(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.15, ප.ව.8.30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කුප්‍රකට ‘සයනයිඩ්‘ කතාවෙන්, කාර්යක්ෂමව වැඩ කරමින් සිටි අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එළවා දමා (සයනයිඩ් කතාවේ දී ජනාධිපති ඇයට බැන වැදුනේ ගෝඨාභය සහ හිටපු හමුදාපතිලා උසාවි ගෙන එනවා තමාට දැනුම් දුන්නේ නැතැයි කියමිනි. ඉන්පසු ඇය ඉල්ලා අස්වූවාය) ඊට පත් කර ගත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න නමැති ‘නිකමා‘ වසරක් තිස්සේ අතේ තිබූ ප්‍රධාන පෙළේ දූෂණ එකකට හෝ නඩු නොදමා නිකම්ම හිඳ යලිත් සේවා දිගුවක් බලාපොරොත්තු වන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
සරත් ජයමාන්නගේ වසරක සේවා කාලය මේ මස අවසානයේ එනම් ලබන නොවැම්බර 11 වෙනිදායින් අවසන් වන අතර මේ කාලය පුරා ඔහු රට රටවල සංචාර කරමින්ද, මුදල් අයකෙරෙන පුද්ගලික අංශයේ දේශන වලටද සහභාගී වී ගාණ කපා ගනිමින්ද, ආයතනයේ අතොරක් නැති සම්මන්ත්රණ පවත්වමින් ද සිටියා මිස කලින් සිටි අධ්යක්ෂ ජෙනරාල්වරිය සියයට 90 ක් වැඩ නිමවා තිබූ බරපතල ඝනයේ දූෂණ එකක් හෝ අහවර කර නඩු නොදමා ඒවා සිතා මතා ගල්වෙන්නට ඉඩ හැර තිබේ.
ඊට හොඳම උදාහරණ වන්නේ විමල් වීරවංශ සහ මහින්දානන්ද අලුත්ගමගේ අයථා ලෙස උපයා ගත් වත්කම් පිලිබඳ දූෂණයි. මෙම ලිපි ගොනු දෙකෙහිම 90% ක්ම කටයුතු අහවරව තිබූ නමුත් ‘නිකමා ජයමාන්න‘ තනතුරට පැමිණ වසරක්ම ගියද ඒ සඳහා නඩු පැවරුවේ නැත. මේ නිසාමදෝ පසුගියදා රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේ ‘වෙනත් රටවල හොරු සැඟවී සිටියත් ලංකාවේ හොරු ඩාන්ස් දමමින් සිටින‘ බවයි. ඒ තත්ත්වයට වැඩ සලසා ඇති ප්‍රධාන පුද්ගලයෙක් නම් ‘නිකමා ජයමාන්නයි‘. ඉතා කුඩා වැටලීම් කරමින් සිටින මොහු මහා පරිමාන දූෂණ වල ලිපිගොනු සිය ගණනින් ගොඩ ගැහී තිබුනද ඒ සඳහා ඇස් හැර බලන්නේ නැත. ඒවා පරීක්ෂණයේ දී නිලධාරීන්ට මතුවන ගැටළු වලට උපදෙස් සපයන්නේ ද නැත. ‘අති දක්ෂ අපරාධ නීතිඥයා‘ උපදෙසක් දීමට කල් මරන්නේ ය. එක්කෝ වැල් බයිලා උපදේශයක් දෙන්නේ වැඩේ නොකෙරෙන තැනට ය. මොහුගේ මේ නඩු පමාව ගැන අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපති ටී.බී.වීරසූරිය හිටපු විනිසුරුතුමා මොහු කැඳවා පසුගියදා දැඩි ලෙස අවවාද කෙළේය.
වැඩ කරනවා වෙනුවට සරත් ජයමාන්න කරන්නේ අහක යන සම්මන්ත්රණ පවා ලඟට ගනිමින් විදේශ සංචාර යෑමයි. මේ වසර තුල වියානාවට පමණක් මොහු තෙවරක් ගොස් තිබේ. මැලේසියාවට දෙවරක් ගොස් තිබේ. ඇමරිකාවට එක් වරක් ගොස් තිබේ. ලබන නොවැම්බරයේ යලිත් වියානාවට යෑමට නියමිතය. මේ එක සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 10 කට අධික වියදමක් කොමිසමෙන් ලබා ගනී. නිකමා ජයමාන්න මෙසේ විදෙස් ගත වුවද සභාපතිවරයා විදෙස් ගතව ඇත්තේ එකම එක වරක් පමණි. එයද තමන්ගේම නමට ලැබුණු ආරාධනයක් අනුවය.
අනෙක් ආයතන වල දූෂණ ගැන සොයන කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල්ගේ දූෂණ ඉහටත් උඩිනි. වාහන අවභාවිතාව අංක එකට ය. මොහුගේ ආගමනයෙන් පසු අනවශ්‍ය විදුලි බිල මසකට ලක්ෂ 6 ඉක්මවා තිබේ. කිසිදු ප්‍රතිඵලයක් නොපෙන්වා වෙන් කළ මුදල්ද වියදම් කර තවත් වියදම් සඳහා මුදල් ඉල්ලීම නිසාම පසුගියදා භාණ්ඩාගාරයෙන් පවසා ඇත්තේ ‘මෙහෙම වියදම් කළහොත් අල්ලස් හෝ දූෂන කොමිසම වසා දැමීමට සිදුවන‘ බවයි.
මේ සියල්ල මදිවාට මොහු විසින් අල්ලස් හෝ දූෂණ කොමිසමේ ස්වාධීනත්වයට පළුදු වන ආකාරයේ පනත් සංශෝධනයක් සඳහාද අර අඳිමින් සිටී. දැනට කොමිසම පත් කළ පනතේ සඳහන් වන්නේ කොමිසමට අවශ්‍ය වූ විටෙක පිටතින් නීතිඥයන් ලබා ගත හැකිය කියාය. මොහු මෙය සංශෝධනය කරන්නට යන්නේ පිටතින් ගන්නා නීතිඥයන් නීතිපති දෙපාර්තමේන්තුවෙන්ම ගත යුතුය. කියා ය. බොහෝ කාලයක් නීතිපති දෙපාර්තමේන්තුව යටතේ තිබූ අල්ලස් හෝ දූෂණ කොමිසම ඉන් ගලවා වෙන් කෙළේ එහි ස්වාධීනත්වය තිබිය යුතු බැවිනි. දැන් මොහු කරන්න හදන්නේ යලිත් එය නීතිපතියට යට කිරීමට ය. ස්වාධීනත්වය වැනසීමට ය.
සරත් ජයමාන්න යනු දක්ෂ අපරාධ නීතිඥයෙකු බව ඔහු පත්වන අවස්ථාවේ අප විසින්ද හැඳින්වූ නමුත් ඔහුගේ පසුගිය වසරක කාලය පුරා කෙරුවාව සලකා බලද්දී ඔහු පට්ට නිකමෙකි. බරපතල දූෂණ පිලිබඳ ඔහු නඩු පවරා ඇත්තේ දෙකකි. එකක් රූපවාහිනී සභාපතිගේ දූෂණය සහ අනෙක ‘රත්තරන්ගේ‘ වත්කම් දූෂණයයි. මේ දෙකෙහිම සියයට 90 ක වැඩ පසුගිය අධ්යක්ෂ ජෙනරාල්වරියගේ කාලයේ නිමා කර තිබිණ. මොහුගේ කාලයේ දී ලැබුණු සිය ගණනක් වූ දූෂණ චෝදනා ගැන ලිපිගොනු වලට මොහු අතවත් තබා නැත. පෙර කී සේ විමල් වීරවංශගේ සහ මහින්දානන්දගේ නඩු දෙක අතේ තබා ගෙන නඩු නොදමා සිටී.
මේ නඩු දෙක යට ගසා දැමීම ගැන ජනාධිපතිවරයාගේ බලපෑම තිබෙන බව අල්ලස් හෝ දූෂණ කොමිසමේ අභ්‍යන්තරයේ සහ ජනාධිපති සමීපතමයන්ගේ මතයයි. මහින්දානන්ද රෑට රෑට ජනාධිපති හමුවී ඇති අතර වීරවංශ නම් පසුගියදා ප්‍රසිද්ධියේම ජනාධිපති හමුවිය. කෙසේ වෙතත් සරත් ජයමාන්න නමැති නිකමා ට ජනාධිපතිවරයා විසින් තවත් වසරක් සඳහා සේවා දිගුවක් දෙන්නේ නම් ඒ අන් කිසිවකට නොව තව දුරටත් දූෂණ යට ගසා දැමීමට බව සක් සුදක් සේ පැහැදිලිය. ‘හොරු අල්ලන්නේ නැතිදැයි‘ අසමින් යහපාලනප්‍රේමී ජනතාව ආණ්ඩුවේ පළු අරින්නේ මෙවන් හේතු නිසා ය.
---------------------------
by (2017-10-15 18:40:10)
Leave a Reply
දිල්රැක්ෂිව එලවන දවස්වල දිල්රැක්ෂි ගැන ඊ නිව්ස් එකේ ගිය ලිපි බැලුවොත් පෙනෙයි ඊනිව්ස් එකත් දිල්රැක්ෂිව එලවන එක හොඳයි කියන මතය සමාජ ගත කලා කියල. මල ගෙදරකවත් යන්න සේවකයෙකුට ඉඩ දෙන්නෙ නෑ වගේ දේවල් ලිව්වනෙ ඒ දවස්වල. දැං ඔය කෙලවගෙන තියෙනෙ හැම දාම මල ගෙදර ගියා වගෙ ඉන්න.
-- by silva on 2017-10-15
‘හොරු අල්ලන්නේ නැතිදැයි‘ අසමින් යහපාලනප්‍රේමී ජනතාව ආණ්ඩුවේ පළු අරින්නේ මෙවන් හේතු නිසා ය.
-- by sobithawathara on 2017-10-15
This country needs leaders like Le-Quan in Singapore, and not invertebras
-- by Viruku on 2017-10-17
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි