(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.30, පෙ.ව.6.30) පසුගිය ජූලි 17 වෙනිදා දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර බිඩ්වෙස්ට් වොන්ඩරර්ස් ක්‍රීඩාංගනයට විවිධ ජාතීන්ට අයත් 15000 කට අධික ජනකායක් රැස්ව සිටියේ දකුණු අප්‍රිකාවේ ඒ වීරෝධාර ජන නායකයා වූ නැසී ගිය නෙල්සන් මැන්ඩෙලාගේ ජන්ම ශත සංවත්සරයේ විශේෂ ආරාධිත දේශනයට සවන් දීමට ය. එම දේශනය කෙළේ අන් කිසිවෙක් නොව ව්‍යක්ත කථිකයෙකු ලෙස නම රැන්දූ ඇමරිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වූ හිටපු ජනාධිපති බැරක් ඔබාමා මහතා විසිනි. “මැන්ඩෙලා උරුමය අලුත් කිරීම සහ වෙනස් වන ලෝකය තුළ සක්‍රීය පුරවැසිභාවය ප්‍රවර්ධනය කිරීම” මැයෙන් ඔබාමා විසින් කරන ලද දේශනය අසා සිටියදී අපට හැඟුනේ ඔබාමා මේ කතා කරන්නේ ලංකාවේ දේශපාලනය ගැන යයි කියා ය. එය එතරම්ම අද ලංකාවේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අයට වැදගත් ය. ‘අධිරාජ්‍යවාදී’ යැයි ලංකාවේ වම්මු නිතර මතුරන ඇමරිකාවේ බැරක් ඔබාමාගේ කතාව අද සිටින එකදු රතු නායකයෙක් හෝ නොකරන බව නම් ස්ථිරය. එබැවින් බැරක් ඔබාමා ගේ එම අනගි දේශනය සිංහලයට පරිවර්තනය කරන්නට සිතුවෙමු. අපගේ ආරාධනය පරිදි එම බැරෑරුම් මෙන්ම කල් ගත වන කාරිය ඉටු කරන ලද්දේ ඇමරිකාවේ පදිංචි කුඩගම්මන සීලරතන හිමියන් විසිනි. මෙය සිංහලෙන් කියවන සියළු දෙනාම ඔබාමාට මෙන්ම සීලරතන හිමියන්ට ද ස්තූතිය පළ කරනු ඇතැයි සිතමු..
ජනාධිපති බැරක් ඔබාමා විසින් පැවැත්වූ දේශනය
ජනාධිපති ඔබාමා: (ජයඝෝෂා සහ අත්පොළසන්) ස්තුතියි. බොහොම ස්තුතියි. බොහෝමත් ම ස්තුතියි. ස්තුතියි. බොහොම ස්තුතියි. (සිනාසෙයි)
ප්‍රේක්ෂගාරය: ඔව් අපට හැකියි..! ඔව් අපට හැකියි..! ඔව් අපට හැකියි..!
ඔබාමා: ස්තුතියි ට්‍රාෂා මෂෙල් මැතිනියට, මැන්ඩෙලා සහ මෂෙල් පවුල්වල සැමට, මේ සුවිසල් දේශයට නව අපේක්ෂාවක් ලබාදෙන ජනාධිපති රම්පෝසා (අත්පොළසන්) මහඇදුරුවරුනි, ආචාර්යවරුනි, විශේෂ අමුත්තනි, සිසුලූ මාතාව සහ ඇගේ පවුල, දකුණු අප්‍රිකානු ජනතාව, ලොව සැබෑ ඓතිහාසික විරුවෙකුගේ ජන්ම ශත සංවත්සරයත් ජීවිතයත් සැමරීමට මෙතැනට පැමිණ ඔබ සමග එක්වීමට ලැබීම පෞද්ගලික ව මා ලැබූ ගෞරවයක්.
නිවැරදි කිරීමකින් සහ හෙළි කිරීම් කීපයකින් පටන් ගැන්මට මට ඉඩ දෙන්න (සිනාසෙයි). නිවැරදි කිරීම නම්, මම ද හොඳ නැට්ටුවෙක්මි. (ජනාධිපති රම්පෝසාගේ කතාවේ දී ඔබාමා, මැන්ඩෙලා විතර නැටුමෙහි දක්ෂයෙකු නොවන බව පැවසී ය.) (සිනාසෙයි) මට ඒක නිවැරදි කරන්න අවශ්‍යයි. මිෂෙල් (ඔබාමාගේ බිරිඳ) මට වැඩිය ටිකක් හොඳයි.
හෙළිදරව්ව අංක එක: මෙහි පැමිණෙන ලෙස ඇත්තෙන් ම මට ඇරයුමක් නොලැබුණි. ඉතාමත් ප්‍රසන්න ආකාරයකින් ග්‍රේෂා මිෂෙල් මැතිනිය මට කෙළේ ‘නියෝගයක්’. (ප්‍රීති ඝෝෂා)
හෙළිදරව්ව අංක දෙක: මේ දකුණු අප්‍රිකාවේ ශීත සෘතුවය යන භූගෝල විද්‍යා දැනුම මට මග හැරුණි. (සිනාසෙයි) කෝට් එකක් නොගෙනා මට මේ උදෑසන කිසියම් කෙනෙකු සාප්පු සංකීර්ණයකට යැවීමට සිදුවිය. හවායි දේශයේ උපන් මා හැඳ සිටියේ දිග කලිසමක් පමණි.
හෙළිදරව්ව අංක තුන: මට කතාවක් පැවැත්වීමට තිබෙන බව මගේ කාර්ය මණ්ඩලය සඳහන් කළ අවස්ථාවේ, මා සිතා බැලූවේ, පැහැණු කෙස් ගස් කිහිපයක් සහ හෙමින් පහත වැටෙන ඇස් පෙනීමත් සමග මා පිවිසෙමින් සිටි ජීවිත වේදිකාවෙහි එය තවත් එක් සලකුණක් නම්, පැරණි බෝ එකක් සහිත ටයි පටියක් පැලඳ, ට්වීඩ් රෙද්දෙන් මැසූ ඇඳුමින් සැරසී සිටි මහඇදුරුවරුන් සිහියට නගා ගනිමින්, ඒ අයට මා පවසන කවර දෙයක් වුව ද දේශනයක් යයි මගේ දියණිවරුන් සිතන කාරණය ගැනත් මම කල්පනා කළෙමි. (සිනාසෙයි) මාධ්‍ය සාකච්ඡාවල දී, මිනිත්තු දෙකක ට කෙටි නොවී දිගින් දිගට එති එතී යන පිලිතුරු වලින් තැති ගැනෙන ඇමරිකන් ජනමාධ්‍යකරුවන් ගැනත් සිතුවෙමි. දෛනික ව ගෙන එන හිස කරකවන පුවත්වලින් අවුල් වී අප සිටින වකවානු අමුතු මෙන් ම අවිනිශ්චිත බව පෙනෙයි. එහෙයින්, පියවරක් දෙකක් පසු පසට ගෙන කිසියම් අදහසක් ඇතිකර ගැනීමට යොමු වන්නේ නම් ප්‍රයෝජනවත් වනු ඇතැයි මම කල්පනා කරමි. යන්තමින් දැනෙන සීතල නොතකා, ඔබ මා හා එක් වෙනු ඇත ය, යන්න මගේ අදහසයි. ඊ ලඟට අප යා යුතු තැන පිලිබඳ සිතියමක් සකසා දෙනු ඇත යන බලාපොරොත්තුවෙන් මෙම දේශනයෙහි වැඩි කොටසක් යොදා ගැනීමට සිතන්නේ අප සිටියේ කොහේද,? අද සිටින තැනට පැමිණියේ කෙසේ ද,? යන්න මෙනෙහි කිරීමට යි.
සියක් වසරකට පෙර, මදීබා (උපතේ දී මැන්ඩෙලාට ලැබුණ සහ ප්‍රසිද්ධව තිබුණ ආදරණීය නාමය) උපන්නේ, ම්ෆෝ ගමෙහි ය. ඔහුගේ චරිතාපදානයෙහි දැක්වෙන්නේ, ප්‍රීතිමත් ළමා කාලයක් තිබුණ බව යි. ගවයන් රැක බලාගත් හෙතෙම, අනෙක් දරුවන් සමග කෙළි දෙලෙන් ගතකර තිබුණි. ක්‍රමයෙන් පාසැල් දිවිය ඇරඹීමේ දී, ගුරුවරිය ඔහුට ‘නෙල්සන්’ යයි ඉංග්‍රීසි නමක් ලබා දෙයි. ඔබ අතරින් බොහෝ දෙනෙකු දන්නාක් මෙන්, ‘මට ඇය මේ සුවිශේෂ නමක් දෙන්නේ මක් නිසා දැයි මට අදහසක් නොවී ය,’ යයි ඒ පිලිබඳ ඔහුගේ ප්‍රකාශයක උපුටා දක්වා ඇත.
එකල කලූ තරුණ ගැටයෙකුට ඉතිහාසය වෙනස් කළ හැකි කවර හෝ මගක් තිබෙනු ඇති දැයි විශ්වාස කිරීමට හේතුවක් එතැන නොවී ය. හැම දෙයකටමත් වඩා, එයින් දශකයකටත් අඩු කලකින් දකුණු අප්‍රිකාව මුලූමනින් ම බ්‍රිතාන්‍ය පාලනයට නතු විය. ජාතිය අනුව මිනිසුන් වෙන්කොට සැලකීම සහ යටත් කරගෙන සිටීම සඳහා නීති සැකසුණි. වර්ණභේදවාදී නීතිමය ජාලය ලෙස දැක්වුණේ එයයි. ම පියාණන් උපන් බිම ඇතුලූ, අප්‍රිකාවෙන් වැඩි කොටස යටත් විජිත පාලනයට නතු විය. ප්‍රමුඛ යුරෝපීය බලධාරීන්, මදීබාගේ උපන් දිනයෙන් මාස කිහිපයකට පසු බිහිසුණු ලෝක යුද්ධයක් අවසන් කර, මෙම මහාද්වීපය සහ එහි ජනතාව භූමිය සඳහා කළ අරගලයට ලැබුණ සම්මානයක්, නිමක් නැති ස්වාභාවික සම්පත් ආකරයක් සහ ලාබ ශ්‍රම උල්පතක් ලෙස මුලින් ම දුටු අතර, කලූ ජාතිකයන් පහත් ය යන ආකල්පය මත ඔවුන්ගේ සංස්කෘතිය කෙරෙහි නොසැලකිලිමත් වීම, ඔවුන්ගේ වටිනාකම් සහ අපේක්ෂාවන් නොතකා හැරීම පෙර ලෙස ම පවත්වාගෙන ගියෝ ය.
ජාතීන්, වර්ගයන්, කණ්ඩායම් අතරින් කීපයක් උරුමයෙන් ම විශිෂ්ටය, පාලනය මෙහෙයැවීමේ මූලික පදනම කුරිරුකම් සහ බලහත්කාරකම් ය, බලවතා දුබලයා ඉඳුරා ම සූරාකන්නේ ය, ධනවත් බව තීරණය කෙරෙන්නේ ජයග්‍රහණයෙනි වැනි ලෝක දැක්මක් යුරෝපය සහ අප්‍රිකාව අතර හෝ සුදු සහ කලූ ජාතික සබඳතාවන්ට පමණක් සීමා කිරීම අසීරු විය.
හැකි වූ හැම අවස්ථාවක දී ම සුදු ජාතිකයෝ සුදු ජාතිකයන්ව ද සූරා කෑහ. ඒ අතරතුර, කලූ ජාතිකයෝ අනෙක් කලූ ජාතිකයන් ව ද සූරා කෑහ. ලෝකය වටා, ජනතාවන්ගෙන් බහුතරය ජීවත් වන්නේ, ඔවුන්ගේ ජීවිත පිලිබඳ ව තීරණ ගන්නා දේශපාලන හෝ ආර්ථික බලධරයන්ට කිසිවක් කියා ගත නොහැකි යැපුම් මට්ටමෙහි ය.
හැමවිට ම ඔවුහු දුරින් සිටින නායකයන්ගේ හදිසි කල්පනාවල්වල හෝ කුරිරුකම්වලට යටත් විය යුත්තෝ වන්නාහ. ජන්මීය වාතාවරණයන්ගෙන් ඉවත් ව යාමේ හැකියාවක් සාමාන්‍ය කෙනෙකුට පෙනෙන මානයකවත් නැත. ස්ත්‍රිය නිල වශයෙන් ම සිටින්නේ පුරුෂාධිපත්‍ය යටතේ ය. වරප්‍රසාද සහ අයිතිවාසිකම්, කණ්ඩායම හෝ වර්ණය, ජාතිය හෝ ආගම සමග දැඩි ව බැඳී තිබේ. ‘සෑම මනුෂ්‍යයකු ම එක සමාන ව මවා තිබේ’ යන ප්‍රකාශය මත ගොඩ නැගුණ මගේ ම රට වූ ඇමරිකාව වැනි ප්‍රජාතාන්ත්‍රික පරිසරයන් තුළ පවා, ජාතීන් වශයෙන් වෙනස් කොට සැලකීම සහ ක්‍රමානුකූලව නොසලකා හැරීම රටින් අඩක ම පවත්නා නීතිය වන අතර, පොදුවේ රට පුරාමත් එම නියමය පවතියි.
එය සියවසකට එහා ලොව ය. එලොව ජීවත් වන්නෝ අද ද ලොව තුළ සිටිති. එහෙයින්, එකල සිට සිදු වූ කැපී පෙනෙන වෙනස්කම් අතිශයෝක්තියෙන් දැක්වීම උගහට ය. පළමු වැන්නට වඩා අතිශයින් බිහිසුණු වූ දෙවන ලෝක යුද්ධයත් සමග, අප්‍රිකාවේ සිට ආසියාව දක්වාත්, ලතින් ඇමරිකා, මැද පෙරදිග ඔස්සේ ඇද හැලූණ විමුක්ති ව්‍යාපාරයන්, අවසානයේ යටත්විජිතවාදයට තිත තැබුවේ ය. ඒකාධිපතිවාදයේ බිහිසුණුකම් දැක දැකත්, විසිවන සියවසේත් සමූහ ඝාතන පවත්වාගෙන ගිය මිනිස්සු, මානව හිතවාදය පිලිබඳ නව දැක්මක් වැලඳ ගැන්මට පටන් ගත්හ. ස්වයං තීරණ අයිතිය හිමි විය යුත්තේ ජාතීන් අනුව නොවේ යන්න පදනම් කරගත් අලුත් අදහසක් වූ එයට, පදනම වූයේ ප්‍රජාතාන්ත්‍රික මූල ධර්ම, නීතියේ ආධිපත්‍යය, මානව අයිතිවාසිකම් සහ පොදු ජන්මීය උරුමයක් වූ අන්‍යෝන්‍ය ගෞරවයයි.
වෙළඳපොළ අර්ථ ක්‍රම පදනම් කරගත් මේ ජාතීන් අතර, එකවර ම, සාංගමික ව්‍යාපාර නැගී ආවේ ය. සෞඛ්‍ය, ආරක්ෂාව සහ වෙළඳ රෙගුලාසි පැනවිණි. පොදු අධ්‍යාපනයට ලඟාවීමේ අවස්ථා පුළුල් විය. සමාජ සුබසාධන ව්‍යාපාර නැගී ආවේ ධනවාදයේ සීමා ඉක්මවීම් පාලනය කර ඉහළ නැංවීමටත්, එහි අවස්ථා කිහිප දෙනෙකුට නොව සැමට ම ලබාදීමත් සඳහා ය. ප්‍රතිඵලය වූයේ මධ්‍යම පාන්තිකයන් අතර වැඩුණ අසමානතාවයි. මගේ ම රටෙහි, පුරවැසි හිමිකම් ව්‍යාපාරයන්ගේ ආධ්‍යාත්මික බලය ජාතිය හෝ වර්ණය අනුව වෙන් කොට සැලකෙන නීති හකුලා දැමී ය. එතෙකින් නොනැවතී, කාන්තා විමුක්තිය සඳහා වූ ව්‍යාපාරයන් සහ ඓතිහාසික වශයෙන් කණ්ඩායම් කොන්කර තැබූ අවහිරයන් සුණු විසුණු කෙරිණ. නැවතත් ඔවුන්ගේ හඬ සොයා ගැනීමටත්, සම්පූර්ණ පුරවැසි අයිතිවාසිකම් දිනා ගැනීමටත් ඔවුහු නිර්මාණාත්මක වූහ.
නෙල්සන් මැන්ඩෙලා ඔහුගේ දිවිය කැප කළේ, නිදහස, සාධාරණත්වය සහ සමාන අවස්ථා දෙසට පිය නැගූ මේ දිගු ගමනට ය. ආරම්භයේ දී, ඔහුගේ ව්‍යාපාරය වර්ණ භේදවාදය තුරන් කර දැමීමේ අරගලයට, කිසිදා වෙනස් නොවන සේ දේශපාලනික, සමාජ, ආර්ථික අසමානතා නැති කර දැමීමේ සටනට, ඔහුගේ මව්බිමෙහි ප්‍රජා අයිතිය අහිමි වී සිටි සුදු නොවූ රටවැසියන්ට, සුවිශේෂී විය. එහෙත්, එතුමාගේ කැපවීමෙන් සහ නොපසුබට නායකත්වයෙන්, ඒ සියල්ලටමත් වඩා එතුමාගේ ආදර්ශවත් ජීවිතයෙන් මැන්ඩෙලා සහ එතුමන් මෙහෙයවූ ව්‍යාපාරය ඊට වඩා පුළුල්, අර්ථවත් යමක් එකතු කළේ ය. ලොව වටා අයිතිවාසිකම් අහිමි ජනතාවන්ගේ පොදු හැඟීම්වල, යහපත් ජීවිත පිලිබඳ ප්‍රාර්ථනාවල, මිනිසුන්ගේ කටයුතු මෙහෙයැවීම සඳහා අවශ්‍ය ආධ්‍යාත්මික වෙනස්කම් ඇතිකරවීමේ හැකියාවෙහි ප්‍රතිමූර්තිය බවට එතුමන් පැමිණියේ ය.
මදීබාගේ ආලෝකය කෙතරම් දීප්තිමත් ව බැබලූණේ ද යත්, පසුගිය හැත්තෑව දශකයේ දී රොබෙන් දිවයිනේ පටු සිරකුටියේ සිටිය දී පවා, ‘ලෝකයේ දුන්න’ සාධාරණත්වය දෙසට හරවා ලීම සඳහා තමා රඟ දැක්විය යුතු භූමිකාව කුමක් දැයි සලකා බැලීමේ දී ප්‍රමුඛතා විය යුත්තේ මොනවා දැයි නැවත විමසා බැලීම සඳහා ලොව අනෙක් පස තරුණ සරසවි සිසුවෙකුගේ හැඟීම් පුබුදුවා ලීමට ඔහුට හැකිවිය. පසු කාලය වනවිට, නීති සිසුවෙකු ව සිටිය දී, මැන්ඩෙලා සිරමැදිරියෙන් මතුවෙනු මම දිටිමි. මාස කිහිපයක් ඇවෑමෙන් බර්ලින් තාප්පයේ බිඳ වැටීම ඔබට සිහිපත් කරගත හැකි අතර, ලොව වටා හදවත් පිසගෙන පැතිර ගිය එම අපේක්ෂා සහගත උද්වේගය මට දැනුණි.
එය ඔබට දැනුණ හැටි මතක ද? මට එය පෙනුණේ, ප්‍රගතිශීලී බලවේග අනුකම්පා විරහිත, නොනවතින ගමනක යෙදී සිටියාක් මෙනි. ඔහු තැබූ හැම පියවරකින් ම දැනුණේ, කුරිරු මර්ධනීය පැරණි සැලසුම්, ඒ සා දිගු කලක් විශාල රැවටිල්ලකට හසුව තිබුණ මිනිස් හදවත් තුළ පැසවමින් ඔවුන්ගේ ආත්මයන් සිරගතකොට තිබුණ පැරණි වෛරයන් අප ඇස් ඉදිරියේ කුඩු පට්ටම් වී යන මොහොත එය බවයි. වේදනාකාරී ලෙස සාකච්ඡා මාර්ගයෙන් මදීබා මේ ජාතිය සහජීවනය කරා, එම ජාතියේ මුල් ම සාධාරණ මැතිවරණයට මෙහෙයවූවාක් මෙන්ම, අප හැම කෙනෙකු ම ඇසින් දුටු පරිදි පැරණි සතුරන් වැලඳ ගැනීමට තරම් කාරුණික මෙන් ම පරිත්‍යාගශීලී වූ අයුරු, තම රාජකාරිය සපුරා ලූ බව දැනුණ ඇසිල්ලේ ම බලයෙන් ඉවත් ව සිටීමට ශක්තිය ලබා දුන් ප්‍රත්‍යක්ෂය, අපි වටහා ගතිමු. එය හුදු එකතු වීමක් නොව, අප දුටුවේ, වඩාත් යහපත් ලොවක් තැනීමේ කටයුතු සඳහා කැපවීමට අවස්ථාවක් දෙමින් මර්දනය කළවුන් ඔවුනොවුන්ගේ අතීත පසුතැවිලි නම් වූ මාංචුවලින් නිදහස් කරවීමක් බව ය.
විසිවන සියවසේ අවසන් දශක දෙකෙහි දී, නෙල්සන් මැන්ඩෙලා නියෝජනය කළ ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය බොහෝ මාර්ගවලින්, ජාත්‍යන්තර දේශපාලනික සාකච්ඡාවන්ට කොන්දේසි පනවා තිබේ. දර්ශනය හැමවිට ම ජයග්‍රාහී වූ බවක් එයින් අදහස් නොවෙයි. එය කොන්දේසි මෙන් ම, පරාමිතීන් පැනවී ය. ප්‍රගතිය යන්නෙහි අදහස පිලිබඳ අප සිතූ ආකාරය එමගින් මෙහෙයැවිණ. එය දිගින් දිගට ම ලෝකය ඉදිරියට මෙහෙයවී ය. බෝල්කන් සිට කොංගෝ දක්වා ලේ වැගිරෙන සිවිල් යුද්ධ වැනි දුක්ඛිත අවස්ථාවන් තවමත් තිබෙන බව ඇත්ත ය.
ජාතික සහ පක්ෂග්‍රාහී කලිකලහ තවමත් හදවත් කම්පා කරවන ආකාරයෙන් දැල්වෙමින් තිබෙන බව නොතකා, න්‍යෂ්ටික එදිරිවාදිකම් දුබල කරවීම සඳහා වන සාකච්ඡා පවත්වා ගෙන යාමේ ප්‍රතිඵලය යන්න සැලකිල්ලට නොගෙන, සාමකාමී, සමෘධිමත් ජපානයක් සහ එක්සත් යුරෝපයක් නේටෝ සංවිධානයෙහි දී අතිනත ගනියි. ලෝක වෙළඳ රටාවට චීනය ඇතුලුවීම ආදි සියල්ල මහ බලවතුන් අතර සංග්‍රාමයක් ඇතිවීමේ අවදානම අවම කරවා තිබේ.
යුරෝපයේ සිට අප්‍රිකාව දක්වා ද, ලතින් ඇමරිකානු රටවල සිට ගිනිකොන දිග ආසියාව තෙක් ද පැවති ආඥාදායකත්වයන් ප්‍රජාතන්ත්‍රීකරණයට ලක් වී තිබේ, තවමත් ගමන ඇදෙයි. එක්සත් ජාතීන්ගේ ප්‍රකාශයෙන් සැලකිල්ලට ගැනුණ මානව හිමිකම් කෙරෙහි ගෞරව පූර්වක වීම සහ නීතියේ ආධිපත්‍ය, සැබෑ තත්වය පරමාර්ථයට බොහෝ දුරින් තිබෙන ජාතීන් බහුතරයකට මග පෙන්වන මතය බවට පත් ව තිබේ. මානව හිමිකම් කඩ වුණ ඇතැම් අවස්ථාවන්හි දී ඒ මානව හිමිකම් කඩ කළ වුන් සුරක්ෂිත වී ද තිබේ.
මේ භූ-දේශපාලනික වෙනස්කම් සමග ලොවපුරා පැතිරුණ ආර්ථික වෙනස්කම් පැමිණියේ ය. නූතන තාක්ෂණය මගින් බල ගැන්වූ ලෝක ව්‍යාප්ත බලවේගයන්ගේ සංකලනය, වෙළඳපොළ පදනම් කරගත් ප්‍රතිපත්ති හඳුන්වා දීමත් සමග, වරෙක ලෝක ආර්ථිකයේ කෙළවරිනුත් පහතට ඇද දමා නොතකා හැර තිබුණ එතෙක් පැවති සංවෘත ආර්ථිකයන්හි ව්‍යවසායකත්ව සාමාර්ථ්‍යතා එක වර ම මුදා හැරියේ ය. ක්ෂණික ව ඔවුන් සැලකිල්ලට භාජනය විය. ඔවුනට කිසියම් බලයක් මෙන් ම, ව්‍යාපාරය කරගෙන යාමේ හැකියාවන් තිබිණ. ඒ සමග ම, කඩා බිඳගෙන යන විද්‍යාත්මක සොයා ගැනීම්, යටිතල පහසුකම්, අවිගැටුම් අවම කිරීම් එලි දැක්විණ. බිලියනයක පමණ පිරිසක් එක වර ම දිලිඳු බවින් ඉහලට ඔසවා තැබිණ. වරෙක අහේනියට පත් ව සිටි ජාතීන්ට ස්වයං පෝෂණය වීමට හැකිවිය. ලදරු මරණ අනුපාතිකයන් වේගයෙන් පහළ ගියේ ය. ඒ අතරතුර, අන්තර්ජාලයේ පැතිරීම සාගර, සංස්කෘතීන්, මහාද්වීප හරහා ක්ෂණික ව එක් වී සම්බන්ධතා ගොඩ නැගීමේ හැකියාව මිනිසුනට ලබාදිනි. අද වනවිට මුලු මහත් ලොව පුරා පැතිර තිබෙන ඵලදායක දැනුම අති දුෂ්කර ගම්මානයන්හි ළදරුවා අතට ද පත්වී තිබේ.
දශක කිහිපයක් තුළ සිදුවූයේ එයයි. ඒ සියලු දියුණුව සත්‍ය යි. එය පුළුල් මෙන් ම ගැඹුරු යි. ඒ සියල්ල සිදුවූයේ කුමක ද? එය ඇසිපිල්ලම් ගහන මොහොතක් තරම් කාලයක් තුළ මානව ඉතිහාසයේ ප්‍රමිතීන් තුළ සිදු වූවක් ය. බොහෝ මානයන්ගෙන් ඉතාමත් ශක්තිමත් නිදහස් සෞඛ්‍ය සම්පන්න සහ ධනවත් පරපුරක්, කුරිරුකම් අවම වූ වඩාත් ඉවසිලිවන්ත ලෝකයක් තුළ ඔවුන්ගේ ජීවිත කාලයන් තුළ මේ වන විට මුලූමනින් ම වර්ධනය වී තිබේ.
එය අප ව බලාපොරොත්තු සහගත කළ යුතු ය. එහෙත්, මදීබා සිර මැදිරියෙන් බැහැරට පිය නැගූ මොහොතේ පටන් ලෝකය තබා තිබෙන සමහර පියවර ම ප්‍රතික්ෂේප කිරීම අපට කළ නොහැකි නම්, ජාත්‍යන්තර වැඩ පිලිවෙළ ගිවිසගත් ආකාරයට කටයුතු කර නොමැති සියලූ මාර්ගයන් හඳුනා ගැනීමටවත් අපට සිදුවෙයි. සත්‍ය වශයෙන් ම එයින් කොටසක් රජයන්හි සහ ප්‍රබල කොටස්වල දුබලතා මෙන් ම, මේ ජාත්‍යන්තර වැඩ පිලිවෙළවල්වල නොගැලපීම් සෘජුව නොඇමතීම ය. ව්‍යාපාරය කරගෙන යාමේ දී, ලෝකයෙන් වැඩි ප්‍රමාණය වඩාත් අනතුරුදායක මෙන් ම සාහසික පැරණි ක්‍රමයකට ආපසු ඒමට තර්ජනය කරමින් සිටිනු අපි අද දකිමු.
එ නිසා, පොත්වල තිබෙන නීති, ව්‍යවස්ථාවන්හි ඇතුළත් නියමයන් කවරක් වූයේ වී නමුත්, පසුගිය දශකයන් කිහිපය තිස්සේ ජාත්‍යන්තර සම්මේලන සහ එක්සත් ජාතීන්ගේ ශාලාවන්හි කතාකර තිබෙන වචන කෙතරම් මනහර වුවත්, අපට ඇරඹීමට සිදුවන්නේ, වරප්‍රසාද, බලය, අසාධාරණකම්, සූරාකෑම් කරගෙන යාමට එතෙක් තිබුණ වැඩ පිලිවෙළවල් මුලූමනින් ම අතුරුදන් වී නොමැති බව පිලිගනිමිනි. ඒවා තිබූ තැන්වලින් සම්පූර්ණයෙන් ම ඉවත් කරවා නැත.
ඉන්දීය උපමහාද්වීපය තුළ මිනිසුන්ගේ ජීවන අවස්ථාවන්වලට කුලය තවමත් බලපෑම් කරයි. සදාචාර සහ ආගමික වෙනස්කම් මධ්‍යම යුරෝපයේ සිට ගල්ෆ් ප්‍රදේශ දක්වා අවස්ථාවන් ලැබෙන්නේ කවුරුන්ට ද යන්න තවමත් තීරණය කරයි. එක්සත් ජනපදයේත්, දකුණු අප්‍රිකාවේත් ජාතිය පදනම් කරගත් නොසලකා හැරීම් තවමත් කෙරෙන බව සරල කාරණයකි. ආදායම, වත්කම්, අධ්‍යාපනය, සෞඛ්‍ය, පෞද්ගලික රැකවරණය සහ ණයවර ගනුදෙනුවලට ලඟාවීම ආදි අවස්ථාවන්හි දී, වසර ගණන් තිස්සේ ගොඩ ගැසුණු සංස්ථාපිත පීඩනයන්ගෙන් සිදුවන අනර්ථයන් නිර්මාණය කර තිබෙන පුළුල් වෙනස්කම් සැලකිල්ලට ගතයුතු ය. ලොව වටා ගැහැණුන් සහ ගැහැණු ළමයින් බලය සහ අධිකාරිත්වය ඇති තැන්වලින් වළක්වා තිබේ. මූලික අධ්‍යාපනය ලැබීමෙන් දිගින් දිගට ම ඔවුන් ව දුරස්කර තැබෙයි. රුදුරුකම් සහ අපචාරයන්ට ගොදුරුවීමේ දී කිසිවකුගේ තරම නොසැලකේ. තවමත් ඔවුන්ට ලැබෙන්නේ ඒ දෙය ම කරන පිරිමින්ට වඩා අඩු වැටුපකි. මේවා තවමත් සිදුවෙමින් පවතියි. ආර්ථික අවස්ථා ලෝක ආර්ථිකයේ ශ්‍රී විභූතියයි. දිදුලන අහස උසට නැගුණ ගොඩනැගිලි, වටපිටාව, නගර, කලාප, ජාතීන් මග හැර, ලොව පුරා භූමියෙහි පෙනුම වෙනස් කරමින් තිබේ.
වෙනත් වචනවලින් කියතොත්, දුර බැහැර බොහෝ දෙනෙකුගේ බොහෝ දේ වෙනස් වී තිබෙන අතර ම තවත් දේවල් නොවෙනස් ව ම තිබේ.
ගෝලීයකරණය සහ තාක්ෂණය නව අවස්ථා විවරකර ඇත. කලින් දනි පනි ගසමින් සිටි බොහෝ කලාපවල සැලකිය යුතු ආර්ථික වර්ධනයක් දැකිය හැක. ගෝලීයකරණය බොහෝ රටවල කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයන් කෙලින් සිටුවා තිබේ. එය සමහර වැඩකරුවන්ගේ ඉල්ලූම අඩුකර ඇති අතර, වෘත්තීය සමිති සහ කම්කරුවන්ගේ කේවෙල් කිරීමේ අයිතිය අඩපණ කරවා ඇත. ප්‍රාග් ධනයට බදු නීති රීති සහ ජාතික සහ රාජ්‍ය නියෝගයන් මග හැරීම පහසු කරවා තිබේ. එයට, පරිගණකයක බොත්තමක් එබූ පමණකින් ඇසිල්ලකින් බිලියන ගණන් එහා මෙහා කරවිය හැකි ය.
මේ සියලු නැමියාවන්ගේ ප්‍රතිඵලය ආර්ථිකමය අසමතුලිතතාවෙහි පුපුරා යාමකි. එයින් අදහස් වන්නේ, දුසිම් කිහිපයක් වූ පුද්ගලයන් කිහිප දෙනෙකු අතින් මානව සංහතියෙන් දිලිඳු ම අඩට සමාන වත්කම් ප්‍රමාණයක් පාලනය කෙරෙන බව ය. අතිශයෝක්තියක් නොවන එය සංඛ්‍යාමය වශයෙන් දැක්විය හැක්කකි. ඒ ගැන සිතන්න.
මධ්‍ය ආදායම්ලාභී සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ගණනාවක මිනිසුන්ට ලැබුණ පැරණි නරක ගණුදෙනුව ඔස්සේ නව ධනයක් හඹාගොස් තිබේ. වඩාත් සුවිසල් අවස්ථාවන් සවිබල ගැන්වූ එයින් ගොඩ නැගුණ සංයුක්ත අසමානතා රටාවන් මහා පරිමාණ දූෂණයන්ට පුළුල් ඉඩකඩක් නිමැවී ය. එය සිදු වූ එක ම වෙනසයි. එක්සත් ජනපදයේ වැනි දියුණු ආර්ථිකයන්හි සුවිශේෂ කුසලතා නොමැති, නිෂ්පාදන ක්‍රියාවලීන්හි නියුතු, කර්මාන්ත ශාලා සේවක, හෝ ගොවිපළ සේවාවන්හි නියුතු ව සිටි, කලෙක ශක්තිමත් මධ්‍යම පාන්තික පවුල්වලට නම් මෙවන් යොමුවීම් පෙනුණේ දැවැන්ත ආර්ථික අනාරක්ෂිත තත්වයන් ලෙස ය.
හැම රටක දී ම, ඉහළින් ම සිටින්නවුන්ගෙන් එල්ල වන මෙවන් පමණට වඩා ලොකු ආර්ථික ප්‍රහාර එම රටවල ප්‍රතිපත්තිමය වශයෙන් සැලකිල්ලට ගනු ලබන දේශපාලනික, සහ මාධ්‍ය දේහයන්ට හැමතින් ම වියරු විසමානුපාතික බලපෑමක් එල්ල කරනු ලැබුණ අතර, ඔවුන්ගේ රුචිකත්වයන් කෙළවර වන්නේ නොසලකා හැරීමෙනි. ඔවුන්ට සහාය වන වෘත්තීය පන්තිය වන මේ ජාත්‍යන්තර ප්‍රභූ පිරිස ඉතා වැදගත්කොට සැලකිය හැකි ආකාරයන්ගෙන් පැරණි පාලක ප්‍රභූ පැලැන්තියෙන් වෙනස් වන බව, දැන් සනිටුහන් කරගත යුතු ය. එහි අන්තර්ගත වන්නේ, ඒ අය තම තමන් විසින් ම ඒ තැන්වලට ආ බොහෝ දෙනෙකු මෙන් ම, කුසලතාවන්ගෙන් ප්‍රමුඛත්වයට පත්වූවන් බව ය. ඒ අතර ම, තවමත් සුදු පුරුෂ පක්ෂයෙන් සැදුම්ලත් ඔවුන් වසර සීයකට පෙර නොපැවති ජාතිකත්වයන් සහ වාර්ගිකත්වයන්ගෙන් යුක්ත වෙනස්කම් පිලිබිඹු කරයි. දේශපාලනයේ දී ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සලකන්නේ තම තමා නිදහස් මතධාරී, නවීන, ආකල්පමය වශයෙන් විශ්වයට ම අයත් වූවන් ලෙස ය. ජාතිවාදයෙන් හෝ ප්‍රදේශවාදයෙන් හිරිහැර නොවන, ජාතිකත්ව අගතීන්ගෙන් මෙන් ම දැඩි ආගමික මතයන්ගෙන් නිදහස් ඒ අය, නිව්යෝර්ක්, ලන්ඩන්, ෂැංහයි, නයිරෝබි, බුවෙනෝස් අයර්ස්, හෝ ජොහැන්නස් බර්ග් ආදි කොතැන දී වුව ද එක හා සමාන ව ම සුවපහසුවෙන් සිටින බව පෙනෙයි. බොහෝ දෙන අවංක මෙන් ම මානව හිතවාදිත්වයෙන් ඵලදායක ය. සමහරු ඔවුන්ගේ විරුවන් අතර, නෙල්සන් මැන්ඩෙලාට සැලකිලි දක්වති. එක්සත් ජනපද ජනාධිපති ධුරය සලකා සමහරු බැරැක් ඔබාමාට සලකති. එක්සත් ජනපදයේ හිටපු ප්‍රධානියා වශයෙන් මා හිමිකරගෙන තිබෙන තරාතිරමේ ආශිර්වාදයෙන් සමහරු මා ඔවුන්ගේ කණ්ඩායම්වල ගෞරවණීය සාමාජිකයකු ලෙස සලකති. ඔවුන්ගේ සිත්ගත් නොයෙක් කටයුතුවලට මට ඇරයුම් කෙරෙන බව ඔබ දනිති. ඒවායේ දී ඔවුහු මා උඩ යවති. (සිනා)
එහෙත් සැබෑ ලෙස දැකිය හැකි දෙය නම්, කර්මාන්ත සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි පතාකයින් ව්‍යාපාරික ගනුදෙනුවලදී එක් ස්ථානයකට හෝ ජාතිකත්වයකට සම්බන්ධ ව සිටීමෙන් බැහැර වීම වේගවත් වෙමින්, ඔවුන්ගේ මුල් රටවල්වල සාමාන්‍ය ජන අරගලයන්ගෙන් ඉවත් ව ජීවත් වීම වේගවත් වන බව දක්නට ලැබීමයි. ඔවුන්ගේ තීරණ - නිෂ්පාදන යන්ත්‍රයක් නවතා දැමීම, ලාභාංශ උපරිම කරගෙන බදු ප්‍රමාණය අව ම කරගන්නා අදහසින් ඉහළ මිලක් අය කරන ගණකාධිකාරීන් හෝ නීතිඥයන්ගේ සේවය ලබා ගැනීම, අඩු වැටුපට සේවය සලසන සංක්‍රමණික ශ්‍රමය ලබා ගැනීමේ වාසිය අත්කර ගැනීමට තීරණය කිරීම, අල්ලස් දීමට යොමුවීම - ආදියෙහි දී කිසිවිටෙකත් කුඩුකේඩුකමකින් තොර ව වහා කිරීමට යොමුවේ. ඔවුන් සලකන්නේ එය, ශේෂපත්‍ර, කොටස් හිමියන් සහ තරඟකරුවන්ගෙන් එල්ල වන පීඩන ආදි ඉල්ලීම්වලට දැක්වෙන තර්කානුකූල සැහැල්ලු ප්‍රතිචාරයක් ලෙස ය.
එහෙත් නිතර ම පාහේ, මෙම තීරණ ගැනීමෙහි දී මානව සාමුහිකත්වය පිලිබඳ කිසිදු තැකීමක් නොකෙරෙයි. එනම්, තීරණ ගනු ලබන්නන් තුළ එම තීරණවල ප්‍රතිඵල අත්වන සුවිශේෂී මිනිස් කණ්ඩායම්වල සුවිශේෂී පුද්ගලයන් පිලිබඳ මූලික අවබෝධයක් පවා නොමැත. ගෝලීය මට්ටමේ තීරණ ගන්නවුන්ට ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවන්හි හෝ විවේක වේලාවන්හි දී සේවයෙන් පහ කරනු ලබන සේවකයන්ගේ මුහුණුවලින් පළවෙන වේදනාවන් දැකීමට සමහර විට අවස්ථාවක් නොලැබේ. අව ම මට්ටමින් බදු ගෙවීමේ හෝ බදු ගෙවීම් මග හැරීමේ ප්‍රතිඵල වශයෙන් පොදු අධ්‍යාපනික අවස්ථාවන් සහ, සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ අහිමි වන විට ඔවුන්ගේ දරුවෝ පීඩාවට පත් නොවෙති. තමා වැඩ කරමින් සිටිය තැනට වැඩට පැමිණි නවකයා තමාගේ භාෂාව කතා නොකරන්නේ යයි එතැන කලක් තිස්සේ වැඩ කරමින් සිටි සේවකයකු පැමිණිලි කරන විට, වියපත් සේවකයාගේ නොපහන් සිතට සවන් දීමට ඔවුනට නොහැකි ය. ඔවුන්ගේ ගෝලීයකරණය සංස්ථාපිත ආර්ථික වැඩපිලිවෙළවල් පමණක් නොව, සාම්ප්‍රදායික සමාජ-ආගමික සිරිත් විරිත් පවා හතරගාතෙන් යවන විට, ඔවුන්ගේ ගම්වැසියන් පත්වන අපහසුවට සහ අවතැන්වීම්වලට ඉහත කී තීරණ ගන්නවුන් එලැඹෙන අවස්ථා අව ම ය.
විසිවන සියවස අවසානයේ, සමහර බටහිර විචාරකයන් ඉතිහාසයේ නිමාව, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය විජයග්‍රහණය සහ ගෝලීය සැපයුම් දාමයෙහි සදාචාරයන් ගැන කියද්දී කැකෑරෙන පෙරලා පහරදීමක සලකුණු ගණනාවක් - නොයෙක් ආකාරයන්ගෙන් එල්ලවන පෙරළා පහර දීමක් - දක්නට ලැබෙන්නේ මෙ නිසා ය. 9/11 සිද්ධිය ලෙස මතු වූ අන්තර්ජාතික ත්‍රස්ත ජාලයන්ගේ මතුවීම හරහා ඉතාමත් කුරිරු ලෙස ප්‍රකාශයට පත් වූ කරුණු ගණනාවකි. එය ලොව ශ්‍රේෂ්ඨ ආගමකට මුවා වී විකෘති කළ අදහසකින් බල ගැන්වූවක් ය යන්න එකකි. එය හුදෙක් ඉස්ලාම් ධර්මය සහ බටහිර අතර පවත්නා අරගලයක් නොවූ අතර, ඉස්ලාමය සහ නවීකරණය අතර ඇතිවූවක් ය යන්න තව එකකි. වැරදි උපදෙස් මත පක්ෂග්‍රාහී ගැටුමක් වේගවත් කරවමින් එක්සත් ජනපදය ඉරාක යුද්ධයට මැදිහත් වීමෙන් සිදුවූ යහපතක් නොවූ බව ද එයින් ඉගැන්වුණ පාඩමකි.
එහි දේශසීමාසන්නයේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් තර්ජනයට ලක් වී යයි හැඟී, හිටි අඩියේ යලි අධිකාරිවාදී පාලනය අවධාරණය කිරීමට පටන් ගැනීමෙන් සහ සමහර පැතිවලින් අසල්වැසියන්ගේ ඇඟිලි ගැසීම්වලින් අවුල් වී සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීමෙන් ඇති වූ බෙලහීනතාව රුසියාවට අවමානයකි. ආර්ථික ජයග්‍රහණයන්ගෙන් නිර්භීත වූ චීනය ඔවුන්ගේ මානව හිමිකම් වාර්තාවන්ට එල්ල වුණ විවේචනයට එරෙහි ව කිපීමට පටන් ගත් අතර, බැහැරින් පැමිණෙන අවුල් කිරීම් නැතිනම්, නව නමකින් පෙනී සිටින අධිරාජ්‍යවාදයට වඩා වැඩි යමක් නොමැති නිසා, එය ගෝලීය වටිනාකම් ඉහළ නැංවීම සැකසී ය. ඒ සමග ම ඔබට ජනප්‍රිය ව්‍යාපාරයන් පෙනෙන්නට පටන් ගැනුණි. එක්සත් ජනපදය තුළත්, යුරෝපීය හවුල තුළත්, ගෝලීයකරණයට එරෙහි අභියෝගයන් මුලින් ම පැමිණියේ වමෙනි. නමුත්, පසුව වඩාත් බලසම්පන්න ලෙස ඒවා දකුණින් පැමිණියේ ය. මේවාට නින්දා සහගත ලෙස හැමවිට ම අරමුදල් සැපයුණේ, දක්ෂිණාංශික ප්‍රකෝටිපතියන්ගෙනි. ඔවුන්ගේ හැඟීම වූයේ, ඒ අයගේ ව්‍යාපාරික ප්‍රමුඛතාවන්ට රජයෙන් එල්ලවන බාධාවන් අව ම කර ගැනීම ය. නාගරික ප්‍රදේශවලින් බැහැර ජීවත් වූවන්ගේ අපහසුව, මෙම ව්‍යාපාරයන් උරා ගත්තේ ය. ආර්ථික සුරක්ෂිතතාව පිලිබඳ පැවති තැති ගැනීම් පසෙකට ලිස්සා ගියේ ය. සමාජ තරාතිරම් සහ වරප්‍රසාද සේදී ගියේ ය. සංස්කෘතික අනන්‍යතාවන් පෙනුමෙන්, භාෂාවෙන්, ආගමෙන් තමන්ට වඩා වෙනස්, පරිබාහිර පුද්ගලයන්ගෙන් තර්ජනයට ලක්විය.
අන් කවර දෙයකටත් වඩා, සමහර විට, මුල්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ඨයන්ගේ නොසැලකිලිමත්කමේ විපාක ලොව පුරා සාමාන්‍ය මිනිසුන්ට බොහෝ දුෂ්කරතා ඇති කළ, 2008 මූල්‍ය අර්බුදයේ විනාශකාරී බලපෑම ඒ සියලු දක්ෂයන්ගේ සහතික වීම් කරකවමින් උඩ ඇරියේ දෝංකාර දෙවමිනි. කෙසේ හෝ, ගබඩාවන් සුරක්ෂිත බවත්, ගෝලීය ආර්ථික සහයෝගීතාව වෙන කිසිවක් හා මිශ්‍ර නොවූ දෙයක් ය, තමන් කරමින් සිටියේ කිමෙක් ද යන්නත් මුල්‍ය වෙලඳපළ මෙහෙයවූවෝ දැන සිටියහ. එම අර්බුද සමයෙහි සහ පසුව, විශේෂයෙන් මට සඳහන් කළ හැකි, මගේ පරිපාලන සමයෙහි ගත් ඇතැම් ආක්‍රමණශීලී පියවර ඇතුළු රජයන් විසින් ගනු ලැබූ ක්‍රියා මාර්ග නිසා, දැන් ලෝක ආර්ථිකය සුවපහසු වර්ධනීය මගකට නැවත පැමිණ තිබේ. එහෙත්, ජාත්‍යන්තර විධික්‍රම සහ වොෂින්ටන්, බ්‍රසල්ස් වැනි ස්ථානවල සිටි දක්ෂයන් කෙරෙහි තුබූ විශ්වාසය සුළඟේ පාවී ගියේ ය.
මේ සමග මතුවීමට පටන් ගත්, බිය ජනක, එකිනෙකට වෙනස්, වියදම අඩු කිරීම පිලිබඳ මතිමතාන්තර, දැන් ක්‍රියාත්මක ව තිබෙන අතර, වසර කිහිපයකට පෙර සිතා ගැනීමටවත් නොහැකි ව තිබුණ වේගයකින් ඒවා දැන් පැතිරෙමින් තිබේ. බිල්ලෙකු නොවන මා, හුදෙක් කරුණු දක්වන්නෙකු පමණි. වටපිට බලන්න.
එක වර ම, පහත වැටෙන මැතිවරණ සහ ව්‍යාජ ප්‍රජාතාන්ත්‍රික මූල ධර්ම උත්කර්ශයට නංවන ප්‍රබලයන්ගේ දේශපාලනයක් පවත්වාගෙන යාමේ වෑයමක් පෙනේ. එහි ස්වභාවය නම්, බලයේ සිටින්නවුන් සියලූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සුණු විසුණු කිරීමට සහ එය අර්ථවත් කෙරෙන සියලූ හරයන් නැති භංග කර දැමීමට මාන බැලීම ය. සංරක්ෂණවාදී නොවන වේදිකාවන්හි සහ සංවෘත දේශ සීමාවන්හි මුල් බැසගත් අති දක්ෂිණාංශික දේශපාලන පක්ෂ බටහිර ලෝකයෙහි දැකිය හැකි අතර, එවා සමහර විට, ගොඩනැගී ඇත්තේ, සැඟවුණ වාර්ගික ජාතිකත්වයන් මත ය. බොහෝ සංවර්ධනය වෙමින් පවත්නා රටවල්, ප්‍රජාතන්ත්‍රවාදයෙහි පවත්නා අවුල් සහගත භාවය නිසා, දැන් වාණිජ ප්‍රාග්ධනය පදනම් කරගත් චීන අධිකාරිවාදී පාලන මාදිලිය දෙසට කැමැත්ත පළ කරන බවක් පෙනේ. ආර්ථිකය යහපත් ව දිවෙන තාක්, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම අවශ්‍ය වන්නේ කාටද? නිදහස් මාධ්‍ය ප්‍රහාරයට ලක් වෙමින් තිබේ. මාධ්‍ය වාරණය සහ රාජ්‍ය පාලනයට යටත් කිරීම මතු වෙමින් තිබේ. වරෙක දැනුම මතුකර ගැනීමේ, අන්‍යොන්‍යාවබෝධයේ සහ සාමූහිකත්වයේ මාර්ගය ලෙස උත්කර්ශයට නැංවුණ සමාජ මාධ්‍ය, වෛරය, වියරුව සහ ප්‍රචාරණය සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිලිවෙලවල් පතුරුවා හැරෙන මාර්ග ලෙස හංවඩු ගැසෙමින් තිබේ.
ගෝලීය මානව වර්ගයාගේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් වන එකිනෙකට වෙනස් දර්ශන දෙකක් මානව හදවත් සහ මනස් දිනා ගැන්මට තරග කරන මේ මොහොතෙහි මදීබාගේ සියවන ජන්ම දිනය සමරන අපි මං සන්ධියකට පැමිණ සිටිමු. එතැන එකිනෙක කැපෙන්නේ, එකිනෙකට වෙනස් කතාන්තර දෙකකි, එකිනෙකට වෙනස් පැහැදිලි කිරීම් දෙකකි. එතැන දී, අප කවුරුන් ද, අප කවුරුන් විය යුතු ද, ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද යන ප්‍රශ්න අප තුළ නැගෙයි.
සිපිරිගෙයින් මදීබාගේ නිදහස ලැබීම, බර්ලින් තාප්පය ඇද වැටීම, සමග දැනුණ අපේක්ෂාවේ රළ අප දැක්ක යුතු ද? අප තුළ තිබුණ බලාපොරොත්තුව බොලඳ, නොමග යැවුණක් ලෙස දැක්ක යුතු ද? අප වටහා ගත යුත්තේ, බලය සහ අයිතීන්, දේශපාලනය, ජාති, ගෝත්‍ර, ආගම් හෝ ජන වර්ග අතර දැවැන්ත යුද්ධයක් ඇති වන තෙක්, ගැටුම අද්දර නිරතුරු ව රඟ දැක්වෙමින් තිබුණ, ප්‍රතිඵලය බින්දුවක් වූ එදිරිවාදිකම් තරගයක් බවට පත් කරගෙන තිබුණ, පසුගිය පස් විසි වසර තිස්සේ සිදුවූ ගෝලීය අන්තර් සබඳතා, මීට කලින් තිබුණ අනිවාර්ය ඓතිහාසික චක්‍රය ම වෙනත් පැත්තකින් යාමකට වඩා වැඩි දෙයක් නොවන්නේ දැයි අප සිතනවා ද යන්න ය.
මා අදහන දෙය ඔබට කීමට ඉඩ දෙන්න. මම නෙල්සන් මැන්ඩෙලාගේ දර්ශනය විශ්වාස කරමි. මහත්මා ගාන්ධි, මාර්ටින් ලුතර් කිං, ඒබ්‍රහම් ලින්කන් බෙදා හදාගත් මාදිලියේ දර්ශනයක් මම විශ්වාස කරමි. මේ හැම දෙන ම එක සමාන ව මවන ලද්දවුන් ය, මැවුම්කරුවාණන්ගෙන් ම සියල්ලන්ට ම අයත් වූ වෙනස් කළ නොහැකි අයිතිවාසිකම් සමූහයක් තිබේ යන මතය පදනම් කරගත්, සමානාත්මතාවාදි, සාධාරණ, නිදහස්, බහුවාර්ගික ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයක් අදහමි. එවන් පරමාර්ථ මගින් මෙහෙයැවෙන ලෝකයක් වියහැකි දෙයක් ය. පොදු යහපත අපේක්ෂා කරන එයට තව තවත් සාමය සහ සහයෝගිතාව එක් කර ගත හැකි ය, යන්න මගේ ඇදහීමයි.
ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ කීමට වටිනා කතන්දර තිබෙන පොදු මනුෂ්‍ය වර්ගයක් කෙරෙහි විශ්වාසය තබන අපට ඉදිරියට යාම හැර, විකල්පයක් නොමැති බව ද මම විශ්වාස කරමි. ඒ සමග ම, මෙය හුදෙක් හැඟීමක් පදනම් කර ගත්තක් නොව, සාක්ෂි මත ගොඩ නැගුණක් බව ද මම විශ්වාස කරමි.
ලොව වඩාත් සමෘධිමත් සහ ජයග්‍රාහී, ජීවන මට්ටම් අතින් ඉහළින් ම තිබෙන සමාජයන්හි ජනතාවන් අතර තෘප්තිමත් භාවය අතින් උසස් අය සිටිති. ඒ අයට අප කතා කරන මෙම නිදහස් ප්‍රගතිශීලී මතවාදයට දැඩි ලෙස සමීප වීමට සිදුවී තිබෙන අතර, බුද්ධියත්, ඒ ජනතාවන්ගේ දායකත්වයනුත් එමගින් පෝෂණය වී තිබේ. අධිකාරිවාදී රජයන් වරින් වර පෙන්වා තිබෙන දූෂණය පෝෂණය කිරීම පිලිබඳ කාරණය, අවසානයේ ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සහ විද්‍යාත්මක ක්ෂේත්‍රයන් තුළ හිරවීමෙන් කෙළවර වන ඔවුන් වගවීමෙන් තොර බව, රට වැසියන් මර්දනය, අවසානයේ සත්‍ය මගහැර යාම සහ ලොකු ලොකු ප්‍රෝඩාවන්හි නියැලීම නිසා වන දෙයකි. හේතු සාධක දෙස බලන්න.
ප්‍රධාන සංවිධාන ශක්තිය ලෙස වියරු ජාතිවාදය, විදේශිකයන් නුරුස්නා බව, ගෝත්‍රික විශ්වාසයන්, වාර්ගික සහ ආගමික ශ්‍රේෂ්ඨත්වය කෙරෙහි විශ්වාසය තබන රටවල් අවසානයේ ඔවුන් විසින් ම අභ්‍යන්තර කැරලි කෝලාහල හෝ බාහිරින් එල්ලවන යුදමය තත්වයන්ගේ ගොදුරු බවට පත්වෙයි. ඉතිහාස පොත් පෙරළා බලන්න.
තාක්ෂණය නැවත බෝතලයක දමා මුඩිය තද කළ නොහැක. එනිසා ම අප ජීවත් වන්නේ එකිනෙකාට වඩාත් සමීප ව ය, යන කාරණයෙහි හිර වී සිටිමු. ජනගහන වර්ධනය පෙනෙන්නේ සසල වීමට යන බව ය. පාරිසරික අභියෝග හිතා මතා ම ඉවත්ව නොයනු ඇත. එ නිසා, කාලගුණ විපර්යාස, සාමුහික සංක්‍රමණය හෝ වසංගත රෝග වැනි ගැටළු ඇමතීමට තිබෙන හොඳ ම මග වඩ වඩාත් අන්තර්ජාතික සහයෝගිතාව සහ වැඩසටහන් දියුණු කිරීමයි.
කීමට ලස්සණ කතන්දරයක් අපට තිබේ. අනාගතය පිලිබඳ අපේ දැක්ම වඩාත් යහපත් බව කියන්න. එහෙත්, එය දිනා ගත හැකි බව අනිවාර්ය යයි නොකියන්න. මක් නිසා ද, බිය කෙතරම් බලවත් ද යන්න අතීතයෙන් ද පෙනෙන නිසා ය. මිනිස් සිත්වල ග්‍රහණයට හසු වූ නිම නොවන කෑදරකමක් ඉතිහාසය පුරා ම දැකිය හැක. විශේෂයෙන් ම, පිරිමින්. මිනිසුන් කෙතරම් ඉක්මනින් වෙනස් ව පෙනී සිටින්නවුන් හෝ වෙනස් ආකාරයකින් දෙවියන් යදින්නවුන් දෙසට හැරෙන්නේ දැයි ඉතිහාසය පෙන්නුම් කරයි. එ නිසා, නිදහස දෙසට යොමු වූ මදීබාගේ දිගු ගමන දිගට ම පවත්වා ගැනීමට අවංක හැඟීමක් ඔබ තුළ ඇත්නම්, මහත් වැර වෑයමකින් කටයුතු කිරීමටත්, සිත යට කැකෑරෙන හැඟීමක් පවත්වා ගැනීමටත් යුහුසුළු විය යුතු ය. මෑත ඉතිහාසයේ වැරදුණ තැන්වලින් ඉගෙනීමට කැපවිය යුතු ය. ඉතිරි ව තිබෙන කෙටි කාලය තුළ, මදීබාගේ කටයුතු, වචන සහ ජීවිතාදර්ශයන්ගෙන් හඳුනා ගත් ඉදිරියේ හමුවන මං සලකුණු කිහිපයක් සඳහන් කිරීමට මට ඉඩදෙන්න.
පළමු ව, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාස කරන අපට අසමානතාව අව ම කිරීමට සහ සියල්ලන්ට ම නිම නොවන ආර්ථික අවස්ථාවන් සම්පාදනය කිරීමෙහි ලා දැඩි සටනක නියැලීමට සිදුවන බව මදීබා පෙන්වයි.
ආර්ථික නියතිවාදය මම දැන් විශ්වාස නොකරමි. හුදෙක් පාන් මත ම මිනිසුන් ජීවත් නොවන මුත්, ඔවුනට පාන් අවශ්‍ය ය. දැඩි වෙනස්කම් ඉවසාගෙන සිටි සමාජ අමනාපයන් පෝෂණය කළ අයුරු, සාමුහිකත්වය දූෂණය කළ අයුරු සහ ඉතා හෙමින් දියුණු වූ අයුරු, ඉතිහාසය පෙන්වයි. යාන්තමින් යැපීමට ප්‍රමාණවත් මූලික දේවල් ලැබුණ ඇසිල්ලේ ම මිනිස්සු, ඔවුන්ගේ අසල් වැසියන් හා සසඳමින් තම තමන්ගේ සුව පහසුව මැන බැලීමටත්, ඔවුන්ගේ දරුවන්ට වඩාත් යහපත් ජීවිත ගත කිරීමේ අපේක්ෂාවන් ඇතිකර ගතහැකි දැයි විමසා බැලීමටත් යොමු වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. සුළුතරය අත ආර්ථික ශක්තිය හිර වූ කල, දේශපාලන බලය ගැන සැලකිල්ල යොමුවන බවට කරුණු දක්වන ඉතිහාසය, එය ප්‍රජාතාන්ත්‍රික නිදහස කාබාසිනියා කළ ආකාරය ගෙනහැර දක්වයි. සමහර විට, වංචා ව මහ දවල් පාරට බැස්ස වූ එය, මුදල් හුවමාරුවට අත නොගැසූ අවස්ථාවන් ද තිබේ. මානව නිදහස නැතිකර දැමූ මුදල්, තම අවශ්‍යතා සපුරා ගැනීමෙහි උත්සුක වූ ධනවත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවකි.
මදීබා මෙය වටහා ගත්තේ ය. එය අලූත් දෙයක් නොවේ. එතුමා මේ ගැන අපට අවවාද කළේ ය. “හැමවිට ම කෙරෙන ආකාරයට ගෝලීයකරණය අර්ථවත් වන තැන, දිලින්දන්ගේ වියදමෙන් සහ දුබලයන්ගේ ශක්තියෙන් පොහොසතුන්ට සහ බලවතුන්ට තව තවත් තම තම තමන්ගේ පොහොසත්කම් සහ ධනවත්කම් දියුණු කර ගැනීමට අවශ්‍ය නව මාර්ග සැකසී තිබේ. ගෝලීය නිදහසේ නාමයෙන් මෙයට එරෙහි වීමේ වගකීමක් අප සැමට තිබේ.” ඔහු කීවේ එයයි. එ නිසා, ගෝලීය නිදහස පිලිබඳ අප උත්සුකවන්නවුන් නම්, සමාජ සාධාරණත්වය කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නම්, ඒ ගැන යමක් කිරීමේ වගකීමක් අපට තිබේ. නිතර නොකරන නමුත්, මදීබාගේ ප්‍රකාශයට ගෞරවාන්විත ව තව යමක් එකතු කිරීමට මම කැමැත්තෙමි. විරෝධතා දැක්වීම පමණක් ප්‍රමාණවත් නොවේ. ගොඩ නැගීමක නිරත වීමට ද අප යොමු වියයුතු ය. නව නිපැයුම් සඳහා උනන්දු විය යුතු ය. රටවල් තුළ සහ රටවල් අතර දිනෙන් දින පුළුල් වන ධනය සහ අවස්ථාවන් තිබීම සහ නොතිබීම අතර විවරය හැකිලීමට කළ යුත්තේ කුමක් දැයි හඳුනා ගැනීමට යොමු විය යුතු ය.
රටින් රටට වෙනස් වන මෙයට අප ලඟා වීමට යන්නේ කෙසේ ද? ඔබේ නව ජනාධිපතිවරයා කමිස අත් හකුළුවා ගනිමින්, එය කිරීමට සූදානම් වන බව මම දනිමි. එහෙත්, නියාමනය කොකෙරුණ, කටකලියා නොදැමූ, අවිචාරවත් ධනවාදයට එය සම්බන්ධ නොවන බව ගත වූ හැත්තෑ අවුරුද්දෙන් අපට ඉගෙන ගත හැකි ය. මුදුනෙන් ලැබෙන අණ සහ පාලනය මගින් මෙහෙයැවෙන පරණ පන්නයේ සමාජවාදයට ද එය සම්බන්ධ නොවනු ඇත. සමාජවාදය අත්හදා බැලුණ මුත්, හොඳින් වැඩ නොකළ බව තහවුරු විය. හැම දරුවෙකුට ම අධ්‍යාපනයක් පිරිනැමෙන, අධිකාරිවාදී බලය බිඳ වැටී, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අතර තරගය දිරි ගැන්වෙන, සාමුහික කේවල් කිරීමේ අයිතිය සුරැකෙන පරිසරයක සෑම සේවකයෙකුගේ ම අයිතිවාසිකම් තහවුරු කෙරෙන, වංචාව මුලිනුපුටා දැමෙන නීති තිබෙන, ව්‍යාපාර අතර ගනුදෙනු කිරීම ප්‍රසන්න වන පරිසරයක් බිහිවන, පොහොසතුන් පොහොසත් ව ම සිටින අතර, ස්වල්පයක් ආපසු ලබාදෙන ආකාරයේ ‘යහපත්’ බදු අය කිරීම් ක්‍රමයක් ක්‍රියාත්මක වන, සාධාරණ සෞඛ්‍ය පහසුකම්, විශ්‍රාමික සුරක්ෂිතතාව සහ නව සොයා ගැනීම් වලට වේදිකා තැනෙන යටිතල පහසුකම් සහ විද්‍යාත්මක පර්යේෂණවලට මුදල් යෙදැවෙන පිරිපුන් වෙළඳපළ පද්ධතියක් මත ප්‍රගතිය යැපෙන්නට යන බව හැම රටකින් ම පාහේ පෙන්නුම් කෙරෙමින් තිබේ.
කෙතරම් මුදලක් මා ලබන්නේ ද යන්න පිලිබඳ ව මේ මොහොතෙහි විමතියට පත් වන බව ඊට අමතර ව, මා එකතු කළ යුතු ය. බොහෝ දෙනෙකු, දහයකින් හෝ සියයකින් යයි කියන අයට තිබෙන තරමින් අඩක්වත් මට නැත. තිබෙන්නේ, අපි කාටත් කෑ හැකි බොහෝ දේ පමණි. ලබාගත හැකි සුවිසල් නිවෙස් සහ යා හැකි විනෝද ගමන් බෙහෙවින් තිබෙන නමුත් මේ ප්‍රමාණවත් යයි මම සිතමි. “හොඳයි මට උදව් කරන්ඩ දෙන්නකො, අනේ, කෑමට ප්‍රමාණවත් තරම් ආහාර පාන නැති අර දරුව දිහා බලන්ඩ ඉඩ දෙන්ඩ. එහෙම නැත්නම්, අර පාසැල් ගාස්තු ගෙවා ගත නොහැකි දරුව ගැන බලන්න, අනේ මට උදව් කරන්න ඉඩ දෙන්න, මම තව ටිකක් වැඩිපුර බදු ගෙවමි, එය මට කළහැකි ය,” යයි කීමට දිලිඳු බව පිලිබඳ ගිවිසුමකට ඔබ එළඹිය යුතු නැත. මා අදහස් කළේ, “අපූරුයි, මට හුඟක් ලැබිල තියෙනව, කාට ද මට උදව් කරන්න පුලූවන්? තව තවත් මට දෙන්න පුලූවන් කොහොම ද?” යයි කියනු වෙනුවට, මට තව තවත් එකතු කරගත යුතු ය යන ඉහත අදහසින් පිලිබිඹු වන්නේ අභිලාෂයේ දිලිඳු බව ය, යන්නයි. එය සිතෙහි බල පවත්වන දැඩි ආශාවයි. එය ගැටුමයි. එය බලපෑමයි. මිනිසුන්ට උදව් කළ හැකි නම් එය, කෙතරම් නම් අපූර්ව ත්‍යාගවන්තකමක් ද? මම මාතෘකාවෙන් බැහැර වීමි. එහෙත්, ඔබ කාරණය වටහා ගත්තෙහි ය.
එය ජාතීන් තුළ සහ අතර නිහිත ධනවාදයක් පෝෂණය කරන්නකි. නිදසුනක් ලෙස, අප ලූහුබැඳ ගිය ආකාරයෙන්, ධරණීය සංවර්ධන ක්‍රියාදාමයන් පරිත්‍යාග මානසිකත්වය ඉක්මවා යා යුතු ය. බුද්ධිය ලොවපුරා විසිරී තිබෙන නිසා, අවස්ථාවක් දෙන්නේ නම්, ආයෝජනය සහ ව්‍යවසායකත්වය ඔස්සේ ලොවට මග හැරුණ පසුම්බිවලට තව තවත් සම්පත් ගලා යාමට සැලසිය හැකි මාර්ග අපට හමුවී තිබේ.
ජාත්‍යන්තර වෙළඳ සහ වානිජ පද්ධතියකට එන විට, වඩාත් පොහොසත් වෙළඳපොලවලට ලඟා වීම සඳහා වූ ප්‍රයත්නයන් පවත්වා ගැනීමට වඩාත් දිලිඳු රටවලට එය යුක්ති සහගත ය. ඒ සමග ම, ධනවත් වෙළඳෙපොලවලට තිබෙන බරපතළ ම ගැටලූව එය නොවේ. කුඩා අප්‍රිකානු රටක් තේ සහ මල් එවමින් සිටීම ය. එය ඔහුට දැවැන්ත ආර්ථික අභියෝගයක් නොවේ. එය තවදුරටත් හුදෙක් දිලිඳු රටවල් නොවන චීනය වැනි ජාතීන්ගෙන් ඔවුන්ගේ වෙළෙඳපොලවලට ඇතුල් වීමට අවස්ථා සහතික කරවා ගැනීමටත්, බුද්ධිමය දේපළ පවරා ගැනීම් සහ දත්ත සොරා ගැනීම් අත්හිටුවන ලෙසත් අනොන්‍යයව අවධාරණය කිරීමට එක්සත් ජනපදය වැනි දියුණු ආර්ථිකයන්ටත් සුදුසු ය.
වෙළෙඳාම සහ වානිජ්‍ය වටා පැවැත්වීමට සාකච්ඡාවන් තිබිය දී පවා, මෙම යථාර්ථය හඳුනා ගැනීම වැදගත් ය. විසිවන සියවසේ ප්‍රමුඛ නැඹුරුවක් ව පැවති රැකියා විගමනය උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිරටත් තවදුරටත් සිදුවෙමින් තිබෙන අතරතුර, එක්සත් ජනපදය වැනි රටවල ශ්‍රමිකයන්ට අද තිබෙන බරපතළ ම ගැටලූව තාක්ෂණයයි. රියැදුරන් නොමැති වාහන, තව තවත් ස්වයංක්‍රීය සේවාවන් සොයන ඔබ සඳහා කෘතිම තාක්ෂණය මෙහි ද වේගවත් කෙරෙමින් තිබෙන අතර, හැම කෙනෙකුට ම වැඩක් ලබා දීමේ කටයුත්ත සහ එක් ව වැඩ කිරීම එ මගින් අවහිර කෙරෙන නිසා, වැඩි සේවක සංඛ්‍යාවක් රට තුළ ස්ථාපනය කරන්නේ කෙසේ දැයි සොයා බලන ඔබේ නව ජනාධිපතිවරයා මුහුණ දෙන බරපතළ ම ගැටලූව වනු ඇත්තේ ද එම තාක්ෂණය ම ය. මේ ලැබී තිබෙන්නේ අප කවුරුත්, කල්පනාකාරී විය යුතු අවස්ථාවකි. රැකියාවක් සමග ලැබෙන ආර්ථික සුරක්ෂිතතාව, ගෞරවය සුරැකෙන සේ සමාජ, දේශපාලනික ක්‍රියාදාමයන් වෙනස් කරන්නේ කෙසේ දැයි සිතා බැලීම සඳහා, අප යොමු විය යුතු ව ඇත. රැකියාව සපයන එක ම දෙය මුදල් නොවේ. එය ගෞරවයක්, ආධාරකයක්, ස්ථානයක් සහ පරමාර්ථයක් පිලිබඳ හැඟීමක් ද ඇති කරවයි. සාමාන්‍ය ආදායමක්, වැඩ සතිය පිලිබඳ යලි විමසා බැලීමක්, නව පරපුර රඳවා තබා ගන්නේ කෙසේ ද, කිසියම් මට්ටමක ව්‍යවසායකත්වයක හැම කෙනෙකු ම තබා ගන්නේ කෙසේ ද ආදි නව ගැටලු පිලිබඳ ව නව මං ඔස්සේ සිතා බැලීමට අපට යොමු වීමට සිදුවන්නේ එනිසා ය. එහෙත්, පෙනෙන්නට තිබෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය යලි මගට ගැනීමට නම්, ආර්ථිකයන් පිලිබඳ ව අප කරදර විය යුත්තේ කෙසේ දැයි හැම තැනක ම විමසිලිමත් වන බවකි.
සමහර පරමාර්ථ ස්වාභාවික බව දෙවනුව, මදීබා අපට උගන්වයි. ඉතාමත් ම වැදගත් දෙය නම් මනුෂ්‍යයන් වශයෙන් අප පොදු බැඳීමකින් එකට බැඳී සිටින බව ය. ඒ තුළ, හැම කෙනෙකුට ම උරුම ගෞරවයක් සහ වටිනාකමක් තිබේ.
මෙම සත්‍ය අද අපට තහවුරු කිරීමට සිදු වී තිබීම විමතිය දනවයි. මදීබා සිපිරි ගෙයින් බැහැරට පියවර තබා සියවස් කාලකට වැඩි කාලයකට පසු, මට මෙහි දේශනයක සිටගෙන, කලූ මිනිසුන්, සුදු මිනිසුන්, ආසියාතිකයන්, ලතින් ඇමරිකානුවන්, ගැහැණුන් සහ පිරිමින්, සමරිසියන් සහ විධිමත් තැනැත්තන් කියමින් ටික වේලාවක් මිඩංගු කිරීමට සිදු ව තිබේ. නමුත් අප සැවො ම මිනිසුන් ය, වෙනස්කම් සිත්වල මවා ගැනුණ ඒවා ය. කළ යුත්තේ, සැලකිල්ලෙන් සහ ගෞරවයෙන් එකිනෙකාට සැලකීම ය. මා සිතනු ඇත්තේ මේ වන විට අපි ඒ බව හඳුනා ගෙන ඇති බව ය. එම මූලික හැඟීම මැනවින් තහවුරු වී ඇතැයි සිතමි. ප්‍රතිචාරාත්මක දේශපාලනයෙහි නූතන වෙනස්කම් දකින විට හැඟෙන්නේ එය සාර්ථක වී ඇති බව ය. මූලික සාධාරණත්වයන් සඳහා කෙරෙන අරගලය කිසි දිනෙක මුලූමනින් සංසිඳෙන එකක් නොවේ. එ නිසා, ඉහළ යන්නට නිරතුරු ව වෙහෙසෙන අතරතුර, තවත් කෙනෙකුන් බිම හෙලීමට කැස කවන මිනිසුන් පිලිබඳ ව නිරතුරු ව සොයා බැලීමක යෙදෙමින් අරගල කිරීමට අපට සිදුව තිබේ. විශේෂයෙන් මගේ පියාණන්ගේ මව්බිම මෙන් ම, සමහර අප්‍රිකානු රටවල් සම්බන්ධයෙන් ද මෙය ඉතා වැදගත් ය. මෙ කරුණ මා මින් පෙර ද පෙන්වා දී ඇත. එකඟ නොවී සිටීමේ අයිතිය, සමාජයීය කටයුතුවලට මුලූමනින් ම සහභාගිවීමට කාන්තාවන්ට තිබෙන අයිතිය, සුලූතර ජනතාවන්ට බහුතරයට ලැබෙන සියලූ සත්කාර සැලකිලි ලැබීමේ අයිතිය, ලිංගික අවශ්‍යතා සපුරා ගන්නා ආකාරය (කෙසේ හෝ යයි නොකීමට අප ප්‍රවේසම් විය යුතු අතර, එය අපේ අභිමතයට විරුද්ධ වුව ද, එය බටහිර මතයක් මිස ලොවට ම පොදු කරුණක් නොවේ) මත මිනිසුන්ට අඩංතේට්ටම් කිරීම සහ සිපිරිගෙයි ලෑම යන මතයන්ට එරෙහි වීමට අපට සිදුවේ.
මී ලඟට, මදීබා, බලාපොරොත්තු වූ දේවල් ද තිබුණේ ය. ඔහු පවසමින් සිටියේ කිමෙක් දැයි මදීබා දැන සිටියේ ය. 1964 දී, සිර කුටිය තුළ මියෙන්නට අතහැර දැමුණ සිර දඬුුවම නියම වීමට පෙර, “මැග්නා කාටාර්, මානව අයිතිවාසිකම් පිලිබඳ පෙත්සම සහ මානව අයිතිවාසිකම් වාර්තාව ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ගෞරවාන්විත ව පිලිගත් බව,” ඔහු ලිඛිත ව පැහැදිලි කළේ ය. වෙනත් වචනවලින් කියතොත්, එම ලේඛන දකුණු අප්‍රිකානුවන් විසින් නොලියන ලදින්, ඔහුට පිලිගත නොහැකි යයි ඔහු නොපැවසී ය. එසේ නොකී ඔහු පැවසුවේ එය ඔහුගේ උරුමයෙහි කොටසක් බව ය. එය මානව සංහතියේ උරුමයෙන් කොටසකි. එය මේ රටටත්, මටත්, ඔබටත් ගැලපෙයි. ඒ පිලිබඳ සදාචාරාත්මක බලය ඔහුට පවරා දුන්නේ එම කොටසයි. වර්ණභේදවාදී බලවේගයන්ට වඩා ඔවුන්ගේ හොඳ ම සදාචාරාත්මක ශක්තීන් පිලිබඳ වැඩි හුරුපුරුදුකමක් ඔහුට තිබුණෙන් එම බලවේගයන්ට එවන් බලයක් නොපැවරුණි. මදීබා ඔවුන්ගේ ලියවිලි ඒ අයටත් වඩා ඉතා ප්‍රවේසමෙන් කියවා තිබුණි. “වර්ණය පදනම් කරගත් දේශපාලනික භේදය මුලූමනින් ම කෘතිම එකකි. එය නැතිවන විට, එක් වර්ණයක කණ්ඩායමක් වෙනත් වර්ණයක කණ්ඩායමක් කෙරෙහි බලපෑම් කිරීම සංසිඳෙන්නේ ය,” යයි හෙතෙම කියාගෙන ගියේ ය. මා තෙහැවිරිදි වියෙහි සිටි 1964 දී, නෙල්සන් මැන්ඩෙලා කීවේ එයයි.
අද සත්‍ය යයි ඉතිරි ව තිබෙන දේවලින් එදා සත්‍ය වූයේ මොනවා ද? මූලික සත්‍යයන් වෙනස් නොවේ. එය ඉංග්‍රීසීන්ට, ඉන්දියානුවන්ට, මැක්සිකන්වරුන්ට, බන්ටුවරුන්ට, ලූවෝ හෝ ඇමරිකන් කාට වුව, පිලිගත හැකි සත්‍යයකි. “අනෙක් අයට අප කළ යුත්තේ, ඔවුනට අපට කළ හැකි දෙයක් පමණි,” යන්න, හැම ලෝක ආගමක ම හදවතෙහි තිබෙන සත්‍යයකි.
අපට අනෙක් මිනිසුන් තුළ අප ව දැකිය හැක. පොදු අපේක්ෂාවන් සහ පොදු සිහින අප කා තුළත් දැකිය හැකි ය. ආගම, ජාතිය, ලිංගික යොමුව, හෝ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් කවර ආකාර හෝ වෙනස් කොට සැලකීමක් සමග එය නොසැසඳෙන්නකි. සමාජයක සාමාජිකයන්ගේ දක්ෂතා, ශක්තිය සහ දැනුම එම සමාජයට අත්හිටුවිය හැකි ය යන්න එමගින් තහවුරු කෙරෙන නිසා, කෙසේ වුවත්, එය පිලිගත් විට, ප්‍රයෝගික ප්‍රතිඵල ලබාදෙන සත්‍යයකි. ඔබට සැකයක් ඇත්නම්, නොබෝ දා ලෝක කුසලාන දිනාගත් ප්‍රංශ පාපන්දු කණ්ඩායමෙන් අසන්න. ඒ හැම කෙනෙකු ම, හැම කෙනෙකු ම ගෞල්ස් සේ නොපෙනුණ ද, සියලූ ම දෙනා ප්‍රංශ ජාතිකයන් ය.
අපේ පොදු මානුවීයත්වය පිලිගැනීමෙන් අපට ම අනන්‍ය වූ ජාතික, වාර්ගික, ආගමික අනන්‍යතාවන් අත්හැර දැමිය යුතු යයි අදහස් නොවේ. ඔහුගේ ගෝත්‍රික උරුමයන් පිලිබඳ ආඩම්බර වීම මදීබා කිසිදිනෙක අත් නොහළේ ය. කලූ මිනිසෙකු වීම ගැන ආඩම්ර වීම හෝ දකුණු අප්‍රිකානුවෙකු වීම ඔහු කිසි දිනෙක අත් නොහළේ ය. නමුත්, මා විශ්වාස කරන්නාක් මෙන්, ඔහු ද අන් කෙනෙකුගේ උරුමයට අවඥා නොකර ඔබට ඔබගේ උරුමය පිලිබඳ ආඩම්බර විය හැකි බව පිලිගත්තේ ය. අන් කෙනෙකුගේ උරුමයට අවඥා කරන ඔබ, සැබවින් ම අවඥා කරන්නේ ඔබේ උරුමයට ය. එ මෙන් ම, කිසියම් කෙනෙකුගේ උරුමයට අවඥා කරන්නේ නම්, ඔබ ඔබේ උරුමය තුළ ඔබ කිසියම් අනාරක්ෂිත බවක් අත්දකින්නේ ය, යන සිතුවිල්ලට මා යොමු කරවයි. ඇත්තෙන් ම, එය සත්‍යයකි. අනෙක් අය යටපත් කර දමා තමන් පිම්බී උඩ යන්නට මාන බලනවුන් කුඩා හදවත් ඇත්තවුන් බවත්, අනිවාර්යයෙන් ඔවුන් ව බිය ගන්වන කිසියම් හැඟීමක් ඔවුන් තුළ තිබෙන්නේ යයි හැඟීමක් සමහර විට, ඔබට ඇති නොවන්නේ ද? සමහරුන් සඳහා වෙන් කර තිබෙන විට සාධාරණත්වයක් අපට ම උරුම කරගත නොහැකි බව මදීබා දැන සිටියේ ය. ඒ අය කරන දෙය ම කරන්නේ වී නමුත්, අසාධාරණ ක්‍රමයක මුදුනෙහි දී ම වර්ණය මත පුද්ගලයා නෙරපා හැර තිබෙන නිසා, සාධාරණ සමාජයක් උරුම කර ගැනීම පහසුවෙන් කළහැකි දෙයක් වනු ඇතැයි අපට කිව නොහැකි බව මදීබාට වැටහුණි. එයින් පලක් නොවන මුත්, කෙසේ හෝ අපට දැන් නිදහස තිබේ. ඔබ සිටින්නේ මුදුනෙහි ම නම්, එය සාධාරණය නොවේ. එහි දී, ඒ අය ඔබට කළ දේ ම, දැන් ඒ අයට කිරීමට ඔබ යොමුවනු ඇත. “එය සුදු මිනිසෙකුගෙන් පැමිණිය ද, කලූ මිනිසෙකුගෙන් පැමිණිය ද, මම ජාතිවාදය අතිශයින් පිලිකුල් කරමි,” යයි ඔහු පැවසී ය.
ඉක්මන් වෙනසක් සහ නවීකරණයක් නිසා ඇතිවන අවුලක් සහ ලෝකයේ හැකිලීමක් තිබෙන බව පිලිගැනීමටත්, තර්ජිත බවක් හැඟෙන්නවුන්ගේ බිය අඩු කරවන මාර්ග සොයා ගැනීමටත් දැන් අපට සිදුවෙයි. බටහිර ලොව සංක්‍රමණිකයන්ගේ ආගමනය පිලිබඳ ව අද තිඛෙන විසංවාදය නිදසුනක් ලෙස ගනිමු. ජාතික දේශසීමා ප්‍රශ්නය අවධාරණය කිරීම වරදක් නොවේ. ඔබ පුරවැසියකු වූයේ හෝ නොවූයේ වී නමුත්, එය රජයට ප්‍රශ්නයකි. එ නිසා, අදාළ නීති රෙගුලාසි අනුගමනය කළ යුතු ය. නව නිවහනෙහි භාෂාව සහ සිරිත් විරිත් හුරු වීමට යොමු විය යුතු ය. මේවා නීත්‍යානුකූල දේවල් ය. කටයුතු පිලිවෙළට නොසිදුවන්නාක් මෙන් මිනිසුන් සමග එක් ව යෙදීමට අපට හැකි විය යුතු ය. එහෙත්, එය ජාතිය, වර්ගය, හෝ ආගම පදනම් කරගත් ආගමන-විගමන ප්‍රතිපත්ති වලින් නිදහස් වීමට කාරණයක් නොවේ. යම් අනුකූලතාවක් තිබීම අත්‍යාවශ්‍ය ය. අදාළ මානුෂීය වටපිටාවන් සලකා බලා වඩාත් හොඳ ජීවිතයක් අපේක්ෂා කරන්නවුන් වෙනුවෙන් අපට නීතිය ක්‍රියාත්මක කිරීම ද කළ හැකි ය. අත දරුවකු සමග මවක් සිටින විට, ඒ අපේ පවුලේ කෙනෙකු, ඒ දරුවා මගේ ම දරුවා විය හැකි යයි, අපට හඳුනාගත හැකි ය.
ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණයකට වඩා වැඩි යමක් බව තෙවනුව, මදීබා අපට සිහිපත් කරවයි.
එතුමා හිරගෙදරින් පිටතට එනවිට දී පවා, ඔහුගේ ජනප්‍රිය භාවය ඔබට මැනීමට නොහැකි වන්නට ඇත. ඔහුට යාවජීව ජනාධිපති විය හැකි ව තිබුණි. මා වැරදි ද? ඔහුට එරෙහි ව නැගී සිටින්නට සිටියේ කවු ද? මා කියනුයේ, රම්පෝසා ජනප්‍රියයි, ඉදිරියටත් ආව. ඒත්, ඔහු හුඟක් තරුණයි. ඔහු හුඟාක් තරුණයි. ඔහු තෝරාගෙන තිබුණි නම්, කිසිදු බලපෑමකින් තොර ව වළක්වා සමබර කරමින්, මදීබාට විධායක ආඥාවකින් එය පාලනය කිරීමට තිබුණි. ඒ වෙනුවට හෙතෙම, අදාළ හැම පාර්ශවයකින් ම තොරතුරු එක්රැස් කරවා, ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම මත ඉතාමත් ශක්තිමත් බව තහවුරු කෙරුණ නව ව්‍යවස්ථා සම්පාදනයක් සඳහා දකුණු අප්‍රිකාව මෙහෙයවමින් උදව් කළේ ය. එහි විශේෂත්වය, ප්‍රඥාව තනි පුද්ගලයෙකු සතු එ්කාධිකාරිත්වයක් නොවන බව ඒත්තු ගැන්වෙන සවිමත් බවයි. අවශ්‍ය දෙය ඔබට කළ හැකි නම්, වැරැද්ද පෙන්වා දීමට කවර කෙනෙකුන් හෝ බිය වන්නේ නම්, මැන්ඩෙලා වේවා, ඔබාමා වේවා, අසීමිත බලය හමුවේ දූෂිත බලපෑම්වලට හසුවිය හැකි ය. කිසිවෙකුත් එම අනතුරෙන් සුරක්ෂිත වන්නේ නැත.
මැන්ඩෙලාට මේ පිලිබඳ වැටහීමක් තිබුණි. “ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වන්නේ බහුතර පිලිවෙත මත ය. එය වැඩි පිරිසට ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි කරවූ මෙ වැනි රටක දී එය සුවිශේෂ සත්‍යයක් වන්නේ ය. ඒ සමග ම, දේශපාලන අයිතිවාසිකම් සහ සෙසු සුළුතරය සුරක්ෂිතය යන සාධකය ද ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය ම වෙයි.” ඔහු පැවසී ය. එය වැඩි ඡන්ද ප්‍රමාණය ලබන තැනැත්තා පිලිබඳ ප්‍රශ්නයක් නොවන බව ඔහු දැන සිටියේ ය. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීම සඳහා ඔහු ගොඩ නැගූ ශිෂ්ට සම්පන්න සංස්කෘතිය එයයි.
විරුද්ධ පාක්ෂිකයන් නිවාස අඩස්සියේ රඳවමින් ඡන්දයක් පවත්වා, මායාවකින් මෙන් 90% ක් ඡන්ද ලබාගන්නා ජයග්‍රාහකයන් රූපවාහිනියෙහි පෙනී සිටින රටවල් ප්‍රජාතන්ත්‍රවාදී යයි බොරුවට ඇඟවීම නතර කිරීමට අපට සිදුවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය රඳා පවත්නේ, ප්‍රබල ආයතන මත ය. එය සුළුතරයේ අයිතිවාසිකම් පිලිබඳ කාරණයකි. එය හරි වැරදි බැලීම සහ තුලනය මත තීරණය වන්නකි. කතා කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීම සහ නිදහස් මාධ්‍ය, විරෝධය පෑමේ නිදහස සහ හැම කෙනෙකු ම නීතියට අවනත වීම, ඒ අතර ප්‍රමුඛ ය.
ප්‍රජාතන්ත්‍රවාදය මහා වියවුලක් විය හැකි ය, හෙමින් ගමනක් විය හැකිවාක් මෙන් ම, අපේක්ෂා භංග කරවන්නක්ද වියහැකි ය. ඒ බව මම දනිමි. එහෙත් ස්වෛරී බලය ඇත්තෙකු ඉදිරිපත් කරන ඵලදායිත්වය, බොරු පොරොන්දු ය. ඒවා නොපිලිගන්න. මක් නිසා ද යත්, නොවරදවා ම ඒවා, ඉහලින් ම ධනය සහ බලය සමග සමීප ව සම්බන්ධ වන නිසාත්, වංචනිකයන් සැඟවීම ඒවාට ඉතාමත් පහසු නිසාත්, ඒවා දූෂිත නිසාත් ය. සියලු අඩුපාඩුකම් සමග, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය රජයන්නේ වෙන අන් යමකට නොව, ජනතාවට සේවය කිරීමට යන්න එහි අරුත වශයෙන් දැඩි ව ග්‍රහණය කරගෙන සිටීම නිසා ය. රාජ්‍යයක එක ම ස්වරූපය වන එය, සැබෑ කළහැකි එක ම ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයයි.
එ නිසා, ප්‍රජාතන්ත්‍රවාදය බල ගැන්වීමෙහි ලා උනන්දුවක් දක්වන අප ලෝක ප්‍රාග් ධනය සහ බලය ඇති තැන් කෙරෙහි අවධානය යෙදවීම මුලූමනින් ම නවතා, බිම් මට්ටමේ ජනතාව කෙරෙහි වැඩි අවධානයෙන් සිටීමට යොමු විය යුතු ය. මක් නිසා ද යත්, සුජාත ප්‍රජාතන්ත්‍රවාදයේ උපන් බිම එය වන බැවිනි. එ නිසා, උඩු යටිකුරු කරවීමෙන් නොව, දුරවබෝධ න්‍යායයන්ගෙන් නොව, හුදු ප්‍රවීණයන්ගෙන් ද නොව, බිම් මට්ටමේ සිට ඉහළට, සැබෑ අරගලයෙහි යෙදී සිටින්නවුන්ගේ ජීවිත පිලිබඳ මනා දැනුවත් භාවයකින් කැප වෙමු.
ප්‍රජා සංවිධායකයකු වශයෙන්, චිකාගෝවල දිලිඳු වටපිටාවක දී හමු වූ සේවයෙන් නෙරපා හැරුණ වානේ කම්කරුවෙකුගෙන් මම වොෂින්ටනයේ ඕවලාකාර කාර්යාලයේ දී සුපිරි ආර්ථික විද්‍යාඥයෙකුගෙන් ඉගෙන ගත් තරම් ම වැදගත් බොහෝ දේ ඉගෙන ගතිමි. ප්‍රජාතන්ත්‍රවාදය යනු අපේ ජන කණ්ඩායම් ජීවත් වන ආකාරය දැනගෙන, එය දැනෙන තරමමින් සංවේදී වීම ය. නායකයන්ගෙන් අප බලාපොරොත්තු විය යුත්තේ එයයි. එය ඇතිවන්නේ බිම්මට්ටමේ සිට වැඩුණු නායකත්වය තුළ ය. මිහිපිට වෙනසක් සඳහා උදව් කළ හැක්කේත්, වෙනසක් ක්‍රියාත්මක කළහැක්කේත් ඔවුනට ය. සුව පහසු ගොඩනැගිලි තුළ ජීවත් වන නායකයන්ට කිව හැක්කේ, ‘ඕවා වැඩක් වෙන වැඩක් නොවේ’ යන්න පමණය.
ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම සඳහා, අප දරුවන්ව දැනුවත් කරවමින් සිටිය යුතු බව මදීබා පෙන්වී ය. මෙය පහසු නැත. වෙනස් ව පෙනෙන මෙන් ම, නොයෙක් මතිමතාන්තර සහිත මිනිසුන් හා එක් ව කටයුතු කිරීම දුෂ්කර ය.
අප බොහෝ දෙනෙකු කැමති වන්නේ, දැනටමත් අප අදහන මතවාද තහවුරු කරන අදහස් අප වට කරගෙන සිටිනු දැකීමට ය. ඔබට සිතට වදින ඇත්තන් ලෙස පෙනෙන්නේ, ඔබ හා එකඟ වන උන් ය. එය වැඩ කරන ආකාරය හාස්‍ය ජනක ය. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂාව වඩා වෙනස් මත දරණ මිනිසුන්ගේ සැබෑ තත්වය තුළට කිමිද, ඔවුන්ගේ අදහස් තේරුම් ගැනීමට ද අපට හැකි බව පෙන්වීමයි. සමහර විට, අපට ඔවුන්ගේ අදහස් වෙනස් කිරීමට හැකිවනු ඇති අතර, ඔවුන් අපේ අදහස් ද වෙනස් කරනු ඇත.
ආරම්භයේ දී ම, ඔබේ පාලනයෙන් බැහැර ව සිටිය දී ම, විරුද්ධවාදියාට කීමට ඇත්තේ කුමක් දැයි නොසැලකිලිවන්ත වේ නම්, ඔබට එය කළ නොහැකි ය. ඔබ සැලකිලිමත් වන්නේ, ඒ අය සුද්දන්, එයාල පිරිමි, ඒ අයට මා කියන දෙය වටහා ගැනීමට ක්‍රමයක් නෑ, මා සිතන දෙය ගැන කතා කිරීමට තරම් දැනුමක් ඒ අයට නෑ ආදි වශයෙන් නම්, ඔබට එය කිසිසේත් කළ නොහැක.
මදීබා ජීවත් වූයේ මෙම සංකීර්ණත්වයන් තුළ ය. සිර මැදිරියෙහි දී, එතුමා අප්‍රිකානුවන්ට සුවිශේෂී වූ සියල්ල ඉගෙන ගත් නිසා, ඔහු ව සිරගත කළ මිනිසුන් ව මැනවින් වටහා ගැනීමට එතුමන්ට හැකියාව ලැබුණි. ඔවුනුදු ඔහු ගොඩ නැගීමට අදහස් කර තිබුණ ප්‍රජාතන්ත්‍රවාදී දකුණු අප්‍රිකාවෙහි කොටසක් වියයුතු බව දත් නිසා, සිරෙන් නිදහස් වූ ඇසිල්ලේ ම එතුමා, “සතුරා සමග සාමය ඇතිකර ගැනීම,” වෙනුවෙන් ඔහු ව සිරගත කළවුන්ට දෑත් දිගු කළේ ය. “ඔහු තම සතුරා සමග වැඩ කළයුතු ය, එවිට සතුරා ඔහුගේ සහායකයෙකු වෙයි,” යනුවෙන් ඔහු පසුව ලීවේ ය.
එ බැවින්, ගනුදෙණුවක නිශ්චිත ව යෙදෙන්නවුන් එය ව්‍යවස්ථාගත වනවිට, එය තිබෙන තැන, දකුණ හෝ වම කවර තැනක් වුව ද, ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළ නොහැකි දෙයක් බවට පත් කරවයි. ඔබට අවශ්‍ය දෙයින් 100% ම හැමවිට ම ලබාගත හැකි යයි බලාපොරොත්තු විය නොහැක. සමහර විට එකඟතාවකට පැමිණීමට ඔබට සිදුවෙයි. ඔබේ ප්‍රතිපත්ති අතහැර දැමෙන්නේ යයි එයින් අදහස් නොවේ. එහෙත්, ඒ වෙනුවට එයින් අදහස් වන්නේ, එම ප්‍රතිපත්ති මත පිහිටා ගැඹුරු දේශපාලනික සංවාදයකට එළඹීමට ඔවුන් සූදානම් ය යන, විශ්වාසය ඇතිකර ගැනීමයි. පුරෝගාමී ඇමරිකානුවන් ඇමරිකානු ක්‍රමය ක්‍රියාත්මක එකක් බවට පත් කිරීමට අදහස් කරන්නේ එලෙස ය. එය, අදහස් විමසීම, තර්කානුකූල ව අධ්‍යයනය කිරීම, පොදු පසුබිමක හැකි ඒවා තහවුරු කර ගැනීම යන පියවරයන්ගෙන් සමන්විත ය.
පෙනෙන්නට තිබෙන සත්‍ය එම ක්‍රියාවලියට එක් කළයුතු යයි මම තව එකක් එයට එක් කරමි. සැබවින් ම අපට පවත්නා යථාර්ථය විශ්වාස කිරීමට සිදුවෙයි. එය මේවායින් මා කතා කිරීමට නොයන තවත් එකකි. ඔබට හේතු සාධක පිලිගැනීමට සිදුවෙයි. හේතු සාධකවලින් තොර ව, සාමුහික ව වැඩ කිරීමට පදනමක් නැත. මා මෙයට දේශන පවත්වන පුවරුව යයි කියන විට, නැහැ ඔය අලියෙකි යයි ඔබ කීවහොත්, එය අපට එක් ව කටයුතු කිරීම අපහසු කරවනු ඇත. පැරිස් එකඟතාවට එරෙහි වන්නවුන්ගේ පොදු විශ්වාසය මට සොයා ගත හැකි ය. නිදසුනක් ලෙස, එය ක්‍රියාත්මක කළ නොහැකි ය, හැම දෙනා ම සාමුහික එකඟතාවකට ගෙන ඒමට ඔබට නොහැකි වනු ඇත යයි, ඔවුන් කියනු ඇත. කෙටිකාලීන වශයෙන් තව තවත් පරිසර දූෂණය වීමක් සිදු වෙද්දී පවා, ඒ අයට වැදගත් වන්නේ, දිලින්දන් සඳහා ලාබ බලශක්ති සැපයුමක් යයි, ඔවුන් කියනු ඇත. පැරණි තාක්ෂණයට උඩින් පැන ගොස්, විශේෂයෙන් දිලිඳු රටවලට සුපිරිසිදු බලශක්තිය හොඳ ම විසඳුම යයි මා සිතන්නේ ඇයි දැයි අව ම වශයෙන් මට සංවාදයක යෙදිය හැකි ය. කාලගුණ විපර්යාසය ඉබේ ම සිදුවන්නෙකැයි යමෙකු කියන්නේ නම්, ලොව පුරා විද්‍යාඥයන් එය එසේ ම යයි කියන අතරතුර පවා, මට විවාදයකට එළඹීමට පොදු තැනක් සොයා ගත නොහැකි ය. මේ ගැන ඔබට කතා කිරීම ඇරඹිය යුත්තේ කොතැනින් දැයි මම නොදනිමි. ඔබ පටන් ගන්නේ, “එය ලස්සණට ඉදිරිපත් කළ ඇස් බැන්දුමකි,” යයි කියමින් නම්, කුමක්, කොතැනින්, කෙසේ පටන් ගන්නට දැයි මට කිව නොහැක.
අවාසනාවකට මෙන්, අද කෙරෙන බොහෝ දේශපාලන සංවාද පෙනෙන්නට තිබෙන යථාර්ථය පිලිබඳ සත්‍ය යන අදහස පිලිකෙව් කරන බව පෙනේ. මිනිස්සුන් ව ඔබ ඔබා පුරවයි. ඒ අය ද තව තවත් පුරවා ගනිති. රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන ප්‍රචාරණයන්හි අපි එය දකිමු. අන්තර්ජාලය ඔස්සේ මෙහෙයැවෙන කතාන්තරවල අපි එය දකිමු. පුවත් සහ විනෝදාස්වාදය සපයන වැඩසටහන් අතරතුර ඒවා තිරයේ පහත කෙළවරෙහි බොඳ වී යන අයුරු අපි දකිමු. හිතාමතා කියන බොරු හෙළිදරව් වී, බොරුව දෙගුණ තෙගුණ කරමින් තව තවත් බොරු ම කියන දේශපාලකයින් අන්ත විලි ලැජ්ජා නැතිකම්වලට පත්වනු අපි දකිමු. දේශපාලඥයෝ හැමවිට ම බොරු කියති. බොරුව ඔබට හසුවී නම්, මුහුණේ ඉරියව් වෙනස් කර ගනිමින් මග හරින ඔවුහු, ඉන්පසුත් බොරු කීම ම දිගට කරගෙන යති.
ඊට අමතර ව, මදීබාට දැනුණ යම් නිහතමානී හැඟීමක් ගැන ග්‍රාෂා මැතිණිය සඳහන් කළ දෙය පිලිබඳ මා සිතන්නේ මෙයයි. සමහර විටෙක යම් යම් මූලික දේ වියහැකි ය. මිනිසුන්ට බොරු කීම මට නම් පෙනෙන්නේ ඉතාමත් පහත් දෙයක් ලෙස ය. නොයෙක් බොරු ගොතා මිනිසුන්ගේ ඔළු නොපුරවන නිසා, මම කිසිසේත් ශ්‍රේෂ්ඨ නායකයකු යයි නොසිතමි. එය සුදුසු පාදක රේඛාවක් යයි ඔබ නොසිතයි. කෙසේ වෙතත්, එය අප දකින්නේ, නිර්මාණාත්මක චින්තනය සහ තොරතුරු දේශපාලනික වශයෙන් හිරිහැරදායී යයි සිතන දේශපාලකයන් බුද්ධිමත්වීමට එරෙහි වීම සහ විද්‍යානුකූලව සිතීමට යොමු නොවීමේ ඉහල යාමක් ලෙස ය. මානව අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම සමග හේතු සාධක ප්‍රතික්ෂේප කිරීම, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ය. එය ඉතාමත් උනන්දුවෙන් අප ස්වාධීන මාධ්‍ය ආරක්ෂා කිරීම ආදි වශයෙන් දකින ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශයකි. කුරිරුකම් හෝ වැරදි තොරතුරු නොව, පවිත්‍ර සංදර්ශන වේදිකාවක් බවට සමාජ මාධ්‍ය පත් කිරීමේ නැඹුරුව සුරක්ෂිත කරගත යුතු ව ඇති අතර, පාසැල්වල තරුණ දරුවන්ට හුදු අන්ධ කීකරුභාවය නොව, විවේචනාත්මක චින්තනය ඉගැන්විය යුතු ය. මගේ අවසන් කාරණයට දැන් එළඹෙන්නේ නම් ඔබ ස්තුතිවන්ත වෙනු ඇතැයි මට ස්ථිර ය. අවසන් වශයෙන් අපට සිදු වන්නේ බලාපොරොත්තු සහගත ව නොනැවතී ඉදිරියට යාමේ මදීබාගේ උදාහරණය අනුගමනය කිරීම මිස අනෙකක් නොවේ.
නූතන දේශපාලනික වෙනස්කම් ආපසු හරවා යැවිය නොහැකි තරම් බලවත් යයි විශ්වාස කිරීම පොළඹවන්නේ, කිසිත් නුරුස්නා ස්වභාවයට පත් වීමට ය. එහෙත්, ඔරලෝසු බට්ටා හැමදාමත් තිබෙන්නේ වැනෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදයේ විජයග්‍රහණය ගැන 90 දී මිනිසුන් කතා කළාක් මෙන් ම, අද ඔබ අසන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශය ගැනත්, ගෝත්‍රවාදයේ සහ ශක්තිවන්තයාගේ ජයග්‍රහණයන් ගැනත් මිනිසුන් කතා කරන බව ය. අපට එම නරුමවාදයට එරෙහි වීමට සිදුවේ. ඒ අනෙකක් නිසා නොව, අප ඉතා අඳුරු යුගයන්, මිටියාවත් මෙන් ම, අගාධයන් ද පසු කර තිබෙන නිසා ය. ජීවිතය අවසානයේ මදීබා, මානව අයිතිවාසිකම් දිනා ගැන්මෙහි ලා යොමු වූ සාර්ථක අරගලයක් මුර්තිමත් කළ නමුත්, එගමන පහසු එකක් මෙන් ම කලින් සැලසුම් කළ එකක් ද නොවී ය. සපුරා දශක දෙකක් ඔහු සිර ගතවිය. දැඩි උණුසුමෙහි හෙතෙම හුණු ගල් කැඩුවේ ය. කුඩා මැදිරියක නිදා ගත්තේ ය. නැවත නැවතත් හුදෙකලා සිරකුටියක රඳවා තබනු ලැබී ය. ඔහුගේ සමකාලීනයන්ට කතා කරමින් ඔවුන් ව නිදහස් කරන විට, ඔවුනට මගහැරී තිබුණ දරුවකු දැකීම, දරුවකු අතට ගැනීම, තේරුම් ගත නොහැකි ව තිබුණ ආකාරය පැහැදිලි කර තිබෙනු මට මතක ය. එය දශක ගණනාවක් ඔවුනට කළහැකි ව තිබුණ දෙයක් නොවී ය.
සැබවින් ම ඒ වසර ගණන මුළුල්ලේ සිදුවූයේ ඔහුගේ බලය වැඩිවීම ය. ඔහුගේ බන්ධනාගාර නියාමකයන්ගේ බලය පිරිහීම ය. ඔබ ඇලී සිටින්නේ සත්‍ය යයි පැවසෙන දෙයට නම්, ඔබේ හදවතෙහි තිබෙන්නේ කුමක් දැයි ඔබ දන්නේ නම්, උතුරා ගලා හැලෙන හිරිහැර මැද දී පවා, ඒ වෙනුවෙන් කැපවීමට ඔබ කැමති ය. එය හෙට සිදුවනු නොමැත. ඊ ලඟ සතියේ හෝ ජීවිත කාලය තුලවත් එය නොසිදු වනු ඇත. සමහර දේ කලකට පසුපසට ද ගමන් කරයි. අවසානයේ, සත්‍ය බලය වේ. වෙන ආකාරයක් නොවේ.
මදීබාගේ සිතේ ශක්තිය වඩ වඩාත් ශක්තිමත් වූවාක් මෙන්, අරගලය තුළ එම ශක්තිය ඔහු හුදෙකලා ව පවත්වා නොගත් එකක් වනු ඇත. ඔහුව ඔසවා තැබූ එක් දෙයක් වූයේ, නිදහස් සටන්කාමීන්ගේ තනතුරු යාවත් කාලීන වූ බව ඔහු දැන සිටීම ය. මේ දකුණු අප්‍රිකාවේත්, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේත්, ඉන් එපිටත්, රට හරහා, මහාද්වීපය හරහා, ලොව සිසාරා කලූ, ඉන්දියානු හෝ සුදු ඉතාමත් දුෂ්කර වකවානු පසු කරමින් සිටින්නවුන් සෑම වසරක් පාසා ම, ඔහුගේ දර්ශනය වෙනුවෙන් ඇප කැපවෙනු ඇති අතර, හොඳ ම කතාන්තරයට කෙදිනෙක හෝ තැනක් ලැබෙනු ඇත.
මේ අවස්ථාවෙහි අපට අවශ්‍ය දෙය එයයි. අපට එක් නායකයෙකු අවශ්‍ය නැත. අවශ්‍ය එක් හැඟීමක් ද නොවේ. බලවත් දුෂ්කරතා මධ්‍යයේ නමුත්, අපට අද අවශ්‍ය සාමූහිකත්ව හැඟීමකි. බලාපොරොත්තු කර ගසා ගෙන යන්නවුන් වන මේ තරුණ ජනතාව, ලොව වටා එකතු වෙමින් සිටින බව මම දනිමි. ඒ, ප්‍රගතිය තර්ජනයට ලක් වූ හැමවිට ම, බර පතළ ලෙස ගැටලූවට පත් ව ඇතැයි සිතන හැම දෙය ම සම්බන්ධයෙන් අප සිහියට නගා ගත යුත්තේ, මේ දකුණු අප්‍රිකාවට ම කතා කළ රොබට් කෙනඩිගේ, “අපේ පිලිතුර ලෝකයේ අපේක්ෂාවයි. ඒ තරුණයන් කෙරෙහි බලාපොරොත්තු තැබීමයි. තරුණ හැඟීම කෙරෙහි අපේක්ෂා සහගත වීමයි,” යනුවෙන් ඉතිහාසය පෙන්වන නිසා ය.
එ නිසා, ප්‍රේක්ෂකාගාරයෙහි සිටින තරුණයිනි, සවන් දෙමින් සිටින්නනි, ඔබට මගෙන් ලැබෙන පණිවිඩය ඉතා සරල ය. විශ්වාසවන්ත වන්න, බලාපොරොත්තු තබා ගන්න, ගමනෙහි යෙදී සිටින්න. ගොඩ නගන්න. ඔබේ හඬ නගන්න. ලෝකය දැකීමට හැම පරපුරකට ම අවස්ථාව තිබේ. “තරුණයන්ට හැකියාව ඇත. නැගී සිටි විට, මර්දනයේ කුළුණු වුව බිම හෙලා, නිදහසේ ධජය එසවිය හැක.” මැන්ඩෙලා පැවසී ය. දැන් නැගී සිටීමට කාලයයි. දැල්වී සිටීමට සුදුසු කාලය දැනුයි.
අද මෙහි අපගේ ගෞරවයට පාත්‍රවන්නේ, සිරුරින් නොව හදවතින් තරුණ හැම කෙනෙකුගේ ම සමානාත්මතාව, ගෞරවය, ප්‍රජාතන්ත්‍රවාදය, සාමූහිකත්වය සහ කරුණාව පිලිබඳ උරුමයයි. තරුණයන්ට ජයග්‍රාහී වීමට උදව් කිරීමට අපට යුතුකමක් තිබේ. මගේ පදනම එකතු කර තිබුණ තොරතුරු අනුව, මේ දකුණු අප්‍රිකානු මහාද්වීපය හරහා පසුගිය දින කිහිපයෙහි මදීබාගේ පරමාදර්ශයන් ගුරුතන්හි තබාගෙන ඔවුන්ගේ ජන සමූහයන් තුළ වෙනස් යමක් කිරීමට මග පෙන්වමින් සිටි තරුණයන්ගෙන් 200 දෙනෙකු නිහඬ කරවා තිබෙන බව ඔබෙන් සමහර කෙනෙක් දනියි.
ලොව ම දැනගත යුතු කතන්දර කීමට උගන්ඩාවේ තරුණයන්ට අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට උදව් කිරීම සඳහා ගොඩ නැගූ ‘මාධ්‍ය අභියෝගයන්ට මුලපිරීම’ සංවිධානයේ මාධ්‍යවේදී ‘අබාස් ම්පින්ඩි’ වැනි මිනිසුන්, ඒ අතර වෙයි.
මානව ගෞරවය ගොඩ නගමින්, දිලිඳු බවට එරෙහි අරගලයට තරුණ සහභාගිත්වය ලබා ගැනීම සඳහා නැගෙන නායකයන්ගේ පදනම ගොඩ නැගූ කෙන්යාවේ ව්‍යවසායකයෙකු වූ ‘කැරෙන් වැකොලි’ වැන්නවුන්, නිහඬ කෙරුණි.
අප්‍රිකානු දරුවන්ගේ දූත මෙහෙවර මෙහෙයැවූ ‘එනොක් න්කුලංගා’ වැන්නවුන් ඒ අතර විය. එම සංවිධානය උදව් කළේ, උගන්ඩාවේ සහ කෙන්යාවේ දරුවන්ට අධ්‍යාපනයක් ලබා ගැනීමට ය. නමින් කියැවෙන පරිදි ම කටයුතු කළ ‘අප්‍රිකානු නායකත්ව සිත්’ සංවිධානය ගොඩ නැගූ එනොක්ගේ අමතර කාලය කැප වූයේ, ලොවපුරා දරුවන්ගේ අයිතිවාසිකම් පිලිබඳ උපදෙස් ලබා දීමට ය.
ඔබ තුළ බලාපොරොත්තුවක් ඇති කරවන මේ මිනිසුන් ඔබට හමුවෙයි. නෙල්සන් මැන්ඩෙලාගේ මෙන් ම, මෙතෙක් ලද සියලූ ජයග්‍රහණ කෙතරම් භාරදූර දැයි දන්නා ඔවුහු, අතීත ජයග්‍රහණයන් මත නැවතී සිටිය නොහැකි බව දනිති. යෂ්ටිය අතට ගන්නා ඔවුහු, සිය වසකට පෙර උපන් කලූ කොල්ලාගේ සිට ඉදිරියට ආවුන්ගේ දෙවුර මත සිටගෙන, කළයුතු දෙය කිරීමට කාලය එළඹ ඇති බව දැනගත්හ.
“සිරුරේ සමෙහි පැහැය, පසුබිම, හෝ ආගම මත අනෙකෙකුට වෛර කිරීමට කිසිවෙකුත් මිහිපිට ඉපිද නැත. වෛර කිරීමට මිනිසුන් ඉගෙන ගතයුතු ය. වෛර කිරීමට ඉගෙන ගතහැකි නම්, ආදරය කිරීමට ද ඉගැන්විය හැකි ය. ආදරය මිනිස් හදවතට එන්නේ, ඉතාමත් ස්වාභාවික ව ය,” යයි මදීබා අපට සිහිපත් කරවයි. ආදරය ඉතාමත් ස්වාභාවික ව මිනිස් හදවතට පැමිණෙයි. අපි ඒ සත්‍ය මතක තබා ගනිමු. මෙයින් සියක් වසරකින්, මේ මිහිපිට ඒ සත්‍ය සැබෑ කරවීම සඳහා වූ අරගලයෙහි ‘පහන් තරුව,’ සේ අපි එය දකිමු. ආපසු බලන අනාගත පරම්පරාවන්, “ඔවුහු ගමන නොනවත්වා ගියහ. අප නිදහසේ නව ධජ පතාකයන් යට ජීවත් වන්නේ එහෙයිනි,” යයි කියනු ඇත.
දකුණු අප්‍රිකානු ඔබට ස්තුතියි.
ඔබාමාගේ කතාවේ වීඩියෝව පහතින්
---------------------------
by (2018-07-30 17:41:56)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි