(ලංකා ඊ නිව්ස් -2019.සැප්.30, පෙ.ව.6.30) ශ්රීලනිපය සහ පොහොට්ටුව අතර සන්ධානයක් ඇතිවීම තවදුරටත් අවිනිශ්චිත බව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවට එකඟවන්නේ නම් පමණකැයි ජනාධිපති සිරිසේන පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට දර්ශනයට හානිවන හෝ පාක්ෂිකයන්ට අනාගතයක් අහිමිවන කිසිදු වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹීමට සූදානම් නොමැති බව සිරිසේන අවධාරණය කළේ ඊයේ(29) පස්වරුවේ පැවති කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි.
මෙහිදී වැඩි දුරටත් කතා කළ ජනාධිපති සිරිසේන 'අද මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයේ කටයුතු කරන්නේ ද, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැදී සිටින්නේ ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා කථානායකවරයා වෙත ලබාදී ඇති ලිපියෙන්' බව ද සිහිපත් කර සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දුර්වල වී ඇති බවට කවුරුන් කෙසේ කීව ද ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත්වීමට කුමන අපේක්ෂකයකුට වුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව පැවසූ සිරිසේන ඊළග ජනාධිපතිවරයා පත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අනුව බව කිසිවකු අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉලක්කය වන්නේ අද තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉදිරියේ දී බලතල නැති ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට වඩා බලතල ඇති ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා 2020 දී පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම බව ද ඔහු කීය.
වත්මන් ආණ්ඩුව තුළ අද පවතින ගැටුම අග්‍රාමාත්‍යවරයා හා තමා අතර පවතින පුද්ගලික ගැටුමක් නොව නව ලිබරල්වාදී දේශපාලන ප්‍රතිපත්තියක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජනතාවාදී දේශපාලන ප්‍රතිපත්තිය අතර තිබෙන ගැටුමකැයි ද සිරිසේන පැවසීය.
අග්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට තමා කටයුතු කළ ද, ඔවුන් භාරගත් කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට ඔවුන්ට නොහැකිවීම තමාගේ ගැටලුවක් නොවන බව ද සිරිසේන අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන දිස්ත්‍රික් සමුළු මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පාක්ෂිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (29) පස්වරුවේ හෙට්ටිපොළ මහජන පොළ භූමියේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ඇතුළු ආණ්ඩුකාවරුන් ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රැසක් මීට එක්ව සිටියහ.
---------------------------
by (2019-09-30 01:29:31)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි