අප්පු-ආමිගේ කොළම
(ලංකා ඊ නිව්ස් -2019.සැප්.30, ප.ව.12.30) කුඹුරට වතුර හරවන්ඩ ගිහිං මගේ රෙම්බ කැඩුනා... යි කියාගෙන ඉඳිකඩ පැනපු කිරි අත්තා උදළු කෙටිය අටුව පල්ලට උසික්ක කෙරුවේ හරියට වේසරමා වාගේ... අටුව යට අල්ප දයන්න වාගේ වකුටුවෙලා හිටපු බලුනාට්ටා මරහඬ දීගෙන දිව්ව සද්දෙට මං උඩ ගිහිං බිම වැටුනා..
අසූව පැන්නත් උන්දෑ පාන්දර පහට විතර කුඹුරට යන්නේ කොස්නැටි පේන නෙපේන වෙලාවට. ඇහි ගෙඩි දෙක හරියට නොපෙනුනත් උන්දෑ පාන්දරම කුඹුරට යන්නේ වැඩක් ඇතිවට නෙමෙයි. පුරුද්දට.. පුරුද්දෙත් කොටස් තියෙනවානේ.. කළ පුරුද්ද, දැක පුරුද්ද, පළපුරුද්ද වගේ.. උන්දෑට තිබුන ඔය ඔක්කොම..
කිරි අත්තගේ කෑගැහිල්ල ඇහිලා කිරි අම්මත් කුස්සියේ ඉඳං, ඇඳගෙන හිටපු චීත්ත කඩමල්ලෙම අත පිහින ගමං එළියට බැස්සා...
“මොකාද.. මේ මිනිහට මේ උදේ පාන්දරම වැහිලා තියෙන්නේ... මහසොහොනා වත්ද..?” කියළා කිරි අම්මා කියනවා මං අහගෙන.. මේ දවස්වල හීත කාලේ හින්ද ද කොහෙද මට හොඳ හොඳ හීන දැක දැක නින්ද යනවා... ඒත් කිරි අත්තා උදලු කෙටිය අටුව අස්සට උසික්ක කරන කොට ඒක ඇතුළේ වකුටු දකුටු වෙලා හිටපු බළුනාට්ටා මරහඬ දීගෙන දුවන සද්දෙට මං ඇහැරුනේ “හරියට ගෝඨාබය මහත්තයා ඡන්දෙ දිනලා රතිඤ්ඤා පුපුරණ සද්දෙට බයවුනා වාගේ”...
මාත් හෙමින්ම නැගිටලා කඩාගෙන හිටපු සරම තනමත්තෙන් ඇඳ ඇඳ එළියට ආවා... හීං හුජ්ජබරකුත් තිබුනත් ඒක දාන්ඩ කම්මැලිකමේ ම මං කොට්ට පිළේ ඉඳ ගත්තා...
කිරිඅත්තා මීක් නෑ...
“මොකද කිරි අත්තේ... අද නිකං දාහෙට අරං සීයට දුන්නා වාගේ..”
“සීයට... සීයට නෙවෙයි බොල සතේකට දුන්න වාගේ...කියපිය..”
උන්දෑ රුයිතෙට කතා කරන්නේ මොකක් හරි අවුලක් හින්දම තමයි.. ඒ හන්දා මං ආයේ ඕවා හගිස්සවන්ඩ ගියේ නෑ.. ඕන්නං උන්දැට ඕනෑ වෙලාවට කියයි නේ.
එහෙම හිතලා මං කුස්සියට ගියා.. කිරි අම්මා තමංගේ පාඩුවේ උයනවා...
“මොකද කිරි අම්මේ ... අරුන්ද ට වෙලා තියෙන්නේ..”
“අනේ මං දන්නෑ කොලුවෝ... ඔය කුඹුරට ගිහිං ආපු වෙලාවේ ඉඳන් ම හණපට ගෝනියේ මකුනෝ අරිනවා වාගේ පට කැවී කැවී ඉන්නේ... ඕවා අහන්ඩ යන්ඩෙපා... මේං මේ තේක අරං ගිහිං දීපං.. එතකොට ඔය මූලේ අමාරුව හොඳ වෙයි..”
මං තේ කහට කෝප්පය ගෙනැවිත් කිරි අත්තා ලඟ තබා මම ද ඉඳගෙන කහට කෝප්පය බොන්නට වුනිමි...
“මොකද කිරි අත්තේ...”
“ඇයි යකෝ බලපං... කුඹුර දැං පීදී ගෙන එන කාලේ.. තව වතුර මුර දෙකයි ලු දෙන්නේ...”
“ඊට පස්සේ...”
“ඊට පස්සෙ කියන්නේ.. ඊට පස්සේ දෝතෙං ඇදල ද කුඹුරට වතුර හරවන්නේ...”
“ඇයි කලාවැවේ වතුර නෑ කියනවාද..?”
“කලාවැවේ වතුර නෑ නේන්නං.. කලාවැවට එන වතුර පාර නවත්තලා නේ.. ඒවා මොරගහකන්දට හරවලා ඒක පුරවන්නේ...”
“ඒ කියන්නේ.. කලාවැවට වතුර නෑ...”
“ඒක හන්දා තමයි පකිස් බූරුවෝ මං මේ කෑගහන්නේ... දැං ඉතිං ඔය වතුර මුර දෙකෙන් පස්සේ අහවල් දේ ද කරන්නේ...”
“ඇයි කිරි අත්තේ.. ඔය මොරගහකන්ද හැදුවේ තුන් සිංහලේටම වතුර දෙන්ඩ නේද...?”
“තුං සිංහලේ... මගෙං හොඳ සුද්ද හිංගල අහන්නැතුව හිටපං... හැබැයි.. දැං කිසි පුරස්නයක් නෑ.. පොලොන්නරුවට නං... ඇති පදං වතුර තියෙනවානේ.. පොලොන්නරුවේ කන්න තුනම පැහෙනවා...අපි ඉවරයි.. මහවැලි එච් කළාපේ හාන්සි බයි තමයි.”
“ඉතිං දැං මොකද කරන්නේ...”
“මොනවා කරන්ඩ ද.. ඔය කුඹුරු ලබන කන්නේ වපුරන්ඩ බැරි වුනොත් ඉතිං මහ කැළේට යට වෙයි.. එතකොට ඉතිං දෙයියන්ගෙ පිහිට තමයි. බඩගින්නට කන්ඩ වෙන්නේ මයිත්තිරිපාලයාගේ ඇට දෙක තමයි..”
“කොහොම වුනත් වහියි නේ...”
“ඇයි යකෝ ... වැස්සෙන් වපුරන්ඩ නං මේ කෝටි ගණං ණය වෙලා ඇළවේලි හදන්ඩ ඕනැ ද...?”
“ඇයි එහෙනං ඕක හැදුවේ...”
“හැදුවේ.... හැදුවේ මහ එකාගේ කුඹුරු ටික වැඩ කරගන්ඩ කන්න තුනේ ම. වෙන අහවල් දේකටද...?”
“පිස්සු හැදෙනවානේ” කියු මම එළිබහින්ඩ හිතාගෙන වැව් පිටිය දිහාට ගියෙමි..කයිළ කෝටුවක් කඩාගෙන එයිං දත්වහළ්ල මදිමින් ම මම වැව් පිටිය කෙළවරට ගියෙමි..
ඔඩ හේරා වැව් පිටියේ ගාළක් අස්සේ සිට එළියට ආවේය..
“බලපං මලේ.. වෙලා තියෙන සංගෙදිය...”
“ඇයි මොකද වෙලා තියෙන්නේ... උඹෙත් කුඹුර මැරෙන්ඩ යනවද..?”
“කුඹුර මැරෙන කතාවක් නෙවෙයි යකෝ මං කිව්වේ...”
“එහෙනං..”
“මයිත්තිරිපාල මහත්තයා ලබන මහමැතිවරණෙට තරග කරනවා කියන්නේ...අගමැතිකමට”
“ඉතිං ඊට කලින් තියෙන්නේ ජනාධිපතිවරණෙ නේ.. ඒක ඉවර වෙලා ඉන්ඩ එපැයි..අනික එයා ජනාධිපතිනේ... ජනාධිපතිකමට තරඟ කෙරුවනං ඉවරණේ...”
“ඔව්..වොව්.. අතේ බලේ පෙන්නනවලු.. ලබන මහමැතිවරණෙ දී..”
“අපි නං අතේ බලේ හැමදාම පෙන්නනවනේ... කියු මම ඇයි ජනාධිපතිවරණෙට අතේ බලේ පෙන්නන්ඩ බැරිද..?”
“මොන අතක් ද? යන්ඩ අතක් වත් නැති කොට..ඒකේ තව ඉන්නෙ දහදොලොස් දෙනයි.. ඒ ටිකත් ඡන්දෙ කිට්ටු වෙනකොට පොහොට්ටුවට යනවා... ආයි දෙකක් නෑ...”
“ඕන්නං ඉතුරු වෙයි මළං කාපු ඇණ ටිකක්.. ඔය දයාසිරි, වගේ...”
“එතකොට අනිත් අය...”
“අනිත් අය..ද? කොටහක් කඩාගෙන යයි යස අගේට පොහොට්ටුවට.. අනික් අය යයි යූඇන්පියට..?”
“ඔව් ඉතිං .. එතකොට කොහොමත් අතේ බළේ... තමයි නේ... හේරෝ... උඹ කියන්නේ සිරිලංකා එක ජනාධිපතිවරණෙට එන්නැතිවෙයි කියළ ද..?”
“එන්නේ ඉතිං අහවල් කෙංගෙඩිය කන්ඩ ද..? සිරිලංකා එකේ සීයට අනූවක් විතර දැං ඉන්නේ මහින්ද මහත්තයාගේ ඔඩොක්කුවේ නේ... ආයේ කොහේද සිරිලංකාවක්..”
“එහෙම නං කොහොමද.. මහමැතිවරණෙට එනවා කියන්නේ... බැරිවෙලාවත් ගෝඨාබය මහත්තයා ජනාධිපතිවරණෙන් දිනුවොත්, මහමැතිවරණෙ දී ඔය ඉතුරු බිතුරු ටිකත් ඒකට යයි නේ..ඒක හරියට 'ගෙනා බත් ගෙඩිය නෑ.. වැහි පස්සේ දෙන්නං' කිව්වා වාගෙනේ...”
“මං උඹැහැගේ ඔය උපහැරණ දන්නෑ.. පැහැදිලි කොළා නං...”
“ඇයි යකෝ... තමං හදාගෙන ආපු බත් ගෙඩියෙං බත් අහුරක් දෙන්නැතිව කියනවාලු, ඊලඟ සැරේ වැහැලා.. කුඹුරු වගා කරළා, අස්වනු සරුවෙලා, බතක් ඉව්වට පස්සේ දෙන්නං කියළා.. ඒ වගේ තමයි...”
“ ඒකනං හැබෑව... කොහොමටත් මයිත්තිරිපාල මහත්තායගේ වැඩ හන්දා සිද්ද වෙන්නේ ඔහොම දේවල් තමයි...ඒ කියන්නේ.. අතේ තියෙන දේ අත් හැරළා.. හඳට ගල් ගහන එක.. මේ අවුරුදු පහේදීම කෙරුවේ ඕක තමයි...”
“අනේ හේරෝ.. දැන් නං මගෙ පුක විදුලි කොටනවා වාගේ.. මං ගාළට රිංගනවා... උඹේ දේශපාලන විග්ගරහය මං පස්සේ දවසක අහන්නං...”
කියමින් මම විදුලියක් මෙන් අකුළට රිංගුවෙමි...හරියට නිවං ගියා වාගේ...
මම මොහොතක් දෑස පියාගෙන කල්පනා කළෙමි
“කොහොමද අතේ බලේ.....”
---------------------------
by (2019-09-30 07:07:51)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි