~

රාජපක්ෂලා පලිගත් යුද හමුදා නිලධාරීන්ට සාධාරණය ඉටු කරනවා නම් එලෙසම පලිගත් නාවික හමුදා නිලධාරීන්ටද සාධාරණය ඉටු කරන්න

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.15, ප.ව.7.30) පසුගිය රජය විසින් අසාධාරණයට ලක් කළ යුධ හමුදා නිලධාරීන් සහ ඔවුන්ගෙන් බහුතරයට සාධාරණයක් ඉටුවීම පිලිබඳවත් තවත් මේජර් ජෙනරාල් රජිත ද සිල්වා මහතාට සාධාරණය ඉටු නොවීමත් ගැන ලංකා ඊ නිව්ස් වාර්තා කෙළේය.  එලෙසම රාජපක්ෂ රෙජීමය විසින් අසාධාරණයට ලක්කල නාවික හමුදා නිලධාරීන් පිලිබඳ තොරතුරු කිහිපයක් ද මෙලෙස හෙළිදරව් කරමු. 

ඉන් පළමුවැන්නා රියර් අද්මිරාල් සුසිත් වීරසේකරය. අද්මිරාල් සෝමතිලක දිසානායක 2011දී නාවුක හමුදාපති වන විට ජ්‍යෙෂඨත්වය අතින් ඊලඟට සිටියේ ඔහුය. යුධ සමයේ මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස එල්ටීටීඊයේ පාවෙන අවි ගබඩා ගිල්වීමේ මෙහෙයුමෙහි පුරෝගාමියා වුයේ ඔහුය. නමුත් 2011 වසරේ ජනවාරි මස ඔහුට මාණ්ඩලික ප්‍රධානි තනතුර ලබා නොදුන් අතර එම තනතුර වසර දෙකක් හිස්ව තබන ලදී. එසේම 2011 අප්‍රේල් මස නාවික සෙබළුන් හතර දෙනෙක් උතුරු මුහුදේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් වරද ඔහු පිට පැටවීමේ උත්සාහයක් තිබුනි. මෙම සිදුවීම සිදුවන විට උතුරේ ආඥාපති වූ ඔහු සිටියේ නිවාඩු ලබා කොළඹ ය. අවසනදී සාක්ෂි නොමැති කමින් එම චෝදනාවෙන් ඔහු නිදහස් වුනද එම පරීක්ෂණය දිග් ගස්සමින් ඔහු හට මාණ්ඩලික ප්‍රධානි ධූරය ලබා නොදෙන ලදී. 

2012 සැප්තැම්බර් මස අද්මිරාල් දිසානායක විශ්‍රාම යනවිට, රියර් අද්මිරාල් වීරසේකර වසර 53 වියේ පසු වුවද ඔහු හට නාවික හමුදාපති තනතුර නොදෙන ලදී. ඒ වෙනුවට නාවික හමුදාවෙන් විශ්‍රාම යාමට සති දෙකක් පමණක් තිබුනු ජයනාත් කොළඹගේ යන කණිෂ්ඨ නිලධාරියා නාවික හමුදාපති ලෙස පත් කරන ලදී. එම නිසා සක්‍රීය සේවයේ වසර දෙකක් ඉතිරිව තිබියදී මෙම  නිලධාරියාට සිය වසර 34 ක් අවංකව සහ කැපවීමෙන් සේවය කළ නාවික හමුදාවට සමු දීමට සිදුවිය.

මෙම සිදුවීම සියල්ල සිදුවූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදිය. මෙම පලිගැනීමට හේතු දෙකක් මුල්විය. පළමුවැන්න 2010 ජනාධිපතිවරණ සමයේ නැගෙනහිර පළාතේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට එරෙහිව එවකට නැගෙනහිර ආඥාපති වු රියර් අද්මිරාල් වීරසේකර තදින් ක්‍රියා කිරීමය. තමාට පාලනයක් නොමැති අපක්ෂපාති නිලධාරියකුට නාවික හමුදාපති ධූරය දීමට හිටපු ආරක්ෂක ලේකම් වරයා විරුද්ධ විය. දෙවැන්න ඔහුට නාවික හමුදාපති ධූරය හිමි වුවහොත් නාවික හමුදාවේ 'මාලිමා' ව්‍යාපෘති ගිණුමේ මහා පරිමාණ වංචා හෙළි වනු ඇතැයි යන බිය ය. 

කෙසේ වෙතත් මොහු වෙත නව රජයෙන් සාධාරණයක් ඉටුවන ලකුණු කලින් පහළව තිබුනද තවමත් ඒ පිලිබඳ කිසිම නිළ නිවේදනයක් කර නොමැත. ඔහුගේ වයස වසර 55ක් සහ මාස හතරක් වෙයි. නමුත් වර්තමාන ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, යුධ හමුදාපති සහ නාවික හමුදාපති යන තිදෙනාම වසර 56-57 වියේ පසුවෙති. එම නිසා ඔහු හට ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය (CDS) හෝ නාවික හමුදාපති ධූරය හෝ ලබා දීමට නීතිමය බාධාවක් නැත.

අසාධාරණයට ලක්වූ අනිත් නිළධාරියා කොමදෝරු ට්‍රැවිස් සින්නයියා ය. ඔහු ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්වලට සක්‍රීයව දායක වු අභීත දමිළ හමුදා නිලධාරියකි. නාවික ප්‍රහාරක යාත්‍රා බලඝනයේ අණ දෙන නිලධාරියා ලෙසද ඔහු ක්‍රියා කර ඇත. 2010දි බීමතින් එවකට මාණ්ඩලික ප්‍රධානී පසුව නාවික හමුදාපති වූ  සෝමතිලක දිසානායක (ජාතික රූපවාහිනියේ වත්මන් සභාපතිගේ සොයුරා) ඔහු හට ජාතිවාදී ලෙස බැන වැදී පහර දුන්නේ අශික්ෂිත ආකාරයට ය. නාවික හමුදාපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ එම සිදුවීම වුවද ඒ පිලිබඳ කිසිදු පරීක්ෂණයක් සිදු නොවීය.

2011 ජනවාරි මස අද්මිරාල් සෝමතිලක දිසානායක නාවික හමුදාපති වීමත් සමගම ඔහුට විරුද්ධව පලි ගැනීම ඇරඹුනි. කොමදෝරු සින්නයියා ඒ වනවිට රියර් අද්මිරාල් නිලයට උසස් වීමට සුදුසුකම් ලබා තිබුනද එය ලබාදීම නාවික හමුදාපතිවරයා කල් දමන ලදී. 2011 අප්‍රේල් මාසයේ නාවික සෙබළුන් හතර දෙනකු අතුරුදන් වන විට උතුරේ උප-ආඥාපති වුයේ කොමොදෝරු සින්නයියාය. ඔහුව කොළඹට ගෙන්වා රියර් අද්මිරාල් වීරසේකරට එරෙහිව බොරු සාක්ෂි දීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපති ඇතුළු අනෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු බලපෑම් කළහ. නමුත් සිය සහෝදර ජ්‍යෙෂ්ඨ නිලධාරියාව නිකරුනේ පාවා දීම ප්‍රතික්ෂේප කළ ඔහු වසර තිහක පමණ සේවය කළ නාවුක හමුදාව හැර ගියේය.

කොමදෝරු සින්නයියා දැනට විදෙස්ගතව සිටින අතර තමාව ද නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. ඔහුගේ වයස තවම වසර 52ක් වන අතර නැවත සේවයේ පිහිටුවනු ලැබුවහොත් සිය ජ්‍යෙෂ්ඨතාව මත නාවුක හමුදාපති ධූරයට හෝ (රියර් අද්මිරාල් වීරසේකර යලි කැදවනු ලැබුවහොත්) නාවුක මාණ්ඩලික ප්‍රධානි තනතුරට හිමි කම් කියනු ඇත.

මේ නිළධාරීන් දෙදෙනාටද ඉදිරි දිනවලදී නව රජයෙන් සාධාරණයක් ඉටු වනු ඇතැයි නාවික හමුදාවේ යහපාලන ලැදි කණිෂ්ඨ නිලධරීන් හා නැවියන් බලා සිටිති. 

-නාවුක හමුදා නිලධාරීන් පිරිසක්-

---------------------------
by     (2015-02-15 22:22:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links