(ලංකා ඊ නිව්ස් -2019.පෙබ.21, ප.ව.6.10) ජවිපෙට අනුබද්ධ ජාතික විද්වත් සංවිධානය විසින් ජනතා අදහස් ලබාගනිමින් රට සුබවාදී දිසානතියකට හැරවීම සඳහා පසුගිය කාලය තුළ සකස් කළ මූලික ප්‍රතිපත්ති මාලාව පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනගත කෙරිණ. විශාල පිරිසක් සහභාගී වූ ඒ සමුළුවේ දී කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති, හා ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය උපාලි පන්නිලගේ මහතා, හිටපු අමාත්‍යංශ ලේකම් ඒ.පී.ඒ. ගුණසේකර මහතා, විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය එස්.ජේ. යෝගරාජා මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රභා මනුරත්න මහත්මිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අදහස් දැක්වූහ. එහිදී අනුර දිසානායක කළ කතාව සම්පූර්ණයෙන් පහත දැක්වේ.
“වසර 71ක් අවසානයේ රට විනාශකාරී අන්තයකට තල්ලූ කරනු ලැබ තිබෙනවා. අද වන විට රටේ ණය බර 10,500 ක්. මේ වසරේදී ඩො.බි. 5200ක් ණය වාරිකය ලෙස ගෙවිය යුතුව තිබෙනවා. මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, කටුනායක අධිවේගී මාර්ගය, නොරොච්චෝලෙ බලාගාරය පළමු පියවර, දකුණු අධිවේගී මාර්ගය මේ සියල්ලටම ගියේ ඩො.මි. 2771යි. එහෙත් මේ වසරේ ණය වාරිකය ඩො.බි. 5200 යි. මෙය 2022 වනතෙක් ගෙවිය යුතුව තිඛෙනවා. අවසානයේ නිර්මාණය වී ඇත්තේ ණය රාජ්‍යයක්.
43%ක ජනතාවකගේ එනම් ලක්ෂ 86ක ජනතාවකගේ දවසක ආදායම ඇ.ඩො. 02 ට අඩුයි. වතුකරයේ ලක්ෂ 11/2ක ජනතාවකට ලැබෙන්නේ දිනකට රුපියල් 750ක සීමාවක වැටුපක්. විශාල ආනයන අපනයන පරතරයක් ඇති රාජ්‍යයක්. පිටරටින් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 21 ක් වැයවනවා. අපනයන වලින් ලැබෙන්නේ ඩො.බි. 11ක්. ඩොලර් කෝටි 1000ක වෙනසක්.
මංකොල්ලකෑම්, අපරාධ පිරුණු රාජ්‍යයක් නිර්මාණය වී තිබෙනවා. ස්ත්‍රී දූෂණ බහුල රාජ්‍යයක්. අපි අපේ දරුවන්ට උරුම කරන්නේ මෙවැනි රටක්ද? අප කිසිවෙකුත් මෙවැනි විනාශකාරී අන්තයකට රට ගෙනයාමට ඉඩ දිය යුතු නැහැ. මෙම තත්වය වෙනස් කිරීම සඳහා අපි සියලූ දෙනා එකිනෙකාට වැඩකොටස් පවරා ගත යුතුව තිබෙනවා.
මේ පාලකයින් මහජනතාවගේ දේපළ හොරකම් කළා. හොරකමට අනුබල දුන්නා. ඔවුන් වසර 71 ක් සිදුකර ඇත්තේ අපරාධවල යෙදීම හා හොරුන් අපරාධකරුවන් ආරක්ෂා කිරීමයි. මේ විනාශකාරී ගමන නතර කළ යුතුයි. ඒ වෙනුවට සමාජ සමානාත්මතාව සහිත නව සමාජයක් ස්ථාපිත කළ යුතුයි. එම අරමුණ ජයග්‍රහණය කළ හැක්කේ ධනයේ හා බලයේ අසමානතාව සමග අනවරත අරගලයක් කිරීමෙන් පමණයි. මෙම ප්‍රතිපත්ති මාලාවෙන් ඊට හොඳ ප්‍රවේශයක් ලබාගත හැකියි.
ආර්ථීකය, සමාජය ගොඩනැගීම සඳහා ජනතාව සක්‍රීය ලෙස මැදිහත් විය යුතුයි. ජනතාව ඊට සවිබල ගැන්විය යුතුයි. ලෝකය වෙළඳාමෙන් මානව ප්‍රජාවෙන් වේගයෙන් සංකෝචනය වෙමින් තිබෙනවා. එවැනි ලෝකයක දැනට අප හඳුනා ගනු ලබන්නේ යහපත් සන්නාමයන් මගින් නෙමෙයි. ණය බරින් හිරවීමේ සන්නාමය, මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කේන්ද්‍රය යන සන්නාමය, නුපුහුණු ශ්‍රමිකයින් විදෙස්ගත කිරීමේ සන්නාමය, දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ සන්නාමය, සියදිවි හානිකර ගැනීමේ, මත්පැන් භාවිතයේ සන්නාමය වැනි දෑ අප රට ඉදිරියෙන් ලියැවී තිබෙනවා.
මෙම සන්නාමයන් වෙනුවට වෙනත් සන්නාමයන් රට ඉදිරියෙන් ලිවීමේ, රීබ්‍රෑන්ඩ් කිරීමේ වගකීම අප අතට ගත යුතුයි. කිසිවෙකුට තමන්ගේ සිතිවිලි සන්නාමයක් බවට පත්කළ නොහැකියි. ඒ සඳහා වැඩපිළිවෙළක් අනුව රටක් මෙහෙය විය යුතුව තිබෙනවා. උගත් ජනතාවක් වෙසෙන රාජ්‍යයක් යන සන්නාමය, ජීවත්වීමට සුදුසු රටක් යන සන්නාමය, ගෝලීය නිෂ්පාදනයේ වැදගත් කොටසක් සිදුකරන ස්ථානය යන සන්නාමය වැනි ඒවා අප රාජ්‍යය ඉදිරියෙන් සටහන් කළ යුතුව තිබෙනවා. ලෝකය ඉදිරියේ ලංකාව යළි ස්ථාපිත කළ යුතුව තිබෙනවා.
අද වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 17%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මේ රටේ දරුවන් පෝෂණය කිරීමට මේ රාජ්‍යය අසමත් වී තිඛෙනවා. අප රටේ කිසිවෙකුත් කුසගින්නේ නින්දට යායුතු නැහැ. අපට අවශ්‍ය රටේ ආහාර රට තුළ නිෂ්පාදනය කරගත හැකි රටක්. ජාතික ආරක්ෂාව සහතික වන්නේ නවීන යුද නැව් දිවයින වටා ස්ථාන ගත කිරීමෙන් නෙමෙයි. ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමෙනුයි.
ශ්‍රම බලකායෙන් 27% ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සේවය කරනවා. ඒත් ජාතික ආර්ථීකයේ ඔවුන්ගේ දායකත්වය 7% යි. කෘෂිකාර්ම ක්ෂේත්‍රයට නවීන තාක්ෂණය හා උපායමාර්ගික එළඹුමක් අවශ්‍යයි.
නිෂ්පාදකයාට අඩු මිලක් හා පාරිභෝගිකයාට වැඩි මිලක් ගෙවීමට සිදුවීම තුළ විකෘතියක් ඇතිවී තිබෙනවා. මේ විකෘතිය නිර්මාණය කරන්නේ අතරමැදියන් විසිනුයි. ගොවියාට වී සඳහා ලැබෙන මිල අඩුයි. ඒත් හාල් මිල ඉහළයි. සහල් වෙළඳාමේ ඒකාධිකාරයන් තිබෙනවා. මෙම තත්වයට එරෙහිව සාධාරණ වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ලාභයට පෙර ජනතාව ජීවත් විය යුතුයි.
රටේ මානව සම්පත ගොඩනැගිය යුතුයි. පාසල් 698 කට ළමුන් ඇතුළත් වී ඇත්තේ 02ක් හෝ ඊට අඩුවෙනුයි. පාසල් ¼ කට ළමයි 09 කට අඩුවෙන් ඇතුළත් වී තිබෙනවා. එහෙත් පාසල් තිස් ගණනකට ළමයි 200කට වැඩියෙන් ඇතුල් වීමට ඉල්ලා තිබෙනවා. පවුලේ ආර්ථීක හැකියාව අනුව ඇතුළත් වන පාසල තීරණය විය යුතු නැහැ. සිංගප්පූරුවේ පාසලට ඇතුල් වන ප්‍රමාණයෙන් 57%ක් අවසානයේ උපාධිධාරීන් ලෙස සමාජයට එනවා. නමුත් ලංකාවේ එම ප්‍රමාණය 08% යි. අපේ ඉලක්කය එම ප්‍රමාණය අවම වශයෙන් 50%ක් බවට පත් කිරීමයි.
අද ප්‍රවාහන ක්ෂේත්‍රය අකාර්යක්ෂමවීම හේතුවෙන් ජනතාව දවසෙන් ⅙ ක් මහ මඟ කාලය ගත කරනවා. මේ අනුව අවුරුදු 60ක් ජීවත් වූ පුද්ගලයෙක් අවුරුදු 10ක් ජීවත් වී තිබෙන්නේ මහ මඟයි. අප රටට දියුණු ප්‍රවාහන ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක වැඩපිළිවෙළක් අවශ්‍යයි. එය මහජන සේවාවක් මිස ලාභය මත මත පදනම් වූවක් නොවිය යුතුයි.
අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය සහ සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. මේ වැඩපිළිවෙළ රටේ අනාගතයේ විශාල පරිවර්තනයක් කිරීමට ඉවහල් වනු ඇති බවට විශ්වාසයක් අපට තිබෙනවා.
වැඩපිළිවෙළ පොත්වල තිබීම ප්‍රමාණවත් නැහැ. අප සියලූ දෙනා සමාජ සමානාත්මතාව වෙනුවෙන් ජනතාව වෙත මේ පණිවිඩය ගෙන යා යුතුයි. ජනතාව පුද්ගලයන් වටා නොව ප්‍රතිපත්තියක් වටා පෙළගැස්විය යුතුයි. ඒ අවශ්‍ය වැඩපිළිවෙළ ‘ගොඩනගමු ශ්‍රී ලංකාව’ නමින් එළිදැක තිබෙනවා. ඒ සඳහා ඉදිරි කාලයේ මේ ප්‍රතිපත්ති මත පදනම් වූ පුළුල් ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කරන බවට සහතික වෙනවා. මේ ගමන අපට ජයග්‍රහණයෙන් කෙළවර කළ හැකි බව අපට විශ්වාසයි."
වාර්තා කෙළේ,
---------------------------
by (2019-02-21 12:53:10)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි