ගවේෂනාත්මක හෙළිදරව්ව
(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.28, ප.ව.1.45) ලොතරැයි මණ්ඩල දෙක මගින් දිනපතා විශාල ලොතරැයි වර්ග සංඛ්‍යාවක් දිනුම් අදිනු ලබන බව රූපවාහිනිය මගින් දැකගත හැකිය. සමහර ඒවා සතියකට දින 7 ක් දක්වා දිනුම් ඇදීම වැඩිකර ඇත. ඒ ලොතරැයි ඉතා හොඳින් අලෙවි වන බැවිනි.
එහෙත් මෑතක සිට එම ලොතරැයි සඳහා ප්‍රකාශිත දිනුම් ලබා නොදෙන බව ඉතා හොඳින් පැහැදිලිය. අද සෑම ලොතරැයියක් සඳහාම රුපියල් ලක්ෂ දහයේ සිට කෝටි දෙක, තුන, හතර, පහ සහ හත හමාර දක්වා සුපිරි ත්‍යාග ලබා දෙන බවට ප්‍රකාශ කර ඇත. එ්වා මේ වනවිට දෙගුණ තෙගුණ වී සමහර ඒවා කෝටි පහ, කෝටි 14 දක්වා ද, කෝටි හත හමාර කෝටි 9 දක්වා ද වැඩි වී ඇත. ඒ කිසිවෙකුටවත් දිගු කලකින් සුපිරි ත්‍යාග හිමි නොවුන නමුත් දිනපතා සුපිරි ත්‍යාගයට එක්වනුයේ ඉතා සුළු මුදලකි.
සුපිරි ත්‍යාගය පහසුවෙන් ජයගත නොහැකි බව කවුරුත් දන්නා කරුණකි. එහෙත් මීට මාස කීපයකට පෙර සුපිරි ත්‍යාග රාශියක් ඉතා කෙටි කලක් තුල වරින් වර ජයග්‍රහණය කළ බවද නොරහසකි. නමුත් එක් වරම ඒ තත්ත්වය අහෝසි වී තිබේ. ලොතරැයි පතක මිල රු. 30 දක්වා වැඩි කිරීමට නොහැකි වූ පසු මෙම තත්ත්වය ඇති වී ඇති බවට සහ නව මුදල් ඇමැතිගේ ආගමනයත් සමග තත්ත්වය තවත් දරුණු වූ බවටත් මහජනතාව තුල මතයක් පවතී.
මහජනතාව දන්නා පරිදි ලොතරැයි මණ්ඩල මගින් ලොතරැයි පත් නිකුත් කරනු ලබන ප්‍රධාන මාර්ග හතරකි. එනම් ප්‍රාදේශීය නියෝජිතයින් මගින්, ලොතරැයි මණ්ඩල අලෙවි කුටි මගින්, මණ්ඩලයේ ජංගම අලෙවි රථ මගින් හා ලොතරැයි පත් සියයකට වැඩි ගණනක් ඇණවුම් කර ගෙන්වා ගැනීම මගිනි.
එහෙත් අද ලොතරැයි ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ දී මේ මාර්ගවලින් බැහැරව අසවල් දිස්ත්‍රික්කයට එම ත්‍යාග ලැබී ඇතැයි ප්‍රකාශ කරයි. මෙය දිනපතා නිතර නිතර සිදුවන්නකි. සති කීපයකට පෙර සිය ප්‍රථම ත්‍යාගයද එලෙස දිස්ත්‍රික්කවලට හිමි වූ බව ප්‍රකාශ කිරීම පුදුමය දනවන සුළුය. මෙය විය හැක්කක් නොවේ.
මේ සම්බන්ධව මහජනතාව තුල බලවත් සැකයක් ඇති වී තිබෙන අතර ජනතාවගේ අදහස වන්නේ අලෙවි නොවූ අති විශාල ලොතරැයි පත් අංක සංඛ්‍යාවක් දිනුම් ඇදීමට ඇතුළු කිරීම නිසා ඉහත කී ලෙස ත්‍යාග ලොතරැයි මණ්ඩල වලටම හිමි වන බවයි. ඒ අනුව ඒ ඒ දිනුම් ඇදීමේ දී සුළු ත්‍යාග වෙනුවෙන් ලක්ෂ හැට හැත්තෑව හෝ ඊටත් වැඩි ත්‍යාග ලබා දුන් බවට ප්‍රකාශ කෙරෙන ත්‍යාග වැඩි ප්‍රමාණයක් ලොතරැයි මණ්ඩල දෙක සතු වනවා මිස මහජනතාව සතු වන්නේ නැත.
පසුගිය කාල වල දිනුම් අදිනු ලැබූ විශේෂ හා සාමාන්‍ය ලොතරැයි වල ප්‍රකාශිත ත්‍යාග වූ වෑන්රථ, මෝටර් රථ හා යතුරු පැදි ආදිය පමණක් නොව ඉතා විශාල සුපිරි ත්‍යාග පවා මෙලෙස දිස්ත්‍රික්කවලට ඇදුනු බව ප්‍රකාශ කළා මිස පුද්ගලයෙකු ජනමාධ්‍ය මගින් හෙළි කෙළේ නැත.
දැනට රු 100 බැගින් අළෙවිකරන විශේෂ ලොතරැයිවලට හිමි එම ත්‍යාග අඩක්වත් ලබා නොදෙන බව දැකගත හැකිය.
ජනතාව බරපතල ලෙස සැක කරනුයේ ත්‍යාග ලාභීන්ට ත්‍යාග ප්‍රදානය කරන සෑම අවස්ථාවකම අදාල අලෙවි නියෝජිත කැඳවා හෝ නම ප්‍රකාශ කර ත්‍යාග ලබා දෙන්නේ නම් දිස්ත්‍රික්කවලට ඇදුනා යයි කියන ත්‍යාග වලට කුමක් සිදුවන්නේද යන්නය.
ලොතරැයියක සුපිරි ත්‍යාගය හැරුණු විට ඊලඟට ලක්ෂ දහය හෝ විස්සේ පළමු ත්‍යාගය ඇතුළු අනෙකුත් ත්‍යාග අනිවාර්යයෙන්ම ලබා දිය යුතුය. ගමේ ගොඩේ මරණාධාර සමිතියක ලොතරැයියක වුවද එලෙස පළමු ත්‍යාගයේ සිට අනෙකුත් ත්‍යාග ලබාදීම සිදුකරයි. නමුත් ලොතරැයි මණ්ඩල දෙකේ මෑතක සිට එවැන්නක් සිදු නොවේ. ඒවා දිස්ත්‍රික්ක වලට ඇදුනා කියා යට යයි.
අනෙක් කරුණ නම් අලෙවිය වැඩි වුවත් නොලැබෙන සුපිරි ත්‍යාගය පුම්බනවා මිස සෑම ලොතරැයියකම අනෙකුත් ත්‍යාග අඩුකර තිබීමයි. පසුගිය කලෙක රුපියල් සියය බැගින් අලෙවි කළ ටිකට් පතේ වෑන් රථයද, යතුරුපැදි පහෙන් දෙකක්ද, දිස්ත්‍රික්කවලට හිමිව ඇති බව ප්‍රකාශ කෙරුණි. ලොතරැයි වාර කීපයක් අතර තුර විසි ලක්ෂයේ ත්‍යාග දෙකක් ප්‍රකාශ කරන අතර ඉන් එකක් බොහෝවිට දිස්ත්‍රික්කයට ඇදී ඇති බව ප්‍රකාශ කරයි. ඉන් එම මුදල මෙන්ම සුපිරි ත්‍යාගයට එක්වන මුදලද අඩුවේ. සුපිරි ත්‍යාගයට සෑහෙන මුදලක් කලින් දිනපතා එකතු කළත් දැන් ඊට එකතු කරනු ලබන්නේ සුළු මුදලකි.
අනෙකුත් සෑම ලොතරැයියකම තෑගි රටාවද එලෙසය. අද කෝටි 14 ඉක්මවා ඇති මෙගා පවර් ලොතරැයියත්, කෝටි 8 ඉක්මවා ඇති කෝටිපති ශනිදා ලොතරැයිය හා අනෙකුත් සුපිරි ත්‍යාග පසුපස මහජනතාව හඹා යමින් සිටියත් අවසානයේ ඒවා ද ‘දිස්ත්‍රික්කයකට ඇදී‘ ඇති බව ප්‍රකාශ කර යට ගසා දැමුව හොත් පුදුම විය යුතු නැත.
කලින් ඉංග්‍රිසි අකුර හෝ ලග්නය හෝ විශේෂ අංක ගැලපීමෙන් සුපිරි ත්‍යාගයට හිමිකම් කිව හැකිව තිබූ නමුත් දැන් ඊට කඩොලු දෙක තුනක් දමා ඇත. සමහර ඒවාට දින, මාස, වර්ණ ආදි කඩොලු තුන හතරක් පැන යා යුතුය. එහෙත් ඒවාට හිමි අංක හතර ගලපා පළමු ත්‍යාගය වත් ලබා ගැනීමේ අවස්ථාව හිමි නොවේ. මෙය පුදුමාකාර තත්ත්වයකි. කිසි දිනෙක ලොතරැයි මණ්ඩලය මෙසේ ක්‍රියා කර නැත.
බොහෝ විට ප්‍රකාශ කරනුයේ රුපියල් විස්සේ සිට ඉහලට මෙපමණ ත්‍යාග හිමි වී ඇති බව පමණි. මුළු ආදායම ම ලොතරැයි මණ්ඩල සතුකර ගනී. ලග්න වාසනාවේ ලක්ෂ විස්සේ සුපිරි ත්‍යාගයට අමතරව ලක්ෂ පහ බැගින් දිනුම් තුනක්ද ත්‍රීරෝද රථද ලබා දුන්නත් දැන් බොහෝවිට ලබා දෙනුයේ එක ලක්ෂ පහක දිනුමකි. සති කීපයකට පෙර අදිනු ලැබූ නිරෝගා ටිකට් පතේ මෝටර් රථයක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබුණත් එයද දිස්ත්‍රික්කයකට ඇදී ඇති බව ප්‍රකාශ කර යට ගසා දැම්මේ ය. එහි පළමු ත්‍යාගය ලක්ෂ දහයවත් ලැබෙනුයේ ඉතා කලාතුරකින් වන අතර රුපියල් විස්සේ සිට ඉහලට මෙපමණ මුදලක් ත්‍යාග සඳහා ලැබී ඇති බව සුපුරුදු ලෙස ප්‍රකාශ කරයි. පොදුවේ ගත් කල සියළුම ලොතරැයිවල ත්‍යාග තත්වය එලෙසය.
ප්‍රකාශිත ත්‍යාග ලබා නොදෙන බැවින් ඉදිරියේදී නැවක් හෝ ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළද තත්ත්වයේ වෙනසක් නොවනු ඇත.
ලොතරැයිවල සුපිරි ත්‍යාගය හැරුණුවිට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ත්‍යාග විස්තර හා ඒවා අලෙවි කළ අලෙවි කුටි නම්, එම ස්ථාන හා ජංගම රථ නම් එම අංක හා අලෙවි කළ ප්‍රදේශ සඳහන් කිරීමෙන් මහජනතාව තුල විශ්වාසය තහවුරු කර ගත හැකිය.
ඕනෑම ව්‍යාපාරයක් කළ හැක්කේ මහජන විශ්වාසය රැඳෙන තාක් පමණි. ලොතරැයි කියාද වෙනසක් නැත. එබැවින් මහජන විශ්වාසය රැකගත හැකි පරිදි විනිවිද භාවයෙන් ලොතරැයි පැවැත්වීම හා ත්‍යාග ලබා දීම කළහොත් එම ආයතනවල පැවැත්මට යහපත්වනු ඇති බව කිව යුතුය. නැතිනම් හිටපු ඇමැතිගේ අය එළවා තමන්ගේ හෙංචයියන් දමා ගත්තා කියා ජනතාව අතර විශ්වාසය ඇතිකර ගත නොහැකිය.
---------------------------
by (2018-01-04 04:49:28)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි