~

දූෂිත පවුල් පාලනය යලි ඕනෑ කියනවා නම් මට ප්‍රශ්නයක් නෑ: හැබැයි ඒකට ජාතිවාදය අවුස්සා රට ලේ විලක් කරන්න දෙන්න බෑ: යහපාලනය සමග සෙල්ලම් කරන්න එන්න එපා. මේ අන්තිම අවවාදයයි -අගමැති රනිල් කුරුණෑගලදී කළ ඓතිහාසික සම්පූර්ණ කතාව

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.23, ප.ව.7.45) සිංහල, දෙමළ සහ මුස්ලිම් වශයෙන් ජාතිවාදය අවුස්සා ගෙන ක්‍රියා කිරීමෙන් කිසිදු පළක් ඇත්තේ නැහැ. මේ ජාතිවාදය බොරුවක්...!! ජාතිවාදයට මම විරුද්ධයි...!!! මහින්ද රාජපක්‍ෂව අගමැති කරවා දූෂණ පාලනයක් සහ පවුල් පාලනයක් ඕනෑ යැයි කියනවා නම් මට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නමුත් කවුරුන් හෝ ජාතිවාදය අවුස්සනවා නම් අප ඊට විරුද්ධ වන අතර ඊට ඉඩ තබන්නේ ද නැහැ.  අලූත් යහපාලනයත් සමග සෙල්ලම් කරන්න එන්න එපා යැයි සියලූ දෙනාටම මම කියනවා. මේ අන්තිම අවවාදයයි....!!! ජාතිවාදීන්ට විරුද්ධව විශාල ජන රැළියක් කොළඹ පවත්වමු. යැයි ඊයේ (22) කුරුණෑගල, කොබෙයිගනේ සැනසුම උත්සව ශාලාවේ පැවැති එක්සත් ජාතික පාක්‍ෂික හමුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස අනතුරු අඟවා සිටියේය. ලංකා ඊ නිව්ස් ඊයේ අගමැතිවරයාගේ කතාවේ කොටසක් පළ කර අතර වැඩි දෙනාගේ ඉල්ලීම මත එහි සම්පූර්ණ කතාව මෙසේ ගෙන එන්නෙමු. 

“ඒ ඒ මැතිවරණ ඉලක්ක කර ගනිමින් රජයේ මුදල්වලින් භාණ්ඩ මිලදී ගෙන ජනතාව අතර බෙදා දීමට මහ ආණ්ඩුවට, පළාත් සභාවලට සහ පළාත් පාලන ආයතනවලට අප ඉඩ තබන්නේ නැහැ. ඒ ඒ ආයතනවලට ආණ්ඩුව මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙන්නේ මැතිවරණ ජය ගැනීමට නොව, ඒ ඒ ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහායි. යම් මන්ත්‍රීවරයෙකුට සිය ජනතාවට තෑගි ලබා දීමට අවශ්‍ය නම් ඔහු සිය පුද්ගලික ධනයෙන් ඒ තෑගි බෝග ජනතාවට ලබාදිය යුතුයි. 
තමාව ජාත්‍යන්තර විදුලි පුටුවෙන් බේරා දෙන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයේ දී රට පුරා යමින් ජනතාවගෙන් ඉල්ලා සිටියා. මහින්ද රාජපක්‍ෂ පමණක් නොව, මේ රටේ සමස්ත ජනතාවම මේ වන විටත් මම විදුලි පුටුවෙන් ගලවා ගෙන තිබෙන බව කිව යුතුයි. 

ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා උත්සාහ කළේ රටේ ජනතාව විදුලි පුටුවේ තැබීමටයි. විසඳා ගැනීමට නොහැකි අනවශ්‍ය ජාත්‍යන්තර අර්බුදයක් 2009 සිට ඔහු ඇති කර ගත්තේ ඒ නිසා බව කිව යුතුයි. මේ ජාත්‍යන්තර අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ හුදෙකලා රටක් බවට පත්ව සම්පූර්ණයෙන්ම කොන් වී ගියා. 

යුද්ධයේ අවසාන භාගයේ දී සිවිල් ජනයා විශාල වශයෙන් මරණයට පත් කෙරුණු බවට එල්ල කෙරුණු චෝදනාවට පිළිතුරු නොදී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කළේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවට කැඳවා මේ කාරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් කරන බවට ඔහු හමුවේ පොරොන්දු වීමයි. ඊට සති දෙකකට පසුව මේ අය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කරමින් පොරොන්දු වූයේ ද ජාත්‍යන්තර පරීක්‍ෂණයක් වහාම සිදු කරන බවටයි. 

ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටියේ අමෙරිකාවවත්, ඉන්දියාවවත්, චීනයවත් නොව මහින්ද පර්සිවල් රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුවයි. ඒ අවස්ථාවේ දී මම බලයේ සිටියා නම් කිසිඳු ජාත්‍යන්තර පරීක්‍ෂණයකට මම එකඟ නොවන අතර ඊට ඉඩ තබන්නේ ද නැහැ. 

පොරොන්දු වූ පරිදි මහින්ද රාජපක්‍ෂ එම ජාත්‍යන්තර පරීක්‍ෂණය ආරම්භ නොකරන විට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ඒ කමිටුව ද පිළිගත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව මොහාන් පීරිස් සහ පාලිත කොහොන මාර්ගයෙන් ඒ කමිටුව වෙත ලිඛිත අදහස් සහ යෝජනා ඉදිරිපත් කළා. 

ඊට පසුව උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිහිට වූ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පත් කළ කමිටුවේ නිර්දේශ වෙනුවට සිය කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාත්මක කරන බව කියා සිටියා. ඒ අවස්ථාවේ දී ජාත්‍යන්තර ප්‍රජාව කියා සිටියේ එසේ නම් උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා නිර්දේශවත් ක්‍රියාත්මක කළ යුතු බවයි. 

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා ක්‍රියාත්මක කරන සැලැස්ම ඉදිරිපත් කරන්නැයි ජාත්‍යන්තරය කියා සිටි අවස්ථාවේ දී ඉන්දියාවට ගිය මහින්ද රාජපක්‍ෂ, ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං හමුවේ කියා සිටියේ ජනවාර්ගික ප්‍රශ්නයට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය විසඳුමක් ලබා දෙන බවයි. 

රටේ ජනතාවට බොරු පොරොන්දු දී පැන යනවා වගේ ජාත්‍යන්තරයට දුන් පොරොන්දුවලින් පැන යන්න මහින්ද රාජපක්‍ෂට නොහැකි වුණා. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඒ වන විට ලබා දී තිබූ ලිඛිත සහ වාචික පොරොන්දු අනුව ඔහුට දේශීය පරීක්‍ෂණයක් පැවැත්වීමට හෝ ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ඉඩ ලබා දීමට සිදුව තිබුණා. 2013 වන විටත් උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබූ අතර අවසාන වශයෙන් ජාත්‍යන්තරය මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටියේ එම නිර්දේශ ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් යළි තහවුරු කරන ලෙසයි. 

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කරන්නැයි ජාත්‍යන්තරය ඉල්ලා සිටින විට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා කළේ 2014 ජනවාරි මාසයේ දී ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් එළියට ඇද දැමීමයි. 

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් 2015 දී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් සම්මත කරන බවට ජාත්‍යන්තර ප්‍රජාව අනතුරු හැඟවූවා. ඒ යෝජනාව සම්මත වුණා නම් සියලූම බටහිර රටවලින් අපට ආර්ථික සම්බාධක පැනවෙනවා. මේ වන විටත් යුරෝපය අපේ මත්ස්‍ය නිෂ්පාදන ලබා ගැනීම අත්හිටුවා තිබෙන අතර ජී.එස්.පී. ප්ලස් බදු සහනය ද අපට අහිමි වී තිබෙනවා. 

ජාත්‍යන්තරයෙන් එල්ල වී තිබෙන මේ ප්‍රශ්න සහ චෝදනාවලින් ගැල වී රට ආරක්‍ෂා කර ගෙන ජනතාවට සහන සැලසීම සඳහා 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ යැයි මහින්ද රාජපක්‍ෂට එදා පෙන්වා දුන් මම එම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂයේත්, මගේත් පූර්ණ සහයෝගය ලබා දෙන්නේ යැයි දැනුම් දුන්නා. 

නමුත් ඒ කිසිවකට එකඟ නොවූ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා තමාව ජාත්‍යන්තර විදුලි පුටුවේ තැබීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ යැයි කියමින් ජනතාව රවටා 2015 ජනාධිපතිවරණය ද ජය ගැනීමට උත්සාහ කළා. තවදුරටත් මේ බොරුව නොඉවසූ ජනතාව කළේ මහින්ද රාජපක්‍ෂව ‘පරාජය‘ කියන විදුලි පුටුවේ හිඳුවීමයි. 

දින 100 වැඩසටහන යටතේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, මානව අයිතිවාසිකම් සහ සාමය යළි තහවුරු කරන අතර ජාතික සමගිය ගොඩනගමින් උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කරන බව රටත් - ජනතාවත් හමුවේ අප කියා සිටියා.

ඒ අනුව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම කියා සිටියේ ශ්‍රී ලංකාවේ අලූත් ආණ්ඩුවක් බලයට පත්ව සිටින නිසා මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඒ අයට කල් දිය යුතු බවයි. ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම මාර්තු මාසයේ දී ස්විට්සර්ලන්තයේ ජිනීවාහි රැස්වීමට නියමිත අතර ඒ අයගේ මේ තීරණය අනුව මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසය දක්වා අපට කාලය ලැබී තිබෙනවා. 

ඒ කියන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය පැනවීමට ගිය ආර්ථික සම්බාධක අප මේ වන විට වළක්වා ගෙන තිබෙන අතර මහින්ද රාජපක්‍ෂ පමණක් නොව, සමස්ථ ජනතාවම විදුලි පුටුවෙන් ගලවා ගෙන තිබෙනවා.

ජාත්‍යන්තරය යම් හෙයකින් අපට එරෙහිව ආර්ථික සම්බාධක පැනෙව්වා නම් නව රැකියා දස ලක්‍ෂයක් ඇති කරමින් විරැකියාව දුරු කර ආර්ථික වශයෙන් රට ගොඩනගා ජනතාවගේ ආදායම් දෙගුණයක් කිරීමට අපට හැකි වන්නේ නැහැ. 
නව රැකියා දස ලක්‍ෂය ඇති කිරීම සඳහා විදේශීය ආයෝජන, තාක්‍ෂණය, දැනුම, පළපුරුද්ද සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ, විදේශීය සංචාරකයින්, ජී.එස්.පී. ප්ලස් බදු සහනය අපට අනිවාර්යෙන්ම අවශ්‍ය වනවා. 

රට සංවර්ධනය කරන අතරතුර ජාතික සමගිය ගොඩනගන අප උතුරේ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට ද කටයුතු කරනවා. එමෙන්ම උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කරන අතර උතුරේ අතුරුදන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද කරුණු සොයා බලනවා. දකුණේ අතුරුදන් වූ පුද්ගලයින් ගැන සොයා බලන විට උතුරේ අතුරුදන් වූ පුද්ගලයින් සොයා නොබලා සිටීමට අපට හැකියාවක් නැහැ. යුද්ධයක් නොතිබිය දී පවා දකුණේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝණය කළා නම් උතුරේ ජනතාව මුහුණ දී සිටි තත්ත්වය සිතා ගත හැකියි. 

ජනතාවගේ නිවාස කඩා, ඉඩම් කොල්ල කා සිය වාස භූමිවලින් එම ජනයා පන්නා දැමූ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යාපනයේ රජ මාළිගා ඉදිකර තිබෙනවා. මේ රජ මාළිගා ඉදිකිරීම සඳහා කළ නාස්තිය වෙනුවෙන් බදු සහ දඩ වශයෙන් ගෙවීමට සිදු වූයේ ජනතාවටයි. 

යුද්ධයෙන් අවතැන් වූ උතුරේ ජනතාව ස්ථිර ඉඩම් සහ නිවාස නොමැතිව තවමත් අනාථ කඳවුරුවල සිටිද්දී මහින්ද රාජපක්‍ෂලා කළේ යාපනයේ රජ මාළිගා ඉදිකර ගෙන සුර සැප විඳීමයි. ජාතික ආරක්‍ෂාවට කිසිදු තර්ජනයක් සහ හානියක් සිදු නොවන පරිදි මේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ද අප සාධාරණය ඉටු කරනවා. 

සියලූ පාර්ශ්වයන්ගේ සහයෝගය ඇතිව ජාතිවාදය අවසන් කරමින් අප යන මේ ගමනට කණ්ඩායම් දෙකක් විරුද්ධව සිටිනවා. උතුරේ මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා කළ ජාතිවාදී ප්‍රකාශයෙන් එක කණ්ඩායමක් නියෝජනය කරන අතර ඒ ප්‍රකාශයට ජාත්‍යන්තර ප්‍රජාවම කණ හරහා හොඳ පහරක් දී තිබෙනවා. එමෙන්ම අප මේ යන ගමනට විරුද්ධව රටේ ජාතිවාදය ඇවිස්සීම සඳහා මුද්‍රිත මාධ්‍ය ගණනාවක් ක්‍රියා කරමින් සිටිනවා. 

ත්‍රස්තවාදය යළි හිස ඔසවන්නේ යැයි ද, රට දෙකඩ වන්නේ යැයි ද කියමින් පුවත්පත් ගණනාවක් නැවතත් ජාතිවාදය අවුස්සමින් සිටිනවා. මහින්ද රාජපක්‍ෂට එදා සිටම කඩේ ගියේ මේ අයයි. මේ පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් කිසිම ලැජ්ජාවක් නැතිව පත්තරයේ තනතුරු දරමින් ආණ්ඩුවේ ද තනතුරු දැරුවා. ආණ්ඩුව සිය සහෝදර මාධ්‍යවේදීන් මර්දනය කරන විට ඊට විරුද්ධ නොවී නිශ්ශබ්දව ඒ මර්දනය ඉදිරියට ගෙන යන්න ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමයට උදව් කළා. 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැණුනු අවස්ථාවේ දී අත්පොළසන් දී සතුටු වූ මාධ්‍යවේදීන් සිටිනවා. මේ කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් උත්සාහ කළේ රටට එරෙහිව බටහිර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මවා පාමින් ජනතාව නොමඟ යැවීමටයි. නමුත් මේ සියල්ල ප්‍රතික්‍ෂ්ප කළ ජනතාව දූරදර්ශී ලෙස සිතා බලා තීරණයක් ගෙන මහින්ද රාජපක්‍ෂව පරාජය කළා.
 
මාව දේශපාලනික වශයෙන් විනාශ කර දේශපාලනයෙන් ඉවත් කිරීමට මේ අය අවුරුදු 10 ක් මුළුල්ලේ උත්සාහ කළත් ඒ අරමුණ ඉටු කර ගැනීමට මේ මාධ්‍යවේදීන්ට නොහැකි වුණා. මහින්ද රාජපක්‍ෂව 2015 දී යළිත් මේ රටේ ජනාධිපති ධූරයට පත් කිරීමට මේ අය උත්සාහ කළත් ඒ අරමුණ ජය ගැනීමට ද මේ අයට නොහැකි වුණා. ඊළඟ සැරේ මහින්ද රාජපක්‍ෂව අගමැති කරවීමට මේ අය උත්සාහ කරන අතර මට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ.
 
නමුත් ජාතිවාදය අවුස්සා තවදුරටත් මේ රටත් ජනතාවත් විනාශ කිරීමට මේ අයට කිසිසේත් ඉඩ තැබීමට හැකියාවක් ඇත්තේ නැහැ. මේ පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමයෙන් සල්ලි ගත් ආකාරයත්, ඒ අය සමග එකට කා බී බාල් නැටූ ආකාරයත් මම හොඳින්ම දන්නවා. මේ ක්‍රියාවන් යහපාලනයට අයිති නොමැති අතර මේ අය ඒ වැරදි නිවැරදි කර ගත යුතුයි. මේ අය සිය වැරදි නිවැරදි කර නොගෙන තවදුරටත් ජාතිවාදය ඇවිස්සීමට යනවා නම් ඊට පිළිතුරු දීමට අපත් සූදානම්....!!

‘දිවයින‘ පත්‍රයේ කර්තෘ අනුර සොලමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළා. යහපාලනයක් ගැන සිතුවා නම් ඔහු ‘දිවයින‘ කර්තෘ ධූරයෙන් ඉවත් වී එම තනතුර දැරිය යුතුව තිබුණා. ඔහු සිය සහෝදර මාධ්‍යවේදීන් පාවා දුන්නේ ජනාධිපති උපදේශකකම නිසා ලැබෙන සල්ලිවලට නේද? මේ ගැන ඔහු වහාම සිය සහෝදර මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතු අතර තවදුරටත් ජාතිවාදය ඇවිස්සීමෙන් වැළකී සිටිය යුතුයි.
 
ජාතිවාදය යළිත් ඇදීමට යන ‘රිවිර‘ පත්තරයේ අයිතිකාරයන් ගැන අප වහාම විභාගයක් කරනවා. ‘රිවිර‘ පත්තරයේ සිසිර පරණතන්ත්‍රී එදා මා සමග වැඩ කළ, මම ගොඩනැගූ මිනිහෙකු බව කවුරුත් දන්නවා. එම නිසා ජාතිවාදය අවුස්සන්නේ නැතුව සිය වැරදි නිවැරදි කර ගන්නැයි සිසිර පරණතන්ත්‍රිට මම කියනවා. එසේ නොමැතිව තවදුරටත් ජාතිවාදය ඇවිස්සුවොත් ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්ද කියා අප දන්නවා. 

‘ඉරුදින‘ පත්තරයත් ඒ වගේම තමයි... මේ ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමයෙන් සල්ලි හම්බ කළ අය පත්තර මිලදී ගෙන මාධ්‍ය මෙහෙයවීමට උත්සාහ කිරීමයි. සිය පත්තරවලින් ජාතිවාදය අවුස්සන මේ අය මාධ්‍ය ක්ෂේත්‍රයේවත්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේවත් නොසිටිය යුතුයි. සිය පත්තරවලින් ජාතිවාදය මෙසේ අවුස්සන මේ පත්තර හිමි ව්‍යාපාරිකයින් වහාම කොටස් වෙළෙඳපොලෙන් ඉවත් කිරීමට අප තීරණය කර තිබෙනවා. 

තොරතුරු දැන ගැනීමේ අයිතිය අප තහවුරු කරන්නේ ජාතිවාදී කෝලාහල රටේ ඇති කිරීමට මේ අයට අවස්ථාව ලබා දීමට නොවෙයි. මම ඔබලාට වැඳලා කියන්නම්... මට නම් වැඩ කරන්න එපා... මහින්ද රාජපක්‍ෂටම වැඩ කරන්න...!! හැබැයි, ජාතිවාදය අවුස්සන්න බැහැ....!!!

මුස්ලිම් ජනතාවට එදා මැර ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ දී ඊට එරෙහිව කළ ප්‍රකාශය මගින් ජනතාව කුපිත කළේ යැයි චෝදනා කරමින් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව අසාද් සාලි මහතාව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කළා. නමුත් මේ සතියේ පත්තරවල පළ කර තිබෙන ප්‍රවෘත්ති සහ ලිපි අනුව බැලුවොත් ඒ කරුණු ලිව්ව අය කෙලින්ම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ හැකියි. 

මේ සෙල්ලම තවත් නම් කරන්න එපා... මාධ්‍ය නිදහසට ගරු කරන්න....!!! ඉස්සෙල්ලාම මේ අය සිය සහෝදර මාධ්‍යවේදීන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. තමා මහින්ද රාජපක්‍ෂගේ වැසිකිලිය සෝදා මාධ්‍යවේදීන් පාවා දුන් බව ප්‍රසිද්ධියේ කියමින් මේ අය සිය සහෝදර මාධ්‍යවේදීන්ගෙන් සමාව ගත යුතුයි. ඇත්ත වශයෙන්ම හරි වචනයෙන් කියනවා නම් මේ ඇතැම් කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් කළේ සක්කිලි වැඩේනේ....!!! 

මහින්ද රාජපක්‍ෂ වගේ මම මේ පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් කැඳවා කතා කළේ නැහැ. නමුත් අප කියන මේ කරුණු කාරණා සහ අප යන මේ යහපාලන ගමන ගැන නොතේරෙන්නේ නම් ඉදිරි සතියේ දී මම මුද්‍රිත මාධ්‍යයේ අයිතිකරුවන් සහ කර්තෘවරුන් සියලු දෙනාම කැඳවනවා. මාධ්‍යවේදී සුනිල් ජයසේකර මහතා ඇතුලූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මාධ්‍යකරුවන් ද එම හමුවට කැඳවීමට මම කටයුතු කරනවා. එමෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මහා සංඝ රත්නය ද සහභාගි කර ගැනීම මගේ අරමුණයි. එවිට අපට මේ කරුණු කාරණා ගැන විවෘතව කතා කළ හැකි අතර කියන්න යමක් තිබෙනවා නම් කෙලින් කිව හැකියි. කවුරුන් හෝ මේ හමුවට නොපැමිණියහොත් ඒ ගැනත් මම බලා ගන්නවා.
 
අප යහපාලනයක් ඇති කළේ යහපාලනය අනුව ක්‍රියා කිරීමට වන නමුත් මේ අය ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමයේ රෙගුලාසි අනුව ක්‍රියා කරනවා නම් එසේ ක්‍රියා කිරීමට මටත් සිදු වනවා. 

මේ ජාතිවාදයට විරුද්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අති විශාල ජන රැළියක් පැවැත්වීමට අප කටයුතු කළ යුතුයි. ඒ වන විට යම් පත්තරයක් ජාතිවාදය තවදුරටත් අවුස්සමින් සිටියහොත් අප ඒ ස්ථානයට ගොස් ඊට එරෙහිව ගත යුතු පියවරත් ගන්නවා. අලූත් යහපාලනයත් සමග සෙල්ලම් කරන්න එන්න එපා යැයි සියලූ දෙනාටම මම කියනවා. මේ අන්තිම අවවාදයයි....!!! අප සිටින්නේ රට ලේ විලක් කිරීමට නොව ජනතාවට සාමය උදා කිරීමටයි. 

සිංහල, දෙමළ සහ මුස්ලිම් වශයෙන් ජාතිවාදය අවුස්සා ගෙන ක්‍රියා කිරීමෙන් කිසිදු පළක් ඇත්තේ නැහැ. මේ ජාතිවාදය බොරුවක්...!! ජාතිවාදයට මම විරුද්ධයි...!!! මහින්ද රාජපක්‍ෂව අගමැති කරවා දූෂණ පාලනයක් සහ පවුල් පාලනයක් ඕනෑ යැයි කියනවා නම් මට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නමුත් කවුරුන් හෝ ජාතිවාදය අවුස්සනවා නම් අප ඊට විරුද්ධ වන අතර ඊට ඉඩ තබන්නේ ද නැහැ. එසේ නම් සියලු පාර්ශ්වයන් එකට ඒකරාශී කර ජාතික සමගිය ගොඩනගා ජාතිවාදීන්ට විරුද්ධව විශාල ජන රැළියක් කොළඹ පවත්වමු.“

---------------------------
by     (2015-02-23 14:30:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Way to go Ranil, This what we need. Enough is enough if they want the bad way to learn lesson lets do it. Glad that That donkey weerawanse's wife in jail. Who ever corrupted put them in to jail including UNP's Corrupted fellow as well. You know who he is ????
-- by balaya on 2015-02-23

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links