේරු බලකායේ ‘බාස් උන්නැහේ‘ කෙනෙක් යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීමකැයි ලංකා ඊ නිව්ස් කරන ලද විවේචනය සත්‍ය බව ක්‍රිෂාන්ත සිල්වා මහතා විසින්ම ඔප්පු කරමින් ඔහු යුද හමුදා සම්ප්‍රදායන් කිසිවක් ගැන නොදන්නා විකාර කාරයෙක් බව දිනපතා තහවුරු කරමින් සිටී.

ප්‍රථමයෙන්ම ඔහු තම නිල පත්වීම ලබා ගැනීමට සේනාධිනායකයා වන ජනාධිපතිවරයා බැහැ දැකීමට ගියේ හමුදා නිලධාරියෙකු එවැනි අවස්ථාවකට ඇඳිය යුතු සෙරමෝනියල් ඇඳුමින් නොවේ. එපමණක් ද නොව මේජර් ජෙනරාල් වරයෙකුගේ නිල ඇඳුමට අදාල කඩුව පළඳිනවා වෙනුවට හරකුන් බලා ගන්නා කෙවිටක් කිහිල්ලේ ගසාගෙන මොහු තම සේනාධිනායකයා හමුවීමට ගියේ නියම ‘බාස් උන්නැහේ කෙනෙක්‘ ලෙසය. 

මෙම සිදුවීම සුළුවෙන් තැකිය හැකි වරදක් නොවන්නේ තම සේනාධිනායකයාගේ ආරාධනය මත ඔහු බැහැ දැකීමට යෑමේදී හමුදාපති වීමට යන නිලධාරීයා විසින් අදාල නිල ඇඳුම නොහැඳ, අදාල කඩු කස්තානයන්ගෙන් සැරසී නොයෑම සේනාධිනායකයාට අගෞරව කිරීමක් ලෙස සැලකීම ලෝක සම්මතය නිසාය. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද ආරක්ෂක ඇමැති ධූරය සමග සේනාධිනායක ධූරය බාරගත්තද ඒ ගැන සත පහක හෝ අවබෝධයක් ඇති පුද්ගලයන් තම ආරක්ෂක උපදේශකයන් ලෙස පත් කර ගෙන නැති බව මෙයින් පෙනී යන්නේ නිවැරදි ක්‍රියාව නම් ජනාධිපතිවරයා බැහැ දැකීමට නියමිත ඇඳුමින් නොපැමිනි හමුදාපතිවරයා යලි හරවා යවා නියමිත ඇඳුම ඇඳගෙන එන ලෙස දන්වා නොසිටීම නිසාය. 

මීට උදාහරණයක් වන්නේ පසුගියදා නව ඇමැතිවරුන් තම ධූර සඳහා දිව්රුම් දෙන උත්සවයට රංගේ බණ්ඩාර කමිසයක් සහ ටයි පටියක් පමණක් පැළැඳ ආ අවස්ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුට දන්වා සිටියේ අදාල නිවැරදි ඇඳුමින් නොපැමිණියහොත් ඇමැතිධූරයේ දිව්රුම් දීමට ඉඩ නොදෙන බව පැවසීමයි. වහා දුව ගිය රංගේ බණ්ඩාර කාගෙන් හෝ කෝට් එකක් ඉල්ලා ගෙන ඇඳ ගනිමින් ඇඳුම සම්පූර්ණ කර ගත්තේ ය. 

කෙසේ වෙතත් යුද හමුදාපතිවරයා තම කඩුව වෙනුවට කෙවිටක් කිහිල්ලේ ගහගෙන පැමිණීමේ ප්‍රශ්නය පසෙක තැබුව ද ඔහුගේ පසු ක්‍රියාකලාපයන්ද ප්‍රශ්න කාරී වී තිබේ.   
  
මේ සිදුවීම වූයේ ක්‍රිෂාන්ත සිල්වා මහතා අද (23) යුද හමුදා මුලස්ථානයේ දී සුභ මොහොතින් හමුදාපති ධුරයේ වැඩ බාර ගත් අවස්ථාවේදීය. 

මෙතෙක් හමුදාපතිවරුන් වැඩ බාරගත් ක්‍රමවේදයට පසෙකට විසි කළ නව යුද හමුදාපතිවරයා එහිදී මාධ්‍යවේදීන් කිසිදු මායිමක්  නොකර නොසලකා හැරීම  උත්සවයට අාවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් බොහෝ දෙනාගේ උදහසට හේතු විය.

ක්‍රිෂාන්ත සිල්වා ප්‍රථම වරට යුද හමුදාපති ධූරයක වැඩ බාර ගත්තේ අද වුවද මාධ්‍යවේදීන් හමුදාපතිවරයෙක් වැඩ බාරගන්නවා වාර්තා කිරීමට ආ පළමු අවස්ථාව අද නොවන්නේය. වෙනදා හමුදාපතිවරයකු වැඩ බාරගන්නා දින මාධ්‍ය ආවරණය සඳහා  පැමිණෙන මාධ්‍යවේදීන්  වෙනුවෙන් එහි  නිලධාරීන් සඳහා ඉදිකර ඇති කුටියේ එක් පැත්තක මාධ්‍ය සඳහා ආසන සුදානම් කෙරෙන අතර එහි එක් පැත්තක උසස් නිලධාරීන් වෙනුවෙන් ආසන වෙන්කර තැබීම සම්ප්‍රදාය විය.

ක්‍රිෂාන්ත සිල්වා එම සම්ප්‍රදාය බිඳ දමමින් (සත්‍ය වශයෙන්ම ඔහු හමුදා සම්ප්‍රදාය කුමක්දැයි දන්නේ නැත) මාධ්‍යවේදීන් පැත්තකට තල්ලු කරමින් උසස් නිලධාරීන් සැමදෙනාගේ ඉදිරියෙන් හිඳුවා ඔවුනටත් පසුපසින් මාධ්‍ය වෙත ආසන වෙන්කර තිබූ අතර උත්සව භූමියේ සිදුවන කිසිදු කටයුත්තක් සියැසින් දැක බලාගැනීමේ අවස්ථාවක් ඡායාරූප මාධ්‍යවේදීන්ට හැර අනෙකුත් මාධ්‍යවේදීන් වෙත අහිමි කෙළේය.

මේ හේතුව නිසා බොහෝ මාධ්‍යවේදීන්ට සිදුවූයේ දෑසින් දැක ගැනීමට නොහැකිව හඬින් පමණක් අසා ප්‍රවෘත්තිය ලිවීමට ය. මෙය නව හමුදාපතිවරයා මාධ්‍යවේදීන්ට කෙනෙහිලිකම් කිරීමේ ආරම්භය ලෙස සැලකිය හැකිය.

අනෙක් අතට වෙනත් හමුදාපතිවරුන් වැඩ බාර ගන්නා අවස්ථාවේ සියලු රණවිරුවන් අමතමින් සිය කථාවන් පැවැත්වුවද මෙවර ප්‍රථම වතාවට එවැනි දෙයක් සිදු නොවීය. මාධ්‍යවේදීන් වෙත හමුදාපතිවරයා කළැයි කියන කතාවක කොලයක් පමණක් ලබාදුන්නද එය කවදා කොතැන පැවතුනේද යන්න කීමට කිසිවකු දන්නේ නැත. යුද හමුදාපතිවරයා ගොලුවෙක්දැයි කියා හෝ මාධ්‍යවේදීන් නොදනී.

උත්තමාචාර පෙළපාළිය අවසන් වී ආගමිත වතාවත් ඉටුකිරීමට යුද හමුදා මුලස්ථානයට ගොස්  වැඩ බාර ගැනීම සිදු කර සියලු කටයුතු නිමා කළද තමන් වැඩ බාර ගැනීම ආවරණය කිරීම සඳහා පැමිණ සිටි කිසිදු මාධ්‍යවේදියකු අමතා හෝ ඔවුන් අසලට පැමිණීම හෝ හමුදාපතිවරයා ප්‍රතික්ෂේප කොට තිබුණි.  හමුදාපතිවරයා හමු වී ඔහුගේ නව අදහස් දැන ගැනීමට මාධ්‍යවේදීන් පැය ගණන් බලා සිටියද අවසානයේ  මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් පිටව ගියේ සියලූ අපේක්ෂා සුන් කරගනිමිනි. ඔහුට මේ ලෙස මාධ්‍යවේදීන් සියළු දෙනාම ඇලජික් වූයේ තම අඩුපාඩු ලංකා ඊ නිව්ස් විසින් හෙළි කිරීම නිසා විය යුතුයැයි බොහෝ මාධ්‍යවේදීන් කතා බහ කරනු අපට ඇසිණ. 

යුද හමුදා ජනමාධ්‍ය ඒකකය හෝ මේ පිළිබඳ කිසිදු තැකීමක් නොකිරීම සැලකිය යුුතුය. මෙය මෙතෙක්  කිසිදු හමුදාපතිවරයකු සිදු නොකළ ක්‍රියාවකි. බොහෝ දේ නොදන්නා ක්‍රිෂාන්ත ද සිල්වා හමුදාපතිවරයා අද කළ දෑ දැන කළාද? නොදැන කළාද? යි අප නොදන්නෙමු.  නොදන්නේ නම් කළ යුතු දේ  සම්බන්ධයෙන් ජනමාධ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් කල්තියා විමසා දැන ගත හැකිව තිබිණ.

කෙසේ වෙතත් නව හමුදාපතිවරයා වෙත එකක් පැවසිය යුතුය. තමන්ගේ නිවසට තමා ආරාධනා කර පැමිණෙන කිසියම් අමුත්තෙකු සමග නිවෙස් හිමියා කිසිදු වචනයක් හෝ කථා නොකරන්නේනම් සිදුවන්නේ කුමක්ද?
 
යුද හමුදා මුලස්ථානය නම් මෙම නිවසට මාධ්‍යවේදීන් ගියේ ඔවුනගේ උවමනාවට නොව පැමිණෙන ලෙසට කළ ආරාධනාවක් මතය. එම ආරාධනාවට ගිය මාධ්‍ය පිරිස නොසලකා හැර හමුදාපතිවරයා අනුගමනය කළ නීච ක්‍රියාව ඉතාමත් පිලිකුලෙන් යුතුව හෙලා දකින බව එම ස්ථානයේ සිටි බොහෝ මාධ්‍යවේදීහු පැවසූහ. 

ක්‍රිෂාන්ත ද සිල්වා හමුදාපතිවරයා ජනමාධ්‍ය නොතකා යන ‘මාර්ච් එක‘ දෙස මාධ්‍යවේදීන් වන අප බලා සිටිමු. 

-ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ ආරක්ෂක වාර්තාකරු විසිනි- 

---------------------------
by     (2015-02-24 00:44:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

ලෝකාන්තයේ සිදුවීමේදී මාධ්යවේදීන් අනුගමනය කල ක්‍රමවේදයත් මේ අයුරින්ම හෙලා දැකිය යුතු නොවෙද?
-- by Wellington on 2015-02-24

අය්යෝ අපරාදේ පාටියටත් ඉන්විටේෂන් දීලා නෑ වගේ, අය්යලා ටික නාන්න ලෑස්තිවෙලාමනේ යන්න ඇත්තේ. වෙලි වෙලි වෙලාසනින් එනකොට ජුන්නෝ හික් හික් කියන්න ඇති,
-- by malaka on 2015-02-24

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links