තුෂාරා වන්නිආරච්චි ලියයි
(ලංකා ඊ නිව්ස් -2019.අගෝ.16, ප.ව.8.45) ලක් වැසියන් චීනය දෙස බලන්නේ ඇමෙරිකාව දෙස බලන කෝණයෙන් නොව පහන් සිතිනි, තමන්ගේ එකම ගැලවුම් කරුවා ලෙසිනි. පසුගිය මැයි මාසයේ චීනයේ සංචාරය කළ ජනාධිපති සිරිසේන චීනය සමග ගිවිසුම් 3 කට අත්සන් කළේ රටේ කිසිදු විරෝධයකින් තොරවය . නමුත් එම ගිවිසුම් අතර වූ චීන- ශ්‍රී ලංකා ආරක්ෂක ගිවිසුම කෙස් කෙලින් කරන එකකි. එම ගිවිසුම් අනුව බදු හෝ සින්නකර අයිතිය හිමි දේපල වල ආරක්ෂාවට චීන සොල්දාදුවන් එවිය හැක, ඔවුන්ගේ ජීවිත සහ දේපල වල ආරක්ෂාවට බුද්ධි තොරතුරු විමර්ශනය කළ හැකිය.
ලක්ෂ 3 කට ආසන්න චීන කම්කරුවන් මෙරට සේවයේ නිරත බව මෑතකදී ජනාධිපති සිරිසේන ප්‍රකාශ කළේය .කොළඹ වරාය නගරය චීනය සතු දේපලකි, හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රිත අක්කර 15000 දහසක් චීනය සතු දේපලකි.මෙම භූමියේ චීන කොඩිය ඔසවන්නේ සිංහ කොඩියට ඉහලිනි, තවත් අවස්ථා වල සිංහ කොඩිය ඇත්තේම නැත. වරාය චීනයට පැවරීමට පෙර පාසැල් ළමෝ වැල නොකැඩී එය බැලීමට පැමිනියහ . වරාය අත්පත් කරගැනීමෙන් පසු එය මහජනයාට තහනම් කලාපයක් විය. දැන් එහි ක්‍රියාත්මක වන්නේ චීන අණය.
මෑතකදී චීන සිගරැට් ගෙන්වීමට යෝජනාවක් ඉදිරිපත් විය. ලංකා භූමියෙන් කුඩා ඒකකයක චීන අණ ක්‍රියාත්මක වනවාට අමතරව සමස්ථ පාලනයට චීනය විසින් සිදු කරන බලපෑම මින් මොනවට පැහැදිලි වෙයි. හොං කොං යනු බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ දේශයකි. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමත් සමගම හොං කොං ඇමෙරිකානු සහ චීන චරපුරුෂයන්ගේ කෙලි බිමක් විය. ලෝක බලවතුන්ගේ ගොදුරු බිමක් වූ හොං කොං දේශයට අත් වූ ඉරණම අනාගතයේදී ශ්‍රී ලාංකිකයන්ට අත්වීමේ ඉඟි දැන් දැන් පහල වෙමින් ඇත.
චීනයේ දකුණු දිග වෙරළට මායිම්ව හොංකොං රාජ්‍යය පිහිටා ඇත. වර්තමානයේ හොං කොං රාජ්‍යය දෙකොන පත්තුවූ විලක්කුවක් බවට පත් වී ඇත. ඊට හේතු වූයේ චීන පරිපාලනය විසින් හොං කොං කලාපයට බලපාන පරිදි හඳුන්වා දුන් උදර්පන නීතියකි. එම නීතිය අනුව චීනය විසින් ඉල්ලා සිටින සැකකරුවන් බේජිං පාලනයට භාර දිය යුතු වන්නේය.
හොං කොං දේශයේ ජනගහනය 7,141,106කි. ඉන් 93% චීන ජාතිකයන්ය. මෑතකදී ගෙන ආ උදර්පන නිතියට එරෙහිව මිලියන එකක්, එනම් ජනගහණයෙන් හතෙන් එකක් පාරට බැස ආරම්භ කළ දැවැන්ත උද්ඝෝෂණ වල නිරත වන්නාහ . උදර්පන පනත Extradition Bill නම් කූට චීන දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව ආරම්භ වූ මෙහි පිටුපස තවත් කතන්දර ගොඩකි.
මෙය බොහෝ ලාංකිකයන්ට අපැහැදිලි කරුණකි. හොං කොං යනු චීනයේ තවත් නගරයක් නොව, වෙනම රටක් යයිද කිව නොහැකි “විශේෂ පරිපාලන කළාපයකි”. (Special Administrative Region). බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති හොං කොං රාජ්‍ය චීනයට පවරා දුන්නේ ස්වාධීන රාජ්‍යක් ලෙස ඔවුන්ට පැවැත්මක් ලබා දෙන බවට වූ පොරොන්දුවක් මතය. ඒ අනුව විදෙස් ප්‍රතිපත්ති සහ ජාතික ආරක්ෂාව හැර අනෙක් සෑම කරුණකදීම ස්වයං නිර්ණය සහ ස්වයං පාලන අයිතිය ඔවුන්ට හිමි විය. වෙනම දේශ සීමා, වෙනම ආගමන විගමන ප්‍රතිපත්ති, ස්වාධීන නීති පද්ධතියක්, සුළු ව්‍යවස්ථාවක් සහ ව්‍යවස්ථාදායක සභාවක් හිමි විය.
නමුත් චීනය 1997 සිටම හොං කොං මුළුමනින්ම චීන පාලනයට නතු කර ගැනීම සඳහා රහස් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කළේය. ව්‍යවස්ථා දායකයට චීනයට හිතැති සභිකයන් පත් කිරීමටත්, කුමන්ත්‍රණ හරහා ඔවුන්ට එරෙහි සභිකයන් බලයෙන් පහ කිරීමටත් වග බලා ගත්හ.
මානව හිමිකම් ගරු නොකරන චීන පාලකයන්, හොං කොං සිවිල් ක්‍රියා කාරීන් පැහැර ගත්හ. චීන න්‍යාය පත්‍රයට තර්ජනයක් වන මාධ්‍යවේදීන්, දේශපාලන ක්‍රියාකාරීන් සහ ව්‍යාපාරිකයන්ට පවා මේ ඉරණම අත්විය. දරුණු ප්‍රවෘත්ති වාරණයක් ක්‍රියාත්මකය. විරුද්ධවාදීන් දඩයම් කිරීමට චීන රජය මාෆියා ඒකක යොදා ගනියි. සිවිල් වැසියන් අතර සොල්දාදුවන් සැඟවීම තවත් බිහිසුනු ක්‍රීඩාවකි.
චීන මධ්‍යම රජය හඳුන්වා දීමට යන මෙම නව පනත හරහා චෝදනාවකට ලක්වූ ඕනෑම පුද්ගලයකු චීනය වෙත රැගෙන ගොස් එහි රිමාන්ඩ් භාරයේ තබා නීතිය ක්‍රියාත්මක කිරීමට චීනයට බලය හිමි වේ. මෙය පැහැරගැනීම් නීත්‍යානුකූල කිරීම සඳහා ගත් කූට උපක්‍රමයක් නොවන්නේද?
පනතට විරෝධය දැක්වීමට සහ විරෝධතාකරුවන්ට සහය පළ කිරීම සඳහා මේ වන විට 5 දෙනෙකු ප්‍රසිද්ධියේ සිය දිවි නසා ගෙන ඇත. විටින් විට සිදු වන පහර දීම්, කඳුළු ගෑස් ප්‍රහාර සහ ගැටුම් වලින් විශාල පිරිසක් තුවාල ලබා ඇත.
වසර ගණනාවක් පුරා චීනයේ කෲරත්ව දඩමිමා කොට ගනිමින් තරුණ ක්‍රියාකාරීන් මෙහෙයවන්නේ CIA සංවිධානය විසිනි. ‘එක් තීරයක් , එක් මාවතක්’ ව්‍යාපෘතිය හරහා ආසියාව සිය භූ දේශපාලන හස්තයට නතු කර ගැනීමට දඟලන චීනය ඇමෙරිකන් කඳවුරට අභියෝගයකි. චීනය එලිපත්තේ පිහිටි හොං කොං දේශය තුල ඇමෙරිකාව නිරතව සිටින්නේ අමුතුම සූදුවකය . ඇෆ්ඝනිස්ථානයෙන් පසු හොං කොං නම් මොවුන්ගේ ඊලඟ කෙළි බිම ශ්‍රී ලංකාවද ?
චීන මකරාට සහ ඇමරිකාවට මැදි වූ හොං කොං රාජ්‍ය අපට නිහඬ අනතුරු ඇඟවීමක් කරයි. ලංකාව අද චීන ණය උගුල් දේශපාලනයේ ගොදුරක් වී ඇත. මුලින් සිතුවේ චීනය මැදිහත් වන්නේ ආර්ථිකමය කටයුතු වලට පමනක් කියාය. නමුත් දැන් දැන් ඔවුන් ආරක්ෂක කටයුතු වලට මැදිහත් වන අයුරු පැහැදිලිය. සිරිසේන චීනය සමග අත්සන් කල ආරක්ෂණ ගිවිසුම මීට උදාහරණය.
මෙවන් පසුබිමක් තුල අමෙරිකාව නිහඩ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටින්නේ යයි සිතීම මුලාවකි. චීන ‘එක් මාවතක් එක් තීරයක්’ ව්‍යාපෘතියට එරෙහි ඇමෙරිකන් සැලසුමක් ඇත . ඒෂියන් අෆ්‍රිකා ග්‍රෝත් කොරිඩෝ ලෙස හඳුන්වන්නේ එකී සැලසුමය. අත්පත් කරගැනීමේ සහ හරස් සේවා සැපයීමේ ගිවිසුම , සෝෆා, මිලේනියම් චැලේන්ජ් යනු බිම් මට්ටමේ ක්‍රියාන්විතයන්ය .
(සේයාරුව ෂින්හුවා)
---------------------------
by (2019-08-16 15:24:09)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි