(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.05, ප.ව.8.30) ගස් බඳින විට දී මුනිවත රැකි, දණ ගස්වන විට දී සැඟවුන, කම්මුලට පහර දෙන විට දී දණ්ඩ නමස්කාර කළ ලාංකීය රාජ්‍ය සේවකයෝ පසුගිය දා රන්ජන්ට එරෙහිව විදී බැස්සාහ. සිය අයිතිවාසිකම් ඉල්ලන, එ්වා වෙනුවෙන් මහ මග ‘දිවි හිමියෙන්‘ සටන් වදිනා රාජ්‍ය සේවකයන් අද ඉතා සුලභය. ඒ ජනවාරි 08 ජයග්‍රහණය සමහරු භුක්ති විඳින හැටිය. එනමුත් සිය වැඩවසම් ගති ලක්ෂණ සහ චෞර යුගයේ නොසන්ඩාල හැසිරීම් තවම ඔවුන්ගෙන් පහව ගොස් නැත.
දිවුලපිටිය ප්‍රා.ලේකම් බඩ්ඩට එහා ගොස් පුද්ගලික කඩ ගිනි තියන තවත් ප්‍රා.ලේකම් හැපින්නක් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් වසමේ සිටින්නීය. රන්ජන්ට එරෙහිව පාරට බහින අයගෙන් අපට අසන්නට ඇත්තේ මෙහි පහත කියවෙන, නිල මාන්නයෙන් ඔළුව උදුම්මාගෙන උමතුවෙන් හැසිරෙන මේ ප්‍රාදේශීය ලේකම් වරිය ගැන කියන්නේ කුමක් ද? කියාය.
පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් වසමේ ඌරුබොක්ක නගරයේ තුසිත වටරවුම අසල කිසිදු වන්දි මුදලක් තවමත් හිමිකරුට නොගෙවූ මුත් රජයට පවරාගත්තා යැයි කියන ඉඩමක එහි හිමිකරු ලෑලි කඩ බක්කියක් ඉදිකරන්නේ මෙයට වසරකට පමණ පෙරය. ඔහුගේ නම මියුරංග එදිරිසිංහ ය. රුපියල් 40,000 ක පමණ සිල්ලර බඩු දමා මියුරංග එදිරිසිංහ කඩ බක්කිය විවෘත කරන්නට අදහස් කෙළේ ජනවාරි 22 වන දිනය. ජනවාරි 18 දින හදිසියේම දුරකථන ඇමතුමකින් ඔහු කඩ බක්කිය හැදූ ස්ථානයට කැඳවයි.
එම ස්ථානයට පැමිණ සිටියේ අප කතා නායිකාව වන පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා කුමාරි සහ ඌරුබොක්ක පොලිසියේ එස්.අයි. ප්‍රේමසිරි ඇතුලු පිරිසකි. වහාම කඩ බක්කිය ඉවත්කර ගන්නා ලෙස ප්‍රා.ලේකම්වරිය නියෝග කළාය. තමන්ට මෙතෙක් වන්දියක්වත් නොලද බැවින් තමන්ට ජීවත් වීමට මුදලක් සොයා ගැනීමට එය පවත්වාගෙන යාමට අවශ්‍ය බව මියුරංග කීය. ප්‍රාදේශීය ලේකම්වරිය එක් වරම මියුරංග ඇමතුවේ “උඹ“ යනුවෙනි. “උඹට මම කියන්නේ නෑ. වහාම අස්කර ගනින්“ ඇය හැපින්නක සේ පිම්බා ය. ඇයගේ කැබ් රථයේ පිටුපස අසුනේ සිටි අයෙක් එ් සමගම පෙට්‍රල් කෑන් එකක් රැගෙන එළියට බැස්සේය. ප්‍රාදේශීය ලේකම්වරිය පොලිසිය ඉදිරියේ වෙසමුණියාට ඇන්දාය. “මම ගිනි තියලා දමනවා. අද රෑ 7ට කලින් අස්කර ගනින්“. සියළු දෙනා විසිර ගියහ.
ජනවාරි 19 දින දහවල් 11 පමණ වන විට නැවත ප්‍රාදේශීය ලේකම්වරිය පැමිණියේ එස්.අයි. ප්‍රේමසිරි සමගය. කඩයට පෙට්‍රල් වක්කළ ඇය කඩයට ගිනි තැබුවේ නගරයේ දෙනෝ දහක් බලා සිටිද්දී ය.
මේ ප්‍රාදේශීය ලේකම්වරියකගේ නොසන්ඩාල හැසිරීමයි. මෙසේ මිනිසුන්ගේ පුද්ගලික දේපලට ගිනි තියන්නට මොවුන්ට බලය දුන්නේ කවුද? ඇය තවමත් යහතින් සිටින්නේ කෙසේද? මාතර දිසාපති වරයාට මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලට ඔහු තවමත් නිහඬ ඇයි? මේ පිළිබඳව මියුරංගගේ පැමිණිල්ල බාර ගැනීම මාතර එ්.එස්.පී. කාර්යාලය ප්‍රතික්ෂේප කළේය. නැවත එය භාර ගත්තේ සහකාර පොලිස් අධිකාරීවරයා ගේ මැදිහත් වීමෙනි. පැමිණිලිකරු ඉදිරියේම සහකාර පොලිස් අධිකාරීවරයා දුරකථනයෙන් එස්.අයි. ප්‍රේමසිරිගෙන් කරුණු විමසුවේය. ඔහු කීවේ තමන් ප්‍රා.ලේකම්වරිය කෞෂල්‍යා කුමාරි ගේ ආරක්ෂාවට ගිය බවයි. ඇය විසින් තමන් ඉදිරියේම කඩ බක්කියට ගිනි තැබූ බව සත්‍යයක් යයිද එස්.අයි කීවේය.
පොලිසිය භාර ඇමතිවරයා ද මාතරය. අහිංසක තරුණයෙකු අසරණව ඇත. ඇසු දුටු සාක්ෂි ඇත. අපරාධකාරිය නිදැල්ලේය. මෙම ප්‍රා.ලේකම් වරිය පසුගිය ජනාධිපතිවරණයේ දී රාජපක්ෂගේ බඩු බෙදුවේ සිය නිවසේ තබාගෙනය. ඇය පුරුද්දක් ලෙසින්ම මිනිසුන්ට කුණුහරුපයෙන් කථාකරන්නේ ප්රසිද්ධියේය. ඇයට මෙම අසීමිත බලය දුන්නේ කවුද?
මුළු ප්‍රදේශයම පවසන්නේ ඇයව ආරක්ෂා කරන්නේ ප්‍රදේශයේ දේශපාලන බලවතෙක් වන ඇමැති ලක්ෂ්මන් යාපා බවයි. ජනතා විරෝධය නිසාම ඇයව ස්ථාන මාරුකල ද ඇය සුරැකිව සිටින්නේ ලක්ෂ්මන් යාපා නිසාය. සියලු මාධ්‍ය තවමත් මේ පිළිබඳව නිහඬය.
යහපාලනය හා නිදහස යනු තක්කඩියන්ට බඩ පිනුම් ගසන්නට අවස්ථාවක් නොව, සාමාන්‍ය පුරවැසියන්ට හිමිවිය යුත්තකි. එය එම ජනතාවට හිමිකර දීම වගකිව යුත්තන් ගේ අත් හළ නොහැකි වගකීමකි.
---------------------------
by (2017-02-05 17:25:28)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි