~

“ඉස්කෝල වහන්නලු.. හැබැයි කල් නොදමා මැතිවරණ තියන්නලු..” - ඒකාබද්ධයේ මලබද්ධ ප්‍රකාශ ‌හෙවත් හිස්බුල්ලාට විරුද්ධ වීම සහ ෂරියා විශ්ව විද්‍යාල අවලාදය

-සල්පිටියේ ධම්මදස්සි හිමි‌යෝ ලියති-

(ලංකා ඊ නිව්ස් -2019.මැයි.11, ප.ව.11.00)  පොළොන්නරුව - මඩකලපුවේ පාරේ අක්කර 100 ක පමණ ඉඩමක ඉදි කර තිබෙන මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය යැයි කියන හිස්බුල්ලා ගේ විශ්ව විද්‍යාලය නැරඹීමට මීට වසරකට පමණ පෙර මම එහි ගියෙමි. එහිදී හිස්බුල්ලා මහතා මෙන්ම ඔහුගේ පුතා ද මට හමුවිය. නමුත් එහි උපකුළපතිවරයා යැයි හිස්බුල්ලා පවසන සිංහල බෞද්ධ මහාචාර්යවරයා කවුදැයි ඔහු මට හඳුන්වා දුන්නේ නැත.

මඩකලපුව යනු දුශ්කර ප්‍රදේශයකි. එමෙන්ම මෙහි යම් විශ්ව විද්‍යාලයක් ඉදි වන්නේ නම් එහි ඇති වරදක් මම දකින්නේ නැත. මම හිස්බුල්ලාගෙන් විමසා සිටියේ මෙහි උගන්වන විෂයයන් මොනවාද? කියායි. ඔහු මට ප්‍රකාශ කළේ “හාමුදුරුවනේ .. අපේ රටේ විශ්ව විද්‍යාලවල සිලබස් අනුව තමයි මම මේකේ උගන්වන්න සැලසුම් කරළා තියෙන්නේ” කියායි.

“මේ වගේ විශ්ව විද්‍යාලයක් හදන්න ඇයි හිතුවේ”…. මම ඔහුගෙන් ඇසීමි.. මම එම ප්‍රශ්නය ඇසුවේ අන් කිසිවක් නොව සල්ලි තියෙනවා නම් ඕනෑ බිස්නස් එකක් කරන්නට මුස්ලිම් ව්‍යාපාරිකයින් පැකිළිමක් නොදක්වන හෙයිනි. නමුත් අපගේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා නම් ඕනෑම අටමගලයක් විකිණීමේ හැකියාවක් මුස්ලිම් ව්‍යාපාරිකයින් සතුව පවතින නිසාය. අනෙක් කරුණ නම් ඒ ඕනෑ අටමගලයක් වික්කත්, අධ්‍යාපන කඩ පවත්වාගෙන යාමට මුස්ලිම්වරු බොහෝමයක් අකැමැති නිසාය.

“හාමුදුරුවනේ... මම මඩකලපුවේ ඉස්කෝලේ යනකොට මට දාගෙන යන්ඩ සෙරෙප්පු දෙකක්වත් තිබ්බේ නැහැ. එහෙම මනුස්සයෙක් මම. මම කුඩා කාලේ ඉඳලා හිතපු දෙයක් තමයි දුප්පත් ළමයින්ට ඉගෙන ගන්ඩ පුලුවන් අධ්‍යාපන ආයතනයක් මම හදනවා කියළා.. ඒ හීනේ තමයි මේ..”

නූල් සූත්තරකාරයා..

එදා මට ඔහු ඡායාරූප කිහිපයක් පෙන්වීය. ඒවායේ හිටියේ එම  විශ්ව විද්‍යාලය ඇරඹීමට දායක වෙච්ච, ඊට අනුමැතිය දුන්න, ශරියා නීතිය අනුව ක්‍රියාත්මක වීම වරදක් නොවන බව කියමින් ඊට උඩගෙඩි දුන් රාජපක්ෂ ආණ්ඩුවේ උපාසක මහත්තරු ටිකය. ඒ අතර ඩලස් අළහප්පෙරුම නැමැති නූල් සූත්තරකාරයා ද විය. මේ දේශපාලන ව්‍යුහය තුළ සිටින භයානකම හා කපටිම දේශපාලනඥයා කවුදැයි මගෙන් කවුරුන් හෝ ඇහුවොත් මම කියන්නේ ඔහු ඩලස් අලහප්පෙරුම බවයි. ඒ තරමට ම ඔහු කපටිකමින් පරිපුර්ණ අයෙකි. දකුණේ යැයි කියමින් පපුවට ගසා ගනිමින් මැරෙන්න හදන ඔහු, මේ වනවිට ඇමැති තනතුරු ගණනාවක් දරා ඇතත්, දේශපාලනයේ දශක ගණනාවක් සිටියත් අඩු තරමින් ඔහු මාතර දිස්ත්‍රික්කයේ හදපු බෝක්කුවක්වත් අපිට දකින්නට නැත. නිතර දෙවේලේ මාතර යන මම දිනක එහි සිටි මගේ හිතවතෙකුගෙන් ඔහු ගැන ඇසීමි..

“අනේ නායක හාමුදුරුවනේ... ඔය මිනිහා ගැන කතා කරලා වැඩක් නෑ.. හෙමිජ්ජා වගේ හිටියට දිය යටින් ගින්දර ගෙනියනවා.. දියරෙද්දෙන් බෙල්ල කපන්ඩ ඔය මනුස්සයා තරම් සමතෙක් නෑ..” කියායි .

'බැටිකලෝ කැම්පස් ශ්‍රී ලංකා' පුද්ගලික සරසවියට 'ෂරියා විශ්ව විද්‍යාලය' කියා දඬු කඳේ ගැහීම

පසුගිය පාස්කු දින ප්‍රහාරයෙන් පසුව උද්ගත වු තත්ත්වයන් අනුව ඉස්ලාම් අන්තවාදීන් බිහි කරන අධ්‍යාපන ආයතනයක් ලෙස ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් හිස්බුල්ලාගේ මෙම මඩකලපුව විශ්ව විද්‍යාලය හඳුන්වා දුන්නේ එම විශ්ව විද්‍යාලය බිහි කළේ හරියට වත්මන් ආණ්ඩුව බවට පෙන්වා දෙමිනි. සැබවින්ම එම විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට මුල් පියවර තැබු අවස්ථාවේ ගත් පින්තුරවල ඩලස් ද හිටියේය. ඔහු පමණක් නොව මහින්ද රාජපක්ෂ, බැසිල්, ගෝඨා, දිනේශ් ඇතුළු හැත්ත බුරුත්තම එහි ගොස් ඡායාරූප ගෙන තිබිනි.

එපමණක් නොව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ද වරක් එහි ගොස් එම කටයුතු නිරීක්ෂණය කළේය. එපමණක් නොව එම විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත් කරන විට පොලොන්නරුවේ දරුවන්ට ද කෝටා එකක් වෙන් කරන ලෙස උපදෙස් දෙනු ලැබ තිබේ. 

නමුත් පසුව සිදුවුයේ කුමක්ද? අන් හැම දෙයක්ම අමතක කරනවා වාගේ රාජපක්ෂලා මෙම කාරණය ද අමතක කළේය. ඔවුන් හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය ශරියා විශ්ව විද්‍යාලයක් ලෙස  දඩුකඳේ ගැසීය. එය අන්තවාදීන් බිහි කරන මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වනු ලැබීය.

හිස්බුල්ලාගේ දේශපාලනයට විරුද්ධ වීම එකකි. BCSL හෙවත් බැටිකලෝ කැම්පස් ශ්‍රී ලංකා නමැති පෞද්ගලික විශ්ව විද්‍යාලයට ෂරියා විශ්ව විද්‍යාලය කියා අවලාද නගා එය වසා දමන්නැයි කීම තවත් තක්කඩි ක්‍රියාවකි. මන්ද යත් ඒ පුද්ගලික විශ්ව විද්‍යාලයේ උගැන්වීමට නියමිත උපාධි පාඨමාලා වන්නේ මොනවාදැයි 2018 පෙබරවාරි 16 දා ඩේලි නිව්ස් පුවත් පත වාර්තා කර ඇත්තේ පහත පාඨාමාලා බැවිනි. 

*  එහි ඉංජිනේරු පීඨය යටතේ සිවිල් ඉංජිනේරු බීඑස්සී උපාධිය, විදුලි ඉංජිනේරු බීඑස්සී උපාධිය, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු බීඑස්සී උපාධිය, යාන්ත්‍රික ඉංජිනේරු බීඑස්සී උපාධිය, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු බීඑස්සී උපාධිය, උගෙන ගත හැකිය.
* එහි සංචාරක සහ ව්‍යාපාර කළමණාකාරණ පීඨයක් තිබේ. ඒ යටතේ සංචාරක, ඉවෙන්ට් කළමණාකරණය, පහසුකම් සැපයීම ආදී විෂයන් සඳහා බීඑස්සී උපාධියක් ලබා ගත හැකිය.  ඒ පීඨයේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය නමින් බීඑස්සී උපාධියක් ද තිබේ. 
* ගෘහ නිර්මාණ පීඨයක් ද තිබේ. ඒ යටතේ ප්‍රමාණ සමීක්ෂණය සඳහා (Quantity Surveying) බීඑස්සී උපාධියක්ද, සැළසුම්කරණය සඳහා (Planning and Surveying) බීඑස්සී උපාධියක්ද තිබේ. 
* නීති පීඨයක් ද තිබෙන අතර ඉන් නීතිය පිළිබඳ Bachelor of Law උපාධියක් ලබා ගත හැකි අතර අඩුම ගණනේ ඒ පාඨමාලාවට හෝ ෂරියා නීතියක් කියා දෙයක් උගන්වන්නේ නැත. 
* ෂරියා සහ ඉස්ලාමීය අධ්‍යාපනය නමින් කලා උපාධියක් තිබෙන අතර එය අයත් වන්නේ ආගම්, සංස්කෘති සහ භාෂා පීඨය යටතේ තිබෙන උපාධි පාඨමාලා අතර එක් උපාධියක් ලෙස පමණි.
* මෙලෙස කෘෂිකාර්මික තාක්ෂණ පීඨයක් සම්පත් කළමණාකාරණ පීඨයක් ආදී තවත් පීඨ ගණනාවකි. 
* කටාරයේ සහ සෞදියේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ආධාර වලින් මේ විශ්ව විද්‍යාලය ආරම්භ වූවද ඉන් පසු අධ්‍යයන කටයුතු සඳහා මැලේසියාවේ කීර්තිමත් විශ්ව විද්‍යාල 6 ක් ද, එංගලන්තයේ නොටින්හැම් සරසවියද ‘බැටිකලෝ කැම්පස් ශ්‍රී ලංකා’ නමැති පෞද්ගලික විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව කටයුතු කරති. 
 
මෙවැනි තත්ත්වයක් තිබියදී දුෂ්කර පළාතක බිහිවන පුද්ගලික විශ්ව විද්‍යාලයක් ෂරියා විශ්ව විද්‍යාලය කියා දඬුකඳේ ගැහීම අශීලාචාර ක්‍රියාවකි. 

 “කන්ඩ ඕනෑ වුනාම කබරගොයාත් තලගොයා කර ගන්නා” මේ මිනිස්සු රටේ මහජනතාව නොමග යවන්නේ ගල් පැළෙන බොරු අතේ පැළ කරවමිනි. තව ටික දිනක් යනවිට ඇතැම් විට මාධ්‍යවේදී ලසන්ත ඝාතනය ද, මාධ්‍යවේදී එක්නැලිගොඩ මරාදැමීම, තාජුදීන් ඝාතනය, උපාලි තෙන්නකෝන්, කිත් නොයාර්, පෝද්දල ජයන්ත නොමරා මැරීම වැනි සියල්ලම රනිල්ගේ ආණ්ඩුව ගොඩට එක් කරනු ඇත. මොවුන් සියල්ලම එසේ කරන්නට බැරි පුතයින්ද නොවේ. මක්නිසාද යත්, ඔවුන් කියන ඕනෑම පට්ටපල් කෙබරයක් ඒ වු සැනින් මහජනතාව වෙත පොම්ප කිරීමට දෙරණත්, හිරුත් ලක ලැහැස්ති වී සිටින හෙයිනි. 

ශ්‍රීලනිපය මළ ‌ගෙයක් කර පොහ‌ොට්ටුව හැදූ රාජපක්ෂලා

මම මෙම කතාව කියන්නේ හිස්බුල්ලා නිදොස් කිරීමට නොවේ. නමුත් හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය අල්ලාගෙන ඔහුත් සමග එක පතේ කෑ මිනිස්සු අද ඔහුට ගහන ගැහිල්ල ගැන කිමටය. හිස්බුල්ලා යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කළ අයෙකි. ඔහු කිසි දිනෙක පක්ෂ මාරු කළ අයෙක් නොවේ. රාජපක්ෂලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරුබස්සම සූරාගෙන, දේශපාලනය කිරීම තුළින් ලබා ගත හැකි සියලු දේ ලබාගෙන රජ සැප විඳ , අන්තිමට එම පක්ෂය සූරාගෙන ගොස් පොහොට්ටුව නැමැති  මෙලෝරහක් නැති දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ නිසාය. ඔහුට එරෙහිව කටයුතු කිරීමට දැඩි අවශ්‍යතාවයක් තිබු හෙයිනි.

පොහොට්ටුව පක්ෂය මහින්දලා පිහිටුවා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම විනාශ කරමිනි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මළගෙයක් මෙනි. ඊට බලයක් දැන් නැත. මහින්ද රාජපක්ෂලා ශ්‍රීලංකා නිදහස් පක්ෂය විනාශ කර හමාරය.

නමුත් හිස්බුල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර පොහොට්ටුවට ගියේ නැත. අද මහින්දලා, ඩලස්ලා පිරිමහන්නේ එම වාඩුවය. හිස්බුල්ලා හිටියේ මෛත්‍රී පාර්ශ්වය සමගය. මෛත්‍රිපාල ජනාධිපතිවරයා ඔහු නැගෙනහිර ආන්ඩුකාරයා ලෙස පත් කරන්නේ ඒ නිසාය. අද ඔහුට විරුද්ධව කතා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හෝ වෙනත් දෙමළ හෝ මුස්ලිම් මන්ත්‍රීවරු නොවේ. තමන් සමග එක පතෙන් කමින් දිවෙන් දිවගාමින් සිටි පොහොට්ටු කාරයෝය. මඩකලපුව විශ්ව  විද්‍යාලය ශරියා විශ්ව විද්‍යාලයක් කියමින් ඊට මඩ ප්‍රහාර එල්ල කරන්නේ එදා ඔහුත් සමග එම විශ්ව විද්‍යාලයට ගොස් ලඩ්ඩු, උළුඳුවඩේ හා රට ඉඳි  කා දියවැඩියාවෙන් බේරෙන්නට සීනි නැති තේ කහට බිවු පොහොට්ටු කාරයින්ය.

මින් පේන්නේ අන් කිසිවක් නොව තමන්ට බලය ගන්නට අවශ්‍ය නම් ඕනෑ කුනුවැඩක්, තමන්ගේ සහෝදරයා වුනත් පාවා දෙන්නට රාජපක්ෂලාගේ නායකත්වයෙන් යුත් පොහොට්ටුව සූදානම් බව නොවේද? 

පාසල් නැවත විවෘත කරන්න බෑ ඒත් ඡන්ද තියන්නලු...

පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ කියන්නේ ද එවැනි කතාවකි. 

කොටි ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසුව මම  චාවකච්චේරි හි පිහිටි එවගේෂන් විද්‍යාලයට දිනක් ගියෙමි. මෝටාර් බෝම්බ, රොකට් ප්‍රහාර හා කාලතුවක්කු ප්‍රහාරවලින් බංකර බට පත්ව තිබු විද්‍යාලයේ ළමුන් පිරිසක් අකුරු කරනු මම දිටිමි. එහි එක් ගුරුවරියක් සමග මම කතාකළෙමි. යුද්ධයට පෙර ළමුන් 1300ක් පමණ සිටි එම විද්‍යාලයේ දැන් සිටින්නේ ළමුන් 350ක් පමණ බව එම ගුරුවරිය මා සමග කීවාය.

“අනෙක් ළමුන්ට මොකද වුනේ”…. මම ඇසීමි.

 “අනේ ස්වාමී.. ( මම හාමුදුරුනමක් වුනත් ඇය කීවේ එපරිද්දෙනි.)  ඒ ළමයින්ට වුනේ මොකක්ද කියළා අපි දන්නෑ.. යුද්දෙන් පස්සේ ළමයි ආගිය අතක් නෑ...”

 “මැයි 13 දා ප්‍රහාරයක් එල්ලවෙනවා.. ඒ නිසා ළමයින්ට නිවාඩු දෙන්න.. මම මේ කතාකරන්නේ දේශපාලඥයෙක් විදියට නොවෙයි.. දරුවන් ඉන්න තාත්තා කෙනෙක් හැටියට” යැයි මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ගෝරනාඩු කරනු මම අසා සිටියෙමි. 

සිංහල දරුවන්ගේ තාත්තා වෙන්න දැන් හදන ඔහු එදා දෙමළ දරුවන්ට සළකා ඇත්තේ කුඩප්පා කෙනෙක් වශයෙනි. එසේ කටයුතු කරපු ඔහුට දැන් පාසල් දරුවන් ගැන ඇත්තේ කුමන කැක්කුමක්ද? දෙමළ පාසල් දරුවෝ දරුවෝ නොවෙයිද? අනිවාර්යෙන්ම ඔහුගේ යටි සිත තුළ ඇත්තේ පාසල් විවෘත කිරීම මගින් යම් ප්‍රහාරයක් එල්ල වී දරුවන් රැසක් මියගියහොත් එහි සම්පුර්ණ වාසිය තමන්ට ලැබේවි යන කාලකන්නි සතුට ය. එසේ නැතිව ඔහුට එහෙම කැක්කුමක් තියෙනවා නම්  ඔහු තම සහෝදරයා ලවා රොෂේන් චානකලා පරලොව යවන්නේ නැත. 

අද උදේ මම නෙත් ගුවන් විදුලියේ වෙබ් අඩවිය කියැවීමි. එහි අර මම ඉහත කී ඩලස් අපුරු කතාවක් කියා තිබුනේය..

“ජාතික ආරක්ෂාවට මුවා වී මැතිවරණ කල් දාන්න එපා” යැයි ඔහු එහි කියා තිබිනි. එක් පැත්තකින් පාසල් වසා දමා ආරක්ෂාව තර කරන්න යැයි කියන ගමන්ම ඔවුන් කියන්නේ ඒකට මුවා වී මැතිවරණ කල් දාන්න එපා කියායි..

 එයින් පෙනී යන්නේ පවත්නා තත්ත්වයෙන් උපරිම වාසි තමන්ට ගත හැකි වන්නේ බෝම්බ මැද වුවත් ඡන්ද පැවැත්වීමෙන් බවයි.. සැබවින්ම මැතිවරණයක් පැවැත්විය යුත්තේ සාමකාමි තත්ත්වයක් මතය. මෙම ත්‍රස්ත ප්‍රහාර අඛණ්ඩව සිදුවෙතැයි උපකල්පනය කළ නොහැකිය. මේ වනවිට මෙතෙක් ඇස් පියාගෙන සිටි හැම කෙනෙක්ගේම දැන් දෑස් හැරී තිබේ.. ඒ නිසා ත්‍රස්තවාදියාට දැන් ප්‍රහාරයක් එල්ල කිරීම පහසු නැත. ඒ නිසා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නැතත්,  ආරක්ෂාව වඩාත් තිබිය යුත්තේ පාසල තුළ පමණක් ම නොවේ. පාසල ඇරුණ පසු දිවයිනේ නාගරික ප්‍රදේශ හැම එකකම පාහේ තිබෙන්නේ දැඩි තදබදයකි.. ආරක්ෂාව දැඩිව තිබිය යුත්තේ එවැනි විටක දීය..

සහරාන්ලා වගේ නසරාණි වැඩ කරන දේශපාලඥයින්

ආරක්ෂක අංශ හා අධ්‍යාපන අමාත්‍යවරයා සැළකීමේ කටයුතු කළ යුත්තේ එවැනි අවස්ථාවකය. අනික් කරුණ නම් මේ අවස්ථාවේ සහරාන්ලා වගේ නසරාණි වැඩ කරන දේශපාලඥයින්ද නැතුවා නොවන බව සිහිපත් කළ යුතුය. ඔවුන් ද මහජනතාව කළකිරීමට හා කුලප්පු කිරීම සඳහා කවර හෝ පහත් වැඩක් කළ හැකි බව අපි අවබෝධ කර ගත යුතුය.

ඔක්තෝබර් 26 දා සිදුවුයේ එවැනි පහත් වැඩකි. ව්‍යවස්ථානුකුලව අගමැතිවරයෙක් ඉවත් කිරීමට ජනාධිපතිට බලය නැති බව දැන දැනත්, විලිලැජ්ජාව සංගේමාන්නේ කියන එක ගෑවිලාවත් තියෙනවා නම් මහින්ද රාජපක්ෂ එදා හොරෙන්, ආරක්ෂක හමුදා පිරිවරා, බයෙන් බයෙන්, අගමැති ලෙස දිවුරුම් දෙන්නේ නැත.

එමෙන්ම එසේ දිවුරුම් දී දවසක් යන්නට කලින් ඔහු  පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ තවත් පිරිසක් කඩා ගනිමිනි. එදා ද ඔහුට විලිලැජ්ජාව නොමැති විය. ඉන්පසුව වැඩේ පත්තුවුන පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීකම රැක ගැනීම සඳහා තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකාශ කරන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඉදිරියේ කණපින්දම් ගසා අනූනවයෙන් මන්ත්‍රීකම රැක ගත්තේය. මහින්ද අමරවීර මහතා සන්ධානයේ මහලේකම් ලෙස මහින්ද රාජපක්ෂලාගේ මන්ත්‍රීකම රැක ගන්නට ලිපිය නිකුත් නොකළේ නම් මේ වනවිටත් මහින්ද ඇතුළු ඔය මහලොකු වීරයෝ ටික ගෙදරය.  එසේ මන්ත්‍රීකම රැකගත් පසු, දෙමළ නියොජිතයින්ට පාර්ලිමේන්තුවේ ලබා දි තිබු එකම කජ්ජ වූ විපක්ෂ නායකකම ඔහු විසින් ඩැහැගත්තේය. විලිලැජ්ජාවක් තියෙනවා නම් ඔහුට ඊලග මැතිවරණයක දී දෙමළ ඡන්ද ලබා ගැනීමට දෙමළ සන්ධානය එක්ක අඩු තරමින් කතාවක්වත් කළ හැකිද..? එහෙත් විලිලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැති මහින්දලා එසේ නොකර සිටිතැයි විශ්වාස කළ හැකිද? 

දැන් උදේ ට මෛත්‍රිපාල සිරිසේන කුළප්පු කරන ඔහු, රෑට එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට කතා කරමින් මෛත්‍රිට කෙළවන්නේ කෙසේදැයි සාකච්ඡා කරන්නේය..

මෙහෙවු විලිලැජ්ජා නැති පුද්ගලයින් පිරිසක් සිටින රටක සිදු නොවිය හැක්කක් නොමැති බව අපි මතකයේ තබා ගත යුතුය. ඒ නිසා 13දා ඔය එල්ල වනවා යැයි කියන ප්‍රහාරය ගැන අද කතා කරන මහින්දගෙන් එදාට වඩාත්  ප්‍රවේසම් විය යුතු බව කිවයුතුය. 

සල්පිටියේ ධම්මදස්සි හිමි   

---------------------------
by     (2019-05-11 19:00:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links