~

යුද්ධය අවසන් වීමත් මහවැලි ගඟේ විනාශයත් ආරම්භ වුනේ එකම දවසේ..! - "සේරුවිල වැලි දබරය.."

ආර්.ජී.ධර්මදාස ලියන ගවේශන වාර්තාව

(ලංකා ඊ නිව්ස් - 2018.සැප්.15, පෙ.ව.4.50)  සේරුවිල තීත්තන් තෙට්ටි වැලිතොටේ නවතා තිබූ බෝට්ටු තිස් හයක් ඉකුත් 7 වැනිදා  ගිනිතබා විනාශකිරීමේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත්, තවත්  සැකකරුවන් හත්දෙනෙකු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් සේරුනුවර පෙලිසිය කියයි.  පැට්‍රල් සහ ටයර් දමා ගිනිතබා තිබූ බෝට්ටු සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද පැවසේ. බෝට්ටුවලට හිමිකම් කියන  පුද්ගලයන් 26 දෙනෙකු  පොලීසියට පැමිණිළි කර තිබේ. වැලි ජාවාරමට සම්බන්ධ දෙපිරිසක් අතර පවතින කිසියම් ආරවුලක් මෙම සිද්ධියට හේතුව බවට පොලිසිය සැකකරයි. 

මෙම නඩුකටයුත්ත යථාකාලයේදී අවසන්කොට වරදකරුවන්ට දඩුවම් දී ප්‍රශ්ණය අහවර කීරීමට පොලීසිය වග බලාගනු  ඇත. එහෙත් ගැටළුව වී ඇත්තේ  ඉවක් බවක් නැතිව සිදුවෙන මහවැලි ගඟේ වැලිගොඩ දැමීම නිසා පීඩාවට පත්ව සිටින මාවිල්ආරු ගොවි ජනතාවගේ අවනඩුව විසඳන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම ය. අපි ඒ කථාව ඔවුන්ගෙන්ම  අසමු.

තීත්තන් තෙට්ටි වැලිතොටේදී ලංකා ඊ නිවුස් ඔවුන් හමුවිය

අල්ල ගොවි ජනපදය සුරැකීමේ සංවිධානයේ සභාපති ජේ පී.එම් තුෂාර මහතා මෙසේ කියයි

“තීත්තන් තෙට්ටි කියන්නේ මහවැලි ගඟේ එක වැලි තොටක් පමණයි. මේ වගේ වැලි තොටවල් තවත් අටක් තියෙනවා. ගැහැණු පිරිමි පොඩි ළමයි දහස් ගණනක්  වැලිගොඩ දමනවා. මේක කැළෑව ඇතුලෙ කෙරන වැඩක් නිසා  මේ ලෝකෙ තියෙන හැම ජරා වැඩක්ම සිද්ධ වෙනවා. ගංජා මත් කුඩු වගේම ගණිකා ව්‍යාපාරයත් බොහෝම බරසාරෙට කෙරෙනවා. වැලි කියන්නේ සල්ලි. ඉතින් මොනවද කරන්න බැරි . නීලපොල සහ දෙහිවත්ත කියන ගම්දෙකේ විතරක් වැලි බලපත්‍ර ලාභීන් 80 ක් ඉන්නවා. මේ අතරේ ව්‍යාජ නම් 8 කුත් තියෙනවා ග්‍රාමසේවකලා තමයි පදිංචිය තහවුරු කරන සහතිකය දෙන්නේ. වැඩිපුරම ඉන්නේ ගෑණු. ඇහැට කණට පෙනෙන ගෑණු කෙනෙකුට  බලපත්‍රයක් ගන්න එක කජු කනවා වගේ වැඩක්. ඇත්තටම එතැනින් එහාට දිගටම කජු කනවා තමයි. සමාජයට සිදුවෙන විනාශය එහෙමයි. ගොවියන්ට සහ මහවැලි ගඟට සිදුවෙන හානිය මීට වඩා බරපතලයි. කොටි සංවිධානය වහපු මාවිල්ආරු  සොරොව්ව හමුදාවෙන් විවෘත කළාට අපේ ජල අර්බුදය  තවම විසඳිලා නෑ. 

මාවිල්ආරු ජලාශයෙන් කුඹුරු අක්කර විසිපන්දහසක පමණ යල මහ වී ගොවිතැන් කරනවා . ඇත්තම කියනවානම් මාවිල්ආරුව කියන්නේ වැවක් නොවෙයි අමුණක්. මේ අමුණට ජලය ලැබෙන්නේ එහි සිට කිලෝ මීටර් 50 ක් පමණ ඉහළින් ඇති කන්දකාඩුව  නැමති ස්ථානයෙන් ආරම්භවෙන මහවැලි ගඟේ අතුගංගාවක් වෙන ‘වෙරුගල්’ ඔයෙන්.  අද අපට සිද්ධ වෙලා තියෙනවා කන්දකාඩුව හරහා වැලි කොට්ට ගහල ගඟේ වතුර වෙරුගල්  ඔයට හරවා ගන්න. දරුණු නියඟයකදී ගඟේ ජලමට්ටම අඩු වුනොත්  වැලිකොට්ට හාර පන්සීයක් ගහපු අවස්ථා තියෙනවා. ඒ ඉතාම කලාතුරකින්. දැන් මේ වැඩේ සෑම කන්නයකදීම කරන්න සිද්ධ වෙලා තියෙනවා. අද වෙනකොට ගඟ පළල් වෙලා . වැලිකොට්ට දස දහස් ගණනක්  ගහන්න  ඕනෑ. ගොවියෝ  හත් අටසීයක් කිලෝ මීටර් 50 ක් පමණ කැලෑව මැද්දෙන් ගිහින් ගඟ හරහා වැලිකොට්ට ගහනවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. ගඟේ පහළ කොටසේ කිලෝ මීටර් විස්සක් පමණ දිගට ඉවක් බවක් නැතුව වැලි ගොඩ දමන නිසා ගඟේ  ජල වේගය වැඩිවෙලා කන්දකාඩුවත් සෝදාගෙන යනවා. දැන් වෙරුගල් ඔය උසයි, ගඟ පහතයි. යුද්ධය අවසන් වීමත් මහවැලි ගඟේ විනාශයත් ආරම්භ වුනේ එකම දවසේ. අවුරුදු දහයක් පමණ තිස්සේ වැලි ගොඩ දාලා දැන් ගඟේ වැල්ලක් නෑ. පතුලත් ඉවුරුත් කපලා තමයි දැන් වැලි ගන්නේ.මේ අපරාධය නතර නොකළොත් කුඹුරුවලට වතුර ගන්න පිළිවෙලෙක් නැතුව අපට හාමතේ මැරෙන්න තමයි සිද්ධවෙන්නේ.”

අල්ල ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ  මාවිල්ආරු සභාපති. අනුරුද්ධ විශ්වන්ත මහතා මෙසේ කියයි.. 

“විධිමත් ආකාරයකට ගඟේ වැලි ඉවත්කරගන්නවාට අපේ විරුද්ධත්වයක් නෑ. නමුත් ගඟේ පතුල හාරලා ඉවුරු කපලා කරන විනාශයට අපි විරුද්ධයි. ගඟ අවට කැළෑව පවා හාරනවා  මේ වන විට ගඟේ ගමන් මාර්ගය වෙනස්වෙලා අලුතෙන් දූපත් හැදීගෙන යනවා . ඉවුරු දෑලේ තිබුන එක කුඹුක් ගහක්වත් නෑ. දැන් මුහුදු ජලය ගඟ දිගේ ‘නීලපොළ’ දක්වා ඉහළට එනවා. ගමේ ළිං වල වතුර බොන්න බෑ. පවුල් දහස් ගණනකට පානීය ජලය සපයන  මහවැලි ගඟේ ඉදිකර ඇති නීලපොළ පොම්පාගරය පසුගිය අවුරුද්දේ මාස කීපයක්ම වසාදමා තිබුනා. ගඟේ  පතුල  හාරලා   ජල මට්ටම  පහළ බැස තිබුන නිසයි එහෙම වුනේ. රුපියල් කෝටි ගණනක් වැය කොට මහවැලි ගඟ හරහා ඉදිකර ඇති ගාන්ධි පාළමේ කුළුණු තුනක අත්තිවාරම දක්වා ඉවුරු සේදිලා ගිහින්.  දවසකට වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ දෙසීයක් පමණ එහා මෙහා ගමන් කිරීම නිසා ප්‍රදේශයේ ඇති කාපට් සහ කොන්ක්‍රීට් මාර්ග සියල්ලක්ම විනාශ වී ගෙන යනවා. සමහර බෝක්කු කැඩිලා යකඩ කම්බි  ගැලවි ගැලවී යනවා.

ඇතැම් විදුහල්පති වරුන්  ගුරුවරුන්  සිවිල් ආරක්ෂක භටයන් හමුදා නිළධාරීන්  රජයේ වෙනත් නිළධාරීන් දේශපාලකයන් පමණක් නොවෙයි භික්ෂූන්වහන්සේලා පවා මෙම වැලි ජාවාරම පිටුපස සිටිනවා. ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ගෝලබාලයන්ගේ නම්වලින් තමයි වැලි බලපත්‍ර ලබාගෙන තියෙන්නේ. කියුබ් සීයක් සඳහා ලබාගන්නා බලපත්‍රය වැලි මුදලාලිට රුපියල් ලක්ෂයකට විකුණනවා. බල පත්‍රය මාසෙකට වරක් අලුත් කරනවා. මේ විදියට අවුරුද්දකට රුපියල් ලක්ෂ දොළහක් කිසිම කරදයක් නැතුව උපයා ගන්නවා. පවුලේ තුන්දෙනෙකුට වැලි බලපත්‍ර තිබුනොත් රුපියල් ලක්ෂ තිස්හයක වාර්ෂික ආදායමක් ලැබෙනවා. මේ සියලුම කාරණා ඔප්පු කරන්න අපට පුළුවන්. ග්‍රාමසේවකගේ පටන් ජනාධිපති දක්වා අපි මේ ගැන දැනුවත්කර තියෙනවා. කොළඹ, මහියංගණය, නුවරඑළිය, අවිස්සාවෙල්ල, පොළොන්නරුව වැනි විවිධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් දහස් ගණනක් ගඟේ වැලි රස්සාව කරනවා. කසිප්පු, ගංජා, මත්කුඩු  පමණක් නොවෙයි ගණිකා ව්‍යාපාරය පවා වැලිජාවාරම පිටුපස තියෙනවා.”

මේ අතර වැලිබලපත් ලාභීන්  සහ ඔවුන් යටතේ රැකියාව කරන කම්කරුවන් පවසන්නේ තමන්   කරන්නේ නීත්‍යානුකූල කර්මාන්තයක් බවයි.

නීලපොල ගමේ පදිංචි නිරෝෂා ජයසිංහ එවැනි කාන්තාවකි..  

“ජනාධිපතිතුමා යටතේ තිබෙන භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පුද්ගලයෙකුට වැලි බලපත්‍රයක් නිකුත් කරන්නේ පරිසර අධිකාරිය, වනජීවී, වනසංරක්ෂණ, පුරාවිද්‍යා, වාරිමාර්ග, කියන ආයතනවල නිර්දේශ අනුවයි. ඒ ආයතනවල නිළධාරීන්ම තමයි වැලි නිධි වෙන්කරලා දෙන්නේ. පරිසර හා කැණීම් නිළධාරීන් දින දෙක තුනකට වරක් ඇවිත්  අධීක්ෂණය කරනවා. ඉවුරු කපනවද ගඟේ පතුල හාරනවද කියන එක සොයා බලන එකත් ඒ අයගේ රාජකාරියක්. අපට එහෙම උපදෙසක් ලැබිලා නෑ. කියුබ් සීයක වැලි බලපත්‍රයක් ගන්න රුපියල් ලක්ෂ දෙකක් පමණ වැයවෙනවා. ආණ්ඩුවට තමයි ඒ මුදල් යන්නේ. මහවැලි ගඟේ ස්ථාන අටක වැලි ගොඩ දැමීමට පුද්ගලයන් 1000 කට ආසන්න පිරිසකට  බලපත්‍ර  ලබාදී තියෙනවා. පුද්ගලයන් 80,000 ක් පමණ වැලි ගොඩ දැමීමෙන් සහ වැලි ආශ්‍රිත  අතුරු රැකියාවලින් ජීවත්වෙනවා. අපි වැලි ප්‍රවාහනය සඳහා ටිපර් ට්‍රැක්ටර් වගේ වාහන ගත්තේ ෆිනෑන්ස් කරලා. මාසෙකට ලක්ෂ දෙකකට වඩා වාරික ගෙවන්න ඔ්නෑ. ගෙවල් හදා ගන්නේ දරුවන්ට උගන්වන්නේ කන්නෙ බොන්නේ මේ වැලි රක්ෂාව නිසා තමයි. අපි හොඳින් ජීවත්වෙනවට සමහරු ඊර්ෂියයි.”

වැලි ගොඩ දැමීමෙන් ජීවත් වන අශෝක දිසානායක  මහතා..

“අපේ කණ්ඩායමේ හයදෙනෙක් ඉන්නවා ගම මහියන්ගනේ. සතියේ සඳුදා බදාදා සිකුරාදා යන දිනතුනේ උදේ හයේ සිට සවස හය වෙනතුරු වැලිගොඩ දානවා. කොහොමටත් දවසකට රුපියල් 6000 ක් විතර සොයාගන්න පුළුවන්. කෑම බීම නවාතැන් පහසුකම් මුදලාලී සපයනවා. කරදරයක් නැතුව කරගන්න තියෙනවානම් හොඳ රස්සාව. පිට පළාත්වලින් ආපු ගොඩක් අය මෙහෙ ඉන්නවා.”

ත්‍රිකුණාමල දිස්ත්‍රික් භූවිද්‍යා හා පතල්කැණීම් කාර්යාංශ කාර්යාලයේ කැණීම් ඉංජිනේරු ෂෙල්ටන් කුමාරසිංහ මහතා…

“මහවැලි ගඟේ වැලි ගොඩදැමීම් සම්බන්ධයෙන් කළ අධීක්ෂණයකින් පසුව අපේ අධ්‍යක්ෂ ජෙනරල් තුමාගේ සහ සභාපතිතුමාගේ උපදෙස් මත නැවත බලපත්‍ර නිකුත් කිරීම මෑතකදී ආරම්භ කළා. ගඟට කිසිම හානියක් නෑ.”

සේයාරූ සහ වාර්තාව ආර්.ජී.ධර්මදාස 
       

---------------------------
by     (2018-09-14 23:32:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links