තුෂාරා වන්නිආරච්චි ලියයි
(ලංකා ඊ නිව්ස් -2019.අගෝ.12, පෙ.ව.7.20) පොහොට්ටු සම්මේලනයේ වේදිකාව තනා තිබුනේ මැදමුලන වලව්වේ ස්වරූපයටය. රාජපක්ෂ පවුලේ දේශපාලන බලය කිසිදු අවස්ථාවක බන්දේසියක තබා අනුප්‍රාප්තිකයාට පිරිනමා නැත. ඉතිහාසය තුල අනුප්‍රාප්තිකයා විසින් බලය ලබා ගත්තේ ඔහු විසින් දියත් කරන ලද මාරාන්තික අරගලයක් තුලිනි. කොන්දගල රාජපක්ෂලාගෙන් මැදමුලන රාජපක්ෂලා බලය ගත් ආකාරය මීට උදාහරණ ලෙස ගත හැක. කොන්දගල නිවසින් බලය ඩැහැ ගැනීමට මහින්දලා මිනී මැරූහ , සාපරාධී අපහාස කළහ , හිරේ විලංගුවේ වැටුනහ. ප්‍රජා අයිතිය නැති කර ගත්හ.
ගෝටාබය ජනපති කැම්පේන් එක ආරම්භ කලේ 2016 මුල් භාගයේදීය. රාජපක්ෂලා අතර වැඩිම ඉල්ලුමක් තිබුනේ ගෝටාබයටය. නමුත් මහින්ද එය නොදැක්කා සේ සිටියේය. ගෝටාබයගේ කැම්පේන් එකට මහින්ද කිසිදු අවස්ථාවක අශිර්වාද නොකලේය. නමුත් මහින්ද පෙරලූ බාල්දි , කියපු කට කැඩුනු කථා එමටය . එසේ වුනා කියා ගෝටා ද සටන අතහැරියේ නැත. ගෝටා ගේමට ආවා කියා මහින්ද සැලුනේ ද නැත. අගෝ 11 සිදුවූයේ බලය අරඹයා වු මැදමුලන සටනේ දී මහින්ද පියවරක් පසුපසට ගැනීමය. ගෝටා පියවරක් ඉදිරියට තැබීමය. නමුත් සටන ඉදිරියටත් ක්‍රියාත්මකය.
ගෝටා ජනපති කැම්පේන් එක පටන් ගත් මුල් අවධියේදී මහින්ද ඊට ආශිර්වාද නොකලේ මූද හත් ගව්වක් තියා අමුඩ ගැසීම ඵල රහිත නිසා යැයි කෙනෙකුට තර්ක කල හැකිය. මහින්ද නිසි වේලාව පැමිණෙන තෙක් සිටියා යැයි ද කිව හැකිය. 2020 මැතිවරණයට තව මාස හතරකටත් වඩා ඇත. නාම යෝජනා කැඳවීමට ද තව මාස ගණනාවක් ඇත . සිරිසේන ජනපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළේ 2014 නොවැ 14 දිනය. එනම් ජනපතිවරණයට දින 55 කට පෙරය. 1989 දී ප්‍රේමදාස 2005 දී මහින්ද අපේක්ෂකයන් ලෙස ප්‍රකාශයට පත් කලේද ජනපතිවරණයට දින 55-60 කාල පරතරයක් තබමිනි. එසේනම් හතර වටේ නඩු තිබෙන ගෝටා අපේක්ෂකයා ලෙස පත් කිරීම කල් වැඩි නොවේද?
ගෝටාබය එරෙහිව මෙරට අධිකරණ වල පමනක් නොව පිටරට අධිකරණ වලද නඩු ගොනු වී ඇත . ගෝටාබයට එරෙහිව ගොනු වී ඇති සොහොන් නඩුවෙහි ඔප්පු කිරීමට දෙයක් නැත. මක්නිසාදයත් රජයේ මුදල් භාවිතා කොට සොහොන තැනූ බව ගෝටාබයම පිලිගෙන ඇති නිසා ය. රජයේ මුදල් සතයක් හොරකම් කළ ද කෝටියක් හොරකම් කළ ද දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම නිශ්චිත ය. මුදල් හොරකම් කොට අසුවුවහොත් 'සොරි' කියා ගෙවා දැමිය හැකි ක්‍රමවේදයක් නොමැත. නීතියේ ප්‍රතිපාදන අනුව නම් ගෝටාබයට ගැලවුමක් නැත. ඇස් වැසූ නීතියේ කන්‍යාවියට චූදිතයා කළ වරද සහ ඊට අදාල සාක්ෂි මිස ඔහුගේ දේශප්‍රේමය අදාල ද නැත.
පසුගියදා මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට වූ ගාමිණි සෙනරත් එරෙහිව විශේෂ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තින්දුව ප්‍රකාශයට පත් විය. ලිට්රෝ සමාගමේ රු මිලියන 500 ක් අවභාවිතා කිරීම යටතේ පවරා තිබූ නඩුවෙන් ඔහු නොදොස් වී නිදහස් විය. ඒ අනුව අධිකරණය ස්වාධීන යයි රාජපක්ෂවාදීන් පවා පිලිගත්හ. ගෝටාබයගේ සොහොන් නඩුව කල්දමා ඇත්තේ ඔක් මස පළමු වැනිදා තෙක් පමනි. එනම් එතැන් පටන් නඩුව යලි විභාගයට ගත හැක . නාම යෝජනා භාරගන්නා දිනය වන විට මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට ඕනෑ තරම් කල් ඇත. එසේ වුව හොත් ගෝටාගේ හිස් තැන පුරවන්නේ කවුද ? ගෝටා යනු නාමල් වෙනුවෙන් ශිරන්ති නමැති නිධානය ගොඩ දැමීම සඳහා දුන් බිල්ලක්ද?
---------------------------
by (2019-08-12 02:01:35)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි