~

“හූ මුත්තා....”

අප්පු-ආමිගේ කොළම

(ලංකා ඊ නිව්ස් -2019.සැප්.20, ‌පෙ.ව.9.45) “හූ මුත්තා” යනු මගේ මතකයේ  හැටියට අපේ ගමේ ජීවත් වූ වයස අවුරුදු 90ක් පමණ වයසැති තැනැත්තෙක්. ඔහුට “හූ මුත්තා” යැයි මිනිස්සු හැඳින්වුවද, ඔහු ගේ නම “රණී ගේ බණ්ඩා” ය. “රණී” යනු හූ මුත්තාගේ මවයි. බොහෝවිට ගම්වල ගැමියන්ගේ නම් යොදා ඇත්තේ තාත්තාගේ නම හෝ වාසගමෙන් වුවත් මේ බණ්ඩාට  නම යොදා ඇත්තේ අම්මාගේ නම මුල් කර ගෙන වීම ද සුවිශේෂත්වයකි.

කෙසේ වුවද, රණී ගේ බණ්ඩා හෙවත් “හූ මුත්තා” අපූරු ගැමියෙකි. අඩි හතරහමාරක් පමණ උස ඔහු දකින විට මට මතක් වන්නේ පිග්මි මිනිසෙකි. කුඩා ශරීරයකින් හෙබිය ද ඔහු සටකපට කමින් අනූන පුද්ගලයෙකි. කොණ්ඩය පස්සට පීරා කොන්ඩ කුරුච්චියක්  හිස පසුපසට බැඳ සිටියේය.  පොල්ළෙල්ලක් මෙන් මුහුණට නොගැළපෙන ඝන රැවුළක් ද හිමි “හූ මුත්තා”  හකුපාඩා දෙක දෙපැත්තෙන් ඉදිරියට නෙරා විත් තිබුන ද, ඔහුගේ කම්මුල් වළ ගැසී තිබීම නිසා හකු ඇට මනාව කැපී පෙනේ.

ඒ නිසා හූ මුත්තාගේ මුහුණ තුළ වුයේ විකාර පෙනුමකි.

ගමේ මිනිස්සු ඔහුට “හූ මුත්තා” යැයි කිව්වේ ඇයි ද කියා මම නොදනිමි. එහෙත් අපේ අම්මාගෙන් මා ඒ ගැන ඇසූ විට ඇය මට” ඒ මනුස්සයාට ඈතට ඇහෙන්ඩ හූ කියන්ඩ පුලුවන් “ යැයි පැවසුවාය.

“කොච්චර දුරකට ද…” මම ඇසීමි..

 “මං ඒ මිනිහා හූ කියන කොට දුර මැන්නද..? උඹත් අහන්නේ මාර ප්‍රශ්න නේ පුතේ “ යි කියු අම්මා මා දෙස ඔරවා බැලුවාය..

“එහෙනං අම්ම කිව්වේ දුරට හූ කියනවා කියළා...”

“මං කිව්වේ මිනිස්සු කියන ඒවා... අනික ඔය මිනිහා හූ කියනවා මං අහළා තියෙනවාද...”

මම කට පියා ගත්තෙමි..

දිනක් හූ මුත්තා අපේ ගෙදර  ඉදිරිපිට ඇති දෙවට දිගේ වැව දෙසට යනු මම දුටුවෙමි..

මම එක්වරම “හූ මුත්තේ... හූ මුත්තේ” යැයි ඔහුට අඩගැසීමි..

හූ මුත්තා එක්වරම මා දෙසට හැරී මා දෙස බලා  අල්ල පිට අල්ල තබා ගසා නැවතත් ගමන් කළේය...

මම හූ මුත්තා යැයි කියනු අසා අපේ අම්මා එක්වරම කුස්සියේ සිට දිව ආවාය.. එසේ පැමිණි ඇය මගේ එක් කණක් වැරෙන් මිරිකූයේය...

 “ආයේ.. ඔය වචනේ කියළා තිබුනොත් මම උඹේ කට කඩනවා” යැයි කියු ඇය පන්සල් ටොක්කක් මගේ හිස් මුදුනට සංග්‍රහ කළාය. පන්සල් ටොක්ක යැයි කියන්නේ අතේ මැදගිල්ලඉදිරියට නෙරා එන සේ මිට මොළවා එම ඇගිල්ලෙන් පමණක් හිස් මුඳුනට ටොක්ක ඇනීමය.. මට ඇස් දෙකෙන් දුම් පිටවෙනවා මෙන් දැනිනි..එහෙත් එවකට කුඩා මට අර මනුස්සයාට හූ මුත්තා යැයි කීම නිසා අම්මා ට තරහා ගියේ ඇයි දැයි මම නොදත්තෙමි.

එහෙත් මා උස්මහත් වු පසු ද මේ හූ මුත්තා ගැන වූ මා තුළ වු අපුරු මතකය වරින් වර නැගිනි.. දැන් හූ මුත්තා වියපත් තැනැත්තෙකි.. මම වෙනත් වැඩිහිටියෙක් සමග කතා කරමින් සිටින මම ඔහුගෙන් හු මුත්තා ගැන විමසීමි...

“ඕකා මහ අණ්ඩපාලයා...රට කාලා වතුර බීලා ඉන්නේ...”

“ඒ කියන්නේ...”

“මං ඔයාට හොඳ කතාවක් කියන්නම්.. දැන් ඔය කොළදිං කාලෙට, ඒ කියන්නේ ගොයං කපන කාළෙට කුඹුරු පිටි නැති මිනිස්සු වෙග්වලට බැහැලා වැටිලා තියෙන කරල් කඩ අහුලනවා දන්නවානේ.. ඔය මිනිහත් කරළ් කඩ අහුලන්ඩ යනවා.. ගිහිං  තවමත් ගොයම් කපළා නැති කුඹුරුවලින් හොරෙන් කරළ් කපළා  ගෝනියකට දා ගන්නවා.. ඊට පස්සේ කුඹුරු අයිතිකාරයා හම්බවෙලා කියනවා අද දවල් මං දැක්කා කවුදෝ එකෙක් උඹේ කුඹුරෙන් කරළ් කපනවා... ගිහිං බලාපං කියළා...”

“ඉතිං...”

“ඉතිං අර මනුස්සයා අහනවා... උඹට ඒකා අඳුරන්ඩ බැරි වුනාද කියළා..හූ මුත්තා කියනවා.. අනේ රත්තරනේ මං කොහොම අඳුරන්ඩද..? මගේ ඇස් ඈත පේන්නෑනේ කියළා...ඒ කොහොම වුනත් අර කුඹුර අයිතිකාරයා ගිහිං බලපුවාම ඇත්තටම කුඹුරේ ලියැදිවලින් ගොයං කරළ් කපලා... පස්සේ හූ මුත්තා හම්බවෙලා කියනවා.. බණ්ඩෝ උඹ කියපු කතාව ඇත්ත.. මගේ කුඹුර කපලා තමයි.. උඹට පිං මට මේක කිව්වට කියළා... තව කීයක් හරි අතට දෙනවා...කුඹුර හොරෙන් කපලා වී ගන්නවා විතරක් නෙවෙයි, ඒ ගතු කියළා සල්ලිත් ගන්නවා... ඒකයි මං කිව්වේ ඕකා මහ අණ්ඩපාලයා කියළා...”
 
හූ මුත්තා මේ ආකාරයට ජීවත් වුනත් ඔහුට හූ මුත්තා  යැයි මම කියු විට අම්මාට තරහා ගියේ ඇයි ද යන්න මට අවබෝධ වුයේ පසු කළෙක දීය... ඇත්තටම ඒ නම ඔහුගේ නියම නම නොවේ.. එය අන්වර්ථ නාමයකි.. ඔහුට එම නම ගැමියන් විසින් දී තිබුනේ ඔහු විසින් කරන ලද අශික්කිත වැඩ කන්දරාව නිසාය.. ඔහුගේ නම ගැමියන්ට කුණුහරුපයකි. 

හූ මුත්තා ගැන පොතක් ලිවීමට තරම් කාරණා මා සතුව ඇතත්, මට මේ හූ මුත්තා ගැන එක්වරම මතක් වුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නෙළුම් කුළුණ අරබයා කළ ප්‍රකාශයත් සමගය. ඔහු කියා සිටියේ ණයට ගත් මුදලකින් ඉදි කළ එම කුළුනෙනුත් 2012 දී මහින්ද රාජපක්ෂලා රුපියල් කෝටි 200ක් යටිමඩි ගැසූ බවයි. 

බැලු බැල්මට රාජපක්ෂලා රට සංවර්ධනය කිරීමට වැඩ කළේය... කප්පරක් ණයට ගෙන පුරාජේරුවට වැඩ කළත්, අවසානයේ ඒවායින් වැඩි මුදලක් ගසා කා තිබේ.. එකපැත්තකින් හොඳ නාමය ගත්තත්, අනෙක් පැත්තෙන් ගත් විට ඔවුන් නීලකාශ හොරුන් පිරිසක් බව මහජනතාවටම වැටහේ. රාජපක්ෂලාගේ සංවර්ධන කෙරුවාවත්,  හූ මුත්තාගේ කෙරුවාවත් අතර වෙනසක් නැත.

ජනපති මෛත්‍රී විසින් කළ එම ප්‍රකාශය  සැබවින්ම  සිදු කළේ පොහොට්ටු පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීලග ජනාධිපතිවරණයට ඒකාබද්ධවීමේ සාකච්ඡා සිදුවෙමින් පවතින අතරතුරදීය.. දැනට එම සාකච්ඡා අසාර්ථක වී ඇත්තේ පොහොට්ටු ලාංඡනය පිළිබඳ ගැටලුව නිසාය. එමනිසා ජනාධිපතිවරයා පොහොට්ටු ලාංඡනය කුඩුපට්ටම් කර දැම්මා පමණක් නොව මහින්ද රාජපක්ෂ යනු “හූ මුත්තෙක් බව”  මුලු රටටම පෙන්වා දුන්නේය...

පසුව දින දෙකකට පසුව මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නිකුත් කර තිබු ප්‍රවෘත්ති නිවේදනය මගින් පෙන්වා දී තිබුනේ “අසල්වැසියාගේ අලුත් වාහනයට ඉරිසියාවෙන් කළ ගල් ගැසීමක් හා සමාන” යැයි පවසමිනි.

ඇත්තටම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කවුදැයි තවමත් කිසිවෙක් තේරුම් ගෙන නැත.. 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වු පසුව ඔහු කිසිදිනෙක පරාජය කළ නොහැකියැයි පාරම් බෑ මහින්ද රාජපක්ෂ මහතාව උස්සා පොළවේ ගැසීය.. ඔහු සමග එකට බිත්තර ආප්ප කා ඉන් පහුවදාම පොදු අපේක්ෂකයා වි මහින්ද යනු “හූ මුත්තෙක් පමණක්” බව ඔහු පෙන්නුම් කළේය. 

එපමණක් නොව ඉන්පසුව  බලයට කෑදර කමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වී, ඉන්පසුව එහි පොහොට්ටු පක්ෂය අටවාගෙන එහි නායකයා වශයෙන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක වශයෙන් දෙපිට කාට්ටු රංගනයක යෙදුනේය. 2018 ඔක්තෝබර් 26 වනදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර  මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් කළ  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දින 52කට පසු නැවතත් රනිල් අගමැති කරමින් මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වරටත් උස්සා පොළවේ ගැසීය. 

ඉන් පසුව සම්බන්ධන්ලාට දී තිබු විපක්ෂ නායකකම ද හොරකම් කර ගත් මහින්ද ලා දැන් ජනාධිපතිවරණෙට සම්බන්ධන් ලා පසුපස යමින් සහාය දෙන ලෙස ඉල්ලා සිටින්නේ හතර විළිලැජ්ජාව ගැවිලාවත් නැති හෙයිනි. 

තමන්ට හා පවුලේ අයට මෙන්ම සහෝදර සහෝදරියන්ට එල්ල වී ඇති කප්පරක් නඩු හබ වලින් මිදීම සඳහා අටවා ගත් පොහොට්ටු පක්ෂයේ ඵල නෙලන්නට ලක ලැහැස්තිව සිටි අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නැවතත් තුන්වන වරටත් මහින්ද රාජපක්ෂ මහතාව අට ඉස්බක් උඩට ඔසවා හතර ගාතයෙන් පොළවේ ගසා දමා තිබෙන්නේ පොහොට්ටුව දකින විට හොරෙක් දකින ගානට එම පක්ෂය වට්ටවමිනි.

ඇත්තටම මේ  සිදු කරන්නේ කුමක්ද?  සිදුවන්නේ කුමක්ද? අන් කිසිවක් නොව මම මුලින් කි පරිදි අපේ ගමේ “රනීගේ බණ්ඩා උන්දා” විසින් දුන් ගේම් සිහිපත් කරමින් ගමේ මිනිස්සු ඒ මනුස්සයාට “හූ මුත්තා” යැයි කියන්නා සේ, මහින්ද ද “හූ මුත්තෙක් “ බව මහජනතාවට ඒත්තු ගන්වමිනි. 

රනීගේ බන්ඩා උන්දා කුඹුරකට පැන ගොයම් අහුරක් කපා ගෙන බඩවියත රැක ගත්තා මෙන් නොව රටේ ජාතික ධනය කෝටි ගණනින් ගසා කෑ මහින්දලා ට දිය යුතු අන්වර්ථ නාමය “හූ මුත්තා” යන්න මෙන්  ප්‍රමාණවත් දැයි මට තේරෙන්නේ නැත. තම පුතුන්ගේ මගුල් උත්සව  සති ගණන් පවත්වමින් දහස් ගණනකට කෑම බීම දෙමින් වැය කරන්නේ කාගේ මුදල් දැයි සෙවිය යුතුය.

අම්මගේ හා තාත්තාගේ සොහොන් දෙකවත් හදන්නට මුදල් නැතිව සිටි ඔවුන් එම සොහොන් දෙක ද හැදුවේ මහජන මුදලිනි. එහෙව් පුද්ගලයින් සති ගණන් මගුල් කන්නේ කාගේ මුදල් වැය කරමින්දැයි මහජනතාව අවබෝධ කර ගන්නා විට මහින්ද අපේ ගමේ හූ මුත්තා ගණනට වැටීම නොවැළැක්විය හැක්කකි.  

එහෙත් ජනපති මෛත්‍රී කළයුත්ත කර ඇත.

පොළොන්නරුවේ අප්පු- ආමි ලියයි 

---------------------------
by     (2019-09-20 04:29:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links