ආර්.ජී.ධර්මදාස ලියයි
(ලංකා ඊ නිව්ස් -2018.ජූලි.25, පෙ.ව.1.15) භික්ෂු කථිකාවත අවශ්‍යතාවය කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව අතර දැඩි කථාබහට ලක්වෙමින් පවතින මාතෘකාවකි. බහුතරයක් පැවිද්දන්, මහණකමේ අරමුණු පසෙක ලා තම තමන්ගේ ඕලාරික අභිලාශයන් මුදුන්පත් කර ගැනීම සඳහා බුදු දහම අවභාවිතා කිරීම විශේෂයෙන්ම ගිහි සමාජයේ අප්‍රසාදයට හේතුවී තිබේ. දඩබ්බරයන් පාළනය කරගැනීමට සුදුසු කල්හී නිසි පියවර නොගැනීම නිසා මහ නාහිමිවරුන්ද කිසියම් අපහසුතායකට පත්ව ඇති බවක් උන්වහන්සේලා කරන ප්‍රකාශයන්ගෙන් පෙනීයයි. බුදුරදුන් විසින් පනවා වදාල විනය ප්‍රඥප්තීන්ගෙන් බැහැරව භික්ෂු සමාජයට පැවත්මක් නැත. විනය පිරිහීම සසුනේ පරිහානියයි. අද එහි උපරිමයට ලඟා වී තිබෙන්නේ භික්ෂූන් අධිකරණය තුලදී විනිසුරුවරුන්ට පාට් එක දැමීමත්, පොලිස් නිලධාරීන්ගේ ඉල ඇට කඩා බෙල්ල මිරිකා මරා දැමීමත් සිදුකරමිනි.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ද මැදිහත්වීමෙන් ගිහි පැවිදි විද්වතුන් තිස්දෙනෙකු එක්ව සම්පාදනය කළ ථේරවාදී භික්ෂු කථිකාවත පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් ලියාපදිංචි කිරීමේ උත්සාහයක නිරත වන්නේ මෙවැනි වාතාවරණයක් යටතේ ය. මෙම කථිකාවත සම්බන්ධයෙන් ජනගහනයෙන් සියයට හැත්තෑවක් වන රටේ ගිහි බෞද්ධයන්ටද පුළුල් අවබෝධයක් ලබාදීම අත්‍යාවශ්‍ය වූ කරුණක් වුවත් තවම එවැන්නක් සිදුව නැත. එනිසා භික්ෂු කථිකාවත සම්බන්ධයෙන් මිත්‍යා මත ප්‍රචාරය කරන්නන්ට වේදිකාවක් ලැබී ඇත.
මේ අතර ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසන්නේ විජේදාස රාජපක්ෂ මහතා ථේරවාදී භික්ෂු කථිකාවත සම්මත කර ගැනීමට යාමෙන් මහා සංඝ භේදයක් සිදු කරන බවයි. ජාතික සංවිධාන එකමුතුව යැයි කියා ගන්නා සංවිධානයක මාධ්‍ය හමුවකට එක්වෙමින් (19දා) උන්වහන්සේ කථිකාවත පිටුදකින්නේ මෙසේය.
“අපි බුද්ධ පුත්‍රයන් ලෙස සැවොම බුද්ධ නීතියට යටත්. ඒ වගේම අපි ජීවත් වන රටේ සිවිල් නීතියට කොහොමත් යටත්. අපි එක එක නිකායන් යටතේ විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරනවා, උදාහරණයක් විදියට සමහර ස්වාමීන්වහන්සේලා ඇහි බැම කපනවා, සමහරු නොකපා ඉන්නවා, සමහරු සිවුර අඳින විදිහ වෙනස්, පාත්‍රයේ වළඳන එක, ගොටු අත්ත පාවිච්චි කරන එක, කුඩය පාවිච්චි කරන එක අන්න ඒවා ඒ ඒ නිකායන් වලට අදාල සම්ප්‍රදායන්. ඒවා නීති විදියට ගේන්න හදන එකයි මේ භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මගින් ආණ්ඩුව කරන්න හදන්නේ. විනය කියන්නේ සම්ප්‍රදාය නෙමෙයි, සම්ප්‍රදාය කියන්නේ නීතියත් නෙමෙයි. සම්ප්‍රදාය තියෙන්නේ විනයටත් පහළින් තියෙන එකක්. අන්න ඒ නිසා මේ සම්ප්‍රදායන් නීතියක් බවට පත් කරන එක මොන තරම් වැරදි සහගත ක්‍රියාවක් ද යන්න අපි ප්‍රශ්න කරනවා?“
එක එක නිකායන් යටතේ විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරන පිරිස් බුද්ධපුත්‍රයන් වන්නේ කෙසේදැයි අපි උන්වහන්සේගෙන් ප්‍රශ්ණ නොකරමු. එහෙත් යෝජිත කථිකාවතේ අපේක්ෂාව සම්බන්ධයෙන් මැදගොඩ අභයතිස්ස හිමියන් හුවා දක්වන උධෘතය නම් හරිම අපූරු ය.
“සමහර ස්වාමීන්වහන්සේලා ඇහි බැම කපනවා, සමහරු නොකපා ඉන්නවා, සමහරු සිවුර අඳින විදිහ වෙනස් , පාත්‍රයේ වළඳන එක , ගොටු අත්ත පාවිච්චි කරන එක , කුඩය පාවිච්චි කරන එක අන්න ඒවා ඒ ඒ නිකායන් වලට අදාල සම්ප්‍රදායන්. ඒවා නීති විදියට ගේන්න හදන එකයි මේ භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මගින් ආණ්ඩුව කරන්න හදන්නේ“
මැදගොඩ හිමියන් කියන අන්දමට ආණ්ඩුවේ ඒකායන අරමුණ මෙයනම් අදාල කථිකාවත නොබලාම විසිකළ යුතුය. මන්ද ඒ ඒ නිකායන්ගේ අනන්‍යතාවය රැකගැනීම සඳහා අනුගමනය කරන ඉහත සම්ප්‍රදායන් නෛතික වශයෙන් තවදුරටත් පිළිගැනීමෙන් භික්ෂුව අරභයා අද පවතින ගැටළුකාරී තත්වයන් කෙසේවත් නොවිසඳෙන නිසාය. භික්ෂු කථිකාවතක අවශ්‍යතාව පවතින්නේ සුසිල්වත් සඟ පරපුරක් ස්ථාපිත කිරීමට ය. එය ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා ඉදිරිපත් කෙරෙන සැළසුමකි. මයිල් කැපීම හෝ නොකැපීම පිළිබඳ ප්‍රශ්ණයක් නොවේ. මෙහිදී අභයතිස්ස වැනි මහාචාර්ය හිමිවරුන් කළ යුතු වන්නේ සිදුවෙමින් පවතින සංඝ පරිහානිය වළක්වා ගැනීම සඳහා අදාල කථිකාවතට සාධනීය යෝජනා ඉදිරිපත්කොට එය බලගැන්වීම මිස විහිළු සැපයීම නොවේ.
මේ අතර ජාතික හෙළ උරුමයේ ශාසනික ලේකම් යැයි කියාගන්නා බියගම සුසීල නැමැති හිමිනමක්ද අදාල කථිකාවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කර එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීමට නියෝග කරන්නයි ඉල්ලා (18) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. දේශපාළන කල්ලි කණ්ඩායම්වලට බෙදී සංඝ සමාජය බේද භින්න කළ මෙවැනි කුපික්කලතිස්සලා බහලමස්සුතිස්සලා අතීතයේද සිට ඇත. මේ අතර කුරුණෑගල දිසා මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කියන්නේ ද ථේරවාදී භික්ෂු කථිකාවත නිසා එයට දායකවන්නන් සංඝ භේදයක් කොට ආනන්තරීය පාප කර්මයක් සිදු කරගන්නා බවයි . අතීතයේ සිටම දුසිල් මහණුන් ගෙන් සසුන රැකගැනීමට මෙවැනි කථිකාවත් සම්මත කර ගත් බව මේ වහන්සේලා නොදැන සිටීම කණගාටුවට කරුණකි. ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පවා යෝජිත කථිකාවත කල් නොහැර සම්මත කරන ලෙස බුද්ධ ශාසන ඇමතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ පවතින අනතුර හොඳින්ම වටහාගත් නිසාය.
“ පසුගිය රජය නොසලකා හැර තිබූ එම උතුම් ශාසනික කටයුත්ත වර්තමාන රජය විසින් ආරම්භ කරනු ලැබ ඇති බවත් .ථේරවාදී භික්ෂු කථිකාවත්වලට නෛතික බලය ලබාදීම මගින් දැනට ශාසනයේ පවතින පිරිහීම වැළැක්වීමට පිටිවහලක් වනු ඇති බවත්“ උන්වහන්ලො ලියා දන්වා ඇත.
අතීත කථිකාවත්ද සිහිපත් කරමින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාමියෝ සිය ලිපියේ මෙසේ සඳහන්කර තිබේ.
උපුටා ගැනීම…. “ලංකා ඉතිහාසය දෙස බලන විට අපේ රජදරුවන් වරින්වර ධර්මධර, විනයධර මහතෙරුන්ගේ මූලිකත්වයෙන් සම්මුතියට පැමිණ කතිකාවක් ඇතිකොට භික්‍ෂු ශාසනය ශෝධනය කළ බව මැනවින් පෙනී යයි. පොලොන්නරු මහා පරාක්‍රමබාහු කතිකාවත, නිස්‌සංකමල්ල කතිකාවත, දඹදෙණි කතිකාවත, හයවන පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, රාජාධිරාජසිංහ කතිකාවත යනාදී කතිකාවත් තුළින් භික්‍ෂු ශාසනයේ චිරස්‌ථිතිය හා පාරිශුද්ධිය අපේක්‍ෂා කළ රජදරුවෝ කතිකාවත් සම්පාදනයට මෙන්ම ඒවායින් ඇතිකර ගන්නා ලද සම්මත ව්‍යවස්‌ථාවන් ක්‍රියාත්මක කරවීමට අදාළ වන රාජ බලය ලබා දී සසුන පිරිසිදු කළ අයුරු මනාව පැහැදිලි වන්නේය. අපේ රජදරුවන් එකී කතිකාවත් තුළින් අපේක්‍ෂා කළේ සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනයයි. භික්‍ෂු ශාසනයේ චිරස්‌ථිතිය හා පාරිශුද්ධිය අපේක්‍ෂාවෙන් පසුකලෙක ශාසනාභිවෘද්ධිවර්ධන කතිකාවත, පරම ධම්ම කථිකාවත මල්වතු මහාවිහාර පාර්ශ්වීය අභිනව කතිකාවත, ශාසනාරක්‍ෂක කතිකාවත, අමරපුර හා රාමඤ්ඤ නිකායික කතිකාවත් යනාදී වශයෙන් ඒ ඒ පාර්ශ්ව හා නිකායික කතිකාවත් ඇතිකරගත් නමුත් ඒවාට නෛතික බලයක් නොමැති වූයෙන් අපේක්‍ෂා කළ අරමුණු සාධනය කර ගැනීම දුෂ්කර විය.
එනයින් බලන විට ධර්මධර විනයධර මහ තෙරුන්ගේ සම්මුතියෙන් ඇති කර ගන්නා ලද ශාසනික කතිකාවත් වලට රාජ බලය හෙවත් නෛතික බලය ලබා ගැනීම වර්තමාන රජය යටතේ පමණක් ඇතිවූවක් නොවන බව පැහැදිලිය.
මෙවැනි පනතක අවශ්‍යතාව පිළිබඳව දීර්ඝ කාලයක් තිස්‌සේ එවකට පැවැති රජයට කරුණු ඉදිරිපත් කරන ලදී. ඊට අදාළ වන සම්මුතීන්ද ඉදිරිපත් කරනු ලැබ ඇත. එහෙත් එවකට පැවැති රජය අත්‍යවශ්‍යව පැවැති ඒ ශාසනික කටයුත්තට හුදෙක් දේශපාලනික අරමුණු නිසා මූලික තැනක් දුන් බවක් නොපෙනේ. එපමණක් නොව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින්ද බැඳී සිටිනා හෙයින් බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය හා පෝෂණය පිණිස ඉවහල් වන පරිදි පිහිටුවා තිබූ බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කළ අවස්‌ථාවේ එය යළි ස්‌ථාපනය කරවා දෙන ලෙස ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන්වරුන්ට රජයෙන් ඉල්ලා සිටීමට පවා සිදුවී තිබීමෙන් ඇතිවෙමින් පැවැති තත්ත්වය වටහා ගත හැකිය. මෙසේ බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය පිණිස ගතයුතු ක්‍රියාමාර්ග මඟහැර යැම නිසාත්, යම් යම් දේශපාලනික අරමුණු අරභයා නොසලකා හැරීම නිසාත් අද වන විට ඒවා තවදුරටත් විසඳාගත නොහැකි ගැටලු සහගත තත්ත්වයට පත්වෙමින් තිබෙනු දක්‌නා ලැබේ.“ …උපුටා ගැනීම අවසන්.
ථේරවාදී භික්ෂු කථිකාවතක අවශ්‍යතාවය කියා දෙන්නට මීටත් වඩා ටීකා ටිප්පණී තවත් අවශ්‍ය ද?
පැරණි ලිපි එකතුව කියවන්න
https://www.lankaenews.com/category/38
---------------------------
by (2018-07-24 19:58:48)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි