~

අයියෝ සිරිසේන...! චතුරිකාලා නාමල්ලා වීම සැපද?

ගානි වාසුහේවාගේ සටහනක්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.16, ප.ව‍‍‍‍.2.15) චතුරිකාලට ‘ජනාධිපති තාත්තා‘ කෙනෙක් ලැබුනේ පරම්පරා උරුමයකින් නොවේ. චතුරිකාලා ගේ උත්සාහයෙන් හෝ වියදමින් ද නොවේ. යමපාලන වසුරු ඉවත් කිරීමට පිරිසිදුම නූනත් යම් දෑතක් සොයන මිරිඟුවක ප්‍රතිඵලයක් වූයේ මෛත්‍රිපාල තේරීම ය. මුළු මහත් රටම ගිලගත් දූෂණ, භීෂණ, සාගත අඳෝනා කෙළවර කරලීමට කොන්දේසි විරහිතව එකපෙළට එක මිටට රොද බැඳගත් අහිංසක ජනතාවගේ විශ්වාසය තැබුවේ මෛත්‍රී ළඟය. ඒ යෝධ ශක්තිය, ගව් ගණනක් ඈතින් නොපෙනෙන මානයක තනිව සිටි මෛත්‍රී ඉහළටම ඔසවා තබන ලද්දේ කාටවත් ‘ජනාධිපති තාත්තා‘ කෙනෙක් කිරීමට නොවේ. දින සියයකින් ජනාධිපති ධූරය අහෝසි කිරීමට ය.

ඒ වනවිට බලවත් බවේ කිරුළු පැළඳ සිටි යමපාලක මහින්ද ගේ දෙපා ලොවමින් සිටි විමල් වීරවංසලා “අයියෝ සිරිසේන.... සිරිසේනයෝ, උඹේ යහපාලන නඩයත් අරං හෙට වෙනකොට තොලොංජි වෙලා පලයං... සිරිසේනයෝ..“ යයි බෙරිහන් දෙද්දී ලක‍්ෂ 62 ක් ජනයා සිරිසේන පිළිගෙන මහින්ද විමල් යම නඩය තොලොංජි කළේ කෙනෙකුට දෙන්නෙකුට ‘ජනාධිපති තාත්තා‘ කෙනෙක් බිහිකරලීමට නොවේ. එසේම අලි නැට්ටේ එල්ලී පවුල පිටින් දිව්‍ය ලෝකයට පැනීමට තතනන ගමරාලයෙක් බිහිකිරීමට ද නොවේ. දින සියයකින් ජනාධිපති ධූරය අහෝසි කිරීමට ය. 

ජනවාරි 8 මෙරට ජනතාව රාජපක‍්ෂ රෙජීමය අවසන් කළේ එහි නටඹුන් මත ‘සිරිසේන රෙජීමයක්‘ ඇරඹීමට නොවේ. නාමල් ලැබූ නීති උපාධිය, නීති විදුහල්පති ලවා බුලත් හුරුළු දී පිළිගෙන ඉහළම ලකුණු දහම් ට හෝ චතුරිකාට ලබාදීමට ද නොවේ. නියමිත සුදුසුකම් පිළිසකර කර නාවික හමුදාවේ ඉහළ තණතුරකට චතුරිකා හෝ දහම් පත්කරලීමට ද නොවේ. නාමල් සේ ව්‍යාජ සමාගම් අරඹා රාජ්‍ය ජනතා දේපළ කොල්ල කෑමට ද නොවේ. ජනාධිපති තාත්තලාගේ පුතුන් ලෙස රාත්‍රී සමාජශාලා තරණය කර අවි ශිල්ප දක්වන්නට ද නොවේ. සහෝදරයින්ට රාජ්‍ය දේපළ පවරා හත්මුතු පරම්පරාවලට දේපළ ගොඩගසා ගැනීමට ද නොවේ. ජනයාට එහෙම අභිලාෂයක් තිබුනේ නම් නව යමපාලනයක් වෙනුවෙන් මරා නොගෙන පරණ මරාගේ පාලනය තුළම සිටිනවා ය. 

බොහෝ අවස්ථාවල සිදුවන විපත්වලදී ඇඳිවත පමණක් රැකගෙන ජීවිතය යදින ජනයා ගැන අප දනිමු. චතුරිකාලා නොදන්නවා සේ සිටිය ද ‘ජනාධිපති තාත්තා‘ ජනවාරි 8 සටනට පිවිසියේ එසේ ‘ඇඳිවත පමණක්‘ සමගිනි. ඒත් යමපාලනය පළවා හරින දැවැන්ත සටන් ව්‍යාපාරයේ දී කහට කෝප්පයක සම්මාදමක් හෝ නොඉල්ලමින් ජනාධිපති තාත්තා ඔසවාගෙන ගියේ යහපාලන ලැදි ජනයා ය. එහෙව් ජනවාරි 8 යහපාලන ලැදි ජනයාට අද සිදුව ඇත්තේ බද්දට දුන් වත්තෙන් විසිවී ඇස්සට දත නියවාගෙන සිටීමට ය. මන්ද අද ‘ජනාධිපති තාත්තා‘ කප්රුකක් කරගෙන ඇත්තේ චතුරිකාලා ය. සහෝදර සමාගම් ය. බෑණා සමාගම් ය. ‘අනේ සකෝ බළ ලෝ‘. 

රාජ්‍ය උත්සවවලට කැඳවා මල්මාලා පළඳවා අනාගත සිහින ගොඩනැගූ රාජපක‍්ෂ අඳබාලයන්ගේ තැන අද සිරිසේන අඳ බාලයන් හිමිකරගෙන ඇත. සංවර්ධන ව්‍යාපෘති, රාජ්‍ය සමාජ ක්‍රියාන්විතවලදී අදාල මැති ඇමති නිළධාරින්ට පෙරින් රාජපක‍්ෂලා වෙනුවට සිරිසේන අඳබාලයන් ගේ ආදේශය ජනවාරි 8 ජනයා ගේ අපේක‍්ෂාව වී නොතිබුන බව සඳහන් කළ යුතුය. මොකද තාත්තලාට බාරදුන් රට පුතාලා දූලා බෑණාලාට භාරදුන්නා යයි සිතා එදා කළ හදිය ජනයා සහ සුද්දයෙන් අත්දැක තිබූ නිසා ය. සත්‍ය ලෙසටම ජනවාරි 8 මේ දේශය සිරිසේන ට අයිතියකට දුන්නා නොව දින සියයක භාරකමකට දුන්නේ විධායක ජනාධිපතිකම අහෝසි කිරීමට ය. 

රාජපක‍්ෂ පවුල් සංස්ථාවට වඩා සිරිසේන පවුල් සංස්ථාව ප්‍රමාණයෙන් විශාල වුවද, සමගිය එකමුතුකම උගත්කම අතින් කුඩා වීම ජනයා ලද ජයග්‍රහණයකි. නැතිනම් රාජපක‍්ෂ සංස්ථාව පරයා සිරිසේන සංස්ථාව සියලු වාර්ථා හිමිකර ගැනීමේ පෙරමග ලකුණු විද්‍යාමාන වෙමින් පැවතුණි. මට සමීකරණයක් සිහිවේ. සිරිසේනලා කල්ඇතිව රජවූවා නම් තම සහෝදර සමාගම් ඉතා ප්‍රබල තැනකට ගොඩනගා ගැනීමට හැකියාව තිබූ බවය. එසේම තම සහෝදරයන් අයාලේ මියයාම හෝ නිකමුන්වීම නොවන්නට තිබූ බවය. එසේම රාජපක‍්ෂලා පමාවී රජ වූවා නම් එම සහෝදරවරුන් අද මෙන් රට ගිල ලොව ඇල්ලූ සහෝදරයින් නොවී සිරිසේන සහෝදර ජාලයේ ඉරණමට ලක්වන්නට තිබිණි. රජවීමේ ඉක්මන සහ පමාවේ ආනිසංසය එයයි. 

මට සිහියට එන්නක් ඇත. රාජපක‍ෂලා තම පවුල් සංස්ථාව ලවා අත හිත පුරා ජනතා දේපළ මංකොල්ලය සිදුකලේ තම දෙවන රජ අවස්ථාවේදී ය. එය එසේ වූයේ පළමු රජ අවස්ථාවේ රාජපක‍්ෂ කුමාරවරු ළා බාල වැඩි නිසා ද යන්නත් සිතිය හැකිය. නමුදු ඒ රාජපක‍්ෂලා අභිබවා යමින් සිරිසේනලා ජනතා දේපළ මංකොල්ලය සිදුකරනුයේ තම ප්‍රථම රජ අවස්ථාවේදී ය. එසේ වන්නේ දෙවන අවස්ථාව පිළිබඳ සැක සංකා ඇති නිසා වීමට ද බැරි නැත. ජනවාරි 8 ජනයාට ඇති විපිළිසරය නම් නමගිය සොරකු හොර පොල් කඩනවාට වඩා උපාසකතෙමෙක් එය කිරීම පිළිබඳව ය. කිඹුලා ගැන නොව කොහිල කටු සිහිවීමය.

එසේ වනුයේ ඇයි ? සිරිසේනලාව රටෙන් තොළොංජි වෙන්න ඉඩ නොදී බේරාගන්නේ ද, අඩි 6 ක් වැළලෙන්නට ඉඩ නොදී පොළොවෙන් ඉහළ රඳවා ගන්නේද ජනතා දහිරියෙනි. කොටින්ම කුසට නිසි අහරක් නැති, වාසයට ගෙයක් ඉඩමක් නැති, උගත් වුව රැකියාවක් නැති පුංචිරාළලා, පාතිමාලා, උමාලා මිස චතුරිකාලා නොවේ. එම අසරණයන්ට පිළිසරණයට පෙර යහපාලනය පත් වී දින 69 ක් යද්දීම එනම් 2015. 03. 19 චතුරිකාලා කළේ සමාගම් රිජිස්ට්‍රාර් අංක PV 10457 යටතේ මීඩියා ගැන්ග් සමාගම්, රෙඩ් චෙරි සමාගම් ගොඩ නැගීම ය. එමගින් රාජ්‍ය සම්පත්, ධනය හීන් සීරුවට මංකොල්ල කෑමය. රටක් ජනතාවක් ගොඩනැගීමේ පූජනීය අයිතිය වෙනුවට සිරිසේනලා කළේ තම පවුල ගොඩ නැගීමට දිරිදීමය. එසේම පවුල් පාලනය තොලොංජි කරන යහපාලනය ඇරඹි උණුහුම යාමටත් පෙර ජනවාරි 22 වන විට සහෝදරයාට ටෙලිකොම් නිධානය පැවරීම යහපාලනය දෙදරුම් කෑ ප්‍රථම ප්‍රහාරය විය. (යහපාලනය වෙනුවෙන් අමාරුම යුගයේ කට්ට කෑ හරීන් ලාට ලැබුනේ ටෙලිකොම් පොත්ත පමණක් වීම ද හිරිකිතය) තවද ලක‍aෂ 62 ක් ජනයාගෙන් චතුරිකා සහ දහම් පමණක් මතුවීම ද හුදී දුගී ජනයා කම්පනයට පත්කිරීමක් ද විය. චතුරිකාලා අශ්ව වේගයෙන් ව්‍යාපාරික ලෝකය තරණය කරද්දී දහම් ලා නිහඬවීම තුළ ද ඇත්තේ වෙනම කතාවකි. දහම් ප්‍රථම වටයේදී ම රාජපක‍්ෂ පුතුන්, මැරවින් පුතුන් ගිය මග තෝරා ගෙන රාත්‍රී සමාජශාලා වන්දනාවෙන් ඇන නොගත්තා නම් (විදේශගත නොවී) චතුරිකාට ඉහළින් සිටිනු නොඅනුමානය. එදා රාජපක‍්ෂ පුතුන්ගේ පෙම්වතියන්ට ගිය රට අද සිරිසේනලා ගේ බෑණවරුන්ට ගොස් ඇත. අද රාජ්‍ය උත්සවවල ගෙලට මල්මාල පිදෙන ප්‍රධාන අමුත්තන් වන්නේ තිළිණ සුරංජිත් බෑණලා ය. අද මඳින් මඳ ජනයාට හිමිවීමට යනුයේ නමින් වෙනස් වූ පුරුදු පවුල් සමාගම ම වීම අද දවසේ ශෝකාන්තයක් වී ඇත. 

අද අප සමාජයම හොරා පොළිස් ක්‍රීඩාවක් වී ඇත. ‘හොරා පොළිස් වෙමින් පොළිස් හොරා‘ වෙමින් ක්‍රීඩාව අති උත්කර්ශවත් අන්දමින් පවතී. හුදී ජනයා දෑස් නිලංකාර කර බලා සිටින්නේ ඒ උභතෝකෝටිකය දිහා ය. හොරු ගලග්‍රහනයට ගෙන රට පිරිසිදු කරන්නට පත්කරගත් ‘පොළිස්‘ දැන් කූඩුවලට වැටී පැරණි ‘හොරු‘ රංචුව ‘පොළිස්‘ වී ඇත

එසේ වන්නට හේතු දැන් පැහැදිලිය.  සිරිසේන තමුන්ගේ ප්‍රථම රාජකාරිය කරගෙන ඇත්තේ පැරණි හොරුන් සමග ඕනෑම කැප කිරීමක් කර තමන් බලයට ගෙන ආ බලවේග පැරැද්දවීම ය. ඒ සඳහා මෙතෙක් කල් හොරුන් රැක ගෙන කිරෙන් නහවා පැණියෙන් සේදුවේ කව්දැයි දැන් පැහැදිලිය. ගෝඨා උසාවි ගෙනා විට සයනයිඩ් කතාවක් කරමින් පරල වූයේ මන්දැයි දැන් තේරේ. අද දවසේ ගාමිණී සෙනරත්ලාට එරෙහිව හදිසියේම නීතිය ක්‍රියාත්මක වෙන්නේ අන් කිසිවකට නොව පැරණි හොරුන් බිය ගන්වා තමන් සමග එක පෙරමුණකට ගෙන්වා ගැනීමට බලපෑමක් ලෙස බව දේශපාලනය තේරෙන ඕනෑම කෙනෙකුට තේරුම් යා යුතුය. 

එපමණක් ද නොව රාජපක‍්ෂ බලගතු අතු නීතියට ගෙන ඒමට උත්සාහ කළ දිල්රුක්ෂිලා ට සිදූවූයේ දූෂිතයන්ගේ පශ්චත්භාගය බැලීමටය. මොකද යහපාලනයේ ආශීර්වාදය ලත් පට්ට දූෂිතයන් මුළු මහත් සමාජයට හරවනුයේ ඔවුන්ගේ පශ්චත්භාගය නිසාය.  ජනයා ඉදිරියේ එදා වේල සෑහීමට හොරු ගැන පංපෝරි ගසා මාධ්‍ය ආක්‍රමණය කර නැවත පෙට්ටගම් තුළ බහා හොරු රැකීමේ කෙළවර යහපාලනයේද අවසානය බව තේරුම් ගැනීම කාට කාටත් ගුණදායකය. 

යහපාලකයන් ගෙල සිඳගත්ත ද මුල් සිඳ නොගන්නා හුදී දුගී ජනයා ‘රැවටුනා‘ යැයි, හොරු සව්දිය පිරුවද ජනවාරි 8 ජන පිබිදීම කිසිදා මිය නොයනු ඇත. ජනහදවත් තුළ කැකෑරෙන යුක්තිය සාධාරණත්වයේ සුවඳ සුනාමියක් වී එදත් අදත් හෙටත් රට වනසන දූෂිත අධම නින්දිත අතීත මෙන්ම වත්මන් පාලක අම්බරුවන් කරාද හඹා එනු ඇත. එදිනට හොරුන්ට පෙර හොරු රකින එකාලා ට උත්තර බැඳීමට සිදුවනු ඇත. ඒ අනිවාර්යයෙන්ම විඳිය යුතු වන්දියකි. එය තම පවුල් පරම්පරාවල් හා එක්ව විඳිය හැකිය. අද නාමල්ලා සමග එෆ්සීඅයිඩියට යෑමට දහ පාලොස් දෙනෙකු හෝ පසුපසින් පැමිණියද එදාට චතුරිකාලා සමග එෆ්සීඅයිඩියට යෑමට බල්ලෙකු හෝ නොසිටිනු ඇත.   

-ගානි වාසුහේවා විසිනි-   

---------------------------
by     (2017-11-16 08:50:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links