~

වැසි නැති ගිම්හානයේ වස්සානය චෝරවාදයේ වසන්තයයි..! - ථෙරවාදයද? චෝරවාදයද? (අංක 16)

(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.17, පෙ.ව.7.00)  ගිම්හානයේ දී වස් වැස වස්සානයේ දී වස් පවාරනය කරන ‘අයං වස්සාන‘ කාලය දැන් ශ්‍රී ලංකාවට උදාවී තිබේ. ඇසළ සහ ඉල් පුර පසලොස්වක පොහෝදිනයන් අතර සිවු මසක කාලය (අගෝස්තු / නොවැම්බර්)  වස්සාන කාලයයි. මහා වග්ග පාලියේ වස්සූපනායිකඛන්ධයෙන් කියවෙන පරිදී  වස් වැසීම විනය නීතියකි. “අනුජානාමි භික්ඛවේ වස්සානේ  වස්සං උපගන්තුං.“ යන බුද්ධ ප්‍රඥ්ඥප්තිය  අනුව සියළු උපසපන් භික්ෂූන් වස් කාලයේ දී වස් වැසිය යුතුය. එය කඩ කිරීම දුකුලා ඇවතකි. භික්ෂුවකගේ බාල මහලු භාවය මණින්නේ වයස අනුව නොවේ. උප සම්පදාවෙන් පසුව සමාදන්ව ඇති වස් ප්‍රමාණය අනුවය. එක් භික්ෂුවක් තවත් භික්ෂුවකට වඳින්නට පෙර ඔබ වහන්සේට වස් කීයදැයි විමසන්නේ ඒ නිසාය. වයසින් වැඩි වුවත් අනෙක් භිෂුවට වඩා වස් ප්‍රමාණයෙන්  අඩුනම් මහලු  භික්ෂුව  වයසින් බාල භික්ෂුවට  වැඳ නමස්කාර කළ යුතුය.   වස්සාන ශීලය සමාදන් වූ භික්ෂුවක් සිය පන්සල් භූමිය කේන්ද්‍ර කරගනිමින් පණවා ගන්නා සීමාවෙන් පිටත  යාම  ද ආපසු පැමිණිම ද විනය නීති වලට අනුව ( සති කරණය වැනි ) කළ යුතුවේ. දින හතක් තුල වස් වැසූ ස්ථානයට යලි නොපැමීණීම ( වස්සච්ඡේදනය) වස් බිඳී යාමට හේතුවේ. එවැනි භික්ෂුවක් කඨින චීවරය පිළිගැනීමට නුසුදුස්සෙකි. ගමේ දායක දායිකාවන් වඩාත් කැමත්තක් දක්වන්නේ පසු වස් සමාදන්වීමට වඩා පෙර වස් සමාදන් වීමටය. කඨින පිංකම ඉතාමත්ම ඉහළින් සිදුකරගැනීම ඔවුන්ගේ පරම අභිලාශයයි. වැස්ස නැතත් “අයං වස්සානය“ පිණ උතුරා පිටාර ගලා යන කාලයකි.

කිසිවෙකුන් ආරාධනා කළත් නොකළත් වස් විසීම උපසම්පදා භික්ෂුවක් විසින් අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයකි. එහෙත් වර්තමානය වන විට ඒ සඳහා දායකයන් විසින් ආරාධනා කළ යුතු බවට නියමයන් පනවා තිබේ. එතැන් සිට කඨින පිංකම අවසන් වන තුරුම මුළු ගමම කල් ගෙවන්නේ පංසලත් සමඟය. දැනට දශක තුනකට පමණ කලින් කඨින සිවුර මැසුවේ පන්සලේදීය. එසේ මහන “කල්හී ආරපතේ ආරපතේ චක්ක වත්ති සිරින් දදේ“ හෙවත් ඉඳි කටු පාරක් පාරක්  පාසා සක්විති රජ සැප ලැබෙන්නේය. වරක් නොව දහ දොලොස් වතාවක් සක්‍ර දේවේද්‍රයා වී ඉපදීමට ද පුළුවන.  සිවුර මසා කසට පොතු  තම්බා පඬු පොවා  පවනේ  වේලා ගත් කඨින සිවුර අළුයම් කාලයේ දී ගම වටා වඩම්මවා  දහවල් දානයෙන් පසුව සඟ සතු කොට පූජා කිරීම අවුරුද්දකට එක් වතාවක් පමණක් කර ගන්නට ලැබෙන මහත් ඵල මහානුභාවසම්පන්න පිංකමකි. එහෙත් අද පූජා කරන්නේ කඩෙන් මිළ දී ගත් රෙඩි මේඩ් කඨින සිවුරකි. ඒ නිසා වැඩිපුරම සක්විතිවරු සක් දෙවිවරු වන්නේ කඩ මුදලාලිලා සහ සන්නාලියන්ය. දායකයන්ට ලැබෙන්නේ එක් අයෙකුගෙන් එකතු කරන ලද  රුපියල් දෙතුන්දාහට සරිලන  පිං ප්‍රමාණයකි. ඒ සඳහා අළුත් ගාථාවක් තවම නිර්මාණය වී නැති අතර පරණ පාලි පාඨයෙන්ම පිංකම හමාර කරති. 

අපේ හාමුදුරුවරු වස් තුන් මාසය නිසි පරිදි යොදා ගන්නේ නම් ගමක් සමඟි කිරීමට මෙතරම් වටිනා කාලයක් තවත් නැති තරම්ය. සමඟිය තුලින් කළ නොහැකි දෙයක් නැත. ඒ පිළිබඳව සිතා බැලීම මහනා හිමිවරුන්ට භාරය. සැබවින්ම ඇසළ මාසයේ සිට ඉල් මාසය දක්වා (අගෝස්තු නොවැම්බර් දක්වා කාලය ) වස්සාන සෘතුව ලබන්නේ ලංකාවට නොව ඉන්දියාවටය. අවුරුදු එකහමාරක් තිස්සේ අප රටේ   භූමියෙන් තුනෙන් දෙකක්  දැඩි නියඟයකට හසුව ඇති තත්ත්වයක මෙන්ම එසේ නොවුනත් සාමාණ්‍යයෙන් අවුරුද්දේ වැසි නොවසින කාලයක  වස් වසන්නේ ඇයි දැයි අපි ප්‍රශ්ණ නොකරමු. කාලයට අනුව යැයි කියමින්  අනෙකුත් බොහෝ භික්ෂු ඇවතුම් පැවතුම්  සංස්කරණය වෙද්දී එක් සම්ප්‍රදායක්වත්  හෝ රැක ගැනීම ඉතා වැගත්ය. නමුත් වත්මන් පොදු සංඝ සමාජයට වස්කාලය වටින්නේ එම අරුතෙන් නොවන බව අපි දනිමු. ගිම්හානයේ වස්සානය ඔවුන්ගේ වසන්ත සමයයි. යහමින් මුදල් උපයන කාලයයි.

වස් වැසීමට උපසපන් භික්ෂූන්ට අනු දැන වැදෑරීම තුලින් අප දකින්නේ  සෙසු ආගමික ශාස්තෘන් අතර බුදුන් වහන්සේ තුල පමණක් පැවැති අපරිමිත වූ මානුෂීය ගුණ සමුදායයි. අද මෙන් දියුණු මං මාවත් යාන වාහන නොතිබුන එදා වැසි සෘතුව ඉන්දීය ජනතාවට මහත් පීඩාකාරී එකක් විය. අධික වර්ෂාව කොහොමටත්  කරදරය. ‍නොකඩවා ඇද හැලෙන වැසි හේතුවෙන් ගංගා පිටාර ගලයි . පාරවල් මඬ වෙයි.  ගමන් බිමන් යාම අපහසුය . වැසි සමය එළැඹෙත්ම පක්ෂියෝ තම කූඩු වලින් බැහැර නොයති. සෙසු  බොහෝ වන සතුන් ද සුදුසු ආවරණයන්හී පිහිට සොයති.  අන්‍යාගමික ශ්‍රාවකයෝ ද  සිය වාසස්ථාන වන ගස්බෙන ගල්ලෙන් තුරු මුවාවන්  තුලම රැඳී සිටිති. එම කාලය තුල කලින් රැස්කර තබා ගත් ආහාර ( ලුණු ඇඹූල්) ඉතා ප්‍රවේශමෙන් අරපිරිමැසිමෙන් යුතුව ප්‍රයෝජනයට  ගනිමින් ඉතා දුෂ්කර කාලසීමාවක් ගත කරති. එහෙත් බුද්ධ ශ්‍රාවකයෝ  වැසි කාලය තුල ද මඬ වී ඇති පාරවල් ඔස්සේ තෙමී තෙමී පිඬු සිඟා වඩිති. සිවුරු වල ද මඬය.   දෙපා වලද මඬය. තැන තැන ලිස්සා යති. මේ ගමන් ඉතා අශෝභනය. මේ නිසා මිනිස්සු  මහා සංඝයාට  මෙසේ චෝදනා කරන්නට වූහ.     “වැසි සමයේ කුරුල්ලෙකුවත් අහර සොයා කැදැල්ලෙන් පිට නොයන්නා ය. වෙනත් සිවුපාවුන්ද  එසේ ය. සෙසු ශ්‍රමණයෝ ද ආවාස ගතව සිටින්නාහුය. එස් වුවද භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ පමණක්    ගව කුර ගැටී මඬ ගොහොරු වූ මාර්ගයන්හී මඬ ගාගෙන කෑම සොයා ඇවිදිති. අළුතෙන් දළු ලන තණ පත් (ඒකේන්ද්‍රීය ප්‍රාණීන් ) පාගා මරා දමති. උන් පවක්ම කරති“ මෙසේ මතු වූ ජනතා අප්‍රසාදය බුදු සවනට ද ඇසුනි. මෙහිදී උන්වහන්සේ  සිය ශ්‍රාවකයන්ද පිරිවරා සිවුරු ඔසවා ගෙන අත පය වනමින් වහසි දොඩමින් දොස් නඟන්නන් වෙත කඩා පැන්නේ නැත. මහා කාරුණිකයාණෝ ජනතා අපවාදය සත්‍යයක් බව හිස් මුදුනින්ම පිළිගත්හ.  සිය ශ්‍රාවකයන්ට ද වස් විසීමට  අනු දැන වදාළේ එයින් පසුවය. අන්‍යන්ගේ වුවද  යහපත් දේ අගැයීම සිය ශ්‍රාවක සංඝයා ද එවැනි යහ පැවතුම් වලට යොමු කිරීම අන් මත ඉවසීම බුදු සිරීතේ නොයෙක් වර දකින්නට ලැබෙන  මානුෂීය ගුණාංගය. බුදු බණ වෙනුවට කන බණ පමණක් දන්නා වුනට  බුද්ධ කාලයේ පටන්ම  යහ ගුණ අරහන්ය. භික්ෂූන් අතර අසමඟිය වැඩි වූ එක්  වැසි සමයක  උන්වහන්සේ  පාරිල්‍යෙ වනයට වැඩම කොට එහි වස් විසූහ.

වර්තමානය වන විට චෝර වාදීන් විසින් නිර්මල බුදු දහම තමන්ට ඇවැසි පරිද්දෙන් විකෘති කරගෙන තිබේ. එහෙත් කණගාටුදායකම කාරණය වන්නේ  ඔවුන් බුද්ධ පුත්‍රයන් සේ ගිහි සමාජය ඉදිරියේ පෙනී සිටීමය. විමර්ශණශීලි දැක්මක් නැති ගිහියෝ ද තම ධනයෙන් මේ කපටි කෛරාටියන්ගේ  බඩ ගෙඩි සහ පංසල් පුරවමින් අනෙකුත්  ඕනෑ එපා කම් ද සපුරමින්  මොහොතින් මොහොත නරකාදියටම ගමන් කරති. අපට ගැටළුවක් වී ඇත්තේ මොවුන්ගේ මෙම මරිමෝඩ වැඩ නිසා බුද දහම මෙන්ම රටත්  ජනතාවත්  දිනෙන් දින පරිහානයට පත්වීමය. 

ආර්.ජී. ධර්මදාස විසිනි

---------------------------
by     (2017-08-17 04:55:55)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

වර්තමානය වන විට චෝර වාදීන් විසින් නිර්මල බුදු දහම තමන්ට ඇවැසි පරිද්දෙන් විකෘති කරගෙන තිබේ. එහෙත් කණගාටුදායකම කාරණය වන්නේ ඔවුන් බුද්ධ පුත්‍රයන් සේ ගිහි සමාජය ඉදිරියේ පෙනී සිටීමය. ------------ විමර්ශණශීලි දැක්මක් නැති ගිහියෝ ද තම ධනයෙන් මේ කපටි කෛරාටියන්ගේ බඩ ගෙඩි සහ පංසල් පුරවමින් අනෙකුත් ඕනෑ එපා කම් ද සපුරමින් මොහොතින් මොහොත නරකාදියටම ගමන් කරති.----------- අපට ගැටළුවක් වී ඇත්තේ මොවුන්ගේ මෙම මරිමෝඩ වැඩ නිසා බුද දහම මෙන්ම රටත් ජනතාවත් දිනෙන් දින පරිහානියට පත්වීමය.
-- by Ranjani on 2017-08-17

සමහරක් මහනා හිමිලගෙ ජොබ් එක ධර්මය පැත්තකට දාල අධර්මයෙන් ජීවත් වෙන එවුන් සුජාත කරල රජ කරවීම...
-- by a. brown on 2017-08-18

" ayan wassna kalo" kiyanne ....mann wehi kalaya gatha karanawa kiyana eka nevi. eke kiyanna deyak neh ne. mann keles ( kalo- Kalu darma ) thawamin ..dawamin wasaya karanawa kiyana ekai. wehi kalaya ekata sudusui..
-- by asela on 2017-08-22

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links